Wednesday, March 30, 2011

ඇත්තටම උඹට යාළුවෝ ඔච්චර තිත්තද..?




ෆෝන් ඕෆ් කරලා
චැට් බ්ලොක් කරලා
ගෙදරට ගත්තත් උත්තර නෑ
කිසිම කතාවක් නෑ
හුඹහට වැදුන සර්පයා වගේ
උඹේ ඔලුව ඉදිමිලාද
අඟක් මෝදු වෙනවද
ඇත්තටම උඹට යාළුවෝ ඔච්චර තිත්තද..?

ඇඳක් උඩට වෙලා පොතක් කියවන්න
නාන කාමරේට වෙලා සින්දු කියන්න
ගහක් උඩට නැගලා ගෙඩියක් කන්න
ආදරී ඉස්සරහින් වාඩි වෙලා බ්ලොග් ලියන්න
වහලේ උඩට නැගලා අහස බලන්න
සීලිමට වෙලා නිදා ගන්න
අස්මඬලට නැගලා වටේ බලන්න
ඇලේ බැහැලා මාළු අල්ලන්න
වෙලට බැහැල මඩ ගාගන්න
තණ බිස්සේ නිදියගෙන කල්පනා කරන්න
ගඟබොඩ ගිහින් කුරුම්බ බොන්න
සිරියගේ ගොටුපිට්ටු කන්න
අම්මට කියලා ඔළුවට තෙල් දා ගන්න
ආච්චි අම්මගේ ඔඩොක්කුවේ ඔළුව තියන් ඉන්න
නැන්දගේ සව් දොදොල් කන්න
ලොකු අම්මත් එක්ක පන්සල් යන්න
සීයගේ වීර කතන්දර අහන්න
අයියගේ දුව වඩාගෙන වදුරො පෙන්නන්න යන්න
අල්ලපු ගෙදර කලූට බැල්ම දාන්න

තියෙන දවස් ටිකත් මම උඹලගේ හිස් වැඩ බලන්න එන්න ඕනෙද..?

කැන්ඩි....

අකීකරු මගෙම හිත ..




Space Collective 2011,Self-Evolving personal cargo Web Site,[Online],Available:http://spacecollective.org/SelfEvolving/4609/The-Extended-Mind[Accessed 30 March 2011]



තරහවක්
ආදරයක්
අනුකම්පාවක්
ලැජ්ජාවක්
එකවර ඇති වුනත්
මේ දේ මෙහෙමයි කියලා තේරුම් ගත්තත්
ආය බලන්නේ නෑ කියලා නීති දැම්මත්
මේක කරන්නේ නෑ කියලා පොරොන්දු වුනත්
කිසිම දෙයක් ගණන් නොගෙන හිටියත්
දුක යටපත් කරන් හිටියත්
වෛරය මැඩ ගත්තත්
කෙනෙක් ගැන දුක හිතුනත්
හොඳක් කළත්
නරකක් කළත්
හැමදේටම නීති දැම්මත්
හැමදේ ටම සීමා පැනෙව්වත්
හැමදේටම පොරොන්දු වුනත්
ලද සැණින්
නිදහස සොයා යන
අකීකරු මගෙම හිත
මෙල්ල කරමි මම අද සිට

කැන්ඩි....

Tuesday, March 29, 2011

ස්කූල් වෑන් එක..



Prime Radio SriLanka 2010, Prime radio Web Site,[Online],Available :http://www.primeradio.lk/news/2010/11/21/special-license-to-school-vans/[Accessed 29 March 2011]


ඉස්සර ටිකක් පොඩි කාලේ කැන්ඩි කරපු සමහර වැඩකටයුතු හින්ඳා සහ කැන්ඩි ඉස්සර හැසිරිච්චි විදිය හින්ඳා කැන්ඩිගේ අම්මට කැන්ඩි ගැන ලොකු බයක් හිතේතිබ්බලු.මේකා තනියම යැව්වොත් රස්තියාදුකාරයෙක් වෙනවා කියලා හිතිච්චි හින්ඳමද කොහෙද කැන්ඩිගේ අම්මා නීතියක් පැනෙව්ව කැන්ඩිට කිසිදා තනියම ගමන් තහනම් ය කියලා, ඉතින් වෙන මොනවා කරන්නද දෙන දෙයක් කාලා ඉන්න එපාය ,කැන්ඩිට ඉතින් ඊට පස්සේ හැමදාම කවුරු හරි එක්ක මිසක් පන්තියකටවත් යන්න ලබුනේ නෑ. කොටින්ම කියනවනම් හිරගෙදර.

ඒක නිසා කැන්ඩිව ගේ ළඟින් යන ස්කූල් වෑන් එකේ නැතුව යැව්වේ කැන්ඩිගේ අම්මලාගේ ගමේ ඉඳන් ආපු ස්කූල් වෑන් එකක. ඒ වෑන් එකේ ඇන්ටියෙකුත් හිටිය නිසා තමයි වැඩිමනකුත් කැන්ඩිගේ අම්මා ඒ වෑන් එකට කැමති වුනේ. වෑන් එකේ ඇන්ටි කැන්ඩිගේ අම්මාගේ දුර නෑයෙක්. ඉතින් කැන්ඩිට ඔය වෑන් එකේ හම්බවුනේ ඉස්සරහම ආසනය නිසා ඉතින් වැඩිය බාලිකාවන්ගේ මූණු ටික බලාගන්නත් ගොඩාක් කාලයක් ගත වුනා,ඒත් ඉතින් මොනවා කරන්නද නෝ කතා නෝ සිනා ඇන්ටි ඉන්නවනේ.

ඇන්ටි මේ වෑන් එක කරන්නේ ඩ්‍රැයිවර් කෙනෙක් දාලා ඩ්‍රැයිවර්ට දවසේ පඩිය දීලා තමයි. ඔය වෑන් එකේම තමයි ඇන්ටිගේ දුවයි පුතයි ගියෙත්. ඔය දෙන්නත් හිටියෙ ඇන්ටිගේ වර් එක හිතට අරන් තමයි.කැන්ඩි වෑන් එකට ඇතුළු වුන කාලෙම තමයි ඇන්ටි අළුතෙන් වෑන් එකක් ගත්තෙත්.ඔය අළුත් වෑන් එකට අළුත් රියදුරු මහත්තයෙකුත් ආවා. ඉතින් ඔය අළුත් රියදුරු මහත්තුරු ගොඩ දෙනෙක් හැමතැනම පාරවල් දන්නේ නැහැනේ. මේ අළුත් රියදුරු මහත්තයත් එහෙම තමයි. ඔන්න ඇන්ටිට මේ රියදුරු මහත්තය කියනවා ," නෝනා මට හරියට හැරෙන තැන කියන්න." ඔන්න ඇන්ටිත් කියනවා " ඔය පාරෙන් රාජකාරුණා මාවතට දාන්න" ඔන්න ඉතින් අර රියදුරු මහත්තයා දහ අතේ හොයනවා රාජකරුණා මාවත ,හොයලා ආයෙත් අහනවා " නෝනා කොයි පත්තටද හැරෙන්නේ..?" ඇන්ටි ආයෙත් කියනවා " රාජකරුණා මාවත පැත්තට " ඔන්න ඉතින් මේ රියදුරු මහත්තය ටිකක් මූණ ඇඹුල් කරලා බැලුවම ඉස්සරහ හිටපු කැන්ඩි දකුණට අත දික් කරලා පෙන්නුවා, ඉතින් ඊළගට ආයෙත් මේ රියදුරු මහත්තයා අහනවා " නෝනා කොහෙටද හැරෙන්නේ " ඇන්ටිත් ඉතින් කියනවා, " සිරිධම්ම මාවතට " ඔන්න ඉතින් ආයෙත් කැන්ඩි අනාරාධිතවම පාර පෙන්නුවා.

ඔහෝම ඔහොම පාරහොයන් කැන්ඩිලගේ ඉස්කෝල පැත්තට එනකොට පටන් ගන්න වෙලාව පහු වෙලා, ඇන්ටිගේ දුවගේ පාසල වුනේ ගෝතා බාලිකාව, ඇන්ටිගේ පුතා ගියේ කැන්ඩිගේ පාසලේ සහෝදර පාසලට. ඔන්න ඉතින් ඇන්ටිගේ දුවයි පුතයි ඉතින් දැන් "මේ ඩ්‍රැයිවර් එක්ක ආවම හැමදාම මෙහෙම වෙයි "කියලා බැහැලා ගියා. ඔය දෙන්නම බැස්සට පස්සේ තමයි කැන්ඩිගේ පාසලට එන්නේ, ඔන්න ඉතින් කැන්ඩිවත් බස්සවලා යන්න ගියා,එදා හවසත් තවත් සතියක් විතර අර රියදුරු මහත්මයට පාර හුරු වෙනකනුත් ඔහෝම තමයි වුනේ. පඩි නඩි හේතු නිසා ඇන්ටිගේ වාහනයට එන රියදුරු මහත්වර වැඩිය කල් හිටියේ නෑ. ඉතින් ඔය විදියට රියදුරු මහත්වරු පස් හය දෙනෙක්ම මාරු වෙලා යන්න ගියා.

මේ රියදුරු මාරුව ඇන්ටිට ටිකක් අමාරු වෙච්චි නිසාවෙන් ඇන්ටි ඊළඟට ගත්ත තීරණය තමයි , ගෙදර දොරේ ඉඩම් කඩම් බලා හදාගෙන හිටිය ඇන්ටිගේ අන්කල්ව රියදුරු වැඩේට ගන්න එක. ඉතින් අන්කලුත් වැඩේට ආවා. අන්කල් කොළඹ ඉගෙනගත් කොළඹ නිතර ආ ගිය කෙනෙක් නිසා පාරවල් නම් වැඩිය ප්‍රශ්නයක් වුනේ නෑ.ඒත් ඉතින් ඔය පාගමනක් දවසක කලින් ඉස්කෝලේ ඇරිලා අන්කලුත් නොදන්න පාරවල් වගයක යන්න සිද්ධ වුනා, ඉතින් අන්කලුත් "මට හැරෙන තැන කියන්න" කිව්වම ඇන්ටි කිව්වේ " කුමාරතුංග මුනිදාස මාවතට හැරෙන්න" " රාජකරුණා මාවතට දාන්න" වගේ දේවල්. ටික වෙලාවක් මේක අහන් ඉඳපු අන්කල් මෙහෙම කිව්ව " මම ඔය මල ඉලව් පාරවල් දන්නේ නෑ, මට හැරෙන පැත්ත කියනවා " ටික වෙලාවක් " වමට හැරෙන්න " "දකුණට හැරෙන්න " කියපු ඇන්ටි ටික වෙලාවකින් ආයෙත් පරණ විදියටම පාර කියන්න පටන් ගත්තා, ඉතින් අන්කල් මෙහෙම කිව්වා,"මනුස්සයෝ මම ඔය නම් කට පාඩම් කරගෙන නෑ මට හැරෙන පැත්ත කියන්න කියලා" ඉතින් ආයෙත් ඇන්ටි වමට දකුණට උත්තරය දෙන්න පටන් ගත්තා. අන්කල්ට හැබැයි එක ප්‍රශ්නයක් තිබුණා ,ඒක තමයි අන්කල් ගොඩාක් කාලයක් වාහන එළවීමෙන් බැහැර වෙලා තමයි ඉඳලා තියෙන්නේ, ඒක නිසා එයාට වාහනය වැඩිය හුරු නැහැ. ඉතින් ටිකක් හෙමින් තමයි යන්නේ. ඒක නිසා ආයෙත් අර පරක්කු වෙන ප්‍රශ්නය ආවා.

ඉතින් ඔහෝම ටික දවසක් යද්දී පුංචි පවුල රත්තරන් කියලා කියන නිසාද කොහෙද ඇන්ටි ගාව සීට් එකේ හිටපු
ළමයි දෙන්නා පිටිපස්සට යවලා ඇන්ටිගේ දුවයි පුතයි ඒ සීට් එකට ආවා.ඔන්න ඉතින් දැන් තමයි හොඳම හරිය. අන්කල් ටිකක් හෙමින් එළවන නිසා ඇන්ටි මෙහෙම කියනවා" ආනන්ද ටිකක් ඇක්සලරේට් කරලා යමුකෝ " ටික වෙලාවකින් පුතා මෙහෙම කියනවා " තාත්තේ ඔය බ්‍රේක් එකෙන් නැතුව ඇක්සලේටරය පාගලා වාහනේ යන්කෝ " ටික වෙලාවකින් ඇන්ටිගේ දුව මෙහෙම කියනවා " තාත්තේ මට හවස පන්තියට යන්න පරක්කු වෙනවා ".. ඒත් සතියක් විතර යනකන් අන්කල් ඕවට උත්තර විදියට හිනා වෙන එක විතරයි කළේ. ඔහොම සතියක් විතර ගියට පස්සේ අර තුන්දෙනා අර විදියට කියන වාර ගණන වැඩි වුනා, තවත් සතියක් විතර යනකොට ඕක අහන් ඉන්න බැරි තරමේ මන්තරයක් වගේ වුනා, එක පාරටම දවසක් අන්කල් වාහනේ පාරේ පැත්තකට කරල නවත්තල මෙහෙම කිව්වා " තමුසෙලා මට මේ වාහනය එළවන්න දෙනවද ..? නැත්තන් තුන්දෙනා එක්ක මේ වාහනය අරගෙන යනවද ..?" . එදාට පස්සේ ඇන්ටි වෑන් එකේ යන එක අඩු වුනා, අන්කල් විතරයි ආවේ, අර දුවයි පුතයිත් කළින් හිටපු සීට් වලටම ගියා. අන්කල්ගේ පරක්කුවට විසඳුම විදියට වැන් එක වෙනදාට වඩා කළින් පිටත් වුනා.

ඔහොම අවුරුද්දක් විතර යනකොට ඇන්ටි එන එක නැත්තටම නැවතුනා. ඒත් ඉතින් නෑකම නිසා කැන්ඩිට පාසල් ජීවිතය අවසාන වෙනකන්ම යන්න සිද්ධවුනේ ඔය වෑන් එකේ . ඔය අතරේ කැන්ඩි සාමාන්‍යපෙළ කළා ඉහළින් උසස් ආකාරයෙන් සමත් වුනත් කැන්ඩිට ඉතින් පාසල් වෙනස් කරන්න උවමනාවක් නැහැනේ, ඒත්
ඇන්ටිගේ දුවනම් ගෝත බාලිකාවට සමු දීලා ආඩම්බරෙන් මිගාර මාතා පාසලට ඇතුලත් වුනා.ඒක නිසා ගමනත් වෙනදට වැඩිය දිග්ගැස්සුනා..

ඔය කියන කාලේ වෙනකොට කැන්ඩි හොඳ නමක් හදාගෙන හිටපු නිසා සහ කැන්ඩිගේ යාළුවා හිරාන්ව ගෙදරට විශ්වාස වන්ත වෙච්චි නිසාවෙන් කැන්ඩිට තනියම අමතර පන්ති යන්න නිදහසක් ලැබුනා. ඒත් හිරාන් එන්නේ නෑයි කියන දාට යන්න ලැබුනේ කළින් වගේ රියදුරු සමඟ අපේ හිරකාර වාහනේ සුපුරුදු පරිදි හිරකාරයා වගේ. උසස්පෙළ කරන අවධියෙත් ඉස්කෝලේ ගියේ වෑන් එකේ වුනාට අවසන් වසර වැඩිය ස්කුල් වෑන් එකේ යන්න ලැබුනේ නෑ, ඒ මොකද කියනව නම් මම කළින් රසායන විද්‍යාව ඉගෙන ගත්තු ගුරුතුමා වන අපේ නැසීගිය බුලත්සිංහල ගුරුතුමා කියන විදියට කැන්ඩිත් උසස්පෙළ අවසන් වසර කොළඹ ක්‍රමයට අනූව දවස් තුනක් පාසලටත් දවස් දෙකක් පුනරීක්ෂණ පන්තියටත් වෙන් කරලා තිබ්බ නිසාවෙන්.

හැබැයි මේ ස්කූල් වෑන් එක ගැන කියනවා නම් අන්කල් වෑන් එකට පස්සේ පස්සේ දැම්මේ අළුත් ටයර් වෙනුවට පරණ ටයර් අර කම්බිත් මතුවෙච්චි ඒවා, ඉතින් මාසයකට එක පාරක්වත් මේ වෑන් එකේ ටයරෙකක් බාලිකා විද්‍යාලයක් ඉස්සරහා බෝම්බයක් වගේ පිපිරෙනවා. .පිපිරෙන්න ටයරයකුත් නැත්නම් නවතින්න වෙන හේතුවකුත් නැත්නම් ඔය වාහනේට හැදෙන අනිත් ලෙඩේ තමයි බොයිල් වෙන එක.මම හිතන විදියට අන්කල් ඔය වාහනේට පස්සේ හයි කරලා තියෙන්නේ කටුගෙදරින් පන්නපු රේඩියේටරයක්.කරුමේ කියන්නේ ඔය බොයිල් වීමත් ඔය බෝම්බ පිපිරවීමත් ඉතින් සිද්ද්ධ වෙන්නේ නිකන් ස්ථානයක එහෙම නෙවෙයි .හන්දියක් මැද්දේ එහෙමත් නැත්නම් බාලිකා විද්‍යාලයක් ඉස්සරහා වගේ ස්ථානවල තමයි. වැඩිපුරම ඔය දේවල් සිද්ධ වුනේ කනත්ත බාලිකාව ඉස්සරහා.කැන්ඩියි අනිත් වෑන් එකේ ගිය කැන්ඩිගේ මිත්‍රයා වන කල්පගේ අදහසට අනුව ඔය වෑන් එක අක්ක වෑන් එකක් නෙමෙයි අයියා වෑන් එකක්. ඒකනේ බාලිකා විද්‍යාල ඉස්සරහටම යන්නේ නතර වෙන්නෙ. ඉතින් ඔය නැවතිච්චි වෙලාවට නිකන් ඉන්නත් බෑනෙ කට්ටියම එකතු වෙලා ඕක තල්ලු කරනවා, ඒත් ඉතින් වෑන් එක තල්ලු කරනකොට බාලිකාවෝ කිචි කිචි ගානකොට හිතා ගත්තැකිනේ කැන්ඩිටයි අනිත් පිරිමි ළමයින්ටයි හිතිච්චි දේවල්..


කැන්ඩි....

Sunday, March 27, 2011

නාරං භාවනාව..



ඊයේ පෙරේදා දවසක කැන්ඩිගේ අම්ම කියපු කතාවක් අහන් ඉන්නකොට තමයි මට මේක මතක් වුනේ.

ඒ කාලේ කැන්ඩියි අක්කයි මාර බුදු ෆිට් එක කියල කිව්වොත් තමයි වැඩිය හොඳ.මීට අවුරුදු පහලවකට විතර කලින් දහම් පාසල් යනකොට කරපු වැඩනම් ඉතින් කියලා නිම කරන්න බැ. මේකත් ඒ කතා වලින් එකක්.

ඔන්න ඉතින් ඒ කාලේ දහම් පාසලේ සිල්ගන්න දවසට කොච්චර කට් පාර දාලා ගෙදර ඉන්න හ්දුවත් කැන්ඩිගේ අම්මයි තවත් ලොකු අම්මෙකුයි දහම් පාසලේ ආචාර්ය මණ්ඩලයේ හිටපු නිසා සිල් නොගෙන ඉන්නම අපිට බැරි වුනා කිව්වොත් තමයි කතාව නිවැරදි. මොකද ඒකාලේ අපිට සිල් ගන්නවා කියන්නේ ටිකක් අමාරු වැඩක් මොකද සිල් ගත්තොත් ඉන්න වෙන්නේ අපේ අම්ම ළඟ හරි නැත්නම් අර කලින් කියපු රාස්සියක් වගේ අපේ ලොකු අම්මා ළඟ. ඔය කියපු ලොකු අම්මට ඒ කාලේ දහම් පාසලේ හිටපු ළමයි විතරක් නෙවෙයි අද ඉන්න ළමයිනුත් කියන්නේ රාස්සි ටීචර් කියලා ළඟදී ඉරිදා දවසක් අම්මව එක්කන් එන්න දහම් පාසල ළඟට ගියපු කැන්ඩිට ඇහුනලු.

ඔන්න ඉතින් මේ කිව්ව දවසේත් කැන්ඩියි අක්කයිකොච්චර කට් එක දාන හැදුවත් සිල් ගන්නම වෙන අතට වැඩ සිද්ධ වුන නිසා කැන්ඩියි අක්කයි ඉතින් හිතින් බැන බැන සිල් ගන්න ගියාලු. කොහොමින් කොහොමින් හරි දවල් වෙනකන් ශේප් එකේ අම්මවයි ලොකු අම්මවයි තියන් ඉඳලා දවල් දානේ වෙලාවෙන් පස්සේ තමයි කැන්ඩිටයි අක්කටයි සෙට් එක එක්ක එකතු වෙන්න ලැබුනේ. ඒ කාලේ හිටිය කැන්ඩිගේ අක්කගේ පන්තියෙ ළමයි සහ තව ඉහළ පන්තිවල අයියල සහ අක්කල දෙතුන් දෙනෙකුයි කැන්ඩිගෙ අක්කගේ පන්තියේ සෙට් එකයි ඔය කැන්ඩිගේ අක්කගේ පන්තියේ හිටපු අක්කලා රෑනගේ තවත් මල්ලිලා නංගිලා කිහිප දෙනෙකුයි තමයි සෙට් එක. ඔක්කොම දහයක් විතර ඇති.

කොහොම හරි අර අක්කලා රෑනගෙන් ටිකක් කට්ටිය වෙනම කට්ටියක්ලු. දවල් ඉතින් ඉන්න ගමන් අනිත් අයත් එක්ක මොනවද කරන්නේ කියලා කතා කර කර ඉන්නකොට මෙතන හිටියොත් නම් මොනවත් කරන්න හම්බ වෙන්නේ නැති නිසා උඩ මළුවට යමු කියලා යෝජනාවක් කොහෙන්ද ආවලු. කට්ටියම එක පයින් ඕකට කැමති වුනාලු. ඔක්කොම එක පාර යන්න ඇහුවොත් කාටවත් යන්න බැරිවෙන නිසා වෙන වෙනම කට්ටිය අහලා අනිත් ගුරුවරුන්ගෙන් අහල දෙන්න තුන්දෙනා වගේ කාණ්ඩ උඩ මළුවට භාවනා කරන්න කියලා ගියාලු.උඩමළුවේ තමයි විහරය තියෙන්නෙත්.

ඔහොම ඉඳලා ඉඳලා කැන්ඩියි අක්කයිත් අම්මගෙන් අවසර අරගෙන ධර්ම ශාලාවේ ඉඳලා උඩ මළුවට භාවනා කරන්න ගියාලු.කැන්ඩියි අක්කයි යනකොය අර කළින් ගිය අක්කලා රෑන සහ තව අයියල දෙන්නෙක් උඩ මලුව පිටිපස්සෙන් පහළට බැහැලා පන්සල් වත්ත පිටිපස්සේ තියෙන කොස්ගස් ළඟට ගිහින්ලු වරකා ගෙඩියක් හොයන්න.

අනිත් අය වරකා ලැබෙන කන් බකන්නිලා භාවනාවලු. ඔන්න කැන්ඩිගේ අක්කත් ගිහින් ටිකක් වටපිට බලබල ඉන්න කොට තමයි මතක්වුනේ උඩමළුවේ පිටිපස්සේ පැත්තක තියෙන නාරංගහ.හැබැයි මේක ධර්මශාලාව පැත්තට පේන්නේ නැති වුනත් මේ ගහ ආවාසගේ පැත්තට පේනවලු. ඔන්න ඉතින් ටිකක් විපරම් කරලා ඔත්තුකාරයෙක් ආවාසගෙට යැව්වලු කැන්ඩිගේ අක්කා. ඔත්තු කරුවාට දැනගන්න හම්බ වුන විදියට ලොකුහාමුදුරුවෝ සහ පොඩිහාමුදුරුවෝ මොකකට හරි අල්ලපු ගමේ පන්සලට වැඩම කරලලු.

ඔය කියන ගහේ හැමදාම වගෙ නාරං තිබුනත් කවදාවත් ඔය ගහ පැත්තකටවත් යන්න ලොකු හාමුදුරුවන්ගෙන් නම් අවසර ලැබුනේ නැහැලු.ඒ වගේම ඕක ටිකක් පරණ විශාල ගෙඩිතියෙන ටිකක් ලොකු නාරං ගහක්ලු.ටිකක් ලොකු නෙවේ කැන්ඩි දැකලා තියෙන නාරං ගස් වලින් විශාලම නාරං ගහ ඕක තමයි.

ඔන්න ඉතින් ඉතිරිවෙලා හිටපු කට්ටියගෙන් ලොකුම එක්කෙන කැන්ඩිගේඅක්කා සහ අනිත් අය අර අක්කල අයියලාගේ නංගිලා මල්ලිලා .කැන්ඩිටත් වැඩිය වයසින් අඩුයිලු. දැන් හිටපු අයගෙන් ගහට නැගලා අතුපාත් කරන වගකීම පැවරුනේ කැන්ඩිට.පොල්පිත්තක් ගහට හේත්තු කරලා අක්කා කැන්ඩිව ගහට නැග්ගුවලු.කැන්ඩි ඒකාලේ ගස් නඟින්න දන්නේ නෑ(තවමත් එහෙම තමයි .)කැන්ඩිගේ අක්කනම් ඔය වැඩවලට කියාපු දස්සිලු.ඒත් ඉතින් කැන්ඩි ගහට නැග්ගට අතුවල මැද්දට යන්නවත් බයලු.ඒක නිසා අක්ක දුන්න විධානය තමා ගහේ අතු පාත්කරන්න කියපු එක.ඒත් කැන්ඩි පාත් කරපු අතුවල වැඩිය ගෙඩි තිබ්බේ නැති නිසා කැන්ඩිගේ අක්කගෙන් වහාම නියෝගයක් ලැබුනා වහාම බිමට බටු ලෙස.ඔන්න ඉතින් කැන්ඩි බිමට බැස්ස අක්ක ගහට නැග්ග.ළමා සාරියකුත් පටලවගෙන ගස් ගියයි කියන්නේ ඉතින් හිතා ගන්න පුළුවන්නේ කට්ටියටම කෙනාගේ හැටි නේද..? ටික වෙලාවක් යනකොට වරකාත් අරගෙන කට්ටිය ආවලු.

ඒ අයටත් ගහේ ඉඳන් ගෙඩි කඩලාදෙන ගමන් කැන්ඩිගේ අක්ක ගහේ ඉඳන් නාරං කන්නත් පටන් ගත්තලු. මේ වැඩේ පටන් ගත්තේ ඉතින් බිම ඉන්න අයට ටිකක් කඩලා දීලා තමයි. ඒ බිම හිටපු තව අයියෙකුටයි අක්කෙකුටයිත් නරං හිතේ හැටියට කන්නඕනේ නිසා ඒ දෙන්නත් ගහට නැග්ගලු.

බිම ඉන්න අය දැන් වරකයි නාරනුයි දෙකම විකාල භෝජනයකරනවලු,ගහේ ඉන්න අය නාරං භෝජනය කරනවලු. ඔන්න ඔහොම ටික වෙලාවක් යනකොට ආවාසගේ පැත්තෙන් ඇහෙනවළු ළමයිනේ නාරං ගහෙන් බහින්න කියලා, බැලිනම් ලොකු හාමුදුරුවෝ පන්සලට ආපහු වැඩලා වැඩේ දැකලලු.

කට්ටියටම ඉතින් උඩ මළුවෙන් ධර්මශාලාවට යන්න වෙන කියන්න ඕනේ වුනේ නැහැලු. ඔන්න ඉතින් ලොකු හාමුඩුරුවෝ ඇවිල්ල වැඩේ බලල නඩුව අහනවලු මුළු දහම් පාසලේම ආචාර්ය මණ්ඩලයත් එක්ක. ගියපු එක්කෙනෙක්ටවත් ගැලවෙන්න හම්බ වුනේ නැහැලු ඉතින් ලොකු හාමුදුරුවෝ දැක්ක නිසාවෙන්.

ඔන්න ඉතින් ලොකු හාමුදුරුවෝ අහනවලු මොනව කියලද මේ ළමයි උඩ මළුවට ගියේ කියල..? ඉතින් භාවනා කරන්න කියල තමයි ලොකු හාමුදුරුවනේ මේළමයි ගියේ කියලා ගුරුවරුත් කිව්වලු.

ටිකක් සැර වුනාට ලොකු හාමුදුරුවොත් ටිකක් විහිළුවට බරයි. ටිකක් බැරෑරුම් විදියට බලපු ලොකු හාමුදුරුවෝ මෙහෙම කිව්වා,"මම බලන කොට මේ ළමයින්ගෙන් කට්ටියක් වරකා භාවනාව තව කට්ටියන් නාරං භාවනාව අනිත් අය නාරං වරකා භාවනාව කරනවා" ඊට පස්සේ කැන්ඩිගේ ලොකු අම්මයි අම්මයි දිහාට හැරිලා කැන්ඩිගේ අක්කයි අර අනිත් අක්කයි අයියයි පෙන්නල මෙහෙම කිව්වා" ඒ විතරක්ය ඉස්කෝලෙ නෝනල මේ දැරිවියො දෙන්නයි අර ළමයයි නාරං භාවනාව වැඩි හොඳටද කොහෙද ගහ උඩම ඉඳන් නෙව කළේ "


පලි: මේ සඳහා ලොකු හාමුදුරුවන් කාටවත් දඬුවම් කළේ නැති අතර කැන්ඩිටයි අක්කටයි විශේෂයෙන් කැන්ඩිගේ අක්කට ඉන්පසුව සිල් ගත් කිසි දිනෙක අම්මගේ ළඟින් අඟලක්වත් එහාට වීමට ඉඩ ලැබුනේ නැත.

කැන්ඩි....

Saturday, March 26, 2011

විද්දේ පඳුරට වැදුනේ හාවට..



මම අදහස් කළේ වෙන දෙයකී
නමුත් වරදවා වටහාගෙන ඇති සෙයකී
මා ආදහස් කළේ එය නොව මට කිව හැකිය
නමුදු මට මෙසේ පැවසිය හැකිය
සත්‍ය ලෙසින් මාහට මිතුරන් නැත්තේ නොවේ
එය නොදන්නා නිසාවෙන්
සමහරු තම මුග්ධත්වය රටටම පෙන්වති
වෙන යමෙකෙක් උදෙසා පැවසු දෙයින්
තවෙකෙකු හට දාහය සැදුන හෙයින්
මේ දෙය පැහැදිලි වනු ඇත
අමතක කර සිටින දේ තවමත් හිතේ තබන්
ලතැවෙන සෙයක් පෙනෙන්නට ඇත්තේ
තමන් හරියි කියා ඔතරම් සිතනව නම්
එක් වදන් වැලකින්
දාහය ඇති වූයේ කෙලෙසද
මා අසා ඇති ලෙසින් හා
මා දැක ඇති අයුරින්
තවද කියනවා නම් ලෝ හැම පවසන අයුරින්
තමන්ගේ වරද යටි සිත පිළිගෙන ඇති සෙයකි

මේ දේවල් නොපැවසුවොත් එය අඩුවකි මම කරන
අනුන් හෙලා දකිනා සමහරුන් වෙතේ
නමුත් ඒ අයත් ඒ වරදම කරනු පෙනේ
මා ගැන පවසනවා නම් මෙලෙස
මේ දේ කිව යුතුමය
එකම වරද දෙවරක් සිදු වූ තැනට
සමාව දෙනු හැක්කේ කා හටද
දෙයක් කියන් දෙයක් කරන එවුන් හට
මා කුමකට මිතුරු කමක් හඟවමිද
ලොවට බණ දෙසන මුත් සමහර උතුමන්ලා
හිස්දේ අගය කරතිය එය බබලවිනා

මේ සියළු දේ පවසා මා නිහඬ වෙමි
එයට පෙර මේ ඔවදනුත් තරයේ සිතනු මැන
අනුන් හෙලා දැකුමට පෙර තම වරද
දැකුම යහපතිය එය ගෙනෙනා සුර සැපත
හිස්දේ හිස්ලෙස නිසිතැන හොවනු මැන
කිසිවිටෙකත් එය මුල්තැන නොහොබවින
කරන දේ කියනු මැන කියු දේ කරනු මැන
ලොවට බණ දෙසා ගෙදරට මරගාතේ නොවනු මැන
ඔබ නොකීවද සත්‍යය එයම වන
කිසිදා ඔබ පිළි නොගනු ඇත එය ඔබේ හැටිය
තවදුරටත් සංවාදය කෙරුම
අපතේ යැවීමකි රන් හා වටින කල
අමතක කරදමා අන් සතු දේ ගැන සෙවුම
කරගනු මැන තමාගේ වැඩ නිසිලෙසින
අනුන් කෙසේ සිටියත් කිම කෙරුවත්
තමන් යහ කෙරුම තම හට දෙයි සැපයක්..



කැන්ඩි....

ඔබයි සැබෑ අම්මා..



එළිය අඳුරු විය
දිනය නිමා විය
සීතල සුළඟත් සමඟින් දිනය නිමා විය
පොද වැසි වැටුනි
කෙමෙන් එය මහ වැස්සක් විය
නමුදු ඔබ බලා සිටි ලෙසින්
හිමි පැමිණියේ නැත
රුදුරු සපු විස හොත්ව
ඔහු මෙලොව හැර ගොසිනි
නමුදු තව වාරයක්
ඔබ මවක් විය නොදැන එය..
මහ වැස්ස අනෝරා වැස්සක්ම විය
හිසට වූ ඒ සෙවන වැසි සුළං
ගෙන ඇදුනි..
ඉකි බිඳුම හැර යමක් කිරීමට නොතිබුනද
දෙ අත් බිම තබා දෙදන බිම හොවා
සැදූ ඒ වහල යට
ඔබේ දරුවන් රැකුනි
කිසි දිනෙක ගුණ වයන දනන් මුව
ඔබේ නම නොකියවුන නමුත්
මහමෙරක් මෙන් නොසැලි සෙවන දුන්
ඔබයි සැබෑ අම්මා..


පටාචාරා කතා වස්තුව ඇසුරිනි..

කැන්ඩි....

Friday, March 25, 2011

ඉළන්දාරියා වෙතට..



පහුගිය මාස දෙක තුන තිස්සේම කාර්යබහුලත්වය නිසාම මට බ්ලොගයට ලොග් වෙන්නත් කිසිම දෙයක් ලියන්නත් වෙලව සහ එයට පහසුකම් ලැබුනේ නැති නිසාවෙන් මේ දේ දැන ගැනීමට නොහැකිවිය. නමුත් මේ දින කිහිපයේ සයිබරයේ ඒ මේ අත සැරිසරද්දී තමයි ඉළන්දාරියා අයියා මුහුණ පා ඇති තත්වය දැන ගැනීමට ලැබුනේ. අන් සියළුම දෙනා සහය පළ කර ඇති බව මට අද දිනයේ බොහෝ බ්ලොග් අඩවි වල පසුගිය ලිපි පරීක්ෂා කිරීමේදී වැටහුනි. මමත් වචනයකින් හෝ සහයෝගයක් දක්වන්න ඕනේ කියල මටත් හිතුනේ ජීවිතයේ බොහෝ දේ ලැබිලත් ලැබුණත් අදටත් ඒ දේවල් මට අඩුවක් නැතුව තිබුණත් ජීවිතයේ විවිධ කාල පරිච්ඡේද වලදි බොහෝමයක් අවස්ථා වලදී මටත් අනපේක්ෂිත තත්වයන් බොහෝමයකට මුහුණ දීමට සිදුවුන නිසයි.

සමහර විට මගේ ජීවිත කතාව ඇසුවොත් අඩුම වයසකින් ජීවිතයේ විවිධ හැල හැප්පීම් වලට මුහුණදීපු කෙනා කියලා ඔබලා හිතන්නත් ඉඩ තිබේ. සමහර විට මම හිතන විදියට ජීවිතයේදී මුහුණ පාන්නට සිදුවන සිදුවීම් ගණනාවකට මේවන විටත් මම මුහුණදී අවසානයි. ඒ ඒ අවස්ථාවලදී විවිධ පුද්ගලයන් විවිධ ආකාරයෙන් අනපේක්ෂිත ලෙස උදවු කළ ආකාරයත් සමහර සමීපතමයින් මඟ හැර ගිය ආකාරයත් නොමැකෙන ලෙස මාගේ මතකයේ සටහන් වී තිබේ. ඒ සිද්ධීන් සෞඛ්‍යමය සහ ආර්ථික ගැටළු නොවූවත් සමහර විට ඒ දේවල් ඔය දෙකෙන් එකක් වගේ දෙයක් වෙනවානම් කෙසේ හෝ එය ගෙවා දැමීමට හැකියයි සිතුන අවස්ථාද තිබුණි.

එම නිසා මා මේ සටහන ඔබ වෙනුවෙන් තබමි. මිය යාම පහසුය නමුත් ජීවත් වීම අපහසුය. ජීවිතයේදී අපට පැන නඟින විවිධ ආකාරයේ ගැටලු වලට විසඳුම් සොයා ඒවා ජයගෙන ජීවත් වීම සැබෑ හපන්කමයි. මේ අවස්ථාවේදී අපද ඔබ වෙනුවෙන් කළ හැකි දෙයක් කරන්නෙමු. ජීවිතය ගැන හෝ ඔබගේ සෞඛ්‍ය තත්වය ගැන කිසිම ආකාරයකින් සිතනවාට වඩා එයත් ඔබට ජීවිතයේදී ලැබුන එක් අභියෝගයක් යයි සිතන්න.

ඒ අභියෝගය ජයගන්නට මමද අපද සයිබරයේද ඔබ වටා සිටින සැවොමද කරනා උපකාර සමඟින් කෙසේ හෝ එය ජය ගන්නවා යයි සිතන්න. කීමට පහසු මුත් එය කිරීමට අපහසුයයි මමද දනිමි නමුත් අභියෝගය වන්නේ එය කෙසේ හෝ කිරීමයි. ඔබට එය අනිවාර්යයෙන්ම කළ හැකි වනු ඇත. එය ඉර හඳ මෙන් විශ්වාසයි.ඒ කාර්‍යයේදී අප සැවොම ඔබ හා හිඳින්නෙමු.කන්දක් නැග්ගොත් පල්ලමක් හමුවන්නාක් මෙන් එකම දේ සෑම විටම එකම කෙනාට සිදුවන්නේ නැත. ඔබට කන්දේ නඟින්නට ඇත්තේ තව ටික දුරයි. ඔබගේ දිනුම් කණුවට ඇත්තේ තව ටික දුරයි. ඒ ටිකත් නොපසුබට වීරියෙන් මෙහෙමම යමු.

ජීවන වෘක්ෂයේ හැමදාමත් කටු ඇති වන්නේ නැත එහි මල් පිපෙන දවසක්ද එයි. ඒ දිනය අත ළඟය.
එදිනට සැම සමඟින් එක්ව සිනාසෙන්න ඔබට ශක්තිය ධෛර්‍යය ලැබේවා..!!
ඔබට නීරෝගී සුව සහ ජයෙන් ජය..!!

කැන්ඩි....



උඹලත් මගේ යාළුවොද..?




මගෙන් දේ අසාගෙන
මගෙන් දේ බලාගෙන
මගෙන් දේ ඉල්ලගෙන
මගෙන් දේ ඉගෙන ගෙන
මගෙන් බොහෝ දේ ඉටු කරගෙන
එක බත් පත බෙදා ගෙන කන
මටම මගේ වරදකට
උඹලාට නොවු වරදකට
දොස් කියන
ඔච්චම් කරන
උඹලාත් මගේ යහළුවොද..?

අද මා වටහා ගතිමි මෙය
දුරින් සිටිනා සතුරු දන
සතුව ඇති දුදන ගුණ
පරදයි උඹලාගේ ගුණ

එපා ඔය මිතුරුදම
තනිව හිඳිනෙමි මම

මිතුරුකම්
කෙලෙහි කම්
දත් එකෙකු හා මෙමම
පමණක්ම මිතුරු වෙමි
පමණක්ම සියළු දේ බෙදා ගමි
මින් මතුව..


කැන්ඩි....

Thursday, March 24, 2011

අපි කරන්න ඕනෙත් අනිත් අය කරන දේමද..?




ටිකක් හිතට හරි නැති වුනත් ඔන්න කල්පනා කර කර ඉන්න කොට මටත් ලියන්න මාතෘකාවක් මතක් වුනා.

මේකට පාදක වුන කතාව ඇති වුනේ පහුගිය දවසක පවුලේ ඔක්කොමත් එක්ක මමත් සහභාගි වෙච්චි වන්දනා ගමනකදි. වන්දනා ගමන ගියේ කොහාටද කියල කියන්න නම් ඕනී නැහැ කියලා හිතනව , ඒත් ගියේ රටේම ප්‍රසිද්ධ ස්ථානයකට. ඔතන රථගාලේ ඉඩ නැතුව ටිකක් එහාට වෙන්නට තියෙන ස්ථානයකතමයි අපි වාහනය නැවැත්තුවේ. ඉතින් ආපහු ආවම ගෙනිහින් තිබුන කෑම වගයක් කාලා ඉවර වෙලා ඒවා දාල තිබුන කවර ඒ කියන්නේ ඇසුරුම් විසි කරන්න ගියහම තමයි මේ ප්‍රශ්නය ඇති වුනේ. එම ස්ථානයේ වාහන නවත්වලා ආහාර අරගෙන ඒවා තැන තැන දමා ගොස් තිබුන අතර තරමක් අපවිත්‍ර වී තිබිණ.

ප්‍රශ්නය ඇති වූයේ මා අපගේ ඉවත ලන දෑ ඉවත නොදමා වෙනත්කුණුදමන ස්ථානයකින් බැහැර කිරීමට වෙනම කවරයකට දමා ගත් අවස්ථාවේදීය. මගේ ඥාතී සොහොයුරාගේ අදහස වූයේ අනෙකුත් පිරිසුත් එම ස්ථානයේම අප ද්‍රව්‍ය බැහැර කර ඇති නිසා අප පමණක් අපද්‍රව්‍ය එම ස්ථානයේ බැහැර නොකර ආපසු රැගෙන යා යුත්තේ ඇයිද යන්නයි. නමුත් කෙසේ හෝ අවසානයේ අකමැත්තෙන් වුවත් කරුණු පහදා දුන්පසු අනෙක් සියල්ලන්ම අප එසේ අනෙක් අය කළ මෙන් නොකළ යුතු බවත් අපද්‍රව්‍ය බැහැර කරන ස්ථානයකින්ම ඒවා බැහැර කළ යුතු බව පිළිගත් නිසා ඒවා ආපසු රැගෙන ආවෙමු. නමුත් මට මෙහිදී පැවසීමට වුවමනා වූයේ අනෙක් සියළුම දෙනා වැරදි දෙයක් අනුගමනය කළත් හරි දේ කුමක්ද කියා දැන ගෙනත් අපිත් ඒ දේම කළ යුතුද යන්නයි.

අද සමාජයේ බොහෝමයක් දෙනා දැන දැන වැරදි කරන්නේ මේ නිසයි. බොහෝමයක් පිරිසගේ ආකල්ප වල වෙනසක් කළ යුතු කාලයයි මේ. බොහෝමයක් දෙනා සිතන්නේ අනික් අයත් ඒ දේ කරනවා නම් මමත් ඒ දේ නොකළ යුත්තේ ඇයි යන්නයි. බොහෝමයක් දෙනා සිතන්නේ තමන් ගැන පමණය.බහුතරයක් දෙනා වැරදි කළ පමණින් දැන දැන තමනුත් වැරදි කළ යුතුද යන්න නුවණින් සිතා බලා කටයුතු කරනවා නම් මෙවන් ප්‍රශ්න පැන නඟින්නේ නැත.


හරි දේ දැනගෙනත් වැරදි අනුන් කරන නිසා තමනුත් වැරදි දෙයක් කළොත් තමන්ටත් කවදා හරි වෙනත් කෙනෙක් කරන්නේ ඒ දෙයමයි කියා සිතාගෙන කවුරුත් කටයුතු කරනවා නම් වඩා හොඳය. මන්දයත් තමන්ට වරදක් සිදු වූ කල්හි ඒ වෙනුවෙන් පිහිට වීමට අනුන් කරනවා ඒ නිසා මමත් කරනවා යයි කියා සිතන ආත්මාර්ථකාමී පුද්ගලයින් පිහිටට පැමිණෙන්නේ නැති නිසාය.


කැන්ඩි....

Wednesday, March 23, 2011

පූසාගේ අවසන් ගෞරව දැක්වීම..



ඇසින් දුටුවේ නැත්නම් විශ්වාස නොකරන අන්දමේ අන්දමේ අත්දැකීමකට මම අද උදෑසනම මුහුණදීපු නිසා ඒ ගැන මම සටහනක් තබමි.

සියඹලාගොඩ ආච්චි කියන්නේ අපේ අසල්වැසි නිවසක හිටපු දරුවෝ පස්දෙනෙකුගේ අම්ම කෙනෙක් . සෑම පසළොස්වක පෝයදිනකටම වගේ සිල් ගත්ත මේ ආච්චිට දාන මාන පිංකම් ආදියට සහභාගී වෙන්න තිබුනේ පුදුමාකාර ඇල්මක්. ඒවගේම පාරේ ඉන්න සත්තුන්ට කන්න ගෙදරට එන අසරණ සත්තුන්ට කෑම දෙන්නත් මේ ආච්චි දැක්වූයේ හරිම කැමැත්තක්.

මේ ආච්චි සොහොයුරියන් තුන්දෙනෙකුගේ වැඩිමහල් සොහොයුරිය. තමන්ගේ සහෝදරියන් එක්ක කාලයගත කරන්න මේ ආච්චි දැක්වූවෙ පුදුම කැමැත්තක් නිසා තමන්ගේ සහෝදරියන්ගේ නිවෙස්වලට ගිහින් දින දෙක තුනක් නතර වෙලා ඉඳලා ආපහු ගෙදර එන එක මේ ආච්චිට සාමාන්‍ය දෙයක්. පහුගිය සෙනසුරාදත් මේ ආච්චි තමන්ගේ සහෝදරියකගේ ගෙදරට මේ විදියට යන්න ඕනේ කියල කියල තිබ්බ නිසා ගෙදර අය එහාට ගෙනිහින් ඇරලවා තිබුනි.

ඉරිදා උදෑසන සෑදුන හදිසි හෘදයාබාධයක් නිසා මේ ආච්චි මියගොස් තිබුනි. අද අවසන් කටයුතු නිසා මමත් අසල්වැසි මේ අච්චිට අවසන් ගෞරවය පුදකරන්න මේ නිවසට ගොඩ වැදිලා දේහය තබා තිබූ ස්ථානයේ මඳ වේලාවක් රැඳි සිට් අතර තුර තමයි මේ අපූරු සිඳුවීම මගේ නෙත ගැටුනේ.

නිවසට එක්වරම දුවගෙන ආපු බළලෙක් එක්වරම දේහය අසලට විත් මහ ශභයක් නඟමින් කෑගසා ,ටිකවේලාවක් එසේ හිඳ ඉන්පසුව දේහය වටා එක් වටයක් ගොස් එක්වරම හිස අසලින් දේහය තබා තිබූ පෙට්ටියට ගොඩ වුනි. අනතුරුව මෘතදේහයේ මුහුණ අසලටම විත් හිස පහත් කර මහා ශබ්දයක් නඟමින් නවතත් කෑගසා පැන දිව්වේය. මෙ අපූරු සිදුවීම දුටුවේ නිවැසියන් සහ එවේලේ එම ස්ථානයේ රැඳි සිටි මා සහ මගේ මව පමණි. පූසාගේ අමුතු හැසිරීම නිසාම කවුරුවත් ඌ පෙට්ටියට නැඟුන අවස්ථාවේ එළවීමට උත්සාහ නොකළෝය. නිවැසියන් කී පරිදි අසල්වැසි නිවෙස්වලට නිතරම යන එන මෙම බළලාට සෑම උදෑසනකම මේ ආච්චි කෑම සහ තමන්ගේ උදෑසන තේ කෝප්පයෙන් අඩක් පමණ දීමටත් පුරුදු වී සිට ඇත.

තමන්ගේ ඥාතියාට අවසන් ගෞරව දක්වන්නට තමන්ගේ රාජකාරිය නිසා නොපැමිණෙන මිනිසුන් සිටින සමාජයක තිරිසන් ආත්මයක උපත ලැබ ඇති මේ සත්වයා කෘතඥ වූ අයුරු දැක මගේ දෑසටත් කඳුළක් මෝදු විය.

කැන්ඩි....

Sunday, March 20, 2011

බලාපොරොත්තු ගොන්න....





විභාගයත් ඉවරයි
ව්‍යාපෘතිත් ඉවරයි පැවරුමුත් ඉවරයි
ලියන්න පෙර මඟ බලා හිටියත්
ලියන්න හිතෙන්නේ නැති ගානයි
දහසක් දේ කරන්න හිටියත් දහසක් දේ හිතන් හිටියත්
කරන්නට එකම දෙයක් වත්
හිතට එන්නේ නෑ..
කාට කියන්නද කුමක් කරන්නද..?
හිස් මනසින් අහස බලා හිඳිමි මම
වහින්න සිටි අහසේ වළා පෙළ
වැස්ස වළාහක දෙවිඳුන් හොරකම් කරලා..


කැන්ඩි....