Thursday, August 5, 2010

ඇයද මිනිස් දුවකි.



කැන්ඩි මේ දවස් ටිකේ ව්‍යාපෘති වැඩ වගයකට ටිකක් කාර්‍යබහුල වෙලා නිසා ටිකක් විතර වෙලාව මදි අනිත් වැඩ කටයුතු කර ගන්න.ඒක එහෙම වුනත් කැන්ඩි හිතුව මේක නම් ලියන්න, ඒ හිතට ටිකක් කල කිරීමක් වගේ සිතුවිල්ලක් ඇති වුන නිසා.ළඟදී දිනයක කැන්ඩි කැන්ඩිගේ අම්මත් එක්ක ළඟම ඥාතියෙකුගේ ගෙදර බණ පින්කමක් තිබිල බණ අහන්න ගියා.

ඉතින් මේ ධර්ම දේශනාවට වැඩම කළේ ප්‍රදේශයේ ප්‍රසිද්ධ හිමි නමක්.උන්වහන්සේ කවිබණ දේශනා කරන්න ඉමහත් ප්‍රසිද්ධියක් උසුලපු හිමිනමක්.ධර්ම දේශනාවේ මාතෘකාව වුනේ කළු ගඟේ ඛේදවාචකය.කවිබණ අව්සාන වන තෙක්ම මෙම කවි බණ මඟින් කියවුනේ එම සාපරාධී මවට ඇනුම් බැනුම් සහ ගැරහුම්ය.
ඔන්න මම මාතෘකාවට පිවිසුණා.

මුලින්ම කියන්න ඕනේ මේ ලිපිය ලියන්නේ මෙම මවගේ පැත්ත අරගෙන නොවන බවත් මමද එක හෙලාම මෙම මවට මෙම දරුවා ගඟට විසි නොකර අඩුම තරමේ මෙම දරුවාගේ පණ නල රැකෙන පරිදි කිසියම් ස්ථානයක දමා ආවානම් මීට වඩා හොඳ බවය.නමුත් අපි ඇයට බනින්නට පෙර මෙම කරුණු ගැනත් සිතා බැලුවොත් හොඳයි කියා මම සිතුවා.එම නිසා එම කරුණු මම ඔබේ ඉදිරියේ තබන්නම් ඒවා සාධාරණීකරණය කරන ලෙස මම නොඉල්ලමි.නමුත් මෙම කරුණුවලද යම් සත්‍යතාවක් ඇතැයි මගේ මනසට වැටහෙන හෙයින් මම මෙම කරුණු එකින් එක ගෙන හැර දක්වමි.

මාධ්‍ය වලින් මම දුටු පරිදි ඇසූ පරිදි මෙම මව මෙම දරුවා ගඟට විසි කළ ස්ථානයට පොලීසිය විසින් ගෙන ගිය අවස්ථාවේදී ඇයට ගල්මුල් ගැසීමට විවිධ පිරිස් ඉදිරිපත් වූ බව දැන ගතිමි.නමුත් ඇය පවසා තිබුණ පරිදි ඇය දිනපතා බඩගින්න නිවා ගන්න යමක් සොයා ගැනීමට කළුතර බෝසමිඳුන් අසලට යන අවස්ථා වලදී එනම් සිඟමන් යදින්න යන අවස්ථාවලදී මෙම මවට මෙම දරුවා සමඟ බඩගින්න නිවා ගැනීමට එකදු තම සන්තක සතයක් පරිත්‍යාග කළ අයෙකු සිටියේද යන්න මට නැඟුන එක් ගැටළුවකි.

මෙවන් අවස්ථාවලදී මෙම ඈයින්ට ගල්මුල් ප්‍රහාර දෙන්නට පිරිස් ඉදිරිපත් වූවත් මෙම අයගේ බඩගින්න නිවා ගන්න සතයක් දෙන කෙනෙකු සොයා ගන්න ලැබෙන්නේ උගහටය.තවද මෙම මව එම අවස්ථාවේදී සිටි මානසික තත්වය කුමක්ද යන්න අපි නොදනිමු එය දන්නේ ඇය පමණි.ඇය දීර්ඝ කාලයක් තිස්සේ යම් මානසික අසහනකාරී තත්වයකින් පෙලුනා විය හැක.ඇයට කිසියම් මානසික රෝගී තත්වයක් තිබුනාද විය හැකිය.අපි එයද නොදනිමු.(නමුදු එම විදියේ තත්වයක් මෙතෙක් ඇයට තිබුනා කියා මගේ දැනුමේ තරමට කිසිම මාධ්‍යයකින් වාර්තා කර නොමැත.)

ඇයට තිබූ ආර්ථික අපහසුකම් දන්නේ ඇය පමණි.මාධ්‍ය වලින් වාර්තා වූ ලෙසට ඇයගේ සැමියා දරුවා රෝහලේ සිටියදී පැමිණ සාක්ෂි දුන්නත් ඔහු ඇයව හැර දමා ජීවත් වී ඇත.ඔබ අප සැම කෙසේ මෙම අප ලංකාද්වීපය කෙසේ වර්ණනා කළත් මෙම සමාජ මට්ටමේ කාන්තාවකට සමාජයේදී මුහුණ දීමට සිදුවන තත්ව ඉතාමත් කටුකයැයි මා අමුතුවෙන් ඔබට කීමට උවමනා නැත.එවන් කාන්තාවකට අනෙකුත් එම වටාපිටාවේ සිටින පිරිමින්ගෙන් සිදුවන අතවර පිළිබඳව පැහැදිලි අවබෝධයක් ඔබට දිනපතා පළවන පුවත්පතකින් ගත හැකිය.

තවද මෙම කාන්තාව මෙම දරුවා පිළිබඳව ඔහු ඉපදුන දිනයේ පටන් සැබෑ මාතෘ සෙනෙහසකින් සිටියාද යන්නට අපට සාක්ෂි ඇතුව කීමට නොහැක. මන්ද යත් මෙවන් සමාජ පසුබිම්වල කාන්තාවන් තමන් අකමැත්තෙන් ගැබ්ගන්නා අවස්ථා අනන්ත අප්‍රමාන ඇත.එවන් පසුබිමක ඉපදෙන දරුවා කෙරෙහි දාරක ස්නේහයකට වඩා එම දරුවා දකින විට එම මව් වරුන්ට එම දරුවා ඇති වීමට ශුක්‍රාණුව දායක කළ තැනැත්තා කෙරෙහි වූ වෛරය ඉස්මතුවී එම දරුවා තමාගේ වෛරක්කාරයෙකු ලෙස පෙනිය හැක.එවන් අවස්ථා අනන්ත අප්‍රමානව දැකිය හැක.එයට වරද එම මවගේද දරුවාගේද නොවූවද එමඟින් ඍජුවම මෙම දරුවාද මවද අනන්ත අප්‍රමාණ ලෙස දඬුවම් ලබයි.මෙවන් අවස්ථා අතීතයේද වාර්තා වී ඇත. මෙම මවටද එවන් කරුණක් මෙය සඳහ බලපා ඇතියි යන්න අපට කිව නොහැකි නමුත් එය එසේ නොවෙයි යන්න කීමටද අපට සාක්ෂි නොමැත.එය දන්නේද ඇය පමණි.

තවද ඇය කී නොකී අප නොදන්නා අපට අනුමාන කළ හැකි හේතු ගණනාවක් ඇයට තිබිය හැකිය.
නමුත් මම නැවතත් කියන්නේ ඇය මෙම දේ නොකළානම් හොඳ බවය.නමුත් මෙය දැන් සිදුවී හමාරය.මෙහි වගකීම ඇයමත පමණක් පවරා ඇය මරනීය දණ්ඩනයට හෝ ජීවිතාන්තය දක්වා සිර දඬුවමකට යටත් කළ පමණින් මෙය අපට විසඳිය නොහැක.ඇය මෙම තත්වයට පත් වූයේ ඇයගේ වරදින්ම පමණක් බව අපට පැවසිය නොහැක.ඇයද සමාජයේ විවිධ ආකාරයෙන් සිදුවන අපරාධයක අපචාරයක ගොදුරක් වූවා විය හැකිය.එයට ඇයට පමණක් දෝෂාරෝපණය කිරීම ශිෂ්ඨාචාර සම්පන්න ජීවිතයක් ගත කරන මිනිසුන් වශයෙන් අපට සිදු කළ නොහැක.මන්දයත් ඇය මේ සමාජයේ විෂමාචාර වල තවත් ගොදුරක් මිසක මේ සියල්ලටම අකුරක් නෑර වගකිව යුත්තී ඇය නොවන නිසාය.තවද ඇයට සිදුවිය හැකි පෙරකී තත්ව ඇය උපන් පරිසරයෙන් ඇයට දායාද වූ ඒවා මිසක එම තත්වයන් ඇය විසින් ඇති කරගත් ඒවා නොවන නිසාය.
විශේෂයෙන්ම මිනිසුන් වශයෙන් අප එය වටහා ගත යුතුය.

මේ වරද සම්පූර්ණයෙන්ම ඇය පිට පවරා අපට නිදොස් වීමට නොහැක.මේ සමාජයේ විෂමාකාරතත්වයන් නිසා ඇයට මුහුණ පෑමට වූ මෙම තත්වයට අඩුවැඩි වශයෙන් වක්‍රාකාරයෙන් දායක වී ඇති නිසාය.අප කළ යුත්තේ ඇයට නිග්‍රහ අපහාස කිරීම නොව මිනිසුන් වශයෙන් වැරදුන තැන කොතනද යන්න සොයා බලා ඒ වරදම තවෙකෙකුට සිදු නොවීමට වග බලා ගැනීමය.හේතුඵල වාදයට අනූව අපට යමක් සිදුවීමට හේතුවද එය සිදු නොවීමට වග බලා ගැනීමද කළ හැක.

ඔබ මුහුදුකරයට ගියහොත් ඔබට එම වෙරළාසන්න නිවෙස් වල සිටින කාන්තාවන් පිළිබඳ සැබෑ තතු දැන ගත හැක.මෙයවෙරළාසන්න ප්‍රදේශ වල පමණක් නොව විවිධ පෙදෙස් වල වර්තමානයේ සුලභ දසුනකි.මා උදාහරණයක් ලෙස මෙය ගෙන හැර දක්වමි.බොහෝමයක් වෙරළාසන්න පෙදෙස්වල සිටින්නේ අඩුවයස් මව්වරුන්ය.තවද මොවුන්ට දරුවන් හතර පස් දෙනා බැගින්ද සිටියි.මොවුන්ට මෙම දරුවන් නඩත්තුවට තබා එදා වේල පිරිමසා ගැනීමට තරම් ආදායමක් නොමැති තරම්ය.මෙම දේවල් වලට වග කිව යුත්තන් වන්නේ කවුද කියා සොයා බලන්න කිසිවෙකු නැත.මොවුන්ට නිසියාකාර අධ්‍යාපනයක් ලැබී නැත හෝ මොවුන්ව කිසිවෙක් ඒ සඳහා යොමු කර නොමැත.නිසියාකාර පවුල් සංවිධාන ක්‍රමයක්,නිසියාකාර ලිංගික අධ්‍යාපනයක් මොවුන් සතුව නැත.සදාචාර සම්පන්න පුරවැසියන් වශයෙන් අපට ඔවුන් විසින් ඒ දේ ලබා ගන්නේ නැතැයි කියා අත පිස දමා ගන්නට බැරිය.

රටේ බහුතරයකට හිමිවන අධ්‍යාපනය මොවුන්ට ලැබී නැත.අඩු තරමේ දරුවකු ලැබෙන්න රෝහලකට ඇතුලත් වන අවස්ථාවකවත් මොවුන්ට මේ දැනමුතුකම ලැබී නැත.තවද මෙම සිද්ධියෙන් පසුව මාධ්‍ය මඟින් කියවුන පරිදි තමන් හට හදා වඩා ගන්නට බැරි දරුවන් එම නගරයේ පොලිසිය හරහා හෝ ළමා හා කාන්තා කාර්‍යාංශය මඟින් පරිවාස භාරයට පත් කිරීමේ හැකියාව තිබී ඇත.නමුත් අවාසනාවට මෙම කරුණුකාරණා රටේ මේ දැනමුතුකම අවශ්‍ය පුද්ගලයන් වෙත සන්නිවේදනය වී නැත.

මොවුන් සතුව මෙවැනි දැනුමක් තිබේනම් මෙවැනි දේ සිදුවීම බොහෝ දුරට වලක්වා ගත හැකිය. තවද එම පුද්ගලයන් හට ජීවත් වීමට කිනම් හෝ වෘත්තීය අධ්‍යාපනයක් ලබා දිය යුතුය.ඔවුන්ට දිවිගැටගසා ගැනීමේ මාර්ගයක් තිබුනා නම් මෙසේ ව්නොවීමට බොහෝ ඉඩකඩ තිබුනි.ඇය කළ දේ මම අනුමත නොකළත් ,ඇය කළ දෙයට නැවත නැවත ඇයට බැණ අඬගසනවාට වඩා ඇය වෙනුවෙන් ඇගේ අනෙක් දරුවන් යහපත් පුරවැසියන් කිරීම අප සතු යුතුකමකි.මෙම සිදුවීම මතක් කර මාතෘ ගුණ වැඩි කර ගැනීමට ධර්මය දේශනා කළානම් වඩා හොඳ යයි මට අවසානයේ සිතුනි.මන්දයත් ඇයට බැන අඬ ගැසීමෙන් ඇයගේ වරද නිවරද නොවන නිසාත් අර මියගිය දරුවාගේ සිරුර නැවත ප්‍රාණවත් වීම මෙමඟින් සිදු නොවන නිසාය.

අප මහා බුදුරජාණන්වහන්සේ ධර්මය දේශනා කිරීමේදී අතීත කතාව සිහිපත් කරන ලද්දේ එමඟින් වැරදුන තැන පෙන්වාදී වරද නිවැරදි කිරීමටය. එසේ නැතුව එම චරිතවලට බැණ අඬගසා ශ්‍රාවකයා ප්‍රකෝප කිරීමට නොවේ.ප්‍රසිද්ධ හිමිනමකගේ බණ අසා සිත ධාර්මික වූවාට වඩා සිදු වූයේ හිමි නම කෙරෙහි සිත කළ කිරීමය. මන්දයත් ඇයත් මනුෂ්‍ය දුවක් නොව තිරිසන් යක්ෂනියක ගණනට දැමූ බැවින්ය.මරණීය දණ්ඩනයකට ලක් වූවෙක්ට වුවද තමන් වෙනුවෙන් කාරණා ඉදිරිපත් කිරීමට හැකියාවක් ඇත.ඇයට එම අයිතියද අහිමිය.මෙම හිමි නම මෙම කවිබණ දේශනා කරනා සෑම විටම ඇය යනින්නකය.

තවද ඇයට සිදු වූ මෙම සිදුවීම නැවත නැවත බැන අඬගසනවාට වඩා යම්කෙනෙකුට උපදෙසක් දීමේදී ඔබ මේ වරද නොකරන්න යයි පැවසීම වඩා අගනේ යයි කීම අපද තවත් මනුෂ්‍යයන් වශයෙන් සිදු කළ යුතු බව මම තරයේ විශ්වාස කරමි.මන්දයත් මිනිසාගේ පරම යුතුකම මිනිසාට සේවය කිරීම වන නිසාය.


මෙය මගේ අදහසයි.ඔබේ අදහසත් විවෘතව පවසන්න.සංවාදයට විවෘතයි.

කැන්ඩි..


5 comments:

වටිනා මාතෘකාවක්.පිට ඉන්න එවුන් මොනා කීවත් තුවාලෙ තියෙන එක නෙව ඒකෙ වේදනාව දන්නේ.......ඇඟිලි දික් කොරන්න නම් ඕනෑ තරම් එවුන් ඉඳියි...ඒත් අත හිත් දෙනවද එකෙක්.......ගබ්සාවට විරුද්ද්ව මහලොකුවට බණ කියනවා.....අවජාතක එකෙකුට තියා මිනිහා මැරිච්චි ගෑනියෙකුටවත් ගෞරවයක් ඇතුව සලකනවද අපි...මොනවා වුනත් ඔඋඅ කතාව හින්ඳ මීඩියා කාරයෝ ටිකනම් ගොඩගියා....

මමත් ඔබේ අදහස සමග එකගයි මචං.හැබැයි මුලින්ම කියන්න ඕනෙ මම ඒ අම්මා කරපු වැඩේ අනුමත කරන්නෙ නෑ වගේම දැඩිව හෙලා දකිනවා.මොකද දරුවව ඇයට බරක් වුණානං දරුවගෙ ජීවිතේ ආරක්ෂා වෙන විදිහෙ දෙයක් කරන්න තිබුනා.

ඒ වගේම මේ සිද්දියෙ වගකීම උඹ කිව්වා වගේම ඇයට විතරක් බාර දීල අත හෝදගන්න අපිට බෑ.සමාජයක් විදිහට අද අපි ඉන්න තැන පෙන්නුම් කරන එක සිද්දියක් විතරයි මේක.

අද අපේ රටේ ලිංගිකත්වය කියන්නෙ කුණුහරුපයක් ගානට වැටිලයි තියෙන්නෙ.වැඩිහිටි පරම්පරාවෙන් බාල පරම්පරාවට අවශ්‍ය ලිංගික අධ්‍යාපනය ලැබෙන්නෙ නෑ.

ඒ වුණාට අපේ රටේ බාල වයස්කාර කෙල්ලො කොල්ලො රටේ ලෝකෙ තියෙන හැම කුපාඩි වැඩේම කරනවා නොවැ.මම ඒක වැරදියි කියල කියන්න යන්නෙ නෑ.ඒත් ආරක්ෂාකාරී ලිංගික හැසිරීම්, උපත් පාලනය වගේ දේවල් ගැන ඒ අයට හොද අවබෝධයක් තියෙන්න ඕනෙ.

නැත්තං ඉතිං වෙන්නෙ අර උඹ කිව්වා වගේ ළමයි හතර පහ ඉන්න බාල වයස්කාර අම්මලා බිහි වෙන එක තමයි..

අගනා ලිපියක්...

අද ලංකාවේ බොහෝ අංශ දියුණු කිරීමට අවශ්‍ය ප්‍රතිපාදන වගේම යටිතල පහසුකමුත් ඇටි තරම් තියෙනවා. කොටින්ම සන්නිවේදන පහසුම මින් ප්‍රධාන තැනක තියෙනවා. ඒත් මේ කියල තියෙනවා වගේම තියෙන සම්පත් නිසි ප්‍රයෝජනයට ගන්න තරම් දැනුමක් නැටි කමක් නිසි මග පෙන්වීමක අඩුපාඩුවත් නිසා අද අපේම මිනිසුන් බොහෝ අපහසුතා වලට පත් වෙලා තියෙනවා. අපිට එක පුද්ගලයෙක්ට ඇඟිල්ල දික් කරන්න බෑ. මොකද මේ දේවල් නිසි පරිදි වුණා නම් මෙහෙම නොවෙන්න ඉඩ තිබීම නිසා. අනික බේබදු කමට ඇබ්බැහි වුණ කෙනෙක් ඉන්න පවුලක ආර්ථික මට්ටම ඉතාමත්ම ශීග්‍ර මට්ටමකින් පහල යන්නේ බලා ඉද්දිමයි. එහෙම පවුලක දරුවන් හතර දෙනෙකු රැක බලා ගන්න තරමට තියා පාන් කියා ගන්න බැරි අගහිඟතා ඇති වීම සාමාන්‍ය දෙයක්. මේ තත්ත්වය මුඩුක්කු වාසීන්ට වගේම ගම්බද ප්‍රදේෂ වල නිරන්තරයෙන් දැක ගන්න පුළුවන්. මේ දේවල් ගොඩ නගන්න නම් හැමෝගෙම උදව් උපකාර අවශ්‍ය වෙනවා. අද ඒ අම්මා බැනුම් අහයි. කවදා හරි අපේ දරුවන්ටත් අපිට එහෙම පාරේ විසික් කරලා යන්න සිද්ධ වෙන ආර්ථික අගහිඟයක් අපේ ජීවිත වල ඇති වුණොත් එදාට අපිටත් ඒ අම්මා ලැබූ බැනුම් අහන්න වේවි. මේ වගේ දේවල් වලින් මාධ්‍ය ඇති තරම් බඩ පුරවා ගැනීම බොහෝ ඈත අතීතයේ ඉඳලම පැවතෙන්නක් නේ. ඒ ගැන කථා කිරීම අනවශ්යයි. ආකල්පමය වෙනසක් අනිවාර්යෙන්ම අවශ්‍යයි. සුභ අනාගතයක් ලබන්න පුළුවන් ලේබල් එකකින්වත්, බැනර් එකකින්වත්, හිට්ලර් වරුන්වත් රට කරවීමෙන් නෙවෙයි. මේ රටේ ගොඩ නැගිල තියෙන නීති පද්ධතිය මේ රටේ ස්වෛරීත්වය ආරක්ෂා කරන්න හොඳටම ප්‍රමාණවත්. ඒත් ප්‍රශ්නේ ඒවා කිරාවට නොනැගීමයි. නැති වුණ දරුවාගේ ජීවිතයට වග කිව යුත්තේ ඒ මවගේ අසරනකම විතරක්ම නෙවෙයි, අධ්‍යාපනය හිඟ කම වගේම දරිද්‍රතාවයත්, මිනිසුන්ගේ ආකල්පමය පසු බෑමත්, අදාල අංශ නිසි ලෙස ක්‍රියා නොකිරීමත් තමා. ඒ නිසා ඔය වගේ අවාසනාවන්ත දේවල් නැවතත් සිදු වීම අපිට වලකන්න අමාරුයි. අපි කවදාවත් මෙවන් විපත් දකින්නවත් ප්‍රාර්තනා කරන්නේ නෑ. ඒත් ඒ දේවල් වල සීමවකුත් තිබිය යුතුයි. මාධ්‍ය වල නොකී පමණට අනාවරනය නොවුණු දුක්ඛිත කතා තවත් මේ රටේ හැංගිලා තියෙනවා හැම අස්සක මුල්ලකම. ඒ අසාධාරණකම් වලට නීතියෙන් පිළිසරණක් නොලබාම අසරණයා අන්ත අසරණභාවයට පත් වෙන සමාජ පරිසරයකුයි ගොඩ නැගිලා තියෙන්නේ. මීට හේතුවත් අර මුලින් කීව සන්නිවේදන දුර්වලතා වගේම අධ්‍යාපනික අඩුලුහුඬු කම්. මේ හැම දෙයක්ම ගොඩ නැගුණු රතක් දකින්න සාක්ෂරතාව සියයට අනූවක්ය කියල පම්පෝරි ගහන උදවිය ඉන්න තාක් කල් ඉඩක් ලැබෙන එකක් නෑ.

http://teedutulowa.blogspot.com/2010/08/blog-post_05.html

@ගඩොල් ,හේමලයා,ටී
ඔබේ අදහස් වලට ස්තූතියි....

Post a Comment