Thursday, December 30, 2010

ඒ අම්මාගේ හැටිය....




"ඒ කාලේ ඉඳන්ම ඔය මිනිස්සු සහෝදරයෙකුට වගේ පුතාලගේ තාත්තට සැලකුවේ ඒකාලේ පුතාලගේ තාත්තට රස්සාවෙන් තිබුණ තත්වය නිසා....
නැත්නම් ඒ කාලෙත් අයියලයි මල්ලිලයි ඔක්කෝම කළේ තාත්තාට ඊරිසියාව..
තාත්තා මොකක් හරි අළුත් දෙයක් කරන්න හැදුවම හැම දේකටම සහෝදරයෝ කියල හිටිය ඔය අය කළේ කෙනෙහිළිකම්
ඒ කාලේ සීයා තාත්තට ගොඩාක් ආදරෙන් හිටියා කියලත් ඔය සහෝදරයන්ට හරිම තරහවක් තිබුණ..
පුතා උපන්නම සීයා දොලේ වත්ත පුතාගේ නමට ලිව්ව එකට ඔය සහෝදරයෝ හරියට බැන්න..
ඒ කාලේ සීයගෙන් අහල තිබ්බ අපේත් ඉන්නේ දරුවෝ නෙවෙයිද කියලත්..?
ඒත් පුතාලගේ තාත්තා,ඔය ලොකු තාත්තගේ පුතාට ඉඳුල් කට ගාන වෙලාවේ ඇල් වී ඕනේ වෙලා කියලා මුළු ගම පුරාම ම්නිස්සු දම්මවල ඇල්වී තියෙන ගෙදරකින් සල්ලි දීලයි ගත්තේ..
පුතාලගේ තාත්තට සත පහක්වත් ඔය සහෝදරයෝ දීල නැතත් පුතාලගේ තාත්තාගෙන් ඔය අය සැරින් සැරේට ඉල්ල ගත්තුවා අදටත් මට මතකයි..
සහෝදරයොනේ කියල මමත් කවදාවත් තාත්තට ඕවා ඉල්ල ගන්න කියල බල කළේ නැහැ..
පුතා දන්නේ නැහැ තාත්ත නැති වුනාම සහෝදරයගේ මරණයටනේ අපි මේ ආවේ කියලා එන මනුස්සයෙකුට දෙන්න කියලා පාන් ගෙඩියක්වත් ගෙනිච්චේ නැහැ ඔය මිනිස්සු..
මට අදට වගේ මතකයි පුතාගේ තාත්ත නැති වෙච්ච වෙලාවේ ඔය ලොකු තාත්තා ඇවිල්ල කිව්වේ අපි වියදම් කරන්න ඕනේ නැහැනේ මල්ලි ඉතුරු කරල තියෙනවනේ,අනික තාත්තත් වැඩිපුර දේපල දුන්නේ මල්ලිටනේ කියල..
ඉන් පස්සේ පුතාලගේ තාත්තගේ අර්ථසාධකය ගන්න ගියාම අපි ගමේ හිටිය නැති නිසා ලිපිනය දීල තිබ්බේ බාප්පගේ ගෙදර එක,ඒකට ආපු ලියුම් කියුම් ටික ඔක්කෝම හංගගෙන ඔය මිනිස්සු කිව්වේ මෙහාට ලියුම් හම්බ වුනේ නැත කියල..
ඉන්පස්සේ ඒ කන්තෝරුවෙන් ලියුම් වල දින අහගෙන මම තැපැල් කන්තෝරුවෙන් ඇහුවම මට දිනත් එක්ක සටහන් පෙන්නුව පුතාලගේ බාප්පා ලියුම් අත්සන් කරලා භාර ගත්තයි කියලා..
ඔය මිනිස්සු ඉස්සර ඉඳන්ම අපිට කළේ ඔහොමයි..
ඕවා අද ඊයේ වෙච්චි දෙවල් නෙවෙයි."

අම්මා මේ දිග හරින්නේ වසර තිහක පමණ අතීතයයි..

මගේ සීයාගෙන් පියාට නීත්‍යානුකූලව උරුම වූ ඉඩමක තිබූ පැරණි ගසක් දිරාගොස් මාර්ගයේ විදුලි රැහැනකට හේත්තු වී තිබු නිසාවෙන් මමත් අම්මාත් ලීමෝල් හිමියෙකු ලවා එම ගස එමස්ථානයෙන් ඉවත් කර ගත්තෙමු.ඒ අවස්ථාවේදී මගේ පියාගේ සහෝදරයන් සහ ඔවුන්ගේ දරුවන් එම ඉඩම් අපට අයත් නැතැයි කීමට ඉදිරිපත් වුණි.මගේ පුදුමයට කාරණය වූයේ වැලිකෙළියේ පටන් සහෝදරයෝ ලෙස සිටි මගේ පියාගේ සහෝදරයන්ගේ දරුවන් පවා මේ තත්වයට පත් වීමය.මේ පිරිස අතර වෛද්‍ය වරයෙකුද සිටියේය.

තමාගේ දේ රැකුමට අනුන් එනතෙක් රැඳීමට මසිත මට ඉඩ නොදුනි.සිතේ තිබූ කෝපය නිසාවෙන් වැඩිහිටියන්ගේ වැඩිහිටි කමද අමතක වූ මම එදා ඔවුනට බැන එලවා ගතිමි.තවත් ඔවුන් රැඳී සිටියේ නම් කෝප වූ මගේ සිත මා ලවා ඊට වඩා දරුණු දෙයක් කිරීමටද ඉඩ තිබුණි.

මා එසේ හැසිරෙනු දුටු අම්මා එදා කීවේ "පුතා ඔයදේවල් වලට මොකටද කෑ ගහන්න ගියේ..? මම ඉන්නවනේ ඒවට කතා කරන්න.ඒ පුතාගේ තාත්තගේ සහෝදරයෝ කියලා මතක තියා ගන්න.පුතා තාත්තට සලකනව වගේ තමයි ඒ අයටත් සලකන්න ඕනේ.එදා නිවසට පැමිණි මසොයුරුද මා අනුමත කළ නිසාවෙන් අම්මා තව දුරටත් මෙසේ කීවාය. ඔය මිනිස්සුන්ට කරන්න පුළුවන් දෙයක් නැහැ.ඔය දෙන්න කලබල නොවී ඉන්න .ඒ පුතාලගේ තාත්තගේ සහෝදරයෝ.කැලේ තියෙන ගහකට අපි මොකටද ඒ අයට බනින්නේ.ඇති වෙනවා නම් ගන්න කියන්න.පුතාල ඕවට රංඩු සරුවල් ඇති කරගන්න ඕනේ නැහැ.ඒ අයට ඕවට අයිති කර ගන්නත් බෑ.ඕවා සීයා පුතාලගේ තාත්තට දීපු දේවල්.ඒගොල්ල කෑගැහුවට කරන්න පුළුවන් දෙයක් නෑ.ආයෙත් ඕවට ඔය දෙන්නම ලොකු තාත්තට බනින්න කෑ ගහන්න යන්න එපා.ඒ පුතාලගේ තාත්තගේ සහෝදරයෝ."

"ඔය මිනිස්සුන්ගේ මෝඩ කමට ඔය දේවල් කළාට කවද හරි ඔය මිනිස්සුන්ට තේරෙයි තමන් වැරදියි කියල.තමන් කර ගන්න දේවල් වල ඵලවිපාක තම තමන්ට.කරන පව් පින් තමන්ට.අපි මොකටද ඒ ගොල්ල එහෙම වුනයි කියල සත්තු වගේ ඕවට කෑ ගහන්න යන්නේ.පුතාල පාඩුවේ ඉන්න ඒ ගොල්ලන්ට ඇති වුන දවසක ඕවා නවත්තයි."
අම්මා අපට කිව්වේ එහෙමය.ඒ අම්මාගේ හැටිය.

ඉන්පසුව කිසිදිනෙක මඟ තොටකදීවත් මම ඔවුන් සමඟ සිනා නොවුනෙමි.කතා නොකළෙමි.මගේ සොයුරුද එසේම විය.ඉන්පසු කිසි දිනෙකවත් ඔවුන් අපගේ ඉඩම් වලට ආරවුල් ඇති කිරීමට පැමිණියේ නැත.නමුත් ඔවුන් හා අප අතර පාරේ මඟ තොටදී දකින සිඟමන් යදින්නෙකු හා අතර ඇති තරම්වත් සුහඳතාවක් නොවිනි.

පසුගිය දිනෙක මාගේ උපන්දිනය වූ නිසාවෙන් අප තිදෙනා රැයක පන්සල් ගියෙමු.බුදුන් වැඳ අප විහාරයෙන් එළියට පැමිණෙත්ම ඒ ඉදිරියට ආවේ මගේ පියාගේ වැඩිමහල් සහෝදරයාය.ඒ නමට නම් අපගේ ලොකු තාත්තාය.අප තිදෙනා දුටු සැනින් ඔහුගේ මුහුණ වෙනස් විය.වෙනදා මෙන් නොව ඔහු අප දැක නැවතුනේය."නංගියේ පන්සල් ආවද..?"ඔහු අම්මාගෙන් ඇසීය."ඔව් අයියේ මෙයාගේ උපන්දිනේ නේ අද..ඒක හින්ඳ පන්සල් ආවා අපි."
අම්මාත් කාලයකින් තම සොයුරෙක් දුටු නැගණියක මෙන් පිළිතුරු දුන්නාය."දැන් ඉතින් ලොකු ඉළන්දාරිනේ.."කියා මගේ හිස අත ගෑ ඔහු "දැන් පුතා ඉගෙනගෙන එහෙම ඉවරද කියා මගෙන් විමසුවේය".නමුත් මගේ මුවින් වදනක්වත් පිට නොවුනි.ඒ එදා මගේ හිතේ ඇතිවූ කේන්තිය අළුයට වූ ගිනි පුපුරක් මෙන් තිබූ නිසාද කියා මට සිතුනි.මගෙන් පිළිතුරක් පමා වූ තැන අම්මා "නෑ අයියේ මෙයාට තව අවුරුදු දෙකක් තියෙනවා.."කියා පිළිතුරු දුන්නාය.මම මා සොයුරු දෙස බැලීමි.ඔහුද මුහුණ දීගත නොහැකි නිසාදෝ ඉවත බලා සිටිනු මම දුටිමි.ඔහුටද මට මා හට ඇති වූවාක් මෙන් සිතුවිල්ලක් ඇතිවී තිබූ බව මට පෙනිණි."මම එහෙනම් යන්නම් නංගියේ ,යන්නම් පුතේ" කියා අප දෙස හැරී බලනව්ට මා දුටුවේ ඔහුගේ නෙතඟ මෝදු වූ කඳුළක් ආයාසයකින් තොරව පිටතට පැමිණීමයි.හැඟීමකින් තොර වූ වන් මෙන් මුවින් හා නොකියා මාත් මා සොයුරුත් ඔළුව වැනුවෙමු.පිටව ගිය ලොකු තාත්තාගේ මුහුණේ පසුතැවිලි වන සිතුවිල්ලක සේයාවක් මා දුටිමි.

ගෙදර එන අතර මඟ අප අතර වූ තද නිහැඬියාව මඟ හැරුනේ පාරේ ගිය වෙනත් වාහනයක් පසු කිරීමට මා සොයුරු රථයේ නලාව හැඬවූ නිසාය.

ගෙදර ආපසු රාත්‍රී අහාරය ගන්න අතරේ අම්මා අප දෙදෙනා දෙස බලා මෙසේ ඇසුවාය."ඇයි ඔය දෙන්න ලොකු තාත්තත් එක්ක කතා නොකළේ..?"එයට පිළිතුරක් මගේ මුවින්වත් මා සොයුරු මුවින්වත් පිට නොවුනි.නැවතත් නිහඬියාව බිඳිමින් අම්මා මෙසේ පැවසුවාය."මීට පස්සේ කතා නොකර ඉන්න එපා..මොනව කළත් ඒ ඔයගොල්ලන්ගේ ලොකු තාත්තනේ..සමහර විට එයාගේ වැරදි දැන් එයාට තේරිලා ඇති .බාප්පා වුනත් කතා කළොත් කතා නොකර ඉන්න එපා.අපි ඒ අයට මොනවත් කරලා නැහැනේ..අනික ඒ ඔයගොල්ලන්ගේ තාත්තගේ සහෝදරයොනේ..තාත්තට වගෙයි කියල හිතේ තියාගෙන ඒ අයටත් සලකන්න.."

වසර පහකට පමණ පෙර පැවසූ දෙයම අම්මා අදත් පවසන්නීය..ඇය එදා කී දෙයෙහි සත්‍යය මට අද වැටහුනි.ඒ තමන් කරන දෙයෙහි ඵල විපාක හොඳ නරක තමන්ටම බවය .තමන් කරන දෙයට පසුතැවිලි වන්නට වන්නේත් තමන්ට බව මටද වැටහුනි..

ඒ අම්මා සැම විටම කීදෙයයි.අදටත් ඇය ගන්න මඟ එයයි. ඒ අම්මාගේ හැටිය..



කැන්ඩි....

Wednesday, December 29, 2010

ඔයා වෙනස් වෙලාද..?



හැම කෙනාම ආත්මාර්ථකාමි වෙලා..
තමන් ගැන විතරයි හිතන්නේ..
ඔයත් එහෙමද කියල මට හිතෙනවා..
තවත් කෙනෙක් තේරුම් ගන්න පුළුවන් කෙනෙක් කියල
ඔයා ගැන හිතපු මටද ඔයා මෙහෙම සලකන්නේ..?
ඉස්සර වගේ නෙවෙයි දැන්..
කතා කරන්නේ අඩුවෙන්..
හිනා වෙන්නේ අඩුවෙන්..
හිනස්සවන්නේ අඩුවෙන්..
හැමදේම අඩුවෙන්..
ඔයා වෙනස් වෙලා..
තවත් වෙනස් වෙනවා..
මම ආදරේ ඉස්සර ඔයාට ..
දැන් ඔයා ඇතුලේ ඉන්න ඔයා හරියට මට ආගන්තුකයෙක් වගේ..
ඇයි මට මෙහෙම කරන්නේ..?
දවසෙන් දවස ඔයා මගෙන් ඈතට යනවා කියල මට හිතෙනවා..
ඇත්තටම ඔයා ඔයාමද..?
ඔයා වෙනස් වෙලාද..?

දවසක් කතා කරන්න බැරි වුනාට හිත රිදෙයි කියලා මම හිතුවෙ නෑ මගෙ රත්තරන්..
ලෝකෙම වෙනස් වුනත් මම වෙනස්වෙන්නේ නෑ මගෙ පණ..
හැමදාමත් මම ඔයා ළඟ....




කැන්ඩි....

Monday, December 27, 2010

පොලීසියේ හොරා පොලිස් රාලහාමිලා සහ රාලහාමිනේලා....




ඔන්න ඉතින් අද පළමුවෙනි වතාවට කැන්ඩිත් පොලීසියකට ගොඩ වැදුනා.ඒ මොකද කියනවා නම් කැන්ඩිගේ ජංගම දුරකථනය නැති වෙලා ඒකට පැමිණිල්ලක් කරන්නට.වෙන මොකුත් කරලා හෙම නොවෙයි.

ඔන්න ඉතින් කැන්ඩිගේ අයියා ඉතින් වෙලාවට වැඩ කරන පුද්ගලයා නිසා උදේ යන්න හිටපු පොලීසි ගමන යන්න වුනේ දවල් දෙකට විතර.ඔන්න ඒ යන වෙලාවේ ඔතන හිටපු පොලිස් ඇත්තියක් කිව්ව පැමිණිලි භාර ගන්නා නිළධාරියා තාම දහවල් කැමට ගොහින් ඇවිත් නැති විත්තිය.අනේ මේ මිනිහ උදේ වරුවේ ආවා නම් මේක කරගෙන ඉක්මනට යනවනේ කියලා කැන්ඩිත් අයියට හිතින් බැණ බැණ ඔතනට වෙලා අර පැය එක හමාරකට විතර කලින් කෑමට ගිය නිළධාරියා එනකන් හිටියා.මම හිතන්නේ මේ නිළධාරියා කෑම කාලා කෑම ජීර්ණය වෙනකන් ඉඳලා වෙන්න ඇති ආයෙත් තමන්ගේ රාජකාරියට පැමිණෙන්නේ,මොකද තවත් පැය භාගයක් බලන් හිටියත් මේ මනුස්සයා නෙවෙයි ආවේ.

ඔන්න ඉතින් ඔහොම ඉඳල ඉඳලා ඇති වෙලාමද කොහෙද කැන්ඩිගේ සහොදර පරාණය එතන හිටපු ඇත්තියගෙන් ඇහුවා සුළු පැමිණිල්ලක් නිසා මේක ඒ ඇත්තිට සටහන් කරගන්න බැරිද කියලා.ඔන්න ඒ ඇත්ති පැනපු ගමන් කියාපිනේ මේ ඔයාගේ ගෙදර කියලා හිතුවද කියලා....? අනේ සාධු පරක්කු වෙලා ආවට උඹට ඔහොම වෙලා මදි කියලා කැන්ඩිත් ඉතින් හිතෙන් පින් දුන්න.ඔන්න ඉතින් ඔහොම ඉන්න අතරේ මේ පාර කැන්ඩිටත් වීරයා වෙන්න හිතිලා අර ඇත්තිගෙන් ඇහුවා ජංගම දුරකථනයක් නැති වුනාම ගන්න ඕනේ ක්‍රියා මාර්ගය කොහොමද කියලා..?ඒ පාරනම් ඇඟට පනින්නේ නැතුව අහල පහළ යන එන පොලිස් ඇත්තන්ගෙන් ඇත්තියන්ගෙන් මෙයා ඒ ගැන අහන්න පටන් ගත්ත.

ඔන්න ඉතින් එක එක එක්කෙනා එක එක අදහස් පළ කළා.මේවා අහගෙන හිටපු කැන්ඩිටයි අයියටයි ඉතින් දෙපැත්තෙන් හිනා.මොකද ගන්න ඕනේ ක්‍රියා මාර්ගය ඒ වෙනකොට පැහැදිලිව හොයාගෙන තමයි කැන්ඩිගේ අයියයි කැන්ඩියි පොලීසියට ආවේ.ඔය අතරේ එක නුවණක්කර ඇත්තෙක් කිව්වා SIM කාඩ් පත විසන්ධි කරවල අළුත් දුරකථනයක් ගන්නේයි කියල.ඔන්න ඉතින් කැන්ඩිගේ අයියත් ආතල් එක වැඩිකමටද කොහෙද පැනපු ගමන් කියපි අපි ගෙදර යන ගමන් අළුතෙන් එකක් ගන්න තමයි යන්නේ කියල.

පොලිසියට යන්කොටත් කැන්ඩි සම්බන්ධතාවය විසන්ධි කරලා තමයි ගියේ.ඔන්න ඉතින් ඔහොම ටික වෙලාවක් යනකොට ආපු එක ඇත්තියක් හරියටම වැඩේ කෙරෙන්න ඕනේ විදිය කියලා ගියා.අනික් අය ඊට පස්සේ අරයා එක්ක හිත රිදිලාද කොහෙද වැඩිය අදහස් පළ කරන්න ආවේ නැහැ.දැන් ඉතින් ඔන්න ඔහොම ඔහොම පැයක් විතර ගියා.වැඩේ නම් කෙරෙන පාටක් නෑ.කැන්ඩිගේ අයියත් ඉතින් ඔය ගිනි ආයතනයක තමයි වැඩ කරන්නේ ,ඉතින් මනුස්සයාට හවස රාජකාරියට යන වෙලාවත් දැන් ළං වෙනවා.කරන්නම දෙයක් නැති තැන මිනිහා ජංගම දුරකථනය අරගෙන පොලොස්සියේ ඉහළ නිළතලයක් දරන ඥාතියෙකුට ඇමතුමක් ගත්තා.ඔන්න ඉතින් පොරත් කිව්ව මල්ලි මම ඉක්මනට මොකක් හරි කරන්නම් කියලා.

ඔන්න විනාඩි පහක් ගියේ නැහැ අර වැදගත් ආඩම්බරකාර නුවණක්කාර ඇත්තෝ ඇත්තියෝ තුන් හතර දෙනෙක් එනවා පෝලිමක් හැදිලා.ඇවිත් ඔන්න අහපි ඔය මහත්තුරු දෙන්න අහවල් සර්ගේ මල්ලිලද කියල...?හිකිස් හිකිස් ඔන්න ඉතින් කැන්ඩිගේ අයියත් ඉතින් පැනපු ගමන් කිව්ව ඔව් ඔව් අහවල් සර් අපේ අයිය තමයි කියලා.මෙන්න අර පැමිණිල්ල ලියා ගන්න පුළුවන්ද කියල ඇහුවම බෑ කියලා කියපු ඇත්ති අර ආහාර දිරවනකන් හිටපු නිළධාරියාවත් අහැරවාගෙන ආවනේ අපි දෙන්නා හිටපු තැනට පැමිණිලි පොතත් උස්සාගෙන ,මහත්තය මොකක්ද පැමිණිල්ල කියලා අහගෙන......හෑ මේ මොකද මේ...?මේ ඇත්තිට එක පාරටම මොකද වුනේ...?කැන්ඩිත් ඉතින් නිදියන කොට තැන නොතැන බලල නිදියන හින්ඳා කැන්ඩි හොඳට ඇස් පිහදලා බැළුවා.අනේ කැන්ඩි දවල් හීනයක් නෙවෙයි දැකල තියෙන්න හැබැහින්ම අර ඇත්ති ඇවිල්ල....

ඔන්න පැමිණිල්ලේ පිටපතකුත් ගන්න ඕනේ කියල කැන්ඩිගේ අයියා කිව්වා.හා සර් කියලා මෙන්න අර ඇත්ති අපි ලියන්න ඕනේ ලියුන් කරදහියත් කඩදාසියකුත් හොයාන ඇවිත් එයාම ලියල අත්සන ගහන්න විතරක් ඔන්න කැන්ඩිට දුන්න.හනේ හපොයි....ඔන්න ඉතින් ඒ වෙලාවේ ටයිප් ගහන්න කෙනෙක් නැතෙයි කියලා අපි අහවල් වෙලාවේ අර සර්ගේ අතටම මේක ගෙනත් දෙන්නම් කියලා මේගොල්ල වැන්ඳේ නැති එක විතරයි.ඔන්න ඉතින් දැන් කැන්ඩියි අයියයි එන්න පිටත් වෙන්නයි ලෑස්තිය.මෙන්න ආයෙත් පෝලිමේ ඇත්තො ඇත්තියො දෙන්නෙක් ඇවිත් ඔන්න කැන්ඩිගේ අයියට කියනවා අනේ සර් අපි දැනගෙන හිටියේ නෑ සර්ලා අහවල් සර්ගේ මල්ලිලා කියලා සර්ලා මෙතන ටික වෙලාවක් හිටියා කියල අහවල් සර්ටනම් කියන්න එපා කියල ඉල්ලුවා.ඔන්න ඉතින් කැන්ඩිගේ අයියත් කිව්ව හා හා බය වෙන්ට එපාය කියල.

කියලා අපිත් එක්ක අපිට පස්සේ ගිය අම්ම කෙනෙක් හිටිය .ඒ උන්දෑ වයස්ගත අම්ම කෙනෙක්.සැමියා දාලා ගිය විදේශ ගතවුන දුවකුගේ දරුවෝ දෙන්නෙක් බලාගෙන ඉන්න අම්ම කෙනෙක් එයා.එයා ඇවිත් හිටියේ එයාගේ ඉඩමෙ මායිම වෙනස් කරලා අල්ලපු වත්තේ ඉන්න චන්ඩියා වැට ගහලා මදිවට පරුෂ වචනයෙන් බැන වැදිලා තර්ජනය කරපු එක වෙනුවෙන් පැමිණිල්ලක් කරන්න.උන්දෑ අතේ සියළුම නීතිමය ලිපි ලේඛන තිබුනා.මේ විස්තර කැන්ඩියි කැන්ඩිගේ අයියයි අහගත්තේ අර නුවණක්කාර ඇත්තෝ අදහස් දක්වපු වෙලාවේ තමයි.ඉතින් ඔය අම්මව පෙන්නල කැන්ඩිගේ අයියා කිව්ව අනේ පුළුවන්නම් කොහොම හරි අර උන්දැගේ වැඩෙත් ඉක්මනට ඉවරයක් කරලා දීල ගෙදර යවන්න කියල.

ලංකාවේ මිනිස්සු තාමත් පොලීසිය දූෂිතයි කියලපොලීසියට යන්න දිමදි කරන්නේ ඇයි කියලා අමුතුවෙන් කියන්න උවමනාවක් නැතැයි කියා මම සිතමි.යම් සිදුවීමක් ගැන මෙම නීතිය ක්‍රියාත්මක කිරීමට සිටිනා පුද්ගලයන් සතු දැනුම ඉතාම අල්පය.ඔවුන්ට ඒ පිළිබඳව දැනුවත් කිරීමක් ලැබී නැතුවා හෝ ඔවුන් ලැබුන දැනුම ප්‍රායෝගිකව යෙදීමට උත්සාහයක් නොගන්නවා හෝ වියයුතුය.

තවද එදිනෙදා සිදුවන සුළු සිද්ධීන් පිළිබඳව පමණක් මොවුන්ට දැනුමක් ඇති බව පෙනේ.යමක් සිතා බලා සොයා බලා කිරීමට මොවුන්ට හැකියවක් නැත හෝ ඔවුන් ඒ සඳහා පුහුණු කර හෝ නැත.

තවද තමන්ගේ දරු පවුල රැකදෙන පඩිය නමෑති මුදල ලබාදෙන රාජකාරිය දේවකාරියක් මෙන් ඉටුකරනවා වෙනුවට ඔවුන් යම් කාරියක් ඉටු කිරීමට උත්තේජකයක් වශයෙන් ඉහළ අංශවල බලපෑමක් හෝ මුදල් බලපෑමක් ලැබෙන තුරු සිටිති.

2010 අවසානව තවත් දශකයක ආරම්භයේ සිටින අප මේවා දැක දැක සිටිය යුතුද...?
හා කීවාට කැන්ඩිගේ අයියා නම් මේ වන විට තමන්ට කතා කළ හැටිද අදාළ නිළධාරීන්ගේ නම්ද අදාල පුද්ගලයාට පවසා හමාරය.තොරතුරු තාක්ෂණය අතින් යම් දියුණුවක් ලංකාව ලබා ඇති නමුත් නීතිය ක්‍රියාත්මක වන මෙම ආයතනවලට එය යොදා ගන්න යුගය තව දශකයකින්වත් උදාවන ලකුණු පෙනෙන්නට නොතිබේ.


අඩුම තරමේ එය යොදා නොගෙනවත් අදාල කාර්යයන් මීට වඩා විධිමත්ව අදාල ආයතන තුල මනා සම්බන්ධීකරණයක් ඇති කරගෙන මෙම ක්‍රියාවන්හි විධිමත් භාවයක් ඇතිකරන්නේ නම් එය රටට ඉතාමත් වැඩදායී වන්නේය.මෙම ආයතන වල සිටින නිළධාරීන්ගේ ක්‍රියාවන් පෙර පාසලක සිටින දරුවන්ගේ හොරා පොලිස් සෙල්ලමකට දෙවෙනි නොවන්නේ යයි නොපැවසිය හැක්කේ කාටද............?

අද දිනයේ ඥාති බලපෑමක් මත අප අපගේ ක්‍රියාව සිදුකරගෙන පැමිණියෙමු.නමුත් අර අසරණ කාන්තාව අප එම ඥාතී උපකාරයෙන් හෝ පැමිණිලි භාර නිළදාරියා නොකැඳෙව්වේනම් තම කාරිය ඉටු කර ගන්නේ කෙසේද.?
ඇත්තටම පොලීසිය තවදුරටත් පොදු ජනයාට සේවය සපයන ආයතනයක්ද.........?
සියල්ලේම පාහේ තත්වය මෙසේ වුවද තම රාජකාරිය අකුරට ඉටුකරන නිළධාරීන් නැත්තේද නොවේ........
නමුත් කිරි කළයක් තිබුනද ගොම බිඳක් වැටීම එය කෙලෙසීමට සමත්ය.තව දුරටත් දුප්පත් අසරණ මහජනයා මෙම ආයතන වලින් සේවය ලබා ගන්නේ කෙසේද.............?
මෙම තත්වය මේ ආකාරයට පැවතුනහොත් ලංකාව ආසියාවේ අමුතුම ආශ්චර්යක් වනු නොඅනුමානය.

කැන්ඩි....

Tuesday, December 21, 2010

සිරියා සහ චූන් පාන්....




ආආආහ් ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්හ්හ්හ්හ්හ් හරිම කම්මැලියි ගෙදර ඉඳල ඉඳල ආපහු ගමනට බැස්සම. ඔන්න ඉතින් කාලෙකින් කිසිම දෙයක් හරි විදියට ලියන්න බැරි වුන නිසා අද මොනව හරි කොටන්න කියල තමයි සූදානම.

කොටන්න මතක් වුනෙත් අද උදේම සිරිය දැකපු නිසා තමයි.

යන්නේ කොහෙද මල්ලේ පොල් වගේ නේද..?

වගේ නෙවෙයි එහෙම තමයි(ඔන්න මමම උත්තරෙත් දී ගත්තා.)

අද උදෙන්ම සිරිය දැක්ක නිසා හිතුවා සිරියා ගැන තියෙන කතා ටිකත් එකින් එක ලියන්න ඕනේ කියල.ඔන්න ආපහු සිරියෙක් ගැන කිව්ව නේද..? සිරියා කියන්නේ පහුගිය කාලයේ කාලාන්තරයක් කැන්ඩිගේ අම්මගේ අත් උදවුවට කැන්ඩිලගේ ගෙදර තනි නොතනියට හිටපු ආදරණීය, මූන ටිකක් කළු වුනාට දත් නැති ලොඹු කට පෙන්නලා හිනාවෙනකොට සිරියාවන්ත සිරියාවතී.සැපට දුකට සනී වගේ හිටපු මෙයාට අපි ආදරේට කිව්වේ සිරියා කියල.

සිරියට හොඳට ගෙදර දොරේ වැඩ කටයුතු කරගන්න පුළුවන් වුනාට මොකද පාසලකටවත් ගිහින් නැති හින්ඳද මංදා ටිකක් කරන කියන වැඩ විහිළුයි.ටිකක් මෝඩයි කිව්වොත් තමයි වැඩිය හොඳ.හැබැයි කවමදාකවත් තමන්ට පැවරුන වැඩක් අතපසු කරලවත් නොකරල ඉඳලවත් කිසිම නරක දෙයක් කරලවත් නම් නෑ.සිරියා ගෙදර ඉන්නව කියන්නේ කැන්ඩිටනම් ඉතින් සිනා සාගරයක් තමයි.මෙයාව කතාවට අල්ලගත්තොත් දවසක් හරි පෙරළි පෙරළි හිනා වුනෑකි.කතාවට අල්ල ගන්නම ඕනේ නැහැ.මෙයා නිකන් ඉන්න ගමන් නිකමට කියන කතාත් හරිම නුවණක්කාරයි.

ගෙදරට සිරියා නම් හරිම සිරියාවයි ඒ තරමට හිනා යන කතානේ කියන්නේ.ඒ දැන් මෙයා ටික කාලෙක ඉඳල කැන්ඩිලගේ ගෙදර එනව අඩුයි,ඒ මොකද කිව්වොත් මෙයාගේ දුවට දරුවෙක් ලැබිල මෙයත් ඒක නිසා දුව ඉන්න ගමට ගිය නිසයි.අපරාදේ කියන්න බෑ අර පොඩි එකානම් දවසම මැරෙන්න හිනා වෙනවා ඇති.ඔන්න මෙයා ගැන කියන්න කතානම් ගොඩයි ඒත් දැන් තියන වෙලාවේ හැටියට එකක් ලියන්නම්.

කැන්ඩිට පාන් කන්නේ නැතුව නින්ද යන්නේ නැති නිසා කැන්ඩිගේ ගෙදර රෑට කවුරු මොන කෑම කෑවත් කැන්ඩිට පාන් ගේන එක ඒකාලේ අනිවාර්ය අංගයක්.මොකද දැන් වගේ නෙවි ඒකාලේ කැන්ඩිනම් පාන් පාන් නම් කැන්ඩි කියන තරමට කැන්ඩි පාන් කන්න කැමතියි.ඔය ගේන පාන්ගෙඩිය ඉතින් කන්නේ භාගේ විතර පෙති දෙකක් කපල ,ඉතින් රෑට වැඩිය කැවෙන්නෙත් නෑ කියලා තමයි ඒ කාලේ කිව්වේ මොකද භාගේ සයිස් වුනත් කැන්ඩි කන්නේ පාන් පෙති දෙකනේ.ඔන්න ඉතින් ආයෙත් ට්‍රැක් පැන්න.

ඉතින් හවසට සිරියා ගෙදර යන්න කළින් කඩේට දුවලා ඔය පාන් ගෙඩියත් (ගෙඩිය කිව්වට හැදෙන ගහනම් මම දන්නේ නැහැ )ගෙනත් තියලා තමයි යන්නේ.ඉතින් කඩේ තියෙන්නේ ටිකක් දුර නිසා කැන්ඩිගේ අම්මත් දවසක් සිරියට කිව්වා අනේ සිරියෝ කඩේට නොයා ඔය ගේට්ටුව ගාවට ටිකක් වේලාසනින් ගිහින් ඉඳල චූන් පාන් එකෙන්ම ඕක ගන්න කියල.මොකද ඉතින් ඔය චූන්පාන් (ආ කියන්න බැරි වුනානේ අර හැම පලාතෙම සද්දය දාගෙන (සද්දය කිව්වේ අර මිහිරි නාදය ) උදේට හවසට යන පාන් වාහනය )එකෙන් පාන් ගන්න, ඒකෙ සද්දේ ඇහෙන වෙලාවට පාරට ගියොත් ,පාන් ගන්න සාමාන්‍යයෙන් ඔලිම්පික් පදක්කම්ලාභී සුසන්තිකා මහත්මියට වගේ දිවීමේ හැකියාවක් තියෙන්න ඕනේ.

ඉතින් චූන් පාන් එකෙන් පාන් ගන්න කිව්වම සිරිය එක පාරටම කිව්වෙ මොකක්ද දන්නවද..?

"අනේ ලොකු නෝනේ චූන්පාන් කිව්වට ඕකෙ පාන්වල කිසිම රහක් නෑ... මමත් ඊයේ ගෙදර යනකොට අරගෙන ගියානේ "

අනේ මෙයැයි හිතන් ඉඳල තියෙන්නේ ඒකෙ පාන් අමුතු රසයක් තියෙන හින්දා චූන්පාන් කියනවයි කියල......

කැන්ඩි....

Sunday, December 12, 2010

වැස්ස දවස් වලට....

වැස්ස වැස්ස වැස්ස....



වැස්සේම ගමන් කරලා කරලා ගෙදර නැවතුන පොඩිවෙලාවෙ පහුගිය දවස් ටිකේ කැන්ඩි වැස්සත් එක්ක කාපු කටු ටික මතක් වෙලා කෂ්ටියට පොඩි ටිප්ස් ඇන්ඩ් ට්‍රික්ස් ටිකක් දෙන්න හිතුවා.
වැහිදින වලදි අපේ කට්ටිය කරන වැඩ දැකලා තමයි කැන්ඩිට මේ දේවල් ටික කිව්වොත් හොඳයි කියලා හිතුනෙ.

කවුරු කවුරුත් මේ කියන දේවල් හොඳට හිතට අරන් ක්‍රියාත්මක කරනවා නම් කැන්ඩි ස්තූතිවන්ත වෙනවා කියන ගමන්ම තමයි මේ කරුණු කාරණා ටික කියන්න මුල පුරන්නේ.

01.මේ වහින දවස් වල ඔබ ගෙදරින් පිටතට යනවා නම්(අනිවාර්යයෙන් යන්න එපැයි ඉතින් මොකද මේ රටේ වහිනවාට නිවාඩු දෙනවා කියලයැ..? )මතක් කරලා කුඩයක් අරගෙන යන්න.
ඔබ කුඩයක් අරගෙන යන්නේ නැතුව ගිහින් වැස්ස වෙලාවට තවත් කෙනෙකුගේ කුඩය යටින් යන්න බලාපොරොත්තුවෙනවා කියන්නේ දෙන්නම තෙමෙන වැඩක්.මොකද මේ දින වල ඇද හැලෙන ධාරාණිපාත වර්ෂා වලට යටින් නොතෙමි යන්න එක කුඩයකුත් මදි.




02. ගෙදරින් පිටතට කුඩයකුත් රැගෙන යන ඔබ,කුඩය දමා ගැනීමට එයට ඉඩ ඇතිවන පරිදි කවරයක් බෑගයක් හෝ එය දමා ගත හැකි කුමක් හෝ දෙයක් රැගෙන යාමට අමතක නොකරන්න.බොහෝමයක් දෙනෙක් අමතක කරන දෙයක් තමයි තමන් තෙමෙනවට කුඩය ඉහල ගත්තාට කුඩයත් තෙමෙන බව.තෙමුන කුඩය රැගෙන බස් රථයකට ගොඩවන ඔබ එය යම් බහාලනයය්ක් තුලට දමා නොගැනීමෙන් කරන්නේ ඔබ පමණක් නොතෙමී අනුන් තෙමීමකි.මෙම තෙත කුඩයෙන් බේරෙන වතුර තමන්ගේ ඇඟට වැටෙනවාට අප කවුරුත් අකමැතිය.එම නිසා තෙත කුඩයෙහි වතුර බේරී බේරී අනුන් තෙමීම වලක්වා ගැනීමට මතක් කර ඔබ තෙත කුඩය දමා ගැනීමට ඉවත දමන පොලිතීන් කවරයක් වැනි යමක් රැගෙන යනවා නම් වඩා හොඳය.එවිට ඔබට නිකරුනේ තවත් කෙනෙකු තෙමා රැවුම් ගෙරවුම් ලැබී සිටීමෙන්ද වැලකී සිටිය හැක.

03.මේ දින වල වැඩිපුර කුඩ භාවිතාවීම නිසා ඔබ මෙයත් මතක තබා ගන්නවා නම් වඩාත් හොඳය.ඔබ කුඩය ඉහලාගෙන පදිකවේදිකාවේ මාර්ගයේ ගමන් කරනා විට ගමන් කරනා වෙනත් අය ගැන සැලකිලිමත්වන්න.තමන්ගේ කුඩය අනුන්ගේ ඇඟේ නොවැදීමට වග බලා ගන්න.මන්දයත් මෙය කෙනෙකුට විහිළුවක් සේ පෙනුනත් කුඩ ණන ඇස්වල වැදීමෙන් ඇස්වලට හානි වීම් වැනි දෑ පසුගිය කාලයේදී වාර්තා වූ බැවිනි.

04.වැසිදිනවල ඔබ මහා මාර්ගයේ පයින් ගමන් කරන පදිකයෙක්නම් ඔබ ඇසට පෙනෙන දීප්තිමත් වර්ණයක් සහිත ඇඳුමක් ඇඳුමක් ඇඳගෙන යාමට ඔබට හැකිනම් එය වඩාත් හොඳය.වැසි දිනවල ඇති මඳ ආලෝක තත්වය නිසා මාර්ගයේ ගමන් කරන ඔබව රථ වාහන වල ගමන් කරන රියදුරන්ට ඔබව නොපෙනිය හැක.එම නිසා අඳුරේදී පෙනෙන සුදු හෝ වෙනත් එවන් ලා පැහැති වර්ණයක ඇඳුමක් ඇඳගෙන යනවානම් ඉතාමත් ආරක්ෂාකාරීය.අඳුරු පැහැති වර්ණයක් සහිත ඇඳුම් ඇඳීම මාර්ගයේ වැඩි වේලාවක් ගතකරනවා නම් ආරක්ෂා සහිත නොවේ.



05.ඔබ පදිකයෙක්නම් මාර්ගයේ මඩ වලවල් වතුර පිරුන වලවල් නිසා පදික වේදිකාවෙන් බැහැරව මාර්ගයේ මැදට වන්නට ගමන් කිරීමෙන් වලකින්න.ඔබගේ ගමන මඳක් ප්‍රමාද වූවත් මඩවලක් අසල වතුරවලක් අසල පදික වේදිකාවෙන් බැහැරව ගමන් කිරීමට පෙර මාර්ගයේ රථයක් නො එනවාදැයි කියා සැක හැර බලාගෙන දැනගෙන තවත් රථයක් මාර්ගයේ ගමන් කිරීමට පෙර ඔබට එම ස්ථානය පසුකර මාර්ගයෙන් නැවත පදික වේදිකාවට ගොඩ වීමට හැකිදැයි කියා හොඳින් සැක හැර දැනගෙන එම ස්ථානයෙන් ගමන් කරන්න.කිසිවිටෙකත් පදිකවේදිකාවේ හෝ පාර දෙපස වතුර වලවල් කියා ඔබ පදික වේදිකාවෙන් බැහැරව මාර්ගයේ මැදට වන්නට ගමන් කිරීමෙන් වලකින්න.

06. ඔබ වාහනයක ගමන් කරන රියදුරෙක්නම් මාර්ගය පැහැදිලි වූවත් අධික වේගයෙන් ගමන් නොකරන්න.මාර්ගය ලිස්සනසුළු නිසා ඔබ ධාවනය කරන වේගය අඩු මට්ටමක පවත්වා ගැනීම ඔබගේ රථය හදිසි අවස්ථාවක අනතුරක් රහිතව නවත්වා ගැනීමට පහසුවක් වේවි.තවද ඔබගේ අනිසි හදිසිය නිසා හදිසි අනතුරක් සිදුවූවිට රක්ෂණ ආවරණ නැතිකමින් ඔබ නිසා අනුන් හට පාඩු විඳින්නට සිදුවීමත් රක්ෂණ ආවරණ තිබුනත් වන්දි මුදල් ලැබුනත් ඔබට එයට අමතරව කාලය වැය කිරීමට සිදුවීමත් ඔබ නිසා වෙනත් කෙනෙකුට තමන්ගේ වටිනා කාලය අපතේ හැරීමට සිදුවීමත් වලක්වා ගත හැක.



07.ඔබ රථයක රියදුරෙක් නම් ඔබට රථයේ වේගය ගැන මෙන්ම පදිකවේදිකාවේ ගමන් ගන්න මඟීන් ගැනත් මාර්ගයේ ස්වභාවයත් ගැන කල්පනා කාරීව ඔබගේ රථය පදවන්නේ නම් වඩා හොඳය.රථයේ සුවපහසුවට ගමන් ගන්න ඔබ නිසා මාර්ගයේ ගමන් ගන්න දුප්පත් අහිංසක මඟියාගේ ගමන අඩාල වීම සිදු නොවිය යුතුයි.ඔබගේ නොසැලකිලිමත්කම නිසා මාර්ගයේ පයින් ගමන් ගන්න පදිකයා මඩ වතුරෙන් නැහැවී යාම අනුමත කළ නොහැකිය.එය සාධාරණ නොවේ.ඔබට ඔබ ගැන මෙන්ම අනුන් ගැනත් හිතන්න පුළුවන්නම් එය ඉතාමත් අගනේය.

අවසාන වශයෙන් වැස්ස නිසාම මේදින කිහිපයට පමණක් සීමා නොවී තමන්ගෙන් හරි තමන් කරන කියන කටයුත්තකින් හරි කෙනෙකුට හිරිහැරයක් කරදරයක් නොවෙන අන්දමින් කටයුතුකරනවා නම් එය තමන්ට මෙනම අනුන්ටද විශාල උපකාරයකි.මන්ද මිනිසෙක් ගැන මිනිස්කමින් සිතිය හැක්කේ තවත් මිනිසෙකුට පමණක් බැවිනි.

කැන්ඩි....


Sunday, December 5, 2010

කැන්ඩිට හිතෙන දේවල්...



ඔන්න ඉතින් කැන්ඩිටත් නිවාඩුවක් හම්බවුනා.කැන්ඩිගේ නිවාඩු ව දැන් ඉවර වෙන්න කිට්ටු වුනත් ඉතින් බ්ලොගය පැත්තේ නම් වැඩිය එන්න ලැබුනේ නැහැ.ඒ ඉතින් කැන්ඩිට නිවාඩු හම්බ වෙනකන් හිටිය වෙන අය නිසයි.ඔන්න ඉතින් කැන්ඩිටත් බලන් හිටිය අයගේ හිත සනසන්න සිද්ධ වුනා.අද ඉතින් මේ පැත්තට ආවත් හෙටින් කැන්ඩිගේ නිවාඩුව අවසානයි.ඒත් ඉතින් තමන්ගේ වැඩ පාඩු කරගෙන අනුන්ගේ හිත් සනසන්න යාමත් එක්තරා පිනක් කියල කැන්ඩි දැන් හිත හදාගෙන ඉන්නෙ.මෙදා පාර හිටන්වත් තමන්ගේ හිතේ තියෙන දේ හිතට ආව වෙලාවෙම මොකක හරි සටහන් කරනව කියලා කැන්ඩිට හිතුන.

සමහර දේවල් නැතිවෙලා ගියාම ඒවා තියෙද්දී තමන්ට මොනවගේ පාඩු සිද්ධ වෙලා තියෙනවද කියල කැන්ඩිට මෙ දවස් වල හිතෙනවා.ඒ පහුගිය කාලවකවානුව තුල කැන්ඩිට බොහෝම දේවල් නැතිවුන නිසා තමයි.ඒත් ඉතින් මොනව කරන්නද තමන්ට නොලැබෙන දේ ගැන හොයනවට වඩා තමන්ට ලැබෙන හොඳ දේ ජීවිතයට සතුටින් භාර ගන්න එක හොඳයි කියලා කැන්ඩිගේ හිත වෙනස් කරගෙන දැන් ටික දවසක්.වෙන්වීම දුකක් වුනත් වෙන්වීමක් එක්ක නැවත අළුත් හමු වීමකුත් තියෙනවා කියන එක කැන්ඩිට හොඳටම තේරුනේ මේ දවස් ටිකේදී.සමහරු අනුන්ව අමාරුවේ දාල තමන්ගේ වැඩේ කරගෙන ඉවර වෙල අනුන් අමාරුවේ වැටුන වෙලාවට ඇයි ඔහොම කරගත්තේ කියල අහන වෙලාවට දැන් කැන්ඩි කරන්නේ ඉස්සර වගේ තමන්ගේ නිෂ්ශබ්දකම පාවිච්චි කරල බිමටබලාගෙන ඉන්න එක නෙවෙයි.

පහුගිය දවස් වල සිද්ධවුන දෙවල් නිසා ගොඩාක් දේවල් වලට වග කියන්න වෙන නොවෙන හැම දෙනා එක්කම හොඳ හිත නැතිකරගන්නත් කැන්ඩිට සිද්ධවුනා.සමහරු තමන්ගේ වැඩය කරගන්න අනුන්ට ලොකුකම් පාන වෙලාවට දැන් කැන්ඩිනම් කරන්නේ ඉස්සර වගේ ඉවසගෙන ඒදේවල කරලා දෙන එක නෙවෙයි.දැන් නම් තමන්ට අසාධාරණයක් ,තමන්ට එරෙහිව අනුන් වචනයක් හරි කියනවනම් ඒ දේ අහගෙන ඉන්න එක දැන් කැන්ඩිගේ සිරිත නෙවෙයි.දැන් ඒ පුද්ගලයන් කරන කියන දේවල් වලට නිසි පිළිතුර දෙන්න කැන්ඩි ඉදිරිපත් වෙනවා.සමහර අය ඒ දේ අහල තමන්ගේ වරද නිවැරදි කර ගන්න පෙළඹුනත් තවත් සමහරු ඒදේවල් තමන්ට ගැලපෙන්නේ නැහැයි කියලා හිතලා වෙන්න ඇති ඒ දේවල් ප්‍රතික්ෂේප කරලා එපා කියලා යන්න ගියා.ඉතින් කැන්ඩිටනම් කියන්න තියෙන්නෙ තමගේ වරද පිළි අරගෙන අනුන්ට දොස් කියන්න කියලයි.තමන් අනුන් ලවා වැඩක් කරගන්නවානම් තමන්ගේ වැඩය පැහැදිලිවම ඒකෙනාට කියන්නත් ඒ කෙනාව තේරුම් ගන්නත් තමන්ට හැකියාව තියෙන්න ඕනේ.තමන්ගේ වැඩය කරගෙන තවත් කෙනෙක් අමාරුවේ දාන්න බලාගෙන ඉන්න අය දැන් වැඩියි කියලා පහුගිය කාලේ කැන්ඩිට හොඳට තේරුණා.තමන්ගේ වැඩය කරගෙන තමන්ට වරදක් වෙනකොට විතරක් බොරුවට රටට ලෝකයට පේන්න කෑගහන අය අනුන්ටත් ඒ වරදම සිද්ධවුනාම ඒදේ ඉතාමත් සුළුදෙයක් විදියට සලකන බව තමයි පේන්න තියෙන්නේ.

තමන්ටවෙන්නේ යම්වරදක්නම් අනුන්ටත් වෙන්නේ ඒදේමයි කියලා තේරුම් ගන්න මේ උදවියට තේරුම් ගන්න බැරි ඇයි කියලා කැන්ඩිට තාමත් හිතා ගන්න බෑ.තවත් සමහරු වරදක් කරල අහනවා මම කරපු වරද මොකක්ද ..?කියලා,
කෙනෙක්ව තේරුම්ගන්න තමන්ට බැරිනම් අඩුමතරමින් මේකෙනා හිතන්නේ මම හිතන පතන විදියට නෙවෙයි එයා හිතන්නේ පතන්නේ එයගේම විදියකට කියල ,තමන් යම්දෙයක් කරන්න කළින් මට මේදේ සුළු දෙයක් වුනාට
මේ කෙනාට නම් එහෙම වෙන්න නැතුව ඇති කියලා අනුන්ට කරදරයක් වන විදියේ දෙයක් නොකරඉන්නවා නම් තමයි වැඩිය හොඳ.සරලව කියනවා නම් කෙනෙක්ව තේරුම් ගන්න බැරිනම් ඒ කෙනාට කරදරයක් නොකර ඉන්නවත් තමන් වග බලා ගන්න ඕනේ.

පහුගිය කාල සීමාව ඇතුලත සිද්ධ වුන දේවල් දිහා බැලුවම දැන්නම් ටිකක් හිතට සහනයක් දැනෙනව.මෙච්චර වෙලා කැන්ඩි මේ නොකියා කිව්වේ කරදර කාලයක් ඇතුලෙන් ගමන් කරමින් ඒකෙන් මිදෙන්න තමන් උත්සාහ කරන හැටි තමයි.මේ අතරේ වැඩියම හිතට දුක තවත් එක් කරණාවක් තියෙනව,ඒක ගැන වෙනමම ලිපියක් රචනා කරන්න හිතාගෙන හිටියත් මගේ හිතෙන් මේදෙය ඉක්මනින් ඉවත් කරන්න අවශ්‍ය නිසා මේ දේත් දැන්ම කියන්න ඕනේ කියල හිතුවා.ඒ තමයි කෙනෙක්ගෙ ආදරයක් ඇති වීම ,ඒදේ යම්යම් කරුණු නිසා වෙනස් වීමද,යෝජිත විවාහයන් ජීවිතයට කෙසේ බලපෑමක් කරාවිද යන්නයි.තමන්ගේ ප්‍රේම සම්බන්ධතාවක් ගොඩ නඟා ගැනීමත් යෝජිත විවාහයක් කර ගැනීමත් විවාහයක් ගැන සිතීමත් අඩුමතරමින් තමන්ගේ ආදරය වෙනත් කෙනෙක් සමඟ බෙදා ගැනීමත් කෙතරම් ගැඹුරු දෙයක්ද කියල පසුගිය කාලවකවානුවේදී කැන්ඩිට සිතුනා.

ප්‍රේම සම්බන්ධතාවක් නොතිබුන පළියටම කෙනෙක් බැඳීම් වලින් 100%ක්ම නිදහස් බවත් ඒ කෙනා ගැන ඕනෑම තීරණයක් තමන්ට ගන්න පුළුවන් කියල හිතන වැඩිහිටියෝ ගැනත් ලොකුම ලොකු තරහවකුත් සමඟ කලකිරීමකුත් පසුගිය කාලෙදී කැන්ඩිට ඇති වුනා.මොකද කියනවානම් වැඩිහිටියන්ට මෙන්ම දරුවන්ටත් තමන්ගේ ජීවිතයේ තමන් ආසා කරන ඉලක්ක කරා තමන්ගේ ජීවිතය ගෙනයන්නට අයිතියක් තියෙනව කියල කැන්ඩිට හිතුන.තමන්ගේ ඒ අයිතිය ගැන කතා කරලා සෑහෙන දෙනෙකුගෙන් දොස් අහල අන්තිමට තමන්ගේ හිත විතරක් රිද්දගෙන නිහඬ බව භාර අරගන්න කැන්ඩිට නම් හිත දුන්නේ නැහැ.

තමන් ජීවිතයේ ආසා නොකරන බැඳීමකට බලෙන් යටත් කර ගැනීමට ගත්ත උත්සාහයක් වලක්වාගන්න කැන්ඩිට තමන්ගේ සමීපතමයන් බොහෝමයක් දෙනෙකුගෙ හිත් රිද්දන්න සිද්ධ වුණා.කොහොම නමුත් අවසානයේ ඒ කරදරය නිමාවක් නැතත් තවත් අවුරුදු දෙක තුනකට කල් දමා ගන්න කැන්ඩිට හැකි වුනා.වුන සියළුම දේවල් වලට කැන්ඩිට කරන්න දෙයක් නැතිවුනත් තවමත් ඒදේවල් වලට දොස් අහන්න වෙලාතියෙන්නෙත් ඒදේවල් වලට සම්පූර්ණයෙන්ම වැරදිකාරයා වෙල තියෙන්නෙත් කැන්ඩි.

තමන්ට වුනුදේවල් ඒතරම් හිතට නොගන්නවා කියල හිතා ගත්තත් ඒක අකුරටම ක්‍රියාත්මක කරන්න කැන්ඩිට තාමත් බැහැ.ඒ මොකද කියනවනම් ඒදේවල් වල බලපෑම තවමත් සම්පූර්ණයෙන්ම ඉවත් වෙලා නැති නිසා.ඔය හේතුව නිසා වෙන්න ඇති සමහරුන්ට කැන්ඩිට පිස්සු හැදෙන්න එනව කියල පහුගිය කාලෙදි හිතෙන්න ඇත්තෙ.

ඒ අතරෙ සමහර යාළුවොත් ප්‍රශ්න එකදෙක වෙන තත්වයේ උදවු තමයි කැන්ඩිට කළේ.ජීවිතේ කියන්නේ ප්‍රශ්න හරහා ජීවිතයට මුහුණ දෙන එක වුනත් ජීවිතය නැතිවෙන්න ගියාම ප්‍රශ්න විසඳීමත් නිශ්ඵල බව කැන්ඩිට වැටහුනා.
සරලව සැහැල්ලුවට ජීවිතය ගැන හිටපු කැන්ඩිත් අන්තිමට නූල කැඩුන සරුංගලයක් වගේ ඉබාගාතේ යන්න පටන් ගත්තේ මේනිසයි.ජීවත් වෙන්න ජීවිතය ජයගන්න ඉලක්ක නැතිවීම විතර කෙනෙකුට නැතිවෙන දෙයක් නැහැ කියල පහුගිය ටික දවසට කැන්ඩිට තේරුනා.

සරලව සැහැල්ලුව ජීවිතය විඳින්න පහසුම මඟ වුනත් ජීවිතයට ප්‍රශ්න එකින් එක එන්න එන්න සරල බව සැහැල්ලුව තමන් අතින් ගිලිහෙන්නෙ තමන්ටත් නොදැනිමයි.තමන්ට ඒදේ නැතිවුනා කියල දැනෙනීත් ආපහු ඒ කරදරවලින් මිදිල පෙර තත්වයට එන්න උත්සාහ කරන කොට තමයි.සරල බව සැහැල්ලුව සමඟ ජීවිතයටම මානසික වදයක් වේදනාවක් නොවිඳපු කෙනෙකුට තමන්ගේ සමීපතමයොත් එරෙහි වෙන ප්‍රමාණයට වෙනස්කම් සිද්ධවෙනකොට තමන් පතපු ජීවිතය නැතිවෙනකොට ජීවත්වීමත් වදයක්වීම අරුමයක් නොවෙයි කියලා හිතුනා.ඒදේවල් වලට සම්පූර්ණයෙන්ම තමන් වරද කරුවෙකු නොවුනත් තමන්ට අනුන් නිසා සිද්ධ වෙන වරද නිවැරදි කිරීමට තමන් මිස එයට මැදහත්වීමට අනුන් නැති නිසාවෙන් පහුගියකාලයේදී තමන් කාත්කවුරුවත් නැති තත්වයටද මේ පත්වෙන්න යන්නේ කියලා කැන්ඩිට හිතුනා.

සමහර වෙලාවට පිටින් පෙන්වන සරල බව අහින්සක කම තමන්ටම අවාසියට හිටිනවා කියලත් කැන්ඩිට හිතුන වාර
අනන්තයි.ඒක නිසා කැන්ඩි පිටස්තර පුද්ගලයන්ට සලකන ආකාරයෙන්ම සමහර සමීපතමයන්ට සලකන්නත් පුරුදුවෙලා.තමන්ට වරදක් වුනත් ඒ දේට සමාව දීම ඉතාමත් හොඳ ගතිගුණයක් කියලා හිත දැනගත්තත් හිතට එකඟව
ඒ අය එක්ක සමීප ආකාරයෙන් අචාර සමාචාර පවත්වන එක ගැන දැන්නම් දෙපාරක් හිතනව,මේ දේවල් හොඳයි මේදේවල් නරකයි කියල දැන ගත්තට තමන්ට දරා ගන්න බැරිතරම් දෙයක් සිද්ධවුනාම තමන්ට ඔයකියන
ගුණධර්ම ඔය කියන ආකාරයෙන්මසම්පූර්ණයෙන්ම පිළිපදින්න බැරුව යනවා කියලත් කැන්ඩිට හිතුනා.

නූල කැඩුන සරුංගලයක් වගේ ඉබාගාතේ යා නොදී තමන් රැකීම තමාට බාර දෙයක් බවත් අන්සියළුදෙනා බලන් ඉන්නේ තමන්ට වරදින තුරුබවත් පැහැදිලිවම වැටහෙන්න සිද්ධීන ගනණාවක් දෑස් පනාපිටම සිද්ධ වුන නිසා ඒදේවල් වලට තමන් ඉඩ දෙන්නේ නැහැයි කියලා කැන්ඩි හිතා ගත්ත.හරිවුනත් වැරදිවුනත් තමන්ගේ හිතට පිළිනොගන්න දෙයක් සිද්දවුනාම ඉතාමත් තදින් ඒදේගැන තමන්ගේ හිතෙඋ නැගුන අප්‍රසන්න බව කියල එන දේකට මූනදෙන්න සූදානමින් ඒ අප්‍රසන්න බව බයනැතුව කියන්න දැන් කැන්ඩි ඉදිරිපත් වෙන්නේ ඒ නිසයි.

ඔය කියන දේවල් සිද්ධවුන අතරේ තමන්ගේ යාළුවා තේරුම් ගන්න බැරුව යහළුවා විහිලුවක් වෙලා හිටිය සමහර මිතුරන් අතරේ මේකා මොනදේ අපට නොකිව්වත් කරදරයකදී උදවු කරන්න කරදරය කිය කියා අරාධනා පත්‍ර එවන්න ඕන නැහැයි කියලා හිතපු සමහර මිත්‍රයෝ කැන්ඩිට තමන්ගේ වැඩකටයුතුවලදී අනපේක්ෂිත ආකාරයෙන් උදවු කළේ සැබවින්ම කැන්ඩිට වුන දේවල් දැනගෙන නෙවෙයි කියලා ආදරයෙන් අවසාන වශයෙන් මතක් කරන්න ඕනේ.


කැන්ඩි....

Monday, October 11, 2010

රූපවාහිනිය සහ දරුවන්....




අද මම කියන්න යන්නේ හැමෝම කතා කළත් හැමදාම කතා කළත් හැමෝම අතින් සිදුවෙන වරදක් ගැන.කුඩා ළමුන් හා රූපවාහිනිය වර්තමානයේ බොහෝම ආන්දෝලනයට ලක්වන නිතර කතා බහට ලක් වෙන මතෘකාවක්. මන්දයත් ඒ සමහර රූපවාහිනි නාලිකා වල විකාශනය වන සමහර වැඩ සටහන් ළමා මනසට නොගැලපෙන ළමා මනස දූෂ්‍ය කරන ඒවා වීම නිසාය.මන්දයත් අද අතදරුවන් පවා මවගේ ඇකයේ සිට මේ රූපවාහිනි වැඩසටහන් නැරඹීමට පෙළඹී ඇති නිසාය.ඒ ගැන කතා කරනවා නම් මට කීමට ඇත්තේ රූපවාහිනී නාලිකා වලට දොස් නැගීමට ප්‍රථම තම තමන් ඒවායෙන් ඈත් වෙනවාඅනම් හොඳ බවය,මන්ද යත් රූපවාහිනී නාලිකා හිමිකරුවන් වෙහෙසෙන්නේ ඔවුන්ට වැඩි ආදායමක් ලබා ගැනීමටය. ඒ නිසා වැඩිපුර අලෙවි වන බාල දෙය ඔවුන් විකිණීමට උත්සාහ කරයි,ඔවුන්ට අවශ්‍ය ලාභය මිසක ප්‍රේෂකයන්ගේ හැදියාවවත් රටේ සංස්කෘතියවත් නොවේ.දුරස්ථ පාලකය ඇත්තේ ඔබේ අතෙයි,නරඹන නාලිකාව තෝරා ගැනීම ඔඅබ සතු කාර්‍යයකි. රූපවාහිනියද ඔබගේය නැරඹීමට නාලිකා තෝරා ගැනීමේ අයිතියද ඔබ සතුය.

නමුත් මම කියන්න යන්නේ නම් ඒවගේ දෙයක් ගැන නොවේ.මෙය රූපවාහිනිය නැරඹීමෙන් දරුවන්ගේ සෞඛ්‍යයට වන හානියක් පිළිබඳවයි.මෙය මම කියන්න හිතුවේ අද කුඩා දරුවන් බොහෝමයක් අධික ලෙස රූපවාහිනියට ඇබ්බැහි වී ඇති නිසාය.මගේ ඥාතී සහෝදර සහෝදරියන් කිහිප දෙනෙකුගේ දරුවන්ගේ තත්වයද මම දැක ඇත්තෙමි.සමහර අතදරුවන් අඬන විට ඔවුන් නැලවීමට වර්තමාන අම්මලා කරන්නේ දරුවන් රූපවාහිනියට හුරු කිරීම වැනි දේවල්ය.නමුත් මෙමඟින් දරුවාට කායිකව මෙන්ම මානසිකවද වන හානිය ගැන ඔවුන් දන්නේ නැත.මෙබඳු දේ නිසා දරුවාට වැඩිහිටියෙකු බවට පත්වූ පසුත් මෙම රූපවාහිනියට ඇබ්බැහි වීම වලක්වා ගැනීමට අපහසුය.

මෙය මෑතකදී ඇමරිකාවේ මිචිගන් සරසවියේ සමීක්ෂක ජෝ අයින්ස්මන් ඇතුළු පරීක්ෂක කණ්ඩායමක් විසින් කළ සමීක්ෂණයක් ඇසුරෙනි.
ළමා රෝග විශේෂඥයින් කළින් සිතා සිටියාට වඩා ළමුන් රූපවාහිනිය ඉදිරිපිට ගත කරන කාලය වැඩි වීම නරක බව මෙයින් පැහැදිලි වේ.සමීක්ෂණයට ලබා ගන්නා ලද දත්ත වලට අනූව පෙනී යන කාරණයක් වන්නේ අධික වේලාවක් රූපවාහිනිය ඉදිරිපිට ගත කරන ළමුන්ගේ රුධිර පීඩනය ඔවුන් ස්ථුලතාවයෙන් පෙළුනත් නොපෙළුනත් ඉහළ බවය.අධ්‍යයනයට සහභාගී කරගත් ගැහැණු ළමුන් හා පිරිමි ළමුන් 111 දෙනෙකුගෙන් ලබා ගත් දත්ත අනූව හෙළි වූයේ දිනකට පැය තුනක් හතරක් රූපවාහිනිය නරඹන දරුවන්ගේ සන්‍යස්ථ රුධිර පීඩනය(ධමනි වල උපරිම රුධිර පීඩනය ) දිනකට සුළු කාලයක් රූපවාහිනිය නරඹන දරුවන්ගේ සන්‍යස්ථ රුධිර පීඩනයට වඩා දශම හයක් හතක් වැඩි බවයි.එය දීර්ඝ කාලීන සෞඛ්‍ය ගැටළු ඇති කිරීමට ප්‍රමානවත් වැඩිවීමක් බව පර්යේෂකයෝ පෙන්වා දෙති.

සංස්කෘතිකමය පරිහානිය අතින් බැලුවත් සෞඛ්‍යමය පරිහානිය අතින් බැලුවත් දරුවන් වැඩිකාලයක් රූපවාහිනියට හුරු කිරීම එතරම් හොඳ දෙයක් නොවන බව මේ සමීක්ෂණයෙන් හෙළිවේ.දරුවන් රූපවාහිනියට හුරුකරනවාට වඩා දරුවන් පොතපතට හුරු කරනවානම් වඩාත් අගනේ යයි මම සිතමි.දරුවන්ට විවේකී වේලාවට රූපවාහිනියට හුරු කරනවාට වඩා දරුවන්ට කතාපොතක් වෙනත් දරුවන්ගේ නිර්මාණ කෞෂල්‍යය දියණුවන යමක් ලබා දීමෙන් ඔබට දරුවා හිස් සංකර දේවල් වලින් මිදුනු දරුවෙක් මෙන්ම නීරෝගී දරුවෙක් කර ගත හැකිය.

රීඩර්ස් ඩයිජස්ට් සඟරාවේ පළවූ ලිපියක් ඇසුරෙනි......




කැන්ඩි........

Sunday, October 10, 2010

පිළිතුරු අවැසි ඔබටයි...





නිහඬ බව දොඬමළු වීමට වඩා යෙහෙකි
මතක තබා ගනු නිහඬතාවයට පසුව එන කුණාටුව දරුණු බව
වරද කළ අය වරද නොදනී නම් මට එය කම් නැත
තමන් සිතන දෙයක් සිතා ගත්තාටත් මට කම් නැත
ඔබ සිතන පතන ආකාරය වෙනස් කිරීමට මට වුවමනාවක් නැත
එය ඔබේ අයිතියයි
එකම වරද තුන් හතර වතාවක් සිදු කළාට මගෙන් සමාවක් නැත
වරද දන්නේත් නැත්නම් මම කුමක් කරම්ද.........??
මතක් කර බලනු මැන
වැරදි රැසක් එක් වීම , එකම වරද කිරීම
මම මිනිසෙකි සමාව දීමට දෙවරක් සිතිය යුතුය...
මම නිවැරදි තීරණය ගතිමි
එය මගේ හෘද සාක්ෂියට අනූව සිතින් සිතා ගත් තීරණයකි
හුදෙක්ම ක්ෂණික කෝපය නිසා ගත්තක් නොවේ
ඔබට එසේද නැතිද කියා මම නොදනිමි
නමුත් පසුපස පැන්නීමට තරම් දෙයක් ඔබ සතුව ඉතුරුව ඇති සැටියකි
ඔබේ හෘද සාක්ෂියට අනූව ඔබ නිවැරදි නම් පසුපස පැන්නීමට
පිළිතුරු බලාපොරොත්තු වීමව ඔබට අවශ්‍ය නොමැත
එය එසේ නොවේද කියා සිතෙන් අසා දැන ගන්න
මම මගේ මඟ යමි
ඔබ ඔබේ මඟ ගන්න
ඔබ කරනා මඩ ප්‍රහාරයද හැකිනම් නැවතකරන්න
එය මට තවත් සංතුෂ්ටිය දනවන්නකි ප්‍රීතිය උපදවන්නකි
මක්නිසාදයත් ජීවිතයේ නා නාවිද මඩද ඒවා නිවැරදි වූ කළ
අනන්ත අප්‍රමාණ ලෙස ප්‍රශංසාද විඳ ඇත්තෙමි
මගේ හෘද සාක්ෂියට අනූව මා නිවැරදි නිසා
මට ඔබේ මඩ කිරිවෙහෙර ගිලගත්තවුන්ට අග්ගලය දුන්නා වැනිය..
තමන්ට වුණ පමණට කෑගසා අනුන් නොපෙලන්න යයි කීවේ ඔබයි
මට ඔබට කියන්නට ඇත්තේද එයයි
දන්නෝ දනිති
අනුන්හට වැරදි කිය තැන තැන මඩ ගැසීම පුරුදු කාර්‍යය නිසා අත් නොහරින්න
මම නිහඬ වෙමි නිහඬව විඳ ගනිමි
කළ වරද මතක් වුනු දිනෙක එය වරදක් කියා පිළි ගන්නා දිනෙක
නැවත දොඩමළු වෙමු
එතෙක් නිහඬව සිටිමු
එපමණයි
පිළිතුරු ලැබුනා යයි සිතමි

කැන්ඩි...

සමාවුව මැන...



කාලෙකට පස්සේ තමයි කැන්ඩිට මේ පැත්තේ එන්න ලැබුනේ.පසුගිය මාසය පුරාවටම කැන්ඩිට කැන්ඩිගේ ඇසටවත් ,මතක අහුරටවත්,තොරතුරුතාක්ෂණ පන්තියටවත් කිසිම විදියක පෝස්ට් එකක් ලියන්න බැරිවුනා.ඒ ගැන මගේ කනගාටුව පල කරනවා වගේම ඉදිරියේදී වෙනස් මාතෘකා රාශියක් යටතේ ඔබට ලිපි ගෙන එන්නත් මම පොරොන්දු වෙනවා.

කැන්ඩිට මේ පැත්තේ එන්න බැරිවුනේ කැන්ඩි ව්‍යාපෘති වගයකට කාර්ය බහුල වෙලා හිටිය නිසයි.තවමත් ඒවා 100%ක් ඉවර වුනේ නැතත් මේ දවස් වල විභාගයට පාඩම් කරන්නට නිවාඩු ලැබුන නිසා පෙරට වඩා විවේකයක් තිබෙනවා.මේ මාසය නිම වෙන තුරුම විභාගය තිබුනත් ඉඩ ලැබෙන වෙලාවට මේ පැත්තේ එන්න මම බලපොරොත්තු වෙනවා.සමහර විටෙක කාලයක් නිහඬව ගෙවිලා ගිය නිසා සමහරු හිතන්න ඇති කැන්ඩිගේ බ්ලොග් කෙරුවාවත් අර හතු පිපෙන්නා වගේ එක පාරටම සිද්ධවෙල නැතිවෙලා යන දෙයක් කියලා.නමුත් කැන්ඩිගේ ඉබිගමනින් හදිසියක් නැතුව යන බ්ලොග් කෙරුවාව හතු පිපෙනවා වගේ ඉක්මනින් නැති වෙන්න දෙන්නේ නැහැ කියලා බ්ලොගයට යන එන සියළුම යාළුවන්ට කැන්ඩි පොරොන්දු වෙනවා.

කාලයක් යමක් ලියන්නත් බැරි වුන නිසා ලියන්න දේවල් දහසක් හිතට නැගෙනවා,ඒ දේවල් වචන වලට පෙරලලා ඔබවෙත ගෙන එන්නට කාලය තමයි ටිකක් මදි.නමුත් පාඩම් වැඩ කටයුතු කරන අතර තුරේදීම අළුත් මාතෘකා එකින් එක කාලය ඉඩ ලැබෙන පරිදි ඔබ වෙත ගෙන එන්නට මම පොරොන්දු වෙනවා.තවත් දෙයක් සමහර බ්ලොග් යාලුවෝ නම් කාලයකට එන්න හම්බවෙන්නේ නැති වුනාම ඒක කියලා තමයි යන්නේ ,කැන්ඩිටනම් ඒක කරන්න බැරි වුනා,ඒකටත් සමාවෙන්න කියලා ඉල්ලනවා.නැවතත් කාර්‍ය බහුල වුනොත් දන්වන බවත් ඇලුත් දේවල්,අළුත් පෝස්ට් එකක් සමඟින් ආයෙත් හමුවන බලාපොරොත්තුවෙන් සමුගන්නම්.

කැන්ඩි.....

Sunday, August 29, 2010

බියර් රස බැලීම.......




ඔන්න ඉතින් මම පොඩි විවේකයක් හම්බ වුන ගමන්ම තවත් කතාවක් ලියන්න කියලා හිතුවා.

මේක නම් යාළුවෝ ගැන නෙමෙයි.මේක මමයි අක්කයි ඒ කාලේ එකතු වෙලා කරපු වැඩක් ගැන.මේක මට මතක් වුනේ වෙන කෙනෙක්ගේ Post එකකට Comment එකක් දාන්න ගිය වෙලාවේ.ඔන්න ඉතින් මම මේ කතාවත් ලියන්න කියලා හිතුවා ඔන්න.දැන්නම් අක්කට මාවත් මට අක්කාවත් පේන්න බැරි වුනාට ඒ කාලේ අක්කගේ හොර වැඩවලට හිටිය එකම බුදු ෆිට් එක මම තමා.කොටින්ම කිව්වොත් මෙයා ගෙදරදි කරපු සියළුම හොර වැඩ වලට මගේ 100%ක සහයෝගය ලැබුනා.ඔන්න ඉතින් මේකත් එහෙම සහයෝගය ඇතිව දෙන්නම කරපු වැඩක් තමයි.හැබැයි මෙයාගේ එක කපටි කමක් තිබුනා ඕනෙම එකකට මාව දායක කර ගත්තාට අම්මාට හරි තාත්තාට හරි වැඩේ අහු වුනොතින් බිල්ලට දෙන්නේ මාව තමා.ඒත් ඉතින් ලැජ්ජා නැතිකම මහමුදලිකමටත් ලොකුයි කියනවා වගේ මමත් මෙයාගේ හොර වැඩ වලට සහයෝගය දුන්නා.

මේ කතාව ඉතින් කැන්ඩියි කැන්ඩිගේ අක්කයි පළමුවෙනිපාරට බියර් ටෙස්ට් කරපු හැටි තමයි.කැන්ඩිගේ තාත්තට මීට අවුරුදු පහළවකට විතර කළින් රට ගිහින් ආපු යාළුවෙකුගෙන් විශාල බියර් කෑන් තොගයක් සහ රට බීම තොගයක්ම ලැබුනා.කැන්ඩිගේ තාත්තත් ඕවා භාවිතයක් ඇත්තේම නැති වුනාට යාළුවාගේ හිත නරක් වෙන නිසා ඔය ටික ගෙදර ගෙනැත් තියාගෙන එක එක කෙනාට තෑගි කර කර හිටියා.ඔය තොගයේ බියර් කෑන් විතරකුත් නෙවෙයි බියර් බෝතල් වගයකුත් තිබුනා.

ඔය අතරේ දවසක් තාත්තගේ යාළුවෙකුගේ ගෙදර පාටියකට ගිහිල්ලා කට්ටිය බියර් බොන හැටි කැන්ඩියි කැන්ඩිගේ අක්කයි දැක්කා.ඔය අතරෙදි කෙනෙක් බිබී හිටපු බියර් වීදුරුවකුත් එයා මොකකට හරි එළියට යන්න ගිය නිසා කැන්ඩියි කැන්ඩිගේ අක්කයි හිටපු තැනින් තියලා ගියා.ඔන්න දැන් කවදාවත් බියර් බෝතල් ඇතුලේ ,කෑන් ඇතුලේ තියෙනවා දැක්කට වැඩිය ළඟට දැකලා නැති නිසා අම්මා වෙන යාළු ඇන්ටි කෙනෙක් එක්ක කතාකර කර ඉන්න අතරේ දෙන්නාම කිට්ටු කළා අර වීදුරුව ළඟට.දෙන්නාම දැන් කිට්ටු වෙලා බලාගෙන ඉන්නවා ,ඔහොම ඉන්න ගමන් අර වීදුරුවට නහයත් පොඩ්ඩක් කිට්ටු කළා ගඳ සුවඳ බලන්න හම්මේ එවෙලේ ආපු සුවඳ,දෙන්නාටම ආවේ පැණි සුවඳක්.අම්මා ඉන්න නිසා ඔයිට වැඩිය පරීක්ෂණයක් පවත්වන්න බැරි නිසා ඔන්න දෙන්නාම අහකට වුනා.ඔන්න දැන් පාටිය ඉවර වෙලා රෑ ගෙදර ආවා.ඔන්න ඉතින් ආව හැටියෙම ඉතින් දෙන්නාම වෙනදා වගේ කුටු කුටු සාඛච්ඡාව.


ඔන්න ඉතින් දෙන්නාම සාඛච්ඡාව පටන් ගත්තා."මේ එක නෙමෙයි අරක මාර සුවඳයි නේද?ඔන්න කැන්ඩිගේ අක්කා අහනවා.ඒක තමයි ඒකෙ සුවඳෙ හැටියට මාර පැණිරහ ඇති නේද? ඒකතමා අපේ තාත්තා ඒවා බොන්නේ නැත්තේ මොකද දන්නේ නැහැ නේද?ඒක තමා මාත් හිතුවේ ඒකෙ සුවඳෙ හැටියට ඒක මාර පැණිරහ ඇති නේද?මටත් හිතුනා අපි අම්මයි තාත්තයි නැති දවසක ටිකක් බීල බලමුද?"ඔන්න ඉතින් කැන්ඩිගේ අක්ක යෝජනාව ගෙනාව."හා" ඔන්න ඉතින් කැන්ඩිත් එක පයින්ම කැමති වුනා.

ඔන්න ඉතින් දැන් දෙන්නටම අම්මයි තාත්තයි දෙන්නාම ගෙදර නැති වෙන දවසක් එනකම් ඉවසිල්ලක් නෑ.විශේෂයෙන් කැන්ඩිගේ අක්කාට.ඔහොම සති දෙකක්ම ගියා.අම්මයි තාත්තයි දෙන්නාම ගෙදර නැති වෙලාවක් හොයා ගන්න බැරි වුනා.දෙන්න්නගේම නිකන් කටවල් කහනවා වගේ.ඇයි ඉතින් මෙච්චර පැණිරස බීමක් බොන්න ආස නැත්තේ මොකාද?ඔන්න තවත් සතියක් ඔය විදියට ගෙවිලා ගියා.ඔන්න ඒ සති අන්තේ නම් කැන්ඩිව ගෙදර තියලා අම්මයි තාත්තයි ටිකක් හවස් වෙලා බණගෙදරක යන්න පිටත් වුණා.එදා ඉතින් කැන්ඩිගේ අක්කත් පන්තියකට ගිහින් හිටිය නිසා කැන්ඩිටත් ගෙදර ඉන්න සිද්ධ වුණා අක්කා එනකන්.කැන්ඩිත් ඉතින් සන්තෝසෙන් ගෙදර නතර වුණා මොකද අද නම් මේ වැඩේ කළෑකි තව ටික වෙලාවකින් අක්කත් එනවනේ මොකද අක්කගේ පන්තිය තිබුනේ ගෙදර ඉඳන් වැඩි දුරක නෙවෙයි කැන්ඩිලාගේම මහප්පලාගේ ගෙදර,ඒක නිසා අක්කාට ඉක්මනටම එන්න පුළුවන් කියලා කැන්ඩි දැන ගත්තා.

ඔන්න ඉතින් අක්ක එන්න කළින් ටිකක් බීලා බලන්න ඕනේ කියලා බියර් බෝතල්,බියර් කෑන් ටික තිබ්බ කබඩ් එක ඇරලා බැළුවා මොකද අක්කා එක්ක බොනකොට අක්කා දාන ඔක්කෝම නීති වලට යටත් වෙන්න එපැයි.කබඩ් එක ඇරල බෝතල් දෙකක්ම එලියට අයින් කරල ගත්තේ නෑ වගේ පේන්න ඒක හරි ගැස්සුවා.ගත්තට මොකෝ බොන්න බෑනේ මොකද ඒකාලේ කැන්ඩිට බෝතල් මූඩියක් ගලවන්න ඒතරම් තේරුමක් තිබුනේ නැහැ.ඒක නිසා අදහස අත් අරින්න සිද්ධ වුණා.කොහොම හරි ඉතින් ගත්තු එක අක්ක එනකන් ෆ්‍රිජ් එකේ තිබ්බොත් කූල් කරලාම බොන්න පුළුවන් නිසා ඉක්මනට කූල් වෙන්න කියලා එකක් ෆ්‍රිජ් එකේ ෆ්‍රීසරයට දාල ඉක්මනට වැඩේ සිද්ධ වෙන්න ෆ්‍රිජ් එකේ තිබ්බ බොත්තනුත් අසූහාර දාහටම කරකවල අනිත් එක විතරක් එලියෙන් තිබ්බා.

ඔන්න ඉතින් ටික වෙලාවක් විනාඩිතිහක් හතලිහක් ගියාට පස්සේ අක්කා ආවා.ඔන්න ඉතින් කැන්ඩිට මාර හැපිනේ.දූවගෙන ගිහින් විස්තරය කිව්ව.ඔන්න ඉතින් කැන්ඩිගේ අක්කටත් මාර හැපි.අක්කාත් ඉතින් පොත් ටික තියන්න කාමරයට ගිහින් ඇඳුම් අහෙම මාරු කරන අතරේ ඔන්න එක පාරටම මාර සද්දයක් ඇහුනා කුස්සිය පැත්තෙන් හරියට නිකන් කවුරුහරි වීදුරුවක් බින්ඳා වගේ.දෙන්නම ඉතින් ඒ පැත්තට ගිහින් බැලුවත් මොකක්වත් පේන්න නැති නිසා ඔන්න දෙන්නම ගියා ෆ්‍රිජ් එක ළඟට වැඩේ පටන් ගන්න.ගිහිල්ල ඉතින් ෆ්‍රිජ් එකේ දොර ඇරලා බැලුවමයි එලොව පොල් පෙනුනේ .ඒක ඇතුලේ දාපු බෝතලය වෙනුවට තිබුනේ වීදුරු කටු.කැන්ඩි ඉක්මනට සීතල වෙන්න කියලා අර බෝතලය ෆ්‍රීසරයට දාල ඒකේ තිබ්බ සේරම බොත්තම් කැරකුවානේ,ඉතින් ඉක්මනටම සීතල වෙලා බෝතලය ඇතුලේ තිබ්බ ඒවා මිදිලා ඉඩ නැති වෙච්චි නිසා තමයි බෝතලය බිඳිලා තියෙන්නේ.

ඔන්න ඉතින් කැන්ඩිගේ අක්කා බැන බැන ගිහින් වීදුරු කටු ටික පේන්නේ නැති තැනක හංගලා එහෙම ආයිත් ආව වැඩේ පටන් ගන්න.ඔන්න මේ පාර නම් අක්ක වීදුරු දෙකක් එහෙම අරගෙන අර බෝතලයේ මූඩිය එහෙම ගලවලා බියර් අර වීදුරු දෙකටම පිරෙව්වා.ඔන්න දැන් වීදුරු දෙකටම පුරවල දෙන්නම එකපාර බොන්න ලෑස්තිය.ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම් මේකෙත් එදා අර සුවඳ බලපු ඒවායේ වගේම සුවඳක් එනවා.

ඔන්න ඉතින් එකයි දෙකයි තුනයි කියල දෙන්නම එක පාර බිව්වා.

පූ....ස් එයැක් තුක් විතරක් අක්කා කටට ගත්තු උගුරම ආපහු විසි කළා.විසි කළා නෙවෙයි විසි වුණා.කැන්ඩිටනම් කටට ගත්තු උගුර එකපාරටම ගිළුනා.ඒ වුනාට කට තිත්තේම තිතේ බෑ.චික් විතරක් මේවා මල ජරාවක්නේ අක්ක බෝතලේ ඉතුරු ටිකත් හැලුවා .

ඔන්න දැන් තමයි කැන්ඩිට තරු පේන්න ගත්තේ.අර ගිළුන එක උගුරටයි කටේ තිත්ත නිසා ඇති වෙච්ච අප්පිරියාවටයි ඔන්න දැන් එක පාරටම කැන්ඩිගේ ආමාශගත ද්‍රව්‍ය එක පාරින්ම එළියට ආවා.ඔන්න ඉතින් දැන් අක්කත් බය වෙලා ලඟට ආවා.ඉක්මනට කට හෝද ගන්න වතුර එහෙම දීලා දැන් කැන්ඩිව පුටුවක් ගෙනැල්ලා ඉන්ඳුවා.තව තත්පර දෙකක් ගියේ නැහැ ඔන්න තව පාරක් .ඔහොම ඔහොම කැන්ඩිගේ ආමාශයේ තව එළියට එන්න දෙයක් නැතිවෙනකන්ම තුන්පාරක් විතර කැන්ඩිගේ ආමාශ ගත ද්‍රව්‍ය එළියට ආවා.

දැන් අක්කා අසූහාර දාහට බය වෙලා ඔන්න ඉතින් පැනඩෝල් දීලා දෙහි හදලා දීල ඔන්න පුළුවන් ප්‍රතිකර්ම සියල්ලම දුන්නාට පස්සෙ කැන්ඩිගේ බඩ පෙරළි කරන එක නැවතුනා. කොහොමින් කොහොමින් හරි අම්මලා එනකොට කැන්ඩිගේ අක්ක සියල්ල යතා තත්වයට පත් කරලා වමනය ගියා කියලා අම්මලාට කියන්න එපයි කියලත් කැන්ඩිව පොරොන්දු කර ගත්තා.

එදාට පස්සේ බියර් කියන වචනය අහනකොටත් කැන්ඩිට මරණ භය ඇතිවෙනවා.කැන්ඩිගේ අක්කාට අවුරුද්දක් දෙකක් යනකන් ඊටත් වඩා භීතිකාවක් තිබුණා, කැන්ඩි ඕක අම්මට කියයි කියලා.දැන් නම් බියර් වචනය මතක් වෙනකොටත් බඩ පැලෙන්න හිනා.නමුත් පස්සේ කාලේක කැන්ඩි හිතා ගත්තා ජීවිතේටම ඔය වර්ග වලින් කිසිම එකක් කටේ තියන්නේ නැතුව ඉන්නවා කියලා.




කැන්ඩි.....


Saturday, August 28, 2010

කෙබී සහ ඇටමරියා.....




ඔන්න ඉතින් අද කියන්න යන්නෙත් අමතක නොවෙන කතාවක්.මේක වුනේ කාලයක් මගේ හොඳම යාළුවෙක් වෙලා හිටිය කෙනෙක්ට.

ඔන්න ඉතින් ඒ කාළෙත් හිටියා නියම මිතුරු කැලක්.මේ කට්ටියත් ඉතින් අමතක කරන්නම බෑ.ඔන්න ඉතින් මේ අය හිටියේ සාමාන්‍යපෙළ පටන් ගත්ත කාලෙ.ඒ කියන්නේ දහය වසරෙදි.ඒ කාලෙ අපේ පන්තිය තිබුනේ ගුරුවරුන්ගේ කාමරයට තවත් පන්තිකාමරයක් එහා පැත්තෙන් ඉතින් කට්ටියට වැඩිය කෑගහන්න එහෙම බෑ එහා පැත්තට ඇහෙන නිසා.ඉතින් ඒක නිසා කෑගහන්නේ නැතුව කරන්න පුළුවන් ඔක්කොම දේවල් කළා.ඔන්න ඉතින් මේ කාලෙ අල්ලපු පන්තියේ කියලා නෑ කට්ටිය ඔක්කොම එකතුවෙනවා.

එහෙම එකතුවෙලා තමා ඉතින් කට්ටිය ඔක්කොම කරන්නේ එහෙම ඉන්න ගමන් ඉන්න එක එක යාළුවටත් මොන මොනව හරි කරලා හිනා වෙනවා.හැබැයි කට්ටිය වැඩිපුර හිංසා කළේ මේ කියන සිද්ධිය වුන කෙනාට තමා.ඒ එයාගේ තියෙන ලොකුපහේ පණ්ඩිත කමටයි කරන කියන ගොන් පහේ වැඩ නිසයි.හිටපු කට්ටිය කියනවනම් මේ කියන කෙබී,ජනී,ජනී-02,මෑඩ්,රුචී,කලූ,ටී සහ මොසී.ඔන්න ඉතින් දැන්නම් මේ කට්ටිය හම්බ වෙන්නේ කලාතුරකින් වුනාට ඒකාලේ කට්ටියම කළේ ගොඩක් දවසට ඉස්කෝලේ ඇරුණම කලූගේ ගෙදරට කට්ටියම එක්ක රිංගන එක.කියන්න බැරි වුනා කලූගේ ගෙදර තිබුනේ අපේ පාසලට ඉතාමත් ළඟින් ඒක නිසා එහෙට යන එක හරිම සිම්පල් දෙයක්.

ඔන්න ඉතින් එහාට ගියම නටන්න පුළුවන් පිස්සු ඔක්කෝම නටලා තමයි කට්ටිය ආපහු ගෙදර යන්න පිටත් වෙන්නේ.මේ කට්ටියගෙන් දැන් බොහෝම දෙනෙක් කාර්‍ය බහුල වෙලා නිසා මුණ ගැහෙන්නේ වෙන්නේ කලාතුරකින් තමයි.කැන්ඩිත් ඉතින් හැමදාම කාර්‍යබහුලයිනේ.මේ කට්ටිය ගැන කිව්වොත් ජනි දැන් වෙනත් රටක වෛද්‍ය ශිෂ්‍යයෙක්,ජනී-2 මාලඹේ තොරතුරු තාක්ෂණ ආයතනයේ ශිෂ්‍යයෙක්,රුචී සහ මොසීත් වෛද්‍ය ශිෂ්‍යයන්,ටී බාහිර උපාධි අපේක්ෂකයෙක් ,කලූ හෙද නිළධාරියෙක් සහ මෑඩ් මොරටුව ශිෂ්‍යයෙක්.මේ කියන කෙබීත් කොළඹ පැත්තේ යුනියක ඉන්නේ.කැන්ඩි නම් ඉතින් මොකද කරන්නේ කියල කියන්න ඕනේ නැහැනේ ,ඔය කට්ටිය ඉතින් දන්නවනේ ඒක.

ඔන්න ඉතින් කට්ටියට හැමදාම බ්යිට් එකට ගන්නවා නම ඉතින් මුළින්ම මතක් වෙන්නේ කෙබීව තමයි,ඒ මෙයා කරන රඟපෑම් සහ තනියම බුදු වෙන්න ගිහින් හැමදාම මෙයාට මොනවා හරි වෙන නිසා.මෙයාට කට්ටිය ගොට්ට ,මුට්ටිය කියල එහෙමත් කියනවා.තවත් නම් නම් බොහෝමයක්.ඔය කියන නම් නම් ඉතින් අති සාධාරණයි.කොටින්ම කිව්වොත් මෙයා විතර මහා ගොටු රාජයෙක් අපේ මුළු ඉස්කෝලෙම හිටියද කියල කියන්න බැහැ.ගොට්ට අල්ලල අල්ලල කොහොම කොහොම හරි මෙයා පාසලේ ගුරුමණ්ඩලයේ මහත්ම මහත්මීන් අතරනම් ඉතා ප්‍රසිද්ධ චරිතයක්. මෙයාට මේ කියන නම වැටුනේ මෙයාගේ ඇත්ත නමින් තවත් කෙනෙක් අපේ පන්තියේ හිටියා, එයාට හැමෝම කිව්වෙ කොබා කියල දෙන්නගෙන් ඉතින් ගොඩාක් වෙලාවට ස්ත්‍රී ගති ළක්ෂණ පෙන්වන්නේ මෙයා නිසා කට්ටිය අනෙකාට කොබාත් මෙයාට කෙබීත් යන නම් කියල ආමන්ත්‍රණය කරන්න පටන් ගත්ත.

මෙයා දැනුත් ඉස්සර වගේම තමයි.වැඩිය වෙනස් හෙම නෑ.දැන්නම් ටිකක් දාන ගොන් පාට් එහෙම ටිකක් ඉස්සරට වඩා බලන්න ලස්සනයි.ඉස්සරට වඩා වැඩිදියුණු වුන ගොන් පාට් දැන් මෙයා දාන්නේ.දැන් මෙයා AIESEC එකේ ලොකු පොරක්.ඉතින් මෙයා දැන් වාතයක් පිට කළත් AIESEC එකේ වාතයක් තමා.කොටින්ම කිව්වොත් ඇඟ පුරාම AIESEC එක.ඒත් ඉතින් මෙයාගෙ ගතිගුණ වෙනස් වෙලා නම් නැහැ.තවම පරණ ගොන්පාට් එහෙම ඊටත් වඩා හොඳින් දානවා.ඔන්න ඉතින් මේ කියන්න යන්නෙත් ඉස්සර මෙයාගෙ තිබුණ ගොන් කමට අනුන්ට හිනා වෙන්න ගිහින් මෙයාට වෙච්චි දෙයක් ගැන තමයි.

ආ මේ කට්ටිය අතරෙ තවත් කෙනෙක් අමතක වුන ඒ තමයි අන්දරේ.අන්දරේත් දැන් තොරතුරු තාක්ෂණ ශිෂ්‍යයෙක්.ඔන්න ඉතින් ඔය කියපු කට්ටියගෙන් භාගයක් එහා පන්තියේ භාගයක් මෙහා පන්තියේ.ඒ වුනාට කට්ටිය මාර ෆිට්.ඒ කාලේ තමයි අර පාසල් වලට උදෑසන ශාරීරික සුවතා වැඩසටහන හඳුන්වල දුන්නේ.ඉතින් කට්ටිය උදේට ඕක කරන ගමන් එතනත් හොඳ පිස්සුවක් නටනවා.ඔය සරඹ කිරිල්ල ප්‍රධාන කොටස් කිහිපයකට බෙදා දැක්වුවා අපි ඒ කාලේ.අඹ කැඩීම,සරුංගල් යැවීම,ඉඳි ආප්ප සෑදීම තව මෙතන කියන්නට බැරි ආකාරයෙන් නම් කරපු කොටසුත් තිබුනා.ඉතින් කට්ටිය කරන්නේ උදේට පේළි දෙකේ ඉදන් අර එක් එක් ප්‍රධාන කොටස අනෙක් අය කරනවා තමනුත් කරන ගමන් බලාගෙන ඉන්නවා.ඔහොම බලාගෙන ඉඳල ඔය සරඹ හරඹය ඉවර වුනාට පස්සේ එක් එක් කෙනාට ඔය මෙකී නොකී ඉසව් සඳහා සම්මාන ලබා දෙනවා.ඉතින් ඔය කාර්‍යයට සම්මාදන් වෙලා තමයි කොහොමින් කොහොමින් හරි මේ කට්ටිය එකට එකතු වුනේ.

ඒ අතරේ ඔය කියන කාලේ තිබුණ වානිජ‍ය සහ ගිණුම්කරණය,ඉතිහාසය ,සංවර්ධන අධ්‍යයනය ,සෞඛ්‍යය යන විෂයයන් වලට මේ කට්ටිය ඒ පන්තියෙන් මේ පන්තියටත් මේ පන්තියෙන් ඒ පන්තියටත් ගිහින් ඔන්න ගජ මිත්‍රයෝ වුනා.ඔය පන්ති දෙකේම කවුරුවත් නැතිවෙලාවට කට්ටිය ඉන්නේ ඉතින් කොයි පන්තියේද කියල හොයන්න බැහැ.අඩුම තරමේ ඔය කට්ටියගෙන් එක් කෙනෙක්වත් අනික් පන්තියට ගිහින් කතාව.ඔහොම වෙලාවට එක එක් කෙනාට මොකක් හරි කියලා හිනාවෙන එක තව මොනව හරි හංගන එක බෑග් එකට කුණු කසල පුරවන එක සාමාන්‍ය සිද්ධි.
තවත් කියන්න බැරිවුන දෙයක් තමයි ඔය පන්ති දෙකේම හිටිය එක වගේම මැරයෝ සෙට් එකක් අනිත් කාට නැතත් ඔය කෙබීටනම් ඒ කට්ටිය මූ නම් මුට්ටිය අල්ලනව වැඩියි කියල නොයෙකුත් ආකාරයේ වද බන්ධන දුන්න.

ඔන්න එදත් කට්ටියට මොකකින් හරි පන්ති දෙකේම ගුරුවරු ඇවිත් හිටියේ නැහැ.හැබැයි කෙබියි කැන්ඩියි අන්දරෙයි මොකක් හරි සාඛච්ඡාවක හිටියේ.ඔන්න එක පාරටම අනික් පන්තියෙන් දුවගෙන දුවගෙන මොසී ආවා.දැන් නම් මෙයා හතර රියන් පුද්ගලයෙක් වුනාට ඒ කාලේ මෙය කොස් ඇට දෙකක් තරම් වත් උස නැහැ.ඒක නිසා කට්ටිය මෙයාගේ ක්‍රියා කලාපයන් ඒතරම් ගණන් ගත්තේ නැහැ.ඒත් මෙයා දුවගෙන දුවගෙන ඇවිල්ලා එක පාරටම නතර වුනේ කෙබී ළඟ.කෙබී ළඟ නතර වෙලා මෙයා කෙබීට කිව්වා අපි ජනීට ඒ කියන්නේ ජනි-02 ට අළුත් නමක් හැදුවා ඇටමරියා කියලා.ඒක කිව්වම එයාට යකා නඟිනවා කියලත් කිව්වා.ඔන්න ඉතින් දැන් ඒක අහපු කෙබීට මාර හැපී.මොකද හැමෝම එයාට නම් කිව්වාට අනිත් අයට නමක් හදන්නේ බොහෝම කලාතුරකින්නේ.ඔන්න ඉතින් අර මාර හැපී පිටම එක පාරම කෙබී දුවගෙන ගියා එහා පන්තියට.

කැන්ඩියි අන්දරෙයි ඔහොම හිටපාන් කියලා කෑ ගැහුවත් ගැහුවත් මෙයා නෙවෙයි නතර වුනේ.මම කලිනුත් කිව්වා වගේ ගුරු කාමරය ළඟ නිසා විශාල ශබ්දයක් නගන්න බැරි වුනත් පන්ති දෙකේම කට්ටිය තරමක ශබ්දයක් ඇති කරලා තමයි තිබුනේ මේ වෙලාවෙත්.ඔන්න ඉතින් කෙබී එහා පන්තියට ගිහින් හිටපංකෝ මම අද උඹට නම් කියන්නේ උඹලගේ මුළු පන්තියම ඉස්සරහ කියල හිතාගෙන පන්තිය ඉස්සරහටම ගිහින් ඇටමරියා... කියල මහා හයියෙන් කෑගැහුවා.

ඔන්න එතකොට ඕකට ලෑස්තිවෙලා හිටපු කළු,මෑඩ්,ටී,මොසී,ජනී-02 සහ අනික් අය එක පාරටම මහා හයියෙන් හිනා වෙන්න පටන් ගත්තා.දැන් හයියෙන් කෑගැහුවට අර ටිකක් ශබ්දය නිසා කට්ටියකට ඕක ඇහුනේ නැහැ.ඒක නිසා ඒ අය බැළුවෙත් නැහැ.ඉතින් කෙබීට ඕනේ කට්ටියම ජනීට හිනා වෙනවා දකින්නනේ මෙයා ඔන්න තවත් පාරක් තවත් ශබ්දය වැඩි කරලා තවත් පාරක් හයියෙන් කෑ ගැහුවා ඇටමරියා... කියලා.ඒ පාරනම් කට්ටියම බැළුවා.ඒ පාර මහා හයියෙන් කට්ටිය හිනා වුනා.ඔන්න හැපී එක වැඩි කමට මෙයා තවත් සද්දය වැඩි කරලා තුන්වෙනිපාරත් මහා හයියෙන් ඇටමරියා... කියල බෙරිහන් දුන්නා.

ඒ පාර නම් මෙයා කෑගහපු සද්දය හොඳට අපේ පන්තියටත් ඇහුනා.කියපු දේ එක පාරටම තේරුන කට්ටිය බඩ බදාගෙන හිනා වෙනවා ඔන්න.හිනා වෙන ගමන් එහා පන්තියේ මැර සෙට් එකේ එකෙක් නැගිටල බඩ බදාගෙන හිනා වෙන ගමන් ඇහුවා අඩෝ කෙබියො කවුද බන් උඹට ඇරියෙ කියල?ඔන්න එතකොට තමයි මෙයාට කියපු එකේ තේරුම වැටහුනේ.අනේ එතකොට ඉතින් කෝච්චිය ගිහින් ඉවරයි.සවලක් තිබුනනම් අනිවා ඒ වෙලාවේ මෙයා ලව්ව අපිට පෘථිවියේ අනික් පැත්තට යන්න උමගක් හාර ගන්න තිබුනා ඒ වෙලාවේ.

මෙයා එක පාරටම ආපහු හැරිලා දුවගෙන ආවා එතකොට හූ වරුසාවයි.අහන් ඉන්න ලස්සනයි සමහරු අහපු දේවල්.ඒ පන්තියෙන් මේ පන්තියට එනකොට මෙයාට මෙහෙනුත් හොඳට හූවක් හම්බවුනා.අනේ අපරාදේ කියන්න බැහැ මෙයා තව මාසයක් විතරයනකන් ඔය යාළුවෝ සෙට් එක ඉන්න පැත්ත හැරිලා හුස්මක්වත් පිට කළේ නැහැ.ඒ වුනාට මෙයා 2009 අවුරුද්දේ AIESEC එකේ ලොකුම පොර වුනා .එහෙම වෙලත් මෙය උම්බෑ කියන එකනම් නැවත්තුවේ නැහැ.තවත් වැඩි කළා මිසක්. Skype එකේ මෙයා විතර අපිට ආතල් දෙන කෙනෙක් වෙන නැහැ.තාමත් අනෙක් අය නැති වුනත් ටී සහ මම රෑට මෙයාගේ විකට සංදර්ශනය නරඹනවා.

ආ තවත් එකක් මෙයාට විභාගයක් ලං වුනාම මෙයාගේ මුණු පොතේ බිත්තිය විනාස කරන එකත් අපේ විනෝදාංශයක්.

කැන්ඩි.......

Friday, August 27, 2010

සිතද ඔබ සිතුවිල්ලද.................?





මිහිරියාවක් දැනුනි මට
යක්ෂාවේශයද
ක්ෂණික කෝපයද
දුකද
සතුටද
ආශ්වාදයද
තැවීමද
ප්‍රමෝදයද
මැලවීමද
විඳීමද
විඳවීමද
සැනෙන් අමතක වීමද
පුපුරු ගසා යලි ඇවිලීමද
ඉවසුමද
ආවේගයද
ලොබකමද
දායදයද
ආදරයද
වෛරයද
මෛත්‍රියද
කරුණාවද
ආයාසයද
පහසුවද
මහා බරක්ද
සැහැල්ලුවක්ද
හැඟුනි මට සිතුනි මට
දැනීමද දැනවීමද
සිතද ඔබ සිතුවිල්ලද.................?

කැන්ඩි.....

ඔබත් මෙහෙමද?



මේ ලිපිය ලියන්න හිතුවෙ සමාජයේ බොහෝ දෙනෙක් හිතාගෙන ඉන්න වැරදි මතයක් දුරු කරන්න.ඒක සමහර විට විහිළුවක් වගේ දැනෙන්නත් පුළුවන් ඒත් ගොඩ දෙනෙක් හැසිරෙන්නේ මෙහෙම නිසා තමයි මම හිතුවේ මේ ලිපිය ලියන්න.සුනඛයා කියන්නේ අපේ නිවෙස් වල කාලයක පටන මිනිසාට හිතවත්ව වෙසෙන සතෙක්.මිනිසාට හිතවත්ව නිවෙස් වල ආරක්ෂාවට නිවසේ සාමජිකයෙකු ලෙස ඉතා සමීපව සිටිනා බලු සුරතලා සමහරවිට වරදවා වටහා ගන්න පුළුවන්.නමුත් අපි තේරුම් ගන්න ඔනේ තිරිසන් සතෙක් වුනත් ඒ සතාගේ ඉතා හොඳ ගතිගුණ මිනිසාට හිතවත් ක්‍රියාකාරකම් තිබෙන බව.සමහර අවස්ථාවලදී බල්ලන් මිනිසුන්ව සපා කා ඇති අවස්ථා නැත්තේද නොවේ.නමුත් මෙතරම් හීලෑ සතෙකු ඒ තරම් දරුනු බවට පත්වන්නේද සමහර මනුෂ්‍යයින්ගේ තිරිසන් ක්‍රියා කලාපයන් නිසා බවද කිව යුතුමය.


මුලිනුත් කිව්ව වගේ මේ ලිපිය ලියන්න හේතුවුණ කරුණු රාශියක්තිබෙනවා.නිවසේ ආරක්ෂාවට සුනඛ සුරතලෙකු නිවසේ ඇති කිරීම ඉතා හොඳ බුද්ධිමත් තීරණයක්.නමුත් බොහෝ මනුෂ්‍යයන් හැසිරෙන්නේ සුනඛයා යනු පිටසක්වල ලෝකයකින් තමා මරා තමාව අනුභව කිරීමට පැමිණි පිටසක්වල ජීවියෙකු ලෙස සලකාය.මගේ සහ මගේ මවගේ විනෝදාංශය ලෙස සුරතලය සඳහා බල්ලන් ඇති කිරීම සිදු කරනු ලබනවා.මට ඇති පුද්ගලික අත්දැකීම අනූව බොහෝ දෙනා සුනඛයෙකු දුටු විට හැසිරෙන අන්දම මම මෙහිදී විස්තර කරන්නම්.බොහෝදෙනා සුනඛයෙක් දුටු විගසම "කරන්නේ අනේ මේකා කනවද?""අම්මෝ මට නම් එන්න බෑ ඔය බල්ලා මාව කයිද දන්නේ නැහැ"යයි පැවසීමය.මූලික වශයෙන්ම මේ ලිපිය රචනා කිරීමේ අරමුණ වන්නේ මෙම දුර්මතය දුරු කිරීමය.බල්ලා යනු ඔබව සපා කෑමට නිරතුරු මඟ බලා සිටින සත්වයකු නොවන බව ඔබ සිහියේ තබා ගත යුතුය.

මෙතැන් සිට ආගන්තුක සුනඛයෙකු සමඟ හැසිරෙමේදී ඔබ ක්‍රියා කල යුතු ආකාරය පිළිබඳව මම ඔබට ගෙන එන්නම්.

1.ආහාර ගනිමින් හෝ පැටවුන් රකිමින් සිටිනා සුනඛයෙකුට කිසිවිටෙකත් කරදර නොකරන්න බියවුන විට හෝ තිගැස්සීමෙන් ඔවුන් ඔබව සපා කෑමට පෙළඹිය හැක.තවද සුනඛයින් වෙත ගල්,කෝටු කැබලි විසි කිරීමෙන් වලකින්න.බොහෝ දෙනෙක් සිදු කරන වැරදි ක්‍රියාවක් තමයි සුනඛයෙක් දුටු විගසම ගල් මුගුරු අරගෙන උන්ට පහර දෙන්නට සැරසීම,එමඟින් වෙන්නේ සුනඛයා කුපිත වීම නිසා සුනඛයා සපා කෑමට පෙළඹීමයි.



2.බැඳ දමා හෝ වැටකින් එහා සිටින සුනඛයෙකුට කිට්ටුවන්න එපා.බොහෝ දෙනෙක් කරන තවත් මෝඩ වැඩක් තමයි මෙසේ සිටිනා සුනඛයන්ට උසුළු විසුළු කිරීම මෙසේ කළ විට සුනඛයා තවත් කුපිත වීම සිදු වේ.



3.සුනඛ පැටවුන් වෙත කිටුවන්න එපා පැටවුන්ගේ ආරක්ෂාවට ඔවුන්ගේ මව ඔබව සපා කෑමට පෙළඹිය හැක.



4.සුනඛයින් අසලින් කලබලකාරී ලෙස හැසිරීමෙන් හෝ දිවීමෙන් වලකින්න.බොහෝ විට සුනඛයින් සපා කෑමට ඔබ වෙත කෝපයෙන් පැනීමට තැත් කරන්නේ ඔබ ඔවුන්ට බියෙන් පසු වේ යයි හැඟුන විටය.



5.සුනඛයෙකුගේ ඇස් දෙස එක එල්ලේ නොබලන්න.එක එල්ලේ ඕනෑම සතෙකුගේ ඇස් දෙස බැලීමත් සතෙකු කුපිත වීමට හේතුවක්.

6.කලබල වූ සුනඛයෙකු ඔබ අසලට පැමිණියේ නම්
  • නිසොල්මන් වන්න.
  • බිම බලා ගන්න.
  • සෙමින් සෙමින් පිටුපසට ගමන් කරන්න.
  • කිසි විටෙකත් ආපසු හැරී දුවන්න එපා.එවිට සුනඛයා කිසිවිටෙකත් ඔබ වෙත පැනීම නතර කරන්නේ නැත.
7.සුනඛයෙකු ගොරවමින් ඔබ වෙත කිට්ටු වන්නේ නම් ගසක් මෙන් නිසොල්මන් වන්න.දෑත් දෙපසට එල්ලා වැටෙන්න හරින්න.ටික වේලාවකින් ඔහු ඔබ වෙතින් ඉවත්ව යනු ඇත.

8. මෙසේත් ඉවත්ව යන්නේ නැතීව සුනඛයා ඔබ වෙත පනී නම් මුහුණ සහ ශරීරය ආරක්ෂා වන පරිදි වකුටු වන්න.

මේ ආකාරයට ඔබ ආගන්තුක සුනඛයෙකු දුටු විට හැසිරෙනවානම් ඔබට සුනඛ සපා කෑමක් ඉතා පහසුවෙන් වලක්වා ගත හැකි වේවි.නමුත් බොහෝමයක් දෙනා සුනඛයෙකු දුටු විට කරන්නේ මේවාට ප්‍රතිවිරුද්ධ ක්‍රියාවන් නිසාවෙන් බොහෝ විට සුනඛ සපා කෑම් සිදු වේ.

සුනඛ සපා කෑමකදී..
  • වහාම සපා කෑ ස්ථානය සබන් යොදා ගලා යන ජලයෙන් සෝදන්න.
  • රෝහලකට යන්න.
  • සුනඛයාව වෙන්කර තබන්න.එම සුනඛයාගේ හැසිරීම කෙබඳුදැයි නිරීක්ෂණය කරන්න.

ඔබ සුරතලයට ඇති කිරීමට සුනඛයෙක් හෝ බළලෙක් ලබා ගන්නා විට පශු වෛද්‍යවරයෙක් හෝ මහජන සෞඛ්‍ය පරීක්ෂක හමුවී ජල භීතිකා රෝගය පිළිබඳ දැනුවත් වන්න.එන්නත් කිරීම් සිදු කරවා ගන්න.තවද ඔබ සුරතලයට සතෙකු ඇති කිරීමට ගන්නා විට බොහෝ විට සුනඛයෙක් ඇති කිරීමට ගන්නා විට ඔවුන්ට නිසි ආකාරයේ උපත් පාලන ක්‍රමයක් ඇති කිරීමට වග බලා ගන්න.අනවශ්‍ය පැටවු බෝ වීම එමඟින් ඔබට වලක්වා ගත හැක.මෙම ක්‍රමයක් අනුගමනය කරනවා නම් ඔබට පන්සලට බලු දාන දීමෙන් වැලකී සිටිය හැක.

ඔබ ඉහත දැක්වූ ආකාරයට කටයුතු කරන්නේ නම් ඔබට සුනඛ සුරතලෙක් ඇති කිරීම ඉතා පහසු කාර්යයක් වේවි.සුනඛයා දුටු විට ඔබගේ තිරිසන් ගති ඉස්මතු කර නොගෙන නුවණින් කටයුතු කරන්නේ නම් ඔබටත් සුනඛයෙකුගේ තත්වයට පත්වීම වලක්වාගත හැකි වේවි.



ෆ්ලෆී මාස පහේදී...



කැන්ඩි.....

Thursday, August 5, 2010

ඇයද මිනිස් දුවකි.



කැන්ඩි මේ දවස් ටිකේ ව්‍යාපෘති වැඩ වගයකට ටිකක් කාර්‍යබහුල වෙලා නිසා ටිකක් විතර වෙලාව මදි අනිත් වැඩ කටයුතු කර ගන්න.ඒක එහෙම වුනත් කැන්ඩි හිතුව මේක නම් ලියන්න, ඒ හිතට ටිකක් කල කිරීමක් වගේ සිතුවිල්ලක් ඇති වුන නිසා.ළඟදී දිනයක කැන්ඩි කැන්ඩිගේ අම්මත් එක්ක ළඟම ඥාතියෙකුගේ ගෙදර බණ පින්කමක් තිබිල බණ අහන්න ගියා.

ඉතින් මේ ධර්ම දේශනාවට වැඩම කළේ ප්‍රදේශයේ ප්‍රසිද්ධ හිමි නමක්.උන්වහන්සේ කවිබණ දේශනා කරන්න ඉමහත් ප්‍රසිද්ධියක් උසුලපු හිමිනමක්.ධර්ම දේශනාවේ මාතෘකාව වුනේ කළු ගඟේ ඛේදවාචකය.කවිබණ අව්සාන වන තෙක්ම මෙම කවි බණ මඟින් කියවුනේ එම සාපරාධී මවට ඇනුම් බැනුම් සහ ගැරහුම්ය.
ඔන්න මම මාතෘකාවට පිවිසුණා.

මුලින්ම කියන්න ඕනේ මේ ලිපිය ලියන්නේ මෙම මවගේ පැත්ත අරගෙන නොවන බවත් මමද එක හෙලාම මෙම මවට මෙම දරුවා ගඟට විසි නොකර අඩුම තරමේ මෙම දරුවාගේ පණ නල රැකෙන පරිදි කිසියම් ස්ථානයක දමා ආවානම් මීට වඩා හොඳ බවය.නමුත් අපි ඇයට බනින්නට පෙර මෙම කරුණු ගැනත් සිතා බැලුවොත් හොඳයි කියා මම සිතුවා.එම නිසා එම කරුණු මම ඔබේ ඉදිරියේ තබන්නම් ඒවා සාධාරණීකරණය කරන ලෙස මම නොඉල්ලමි.නමුත් මෙම කරුණුවලද යම් සත්‍යතාවක් ඇතැයි මගේ මනසට වැටහෙන හෙයින් මම මෙම කරුණු එකින් එක ගෙන හැර දක්වමි.

මාධ්‍ය වලින් මම දුටු පරිදි ඇසූ පරිදි මෙම මව මෙම දරුවා ගඟට විසි කළ ස්ථානයට පොලීසිය විසින් ගෙන ගිය අවස්ථාවේදී ඇයට ගල්මුල් ගැසීමට විවිධ පිරිස් ඉදිරිපත් වූ බව දැන ගතිමි.නමුත් ඇය පවසා තිබුණ පරිදි ඇය දිනපතා බඩගින්න නිවා ගන්න යමක් සොයා ගැනීමට කළුතර බෝසමිඳුන් අසලට යන අවස්ථා වලදී එනම් සිඟමන් යදින්න යන අවස්ථාවලදී මෙම මවට මෙම දරුවා සමඟ බඩගින්න නිවා ගැනීමට එකදු තම සන්තක සතයක් පරිත්‍යාග කළ අයෙකු සිටියේද යන්න මට නැඟුන එක් ගැටළුවකි.

මෙවන් අවස්ථාවලදී මෙම ඈයින්ට ගල්මුල් ප්‍රහාර දෙන්නට පිරිස් ඉදිරිපත් වූවත් මෙම අයගේ බඩගින්න නිවා ගන්න සතයක් දෙන කෙනෙකු සොයා ගන්න ලැබෙන්නේ උගහටය.තවද මෙම මව එම අවස්ථාවේදී සිටි මානසික තත්වය කුමක්ද යන්න අපි නොදනිමු එය දන්නේ ඇය පමණි.ඇය දීර්ඝ කාලයක් තිස්සේ යම් මානසික අසහනකාරී තත්වයකින් පෙලුනා විය හැක.ඇයට කිසියම් මානසික රෝගී තත්වයක් තිබුනාද විය හැකිය.අපි එයද නොදනිමු.(නමුදු එම විදියේ තත්වයක් මෙතෙක් ඇයට තිබුනා කියා මගේ දැනුමේ තරමට කිසිම මාධ්‍යයකින් වාර්තා කර නොමැත.)

ඇයට තිබූ ආර්ථික අපහසුකම් දන්නේ ඇය පමණි.මාධ්‍ය වලින් වාර්තා වූ ලෙසට ඇයගේ සැමියා දරුවා රෝහලේ සිටියදී පැමිණ සාක්ෂි දුන්නත් ඔහු ඇයව හැර දමා ජීවත් වී ඇත.ඔබ අප සැම කෙසේ මෙම අප ලංකාද්වීපය කෙසේ වර්ණනා කළත් මෙම සමාජ මට්ටමේ කාන්තාවකට සමාජයේදී මුහුණ දීමට සිදුවන තත්ව ඉතාමත් කටුකයැයි මා අමුතුවෙන් ඔබට කීමට උවමනා නැත.එවන් කාන්තාවකට අනෙකුත් එම වටාපිටාවේ සිටින පිරිමින්ගෙන් සිදුවන අතවර පිළිබඳව පැහැදිලි අවබෝධයක් ඔබට දිනපතා පළවන පුවත්පතකින් ගත හැකිය.

තවද මෙම කාන්තාව මෙම දරුවා පිළිබඳව ඔහු ඉපදුන දිනයේ පටන් සැබෑ මාතෘ සෙනෙහසකින් සිටියාද යන්නට අපට සාක්ෂි ඇතුව කීමට නොහැක. මන්ද යත් මෙවන් සමාජ පසුබිම්වල කාන්තාවන් තමන් අකමැත්තෙන් ගැබ්ගන්නා අවස්ථා අනන්ත අප්‍රමාන ඇත.එවන් පසුබිමක ඉපදෙන දරුවා කෙරෙහි දාරක ස්නේහයකට වඩා එම දරුවා දකින විට එම මව් වරුන්ට එම දරුවා ඇති වීමට ශුක්‍රාණුව දායක කළ තැනැත්තා කෙරෙහි වූ වෛරය ඉස්මතුවී එම දරුවා තමාගේ වෛරක්කාරයෙකු ලෙස පෙනිය හැක.එවන් අවස්ථා අනන්ත අප්‍රමානව දැකිය හැක.එයට වරද එම මවගේද දරුවාගේද නොවූවද එමඟින් ඍජුවම මෙම දරුවාද මවද අනන්ත අප්‍රමාණ ලෙස දඬුවම් ලබයි.මෙවන් අවස්ථා අතීතයේද වාර්තා වී ඇත. මෙම මවටද එවන් කරුණක් මෙය සඳහ බලපා ඇතියි යන්න අපට කිව නොහැකි නමුත් එය එසේ නොවෙයි යන්න කීමටද අපට සාක්ෂි නොමැත.එය දන්නේද ඇය පමණි.

තවද ඇය කී නොකී අප නොදන්නා අපට අනුමාන කළ හැකි හේතු ගණනාවක් ඇයට තිබිය හැකිය.
නමුත් මම නැවතත් කියන්නේ ඇය මෙම දේ නොකළානම් හොඳ බවය.නමුත් මෙය දැන් සිදුවී හමාරය.මෙහි වගකීම ඇයමත පමණක් පවරා ඇය මරනීය දණ්ඩනයට හෝ ජීවිතාන්තය දක්වා සිර දඬුවමකට යටත් කළ පමණින් මෙය අපට විසඳිය නොහැක.ඇය මෙම තත්වයට පත් වූයේ ඇයගේ වරදින්ම පමණක් බව අපට පැවසිය නොහැක.ඇයද සමාජයේ විවිධ ආකාරයෙන් සිදුවන අපරාධයක අපචාරයක ගොදුරක් වූවා විය හැකිය.එයට ඇයට පමණක් දෝෂාරෝපණය කිරීම ශිෂ්ඨාචාර සම්පන්න ජීවිතයක් ගත කරන මිනිසුන් වශයෙන් අපට සිදු කළ නොහැක.මන්දයත් ඇය මේ සමාජයේ විෂමාචාර වල තවත් ගොදුරක් මිසක මේ සියල්ලටම අකුරක් නෑර වගකිව යුත්තී ඇය නොවන නිසාය.තවද ඇයට සිදුවිය හැකි පෙරකී තත්ව ඇය උපන් පරිසරයෙන් ඇයට දායාද වූ ඒවා මිසක එම තත්වයන් ඇය විසින් ඇති කරගත් ඒවා නොවන නිසාය.
විශේෂයෙන්ම මිනිසුන් වශයෙන් අප එය වටහා ගත යුතුය.

මේ වරද සම්පූර්ණයෙන්ම ඇය පිට පවරා අපට නිදොස් වීමට නොහැක.මේ සමාජයේ විෂමාකාරතත්වයන් නිසා ඇයට මුහුණ පෑමට වූ මෙම තත්වයට අඩුවැඩි වශයෙන් වක්‍රාකාරයෙන් දායක වී ඇති නිසාය.අප කළ යුත්තේ ඇයට නිග්‍රහ අපහාස කිරීම නොව මිනිසුන් වශයෙන් වැරදුන තැන කොතනද යන්න සොයා බලා ඒ වරදම තවෙකෙකුට සිදු නොවීමට වග බලා ගැනීමය.හේතුඵල වාදයට අනූව අපට යමක් සිදුවීමට හේතුවද එය සිදු නොවීමට වග බලා ගැනීමද කළ හැක.

ඔබ මුහුදුකරයට ගියහොත් ඔබට එම වෙරළාසන්න නිවෙස් වල සිටින කාන්තාවන් පිළිබඳ සැබෑ තතු දැන ගත හැක.මෙයවෙරළාසන්න ප්‍රදේශ වල පමණක් නොව විවිධ පෙදෙස් වල වර්තමානයේ සුලභ දසුනකි.මා උදාහරණයක් ලෙස මෙය ගෙන හැර දක්වමි.බොහෝමයක් වෙරළාසන්න පෙදෙස්වල සිටින්නේ අඩුවයස් මව්වරුන්ය.තවද මොවුන්ට දරුවන් හතර පස් දෙනා බැගින්ද සිටියි.මොවුන්ට මෙම දරුවන් නඩත්තුවට තබා එදා වේල පිරිමසා ගැනීමට තරම් ආදායමක් නොමැති තරම්ය.මෙම දේවල් වලට වග කිව යුත්තන් වන්නේ කවුද කියා සොයා බලන්න කිසිවෙකු නැත.මොවුන්ට නිසියාකාර අධ්‍යාපනයක් ලැබී නැත හෝ මොවුන්ව කිසිවෙක් ඒ සඳහා යොමු කර නොමැත.නිසියාකාර පවුල් සංවිධාන ක්‍රමයක්,නිසියාකාර ලිංගික අධ්‍යාපනයක් මොවුන් සතුව නැත.සදාචාර සම්පන්න පුරවැසියන් වශයෙන් අපට ඔවුන් විසින් ඒ දේ ලබා ගන්නේ නැතැයි කියා අත පිස දමා ගන්නට බැරිය.

රටේ බහුතරයකට හිමිවන අධ්‍යාපනය මොවුන්ට ලැබී නැත.අඩු තරමේ දරුවකු ලැබෙන්න රෝහලකට ඇතුලත් වන අවස්ථාවකවත් මොවුන්ට මේ දැනමුතුකම ලැබී නැත.තවද මෙම සිද්ධියෙන් පසුව මාධ්‍ය මඟින් කියවුන පරිදි තමන් හට හදා වඩා ගන්නට බැරි දරුවන් එම නගරයේ පොලිසිය හරහා හෝ ළමා හා කාන්තා කාර්‍යාංශය මඟින් පරිවාස භාරයට පත් කිරීමේ හැකියාව තිබී ඇත.නමුත් අවාසනාවට මෙම කරුණුකාරණා රටේ මේ දැනමුතුකම අවශ්‍ය පුද්ගලයන් වෙත සන්නිවේදනය වී නැත.

මොවුන් සතුව මෙවැනි දැනුමක් තිබේනම් මෙවැනි දේ සිදුවීම බොහෝ දුරට වලක්වා ගත හැකිය. තවද එම පුද්ගලයන් හට ජීවත් වීමට කිනම් හෝ වෘත්තීය අධ්‍යාපනයක් ලබා දිය යුතුය.ඔවුන්ට දිවිගැටගසා ගැනීමේ මාර්ගයක් තිබුනා නම් මෙසේ ව්නොවීමට බොහෝ ඉඩකඩ තිබුනි.ඇය කළ දේ මම අනුමත නොකළත් ,ඇය කළ දෙයට නැවත නැවත ඇයට බැණ අඬගසනවාට වඩා ඇය වෙනුවෙන් ඇගේ අනෙක් දරුවන් යහපත් පුරවැසියන් කිරීම අප සතු යුතුකමකි.මෙම සිදුවීම මතක් කර මාතෘ ගුණ වැඩි කර ගැනීමට ධර්මය දේශනා කළානම් වඩා හොඳ යයි මට අවසානයේ සිතුනි.මන්දයත් ඇයට බැන අඬ ගැසීමෙන් ඇයගේ වරද නිවරද නොවන නිසාත් අර මියගිය දරුවාගේ සිරුර නැවත ප්‍රාණවත් වීම මෙමඟින් සිදු නොවන නිසාය.

අප මහා බුදුරජාණන්වහන්සේ ධර්මය දේශනා කිරීමේදී අතීත කතාව සිහිපත් කරන ලද්දේ එමඟින් වැරදුන තැන පෙන්වාදී වරද නිවැරදි කිරීමටය. එසේ නැතුව එම චරිතවලට බැණ අඬගසා ශ්‍රාවකයා ප්‍රකෝප කිරීමට නොවේ.ප්‍රසිද්ධ හිමිනමකගේ බණ අසා සිත ධාර්මික වූවාට වඩා සිදු වූයේ හිමි නම කෙරෙහි සිත කළ කිරීමය. මන්දයත් ඇයත් මනුෂ්‍ය දුවක් නොව තිරිසන් යක්ෂනියක ගණනට දැමූ බැවින්ය.මරණීය දණ්ඩනයකට ලක් වූවෙක්ට වුවද තමන් වෙනුවෙන් කාරණා ඉදිරිපත් කිරීමට හැකියාවක් ඇත.ඇයට එම අයිතියද අහිමිය.මෙම හිමි නම මෙම කවිබණ දේශනා කරනා සෑම විටම ඇය යනින්නකය.

තවද ඇයට සිදු වූ මෙම සිදුවීම නැවත නැවත බැන අඬගසනවාට වඩා යම්කෙනෙකුට උපදෙසක් දීමේදී ඔබ මේ වරද නොකරන්න යයි පැවසීම වඩා අගනේ යයි කීම අපද තවත් මනුෂ්‍යයන් වශයෙන් සිදු කළ යුතු බව මම තරයේ විශ්වාස කරමි.මන්දයත් මිනිසාගේ පරම යුතුකම මිනිසාට සේවය කිරීම වන නිසාය.


මෙය මගේ අදහසයි.ඔබේ අදහසත් විවෘතව පවසන්න.සංවාදයට විවෘතයි.

කැන්ඩි..


Monday, August 2, 2010

වහල් සේවය.




ඔන්න ඉතින් මේ කියන්න යන්නේ බුදුන් වැඩිය දේශයක සිටින තවත් මිනිසෙක් කරපු වැඩක් ගැන තමයි.කැන්ඩිගේ ගෙදර කැන්ඩිගේ අම්මගේ වැඩ වලට උදවු කරමින් දුර ගමනක් යනකොට ගෙදර තනි නොතනියට එහෙම හිටපු මුහුණේ සිරියාවක් නැති සිරියාගේ දුවට දරුවෙක් ලැබුන නිසා කැන්ඩිගේ අම්මාට සිරියව සිරියාගේ දුව පදිංචි වෙලා හිටපු අලව්වට නිවාඩු දීල පිටත් කරන්න සිද්ධ වුණා.

ඔන්න ඉතින් මේ අතරේ තමයි කැන්ඩිගේ අම්මා දුර ගමනක් යනකොට සහ නිතර දෙවේලේ ගෙදර තනි නොතනියට ඉන්න කෙනෙක් හොයන්න පටන් ගත්තේ.ඉතින් ඔය අතරේ කැන්ඩිගේ අම්මාට මතක් වුනා එයාගේ ගමේ ගෙවල් ළඟ මේ වැඩේට සුදුසු වයසක ආතා කෙනෙක්.මෙයා මීට කලිනුත් කැන්ඩිලගේ ගෙදර සේවය කරල තියෙනව.මෙයත් සේවයෙන් ඉවත් වෙලා ගියේ සිරියට වගේම දරුවෙකුට කුමක් හෝ ඇබැද්දියක් වෙලා තමයි.ඒ මීට අවුරුදු පහළවකට විතර කළින්.එතකොට මේ ආතා ආතමත් නෙවෙයි එතකොට ගොඩාක් වෙහෙසිලා බර වැඩ කරන්න පුළුවන්.

ඉතින් කැන්ඩිගේ අම්මා හෙව්වේ බර වැඩ කරන්න නෙවෙයි නිසා වයස වුනත් මෙයාට අපේ ගෙදර සේවයට එන්න කියන්න උවමනා උනා,ඉතින් ඒක නිසා කැන්ඩිගේ අම්මා ගෙදර ගිය දවසකඒ අසලම තිබූ මේ ආතගේ නිවසටත් ගොඩ වුනා.මේක දැන ගත්තේ එතකොට තමයි.

මේ ආතට දරුවන් පස් හය දෙනෙක්ම සිටියත් මේ ආතා ජීවත් වුනේ තට්ට තනියම තමන්ගේ කඩා වැටෙන්න ඔන්න මෙන්න තිබුන ගෙදර ඒකට පිළියම් යොදමින් .තමන්ගේ දරුවන් තමන්ට සැලකුවේ නැතත් මේ ආතට වැඩ කිරීමේ හැකියාව තියෙන නිසා තමන්ගේ වියහියදම් ටික උපයා ගැනීමේ හැකියාවක් තිබිණ.

මෙම ලිපියට වස්තු බීජය වන කතාව පටන් ගන්නේ මෙතනින්.
මීට මාස එකහමාරකට විතර කළින් මේ ආතාව තමන්ගේ තනි නොතනියට වත්ත පිටිය එළිපෙහෙලි කිරීමට කියා නැවතී සේවය කිරීමට ටිකක් දුර බැහැර පෙදෙසක පොහොසත් මහතෙකු විසින් කැඳවාගෙන ගොස් තිබිණි.
මේ මහතා තරමක දුර බැහැර පෙදෙසක වතු හිමියෙකි.ඔහුගේ වත්තේ ගව ගාලක් එළුගාලක් තිබී ඇත.
මෙම මහතාගේ නිවසද තිබී ඇත්තේ එයට සුළු දුරකිනි.ගිය පළමු දිනයේ මේ ආතාට කිසිදු වැඩක් කිරීමට සිදු නොවී ඇත්තේ යනවිට රෑ බෝ වී තිබුන නිසාවෙනි.පසුවදා පාන්දරින්ම මේ ආතා කිසිවකු විසින් අවදි කරන ලදී.ඉන්පසුව ඔහුට එකින් එක රාජකාරී පැවරී ඇත.

ඉන්පසු ඔහු පැවසූ ආකාරයට ඔහුගේ දෛනික වැඩ මෙසේය.ඔහුට අවදිවීමට සිදු වී තිබුනේ පාන්දර 4ට පමණය.ඉන්පසු පෙරකී සතුන් සියයක් පමණ වූ එලු හරක් ගාලේ කිරි දෙවීම.එය පාන්දර පහට පටන් ගත් විට නිමවන බව කීවේ උදේ හතට අටට පමණය.ඉන්පසු මෙම සතුන් නෑවීමය.එම සතුන් නෑවීමෙන් පසු වත්ත උදළු ගෑම සවස පහ පමණ වනතෙක් කළ යුතු විය.ඉන්පසුව ඔහුට සිදුවී තිබුනේ එම නිවසේ බල්ලන් නෑවීමය.
තවද රෑ දහය වනතුරු ඔහුට නිවසේ වලන් පිඟන් සේදීම ආදී කටයුතු පැවරී තිබී ඇත.සෑම දිනකම ඔහු මේ සියළු වැඩ කටයුතු සිදු කළ යුතු විය.

ඔහු දිනපතා මෙම වැඩකටයුතු සියල්ල කරමින් මසක් සේවය කර දින දෙකක් ගමේ ගතකර ඒම සඳහා තම දරුවන්ගේ නිවෙස් වලට ගොස් පැමිණීමටඔහුගේ වැටුප ඉල්ලා ඇත.ඒ අවස්ථාවේදී මේ මහතාගේ මහත්මා ගතිගුණ හොඳින් ප්‍රදර්ශනය වී ඇත.මෙම ආතා පවසන පරිදි මෙම මහතා යයි පවසන මිනිසා මොහුට පඩිය ලබා දී ඇත්තේ දීනකට රුපියල් පනහක් බැගින්ය.ඉතුරු මුදල ලබා නොදී ඔහු පවසා ඇත්තේ මම උඹට කන්නත් දුන්නා කියායි.ඉතින් අවසානයේ දුර බැහැර සිට මෙම ආතා බස් රථයෙන් ගමට පැමිණෙන විට ඔහු සන්තකයේ තිබුනේ බස් ගාස්තු වලටද වැයවී ඉතිරි වී තිබුණ මුදලක් පමණි.

මසක් පමණ මෙසේ වහල් සේවය කර පැමිණි මේ ආතාට අන්තිමේදී ගෙදර ආපසු රෝගී තත්වයක් ඇතිවී රෝහලකට ඇතුලත් කර ඇත.එහිදී අධිමිලැති ඔසුවක් නියම කළද මසක් සේවය කර පැමිණි මෙම ආතාට එම බෙහෙත මිලට ගැනීමට මුදල් තිබී නැත.මෙම බෙහෙත ඔහුට මිලදී ගෙන දී ඇත්තේ ඔහු රෝහලට ඇතුලත් කළ අසල්වාසීන්මය.

අහිංසක මොහුගෙන් වැඩ අරගෙන මොහුට සොච්චම් මුදලක් දී ආපසු එවූ මේ මිනිසාට හිතක් පපුවක් තිබීමට
හැකිද?
අඩුම තරමේ ඔහුට මේ ණය කෙදිනකවත් ගෙවීමට සිදුවේ යයි වත් ඔහු සිතා නොමැත
නමුදු මේ ආතා පැවසූ පරිදි මොහු ලෝකයට පෙනෙන්නට මහා බෞද්ධයෙක් බවයි.
ඔහු ලෝකයාට පෙනෙන්නට මහා පින් දහම් කරන්නෙකු මෙන් ජීවත් වන්නෙකු බවය.මේ රැවටීම ඔහු සිදු කරන්නේ කවුරුන් රැවටීමටද?
මෙම කර ඇති ක්‍රියාව අනූව මොහුට මෙයට මේ ආත්මයේදීම මෙයට වන්දිගෙවීමට සිදුවනු නොඅනුමානය.

කෙනෙකුගේ මහන්සියට සරිලන වැටුපක් ගෙවීමට නොහැකිනම් තවත් කෙනෙක්ගෙන් වැඩක් කරවා ගැනීම ගැන දෙවරක් සිතිය යුතුය.මක්නිසාදයත් මෙවන් ලෙස කිරීම මහ කුරීර ක්‍රියාවක් නිසා හා එම පුද්ගලයා අවසානයේදී තමන්ගේ මහන්සියත් වතුරේ යවා අනුන් උදෙසා වෙහෙසී ඇති නිසාය.අවසානයේදී කිව යුත්තේ බෞද්ධයන් වශයෙන් අවසානයේදී අපට කුමන ඉරණමක් අත් වේ යයිද සිතාවත් අන්යටගෞරව කිරීමට, ඔවුන් කරන ක්‍රියාවට කළගුණ සැලකීමද කළ යුතු බවය.


කැන්ඩි.......

මේ ගැන ඔබේ අදහසුත් පවසන්න.

Monday, July 26, 2010

නෙල්ලි මැඩම් සහ හුණු කොට්ටය......




ඔන්න ඉතින් මම අද කියන්න යන්නේ මගේ නුවර පාසල් ජීවිතයේ අමතක නොවන කතාවක්.අදටත් මේක මතක් වෙනකොට මාර ගති.

ඔන්න ඉතින් ඒකාලේ මම ගියේ මහනුවර ශාන්ත සිල්වෙස්තර විද්‍යාලයට.
මම නුවරදි පාසල් දෙකකට ඇතුලත් වුනා,ඔන්න එකක් තමයි මේක.ඉතින් නුවර පාසල්වල හිටියේ නාලන්දයේ වගේ දරුවන්ට ආදරය කරන ගුරු මෑණිවරු නෙවෙයි මැඩම්ලා.කාට හරි මේ කොටස මඟ ඇරුනොත් ඉතින් ගුටි
තමා..මොකද මේ අය සාමාන්‍ය ගුරු මෑණිවරු නෙමෙයිනේ..උඩරට වලවු වල මැණිකෙලා,කුමාරිහාමිලා තමා මේ අය.හැබැයි මේ ගොල්ල මෙහෙම කිව්ව්වට අපිනම් මේ ගොල්ලන්ගේ වලවු බලන්න ගිහින් නෑ.

ඉතින් ඔන්න අපේ කතා නායිකාවත් මේ කියන ගණයේ අති විශාල වලවුවක කුමාරිහාමි කෙනෙක්.
ඉතින් මෙයා හැමදාම වලවු පම්පෝරියත් පොඩ්ඩක් දානව වැඩිය නැහැ,පීරියඩ් එකකින් විනාඩි දහයක් විතර.
ආ ඉතින් හොඳම දේ කියන්න බැරි වුනානේ.මෙයාට ඒකාලේ අපි කිව්ව නම තම නෙල්ලි වලවුවේ නෙල්ලි කුමාරිහාමි කියලා,ඕක ටිකක් අමාරු නිසා කෙටි කරලා නෙල්ලි මැඩම් කියලා කිව්ව.ඔන්න දැන් හිතෙයි මේ එක පාරටම නෙල්ලි ආවේ කොහෙන්ද කියලා,මෙයා නෙල්ලි මැඩම් වෙන්නත් හේතුවක් තිබුන.මේ නෙල්ලි කුමාරිහාමිගේ අතේ හැමදාම නෙල්ලි මුලක් තියෙනවා,හැබැයි අපිනම් දන්නේ නෑ ඒ කොහෙන්ද කියලා ඒ වුනාට අවුරුද්ද පුරාවටම හැමදාම මෙයාගේ අතේ නෙල්ලි මල්ලක් තිබ්බා.මෙයාට නෙල්ලි උල්පතක් තිබුනාද කියන්න නම් දන්නේ නැහැ,ඒ වුනාට වාරෙටත් අවාරෙත් මෙයා ගාව නෙල්ලි නම් තිබුනා.මෙයා ඉගැන්නුවේ විද්‍යාව.ඒකත් මාර විජ්ජවක් තමා.ඒකත් මම තව ටිකකින් කියන්නම්කෝ.

ඔන්න ඉතින් සහ පිරිවර ගැන කියන්න බැරිවුනානේ.නමින් නම් කියන්න පුලුවන් ටික දෙනයි,ඒ තමා එල්ලාවල දමිත ෂම්මා,නවරත්න,වැලිහිඳ සහ ආසිරි .අනෙක් අය කිව්වොත් ඕනෑම වැඩක් පිත්තලෙන් නිම කරලා දෙන පිත්තල හූනා,අංක එකේ හතර වරං නම් පචමාල්,ඉත්තෑවා නොහොත් වෑත්තෑවා,මුතූ ,
රවි සහ උදිත.එල්ලාවල මොරටුව ඉංජිනේරු ශිෂ්‍යයෙක්,නවරත්න කලමනාකරන උපාධි අපේක්ෂකයෙක්,මුතු වෛද්‍ය ශිෂ්‍යයෙක් අනෙක් අය ගැන නම් නොදනී.ඔන්න ඉතින් ඒ කාලේ මේ කියන අයගෙන් අර නම් වලින් සඳහන් කරපු අයයි තව පිත්තල හූනා සහ පචමාල් තමයි පන්තියේ සාම කලාපයේ සාමාජිකයෝ ,
මමත් ඇතුළුව.අනෙක් නම් කළ සියලු දෙනා මැර හෙවත් ප්‍රහාරක කලාපයේ සාමාජිකයෝ.රවි තමා මේ කලාපයේ නායකයා.සාම කලාපයේ නායකයා තමා දමිත.ඒ එයට පන්තියේ අනික් අයට වඩා අතිමහත් වූ ශරීර කූඩුවක් තිබුන නිසයි.මැර කලාපයෙන් එල්ල වන ඕනෑම ප්‍රහාරයකට ප්‍රති ප්‍රහාරයක් දෙන්න
නම් ඉතින් එක්කන් යන්නේ මෙයා තමයි.කොටින්ම කිව්ව්වොත් මෙය රවිටත් බය නැති ගානයි.ඒ වුනාට මෙයාට ගොඩාක් තිබුනේ සාම කලාපයේ සාමාජිකයන්ගේ ගති ගුණ,ඒක නිසා මෙයත් සාම කලාපයේ තමා හිටියේ.ඔය සාම කලාපයේ හිටිය සෑම සාමාජිකයෙක් එක්කම මේ මැර කලාපයේ සංගමය පුදුම වෛරයකින් තමා හිටියේ,ඒ මොකද කියනවා නම් ඉන්න ඔක්කොම මැඩම්ලා ආදරේ මේ සාම කලාපයේ සාමාජිකයන්ට.ඔය කිව්ව නෙල්ලි මැඩමුත් එහෙම තමයි.

ඔන්න ඉතින් කට්ට්ය ගැනත් කිව්වා,දැන් තමා මැඩම් ගේ විද්‍යාව එහෙම නැත්නම් විජ්ජව ගැන කියන්නේ.නෙල්ලි මැඩම්ගේ විජ්ජාව මේක තමයි.ඔන්න පන්තියට හරියටම වෙලාවට එනව,හරියට ඉගිලිලා ඇවිත් වහනවා වගේ මෙයා හරියටම තිතටම පන්තියට එනවා.ඇවිත් පළමුවෙනි විනාඩි දහයක් පරම්පරා දේශනාව.වලව්ව,මෝටර් රථය සහ නෑදෑ පිරිවර.ඉස්සරනම් ඔය වර්ණාව අපිට චක්කරේට වැඩිය මතකයි.ඊට පස්සේ පොත් බැලීම.ඒක නම් අහඹු තේරීමක් විදියට සාම කලාපයේ දෙන්නෙක්ගේ විතර ඒකට යන්නේ විනාඩි දෙකක් විතර.ළමයි හතලිහක් විතර හිටපු පන්තියක විනාඩියට පොත් බලනවා කියන්නේ කොච්චර දක්ෂ මැඩම් කෙනෙක්ද කියල බලන්නකෝ.හැබැයි ඉතින් පොතේ බලන්නේ කරන් එන්න දුන්න වැඩඑහෙම නෙවෙයි ළමයි අච්චු පොත ඉස්පිල්ලක් පාපිල්ලක් අඩු වැඩි නැතුව සටහන් පොතට කොපි කරලදකියලා.කරන් එන්න දුන්න වැඩ බලන්න ඉතින් කරන් එන්න වැඩ දෙන්න එපැයි.අනේ මෙහෙමත් ළමයින්ට ආදරේ මැඩම් කෙනෙක් ,එහෙම මැඩම් කෙනෙක් මම දැක්කාමයි ජීවිතේටම.මෙයාගේ තිබ්බ ශිෂ්‍ය ස්නේහය
වැඩි හින්දමද කොහෙද කවදාවත් මෙය ගෙදර වැඩ නම් දුන්නේ නැහැ.ඔන්න අර අහඹු තේරීමෙන් පොත් බලල ඉවර වුනු ගමන් ඊළඟට මෙයා කියන්නේ ළමයි අච්චුපොතේ අර අහවල් පිටුවේ තියෙන අහවල් ඡේදය පොතේ ලියා ගන්න කියලා.ඉතින් අපිත් කරන්නේ ඕක පීරියඩ් එක ඉවර වෙනකන් ලියන එකයි.
ඒ කාලේ සෙනසුරාද ඉරිදා ගෙදර ඉන්න දවස් වලට අපි කරන්නේ අර අච්චු පොත ටිකක් වැඩිපුර පොතට කොපි කරන එක,එතකොට අපේ විද්‍යාව හෙවත් විජ්ජාව පීරියඩ් එකේදී අපි කරන්නේ පිටිපස්ස හැරිලා පචමාල්ගේ දවසේ හොඳම පචය අහන එක.ඕකට ඉතින් පිත්තල හූනාගේ පිත්තලත් අනෙක් අයගෙ
ආරළු බූරළු එහෙමත් එකතු වෙලා ඔන්න දවසටම ඇති වෙන්න ටොන්ම ටොන් පචයක් හැදෙනවා.දන්නේ නැද්ද ඉතින් හත අට වසර වලදි,ටීවි එකේ පෙන්නන පොල් කෙන්දත් ඉතින් මහා මැජික් එකක් තමා.තව ඉතින් සමහරුන්ගේ වෑන් කතා තව තව ගොඩාක් ජාති.

ඔන්න ඉතින් ඔය කොපි කිරිල්ල කරන්න කියලා කියපු හැටියෙම ඉතින් මැඩම් කරන්නේ එයාගේ පුටුවේ ඉඳගෙන අර ගෙනාපු නෙල්ලි මුලෙන් නෙල්ලි ගෙඩියක් අරන් හපන්න පටන් ගන්නවා.ඉතින් තව විනාඩි දෙකයි යන්නෙ මෙයා මේසෙම ඔළුව තියා ගෙන නිදි.ඔය ඉතින් පච කතා වීර කතා එහෙම
කට්ටිය කිව්වට කවුරුවත් මහා සද්දයක් ඇති කරල කෑ ගහන්නේ එහෙම නෑ අඩුම තරමේ මැර කලාපයේ අයවත්,ඇයි ඉතින් කවුද කැමැති මෙහෙම නිදියන ස්වීට් අයිස් මැඩම් කෙනෙක් ඇහැරවන්න... හික්ස්ස්ස්ස්..ආයෙත් ඉතින් අපේ නෙල්ලි මැඩම් ඇහැරෙන්නේ පීරියඩ් එක ඉවර වෙන බෙල් එක වදින
සද්දෙට තමා.ඉතින් එතකොට මෙයා කරන්නේ නැගිටලා අත් බෑග් එකත් අරගෙන ඉගිලිලා ඊළඟ පන්තියේ වහන එකයි.

ඔන්න ඔය අතරෙ තමා කට්ටිය එක එක වැඩ.සාම කලාපයේ අය කරන්නේ ඉතින් පච හලන එක එහෙම නැත්නම් ඊයේ ටීවි එකේ ගිය කතාවේ වීර ක්‍රියා විස්තර කරන එක එහෙමත් නැත්නම් ඒකාලේ තිබ්බ ගේම් එකේ කරපු වීර ක්‍රියාවක්,ඒවාට තව වෑන් කතා පිත්තල ගොඩාක් ජාති එකතු වෙනවා.මැර කලාපයේ මැරයන්ට නම් ඊට වඩා වැඩ තිබුනා.සාම කලාපයට ගල් මුල් කොළ බෝල රොකට් හුණු කැට ඩස්ටර් ප්‍රහාර,මේගොල්ලන්ගේ ප්‍රහාර කිව්වොත් ඉතින් ඩෙස් පුටු වලින් විතරයි ප්‍රහාර ආවේ නැත්තේ.ඉතින් කතා පවත්වන අතරතුරේදී සාම කලාපයේ අය ඕවට ප්‍රති ප්‍රහාරත් එල්ල කරනවා.ඔන්න ඉතින් සුපුරුදු විදියටම මැඩම් නින්දට වැටුනා.ඔන්න ඉතින් අපිත් පිටිපස්ස පේළියට හැරුනා පචමාල්ගේ කතාව අහන්න.
ඒකාලේ හොඳම යාලුවො දෙන්න තම එල්ලාවල සහ දමිත.ඉතින් තුන් දෙනාම හිටියේ එකම පේළියේ.ඔන්න දැන් තුන් දෙනාම හැරුනා පචමාල්ගේ කතාව අහන්න.ඔන්න ආවා පළමු ප්‍රහාරය එල්ලාවලගේ ඔළුවට ආවේ හුණු කැටයක්.ඔන්න ඉතින් අපේ සාම කලාපයේ නායකයා පැනපු සැනින් ඔන්න ප්‍රතිවාදියාට
තමන්ගේ යාලුවන් වෙනුවෙන් ප්‍රති ප්‍රහාර එල්ල කරන්න පටන් ගත්ත.ඔන්න ඉතින් ටික ටික ප්‍රහාර වැඩි වෙන්න පටන් ගත්තා.ප්‍රහාර වැඩිවෙන තරමටම ප්‍රතිප්‍රහාරත් වැඩි වුනා.ඔන්න ඊලඟ ප්‍රහාරය විදියට දමිත දිහාවට එල්ල වුනේ ,ඩස්ටරය එහෙමත් නැත්නම් හුණු කොට්ටය.ඕක වැදුනොත් ඉතින් ආයෙ
නාන්න වෙන නිසා දමිත ඉක්මනටම ඔළුව පහත් කර ගත්තා.ඔන්න වුනේ මොකද දන්නවද..?
අර හුණු කොට්ටය ආව වේගයෙන්ම කිසිම බාධාවක් නැතුව ගිහින් වැදුනේ අපේ නෙල්ලි මැඩම්ගේ ඔලුවේ.ඇයි එයා මේසය උඩ ඔළුව තියන් නිදියගෙනනේ හිටියේ.හුණුකොට්ටය එව්වෙ උදිත.ඔන්න දැන් ඉතින් මැඩම් ඇහැරුනා.උදිත ඉඳගෙන තක්බීර් වෙලා ,බලන්නත් ලස්සනයි මහ රෑ දොළහට හොල්මනක් දැක්ක වගේ මිනිහගේ මූණ.බෙරිවෙලා ඇද වෙලා ඒකට වෙන්න ඕනේ දේවල් ඔක්කොම වෙලා.මිනිහගේ සඟයෝ
දෙන්න මුතූටයි රවිටයි එහෙම තමා.හැබැයි හිනහ යන වැඩේ උනාට කාටවත් හිනා යන්නේ නැහැ,මොකද මැඩම් දෙන දඬුවමක් අරුන්ට විතරක් නෙවෙයිදෙන්නේ ඉතින් පන්තියටමනේ.

ඔන්න ඉතින් දැන් මැඩම් ඇහැරුනා,පන්තියම මීයට පිම්බා වගේ කිසිම සද්දයක් නැතුව ඉන්නවා.මැඩම්ගේ ඔළුවේ ඉස්සරහ හුණු තලියයි.ඔන්න මැඩම් නැගිටල වටපිට බලනවා,බැලුවට ළමයිනුත් කිසිම හැල හොල්මනක් නැතුව ඉන්නවා හුනුකොට්ටෙත් හරියට මේසෙ තියෙන තැන තියෙනවා.මැඩම් ඉතින් වටපිට බලල කියනවා ඔය ළමයි ඔය ඉන්නවා වගේ කෑගහනේ නැතුව ඕක ඉවර කරන්න කියලා.එහෙම කියලා මැඩම් එයාගේ බෑග් මල්ලත් උස්සගෙන ස්ටාෆ් රූම් එකට ගියා.

ඔන්න ඉතින් කට්ටියට එතකොට තමා ඇඟට ලේ ටිකක් ඉනුවේ.ඇයි මෙච්චර වෙලා හිටියේ මර බයෙන්නේ.ඊට පස්සෙයි කට්ටයට තේරුනේ ,හුණු කොට්ටේ වැදිලා ඇහැරුනාට මැඩම් හිටිය සැප නින්දෙ තරමට හුණු කොට්ටේ වැදුනු එක මැඩම්ට තේරිලා නැති විත්තිය,එයා හිතලා තියෙන්නේ නින්දෙන් නිකන්ම ඇහැරුනා කියලා.හැබැයි ඔළුවේ ගෑවිලා තිබුන හුණු ස්ටාෆ් රූම් එකේදී කවුරු හරි දැකලා කියලා වෙන්න ඇති මැඩම් ඊට පස්සෙ හැමදාම නිදා ගත්තේ හුණු කොට්ටේ මේසෙ කෙරවලටම කරලා..

උදිතගෙයි යාළුවන්ගෙයි මූනු කලු වෙලා තිබ්බ හැටි දැකලා ඉන් පස්සේ හැමෝම හිනා වුනා,ඒත් උදිතනම් ඊට පස්සේ හුණු කොට්ටෙන් ගහන එක නතර කළේ නැහැ.ඒ වුනාට ඊට පස්සේ කවුරුත් ඕකෙන් ගහන්න යද්දී ටිකක් පරිස්සම් වුනා.......

කැන්ඩි.......