Monday, July 26, 2010

නෙල්ලි මැඩම් සහ හුණු කොට්ටය......




ඔන්න ඉතින් මම අද කියන්න යන්නේ මගේ නුවර පාසල් ජීවිතයේ අමතක නොවන කතාවක්.අදටත් මේක මතක් වෙනකොට මාර ගති.

ඔන්න ඉතින් ඒකාලේ මම ගියේ මහනුවර ශාන්ත සිල්වෙස්තර විද්‍යාලයට.
මම නුවරදි පාසල් දෙකකට ඇතුලත් වුනා,ඔන්න එකක් තමයි මේක.ඉතින් නුවර පාසල්වල හිටියේ නාලන්දයේ වගේ දරුවන්ට ආදරය කරන ගුරු මෑණිවරු නෙවෙයි මැඩම්ලා.කාට හරි මේ කොටස මඟ ඇරුනොත් ඉතින් ගුටි
තමා..මොකද මේ අය සාමාන්‍ය ගුරු මෑණිවරු නෙමෙයිනේ..උඩරට වලවු වල මැණිකෙලා,කුමාරිහාමිලා තමා මේ අය.හැබැයි මේ ගොල්ල මෙහෙම කිව්ව්වට අපිනම් මේ ගොල්ලන්ගේ වලවු බලන්න ගිහින් නෑ.

ඉතින් ඔන්න අපේ කතා නායිකාවත් මේ කියන ගණයේ අති විශාල වලවුවක කුමාරිහාමි කෙනෙක්.
ඉතින් මෙයා හැමදාම වලවු පම්පෝරියත් පොඩ්ඩක් දානව වැඩිය නැහැ,පීරියඩ් එකකින් විනාඩි දහයක් විතර.
ආ ඉතින් හොඳම දේ කියන්න බැරි වුනානේ.මෙයාට ඒකාලේ අපි කිව්ව නම තම නෙල්ලි වලවුවේ නෙල්ලි කුමාරිහාමි කියලා,ඕක ටිකක් අමාරු නිසා කෙටි කරලා නෙල්ලි මැඩම් කියලා කිව්ව.ඔන්න දැන් හිතෙයි මේ එක පාරටම නෙල්ලි ආවේ කොහෙන්ද කියලා,මෙයා නෙල්ලි මැඩම් වෙන්නත් හේතුවක් තිබුන.මේ නෙල්ලි කුමාරිහාමිගේ අතේ හැමදාම නෙල්ලි මුලක් තියෙනවා,හැබැයි අපිනම් දන්නේ නෑ ඒ කොහෙන්ද කියලා ඒ වුනාට අවුරුද්ද පුරාවටම හැමදාම මෙයාගේ අතේ නෙල්ලි මල්ලක් තිබ්බා.මෙයාට නෙල්ලි උල්පතක් තිබුනාද කියන්න නම් දන්නේ නැහැ,ඒ වුනාට වාරෙටත් අවාරෙත් මෙයා ගාව නෙල්ලි නම් තිබුනා.මෙයා ඉගැන්නුවේ විද්‍යාව.ඒකත් මාර විජ්ජවක් තමා.ඒකත් මම තව ටිකකින් කියන්නම්කෝ.

ඔන්න ඉතින් සහ පිරිවර ගැන කියන්න බැරිවුනානේ.නමින් නම් කියන්න පුලුවන් ටික දෙනයි,ඒ තමා එල්ලාවල දමිත ෂම්මා,නවරත්න,වැලිහිඳ සහ ආසිරි .අනෙක් අය කිව්වොත් ඕනෑම වැඩක් පිත්තලෙන් නිම කරලා දෙන පිත්තල හූනා,අංක එකේ හතර වරං නම් පචමාල්,ඉත්තෑවා නොහොත් වෑත්තෑවා,මුතූ ,
රවි සහ උදිත.එල්ලාවල මොරටුව ඉංජිනේරු ශිෂ්‍යයෙක්,නවරත්න කලමනාකරන උපාධි අපේක්ෂකයෙක්,මුතු වෛද්‍ය ශිෂ්‍යයෙක් අනෙක් අය ගැන නම් නොදනී.ඔන්න ඉතින් ඒ කාලේ මේ කියන අයගෙන් අර නම් වලින් සඳහන් කරපු අයයි තව පිත්තල හූනා සහ පචමාල් තමයි පන්තියේ සාම කලාපයේ සාමාජිකයෝ ,
මමත් ඇතුළුව.අනෙක් නම් කළ සියලු දෙනා මැර හෙවත් ප්‍රහාරක කලාපයේ සාමාජිකයෝ.රවි තමා මේ කලාපයේ නායකයා.සාම කලාපයේ නායකයා තමා දමිත.ඒ එයට පන්තියේ අනික් අයට වඩා අතිමහත් වූ ශරීර කූඩුවක් තිබුන නිසයි.මැර කලාපයෙන් එල්ල වන ඕනෑම ප්‍රහාරයකට ප්‍රති ප්‍රහාරයක් දෙන්න
නම් ඉතින් එක්කන් යන්නේ මෙයා තමයි.කොටින්ම කිව්ව්වොත් මෙය රවිටත් බය නැති ගානයි.ඒ වුනාට මෙයාට ගොඩාක් තිබුනේ සාම කලාපයේ සාමාජිකයන්ගේ ගති ගුණ,ඒක නිසා මෙයත් සාම කලාපයේ තමා හිටියේ.ඔය සාම කලාපයේ හිටිය සෑම සාමාජිකයෙක් එක්කම මේ මැර කලාපයේ සංගමය පුදුම වෛරයකින් තමා හිටියේ,ඒ මොකද කියනවා නම් ඉන්න ඔක්කොම මැඩම්ලා ආදරේ මේ සාම කලාපයේ සාමාජිකයන්ට.ඔය කිව්ව නෙල්ලි මැඩමුත් එහෙම තමයි.

ඔන්න ඉතින් කට්ට්ය ගැනත් කිව්වා,දැන් තමා මැඩම් ගේ විද්‍යාව එහෙම නැත්නම් විජ්ජව ගැන කියන්නේ.නෙල්ලි මැඩම්ගේ විජ්ජාව මේක තමයි.ඔන්න පන්තියට හරියටම වෙලාවට එනව,හරියට ඉගිලිලා ඇවිත් වහනවා වගේ මෙයා හරියටම තිතටම පන්තියට එනවා.ඇවිත් පළමුවෙනි විනාඩි දහයක් පරම්පරා දේශනාව.වලව්ව,මෝටර් රථය සහ නෑදෑ පිරිවර.ඉස්සරනම් ඔය වර්ණාව අපිට චක්කරේට වැඩිය මතකයි.ඊට පස්සේ පොත් බැලීම.ඒක නම් අහඹු තේරීමක් විදියට සාම කලාපයේ දෙන්නෙක්ගේ විතර ඒකට යන්නේ විනාඩි දෙකක් විතර.ළමයි හතලිහක් විතර හිටපු පන්තියක විනාඩියට පොත් බලනවා කියන්නේ කොච්චර දක්ෂ මැඩම් කෙනෙක්ද කියල බලන්නකෝ.හැබැයි ඉතින් පොතේ බලන්නේ කරන් එන්න දුන්න වැඩඑහෙම නෙවෙයි ළමයි අච්චු පොත ඉස්පිල්ලක් පාපිල්ලක් අඩු වැඩි නැතුව සටහන් පොතට කොපි කරලදකියලා.කරන් එන්න දුන්න වැඩ බලන්න ඉතින් කරන් එන්න වැඩ දෙන්න එපැයි.අනේ මෙහෙමත් ළමයින්ට ආදරේ මැඩම් කෙනෙක් ,එහෙම මැඩම් කෙනෙක් මම දැක්කාමයි ජීවිතේටම.මෙයාගේ තිබ්බ ශිෂ්‍ය ස්නේහය
වැඩි හින්දමද කොහෙද කවදාවත් මෙය ගෙදර වැඩ නම් දුන්නේ නැහැ.ඔන්න අර අහඹු තේරීමෙන් පොත් බලල ඉවර වුනු ගමන් ඊළඟට මෙයා කියන්නේ ළමයි අච්චුපොතේ අර අහවල් පිටුවේ තියෙන අහවල් ඡේදය පොතේ ලියා ගන්න කියලා.ඉතින් අපිත් කරන්නේ ඕක පීරියඩ් එක ඉවර වෙනකන් ලියන එකයි.
ඒ කාලේ සෙනසුරාද ඉරිදා ගෙදර ඉන්න දවස් වලට අපි කරන්නේ අර අච්චු පොත ටිකක් වැඩිපුර පොතට කොපි කරන එක,එතකොට අපේ විද්‍යාව හෙවත් විජ්ජාව පීරියඩ් එකේදී අපි කරන්නේ පිටිපස්ස හැරිලා පචමාල්ගේ දවසේ හොඳම පචය අහන එක.ඕකට ඉතින් පිත්තල හූනාගේ පිත්තලත් අනෙක් අයගෙ
ආරළු බූරළු එහෙමත් එකතු වෙලා ඔන්න දවසටම ඇති වෙන්න ටොන්ම ටොන් පචයක් හැදෙනවා.දන්නේ නැද්ද ඉතින් හත අට වසර වලදි,ටීවි එකේ පෙන්නන පොල් කෙන්දත් ඉතින් මහා මැජික් එකක් තමා.තව ඉතින් සමහරුන්ගේ වෑන් කතා තව තව ගොඩාක් ජාති.

ඔන්න ඉතින් ඔය කොපි කිරිල්ල කරන්න කියලා කියපු හැටියෙම ඉතින් මැඩම් කරන්නේ එයාගේ පුටුවේ ඉඳගෙන අර ගෙනාපු නෙල්ලි මුලෙන් නෙල්ලි ගෙඩියක් අරන් හපන්න පටන් ගන්නවා.ඉතින් තව විනාඩි දෙකයි යන්නෙ මෙයා මේසෙම ඔළුව තියා ගෙන නිදි.ඔය ඉතින් පච කතා වීර කතා එහෙම
කට්ටිය කිව්වට කවුරුවත් මහා සද්දයක් ඇති කරල කෑ ගහන්නේ එහෙම නෑ අඩුම තරමේ මැර කලාපයේ අයවත්,ඇයි ඉතින් කවුද කැමැති මෙහෙම නිදියන ස්වීට් අයිස් මැඩම් කෙනෙක් ඇහැරවන්න... හික්ස්ස්ස්ස්..ආයෙත් ඉතින් අපේ නෙල්ලි මැඩම් ඇහැරෙන්නේ පීරියඩ් එක ඉවර වෙන බෙල් එක වදින
සද්දෙට තමා.ඉතින් එතකොට මෙයා කරන්නේ නැගිටලා අත් බෑග් එකත් අරගෙන ඉගිලිලා ඊළඟ පන්තියේ වහන එකයි.

ඔන්න ඔය අතරෙ තමා කට්ටිය එක එක වැඩ.සාම කලාපයේ අය කරන්නේ ඉතින් පච හලන එක එහෙම නැත්නම් ඊයේ ටීවි එකේ ගිය කතාවේ වීර ක්‍රියා විස්තර කරන එක එහෙමත් නැත්නම් ඒකාලේ තිබ්බ ගේම් එකේ කරපු වීර ක්‍රියාවක්,ඒවාට තව වෑන් කතා පිත්තල ගොඩාක් ජාති එකතු වෙනවා.මැර කලාපයේ මැරයන්ට නම් ඊට වඩා වැඩ තිබුනා.සාම කලාපයට ගල් මුල් කොළ බෝල රොකට් හුණු කැට ඩස්ටර් ප්‍රහාර,මේගොල්ලන්ගේ ප්‍රහාර කිව්වොත් ඉතින් ඩෙස් පුටු වලින් විතරයි ප්‍රහාර ආවේ නැත්තේ.ඉතින් කතා පවත්වන අතරතුරේදී සාම කලාපයේ අය ඕවට ප්‍රති ප්‍රහාරත් එල්ල කරනවා.ඔන්න ඉතින් සුපුරුදු විදියටම මැඩම් නින්දට වැටුනා.ඔන්න ඉතින් අපිත් පිටිපස්ස පේළියට හැරුනා පචමාල්ගේ කතාව අහන්න.
ඒකාලේ හොඳම යාලුවො දෙන්න තම එල්ලාවල සහ දමිත.ඉතින් තුන් දෙනාම හිටියේ එකම පේළියේ.ඔන්න දැන් තුන් දෙනාම හැරුනා පචමාල්ගේ කතාව අහන්න.ඔන්න ආවා පළමු ප්‍රහාරය එල්ලාවලගේ ඔළුවට ආවේ හුණු කැටයක්.ඔන්න ඉතින් අපේ සාම කලාපයේ නායකයා පැනපු සැනින් ඔන්න ප්‍රතිවාදියාට
තමන්ගේ යාලුවන් වෙනුවෙන් ප්‍රති ප්‍රහාර එල්ල කරන්න පටන් ගත්ත.ඔන්න ඉතින් ටික ටික ප්‍රහාර වැඩි වෙන්න පටන් ගත්තා.ප්‍රහාර වැඩිවෙන තරමටම ප්‍රතිප්‍රහාරත් වැඩි වුනා.ඔන්න ඊලඟ ප්‍රහාරය විදියට දමිත දිහාවට එල්ල වුනේ ,ඩස්ටරය එහෙමත් නැත්නම් හුණු කොට්ටය.ඕක වැදුනොත් ඉතින් ආයෙ
නාන්න වෙන නිසා දමිත ඉක්මනටම ඔළුව පහත් කර ගත්තා.ඔන්න වුනේ මොකද දන්නවද..?
අර හුණු කොට්ටය ආව වේගයෙන්ම කිසිම බාධාවක් නැතුව ගිහින් වැදුනේ අපේ නෙල්ලි මැඩම්ගේ ඔලුවේ.ඇයි එයා මේසය උඩ ඔළුව තියන් නිදියගෙනනේ හිටියේ.හුණුකොට්ටය එව්වෙ උදිත.ඔන්න දැන් ඉතින් මැඩම් ඇහැරුනා.උදිත ඉඳගෙන තක්බීර් වෙලා ,බලන්නත් ලස්සනයි මහ රෑ දොළහට හොල්මනක් දැක්ක වගේ මිනිහගේ මූණ.බෙරිවෙලා ඇද වෙලා ඒකට වෙන්න ඕනේ දේවල් ඔක්කොම වෙලා.මිනිහගේ සඟයෝ
දෙන්න මුතූටයි රවිටයි එහෙම තමා.හැබැයි හිනහ යන වැඩේ උනාට කාටවත් හිනා යන්නේ නැහැ,මොකද මැඩම් දෙන දඬුවමක් අරුන්ට විතරක් නෙවෙයිදෙන්නේ ඉතින් පන්තියටමනේ.

ඔන්න ඉතින් දැන් මැඩම් ඇහැරුනා,පන්තියම මීයට පිම්බා වගේ කිසිම සද්දයක් නැතුව ඉන්නවා.මැඩම්ගේ ඔළුවේ ඉස්සරහ හුණු තලියයි.ඔන්න මැඩම් නැගිටල වටපිට බලනවා,බැලුවට ළමයිනුත් කිසිම හැල හොල්මනක් නැතුව ඉන්නවා හුනුකොට්ටෙත් හරියට මේසෙ තියෙන තැන තියෙනවා.මැඩම් ඉතින් වටපිට බලල කියනවා ඔය ළමයි ඔය ඉන්නවා වගේ කෑගහනේ නැතුව ඕක ඉවර කරන්න කියලා.එහෙම කියලා මැඩම් එයාගේ බෑග් මල්ලත් උස්සගෙන ස්ටාෆ් රූම් එකට ගියා.

ඔන්න ඉතින් කට්ටියට එතකොට තමා ඇඟට ලේ ටිකක් ඉනුවේ.ඇයි මෙච්චර වෙලා හිටියේ මර බයෙන්නේ.ඊට පස්සෙයි කට්ටයට තේරුනේ ,හුණු කොට්ටේ වැදිලා ඇහැරුනාට මැඩම් හිටිය සැප නින්දෙ තරමට හුණු කොට්ටේ වැදුනු එක මැඩම්ට තේරිලා නැති විත්තිය,එයා හිතලා තියෙන්නේ නින්දෙන් නිකන්ම ඇහැරුනා කියලා.හැබැයි ඔළුවේ ගෑවිලා තිබුන හුණු ස්ටාෆ් රූම් එකේදී කවුරු හරි දැකලා කියලා වෙන්න ඇති මැඩම් ඊට පස්සෙ හැමදාම නිදා ගත්තේ හුණු කොට්ටේ මේසෙ කෙරවලටම කරලා..

උදිතගෙයි යාළුවන්ගෙයි මූනු කලු වෙලා තිබ්බ හැටි දැකලා ඉන් පස්සේ හැමෝම හිනා වුනා,ඒත් උදිතනම් ඊට පස්සේ හුණු කොට්ටෙන් ගහන එක නතර කළේ නැහැ.ඒ වුනාට ඊට පස්සේ කවුරුත් ඕකෙන් ගහන්න යද්දී ටිකක් පරිස්සම් වුනා.......

කැන්ඩි.......

Saturday, July 17, 2010

ලොකු අම්මා සහ අඹ කැඩීම...




අපේ ලොකු අම්මා ඉතින් අපේ අම්මලා වගේ නෙවෙයි අපි කියන ඕනෙම වැඩකට ඉතින් හා කියනවා මිසක් කවදාවත් බෑ කියලනම් නෑ..මගේ ලොකුඅම්මා හරිම වෙනස් චරිතයක්.
මගේ ජීවිතයේදී මට හමුවෙල තියෙන වෙනස්ම ගතිගුණ තිබෙන කාන්තාව එයා තමා.එහෙම කිව්ව කියලා බය වෙන්න එපා හොඳේ...?එයා හරිම හොඳ ලොකුඅම්මා කෙනෙක්.
ඔන්න ඉතින් ලොකුඅම්මා ගැන මම පස්සෙ එකකින් කියන්නම්කෝ...

ඉස්සර මම ටිකක් කම්මැලි චරිතයක්.අපේ අම්මාගෙන් ඇහුවොත්නම් කියයි ඉස්සර විතරක් නෙමෙයි දැනුත් එහෙමයි කියලා..හික්ස්ස්.ගහකින් ගෙඩියක් කඩන්නවත් යන්නේ නැහැ.
හැබැයි කඩලා දුන්නොත් නම් ලොරියකට වුනත් වග කියන්න නම් පුළුවන්.ඉතින් ඒක නිසා ලොකු අම්මා එනවට මම හරි කැමතියි.මොකද ඉතින් ලොකු අම්මාට කිව්වම ඕනෙම වැඩක් කරව ගත්තැකිනේ.ඉතින් ඔන්න එදත් ලොකුඅම්මා ඇවිල්ලා හිටපු දවසක් .ලොකුඅම්මා ආවම සාමාන්‍යයෙන් මාසයක් දෙකක් විතර අපේ ගෙදර ඉඳල තමයි යන්නේ.

ඔන්න ඉතින් ඒ දවස් වල ඉස්කෝලෙ නිවාඩු කාලයක්.ඒ විතරක් නෙවෙයි අඹ වාරයකුත් .
එතකොට මට වයස හයක් හතක් විතර ඇති.දෙක වසරෙද කොහෙද..මට හරියටම මතකනම් නැහැ.හැබැයි ඊට වැඩිනම් නැහැ.ඔන්න ඉතින් දවල් කෑම කාලා ඉවර වෙලා එහෙම මම ලොකුඅම්මාට යෝජනාව දැම්මා..යෝජනාව තමයි අඹ කැඩීම.අනේ යෝජනාව දාන පරක්කුවට සම්මතයි.
ඔන්න ඉතින් මට මාරම මාර හැපි.ගිහින් අම්මාට පොඩි ගණන් පාරකුත් දැම්මා.
මොකද ඉතින් අම්මාට ඔය යෝජනාව දැම්මානම් ඒක දාන පමාවට අහෝසියිනේ..ඊට පස්සේ ඉතින් අඹ කෑමත් ඉවරයි..ඔන්න ඉතින් අඹ කඩන්න ගියා.මුලින්ම ගියේ ගේට්ටුව ගාව තියෙන අඹ ගහ ගාවට..මොකද ඒකෙ තමයි ඒ වෙනකොට අඹ පැහිලා තිබුනේ.අනික් ගස් වල ඒ තරම් අඹ පැහිලා තිබුනේ නැහැ.අපේ ගේට්ටුව ගාව ඉඳන් මීටර් පහක් විතර වම්පැත්තට යනකොට තමයි මේ අඹ ගහ තියෙන්නේ.අඹ ගහට තවත් මීටර් තුනක් හතරක් විතර එහායින් තවත් පාරක් තියෙනවා.
ඉතින් මේ අඹ ගහේ අතු ගොඩාක් තියෙන්නේ අර අනිත් පැත්තෙන් යන පාරට බර වෙලා තමයි.

ඔන්න ඉතින් ලොකුඅම්මා කෙක්කෙන් අඹ කඩනවා මම අහුලනවා.ගොඩාක්ම ගෙඩි තිබුනේ අර පාරට බර වෙලා තිබුණ අතු වල තමයි.ඉතින් ලොකුඅම්මා කොහොම හරි ඒ ගෙඩි ටිකත් කැඩුවා..
ඉතින් ඔය අතරෙ මම වත්ත ඇතුලට වැටුන ගෙඩි ටික ඇහිඳිනවා.ඔය අතරේ ලොකුඅම්මා කිව්වා වත්ත ඇතුලේ ටික ඇහිඳලා ඉවර වෙලා අර පාරට වැටුන ටිකත් ඇහිඳින්න කියලා...
ඉතින් ඔන්න ලොකුඅම්මා තවගෙඩි අතුරුවෙලාතියෙනේ කොහෙද කියල බලනවා මම ඒ අතරේ අඹ අහුලනවා..

ඒ වෙලාවේ අරපාරට මෝටර්බයිසිකලයක් හැරෙව්වා...ඒකේ වයස විසිපහක් තිහක් විතර අයියලා දෙන්නෙක් හිටියේ..ඉතින් ඔය දෙන්න අර පාරට වැටුන අඹ ටික දැක්කා.
ඉතින් අර ඉස්සරහ හිටි කෙනා අනිත් කෙනාට කියනවා මචං අන්න නියම අඹ ගොඩක් තියෙනවා අපි යනකොට අහුලගෙන යමු කියලා.ඒ පාර තියෙන්නේ ටිකක් අපේ වත්ත තියෙන මට්ටමට පාතින් ඒක නිසා අර දෙන්න මමවත් ලොකුඅම්මාවත් එතන ඉන්නවා දැක්කේ නැහැ.ඔන්න ඕක ලොකුඅම්මාටත් ඇහුනා..

ලොකුඅම්මා ඉක්මනට කිව්වා වැට අයිනට යන්නේ නැතුව මෙහායින් තියෙන ඒව විතරක් අහුලන්න.
අර ගිය දෙන්නා ගිහින් තියෙන්නේ මොනවා හරි ගිහින් දෙන්න ළඟ ගෙදරකට..
මෙන්න විනාඩි පහක්වත් ගියේ නැහැ බයිසිකලය ආපහු එනවා...ඔන්න දැන් අඹ දැක්කා විතරයි මේ දෙන්නා බැහැලා වටපිටවත් බලන්නේ නතුව අහුලගෙන අහුලගෙන ගියා...මේක බලාගෙන හිටපු මටයි ලොකුඅම්මටයි මාර හිනා..ඉතින් ලොකුඅම්මා මට අතින් කිව්වා සද්ද කරන්නේ නැතුව ඉන්න කියලා.

ඉතින් අර දෙන්නා අඹ ටික අතේ තිබුන මොකක් හරි උරයකට දාගත්ත ..
ඉතින් ඔන්න දැන් දෙන්න තවත් පාරෙ අඹ ඉතුරුවෙලා තියෙනවද කියලා බලනවා.
ඔය අතරෙ ලොකු අම්මාත් අර මම එකතු කරපු අඹ ගොඩෙන් තවත් අඹ ගෙඩි ගොඩක් අරගෙන වැට අයිනට ගිහින් අර දෙන්නාට දික්කරලා කිව්වාආ පුතේ මේ ටිකත් ගන්න කියලා.
අනේ අරුන් දෙන්නට පොළොව හාරගෙන යන්න හිතෙන්න ඇති.
මට ඉතින් ඕක දැකලා තව සතියක් විතර හිනා...

ඉතින් අරුන්දෙන්නා ඔන්න දන් ගොත ගගහා කියනවා න් න් නැ නෑ ඇන්ටී මේ අපි දෙන්න දැක්කේ නැහැ ඇන්ටිලගෙ කියලා මේ අඹ කියලා දැන් කියනවා..කියලා මෙන්න අරුන් දෙන්නා අර අඹ මල්ල අපේ ලොකු අම්මාට ආපහු දෙන්න හදනවා....ඉතින් අපේ ලොකුඅම්මාත් නෑ නෑ පුතේ ඒකට කමක් නැහැ කියල වදෙන් පොරෙන් තවත් අඹ ටිකක් දෙන්න හදනවා.පස්සේ ඉතින් ලොකුඅම්මා කිව්වා අපිට තව අඹගස් තියෙනවා ඒවායෙත් ගෙඩි හැදිලා තියෙනවා ඔය ටික පුතාලා අරන් යන්න කියලා.
කොහොමින් කොහොමින් හරි ලොකුඅම්මා වදෙන් පොරෙන් අරදෙන්නාට තව අඹ ටිකක් දීල පිටත් කළා..

අනේ ඉතින් ඒ දෙන්නාට උන වැඩේ පව් වුනාට උන්දෙන්නා යද්දී ලොකුඅම්මාට ස්තූති කරලා එහෙම තමයි ගියේ.....අරුන් දෙන්නා ගියාට පස්සේ ඉතින් ලොකුඅම්මටත් මාර හිනා ..
අපේ අම්මාටත් ඕක ඇවිල්ල කිව්වම මාර හිනා...ඉතින් ඊට පස්සෙ අඹයක් දැක්කත් ඇති කට්ටියට අවුරුද්දක් විතර හිනා වෙන්න.

කැන්ඩි..

ඔන්න ඉතින් මම මගේ පළමුවෙනි රස කතාව දැම්මා..
කියවලා Comment එකක් දාලා යන අමතක කරන්න එපා.
ඔබේ අදහස් මට ශක්තියක් මට ආශිර්වාදයක්...

Thursday, July 15, 2010

මුණුබුරෙකුට....




මුණුබුරෙකුට




සැරියුත් මහ තෙරිඳු බෙලෙන්
පුතුගෙ නුවණ වැඩි වේවා!
ගෞතම මහ මුනිඳු බෙලෙන්
පුතුට මගේ ජයවේවා!
ඔබ නැලවූ අත්තම්මා
නිම් නැති දුකකට දැම්මා
එසේ කළේ ඔබෙ අම්මා
බිඳිමින් ආදර බැම්මා
පතමි පතමි පතමි පුතේ
පිය සෙවනක වාසනාව
ගතවෙන මොහොතක් පාසා
සැලසේවා! ඔබෙ දියුණුව


නිර්මාණ අයිතිය හේමා සෙනෙවිරත්න මිය ගම්පහ

මෙය මීට අවුරුදු දෙකකට හෝ තුනකට කලින් ඉරිදා ලංකාදීපයේ පලවූ පද පෙලකි.
එහි අන්තර්ගතය මා සිතේ අමුතු හැඟීමක් ඇති කළ නිසා මම මේක වෙන්කරලා තියා ගත්තා..
මම හිතුවා මේකත් ඔයගොල්ලන්ට පෙන්නුවොත් හොඳයි කියලා.

හැරගිය නිශා යුවතිය.....




හැරගිය නිශා යුවතිය.....


දිවා සූර්ය රශ්මියෙන් පීඩිත මා
ඔබ එනතුරු සිටියෙමි..
ගත පීඩිත වුවද ඔබ එනතුරු මම නිල් අහස යට
නෙත්පියන් හැර පියා සිටියෙමි
ඔබ එනතුරා පෙරමඟ අයාගෙන
තුරුසෙවන යට හිස් නිල් අහසට නෙතු යොමාන
සිටි මා වෙත ඔබ පැමිණියා....
පීඩිතව සිටි මා හට
ගතට සිතට සිසිල සුවය රැගෙන පැමිණි ඔබ..
සැවොම සැංඟී යන වෙලාවේ
මා සිත සනසමින්....
මා ගත ගිමන් නිවමින්.......
ඔබ මගේ සිත අද්දර සිට මා සැනසුවේ ඇයි එලෙස?
සියොතුන් කැදලි සොයා පියඹා යද්දී....
සැවොම සැඟවී ගන්නට වෙර දරද්දී..
නිසල තුර යට මා හොවා
අන්ධකාරයේ මා හැර දමා
ඇයිද ඔබ ගියේ
මා නිශා යුවතියේ...
සිටිමි මම හෙට දිනද ඔබ එනතුරා..
මේ අහස යට..



කැන්ඩි...

කියවලා comment එකක් දාලා යන අමතක කරන්න එපා.
ඔබේ අදහස් මට ශක්තියක් මට ආශිර්වාදයක්...


එක්ව හිඳිමුද..? වෙන්ව නැසෙමුද...?




එක්ව හිඳිමුද..? වෙන්ව නැසෙමුද...?


එක මව් කුස ඔත් දරුවන් විලසින්
පෙර දිනවල් අප සිටියෙමු සතුටින්
දුකකදී....සතුටකදී...වියෝවකදී...
එක්ව බෙදාගෙන එය එකසේ........
ලැබුවෙමු සැනසුම් පැසසුම්
නමුත් කිමද අද?
සිනහවක් හෝ කතාවක් නොමැතිව..
නාඳුනනවුන් සේ....
වරද නිවැරදි නොකර ගනිමින්
අමනාපයේ බොලඳකමින් රැවටී
පෙරකල ලැබූ පැසසුම්
නොමැත පමණයි ගැරහුම්
සිදුවූයේ කිමද මිතුදමට
එක්ව හිඳිමුද..? වෙන්ව නැසෙමුද..?



නිර්මාණ අයිතිය අනුෂි රන්දිකා වික්‍රමසිංහ සතුවේ.


මෙය මගේ සොයුරිය උසස්පෙළ කරන අවධියේදී ඇය උසස්පෙලට ඇතුලත් වූ වර්ෂයේදී ඇය විසින් ඇගේ පාසල වන මහනුවර හිල්වුඩ් විද්‍යාලයේ එම වර්ෂයේ පැවැත්වුන සිංහල භාෂා දින තරඟයට ඉදිරිපත් කරන ලද ඇය විසින් රචිත පද පෙළකි.
මෙය එම වර්ෂයේ එම තරඟයේ දෙවන ස්ථානය දිනා ගත් නිර්මාණයයි.
ඇය එදින වීරවරියක මෙන් පැමිණ ඇයට ලැබුන සහතිකය සහ ත්‍යාගය සමඟින් මෙම පද පෙළද අපට පෙන්වූ හැටි මට අද මෙන් මතකය.



කියවලා comment එකක් දාලා යන අමතක කරන්න එපා.
ඔබේ අදහස් මට ශක්තියක් මට ආශිර්වාදයක්...

එනුමැන ලොකුඅම්මේ......




එනුමැන ලොකුඅම්මේ....



සිතට දැනේ මට තනිකම
හදට දැනේ ඒ හිස් බව
ඔබ නැති ඒ හිස් බව
දැනේ අදත් මට එලෙසම
නික්ම ගොසින් ඔබ අප හැර
තෙවස පිරුනි නොදැනිම
නමුත් එදාමෙන් අදටද
ඔබේ අඩුව නැත නැති වී...
සොයුරියක විය ,යෙහෙළියක විය
දෙවෙනි මවක විය
ඔබ මා හට
සිතනු නොහැක මේ මා හට
කෙලෙස හැර ගියේ ඔබ අප සැම..
දයා ගුණය,කරුණා ගුණයද
ඔබෙන් උගත දේ නිම් නැත
කියා දෙන්න යළිත් ඒ දේ අපහට
මකා දමන්නට මේ හිස්බව
එළිය කරන්නට අප ජීවන මඟ
නැවත ඉපිද අප අතරට
අපේම වී අප වෙත
එනුමැන ලොකුඅම්මේ..........


කැන්ඩී..

මේක පළමුවෙනි Post එකයි.
මගේ ජීවිතයේ මගේ අම්මාට ඇරුනාම මම වැඩියෙන්ම ආදරය කළ පුද්ගලයා වුනේ ලොකුඅම්මායි.
ඉතින් මගේ පළමුවෙනි පෝස්ට් එකෙන් මගේ ලොකුඅම්මා මතක් වුන වෙලාවක මම ලියපු මේ මේ පද පෙළ පළකරන්න හිතුනා...
මම කවි නිසදැස් ලියන්න ඒ තරම් දක්ෂ කෙනෙක් නෙවෙයි.
ඒක නිසා මම ලියලා තියෙන දෙයෙහි අඩු පාඩුවක් තියෙනවා නම් ඒක මට කියලා Comment එකක් දාලා යන්න අමතක කරන්න එපා....
ඔබේ අදහස් මට ශක්තියක් මට ආශිර්වාදයක්....

Wednesday, July 14, 2010