Saturday, July 17, 2010

ලොකු අම්මා සහ අඹ කැඩීම...




අපේ ලොකු අම්මා ඉතින් අපේ අම්මලා වගේ නෙවෙයි අපි කියන ඕනෙම වැඩකට ඉතින් හා කියනවා මිසක් කවදාවත් බෑ කියලනම් නෑ..මගේ ලොකුඅම්මා හරිම වෙනස් චරිතයක්.
මගේ ජීවිතයේදී මට හමුවෙල තියෙන වෙනස්ම ගතිගුණ තිබෙන කාන්තාව එයා තමා.එහෙම කිව්ව කියලා බය වෙන්න එපා හොඳේ...?එයා හරිම හොඳ ලොකුඅම්මා කෙනෙක්.
ඔන්න ඉතින් ලොකුඅම්මා ගැන මම පස්සෙ එකකින් කියන්නම්කෝ...

ඉස්සර මම ටිකක් කම්මැලි චරිතයක්.අපේ අම්මාගෙන් ඇහුවොත්නම් කියයි ඉස්සර විතරක් නෙමෙයි දැනුත් එහෙමයි කියලා..හික්ස්ස්.ගහකින් ගෙඩියක් කඩන්නවත් යන්නේ නැහැ.
හැබැයි කඩලා දුන්නොත් නම් ලොරියකට වුනත් වග කියන්න නම් පුළුවන්.ඉතින් ඒක නිසා ලොකු අම්මා එනවට මම හරි කැමතියි.මොකද ඉතින් ලොකු අම්මාට කිව්වම ඕනෙම වැඩක් කරව ගත්තැකිනේ.ඉතින් ඔන්න එදත් ලොකුඅම්මා ඇවිල්ලා හිටපු දවසක් .ලොකුඅම්මා ආවම සාමාන්‍යයෙන් මාසයක් දෙකක් විතර අපේ ගෙදර ඉඳල තමයි යන්නේ.

ඔන්න ඉතින් ඒ දවස් වල ඉස්කෝලෙ නිවාඩු කාලයක්.ඒ විතරක් නෙවෙයි අඹ වාරයකුත් .
එතකොට මට වයස හයක් හතක් විතර ඇති.දෙක වසරෙද කොහෙද..මට හරියටම මතකනම් නැහැ.හැබැයි ඊට වැඩිනම් නැහැ.ඔන්න ඉතින් දවල් කෑම කාලා ඉවර වෙලා එහෙම මම ලොකුඅම්මාට යෝජනාව දැම්මා..යෝජනාව තමයි අඹ කැඩීම.අනේ යෝජනාව දාන පරක්කුවට සම්මතයි.
ඔන්න ඉතින් මට මාරම මාර හැපි.ගිහින් අම්මාට පොඩි ගණන් පාරකුත් දැම්මා.
මොකද ඉතින් අම්මාට ඔය යෝජනාව දැම්මානම් ඒක දාන පමාවට අහෝසියිනේ..ඊට පස්සේ ඉතින් අඹ කෑමත් ඉවරයි..ඔන්න ඉතින් අඹ කඩන්න ගියා.මුලින්ම ගියේ ගේට්ටුව ගාව තියෙන අඹ ගහ ගාවට..මොකද ඒකෙ තමයි ඒ වෙනකොට අඹ පැහිලා තිබුනේ.අනික් ගස් වල ඒ තරම් අඹ පැහිලා තිබුනේ නැහැ.අපේ ගේට්ටුව ගාව ඉඳන් මීටර් පහක් විතර වම්පැත්තට යනකොට තමයි මේ අඹ ගහ තියෙන්නේ.අඹ ගහට තවත් මීටර් තුනක් හතරක් විතර එහායින් තවත් පාරක් තියෙනවා.
ඉතින් මේ අඹ ගහේ අතු ගොඩාක් තියෙන්නේ අර අනිත් පැත්තෙන් යන පාරට බර වෙලා තමයි.

ඔන්න ඉතින් ලොකුඅම්මා කෙක්කෙන් අඹ කඩනවා මම අහුලනවා.ගොඩාක්ම ගෙඩි තිබුනේ අර පාරට බර වෙලා තිබුණ අතු වල තමයි.ඉතින් ලොකුඅම්මා කොහොම හරි ඒ ගෙඩි ටිකත් කැඩුවා..
ඉතින් ඔය අතරෙ මම වත්ත ඇතුලට වැටුන ගෙඩි ටික ඇහිඳිනවා.ඔය අතරේ ලොකුඅම්මා කිව්වා වත්ත ඇතුලේ ටික ඇහිඳලා ඉවර වෙලා අර පාරට වැටුන ටිකත් ඇහිඳින්න කියලා...
ඉතින් ඔන්න ලොකුඅම්මා තවගෙඩි අතුරුවෙලාතියෙනේ කොහෙද කියල බලනවා මම ඒ අතරේ අඹ අහුලනවා..

ඒ වෙලාවේ අරපාරට මෝටර්බයිසිකලයක් හැරෙව්වා...ඒකේ වයස විසිපහක් තිහක් විතර අයියලා දෙන්නෙක් හිටියේ..ඉතින් ඔය දෙන්න අර පාරට වැටුන අඹ ටික දැක්කා.
ඉතින් අර ඉස්සරහ හිටි කෙනා අනිත් කෙනාට කියනවා මචං අන්න නියම අඹ ගොඩක් තියෙනවා අපි යනකොට අහුලගෙන යමු කියලා.ඒ පාර තියෙන්නේ ටිකක් අපේ වත්ත තියෙන මට්ටමට පාතින් ඒක නිසා අර දෙන්න මමවත් ලොකුඅම්මාවත් එතන ඉන්නවා දැක්කේ නැහැ.ඔන්න ඕක ලොකුඅම්මාටත් ඇහුනා..

ලොකුඅම්මා ඉක්මනට කිව්වා වැට අයිනට යන්නේ නැතුව මෙහායින් තියෙන ඒව විතරක් අහුලන්න.
අර ගිය දෙන්නා ගිහින් තියෙන්නේ මොනවා හරි ගිහින් දෙන්න ළඟ ගෙදරකට..
මෙන්න විනාඩි පහක්වත් ගියේ නැහැ බයිසිකලය ආපහු එනවා...ඔන්න දැන් අඹ දැක්කා විතරයි මේ දෙන්නා බැහැලා වටපිටවත් බලන්නේ නතුව අහුලගෙන අහුලගෙන ගියා...මේක බලාගෙන හිටපු මටයි ලොකුඅම්මටයි මාර හිනා..ඉතින් ලොකුඅම්මා මට අතින් කිව්වා සද්ද කරන්නේ නැතුව ඉන්න කියලා.

ඉතින් අර දෙන්නා අඹ ටික අතේ තිබුන මොකක් හරි උරයකට දාගත්ත ..
ඉතින් ඔන්න දැන් දෙන්න තවත් පාරෙ අඹ ඉතුරුවෙලා තියෙනවද කියලා බලනවා.
ඔය අතරෙ ලොකු අම්මාත් අර මම එකතු කරපු අඹ ගොඩෙන් තවත් අඹ ගෙඩි ගොඩක් අරගෙන වැට අයිනට ගිහින් අර දෙන්නාට දික්කරලා කිව්වාආ පුතේ මේ ටිකත් ගන්න කියලා.
අනේ අරුන් දෙන්නට පොළොව හාරගෙන යන්න හිතෙන්න ඇති.
මට ඉතින් ඕක දැකලා තව සතියක් විතර හිනා...

ඉතින් අරුන්දෙන්නා ඔන්න දන් ගොත ගගහා කියනවා න් න් නැ නෑ ඇන්ටී මේ අපි දෙන්න දැක්කේ නැහැ ඇන්ටිලගෙ කියලා මේ අඹ කියලා දැන් කියනවා..කියලා මෙන්න අරුන් දෙන්නා අර අඹ මල්ල අපේ ලොකු අම්මාට ආපහු දෙන්න හදනවා....ඉතින් අපේ ලොකුඅම්මාත් නෑ නෑ පුතේ ඒකට කමක් නැහැ කියල වදෙන් පොරෙන් තවත් අඹ ටිකක් දෙන්න හදනවා.පස්සේ ඉතින් ලොකුඅම්මා කිව්වා අපිට තව අඹගස් තියෙනවා ඒවායෙත් ගෙඩි හැදිලා තියෙනවා ඔය ටික පුතාලා අරන් යන්න කියලා.
කොහොමින් කොහොමින් හරි ලොකුඅම්මා වදෙන් පොරෙන් අරදෙන්නාට තව අඹ ටිකක් දීල පිටත් කළා..

අනේ ඉතින් ඒ දෙන්නාට උන වැඩේ පව් වුනාට උන්දෙන්නා යද්දී ලොකුඅම්මාට ස්තූති කරලා එහෙම තමයි ගියේ.....අරුන් දෙන්නා ගියාට පස්සේ ඉතින් ලොකුඅම්මටත් මාර හිනා ..
අපේ අම්මාටත් ඕක ඇවිල්ල කිව්වම මාර හිනා...ඉතින් ඊට පස්සෙ අඹයක් දැක්කත් ඇති කට්ටියට අවුරුද්දක් විතර හිනා වෙන්න.

කැන්ඩි..

ඔන්න ඉතින් මම මගේ පළමුවෙනි රස කතාව දැම්මා..
කියවලා Comment එකක් දාලා යන අමතක කරන්න එපා.
ඔබේ අදහස් මට ශක්තියක් මට ආශිර්වාදයක්...

4 comments:

සිරා මචං! ඒ වුණාට ඡේද වෙන් කරලා දාපං.එතකොට කියවන්න ලේසියි :)

පව් කොල්ලො දෙන්නා.... හික් හික්

ලොකු අම්මා මාර හොඳ කෙනෙක් වගේ. දැන් කාලේ ඔහොම අය හොයා ගන්න එක හරි අමාරුයි :)

@ ගඩොල්
ඔන්න හැදුවා....

@පිස්සා
මේ පැත්තේ ආවට ස්තූතියි..

@හසිත
ඔව් හරිම හිත හොඳ කෙනෙක්.............

Post a Comment