Thursday, December 30, 2010

ඒ අම්මාගේ හැටිය....




"ඒ කාලේ ඉඳන්ම ඔය මිනිස්සු සහෝදරයෙකුට වගේ පුතාලගේ තාත්තට සැලකුවේ ඒකාලේ පුතාලගේ තාත්තට රස්සාවෙන් තිබුණ තත්වය නිසා....
නැත්නම් ඒ කාලෙත් අයියලයි මල්ලිලයි ඔක්කෝම කළේ තාත්තාට ඊරිසියාව..
තාත්තා මොකක් හරි අළුත් දෙයක් කරන්න හැදුවම හැම දේකටම සහෝදරයෝ කියල හිටිය ඔය අය කළේ කෙනෙහිළිකම්
ඒ කාලේ සීයා තාත්තට ගොඩාක් ආදරෙන් හිටියා කියලත් ඔය සහෝදරයන්ට හරිම තරහවක් තිබුණ..
පුතා උපන්නම සීයා දොලේ වත්ත පුතාගේ නමට ලිව්ව එකට ඔය සහෝදරයෝ හරියට බැන්න..
ඒ කාලේ සීයගෙන් අහල තිබ්බ අපේත් ඉන්නේ දරුවෝ නෙවෙයිද කියලත්..?
ඒත් පුතාලගේ තාත්තා,ඔය ලොකු තාත්තගේ පුතාට ඉඳුල් කට ගාන වෙලාවේ ඇල් වී ඕනේ වෙලා කියලා මුළු ගම පුරාම ම්නිස්සු දම්මවල ඇල්වී තියෙන ගෙදරකින් සල්ලි දීලයි ගත්තේ..
පුතාලගේ තාත්තට සත පහක්වත් ඔය සහෝදරයෝ දීල නැතත් පුතාලගේ තාත්තාගෙන් ඔය අය සැරින් සැරේට ඉල්ල ගත්තුවා අදටත් මට මතකයි..
සහෝදරයොනේ කියල මමත් කවදාවත් තාත්තට ඕවා ඉල්ල ගන්න කියල බල කළේ නැහැ..
පුතා දන්නේ නැහැ තාත්ත නැති වුනාම සහෝදරයගේ මරණයටනේ අපි මේ ආවේ කියලා එන මනුස්සයෙකුට දෙන්න කියලා පාන් ගෙඩියක්වත් ගෙනිච්චේ නැහැ ඔය මිනිස්සු..
මට අදට වගේ මතකයි පුතාගේ තාත්ත නැති වෙච්ච වෙලාවේ ඔය ලොකු තාත්තා ඇවිල්ල කිව්වේ අපි වියදම් කරන්න ඕනේ නැහැනේ මල්ලි ඉතුරු කරල තියෙනවනේ,අනික තාත්තත් වැඩිපුර දේපල දුන්නේ මල්ලිටනේ කියල..
ඉන් පස්සේ පුතාලගේ තාත්තගේ අර්ථසාධකය ගන්න ගියාම අපි ගමේ හිටිය නැති නිසා ලිපිනය දීල තිබ්බේ බාප්පගේ ගෙදර එක,ඒකට ආපු ලියුම් කියුම් ටික ඔක්කෝම හංගගෙන ඔය මිනිස්සු කිව්වේ මෙහාට ලියුම් හම්බ වුනේ නැත කියල..
ඉන්පස්සේ ඒ කන්තෝරුවෙන් ලියුම් වල දින අහගෙන මම තැපැල් කන්තෝරුවෙන් ඇහුවම මට දිනත් එක්ක සටහන් පෙන්නුව පුතාලගේ බාප්පා ලියුම් අත්සන් කරලා භාර ගත්තයි කියලා..
ඔය මිනිස්සු ඉස්සර ඉඳන්ම අපිට කළේ ඔහොමයි..
ඕවා අද ඊයේ වෙච්චි දෙවල් නෙවෙයි."

අම්මා මේ දිග හරින්නේ වසර තිහක පමණ අතීතයයි..

මගේ සීයාගෙන් පියාට නීත්‍යානුකූලව උරුම වූ ඉඩමක තිබූ පැරණි ගසක් දිරාගොස් මාර්ගයේ විදුලි රැහැනකට හේත්තු වී තිබු නිසාවෙන් මමත් අම්මාත් ලීමෝල් හිමියෙකු ලවා එම ගස එමස්ථානයෙන් ඉවත් කර ගත්තෙමු.ඒ අවස්ථාවේදී මගේ පියාගේ සහෝදරයන් සහ ඔවුන්ගේ දරුවන් එම ඉඩම් අපට අයත් නැතැයි කීමට ඉදිරිපත් වුණි.මගේ පුදුමයට කාරණය වූයේ වැලිකෙළියේ පටන් සහෝදරයෝ ලෙස සිටි මගේ පියාගේ සහෝදරයන්ගේ දරුවන් පවා මේ තත්වයට පත් වීමය.මේ පිරිස අතර වෛද්‍ය වරයෙකුද සිටියේය.

තමාගේ දේ රැකුමට අනුන් එනතෙක් රැඳීමට මසිත මට ඉඩ නොදුනි.සිතේ තිබූ කෝපය නිසාවෙන් වැඩිහිටියන්ගේ වැඩිහිටි කමද අමතක වූ මම එදා ඔවුනට බැන එලවා ගතිමි.තවත් ඔවුන් රැඳී සිටියේ නම් කෝප වූ මගේ සිත මා ලවා ඊට වඩා දරුණු දෙයක් කිරීමටද ඉඩ තිබුණි.

මා එසේ හැසිරෙනු දුටු අම්මා එදා කීවේ "පුතා ඔයදේවල් වලට මොකටද කෑ ගහන්න ගියේ..? මම ඉන්නවනේ ඒවට කතා කරන්න.ඒ පුතාගේ තාත්තගේ සහෝදරයෝ කියලා මතක තියා ගන්න.පුතා තාත්තට සලකනව වගේ තමයි ඒ අයටත් සලකන්න ඕනේ.එදා නිවසට පැමිණි මසොයුරුද මා අනුමත කළ නිසාවෙන් අම්මා තව දුරටත් මෙසේ කීවාය. ඔය මිනිස්සුන්ට කරන්න පුළුවන් දෙයක් නැහැ.ඔය දෙන්න කලබල නොවී ඉන්න .ඒ පුතාලගේ තාත්තගේ සහෝදරයෝ.කැලේ තියෙන ගහකට අපි මොකටද ඒ අයට බනින්නේ.ඇති වෙනවා නම් ගන්න කියන්න.පුතාල ඕවට රංඩු සරුවල් ඇති කරගන්න ඕනේ නැහැ.ඒ අයට ඕවට අයිති කර ගන්නත් බෑ.ඕවා සීයා පුතාලගේ තාත්තට දීපු දේවල්.ඒගොල්ල කෑගැහුවට කරන්න පුළුවන් දෙයක් නෑ.ආයෙත් ඕවට ඔය දෙන්නම ලොකු තාත්තට බනින්න කෑ ගහන්න යන්න එපා.ඒ පුතාලගේ තාත්තගේ සහෝදරයෝ."

"ඔය මිනිස්සුන්ගේ මෝඩ කමට ඔය දේවල් කළාට කවද හරි ඔය මිනිස්සුන්ට තේරෙයි තමන් වැරදියි කියල.තමන් කර ගන්න දේවල් වල ඵලවිපාක තම තමන්ට.කරන පව් පින් තමන්ට.අපි මොකටද ඒ ගොල්ල එහෙම වුනයි කියල සත්තු වගේ ඕවට කෑ ගහන්න යන්නේ.පුතාල පාඩුවේ ඉන්න ඒ ගොල්ලන්ට ඇති වුන දවසක ඕවා නවත්තයි."
අම්මා අපට කිව්වේ එහෙමය.ඒ අම්මාගේ හැටිය.

ඉන්පසුව කිසිදිනෙක මඟ තොටකදීවත් මම ඔවුන් සමඟ සිනා නොවුනෙමි.කතා නොකළෙමි.මගේ සොයුරුද එසේම විය.ඉන්පසු කිසි දිනෙකවත් ඔවුන් අපගේ ඉඩම් වලට ආරවුල් ඇති කිරීමට පැමිණියේ නැත.නමුත් ඔවුන් හා අප අතර පාරේ මඟ තොටදී දකින සිඟමන් යදින්නෙකු හා අතර ඇති තරම්වත් සුහඳතාවක් නොවිනි.

පසුගිය දිනෙක මාගේ උපන්දිනය වූ නිසාවෙන් අප තිදෙනා රැයක පන්සල් ගියෙමු.බුදුන් වැඳ අප විහාරයෙන් එළියට පැමිණෙත්ම ඒ ඉදිරියට ආවේ මගේ පියාගේ වැඩිමහල් සහෝදරයාය.ඒ නමට නම් අපගේ ලොකු තාත්තාය.අප තිදෙනා දුටු සැනින් ඔහුගේ මුහුණ වෙනස් විය.වෙනදා මෙන් නොව ඔහු අප දැක නැවතුනේය."නංගියේ පන්සල් ආවද..?"ඔහු අම්මාගෙන් ඇසීය."ඔව් අයියේ මෙයාගේ උපන්දිනේ නේ අද..ඒක හින්ඳ පන්සල් ආවා අපි."
අම්මාත් කාලයකින් තම සොයුරෙක් දුටු නැගණියක මෙන් පිළිතුරු දුන්නාය."දැන් ඉතින් ලොකු ඉළන්දාරිනේ.."කියා මගේ හිස අත ගෑ ඔහු "දැන් පුතා ඉගෙනගෙන එහෙම ඉවරද කියා මගෙන් විමසුවේය".නමුත් මගේ මුවින් වදනක්වත් පිට නොවුනි.ඒ එදා මගේ හිතේ ඇතිවූ කේන්තිය අළුයට වූ ගිනි පුපුරක් මෙන් තිබූ නිසාද කියා මට සිතුනි.මගෙන් පිළිතුරක් පමා වූ තැන අම්මා "නෑ අයියේ මෙයාට තව අවුරුදු දෙකක් තියෙනවා.."කියා පිළිතුරු දුන්නාය.මම මා සොයුරු දෙස බැලීමි.ඔහුද මුහුණ දීගත නොහැකි නිසාදෝ ඉවත බලා සිටිනු මම දුටිමි.ඔහුටද මට මා හට ඇති වූවාක් මෙන් සිතුවිල්ලක් ඇතිවී තිබූ බව මට පෙනිණි."මම එහෙනම් යන්නම් නංගියේ ,යන්නම් පුතේ" කියා අප දෙස හැරී බලනව්ට මා දුටුවේ ඔහුගේ නෙතඟ මෝදු වූ කඳුළක් ආයාසයකින් තොරව පිටතට පැමිණීමයි.හැඟීමකින් තොර වූ වන් මෙන් මුවින් හා නොකියා මාත් මා සොයුරුත් ඔළුව වැනුවෙමු.පිටව ගිය ලොකු තාත්තාගේ මුහුණේ පසුතැවිලි වන සිතුවිල්ලක සේයාවක් මා දුටිමි.

ගෙදර එන අතර මඟ අප අතර වූ තද නිහැඬියාව මඟ හැරුනේ පාරේ ගිය වෙනත් වාහනයක් පසු කිරීමට මා සොයුරු රථයේ නලාව හැඬවූ නිසාය.

ගෙදර ආපසු රාත්‍රී අහාරය ගන්න අතරේ අම්මා අප දෙදෙනා දෙස බලා මෙසේ ඇසුවාය."ඇයි ඔය දෙන්න ලොකු තාත්තත් එක්ක කතා නොකළේ..?"එයට පිළිතුරක් මගේ මුවින්වත් මා සොයුරු මුවින්වත් පිට නොවුනි.නැවතත් නිහඬියාව බිඳිමින් අම්මා මෙසේ පැවසුවාය."මීට පස්සේ කතා නොකර ඉන්න එපා..මොනව කළත් ඒ ඔයගොල්ලන්ගේ ලොකු තාත්තනේ..සමහර විට එයාගේ වැරදි දැන් එයාට තේරිලා ඇති .බාප්පා වුනත් කතා කළොත් කතා නොකර ඉන්න එපා.අපි ඒ අයට මොනවත් කරලා නැහැනේ..අනික ඒ ඔයගොල්ලන්ගේ තාත්තගේ සහෝදරයොනේ..තාත්තට වගෙයි කියල හිතේ තියාගෙන ඒ අයටත් සලකන්න.."

වසර පහකට පමණ පෙර පැවසූ දෙයම අම්මා අදත් පවසන්නීය..ඇය එදා කී දෙයෙහි සත්‍යය මට අද වැටහුනි.ඒ තමන් කරන දෙයෙහි ඵල විපාක හොඳ නරක තමන්ටම බවය .තමන් කරන දෙයට පසුතැවිලි වන්නට වන්නේත් තමන්ට බව මටද වැටහුනි..

ඒ අම්මා සැම විටම කීදෙයයි.අදටත් ඇය ගන්න මඟ එයයි. ඒ අම්මාගේ හැටිය..



කැන්ඩි....

Wednesday, December 29, 2010

ඔයා වෙනස් වෙලාද..?



හැම කෙනාම ආත්මාර්ථකාමි වෙලා..
තමන් ගැන විතරයි හිතන්නේ..
ඔයත් එහෙමද කියල මට හිතෙනවා..
තවත් කෙනෙක් තේරුම් ගන්න පුළුවන් කෙනෙක් කියල
ඔයා ගැන හිතපු මටද ඔයා මෙහෙම සලකන්නේ..?
ඉස්සර වගේ නෙවෙයි දැන්..
කතා කරන්නේ අඩුවෙන්..
හිනා වෙන්නේ අඩුවෙන්..
හිනස්සවන්නේ අඩුවෙන්..
හැමදේම අඩුවෙන්..
ඔයා වෙනස් වෙලා..
තවත් වෙනස් වෙනවා..
මම ආදරේ ඉස්සර ඔයාට ..
දැන් ඔයා ඇතුලේ ඉන්න ඔයා හරියට මට ආගන්තුකයෙක් වගේ..
ඇයි මට මෙහෙම කරන්නේ..?
දවසෙන් දවස ඔයා මගෙන් ඈතට යනවා කියල මට හිතෙනවා..
ඇත්තටම ඔයා ඔයාමද..?
ඔයා වෙනස් වෙලාද..?

දවසක් කතා කරන්න බැරි වුනාට හිත රිදෙයි කියලා මම හිතුවෙ නෑ මගෙ රත්තරන්..
ලෝකෙම වෙනස් වුනත් මම වෙනස්වෙන්නේ නෑ මගෙ පණ..
හැමදාමත් මම ඔයා ළඟ....




කැන්ඩි....

Monday, December 27, 2010

පොලීසියේ හොරා පොලිස් රාලහාමිලා සහ රාලහාමිනේලා....




ඔන්න ඉතින් අද පළමුවෙනි වතාවට කැන්ඩිත් පොලීසියකට ගොඩ වැදුනා.ඒ මොකද කියනවා නම් කැන්ඩිගේ ජංගම දුරකථනය නැති වෙලා ඒකට පැමිණිල්ලක් කරන්නට.වෙන මොකුත් කරලා හෙම නොවෙයි.

ඔන්න ඉතින් කැන්ඩිගේ අයියා ඉතින් වෙලාවට වැඩ කරන පුද්ගලයා නිසා උදේ යන්න හිටපු පොලීසි ගමන යන්න වුනේ දවල් දෙකට විතර.ඔන්න ඒ යන වෙලාවේ ඔතන හිටපු පොලිස් ඇත්තියක් කිව්ව පැමිණිලි භාර ගන්නා නිළධාරියා තාම දහවල් කැමට ගොහින් ඇවිත් නැති විත්තිය.අනේ මේ මිනිහ උදේ වරුවේ ආවා නම් මේක කරගෙන ඉක්මනට යනවනේ කියලා කැන්ඩිත් අයියට හිතින් බැණ බැණ ඔතනට වෙලා අර පැය එක හමාරකට විතර කලින් කෑමට ගිය නිළධාරියා එනකන් හිටියා.මම හිතන්නේ මේ නිළධාරියා කෑම කාලා කෑම ජීර්ණය වෙනකන් ඉඳලා වෙන්න ඇති ආයෙත් තමන්ගේ රාජකාරියට පැමිණෙන්නේ,මොකද තවත් පැය භාගයක් බලන් හිටියත් මේ මනුස්සයා නෙවෙයි ආවේ.

ඔන්න ඉතින් ඔහොම ඉඳල ඉඳලා ඇති වෙලාමද කොහෙද කැන්ඩිගේ සහොදර පරාණය එතන හිටපු ඇත්තියගෙන් ඇහුවා සුළු පැමිණිල්ලක් නිසා මේක ඒ ඇත්තිට සටහන් කරගන්න බැරිද කියලා.ඔන්න ඒ ඇත්ති පැනපු ගමන් කියාපිනේ මේ ඔයාගේ ගෙදර කියලා හිතුවද කියලා....? අනේ සාධු පරක්කු වෙලා ආවට උඹට ඔහොම වෙලා මදි කියලා කැන්ඩිත් ඉතින් හිතෙන් පින් දුන්න.ඔන්න ඉතින් ඔහොම ඉන්න අතරේ මේ පාර කැන්ඩිටත් වීරයා වෙන්න හිතිලා අර ඇත්තිගෙන් ඇහුවා ජංගම දුරකථනයක් නැති වුනාම ගන්න ඕනේ ක්‍රියා මාර්ගය කොහොමද කියලා..?ඒ පාරනම් ඇඟට පනින්නේ නැතුව අහල පහළ යන එන පොලිස් ඇත්තන්ගෙන් ඇත්තියන්ගෙන් මෙයා ඒ ගැන අහන්න පටන් ගත්ත.

ඔන්න ඉතින් එක එක එක්කෙනා එක එක අදහස් පළ කළා.මේවා අහගෙන හිටපු කැන්ඩිටයි අයියටයි ඉතින් දෙපැත්තෙන් හිනා.මොකද ගන්න ඕනේ ක්‍රියා මාර්ගය ඒ වෙනකොට පැහැදිලිව හොයාගෙන තමයි කැන්ඩිගේ අයියයි කැන්ඩියි පොලීසියට ආවේ.ඔය අතරේ එක නුවණක්කර ඇත්තෙක් කිව්වා SIM කාඩ් පත විසන්ධි කරවල අළුත් දුරකථනයක් ගන්නේයි කියල.ඔන්න ඉතින් කැන්ඩිගේ අයියත් ආතල් එක වැඩිකමටද කොහෙද පැනපු ගමන් කියපි අපි ගෙදර යන ගමන් අළුතෙන් එකක් ගන්න තමයි යන්නේ කියල.

පොලිසියට යන්කොටත් කැන්ඩි සම්බන්ධතාවය විසන්ධි කරලා තමයි ගියේ.ඔන්න ඉතින් ඔහොම ටික වෙලාවක් යනකොට ආපු එක ඇත්තියක් හරියටම වැඩේ කෙරෙන්න ඕනේ විදිය කියලා ගියා.අනික් අය ඊට පස්සේ අරයා එක්ක හිත රිදිලාද කොහෙද වැඩිය අදහස් පළ කරන්න ආවේ නැහැ.දැන් ඉතින් ඔන්න ඔහොම ඔහොම පැයක් විතර ගියා.වැඩේ නම් කෙරෙන පාටක් නෑ.කැන්ඩිගේ අයියත් ඉතින් ඔය ගිනි ආයතනයක තමයි වැඩ කරන්නේ ,ඉතින් මනුස්සයාට හවස රාජකාරියට යන වෙලාවත් දැන් ළං වෙනවා.කරන්නම දෙයක් නැති තැන මිනිහා ජංගම දුරකථනය අරගෙන පොලොස්සියේ ඉහළ නිළතලයක් දරන ඥාතියෙකුට ඇමතුමක් ගත්තා.ඔන්න ඉතින් පොරත් කිව්ව මල්ලි මම ඉක්මනට මොකක් හරි කරන්නම් කියලා.

ඔන්න විනාඩි පහක් ගියේ නැහැ අර වැදගත් ආඩම්බරකාර නුවණක්කාර ඇත්තෝ ඇත්තියෝ තුන් හතර දෙනෙක් එනවා පෝලිමක් හැදිලා.ඇවිත් ඔන්න අහපි ඔය මහත්තුරු දෙන්න අහවල් සර්ගේ මල්ලිලද කියල...?හිකිස් හිකිස් ඔන්න ඉතින් කැන්ඩිගේ අයියත් ඉතින් පැනපු ගමන් කිව්ව ඔව් ඔව් අහවල් සර් අපේ අයිය තමයි කියලා.මෙන්න අර පැමිණිල්ල ලියා ගන්න පුළුවන්ද කියල ඇහුවම බෑ කියලා කියපු ඇත්ති අර ආහාර දිරවනකන් හිටපු නිළධාරියාවත් අහැරවාගෙන ආවනේ අපි දෙන්නා හිටපු තැනට පැමිණිලි පොතත් උස්සාගෙන ,මහත්තය මොකක්ද පැමිණිල්ල කියලා අහගෙන......හෑ මේ මොකද මේ...?මේ ඇත්තිට එක පාරටම මොකද වුනේ...?කැන්ඩිත් ඉතින් නිදියන කොට තැන නොතැන බලල නිදියන හින්ඳා කැන්ඩි හොඳට ඇස් පිහදලා බැළුවා.අනේ කැන්ඩි දවල් හීනයක් නෙවෙයි දැකල තියෙන්න හැබැහින්ම අර ඇත්ති ඇවිල්ල....

ඔන්න පැමිණිල්ලේ පිටපතකුත් ගන්න ඕනේ කියල කැන්ඩිගේ අයියා කිව්වා.හා සර් කියලා මෙන්න අර ඇත්ති අපි ලියන්න ඕනේ ලියුන් කරදහියත් කඩදාසියකුත් හොයාන ඇවිත් එයාම ලියල අත්සන ගහන්න විතරක් ඔන්න කැන්ඩිට දුන්න.හනේ හපොයි....ඔන්න ඉතින් ඒ වෙලාවේ ටයිප් ගහන්න කෙනෙක් නැතෙයි කියලා අපි අහවල් වෙලාවේ අර සර්ගේ අතටම මේක ගෙනත් දෙන්නම් කියලා මේගොල්ල වැන්ඳේ නැති එක විතරයි.ඔන්න ඉතින් දැන් කැන්ඩියි අයියයි එන්න පිටත් වෙන්නයි ලෑස්තිය.මෙන්න ආයෙත් පෝලිමේ ඇත්තො ඇත්තියො දෙන්නෙක් ඇවිත් ඔන්න කැන්ඩිගේ අයියට කියනවා අනේ සර් අපි දැනගෙන හිටියේ නෑ සර්ලා අහවල් සර්ගේ මල්ලිලා කියලා සර්ලා මෙතන ටික වෙලාවක් හිටියා කියල අහවල් සර්ටනම් කියන්න එපා කියල ඉල්ලුවා.ඔන්න ඉතින් කැන්ඩිගේ අයියත් කිව්ව හා හා බය වෙන්ට එපාය කියල.

කියලා අපිත් එක්ක අපිට පස්සේ ගිය අම්ම කෙනෙක් හිටිය .ඒ උන්දෑ වයස්ගත අම්ම කෙනෙක්.සැමියා දාලා ගිය විදේශ ගතවුන දුවකුගේ දරුවෝ දෙන්නෙක් බලාගෙන ඉන්න අම්ම කෙනෙක් එයා.එයා ඇවිත් හිටියේ එයාගේ ඉඩමෙ මායිම වෙනස් කරලා අල්ලපු වත්තේ ඉන්න චන්ඩියා වැට ගහලා මදිවට පරුෂ වචනයෙන් බැන වැදිලා තර්ජනය කරපු එක වෙනුවෙන් පැමිණිල්ලක් කරන්න.උන්දෑ අතේ සියළුම නීතිමය ලිපි ලේඛන තිබුනා.මේ විස්තර කැන්ඩියි කැන්ඩිගේ අයියයි අහගත්තේ අර නුවණක්කාර ඇත්තෝ අදහස් දක්වපු වෙලාවේ තමයි.ඉතින් ඔය අම්මව පෙන්නල කැන්ඩිගේ අයියා කිව්ව අනේ පුළුවන්නම් කොහොම හරි අර උන්දැගේ වැඩෙත් ඉක්මනට ඉවරයක් කරලා දීල ගෙදර යවන්න කියල.

ලංකාවේ මිනිස්සු තාමත් පොලීසිය දූෂිතයි කියලපොලීසියට යන්න දිමදි කරන්නේ ඇයි කියලා අමුතුවෙන් කියන්න උවමනාවක් නැතැයි කියා මම සිතමි.යම් සිදුවීමක් ගැන මෙම නීතිය ක්‍රියාත්මක කිරීමට සිටිනා පුද්ගලයන් සතු දැනුම ඉතාම අල්පය.ඔවුන්ට ඒ පිළිබඳව දැනුවත් කිරීමක් ලැබී නැතුවා හෝ ඔවුන් ලැබුන දැනුම ප්‍රායෝගිකව යෙදීමට උත්සාහයක් නොගන්නවා හෝ වියයුතුය.

තවද එදිනෙදා සිදුවන සුළු සිද්ධීන් පිළිබඳව පමණක් මොවුන්ට දැනුමක් ඇති බව පෙනේ.යමක් සිතා බලා සොයා බලා කිරීමට මොවුන්ට හැකියවක් නැත හෝ ඔවුන් ඒ සඳහා පුහුණු කර හෝ නැත.

තවද තමන්ගේ දරු පවුල රැකදෙන පඩිය නමෑති මුදල ලබාදෙන රාජකාරිය දේවකාරියක් මෙන් ඉටුකරනවා වෙනුවට ඔවුන් යම් කාරියක් ඉටු කිරීමට උත්තේජකයක් වශයෙන් ඉහළ අංශවල බලපෑමක් හෝ මුදල් බලපෑමක් ලැබෙන තුරු සිටිති.

2010 අවසානව තවත් දශකයක ආරම්භයේ සිටින අප මේවා දැක දැක සිටිය යුතුද...?
හා කීවාට කැන්ඩිගේ අයියා නම් මේ වන විට තමන්ට කතා කළ හැටිද අදාළ නිළධාරීන්ගේ නම්ද අදාල පුද්ගලයාට පවසා හමාරය.තොරතුරු තාක්ෂණය අතින් යම් දියුණුවක් ලංකාව ලබා ඇති නමුත් නීතිය ක්‍රියාත්මක වන මෙම ආයතනවලට එය යොදා ගන්න යුගය තව දශකයකින්වත් උදාවන ලකුණු පෙනෙන්නට නොතිබේ.


අඩුම තරමේ එය යොදා නොගෙනවත් අදාල කාර්යයන් මීට වඩා විධිමත්ව අදාල ආයතන තුල මනා සම්බන්ධීකරණයක් ඇති කරගෙන මෙම ක්‍රියාවන්හි විධිමත් භාවයක් ඇතිකරන්නේ නම් එය රටට ඉතාමත් වැඩදායී වන්නේය.මෙම ආයතන වල සිටින නිළධාරීන්ගේ ක්‍රියාවන් පෙර පාසලක සිටින දරුවන්ගේ හොරා පොලිස් සෙල්ලමකට දෙවෙනි නොවන්නේ යයි නොපැවසිය හැක්කේ කාටද............?

අද දිනයේ ඥාති බලපෑමක් මත අප අපගේ ක්‍රියාව සිදුකරගෙන පැමිණියෙමු.නමුත් අර අසරණ කාන්තාව අප එම ඥාතී උපකාරයෙන් හෝ පැමිණිලි භාර නිළදාරියා නොකැඳෙව්වේනම් තම කාරිය ඉටු කර ගන්නේ කෙසේද.?
ඇත්තටම පොලීසිය තවදුරටත් පොදු ජනයාට සේවය සපයන ආයතනයක්ද.........?
සියල්ලේම පාහේ තත්වය මෙසේ වුවද තම රාජකාරිය අකුරට ඉටුකරන නිළධාරීන් නැත්තේද නොවේ........
නමුත් කිරි කළයක් තිබුනද ගොම බිඳක් වැටීම එය කෙලෙසීමට සමත්ය.තව දුරටත් දුප්පත් අසරණ මහජනයා මෙම ආයතන වලින් සේවය ලබා ගන්නේ කෙසේද.............?
මෙම තත්වය මේ ආකාරයට පැවතුනහොත් ලංකාව ආසියාවේ අමුතුම ආශ්චර්යක් වනු නොඅනුමානය.

කැන්ඩි....

Tuesday, December 21, 2010

සිරියා සහ චූන් පාන්....




ආආආහ් ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්හ්හ්හ්හ්හ් හරිම කම්මැලියි ගෙදර ඉඳල ඉඳල ආපහු ගමනට බැස්සම. ඔන්න ඉතින් කාලෙකින් කිසිම දෙයක් හරි විදියට ලියන්න බැරි වුන නිසා අද මොනව හරි කොටන්න කියල තමයි සූදානම.

කොටන්න මතක් වුනෙත් අද උදේම සිරිය දැකපු නිසා තමයි.

යන්නේ කොහෙද මල්ලේ පොල් වගේ නේද..?

වගේ නෙවෙයි එහෙම තමයි(ඔන්න මමම උත්තරෙත් දී ගත්තා.)

අද උදෙන්ම සිරිය දැක්ක නිසා හිතුවා සිරියා ගැන තියෙන කතා ටිකත් එකින් එක ලියන්න ඕනේ කියල.ඔන්න ආපහු සිරියෙක් ගැන කිව්ව නේද..? සිරියා කියන්නේ පහුගිය කාලයේ කාලාන්තරයක් කැන්ඩිගේ අම්මගේ අත් උදවුවට කැන්ඩිලගේ ගෙදර තනි නොතනියට හිටපු ආදරණීය, මූන ටිකක් කළු වුනාට දත් නැති ලොඹු කට පෙන්නලා හිනාවෙනකොට සිරියාවන්ත සිරියාවතී.සැපට දුකට සනී වගේ හිටපු මෙයාට අපි ආදරේට කිව්වේ සිරියා කියල.

සිරියට හොඳට ගෙදර දොරේ වැඩ කටයුතු කරගන්න පුළුවන් වුනාට මොකද පාසලකටවත් ගිහින් නැති හින්ඳද මංදා ටිකක් කරන කියන වැඩ විහිළුයි.ටිකක් මෝඩයි කිව්වොත් තමයි වැඩිය හොඳ.හැබැයි කවමදාකවත් තමන්ට පැවරුන වැඩක් අතපසු කරලවත් නොකරල ඉඳලවත් කිසිම නරක දෙයක් කරලවත් නම් නෑ.සිරියා ගෙදර ඉන්නව කියන්නේ කැන්ඩිටනම් ඉතින් සිනා සාගරයක් තමයි.මෙයාව කතාවට අල්ලගත්තොත් දවසක් හරි පෙරළි පෙරළි හිනා වුනෑකි.කතාවට අල්ල ගන්නම ඕනේ නැහැ.මෙයා නිකන් ඉන්න ගමන් නිකමට කියන කතාත් හරිම නුවණක්කාරයි.

ගෙදරට සිරියා නම් හරිම සිරියාවයි ඒ තරමට හිනා යන කතානේ කියන්නේ.ඒ දැන් මෙයා ටික කාලෙක ඉඳල කැන්ඩිලගේ ගෙදර එනව අඩුයි,ඒ මොකද කිව්වොත් මෙයාගේ දුවට දරුවෙක් ලැබිල මෙයත් ඒක නිසා දුව ඉන්න ගමට ගිය නිසයි.අපරාදේ කියන්න බෑ අර පොඩි එකානම් දවසම මැරෙන්න හිනා වෙනවා ඇති.ඔන්න මෙයා ගැන කියන්න කතානම් ගොඩයි ඒත් දැන් තියන වෙලාවේ හැටියට එකක් ලියන්නම්.

කැන්ඩිට පාන් කන්නේ නැතුව නින්ද යන්නේ නැති නිසා කැන්ඩිගේ ගෙදර රෑට කවුරු මොන කෑම කෑවත් කැන්ඩිට පාන් ගේන එක ඒකාලේ අනිවාර්ය අංගයක්.මොකද දැන් වගේ නෙවි ඒකාලේ කැන්ඩිනම් පාන් පාන් නම් කැන්ඩි කියන තරමට කැන්ඩි පාන් කන්න කැමතියි.ඔය ගේන පාන්ගෙඩිය ඉතින් කන්නේ භාගේ විතර පෙති දෙකක් කපල ,ඉතින් රෑට වැඩිය කැවෙන්නෙත් නෑ කියලා තමයි ඒ කාලේ කිව්වේ මොකද භාගේ සයිස් වුනත් කැන්ඩි කන්නේ පාන් පෙති දෙකනේ.ඔන්න ඉතින් ආයෙත් ට්‍රැක් පැන්න.

ඉතින් හවසට සිරියා ගෙදර යන්න කළින් කඩේට දුවලා ඔය පාන් ගෙඩියත් (ගෙඩිය කිව්වට හැදෙන ගහනම් මම දන්නේ නැහැ )ගෙනත් තියලා තමයි යන්නේ.ඉතින් කඩේ තියෙන්නේ ටිකක් දුර නිසා කැන්ඩිගේ අම්මත් දවසක් සිරියට කිව්වා අනේ සිරියෝ කඩේට නොයා ඔය ගේට්ටුව ගාවට ටිකක් වේලාසනින් ගිහින් ඉඳල චූන් පාන් එකෙන්ම ඕක ගන්න කියල.මොකද ඉතින් ඔය චූන්පාන් (ආ කියන්න බැරි වුනානේ අර හැම පලාතෙම සද්දය දාගෙන (සද්දය කිව්වේ අර මිහිරි නාදය ) උදේට හවසට යන පාන් වාහනය )එකෙන් පාන් ගන්න, ඒකෙ සද්දේ ඇහෙන වෙලාවට පාරට ගියොත් ,පාන් ගන්න සාමාන්‍යයෙන් ඔලිම්පික් පදක්කම්ලාභී සුසන්තිකා මහත්මියට වගේ දිවීමේ හැකියාවක් තියෙන්න ඕනේ.

ඉතින් චූන් පාන් එකෙන් පාන් ගන්න කිව්වම සිරිය එක පාරටම කිව්වෙ මොකක්ද දන්නවද..?

"අනේ ලොකු නෝනේ චූන්පාන් කිව්වට ඕකෙ පාන්වල කිසිම රහක් නෑ... මමත් ඊයේ ගෙදර යනකොට අරගෙන ගියානේ "

අනේ මෙයැයි හිතන් ඉඳල තියෙන්නේ ඒකෙ පාන් අමුතු රසයක් තියෙන හින්දා චූන්පාන් කියනවයි කියල......

කැන්ඩි....

Sunday, December 12, 2010

වැස්ස දවස් වලට....

වැස්ස වැස්ස වැස්ස....



වැස්සේම ගමන් කරලා කරලා ගෙදර නැවතුන පොඩිවෙලාවෙ පහුගිය දවස් ටිකේ කැන්ඩි වැස්සත් එක්ක කාපු කටු ටික මතක් වෙලා කෂ්ටියට පොඩි ටිප්ස් ඇන්ඩ් ට්‍රික්ස් ටිකක් දෙන්න හිතුවා.
වැහිදින වලදි අපේ කට්ටිය කරන වැඩ දැකලා තමයි කැන්ඩිට මේ දේවල් ටික කිව්වොත් හොඳයි කියලා හිතුනෙ.

කවුරු කවුරුත් මේ කියන දේවල් හොඳට හිතට අරන් ක්‍රියාත්මක කරනවා නම් කැන්ඩි ස්තූතිවන්ත වෙනවා කියන ගමන්ම තමයි මේ කරුණු කාරණා ටික කියන්න මුල පුරන්නේ.

01.මේ වහින දවස් වල ඔබ ගෙදරින් පිටතට යනවා නම්(අනිවාර්යයෙන් යන්න එපැයි ඉතින් මොකද මේ රටේ වහිනවාට නිවාඩු දෙනවා කියලයැ..? )මතක් කරලා කුඩයක් අරගෙන යන්න.
ඔබ කුඩයක් අරගෙන යන්නේ නැතුව ගිහින් වැස්ස වෙලාවට තවත් කෙනෙකුගේ කුඩය යටින් යන්න බලාපොරොත්තුවෙනවා කියන්නේ දෙන්නම තෙමෙන වැඩක්.මොකද මේ දින වල ඇද හැලෙන ධාරාණිපාත වර්ෂා වලට යටින් නොතෙමි යන්න එක කුඩයකුත් මදි.




02. ගෙදරින් පිටතට කුඩයකුත් රැගෙන යන ඔබ,කුඩය දමා ගැනීමට එයට ඉඩ ඇතිවන පරිදි කවරයක් බෑගයක් හෝ එය දමා ගත හැකි කුමක් හෝ දෙයක් රැගෙන යාමට අමතක නොකරන්න.බොහෝමයක් දෙනෙක් අමතක කරන දෙයක් තමයි තමන් තෙමෙනවට කුඩය ඉහල ගත්තාට කුඩයත් තෙමෙන බව.තෙමුන කුඩය රැගෙන බස් රථයකට ගොඩවන ඔබ එය යම් බහාලනයය්ක් තුලට දමා නොගැනීමෙන් කරන්නේ ඔබ පමණක් නොතෙමී අනුන් තෙමීමකි.මෙම තෙත කුඩයෙන් බේරෙන වතුර තමන්ගේ ඇඟට වැටෙනවාට අප කවුරුත් අකමැතිය.එම නිසා තෙත කුඩයෙහි වතුර බේරී බේරී අනුන් තෙමීම වලක්වා ගැනීමට මතක් කර ඔබ තෙත කුඩය දමා ගැනීමට ඉවත දමන පොලිතීන් කවරයක් වැනි යමක් රැගෙන යනවා නම් වඩා හොඳය.එවිට ඔබට නිකරුනේ තවත් කෙනෙකු තෙමා රැවුම් ගෙරවුම් ලැබී සිටීමෙන්ද වැලකී සිටිය හැක.

03.මේ දින වල වැඩිපුර කුඩ භාවිතාවීම නිසා ඔබ මෙයත් මතක තබා ගන්නවා නම් වඩාත් හොඳය.ඔබ කුඩය ඉහලාගෙන පදිකවේදිකාවේ මාර්ගයේ ගමන් කරනා විට ගමන් කරනා වෙනත් අය ගැන සැලකිලිමත්වන්න.තමන්ගේ කුඩය අනුන්ගේ ඇඟේ නොවැදීමට වග බලා ගන්න.මන්දයත් මෙය කෙනෙකුට විහිළුවක් සේ පෙනුනත් කුඩ ණන ඇස්වල වැදීමෙන් ඇස්වලට හානි වීම් වැනි දෑ පසුගිය කාලයේදී වාර්තා වූ බැවිනි.

04.වැසිදිනවල ඔබ මහා මාර්ගයේ පයින් ගමන් කරන පදිකයෙක්නම් ඔබ ඇසට පෙනෙන දීප්තිමත් වර්ණයක් සහිත ඇඳුමක් ඇඳුමක් ඇඳගෙන යාමට ඔබට හැකිනම් එය වඩාත් හොඳය.වැසි දිනවල ඇති මඳ ආලෝක තත්වය නිසා මාර්ගයේ ගමන් කරන ඔබව රථ වාහන වල ගමන් කරන රියදුරන්ට ඔබව නොපෙනිය හැක.එම නිසා අඳුරේදී පෙනෙන සුදු හෝ වෙනත් එවන් ලා පැහැති වර්ණයක ඇඳුමක් ඇඳගෙන යනවානම් ඉතාමත් ආරක්ෂාකාරීය.අඳුරු පැහැති වර්ණයක් සහිත ඇඳුම් ඇඳීම මාර්ගයේ වැඩි වේලාවක් ගතකරනවා නම් ආරක්ෂා සහිත නොවේ.



05.ඔබ පදිකයෙක්නම් මාර්ගයේ මඩ වලවල් වතුර පිරුන වලවල් නිසා පදික වේදිකාවෙන් බැහැරව මාර්ගයේ මැදට වන්නට ගමන් කිරීමෙන් වලකින්න.ඔබගේ ගමන මඳක් ප්‍රමාද වූවත් මඩවලක් අසල වතුරවලක් අසල පදික වේදිකාවෙන් බැහැරව ගමන් කිරීමට පෙර මාර්ගයේ රථයක් නො එනවාදැයි කියා සැක හැර බලාගෙන දැනගෙන තවත් රථයක් මාර්ගයේ ගමන් කිරීමට පෙර ඔබට එම ස්ථානය පසුකර මාර්ගයෙන් නැවත පදික වේදිකාවට ගොඩ වීමට හැකිදැයි කියා හොඳින් සැක හැර දැනගෙන එම ස්ථානයෙන් ගමන් කරන්න.කිසිවිටෙකත් පදිකවේදිකාවේ හෝ පාර දෙපස වතුර වලවල් කියා ඔබ පදික වේදිකාවෙන් බැහැරව මාර්ගයේ මැදට වන්නට ගමන් කිරීමෙන් වලකින්න.

06. ඔබ වාහනයක ගමන් කරන රියදුරෙක්නම් මාර්ගය පැහැදිලි වූවත් අධික වේගයෙන් ගමන් නොකරන්න.මාර්ගය ලිස්සනසුළු නිසා ඔබ ධාවනය කරන වේගය අඩු මට්ටමක පවත්වා ගැනීම ඔබගේ රථය හදිසි අවස්ථාවක අනතුරක් රහිතව නවත්වා ගැනීමට පහසුවක් වේවි.තවද ඔබගේ අනිසි හදිසිය නිසා හදිසි අනතුරක් සිදුවූවිට රක්ෂණ ආවරණ නැතිකමින් ඔබ නිසා අනුන් හට පාඩු විඳින්නට සිදුවීමත් රක්ෂණ ආවරණ තිබුනත් වන්දි මුදල් ලැබුනත් ඔබට එයට අමතරව කාලය වැය කිරීමට සිදුවීමත් ඔබ නිසා වෙනත් කෙනෙකුට තමන්ගේ වටිනා කාලය අපතේ හැරීමට සිදුවීමත් වලක්වා ගත හැක.



07.ඔබ රථයක රියදුරෙක් නම් ඔබට රථයේ වේගය ගැන මෙන්ම පදිකවේදිකාවේ ගමන් ගන්න මඟීන් ගැනත් මාර්ගයේ ස්වභාවයත් ගැන කල්පනා කාරීව ඔබගේ රථය පදවන්නේ නම් වඩා හොඳය.රථයේ සුවපහසුවට ගමන් ගන්න ඔබ නිසා මාර්ගයේ ගමන් ගන්න දුප්පත් අහිංසක මඟියාගේ ගමන අඩාල වීම සිදු නොවිය යුතුයි.ඔබගේ නොසැලකිලිමත්කම නිසා මාර්ගයේ පයින් ගමන් ගන්න පදිකයා මඩ වතුරෙන් නැහැවී යාම අනුමත කළ නොහැකිය.එය සාධාරණ නොවේ.ඔබට ඔබ ගැන මෙන්ම අනුන් ගැනත් හිතන්න පුළුවන්නම් එය ඉතාමත් අගනේය.

අවසාන වශයෙන් වැස්ස නිසාම මේදින කිහිපයට පමණක් සීමා නොවී තමන්ගෙන් හරි තමන් කරන කියන කටයුත්තකින් හරි කෙනෙකුට හිරිහැරයක් කරදරයක් නොවෙන අන්දමින් කටයුතුකරනවා නම් එය තමන්ට මෙනම අනුන්ටද විශාල උපකාරයකි.මන්ද මිනිසෙක් ගැන මිනිස්කමින් සිතිය හැක්කේ තවත් මිනිසෙකුට පමණක් බැවිනි.

කැන්ඩි....


Sunday, December 5, 2010

කැන්ඩිට හිතෙන දේවල්...



ඔන්න ඉතින් කැන්ඩිටත් නිවාඩුවක් හම්බවුනා.කැන්ඩිගේ නිවාඩු ව දැන් ඉවර වෙන්න කිට්ටු වුනත් ඉතින් බ්ලොගය පැත්තේ නම් වැඩිය එන්න ලැබුනේ නැහැ.ඒ ඉතින් කැන්ඩිට නිවාඩු හම්බ වෙනකන් හිටිය වෙන අය නිසයි.ඔන්න ඉතින් කැන්ඩිටත් බලන් හිටිය අයගේ හිත සනසන්න සිද්ධ වුනා.අද ඉතින් මේ පැත්තට ආවත් හෙටින් කැන්ඩිගේ නිවාඩුව අවසානයි.ඒත් ඉතින් තමන්ගේ වැඩ පාඩු කරගෙන අනුන්ගේ හිත් සනසන්න යාමත් එක්තරා පිනක් කියල කැන්ඩි දැන් හිත හදාගෙන ඉන්නෙ.මෙදා පාර හිටන්වත් තමන්ගේ හිතේ තියෙන දේ හිතට ආව වෙලාවෙම මොකක හරි සටහන් කරනව කියලා කැන්ඩිට හිතුන.

සමහර දේවල් නැතිවෙලා ගියාම ඒවා තියෙද්දී තමන්ට මොනවගේ පාඩු සිද්ධ වෙලා තියෙනවද කියල කැන්ඩිට මෙ දවස් වල හිතෙනවා.ඒ පහුගිය කාලවකවානුව තුල කැන්ඩිට බොහෝම දේවල් නැතිවුන නිසා තමයි.ඒත් ඉතින් මොනව කරන්නද තමන්ට නොලැබෙන දේ ගැන හොයනවට වඩා තමන්ට ලැබෙන හොඳ දේ ජීවිතයට සතුටින් භාර ගන්න එක හොඳයි කියලා කැන්ඩිගේ හිත වෙනස් කරගෙන දැන් ටික දවසක්.වෙන්වීම දුකක් වුනත් වෙන්වීමක් එක්ක නැවත අළුත් හමු වීමකුත් තියෙනවා කියන එක කැන්ඩිට හොඳටම තේරුනේ මේ දවස් ටිකේදී.සමහරු අනුන්ව අමාරුවේ දාල තමන්ගේ වැඩේ කරගෙන ඉවර වෙල අනුන් අමාරුවේ වැටුන වෙලාවට ඇයි ඔහොම කරගත්තේ කියල අහන වෙලාවට දැන් කැන්ඩි කරන්නේ ඉස්සර වගේ තමන්ගේ නිෂ්ශබ්දකම පාවිච්චි කරල බිමටබලාගෙන ඉන්න එක නෙවෙයි.

පහුගිය දවස් වල සිද්ධවුන දෙවල් නිසා ගොඩාක් දේවල් වලට වග කියන්න වෙන නොවෙන හැම දෙනා එක්කම හොඳ හිත නැතිකරගන්නත් කැන්ඩිට සිද්ධවුනා.සමහරු තමන්ගේ වැඩය කරගන්න අනුන්ට ලොකුකම් පාන වෙලාවට දැන් කැන්ඩිනම් කරන්නේ ඉස්සර වගේ ඉවසගෙන ඒදේවල කරලා දෙන එක නෙවෙයි.දැන් නම් තමන්ට අසාධාරණයක් ,තමන්ට එරෙහිව අනුන් වචනයක් හරි කියනවනම් ඒ දේ අහගෙන ඉන්න එක දැන් කැන්ඩිගේ සිරිත නෙවෙයි.දැන් ඒ පුද්ගලයන් කරන කියන දේවල් වලට නිසි පිළිතුර දෙන්න කැන්ඩි ඉදිරිපත් වෙනවා.සමහර අය ඒ දේ අහල තමන්ගේ වරද නිවැරදි කර ගන්න පෙළඹුනත් තවත් සමහරු ඒදේවල් තමන්ට ගැලපෙන්නේ නැහැයි කියලා හිතලා වෙන්න ඇති ඒ දේවල් ප්‍රතික්ෂේප කරලා එපා කියලා යන්න ගියා.ඉතින් කැන්ඩිටනම් කියන්න තියෙන්නෙ තමගේ වරද පිළි අරගෙන අනුන්ට දොස් කියන්න කියලයි.තමන් අනුන් ලවා වැඩක් කරගන්නවානම් තමන්ගේ වැඩය පැහැදිලිවම ඒකෙනාට කියන්නත් ඒ කෙනාව තේරුම් ගන්නත් තමන්ට හැකියාව තියෙන්න ඕනේ.තමන්ගේ වැඩය කරගෙන තවත් කෙනෙක් අමාරුවේ දාන්න බලාගෙන ඉන්න අය දැන් වැඩියි කියලා පහුගිය කාලේ කැන්ඩිට හොඳට තේරුණා.තමන්ගේ වැඩය කරගෙන තමන්ට වරදක් වෙනකොට විතරක් බොරුවට රටට ලෝකයට පේන්න කෑගහන අය අනුන්ටත් ඒ වරදම සිද්ධවුනාම ඒදේ ඉතාමත් සුළුදෙයක් විදියට සලකන බව තමයි පේන්න තියෙන්නේ.

තමන්ටවෙන්නේ යම්වරදක්නම් අනුන්ටත් වෙන්නේ ඒදේමයි කියලා තේරුම් ගන්න මේ උදවියට තේරුම් ගන්න බැරි ඇයි කියලා කැන්ඩිට තාමත් හිතා ගන්න බෑ.තවත් සමහරු වරදක් කරල අහනවා මම කරපු වරද මොකක්ද ..?කියලා,
කෙනෙක්ව තේරුම්ගන්න තමන්ට බැරිනම් අඩුමතරමින් මේකෙනා හිතන්නේ මම හිතන පතන විදියට නෙවෙයි එයා හිතන්නේ පතන්නේ එයගේම විදියකට කියල ,තමන් යම්දෙයක් කරන්න කළින් මට මේදේ සුළු දෙයක් වුනාට
මේ කෙනාට නම් එහෙම වෙන්න නැතුව ඇති කියලා අනුන්ට කරදරයක් වන විදියේ දෙයක් නොකරඉන්නවා නම් තමයි වැඩිය හොඳ.සරලව කියනවා නම් කෙනෙක්ව තේරුම් ගන්න බැරිනම් ඒ කෙනාට කරදරයක් නොකර ඉන්නවත් තමන් වග බලා ගන්න ඕනේ.

පහුගිය කාල සීමාව ඇතුලත සිද්ධ වුන දේවල් දිහා බැලුවම දැන්නම් ටිකක් හිතට සහනයක් දැනෙනව.මෙච්චර වෙලා කැන්ඩි මේ නොකියා කිව්වේ කරදර කාලයක් ඇතුලෙන් ගමන් කරමින් ඒකෙන් මිදෙන්න තමන් උත්සාහ කරන හැටි තමයි.මේ අතරේ වැඩියම හිතට දුක තවත් එක් කරණාවක් තියෙනව,ඒක ගැන වෙනමම ලිපියක් රචනා කරන්න හිතාගෙන හිටියත් මගේ හිතෙන් මේදෙය ඉක්මනින් ඉවත් කරන්න අවශ්‍ය නිසා මේ දේත් දැන්ම කියන්න ඕනේ කියල හිතුවා.ඒ තමයි කෙනෙක්ගෙ ආදරයක් ඇති වීම ,ඒදේ යම්යම් කරුණු නිසා වෙනස් වීමද,යෝජිත විවාහයන් ජීවිතයට කෙසේ බලපෑමක් කරාවිද යන්නයි.තමන්ගේ ප්‍රේම සම්බන්ධතාවක් ගොඩ නඟා ගැනීමත් යෝජිත විවාහයක් කර ගැනීමත් විවාහයක් ගැන සිතීමත් අඩුමතරමින් තමන්ගේ ආදරය වෙනත් කෙනෙක් සමඟ බෙදා ගැනීමත් කෙතරම් ගැඹුරු දෙයක්ද කියල පසුගිය කාලවකවානුවේදී කැන්ඩිට සිතුනා.

ප්‍රේම සම්බන්ධතාවක් නොතිබුන පළියටම කෙනෙක් බැඳීම් වලින් 100%ක්ම නිදහස් බවත් ඒ කෙනා ගැන ඕනෑම තීරණයක් තමන්ට ගන්න පුළුවන් කියල හිතන වැඩිහිටියෝ ගැනත් ලොකුම ලොකු තරහවකුත් සමඟ කලකිරීමකුත් පසුගිය කාලෙදී කැන්ඩිට ඇති වුනා.මොකද කියනවානම් වැඩිහිටියන්ට මෙන්ම දරුවන්ටත් තමන්ගේ ජීවිතයේ තමන් ආසා කරන ඉලක්ක කරා තමන්ගේ ජීවිතය ගෙනයන්නට අයිතියක් තියෙනව කියල කැන්ඩිට හිතුන.තමන්ගේ ඒ අයිතිය ගැන කතා කරලා සෑහෙන දෙනෙකුගෙන් දොස් අහල අන්තිමට තමන්ගේ හිත විතරක් රිද්දගෙන නිහඬ බව භාර අරගන්න කැන්ඩිට නම් හිත දුන්නේ නැහැ.

තමන් ජීවිතයේ ආසා නොකරන බැඳීමකට බලෙන් යටත් කර ගැනීමට ගත්ත උත්සාහයක් වලක්වාගන්න කැන්ඩිට තමන්ගේ සමීපතමයන් බොහෝමයක් දෙනෙකුගෙ හිත් රිද්දන්න සිද්ධ වුණා.කොහොම නමුත් අවසානයේ ඒ කරදරය නිමාවක් නැතත් තවත් අවුරුදු දෙක තුනකට කල් දමා ගන්න කැන්ඩිට හැකි වුනා.වුන සියළුම දේවල් වලට කැන්ඩිට කරන්න දෙයක් නැතිවුනත් තවමත් ඒදේවල් වලට දොස් අහන්න වෙලාතියෙන්නෙත් ඒදේවල් වලට සම්පූර්ණයෙන්ම වැරදිකාරයා වෙල තියෙන්නෙත් කැන්ඩි.

තමන්ට වුනුදේවල් ඒතරම් හිතට නොගන්නවා කියල හිතා ගත්තත් ඒක අකුරටම ක්‍රියාත්මක කරන්න කැන්ඩිට තාමත් බැහැ.ඒ මොකද කියනවනම් ඒදේවල් වල බලපෑම තවමත් සම්පූර්ණයෙන්ම ඉවත් වෙලා නැති නිසා.ඔය හේතුව නිසා වෙන්න ඇති සමහරුන්ට කැන්ඩිට පිස්සු හැදෙන්න එනව කියල පහුගිය කාලෙදි හිතෙන්න ඇත්තෙ.

ඒ අතරෙ සමහර යාළුවොත් ප්‍රශ්න එකදෙක වෙන තත්වයේ උදවු තමයි කැන්ඩිට කළේ.ජීවිතේ කියන්නේ ප්‍රශ්න හරහා ජීවිතයට මුහුණ දෙන එක වුනත් ජීවිතය නැතිවෙන්න ගියාම ප්‍රශ්න විසඳීමත් නිශ්ඵල බව කැන්ඩිට වැටහුනා.
සරලව සැහැල්ලුවට ජීවිතය ගැන හිටපු කැන්ඩිත් අන්තිමට නූල කැඩුන සරුංගලයක් වගේ ඉබාගාතේ යන්න පටන් ගත්තේ මේනිසයි.ජීවත් වෙන්න ජීවිතය ජයගන්න ඉලක්ක නැතිවීම විතර කෙනෙකුට නැතිවෙන දෙයක් නැහැ කියල පහුගිය ටික දවසට කැන්ඩිට තේරුනා.

සරලව සැහැල්ලුව ජීවිතය විඳින්න පහසුම මඟ වුනත් ජීවිතයට ප්‍රශ්න එකින් එක එන්න එන්න සරල බව සැහැල්ලුව තමන් අතින් ගිලිහෙන්නෙ තමන්ටත් නොදැනිමයි.තමන්ට ඒදේ නැතිවුනා කියල දැනෙනීත් ආපහු ඒ කරදරවලින් මිදිල පෙර තත්වයට එන්න උත්සාහ කරන කොට තමයි.සරල බව සැහැල්ලුව සමඟ ජීවිතයටම මානසික වදයක් වේදනාවක් නොවිඳපු කෙනෙකුට තමන්ගේ සමීපතමයොත් එරෙහි වෙන ප්‍රමාණයට වෙනස්කම් සිද්ධවෙනකොට තමන් පතපු ජීවිතය නැතිවෙනකොට ජීවත්වීමත් වදයක්වීම අරුමයක් නොවෙයි කියලා හිතුනා.ඒදේවල් වලට සම්පූර්ණයෙන්ම තමන් වරද කරුවෙකු නොවුනත් තමන්ට අනුන් නිසා සිද්ධ වෙන වරද නිවැරදි කිරීමට තමන් මිස එයට මැදහත්වීමට අනුන් නැති නිසාවෙන් පහුගියකාලයේදී තමන් කාත්කවුරුවත් නැති තත්වයටද මේ පත්වෙන්න යන්නේ කියලා කැන්ඩිට හිතුනා.

සමහර වෙලාවට පිටින් පෙන්වන සරල බව අහින්සක කම තමන්ටම අවාසියට හිටිනවා කියලත් කැන්ඩිට හිතුන වාර
අනන්තයි.ඒක නිසා කැන්ඩි පිටස්තර පුද්ගලයන්ට සලකන ආකාරයෙන්ම සමහර සමීපතමයන්ට සලකන්නත් පුරුදුවෙලා.තමන්ට වරදක් වුනත් ඒ දේට සමාව දීම ඉතාමත් හොඳ ගතිගුණයක් කියලා හිත දැනගත්තත් හිතට එකඟව
ඒ අය එක්ක සමීප ආකාරයෙන් අචාර සමාචාර පවත්වන එක ගැන දැන්නම් දෙපාරක් හිතනව,මේ දේවල් හොඳයි මේදේවල් නරකයි කියල දැන ගත්තට තමන්ට දරා ගන්න බැරිතරම් දෙයක් සිද්ධවුනාම තමන්ට ඔයකියන
ගුණධර්ම ඔය කියන ආකාරයෙන්මසම්පූර්ණයෙන්ම පිළිපදින්න බැරුව යනවා කියලත් කැන්ඩිට හිතුනා.

නූල කැඩුන සරුංගලයක් වගේ ඉබාගාතේ යා නොදී තමන් රැකීම තමාට බාර දෙයක් බවත් අන්සියළුදෙනා බලන් ඉන්නේ තමන්ට වරදින තුරුබවත් පැහැදිලිවම වැටහෙන්න සිද්ධීන ගනණාවක් දෑස් පනාපිටම සිද්ධ වුන නිසා ඒදේවල් වලට තමන් ඉඩ දෙන්නේ නැහැයි කියලා කැන්ඩි හිතා ගත්ත.හරිවුනත් වැරදිවුනත් තමන්ගේ හිතට පිළිනොගන්න දෙයක් සිද්දවුනාම ඉතාමත් තදින් ඒදේගැන තමන්ගේ හිතෙඋ නැගුන අප්‍රසන්න බව කියල එන දේකට මූනදෙන්න සූදානමින් ඒ අප්‍රසන්න බව බයනැතුව කියන්න දැන් කැන්ඩි ඉදිරිපත් වෙන්නේ ඒ නිසයි.

ඔය කියන දේවල් සිද්ධවුන අතරේ තමන්ගේ යාළුවා තේරුම් ගන්න බැරුව යහළුවා විහිලුවක් වෙලා හිටිය සමහර මිතුරන් අතරේ මේකා මොනදේ අපට නොකිව්වත් කරදරයකදී උදවු කරන්න කරදරය කිය කියා අරාධනා පත්‍ර එවන්න ඕන නැහැයි කියලා හිතපු සමහර මිත්‍රයෝ කැන්ඩිට තමන්ගේ වැඩකටයුතුවලදී අනපේක්ෂිත ආකාරයෙන් උදවු කළේ සැබවින්ම කැන්ඩිට වුන දේවල් දැනගෙන නෙවෙයි කියලා ආදරයෙන් අවසාන වශයෙන් මතක් කරන්න ඕනේ.


කැන්ඩි....