Saturday, September 3, 2011

ධාර්මිකයා....





පින්තූරය මෙතනින්

මම ධර්මය උගනිමි
මම ධාර්මික මඟ ගෙන ඇතිමි
මම එම මඟම යන්නෙමි
මම හඬ නඟා කියමි ,මා දැහැමියෙක්මි
මම ධාර්මික මඟ ගෙන ඇතිමි
ඔබ ධර්මය දනිත්ද..?


අසරණ දෑසකින් කරන
අසරණ ආයාචනයකට පිහිට වන්නට
අසරණ සිතක් සනසන්නට
සාගිනි ඇවිලුනුව ඒ නිවා ගනු නොහැකිව
සාගින්නේ මියෙනු දැක
ඒ වලකනුව සිත් නොදී
ලොව මේ දේ පිළි ගනියි
මමත් ඒ දේ කරමි
ලොව මේ අත ගමන් කරයි
මමද ඒ මඟ ගනිමි
මේ දේ මේ ලෙසින් නොම වූ කලට
ලෝ දනා අතර මා සුවිශේෂ වනු කෙලෙස
කියා සිතන ඔබ 
අවසන රැවටුවේ කවුද..?
ඔබමද ලෝ දනද..?


මේ ඔබ උගත් ධර්මයද
ඔබ සැබවින්ම දැහැමිද
වදනකට පමණක් 
ධාර්මික භාවයක් 
කුමට ඒ දැහැමි බව
රවටනු පිණිස අන් අයම
ලෝ පරකාස වන ඔබේ දැහැමි බව
ගෙන දුනිද ඔබ යහමඟ
හැරම තව පාපයක්


දුකකි ඒ මා සිතට
ලොවට පෙනුමට පිනට ලැදි ලෙස 
ලොව රැවටුමට ගිය ඔබට 
වී ඇති විපතක මහත.. 

චතුර....

Friday, August 26, 2011

ඔබේ ආලය....






සිත් රිදුමට
කරනට හැකි සියළුම දේ කර
මුකුත්ම නොවුන විදියට
මුකුත්ම නොකිව් විලසට
නැවත ආදරෙයි කියා
නැවත තොඳොල් බස් දොඩන
ඔබ 
ඔබගේ ආදරය
එක් එක් වේලාවට
එක් එක් වර්ණයන්ගෙන් සැරසී
වර්ණයෙන් මත්ව රඟන
වර්ණයෙන් ලොව රවටන
කටුස්සෙකුගේ 
හැසිරීමෙන් වෙනස් නොවනවා යයි
කෙලෙසක නොපවසා සිටිම්ද..?
මම..

චතුර....

අනේ මංදා සිරිසේන - 02






අනේ මංදා සිරිසේන - 01 කියවලා නැත්නම් ගිහින් කියවලා එන්න.


මේත් මට 1 වෙනි ආයතනයෙදි හම්බ වුන මිත්‍රයන් ගෙන් කෙනෙක්. හොඳ මිත්‍රයන් රාශියක් අතර හිටපු මෙයාට එක නරක පුරුද්දක් තිබුනා, ඒ තමයි  සිංහලෙන් කියනවා නම් 1000 ටෝක්ස් දෙන එක.මෙයාගේ පුරුද්දක් තිබුනා එක එක දේවල් කියන එක. ඉතින් යාළුවන්ගෙන් ගොඩාක් දෙනෙක් කළේ වට වෙලා සමහර වෙලාවට මෙව්ව අහගෙන ඉන්න එක. අනිත් එවුන් කළේ මෙයත් එක්ක කතා කලොත් අපිට ගම රට අතැරලා කුරුඳු වත්තට එන්න වෙයි කියලා කතා කරන එක නවත්තපු එක.තවත් සමහරු කරන්න වෙන දෙයක් ඇත්තෙම නැත්තන් ඔය කතා අහන්න පුරුදු වුනා.තවත් සමහරු ඔව්වා අහන් ඉඳලා ඒ විදියට කියන්න කරන්න පුරුදු වුනා, ඒ කියන්නේ ලොකු ලොකු වැඩ තමයි තවත් සමහරු ඉතින් ඔව්ව් අහන්න ගියෙත් නෑ ඇහුනත් ඒවා ගානකට ගන්නේ නැතුව තමන්ට පුළුවන් විදියට තමන්ගේ කටයුතු කරගෙන හිටියා. 
මේ කියන යාළුවට හැදිලා තිබුණ රෝගය එසේ මෙසේ එකක් නෙවෙයි  , ඒ කියන්නේ මෙයා කියන්නේ කරන්නේ මේ වගේ දේවල්


දවසක් මම මෙයා යාළුවෝ වට කරගෙන කතා කරන තැනක ඉඳන් අහගෙන හිටියා,
මෙන්න මෙයා ඒ වෙලාවේ කතාව කියන් ගියේ මෙහෙමයි..


යහළුවා : මචං මම අහවල් ආයත්නේට මේ මේ මේක ඉගෙන ගන්න යනවනේ..
යාළුවෝ : අපි නම් ඔය කියන තැන දැකලත් නෑ බන්, එතන හෙන ගානක් ගන්නවලු නේද බං,
යහළුවා : ඔව් බන් ඒත් හොඳයි, අපේ තාත්තටයි අම්මටයි ඕවාට පේ කරන එක සිම්පල් නේ බං,මොකටද සල්ලිත් තියාගෙන භාගෙට ඉගෙන ගන්නේ , ඒකයි මමත් ඕකට යන්නේ..
යහලුවෝ : ඔව් බන් ඒකත් ඇත්ත තමයි. අපිට ඉතින් ඉරිදට සෙනසුරාදට ඔව්වට එන්න සල්ලිත් නෑ බං ,ගෙවලා ආවත් සෙනසුරාදා ඉරිදත් පැය තුන ගානේ එන්නයි යන්නයි බස් එකට වෙලාව අපරාදෙන බං, එතකොට වෙන වැඩක්කර ගන්න හැටියක් නැහැනේ. (මේ කියපු යහළුවා දුර බැහැර පෙදෙසක සිට කොළඹට ළඟා වන්නෙකි )
යහළුවා : මට නම් ඉතින් ප්‍රශ්නයක් නෑනේ බන්, වීක් ඩේස් වලට අම්මයි තාත්තයි දෙන්නම වැඩට ගියාට වීකෙන්ඩ් එකට අම්ම ගෙදරනේ බං අම්මගේ කා එක මට දෙනවා , අහවල් ආයතනයේ පාක් එකේ දා ගත්තැකි බං,
යහලුවෝ : ඇයි බන් උඹ අම්මලාට කියන්නේ නැත්තේ උඹට හැමදාම එන්න කා එකක් අරන් දෙන්න කියලා , එතකොට අපිටත් රවුමක් ගියෑකිනේ බං..?
යහළුවා : අම්මලා කැමති නෑ මචං ඒකට, අනික මෙතන පාරේ අයිනෙනේ දාන්න වෙන්නේ , ලෙක්චරර්ස්ලට පාක් එකේ ඉඩ දුන්නට ස්ටූඩන්ට්ස්ලාට පාක් එකේ වෙහිකල් දාන්න දෙන්නේ නැහැනේ 
යහළුවෝ : ඔව් නේ..



මොහුට ඉංග්‍රීසි භාෂාව හැසිරවීමට හොඳට හැකියාවක් ඇත.නමුත් ඔහු සිංහල කතා කරන්නේද ඉංග්‍රීසි උච්චාරණය දමා ගොඩ සුද්දෙක් මෙන්ය. "දිනක් තවෙකෙක් උඹට කඩ්ඩ ඔච්චර හොඳට පුළුවන් උනේ කොහොමද බං..?
උඹ කොහෙද පංති ගියේ..?"
ඔහු : "මහ ලොකු පන්ති ගියේ නෑ බං අපේ අම්මයි තාත්තයි විතරක් නෙවෙයි සීයයි ආච්චියිත් ගෙදර සිංහල කතා කරන්නේ නෑනේ.. ඒකයි"



තවත් දිනෙක ඔහු මිතුරන් සමඟ
ඔහු  : මචං අපේ අයියා එන මාසේ රට ඉඳන් එනවනේ 
යහළුවෝ : උඹට මොනවද ගේන්නේ?
ඔහු : මම නම් කිව්වෙ මොනවත් ගේන්න එපා කියලා ඒත් අයියා අම්මලාට කියලා තිබුනා ලැප් එකකුයි අළුත් කැම් එකකුයි ගේනවා කියලා
යහළුවෝ : ෂා මරුනේ 


දිනක් මම ඔහු සමඟ ව්‍යාපෘතියක වැඩ කටයුත්තක නියැලී සිටියෙමි. ඔහුට දුරකතන ඇමතුමකි
මෙසේ පිළිතුරු දෙයි..
ආ ඇඳපු ඇඳුම් ටික තියෙන්නේ අල්මාරිය උඩ..
එය නිම වූ පසු ඔහු  :
මචං මේ අම්මා ඇඳුම් ටික වොශිං මැශින් එකට දාන්න හොයනවා බං මට ඕකට ඒ ටික දාන්නවත් වෙලාවක් හම්බ වුනේ නෑ බන් මේ දවස් ටිකේ..
මම : එකනේ නේද වෙලාවක් නැහැනේ..


පසුගිය දින කිහිපයක පටන් ඔහු දේශන වලට සහභාගී නොවූ නිසාවෙන් සහ ඔහුගේ ජංගම දුරකථනයට දින කිහිපයක පටන් ඇමතුමක් ලබා ගත නොහැකි වූ නිසාවෙන් මිතුරෙකු ඔහුගේ නිවසට දුරකථන ඇමතුමක් දුන්නේය. දුරකථනයට පිළිතුරු දුන් ඔහුගේ සොහොයුරිය පවසා තිබෙන්නේ අප මිතුරාට සහ ඔහුගේ පියාට ඩෙංගු උණ සෑදීම නිසා රෝහල් ගතකර ඇති බවය. 



රෝහලට යාමට අවසර ලැබෙන්නේ දෙදෙනෙකුට පමණක් නිසා අප කිහිප දෙනෙකු ඔහුගේ නිවසට ගොස් ඔවුන්ගේ පවුලේ සාමාජිකයන්ගෙන් සුවදුක් විමසීමට තීරණය කළෙමු. දුරකථන ඇමතුමකින් අසා ගත් පරිදි අප ඔහුගේ නිවසට ළඟා වීමු. නිවෙස පිහිටා තිබුනේ මහා මාර්ගයෙන් මඳක් ඔබ්බට වන්නටය. නිවෙස අසලට ගිය මිතුරන් ගේට්ටුවෙන් ඇතුල් වීමට පෙර එක් මිතුරෙක් "කියලා තියෙන විදියට නම් ගේ මේක වෙන්න බෑ "යයිකීවේය. "කමක් නෑ අපි අහලා බලමුකෝ "කියා තවෙකෙක් කී නිසාවෙන් ගේට්ටුවෙන් ඇතුළු වූ ඔහු ගෙදර සීනුව නාද කළේය . නමුත් කිසිම ප්‍රතිචාරයක් නැත. ඉන්පසුව ගෙදර කවුද..? කියා කිහිප විටක් ඇමතූ පසු කාන්තාවක් මෙහෙන් එන්න මම වැඩක් යයි කියනු ඇසුනෙන් අපි නිවසේ පිටිපසට ගියෙමු. 


කාන්තාවක් කරාමයක් අසල රෙදි සෝදමින් සිටියාය. "ඇන්ටි මේ ____ ගේ ගෙදරද..?""ආ .. ඔව් පුතා, ඔය ගොල්ලොද ඊයේ කතා කළේ" ඇසුවාය. "ඔව් අපි තමයි ඇන්ටි කතා කළේ , දැන් __ටයි තාත්තටයි කොහොමද..?""ටිකට් කපන්න තව දවස් තුනක් වත් යයි පුතේ , මේ දවස් ටිකේම ඒ දෙන්න ළඟ හිටියේ __ගේ අයියා තමයි, වැඩට යන්නෙත් නැතුව මත් මේ උදෙඋටයි දවල්ටයි උයලා පිහලා දීල දුව අතේ තමයි කෑම බීම ඇරියෙත් පුතේ මම ගියොත් රෙදි ටිකවත් හෝදන්න කෙනෙක් නැහැනේ.. " "කරදර පිට කරදර පුතේ , __ගේ අයියත් ආපහු එන්න වුනේ වැඩ කරපු තැන වහලා දාපු හින්ඳනේ, තාම එයැයිටත් මෙහෙ වැඩ කරපු තැනට ආපහු යන්න බැරි වුනා." "කරදර ආවම ඔහොම තමයි ඇන්ටි අපිටත් තියෙන දෙයක් කියන්නකෝ ආව එකේ අපිත් මොනවහරි කරලා දෙන්නම්.." "අනේ ඔය ළමයින්ට එහෙම කියන්න පුළුවන්ද යංකෝ ගෙට .."
නිවසේ ඉදිරිපස දොර විවෘත කළ ඇය අපට නිවසට ආරධනා කළාය. "මම පුතාලට තේ ටිකක් හදන්නම්කෝ ", "කමක් නෑ ඇන්ටි එපා ", "මට කරදරයක් නෑ දරුවෝ ඉන්න මම හදලා දෙන්නම්". අප මිතුරාගේ මව නම් ඔහු මෙන් නොවේ , ඉතා කාරුණික නිහතමානී තැනැත්තියක් වූවාය.


"යකෝ මූ කිව්වට ගෙදර කාර් එකක් තියා අර ගේට්ටුවෙන් කාර් එකක් ඇතුලට ගන්නත් බෑනේ" එක් මිතුරෙක්
"ගෙදර රෙදි හෝදන්නේත් අම්මනේ "තවෙකෙක් "ඉතින් බං ඔය අපේ අම්මලත් හෝදලා දෙන්නේ ඕක අරුමයක්ද..?""නෑ බං අරූ කිව්ව එව්වා උඹට මතක නැද්ද"
"උඹ ආවේ ආදයම් මනින්නද..? , ලෙඩ්ඩු බලන්නද..?, ලෙඩ්ඩු බලන්න ආවා නම් කට වහගෙන හිටපන්.."මම හා තවෙකෙක් කීවෙන් ඔවුන් ඉන්පසු කුමක් වත් කීවේ නැත. 
අවසානයේ අපි ගෙන ගිය දෑද දී තවත් දවසක ඔවුන් නිවෙසට කැඳවාගෙන ආපසු යන අරමුණ සිතැතිව ආපසු පැමිණියෙමු. 


නමුත් ආපසු ඔහු දේශන කරා පැමිණෙන තෙක් අපට ඔහුගේ සුවදුක් විමසීමට යාමට නොහැකි විය. ඉන් පසු කිසි දිනෙක අප් මිතුරන් කිසිවෙක් ඔහුගෙන් පරණ කිසිවක් විමසීමටද ගියේ නැත. නොගියවුන් හට එය කීවේද නැත. ඉන් සෑහෙන කලක් යනතුරුම ඔහු මිතුරන් මඟ හරිමින් තමන්ගේ ලජ්ජාව වසා ගැනීමට උත්සාහ කරනු පෙනිනි. නමුත් කිසිවෙක් කිසිවක් නොකී නිසා ඔහු සාමාන්‍ය ලෙස මිතුරන් අතරට එක් විය , නමුත් කෙදිනකවත් ඔහු ඉන් පසුව පෙර දී මෙන් තමන් ගැන කීමට උත්සාහ නොදැරීය. 


තමන් ගැන අනවශ්‍ය පමණට බොරු කීමෙන් සහ අතන් ගැන අනුන්ට බොරු කීමෙන් රැවටෙන්නේ සහ අපහසුතාවයට පත්වන්නට සිදුවන්නේද තමන්ට යයි සිතා වැඩ කටයුතු කරනවා නම් මෙවන් තත්ව ඇති වන්නේ නැත. තමන්ට නැති දෙයක් තියෙනවා කීමට තරම් හීන මානසිකත්වයක් ඇති කර ගැන්ම වෙනුවට තමන්ට ඇති දේ ගැන කීමෙන් තමන්ට සැබෑ ලෙස හිතවත් මිතුරන් පිරිසක් ඔබටත් ඇති කර ගත හැකි වේවි. තමන්ට නැති දේ පවසා ඇති කර ගන්න මිතුරන් තමන්ටෑක් වන්නේ තමන්ගේ අදහස් වලට සහ තමන්ට ඇති හිතෛෂී බව නිසා නොව තමන් ඒ පැවසූ තමන්ට නැති දේ නිසාය. එවන් මිතුරන් කිසි විටෙකත් ඔබට ඒ දේ නැතැයි කියා දැනගත් විට ඔබ සමඟ රැඳෙන්නේ නැත.හොඳම දේ තමන් තමන් වීමය.
මෙය සටහන් කිරීමේ  අරමුණ ඔහුව උපහාසයට ලක් කිරීම නොව ඔහුට සිදු වුන දෙයින් තවෙකෙකුට එය සිදු වනු වලකනු පිණිස බව කරුණාවෙන් සලකන්න..


චතුර....

Wednesday, August 24, 2011

දියමන්ති මාලය....







ඔබේ දෑතින් අල්ලන් මා එක්කන් යන්නම් ආයේ
ඔබේ දෑසින් කඳුළැල් නම් ගිලිහෙන්නේ නෑ ආයේ
සුදු දියමන්ති මාලේ ඔබේ හෙලෙහි රඳවාලා
ගෙන යන්නම් ඔරුවේ මා මේ සීත රෑ යාමේ


ඔබේ දෑතින් අල්ලන් මා දිවගෙන යන්නම් ආයේ
මගේ දෑසින් කඳුළැල් නම් ගිලිහෙන්නේ නෑ ආයේ
ඒ ඔරුවේ නැඟ ඔබ හා උණුසුම් තුරුලේ හැංගීලා
සැනසුම් සුසුමන් අල්ලනම් මා මේ සීත රෑ යාමේ


මුදු මීදුමෙන් පිරි කඳු යායේ
ඔබ හා කිවූ ගී මතකයි ..මතකයි.. මට 
ඇවිදින් යනකොට ගිම්හානේ
ඔබ හා කිවු ගී මතකයි
සීත පවනැල් දසතින් හඹා එද්දී
ඔබගේ සිරුරේ දැවටිච්චී
මට සිහියට එන්නේ ඒ කාලේ
ඔබ මාහා සුරතල් වෙච්චි..


පින්තූරය මෙතනින් 


ඔබේ දෑතින් අල්ලන් මා එක්කන් යන්නම් ආයේ
ඔබේ දෑසින් කඳුළැල් නම් ගිලිහෙන්නේ නෑ ආයේ
ඒ ඔරුවේ නැඟ ඔබ හා උණුසුම් තුරුලේ හැංගීලා
සැනසුම් සුසුමන් අල්ලනම් මා මේ සීත රෑ යාමේ
ගෙන යන්නම් ඔරුවේ මා මේ සීත රෑ යාමේ

MP3 ය මෙතනින්....

සන්ජය බණ්ඩාර....



ඔබේ දෑතින් අල්ලන් මා දිවගෙන ගිය ඒ කාලේ
ඔබේ සුසුමේ දැවටුනු ඒ සෙනෙහේ විඳි කාලේ 
අමතක කරනෙමි මා මේ සීත රෑ යාමේ
දෑසට කඳුලැල් නැං වූවත් තනිකම සොඳුරුයි සැමදා මාහට..

චතුර....




Sunday, August 21, 2011

අනේ මංදා සිරිසේන - 01


පින්තූරය මෙතනින්..

මේක මගේ පුද්ගලික අත්දැකීම් කිහිපයක් එකතු කරලා ලියන්න හිතුන දෙයක්


කතාවේ මුල කොටසට ආයතන තුනක් සම්බන්ධයි නම සඳහන් කරන්න අකමැති නිසා ඒ ආයතන තුන මේ විදියට හඳුන්වන්නම්.


1. ආයතනය : මෙය රජයේ අනුමත විශ්ව විද්‍යාලයක්. දක්ෂ සිසුන් බිහි කරන ආයතනයක්.
2. ආයතනය : මෙය රජයේ විශ්ව විද්‍යාලයක් ලෙස පිළි නොගත්තත් මෙහි උපාධි පාඨමාලාව රජයේ අනුමතයි. තවත් දක්ෂ සිසුන් බිහි කරන ආයතනයක්.
3. ආයතනය : මෙය ලංකාවේ පුද්ගලික විශ්ව විද්‍යාලයක් මෙයද විවිධ ආකාරයේ දක්ෂ සිසුන් බිහි කරන ආයතනයකි..


පළවෙනි කතාව :  මම දවසක් එක් ආයතනයක විශින් ශිෂ්‍යයන් සඳහා වූ වැඩමුළුවකට සහභාගී වීමට ගියෙමි. ඔන්න ඉතින් මේ වැඩමුළුවටත් විවිධ ආයතන වල සේවය කරන අය විවිධ විශ්ව විද්‍යාල වල ශිෂ්‍යයන් පෙර කී ආයතන තුනේ ශිෂ්‍යයන් පැමිණ තිබිනි.මමත් වාඩි වූ තැන අසල සිටියේ 1 ආයතනයෙන් පැමිණි ශිෂ්‍යයෙකි .මම වාඩි වී ටිකක් වෙලා යන විට ඔහු
ඔහු: මචං උඹ මොකේද බං..?
මම  3 වෙනි ආයතනේ ඉගෙන ගන්නේ බං. (3 වෙනි ආයතනය ගැන කීවද  මම 1 වෙනි හා 2 වෙනි ආයතනයන්හිද ශිෂ්‍යයෙක්මි.. )
ඔහු : මචං ඕකේ ඩිග්‍රිය පිළි ගන්නවද බං..?
මම : මම දන්නේ නෑ බං (වෙන මොනවා කියන්නද ?)
ඔහු : නෑ මචන් මෙහෙමනේ අර මේ අයතනය මේ මේ ආයතන (නාමාවලියක්ම කීවේය ) වැඩක් නැහැනේ අර ආණ්ඩුවේ අහවල් ආයතනයේ ලැයිස්තුවේ නැහැනේ( ඔය ආයතන නාමාවලියට තුන්වන ආයතනයත් අයත් විය )
මම : ඔව් බන් ඔව් ඔව්..
ඔහු : එතකොට බං , 1 වෙනි ආයතනේ ඒ කියන්නේ මම ඉගෙන ගන්න එක ඒ ලැයිස්තුවේ තියෙනවනේ (ආඩම්බර ලීලාවෙන් ),
මම : ආ.. ඔව් ඔව් වෙන්න ඇති නේ..?
ඔහු: වෙන්න ඇති නෙවෙයි බන් එහෙම තමා, එතකොට ඔය දෙවෙනි ආයතනය තියෙනවා නේද මචන්..? , ඒක අර ආයතන ලැයිස්තුවේ නෑ, නමුත් ඒකේ පාඨමාලාව අර රජයයේ අහවල් ආයතනේ  අනුමතයිනේ බන්..
මම : හ්ම්ම්ම්ම් මම දැනගෙන හිටියේ නැහැනේ බං
ඔහු ඊට පස්සෙත් දේශනය පටන් ගන්නා තුරු මචන් මේ අරකේ , එතකොට මේකේ අර මේ..බ්ලා බ්ලා බ්ලා බ්ලා....


දේශනයට  1 හා 2 ආයතනයේ උගන්වන දේශක මහතුන් දෙදෙනෙකුද පැමිණ සිටියෝය. 1 ආයතනයේ දේශක මහතා පෙන්වා අර මිතුරා , අර අපේ සර් කෙනෙක් බං,


වැඩමුළුව අතර මඟදී ඒ දේශක මහත් මා  ළඟට පැමිණ 
ඔය ළමයා අර අහවල් ආයතනේ  අහවල් බැච් එකේ නේද..?
මම: ඔව් සර්
දැක්කහම කතා කරන්නවත් එන්න එපා උගන්නපු සර් කෙනෙක් කියලා..
මම නෑ සර් මම යන්න ලෑස්ති වෙලා සර්ට කතා කරන්න හිටියේ..
හා හා ඒකට කමක් නෑ දැන් ඔය ළමයා මොනවද කරන්නේ..?
සර් මම මේ බ්ලා බ්ලා බ්ලා (විස්තරය )
හොඳයි හොඳයි..
 2 ආයතනයේ දේශකතුමාද මා අසලට "පැමිණ ආ චතුර දැන් කීවෙනි අවුරුද්දද..? "
මම: සර් දැන් මේ  බ්ලා බ්ලා බ්ලා විස්තරය..
ඉන්පසුව මා මිත්‍රයා එක්වරක්වත් මාදෙස හැරී බැලුවේ නැත, යනතුරු කතා කළේද නැත. නමුත් ඉතින් ඔහු කෙරේ තරහවක් නොවූ හෙයින් ආපසු එන්නට සූදානම් වී මචන් අපි එහෙනම් වාෂ්ප වුනා , තවත් මේවගේ එකකදි හම්බ වෙන්නේ නැතෑ නේද..?
මා දෙස අපහසුවෙන් බැලූ ඔහු අපහසුවෙන් "ඔව් මචන් හම්බ වෙයිනේ" කියා යන්නට ගියේය .


අනේ මංදා සිරිසේන මේවා අහලා පණ යනවලු කියා මට සිතුනි... අවශ්‍ය දේත් අනවශ්‍ය දේත් හෙලා දකින්නට යනවාට හොඳ පාඩම්ය, විවිධ ආයතන ගණනාවකම මිතුරන් ඇති නිසා මම මේ දෙයද කියමි. එක් ආයතනයක් වත් ලේබලයකට ලක් කළ නොහැක. අඩු වැඩි වශයෙන් එක් එක් ආයතන වලින් දක්ෂ සිසුන් බිහිවේ. මම දන්නා එක් පෞද්ගලික ආයතනයක ශිෂ්‍යයෙකු මෘදුකාංග නිර්මාණය වෙනුවෙන් රාජ්‍ය සම්මාන පවා ලැබුවේය. තවත් අයෙක් තම පළමු වෘත්තියටම වෙනත් අයෙක් තරමක අත්දැකීම් සඳහා ගන්න වැටුපක් ලැබුවේය. රාජ්‍ය ආයතන වලද දක්ෂ සිසුන් ඇත. එය අමුතුවෙන් කිව යුතු නොවේ, නමුත් දක්ෂතාවන්ට රාජ්‍යද පෞද්ගලිකද කියා නොව බලපාන්නේ තමන්ගේ පුද්ගලික කැපවීම හා උනන්දුවය. කැපවීමෙන් උගත් තැනැත්තා සාර්ථක අනාගතයක් ඇති සාර්ථක පුද්ගලයෙක් වන්නේය.


හීනමානයෙන් වන්නේ තමන්ටම අවැඩකි. ඒ මදිවාට අනවශ්‍ය සතුරන් ඇති කරලීමටද එය උදවු වේ.. මේ වගේ අයට කියන්න තියෙන්නේ ඉතින් අනේ මංදා සිරිසේන කියාය..


මේ දින වල වේලාව හිඟය ,වෙලාවෙන් කොටසක් යන්තම් වැය කර මෙය කොටා ගතිමි, කතාවේ හොඳම හරිය අනේ මංදා සිරිසේන -02 හවසට පළ කරමි ..


මතු සම්බන්ධයි..

චතුර....