Showing posts with label පැරණි මතකයන්... Show all posts
Showing posts with label පැරණි මතකයන්... Show all posts

Sunday, August 14, 2011

සරම....




මේක චතුර දහම් පාසල් ගිහින් වෙච්චි දෙයක්

එතකොට චතුර එක ශ්‍රේණියට ඇතුලත් කළා විතරයි. අම්මයි ලොකු අම්මයි දෙන්නම ඉන්න හින්දා චතුරට දහම් පාසලේ වසරක් ඉහළ පන්තියට තමයි ඇතුලත් වෙන්න ලැබුනෙත් දහම් පාසලට භාර දුන්නට චතුරට අම්මා සරමක් මහලා දුන්නේ නෑ, ඒ දවස් වල ටිකක් අම්මට වැඩ වැඩි වෙච්චි නිසාත් ගෙදර ඒ දවස් වල පොඩි වැඩ වගයක් කරපු නිසත් වෙන්න ඇති. මේ කියන දවස් වල චතුරගේ තාත්තා උසස්වීමකට මොකක් හරි විභාගයකට සහභාගී වෙන්න පන්ති වගයකට සහභාගී වුනා ඒ නිසා සති අන්තයටත් තාත්තා ගෙදර හිටියේ නෑ.තාත්තා ගෙදර හිටියේ නැති නිසාත් ගෙදර වැඩ වගයක් තිබුණ නිසාත් අම්මත් ඒ දවස් ටිකේ දහම් පාසලට ගියේ නෑ.

ඉතින් එදත් චතුර දහම් පාසල් ගියා. ඔය කාලේ දහම්පාසලේ විනය ඇඳුම් ගැන එහෙම භාරව තිබුනේ ලොකුඅම්මාට තමයි. ඔන්න ඉතින් සරමක් ඇඳගෙන ගියේ නැති නිසා ලොකු අම්මත් කිව්වා ඊළඟ දවසේ නම් කොහොම හරි අම්මාට කියලා සරමක් මහගෙන ඇඳන් එන්න කියලා.දැන් ඉතින් චතුර ගෙදර ඇවිල්ල අම්මට කිව්ව එන සතියේ නම් කොහොම හරි සරමක් මහලා දෙන්න ඕනේ කියලා, ඉතින් අම්මත් කිව්ව එන සතියේකොහොම හරි මහලා දෙන්නම් කියලා. ඒත් ඉතින් දන්නවනේ ඔය කාලේට මොකක් හරි හම්බ වෙනවා කිව්වම තියෙන නොඉවසිල්ල , ඔන්න ඉතින් හවස තාත්තා ආවමත් කීප පාරක්ම කිව්වා "තාත්තේ ලොකු අම්මා කිව්ව සරමක් මහගෙන ඇඳන් එන්න කියලා". ඉතින් දවසම මහන්සි වෙලානේ තාත්තත් ඇවිත් හිටියේ ඔය කන්දොස්කිරියාවෙන් බේරෙන්න හිනා වෙලා එහෙම තාත්තා මෙහෙම කිව්වා"එහෙම එක සතියෙන් සරමක් මහගෙන යන්න රෙදි ගන්නේ කොහොමද..?  කියන්න ලොකු අම්මට ,සරමක් මහගන්න ලොකු අම්මගේ සාරියෙන් කෑල්ලක් කපලා දෙන්න කියලා ඊළඟ දවසේ .."

ඔන්න ඊළඟ දවසෙත් චතුර දහම් පාසල් ගියා ඒත් අම්මට වැඩ වැඩි නිසා සරමක් මහලා දෙන්න හම්බ වුනේ නෑ. යන්න ලෑස්ති වෙලා අම්මා කිව්වා ඔන්න ඔහේ අදට විතරක් ඕක ඇදන් යන්න කියලා. ඔන්න ඉතින් චතුරත් ඕක ඇදන් දහම් පාසල් ගියා. එදා ලොකු අම්මා සරමක් මහලා ඇඳන් ආවේ නැත්තේ ඇයි කියලා ඇහුවේ රැස්වීම උදේ රැස්වීම මැද්දේ. ඔන්න ඉතින් චතුරත් පැනපු ගමන් කිව්වේ එකපාරටම මතක වෙච්චි තාත්තා කිව්ව කතාව."ලොක්කම්මේ තාත්තා කිව්ව එක පාරටම සරම් මහන්න රෙදි ගන්න බෑ , සරමක් මහ ගන්න ලොකු අම්මගේ සාරියෙන් කෑල්ලක් කපලා ඉල්ලගෙන එන්නය කියලා", ඕක අහපු ලොකු අම්මගේ මූණ රතු වුනා, අනික් ළමයිනුත් හිනා වුනා. උදේ රැස්වීමට පන්සිල් දෙන්න වැඩලා හිටපු පන්සලේ පොඩි හාමුදුරුවන්ටත් හිනා. ලොකු අම්මා ඉතින් චතුරට මොනවත් කිව්වේ නෑ, එදත් ඉතින් චතුර දහම් පාසල් ඇරිලා ගෙදර ගියා..

ඔන්න හවස ලොකු අම්මා එනවා ගෙදර, ඇවිත් අම්මාට කිව්වා විස්තරය. අම්මත් ඉතින් මොනවත් කියන්නේ නැතුව අහගෙන  හිටියා. ඊට පස්සේ ලොකු අම්ම ගියාට පස්සේ තාත්තා එක්ක කියනවා අන්න ඔයා කියපු එක පුතා අකුරක් අඩු කරන්නේ නැතුවම ගිහින් කියලා. තාත්තටත් ඉතින් වැඩේට හිනා..

එදායින් පස්සේ චතුරගේ තාත්තා චතුරට මොකක් හරි කියනවා නම් දහපාරක් විතර හිතුවලු.

චතුර....

Friday, August 12, 2011

පෑනේ මිතුරෝ....




මේක කළේ නිවාඩු කාලෙක ගෙදර ඉන්න ගමන්. නිවාඩු කාළේට අයියත්  ගෙදර ඉන්න නිසා ඉතින් තුන් දෙනාම එක්ක මොනව හරි මගෝඩිස් වැඩක් තමයි ඉතින් කළොත්. 

ඒ දවස් වල තිබුණ ලොකුම උණ තමයි පෑනේ මිතුරන්ව ඇති කර ගන්න එක. ලෙඩේ ගෙදරට ගෙනාවේ අක්කා තමයි එයාගේ ඉස්කෝලේ යාලුවෙකුට වෙනත් රටක ඉන්න පෑනේ මිතුරෙක් ස්ටිකර් වගයක් එවලා කියන එකත් එක්ක. ඔන්න ඉතින් තුන් දෙනාම එක්ක ඒ දවස් වල ඔක්කෝම පත්තර වල තියෙන පෑනේ මිතුරු සමාජ හොයන්න පටන් ගත්තා. 

කොහොම හරි පත්තර කිහිපයක තිබුණ දැන්වීම වලට පිළිතුරු යවලා හොයා ගන්න හම්බවුනා මිතුරු සමාජවලට බැඳෙන ක්‍රම . ඒ අතරේ තව ඉරිදා ටයිම්ස් පත්තරේ තිබ්බ මිරර් මැගසින් එකේ ඒකේ ඒ කාලේ ළමා අතිරේකයක් තිබුණේ නෑ මට මතක විදියට  ළමයින්ට වෙනම පිටුවක් විතරයි, ඔය අතිරේකේ පළවෙනවා පෑනේ මිතුරුමිතුරියන්  ඇති කර ගන්න ඕනේ පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ ලිපින ,ඔය ලිපින වලට ලියලයි කොහොම හරි කිහිප දෙනෙක්ව අඳුන ගත්තා.

 නුවර පැත්තේ තිබුණ එක පෑනේ මිතුරු සමාජයක සඟරාවකින් විදේශීය මිතුරු මිතුරියන් කිහිප දෙනෙකුට යවපු ලියුම් වලටත් ප්‍රතිචාර ලැබුනා ඒ වගේම ඒ සඟරාවට අපේ තොරතුරු යවලා ඒකෙනුත් ලිපි කිහිපයක් ආවා. 

ඔන්න ඉතින් ඔය අතරේ තවත් ලංකාවේමිතුරු මිතුරියන් ඇති කර ගන්න සඟරවකට ඉල්ලුම් කරන්න ආවා. ඒ සඟරාවේ තිබුණා මෙහෙම කොන්දේසියක් , මිතුරු ජාලයේ සාමාජිකත්වය ගන්න බලාපොරොත්තු වෙන අය වයස අවුරුදු දහ අටට වැඩි අය වෙන්න ඕනේ කියලා. ඉතින් තුන් දෙනාම කල්පනා කළත් (ඒකාලේ මම කල්පනා කළා වුනාට මගේ තීරණ සතපහකටවත් ගණන් ගත්තේ නෑ ඔය දෙන්නා )තුන්දෙනාගෙන් එක්කෙනෙකුටවත් බැරි නිසා අක්කා මෙහෙම තීරණයක් ගත්තා ,අයියගේ නම දාලා වයස විදියට අවුරුදු විසිපහ දාලා අදාල පෝරමයට ඒ වයසට හරියන උපන් දිනයත් දාලා පුරවලා අරින්න. ඔන්න  ඉතින් එහෙමෙ කළා.

යැව්වට පස්සේ ඔය ජාලයෙන් ලියුමක් ආවා අපගේ මිත්‍රත්ව ජාලයේ  සඟරාවේ ඊලඟ කලාපයේ  ඔබගේ නම පළ කරනවයි කියලා.ඉතින් නිවාඩුවත් ඉවර වුනා. ඔන්න මාස කීපයකට පස්සේ ලියුමක් ආවා. අයියගේ නමට. ඉතින් එදා ගෙදර හිටිය නිසා ලියුම ගත්තේ ගිහින් අක්කා, ඔන්න ඉතින් ලියුම කඩලා බැලුවම තමයි කරපු වැඩේ බරපතල කම තේරුනේ.

ලියුමේ තිබ්බේ මෙහෙම.

දයාබර  ____අයියා (අයියගේ නම ) වෙත

(අසවල් )සඟරාවේ මේ මස කළාපයෙන් ඔබගේ නම හා ලිපිනය දැන ගතිමි. ඔබට මෙය කරදරයක් යැයි නොසිතන්න.බ්ලා බ්ලා බ්ලා බ්ලා (ඇය සේවය කරන ආයතනය , ලිපිනය , එන්න පාර  ඔය වගේ දේවල් ) තුන් මසක අසාර්ථක විවාහයකින් වෙන්ව සිටින මා යහපත් ගුණවත් උසස් රැකියාවක් කරන (රණවිරු සොහොයුරන් විශේෂයි ) නිහතමානී අවංක සොහොයුරෙකු හඳුනා ගැනීමට කැමැත්තෙන් සිටිමි.(මට මතක නෑ තව මේකේ ගොඩක් විස්තර තිබුනා ). අන්තිමට තිබුනා ලියුමට ප්‍රතිචාර දැක්වුවොත් හම්බ වෙන්න එන්න වුනත් කැමතියි කියලා.
 කොහොම හරි පස්සේ දැනුම තේරුම තියෙන කාලේ වෙනකොට තේරුනා ඕක මිතුරු හවුලක් නෙවෙයි සහකාරයන් සහකාරියන් සොයන අයට තියෙන හවුලක් කියලා. 

ඔන්න ඉතින් අක්කා චතුරටත් ඇහෙන්න ලියුම කියවද්දී අම්මා ආවා, ඇවිත් කවුද දුවේ ලියුම එවලා තියෙන්නේ කියලා ලියුම අරන් බැලුවා. ඔන්න අක්කගේ මූණ නිකන් ඇඹුල් වෙලා ගියා. චතුරයා ඉතින් එතකොට එකවසරේ හරි දෙක වසරේ හරි තමයි. 

ඔන්න ඉතින් අම්මා"කවුද ඔය සඟරාවට නම ඇරියේ ?"
(අක්කා බිම බලාගෙන ඇඹරෙනවා.) 
චතුර පැනපු සැණින් :"අයියාට ආපු ලියුමට අයියගේ නම දාලා අක්කා ලිව්වා "

එදා දවසම ඉතින් බැනුම් තමයි. ඔක්කෝම ඒ දෙන්නට ඉතින් ඒත් ඒ කාලේ හිටපු විදියට ඉතින් ඒ දෙන්නාට බනිනවා කියන්නේ ඉතින් මට බනිනවාට වැඩිය දුකයි.  ඔන්න ඉතින් හවස තාත්තා ආවමත් කිව්වා, තාත්තා නම් එච්චර ගණන් ගත්තේ නෑ ඒත් අම්මගේ තීරණය විදියට මිතුරු සමාජයේ සාමාජිකත්වය අහෝසි කරනත් නම පළ නොකරන්නත් කියලා නැවතත් ලියුමක් ලියලා අරින්න සිද්ධ වුනා. 

ඊට පස්සේ ලියුමක් ලියනවා නම් අම්මට පෙන්නන්නත් අම්මට කියලා මිසක් ලියුම තැපැල් කරන්න බෑ කියලත් ලියුමක් ආවොත් කඩන්න කලින් අම්මා අතට පත් කරන්න ඕනේ කියලා අළුත් නීතියකුත් ආවා. පස්සේ කාලේක ලියුම් ලියන්න පටන් ගත්තු අක්කටයි අයියටයි වඩා වැඩි ලියුම් ප්‍රමානයකුත් මුද්දර සිය ගණනින් එවන යාළුවෝ පිරිසකුත් චතුරට හම්බ වුනා. 

පව් අර බලාපොරොත්තුවෙන් ලියුම් එවපු සහෝදරී, මොකක් වෙතත් එයා මිතුරෙක් වෙනුවට සහකාරයෙක් හොයා ගන්නනේ හැදුවේ.

චතුර....

Sunday, July 31, 2011

කැරපොත්තා..


චතුරට නුවරින් පාසල මාරු කරන්න  වුනාට පස්සේ මාසයක් විතර ඉන්න සිද්ධ වුනේ චතුරගේ ලොකු අම්මලගේ ගෙදර. ඉතින් ඔය මාසයම වගේ එහේ ඉඳන් තමයි ඉස්කෝලේ ගියේ.ලොකු අම්මලාගේ ගෙදර තියෙන්නේ අකරවිට. ඒකියන ගම තියෙන්නේ අවිස්සාවේල්ලට කළින් හම්බවෙන කොස්ගමට කිට්ටුවෙන් තමයි.ඉතින් චතුර ඒ දවස් වල පොඩි එකා හින්ඳා කවුරු හරි ඔක්කෝම වගේ වැඩ ටික කරලා දෙනවා,ඇඳුම් ටික මැදලා දෙන එක කළේ ඒ අක්කා හරි ලොකු අම්මා හරි තමයි. චතුර ඊට පස්සේ අවුරුදු ගානක්  ඉස්කෝලේ ගිය ස්කූල් වෑන් හම්බවුනේ මෙහේ ඉන්න ගිහින් තමයි. ඒ වෑන් එකේ ඇන්ටිලගේ ගෙදර තිබ්බෙත් ඔය කිට්ටුව නිසාවෙන්. ස්කූල් වෑන් එක ගැන කියවලා නැත්නම් මෙතනින් ගිහින් කියවලා එන්නකෝ.


ඔය පැත්තෙන් වෑන් එක පිටත් වෙන්නේ සාමාන්‍යයෙන් උදේ පහට පහයි දහයට විතර. ඒ ඒකාලේ අනික් ඉස්කෝල අටට පටන් ගත්තට චතුරලාගේ ඉස්කෝලේ හතයි තිහට පටන් ගත්ත නිසාත් ඔය වැන් එකේ රියදුරන්ට සහ අන්කල්ට වැඩිය වේගයෙන් රථය ගෙන යන්න බැරි නිසාවෙන්, තව ඉතින් කොළඹ තියෙන මාර්ග තදබදයය නිසාවෙන්.ඔය වෙලාවට  ඔය වෑන් එකට කට්ටිය නඟින්නේ පුදුම නිදිමතකින්, ඇයි ඉතින් වෙන ළමයි සැප නින්දේ ඉන්න වෙලාවටනේ අපි ඉස්කෝලේ ගියේ. සමහරු නම් ලෑස්ති වෙලා පුටුවකට හරි වෙලා පොඩි නින්දක් දාලා ඉඳලා තමයි  හෝන් එකේ සද්දේට ඇහැරිලා වෑන් එකට නගින්නේ, සමහර පොඩි ඈයෝ ලෑස්ති කරලා හිටපු ගමන්ම නින්ද යන නිසා සමහර අම්මලා තාත්තාලා වඩාගෙන ගෙනත් වෑන් එකෙන් තියන්නේ.  ඔහොම යන අය සමහර වෙලාවට ඇහැරෙන්නේ ඉස්කෝල ළඟට ගියහම එහෙමත් නැත්නම් සාමාන්‍ය විදියටනම් හයයි තිහ පහුවෙලා ඉර එළිය වැටිලා වෑන් එක මාර්ග තදබදයකට අහුවෙලා ඉන්නකොට.


ඔන්න මේ කියන දවසෙත් ඇඳුම් එහෙම මැදලා කමරේ තියලා තිබ්බා, ඉතින් චතුරයත් ඇඳගෙන උදෙන්ම කාලා එහෙම (මම කෑවේ ගෙදරදි වෑන් එකේදි කන්න ගියොත් මට කන්න ගෙනියන දේකින් පොඩ්ඩක්වත් හම්බ වෙන්නේ නෑ)උදේම ඔන්න වෑන් එකට නැගලා ආයිත් නින්දට යන්න ලෑස්තිය. එදා වෑන් එක අරන් ආවේ අන්කල්. ටික දුරක් යද්දී මට දැනුනා මගේ කමිසේ ඇතුලෙන් බැනියමට උඩින් සතෙක් යන විත්තිය. ඔන්න ඉතින් චතුරයගේ ඉවසිල්ල කොච්චරද කියනව නම් ඒ වෙලාවේ මැරෙන්න කෑ ගහන්න හිතුනත් පොඩි ඇදේකටත් හිනාවෙන අක්කලා ටිකක් හිටපු හින්ඳා අමාරුවෙන් වුනත් කටවහගෙන හිටියා, සතා එහෙට මෙහෙට යනවට කමිසේ උඩින් සතාව තද කර ගෙන දැන් හෙමින් හෙමින් අත බුරුල් කරලා කමිසෙන් එළියට ගන්න ලෑස්ති වුනා, කොහොමින් කොහොම හරි අනිත් අතින් බොත්තම් දෙකක් විතර ඇරලා එළියට දාන්න හදනකොටම අතබුරුල් වෙච්චි නිසාම ද කොහෙද හිටපු සතා එළියට පැන්න, පනිනකොට පහුවෙච්චි ලයිට් කණුවක එළියෙන් තමයි  තමයි දැක්කේ නිකන් කටු කටු වගේ බැනියමට උදින් දැනුනට ඉඳලා තියෙන්නේ කැරපොත්තෙක් කියලා, හම්මේ චතුරයට දැනුන නිදහස නිකන් නිවන් ගියා හා සමානයි( තාම නිවන්වත් පත්තු කරගෙනවත් ගිහින් නෑ අහන්න එපා නිවන් ගියාද කියලා). 

ඔය ටික ඉතින් කාට වත් පෙනුනේ නෑ මොකද ඒ වෙලාවට කරුවලයි සහ කට්ටියම සැප නින්දෙනේ. අනික චතුර තමයි ඒ කාලේ අන්තිමට නගින එක්කෙනාට කලින් වෑන් එකට නගින්නේ, මේක වුනෙත් ඒ අන්තිමට නගින අක්කා නැගල පිටිපස්සට ගියාට පස්සේ. ඔන්න ඉතින් චතුරයත් මුකුත් නොවුනා වාගේ බොත්තනුත් දාගෙන ආයිත් නිදියන්න ලෑස්ති වුනා, කොටින්ම කිව්වොත් චතුරයා ළඟින්ම ඉඳගෙන වෑන් එකේ ගිය කල්පයටවත් වැඩේ මීටර් නෑ.චතුරයා සැනසුනේ වෙනමොනවත් හින්දා නෙවෙයි චතුරලාගේ සීට් එකට පස්සේ සීට් දෙකක තිබ්බ යස්සනියන්ගේ පාරාදීසයේ(ඒකාලේ කිව්වෙ ඔය නම , නමට හේතුව හිටිය අක්කලා සහ නංගිලාගේ හපන්කම් තමයි )  කිසිමකෙනෙකුට ඕක නොදැනුන එක නිසාවෙන්.නැත්නම් ඉතින් චතුරයට පොළොව හාරගෙන තමයි යන්න වෙන්නේ.

කැරපොත්තා ආයේ ආවොත් හොඳ පාරක් දෙන්න පොතකුත් අරගෙන චතුරයා ආයිත් නින්දට යන්න ලෑස්ති වුනා, ඔන්න වෑන් එක තව ටික දුරක් යනකොට පිටිපස්සෙන් මර ලතෝනියක් ඇහෙනවා "බුදු අම්මෝ මෙන්න මොකෙක්ද මගේ ඇගේ යනවෝ "කියලා, තව මිනිත්තුවක් විතර යද්දී මර ලතෝනිය දෙගුණ තෙගුණ වුනා , ඒකට තවත් ඒ පේළියේම හිටපු අක්කෙකුයි නංගියෙකුයිත් හවුල් වුනා. ඔන්න අඩ නින්දේ වාගේ හිටපු වෑන් එකේ ඇන්ටි විතරක් නෙවි නිදාගෙන හිටපු මුළු වෑන් එකම ඇහැරුනා. ඇන්ටි ඉක්මනට නැඟිටලා "ආනන්ද ආනන්ද පොඩ්ඩක් නවත්තන්න කියලා " ලයිට් එහෙම දාල තව තිබ්බ ටෝර්ච් එකකුත් අරගෙන(උදෙන් යන නිසා වෙන් ගෙදර ඉඳන් පාර අයිනට එන්න වෑන් එකේ සමහර ළමයි ගාව ටෝචුත් තිබුනා ඒ කාලේ ) සෝදිසි මෙහෙයුම දියත් කළා, අන්තිමට වෑන් එකේ පිටිපස්සේ පේළි ඔක්කෝගෙම අක්කලා නංගිලාගේ ඇගේ සැපට ඇවිදපු කැරපොත්තාව අන්කල් වෑන් එකෙන් එළියට විසි කළා.
ඔය අතරේ නැඟිට ගත්තු කල්පයා මේ කැරපොත්තා කරපු දේටපින් දෙනවා මොකද පොඩ්ඩ ඇත්තන් ඒකාලේ යස්සනියන්ගේ පාරාදීසේ අක්කලා කරන කියන දේවල් මතක් වෙලා.

පස්සේ උපකල්පනය කරපු විදියට කලින් දවසේ අයන් කරලා රැක් එකේ එල්ලලා තිබුණ කමිසෙට අඳිද්දී දැක්කේ නැති වුනාට කැරපොත්තා නැඟලා ඉන්න ඇතියි කියන එක. ඊට පස්සේ නම් සේප්පුවක දාලා තියලා ගත්තත් චතුර ඇඳුමක් අඳිද්දී සියපාරක්වත් සෝදිසි කරලා ගසලා බලලා මිසක් නම් ඇන්ඳේ නෑලු.

Picture source : http://www.srilankamirror.com/english/index.php?option=com_content&view=category&layout=blog&id=1&Itemid=18&limitstart=2900 Accessed on 31st July 2011 5.05 [Online]

චතුර....

Sunday, March 27, 2011

නාරං භාවනාව..



ඊයේ පෙරේදා දවසක කැන්ඩිගේ අම්ම කියපු කතාවක් අහන් ඉන්නකොට තමයි මට මේක මතක් වුනේ.

ඒ කාලේ කැන්ඩියි අක්කයි මාර බුදු ෆිට් එක කියල කිව්වොත් තමයි වැඩිය හොඳ.මීට අවුරුදු පහලවකට විතර කලින් දහම් පාසල් යනකොට කරපු වැඩනම් ඉතින් කියලා නිම කරන්න බැ. මේකත් ඒ කතා වලින් එකක්.

ඔන්න ඉතින් ඒ කාලේ දහම් පාසලේ සිල්ගන්න දවසට කොච්චර කට් පාර දාලා ගෙදර ඉන්න හ්දුවත් කැන්ඩිගේ අම්මයි තවත් ලොකු අම්මෙකුයි දහම් පාසලේ ආචාර්ය මණ්ඩලයේ හිටපු නිසා සිල් නොගෙන ඉන්නම අපිට බැරි වුනා කිව්වොත් තමයි කතාව නිවැරදි. මොකද ඒකාලේ අපිට සිල් ගන්නවා කියන්නේ ටිකක් අමාරු වැඩක් මොකද සිල් ගත්තොත් ඉන්න වෙන්නේ අපේ අම්ම ළඟ හරි නැත්නම් අර කලින් කියපු රාස්සියක් වගේ අපේ ලොකු අම්මා ළඟ. ඔය කියපු ලොකු අම්මට ඒ කාලේ දහම් පාසලේ හිටපු ළමයි විතරක් නෙවෙයි අද ඉන්න ළමයිනුත් කියන්නේ රාස්සි ටීචර් කියලා ළඟදී ඉරිදා දවසක් අම්මව එක්කන් එන්න දහම් පාසල ළඟට ගියපු කැන්ඩිට ඇහුනලු.

ඔන්න ඉතින් මේ කිව්ව දවසේත් කැන්ඩියි අක්කයිකොච්චර කට් එක දාන හැදුවත් සිල් ගන්නම වෙන අතට වැඩ සිද්ධ වුන නිසා කැන්ඩියි අක්කයි ඉතින් හිතින් බැන බැන සිල් ගන්න ගියාලු. කොහොමින් කොහොමින් හරි දවල් වෙනකන් ශේප් එකේ අම්මවයි ලොකු අම්මවයි තියන් ඉඳලා දවල් දානේ වෙලාවෙන් පස්සේ තමයි කැන්ඩිටයි අක්කටයි සෙට් එක එක්ක එකතු වෙන්න ලැබුනේ. ඒ කාලේ හිටිය කැන්ඩිගේ අක්කගේ පන්තියෙ ළමයි සහ තව ඉහළ පන්තිවල අයියල සහ අක්කල දෙතුන් දෙනෙකුයි කැන්ඩිගෙ අක්කගේ පන්තියේ සෙට් එකයි ඔය කැන්ඩිගේ අක්කගේ පන්තියේ හිටපු අක්කලා රෑනගේ තවත් මල්ලිලා නංගිලා කිහිප දෙනෙකුයි තමයි සෙට් එක. ඔක්කොම දහයක් විතර ඇති.

කොහොම හරි අර අක්කලා රෑනගෙන් ටිකක් කට්ටිය වෙනම කට්ටියක්ලු. දවල් ඉතින් ඉන්න ගමන් අනිත් අයත් එක්ක මොනවද කරන්නේ කියලා කතා කර කර ඉන්නකොට මෙතන හිටියොත් නම් මොනවත් කරන්න හම්බ වෙන්නේ නැති නිසා උඩ මළුවට යමු කියලා යෝජනාවක් කොහෙන්ද ආවලු. කට්ටියම එක පයින් ඕකට කැමති වුනාලු. ඔක්කොම එක පාර යන්න ඇහුවොත් කාටවත් යන්න බැරිවෙන නිසා වෙන වෙනම කට්ටිය අහලා අනිත් ගුරුවරුන්ගෙන් අහල දෙන්න තුන්දෙනා වගේ කාණ්ඩ උඩ මළුවට භාවනා කරන්න කියලා ගියාලු.උඩමළුවේ තමයි විහරය තියෙන්නෙත්.

ඔහොම ඉඳලා ඉඳලා කැන්ඩියි අක්කයිත් අම්මගෙන් අවසර අරගෙන ධර්ම ශාලාවේ ඉඳලා උඩ මළුවට භාවනා කරන්න ගියාලු.කැන්ඩියි අක්කයි යනකොය අර කළින් ගිය අක්කලා රෑන සහ තව අයියල දෙන්නෙක් උඩ මලුව පිටිපස්සෙන් පහළට බැහැලා පන්සල් වත්ත පිටිපස්සේ තියෙන කොස්ගස් ළඟට ගිහින්ලු වරකා ගෙඩියක් හොයන්න.

අනිත් අය වරකා ලැබෙන කන් බකන්නිලා භාවනාවලු. ඔන්න කැන්ඩිගේ අක්කත් ගිහින් ටිකක් වටපිට බලබල ඉන්න කොට තමයි මතක්වුනේ උඩමළුවේ පිටිපස්සේ පැත්තක තියෙන නාරංගහ.හැබැයි මේක ධර්මශාලාව පැත්තට පේන්නේ නැති වුනත් මේ ගහ ආවාසගේ පැත්තට පේනවලු. ඔන්න ඉතින් ටිකක් විපරම් කරලා ඔත්තුකාරයෙක් ආවාසගෙට යැව්වලු කැන්ඩිගේ අක්කා. ඔත්තු කරුවාට දැනගන්න හම්බ වුන විදියට ලොකුහාමුදුරුවෝ සහ පොඩිහාමුදුරුවෝ මොකකට හරි අල්ලපු ගමේ පන්සලට වැඩම කරලලු.

ඔය කියන ගහේ හැමදාම වගෙ නාරං තිබුනත් කවදාවත් ඔය ගහ පැත්තකටවත් යන්න ලොකු හාමුදුරුවන්ගෙන් නම් අවසර ලැබුනේ නැහැලු.ඒ වගේම ඕක ටිකක් පරණ විශාල ගෙඩිතියෙන ටිකක් ලොකු නාරං ගහක්ලු.ටිකක් ලොකු නෙවේ කැන්ඩි දැකලා තියෙන නාරං ගස් වලින් විශාලම නාරං ගහ ඕක තමයි.

ඔන්න ඉතින් ඉතිරිවෙලා හිටපු කට්ටියගෙන් ලොකුම එක්කෙන කැන්ඩිගේඅක්කා සහ අනිත් අය අර අක්කල අයියලාගේ නංගිලා මල්ලිලා .කැන්ඩිටත් වැඩිය වයසින් අඩුයිලු. දැන් හිටපු අයගෙන් ගහට නැගලා අතුපාත් කරන වගකීම පැවරුනේ කැන්ඩිට.පොල්පිත්තක් ගහට හේත්තු කරලා අක්කා කැන්ඩිව ගහට නැග්ගුවලු.කැන්ඩි ඒකාලේ ගස් නඟින්න දන්නේ නෑ(තවමත් එහෙම තමයි .)කැන්ඩිගේ අක්කනම් ඔය වැඩවලට කියාපු දස්සිලු.ඒත් ඉතින් කැන්ඩි ගහට නැග්ගට අතුවල මැද්දට යන්නවත් බයලු.ඒක නිසා අක්ක දුන්න විධානය තමා ගහේ අතු පාත්කරන්න කියපු එක.ඒත් කැන්ඩි පාත් කරපු අතුවල වැඩිය ගෙඩි තිබ්බේ නැති නිසා කැන්ඩිගේ අක්කගෙන් වහාම නියෝගයක් ලැබුනා වහාම බිමට බටු ලෙස.ඔන්න ඉතින් කැන්ඩි බිමට බැස්ස අක්ක ගහට නැග්ග.ළමා සාරියකුත් පටලවගෙන ගස් ගියයි කියන්නේ ඉතින් හිතා ගන්න පුළුවන්නේ කට්ටියටම කෙනාගේ හැටි නේද..? ටික වෙලාවක් යනකොට වරකාත් අරගෙන කට්ටිය ආවලු.

ඒ අයටත් ගහේ ඉඳන් ගෙඩි කඩලාදෙන ගමන් කැන්ඩිගේ අක්ක ගහේ ඉඳන් නාරං කන්නත් පටන් ගත්තලු. මේ වැඩේ පටන් ගත්තේ ඉතින් බිම ඉන්න අයට ටිකක් කඩලා දීලා තමයි. ඒ බිම හිටපු තව අයියෙකුටයි අක්කෙකුටයිත් නරං හිතේ හැටියට කන්නඕනේ නිසා ඒ දෙන්නත් ගහට නැග්ගලු.

බිම ඉන්න අය දැන් වරකයි නාරනුයි දෙකම විකාල භෝජනයකරනවලු,ගහේ ඉන්න අය නාරං භෝජනය කරනවලු. ඔන්න ඔහොම ටික වෙලාවක් යනකොට ආවාසගේ පැත්තෙන් ඇහෙනවළු ළමයිනේ නාරං ගහෙන් බහින්න කියලා, බැලිනම් ලොකු හාමුදුරුවෝ පන්සලට ආපහු වැඩලා වැඩේ දැකලලු.

කට්ටියටම ඉතින් උඩ මළුවෙන් ධර්මශාලාවට යන්න වෙන කියන්න ඕනේ වුනේ නැහැලු. ඔන්න ඉතින් ලොකු හාමුඩුරුවෝ ඇවිල්ල වැඩේ බලල නඩුව අහනවලු මුළු දහම් පාසලේම ආචාර්ය මණ්ඩලයත් එක්ක. ගියපු එක්කෙනෙක්ටවත් ගැලවෙන්න හම්බ වුනේ නැහැලු ඉතින් ලොකු හාමුදුරුවෝ දැක්ක නිසාවෙන්.

ඔන්න ඉතින් ලොකු හාමුදුරුවෝ අහනවලු මොනව කියලද මේ ළමයි උඩ මළුවට ගියේ කියල..? ඉතින් භාවනා කරන්න කියල තමයි ලොකු හාමුදුරුවනේ මේළමයි ගියේ කියලා ගුරුවරුත් කිව්වලු.

ටිකක් සැර වුනාට ලොකු හාමුදුරුවොත් ටිකක් විහිළුවට බරයි. ටිකක් බැරෑරුම් විදියට බලපු ලොකු හාමුදුරුවෝ මෙහෙම කිව්වා,"මම බලන කොට මේ ළමයින්ගෙන් කට්ටියක් වරකා භාවනාව තව කට්ටියන් නාරං භාවනාව අනිත් අය නාරං වරකා භාවනාව කරනවා" ඊට පස්සේ කැන්ඩිගේ ලොකු අම්මයි අම්මයි දිහාට හැරිලා කැන්ඩිගේ අක්කයි අර අනිත් අක්කයි අයියයි පෙන්නල මෙහෙම කිව්වා" ඒ විතරක්ය ඉස්කෝලෙ නෝනල මේ දැරිවියො දෙන්නයි අර ළමයයි නාරං භාවනාව වැඩි හොඳටද කොහෙද ගහ උඩම ඉඳන් නෙව කළේ "


පලි: මේ සඳහා ලොකු හාමුදුරුවන් කාටවත් දඬුවම් කළේ නැති අතර කැන්ඩිටයි අක්කටයි විශේෂයෙන් කැන්ඩිගේ අක්කට ඉන්පසුව සිල් ගත් කිසි දිනෙක අම්මගේ ළඟින් අඟලක්වත් එහාට වීමට ඉඩ ලැබුනේ නැත.

කැන්ඩි....

Saturday, July 17, 2010

ලොකු අම්මා සහ අඹ කැඩීම...




අපේ ලොකු අම්මා ඉතින් අපේ අම්මලා වගේ නෙවෙයි අපි කියන ඕනෙම වැඩකට ඉතින් හා කියනවා මිසක් කවදාවත් බෑ කියලනම් නෑ..මගේ ලොකුඅම්මා හරිම වෙනස් චරිතයක්.
මගේ ජීවිතයේදී මට හමුවෙල තියෙන වෙනස්ම ගතිගුණ තිබෙන කාන්තාව එයා තමා.එහෙම කිව්ව කියලා බය වෙන්න එපා හොඳේ...?එයා හරිම හොඳ ලොකුඅම්මා කෙනෙක්.
ඔන්න ඉතින් ලොකුඅම්මා ගැන මම පස්සෙ එකකින් කියන්නම්කෝ...

ඉස්සර මම ටිකක් කම්මැලි චරිතයක්.අපේ අම්මාගෙන් ඇහුවොත්නම් කියයි ඉස්සර විතරක් නෙමෙයි දැනුත් එහෙමයි කියලා..හික්ස්ස්.ගහකින් ගෙඩියක් කඩන්නවත් යන්නේ නැහැ.
හැබැයි කඩලා දුන්නොත් නම් ලොරියකට වුනත් වග කියන්න නම් පුළුවන්.ඉතින් ඒක නිසා ලොකු අම්මා එනවට මම හරි කැමතියි.මොකද ඉතින් ලොකු අම්මාට කිව්වම ඕනෙම වැඩක් කරව ගත්තැකිනේ.ඉතින් ඔන්න එදත් ලොකුඅම්මා ඇවිල්ලා හිටපු දවසක් .ලොකුඅම්මා ආවම සාමාන්‍යයෙන් මාසයක් දෙකක් විතර අපේ ගෙදර ඉඳල තමයි යන්නේ.

ඔන්න ඉතින් ඒ දවස් වල ඉස්කෝලෙ නිවාඩු කාලයක්.ඒ විතරක් නෙවෙයි අඹ වාරයකුත් .
එතකොට මට වයස හයක් හතක් විතර ඇති.දෙක වසරෙද කොහෙද..මට හරියටම මතකනම් නැහැ.හැබැයි ඊට වැඩිනම් නැහැ.ඔන්න ඉතින් දවල් කෑම කාලා ඉවර වෙලා එහෙම මම ලොකුඅම්මාට යෝජනාව දැම්මා..යෝජනාව තමයි අඹ කැඩීම.අනේ යෝජනාව දාන පරක්කුවට සම්මතයි.
ඔන්න ඉතින් මට මාරම මාර හැපි.ගිහින් අම්මාට පොඩි ගණන් පාරකුත් දැම්මා.
මොකද ඉතින් අම්මාට ඔය යෝජනාව දැම්මානම් ඒක දාන පමාවට අහෝසියිනේ..ඊට පස්සේ ඉතින් අඹ කෑමත් ඉවරයි..ඔන්න ඉතින් අඹ කඩන්න ගියා.මුලින්ම ගියේ ගේට්ටුව ගාව තියෙන අඹ ගහ ගාවට..මොකද ඒකෙ තමයි ඒ වෙනකොට අඹ පැහිලා තිබුනේ.අනික් ගස් වල ඒ තරම් අඹ පැහිලා තිබුනේ නැහැ.අපේ ගේට්ටුව ගාව ඉඳන් මීටර් පහක් විතර වම්පැත්තට යනකොට තමයි මේ අඹ ගහ තියෙන්නේ.අඹ ගහට තවත් මීටර් තුනක් හතරක් විතර එහායින් තවත් පාරක් තියෙනවා.
ඉතින් මේ අඹ ගහේ අතු ගොඩාක් තියෙන්නේ අර අනිත් පැත්තෙන් යන පාරට බර වෙලා තමයි.

ඔන්න ඉතින් ලොකුඅම්මා කෙක්කෙන් අඹ කඩනවා මම අහුලනවා.ගොඩාක්ම ගෙඩි තිබුනේ අර පාරට බර වෙලා තිබුණ අතු වල තමයි.ඉතින් ලොකුඅම්මා කොහොම හරි ඒ ගෙඩි ටිකත් කැඩුවා..
ඉතින් ඔය අතරෙ මම වත්ත ඇතුලට වැටුන ගෙඩි ටික ඇහිඳිනවා.ඔය අතරේ ලොකුඅම්මා කිව්වා වත්ත ඇතුලේ ටික ඇහිඳලා ඉවර වෙලා අර පාරට වැටුන ටිකත් ඇහිඳින්න කියලා...
ඉතින් ඔන්න ලොකුඅම්මා තවගෙඩි අතුරුවෙලාතියෙනේ කොහෙද කියල බලනවා මම ඒ අතරේ අඹ අහුලනවා..

ඒ වෙලාවේ අරපාරට මෝටර්බයිසිකලයක් හැරෙව්වා...ඒකේ වයස විසිපහක් තිහක් විතර අයියලා දෙන්නෙක් හිටියේ..ඉතින් ඔය දෙන්න අර පාරට වැටුන අඹ ටික දැක්කා.
ඉතින් අර ඉස්සරහ හිටි කෙනා අනිත් කෙනාට කියනවා මචං අන්න නියම අඹ ගොඩක් තියෙනවා අපි යනකොට අහුලගෙන යමු කියලා.ඒ පාර තියෙන්නේ ටිකක් අපේ වත්ත තියෙන මට්ටමට පාතින් ඒක නිසා අර දෙන්න මමවත් ලොකුඅම්මාවත් එතන ඉන්නවා දැක්කේ නැහැ.ඔන්න ඕක ලොකුඅම්මාටත් ඇහුනා..

ලොකුඅම්මා ඉක්මනට කිව්වා වැට අයිනට යන්නේ නැතුව මෙහායින් තියෙන ඒව විතරක් අහුලන්න.
අර ගිය දෙන්නා ගිහින් තියෙන්නේ මොනවා හරි ගිහින් දෙන්න ළඟ ගෙදරකට..
මෙන්න විනාඩි පහක්වත් ගියේ නැහැ බයිසිකලය ආපහු එනවා...ඔන්න දැන් අඹ දැක්කා විතරයි මේ දෙන්නා බැහැලා වටපිටවත් බලන්නේ නතුව අහුලගෙන අහුලගෙන ගියා...මේක බලාගෙන හිටපු මටයි ලොකුඅම්මටයි මාර හිනා..ඉතින් ලොකුඅම්මා මට අතින් කිව්වා සද්ද කරන්නේ නැතුව ඉන්න කියලා.

ඉතින් අර දෙන්නා අඹ ටික අතේ තිබුන මොකක් හරි උරයකට දාගත්ත ..
ඉතින් ඔන්න දැන් දෙන්න තවත් පාරෙ අඹ ඉතුරුවෙලා තියෙනවද කියලා බලනවා.
ඔය අතරෙ ලොකු අම්මාත් අර මම එකතු කරපු අඹ ගොඩෙන් තවත් අඹ ගෙඩි ගොඩක් අරගෙන වැට අයිනට ගිහින් අර දෙන්නාට දික්කරලා කිව්වාආ පුතේ මේ ටිකත් ගන්න කියලා.
අනේ අරුන් දෙන්නට පොළොව හාරගෙන යන්න හිතෙන්න ඇති.
මට ඉතින් ඕක දැකලා තව සතියක් විතර හිනා...

ඉතින් අරුන්දෙන්නා ඔන්න දන් ගොත ගගහා කියනවා න් න් නැ නෑ ඇන්ටී මේ අපි දෙන්න දැක්කේ නැහැ ඇන්ටිලගෙ කියලා මේ අඹ කියලා දැන් කියනවා..කියලා මෙන්න අරුන් දෙන්නා අර අඹ මල්ල අපේ ලොකු අම්මාට ආපහු දෙන්න හදනවා....ඉතින් අපේ ලොකුඅම්මාත් නෑ නෑ පුතේ ඒකට කමක් නැහැ කියල වදෙන් පොරෙන් තවත් අඹ ටිකක් දෙන්න හදනවා.පස්සේ ඉතින් ලොකුඅම්මා කිව්වා අපිට තව අඹගස් තියෙනවා ඒවායෙත් ගෙඩි හැදිලා තියෙනවා ඔය ටික පුතාලා අරන් යන්න කියලා.
කොහොමින් කොහොමින් හරි ලොකුඅම්මා වදෙන් පොරෙන් අරදෙන්නාට තව අඹ ටිකක් දීල පිටත් කළා..

අනේ ඉතින් ඒ දෙන්නාට උන වැඩේ පව් වුනාට උන්දෙන්නා යද්දී ලොකුඅම්මාට ස්තූති කරලා එහෙම තමයි ගියේ.....අරුන් දෙන්නා ගියාට පස්සේ ඉතින් ලොකුඅම්මටත් මාර හිනා ..
අපේ අම්මාටත් ඕක ඇවිල්ල කිව්වම මාර හිනා...ඉතින් ඊට පස්සෙ අඹයක් දැක්කත් ඇති කට්ටියට අවුරුද්දක් විතර හිනා වෙන්න.

කැන්ඩි..

ඔන්න ඉතින් මම මගේ පළමුවෙනි රස කතාව දැම්මා..
කියවලා Comment එකක් දාලා යන අමතක කරන්න එපා.
ඔබේ අදහස් මට ශක්තියක් මට ආශිර්වාදයක්...