Wednesday, August 3, 2011

සිරිමතී....


"අම්මේ මගේ කකුල් රිදෙනවා "පුංචි සහන් නගන මැසිවිල්ල නිසාවෙන් සිරිමතී දරුවාට කිසිත් නොකියා දරුවාව වඩා ගෙන උරෙහි තිබූ බෑඅගයද අනෙක් උරයට දමාගෙන බස් නවතුම කරා එන්නට පිටත් වූවාය.පෙරපාසල් වියේ යන දරුවෙක් වූවත් උසුලන දුක් කන්දරාව නිසාදෝ ඇයට දරුවාගේ බරක් නොදැනුනි. මහත්තයා "මහත්තයා මීගොඩට යන බස් නවත්තන්නේ කොහෙද?"ඇය තමන් මෙන් බොරැල්ල දෙසට ගමන් කරමින් සිටි තලතුනා පෙනුමැති මහත්මයෙකුගෙන් විමසා සිටියාය."ඔහොම යන්න , ගියාම උමං මාර්ගය හම්බ වෙයි ඇතුලෙන් වම් පැත්තට හැරෙන්න  කොටා පාර කියන බෝඩ් එක බලන්න" කරුණාවන්ත බැල්මක් හෙලූ එම පුද්ගලයා නැවත හැරී ගමන් කරන්නට විය. එතුමාට පින්සිද්ධ වෙන්න ඕනේ. අද දවසට මට එකම එක වචනෙකින්වත් කරුණාවෙන් කතා කලේ ඒ මහත්තයා,සිරිමතී ගේ සිත කියයි..

සැමියා හැරගොස් සිටින සිරිමතී තම පාසල් යන දියණියත් පස් හැවිරිදි පුතුත් රැක බලා ගත්තේ වත්තක කිරි කැපීමෙන්ය. දියණිය පාසල් ගොස් එනතුරා සිය කුඩා පුතු අසල පෙරපාසලෙන් පැමිණි පසු ඔහුත් සමඟ කිරිමිදවීමේ කාර්‍යයට සවස දෙක පමණ වනතෙක් හවුල් වන ඇය සවස් වරුව වතු හිමියාගේ නිවසේ වැඩ පලට උදව් වන්නීය.සහන්ට හදිසියේම සහලවල උණ ගත් නිසාවෙන් අසල්වැසි කාන්ති කියා සිටියේ "නංගියේ මොන උණක්ද දන්නේ නෑනේ අනේ ඉක්මනට ළමා රෝහලට අරන් පලයන්"  කියාය. උදේ රැයින්ම අවදිව සිය කිරිකට්ටියේ වැඩ නිමකළ ඇය සිය දියණියද පාසලට ඇරලවා වතු හිමි වික්ටර් මහත්මාගේ නිවසට ගියේ ඇයට සවස වඩට ඒමට නොහැකි වේ යයි පැවසීමටය. වික්ටර් මහතා නම්  දරු දෙදෙනා කෙරේ අනුකම්පා කරන නිසාවෙන් ඇයට කුමක් වත් කියනු නැතැයි ඇය සිතුවාය. ඇය යනවිට වික්ටර් මහතා නිවසේ සිටියේ නැත. සිටියේ වික්ටර් මහතාගේ නෝනාය. "නෝනා මේ පොඩි එකාට සනීප නෑ මම මේ  නෝනා වාට්ටුවටවත් ගෙනිහින් බලන්න කියලා" ඇය සිය කාරණාව නෝනා ඉදිරියේ දිග හැරියාය. "අනේ මංද උඹලට පිච්චිය නැති උනාට  යන්න ඕනේ කොළඹ රටේ " නෝනා ගත් කටටම එසේ කීවාය, එමලින් දැන් වයසක එකී , ඒකි කෝමද මේ වැඩ ටික තනියම කර ගන්නේ..? නෝනා තවත් ගෝරනාඩුවය. "අනේ නෝනො එහෙම කියන්න එපා , මට ඉන්නේ ඉතින් මුන් දෙන්න විතරනේ, කාන්ති අක්කා කිරි ටික අකුලලා  ගෙනත් දෙයි " කඳුළු පිරුණ දෙනෙතින් බැගෑපත්ව කීවාය. "මම දන්නේ නෑ ඉක්මනට වරෙන් හවස් වෙන්න කලින් " ඇය නෝනාගේ ස්වරය තවත් ටිකකින් "උඹ යන්න ඕනේ නෑ"කීමට කලියෙන් ඉක්මන් ගමනින් පිටත් වූවාය.

"දඩාස්" කොහෙ බලාගෙනද ගෑනියේ යන්නේ..? තව ටිකෙන් මගේ අම්බ්‍රෙල්ල එකත් කැඩෙනවා.." ලස්සන නෝනා කෙනෙකු රලු වචන වලින් නැවතත් ඇයට දමා ගැසුවාය. අනේ නෝනා මට සමා වෙන්න මම වෙන කල්පනාවක ආවේ නැවතත් ඇය උරුම බැගෑපත් ස්වරයෙන් කීවාය සිරිමතීගේ ඉහේ සිට දෙපතුලටම කෝපාවිෂ්ඨ බැල්මක් හෙළු ඇය මොහොතකදු තම ගමන පමා නොවීමට ඉඩ නොදී  යන්නට ගියාය. බස් නැවතුමට එන තෙක්ද ඇයට සිහි වූයේ රෝහලේදීත් "තමන්ගේ දරුවා මෙහෙමද බලා ගන්නේ , තමන්ගේ දරුවා මීට වඩා පරිස්සමෙන් බලාගත්තොත් හොඳයි කියා දොස්තර මහත්වරුන්ද ඇයට දොස් නැගූ ආකාරයයි".

"අසරණ මම වෙන මොනවා කරන්නද දෙයියනේ..?" නැවතත් ඇය සුසුමක් හෙලමින් බසයක්  ඒදැයි බැලුවාය.. බසයකට මඟ බලමින් උන්නද නැවත කල්පනා ලෝකයේ සිටි ඇයගේ සිතුවිලි දැහැන  බිඳුනේ  අසල නැවතුනු බසයේ කොන්දොස්තරගේ හඬිනි. රාජගිරිය , බත්තරමුල්ල මාලඹේ අතුරුගිරිය මීගොඩ මීගොඩ  මීගොඩ ..බසයට නැඟුන ඇය හෙමින් හෙමින් බසයේ ඉදිරියට ගියාය, සමහරු දරුවාත් කර පින්නාගෙන සිටින ඇය දුටු විට ඉවත බලා ගත්තෝය, සමහරු  නිඳි කිරා වැටුනෝය, සමහරු මේ මොන මල කරදරයක්ද කියා මෙන් ඔරවා බැලුවෝය, කමක් නෑ මට මේ දුර ආවනම් දරුවත් අරන් හිටගෙන යන්න බැරි කමක් නෑ ඇගේ සිත ඇයටම කියයි. "ඔය දරුවත් එක්ක ඉන්න අක්කට කවුරු හරි සීට් එකක් දෙන්න" , කොන්දොස්තර බසයේ පිටුපස සිට මොර දුන්නත් සිරිමතීට අසුනක් පිරි නමන්නට කෙනෙක් ඉදිරිපත් වූයේ නැත. අවසානයේ බසයේ ඉදිරිපස අසුනකට වන්නට හිඳගෙන සිටි තරුණ මහතෙක් කාරුණික සිනහවක් පාමින් ඇයට අසුන පිරි නැමුවේය.

ටිකට්ස් ටිකට්ස් නැවතත් කොන්දොස්තර හඬ තලයි. බසය ටික දුරක් ගිය පසු නින්ඳේ හුන් සහන් අවදි විය, "අම්මේ මට ඕක් වගේ" වේදනා බර මුහුණින් දරුවා කීවේය , දෙයියනේ මම සිලි උරයක්වත් දාගෙන ආවේ නෑනේ, ඇය නැවතත් සැක හර දැන ගැනීමට සිය මල්ලට අතදා බැලුවාය,එකදු සිලි උරයක් නැත. අසුනේ අනෙක් පස හිඳසිටියේ තරුණ ගැහැනු ළමයෙකි. ඇයට සිරිමතී පිළිබඳ වගක්වත් නැත , කනේ ඉයර් ෆෝනයක් ගසා ගෙන කවුළුවෙන් ඉවතබලා  සිටි ඇය තමා දෙස හැරී බැලූ එකම වතාව වූයේ නින්දේ සිටි සහන්ගේ පය ඇයගේ ඇඟේ වැදුන අවස්ථාවයි. "නෝනා දරුවට වමනේ යන්න එනවලු, මට පොඩ්ඩක් වීදුරුව අයින දෙනවද නෝනා ළමයට වමනේ කරවන්න", දෙවරක්ම මෙසේ පැවසූ නමුත් යුවතිය වැරදීමකින්වත් සිරිමතී දෙස නොබැලුවාය, ඇය තවමත් සංගීතයට හෝ රේඩියෝවට කන් දෙමින් කවුළුවෙන් ඉවත බලා සිටියි. සිරිමතී දෙස බලා සිටි පිටිපස අසුනේ විශ්‍රාම ව සිටින ගුරුමෑණියක් යයි සිතිය හැකි වයසක කාන්තාව තරුණ ගැහැණු ළමයාගේ උරහිසට අත තැබුවාය. එසැණින් පියවි ලොවට පැමිණි තරුණ යුවතිය ඒදෙස හැරී බැලුවාය , එසැනින් සිරිමතී, "නෝනා පොඩ්ඩක් මට වීදුරුව අයින දෙනවද දරුවට වමනේ යන්න වගේ".. යයි නැවතත් කීවාය. අහංකාර පෙනුමකින් සිටි තරුණිය මුහුණට සිනාවක් නංවාගෙන "එන්න එන්න මට ඔයා කතා කරනවා ඇහුනේ නෑනේ" කියා සිනහ මුසු මුහුණින් අසුනේ තම ස්ථානයට සිරිමතීට ඒමට අයගේ මල්ලද ඔසවාගෙන සිරිමතීට උදවු කළාය. සිරිමතියගේ මුවඟටද අහිංසක සිනහවක් නැඟුනි. අසුනේ තැන් මාරු කළද සහන්ට වමනය ගියේ නැත. මීගොඩින් බසයෙන්බැස ගත් සිරිමතී සිය කුඩා නිවස්නය කරා අලස ගමනින් පියමන් කළේ  වික්ටර්මහතාගේ නෝනාගෙන් හවස් වරුවට හවසට අසන්නට වන දෝස් මුරයෙන් ගැලවෙන්නේ කෙසේදැයි සිතමින්ය....

Picture source : http://snarkernackle.blogspot.com/2006_03_01_archive.html Accessed on 03rd July 16.00 [Online]

චතුර....

Reactions:

8 comments:

හොඳ කතාවක් සහෝ! ලස්සනට ලියලා තියෙනවා!!!

සංවේදි කතාවක්..යාලු..දරුවොන්ට ලෙඩක් උනාම සල්ලි තියෙනවද නැද්ද කියන එක බලපාන් නෑ..කන කර හරි උගසේ තියලා දෙමව්පියෝ..දාරුවෝ රැක ගන්නවා..

ජීවිතෙ ගැට ගහන්න දුක් විදින ගැහැනියකගේ..හැගීම් මනාවට උලුප්පලා පෙන්නලා තියෙනවා යාලු..

@ blog gadol

ස්තූතියි අගය කිරීමට මේ පැත්තේ ආවට තුති

@ අසනි

ඔව් සමහර දෙමව්පියෝ කරන කැප කිරීම් කියන්නත් බැරි තරම්.
අගය කිරීමට මෙන්ම මේ පැත්තේ ආවටත් තුති යාලු..

සිරා කතාව මචං..සිරාවටම ලියලා තියෙනවා..
දෙමව්පියන් කරන කැපකිරීම මිල කරන්න බැහැ කාටවත්

@ ChammA

ස්තූතියි අගය කිරීමට
ඔව් දෙමව්පියන් කරන කැප කිරීම මිල කරන්න බෑ
වෙනදා වගේ මේ පැත්තේ ආවට තුති..

ලස්සන කතාවක්

අම්මෝ බස් වල යනකොට වමනේ යන ගතිය නම් මෑතක් වෙනකනුත් තිබ්බා. දැන් නම් දෙයියනේ කියලා එහෙම නෑ.

@ බට්ටි
ස්තූතියි, මේ පැත්තේ ආවටත් ස්තූතියි

@ මධුරංග

ආ ඒක තමා එහෙනම් අර රුපියල් පහගානේ මුන්නැහැ කටවල් වල ඔබන්න යන්නේ. :P
මේ පැත්තේ ආවට තුති..

Post a Comment