Sunday, July 31, 2011

කැරපොත්තා..


චතුරට නුවරින් පාසල මාරු කරන්න  වුනාට පස්සේ මාසයක් විතර ඉන්න සිද්ධ වුනේ චතුරගේ ලොකු අම්මලගේ ගෙදර. ඉතින් ඔය මාසයම වගේ එහේ ඉඳන් තමයි ඉස්කෝලේ ගියේ.ලොකු අම්මලාගේ ගෙදර තියෙන්නේ අකරවිට. ඒකියන ගම තියෙන්නේ අවිස්සාවේල්ලට කළින් හම්බවෙන කොස්ගමට කිට්ටුවෙන් තමයි.ඉතින් චතුර ඒ දවස් වල පොඩි එකා හින්ඳා කවුරු හරි ඔක්කෝම වගේ වැඩ ටික කරලා දෙනවා,ඇඳුම් ටික මැදලා දෙන එක කළේ ඒ අක්කා හරි ලොකු අම්මා හරි තමයි. චතුර ඊට පස්සේ අවුරුදු ගානක්  ඉස්කෝලේ ගිය ස්කූල් වෑන් හම්බවුනේ මෙහේ ඉන්න ගිහින් තමයි. ඒ වෑන් එකේ ඇන්ටිලගේ ගෙදර තිබ්බෙත් ඔය කිට්ටුව නිසාවෙන්. ස්කූල් වෑන් එක ගැන කියවලා නැත්නම් මෙතනින් ගිහින් කියවලා එන්නකෝ.


ඔය පැත්තෙන් වෑන් එක පිටත් වෙන්නේ සාමාන්‍යයෙන් උදේ පහට පහයි දහයට විතර. ඒ ඒකාලේ අනික් ඉස්කෝල අටට පටන් ගත්තට චතුරලාගේ ඉස්කෝලේ හතයි තිහට පටන් ගත්ත නිසාත් ඔය වැන් එකේ රියදුරන්ට සහ අන්කල්ට වැඩිය වේගයෙන් රථය ගෙන යන්න බැරි නිසාවෙන්, තව ඉතින් කොළඹ තියෙන මාර්ග තදබදයය නිසාවෙන්.ඔය වෙලාවට  ඔය වෑන් එකට කට්ටිය නඟින්නේ පුදුම නිදිමතකින්, ඇයි ඉතින් වෙන ළමයි සැප නින්දේ ඉන්න වෙලාවටනේ අපි ඉස්කෝලේ ගියේ. සමහරු නම් ලෑස්ති වෙලා පුටුවකට හරි වෙලා පොඩි නින්දක් දාලා ඉඳලා තමයි  හෝන් එකේ සද්දේට ඇහැරිලා වෑන් එකට නගින්නේ, සමහර පොඩි ඈයෝ ලෑස්ති කරලා හිටපු ගමන්ම නින්ද යන නිසා සමහර අම්මලා තාත්තාලා වඩාගෙන ගෙනත් වෑන් එකෙන් තියන්නේ.  ඔහොම යන අය සමහර වෙලාවට ඇහැරෙන්නේ ඉස්කෝල ළඟට ගියහම එහෙමත් නැත්නම් සාමාන්‍ය විදියටනම් හයයි තිහ පහුවෙලා ඉර එළිය වැටිලා වෑන් එක මාර්ග තදබදයකට අහුවෙලා ඉන්නකොට.


ඔන්න මේ කියන දවසෙත් ඇඳුම් එහෙම මැදලා කමරේ තියලා තිබ්බා, ඉතින් චතුරයත් ඇඳගෙන උදෙන්ම කාලා එහෙම (මම කෑවේ ගෙදරදි වෑන් එකේදි කන්න ගියොත් මට කන්න ගෙනියන දේකින් පොඩ්ඩක්වත් හම්බ වෙන්නේ නෑ)උදේම ඔන්න වෑන් එකට නැගලා ආයිත් නින්දට යන්න ලෑස්තිය. එදා වෑන් එක අරන් ආවේ අන්කල්. ටික දුරක් යද්දී මට දැනුනා මගේ කමිසේ ඇතුලෙන් බැනියමට උඩින් සතෙක් යන විත්තිය. ඔන්න ඉතින් චතුරයගේ ඉවසිල්ල කොච්චරද කියනව නම් ඒ වෙලාවේ මැරෙන්න කෑ ගහන්න හිතුනත් පොඩි ඇදේකටත් හිනාවෙන අක්කලා ටිකක් හිටපු හින්ඳා අමාරුවෙන් වුනත් කටවහගෙන හිටියා, සතා එහෙට මෙහෙට යනවට කමිසේ උඩින් සතාව තද කර ගෙන දැන් හෙමින් හෙමින් අත බුරුල් කරලා කමිසෙන් එළියට ගන්න ලෑස්ති වුනා, කොහොමින් කොහොම හරි අනිත් අතින් බොත්තම් දෙකක් විතර ඇරලා එළියට දාන්න හදනකොටම අතබුරුල් වෙච්චි නිසාම ද කොහෙද හිටපු සතා එළියට පැන්න, පනිනකොට පහුවෙච්චි ලයිට් කණුවක එළියෙන් තමයි  තමයි දැක්කේ නිකන් කටු කටු වගේ බැනියමට උදින් දැනුනට ඉඳලා තියෙන්නේ කැරපොත්තෙක් කියලා, හම්මේ චතුරයට දැනුන නිදහස නිකන් නිවන් ගියා හා සමානයි( තාම නිවන්වත් පත්තු කරගෙනවත් ගිහින් නෑ අහන්න එපා නිවන් ගියාද කියලා). 

ඔය ටික ඉතින් කාට වත් පෙනුනේ නෑ මොකද ඒ වෙලාවට කරුවලයි සහ කට්ටියම සැප නින්දෙනේ. අනික චතුර තමයි ඒ කාලේ අන්තිමට නගින එක්කෙනාට කලින් වෑන් එකට නගින්නේ, මේක වුනෙත් ඒ අන්තිමට නගින අක්කා නැගල පිටිපස්සට ගියාට පස්සේ. ඔන්න ඉතින් චතුරයත් මුකුත් නොවුනා වාගේ බොත්තනුත් දාගෙන ආයිත් නිදියන්න ලෑස්ති වුනා, කොටින්ම කිව්වොත් චතුරයා ළඟින්ම ඉඳගෙන වෑන් එකේ ගිය කල්පයටවත් වැඩේ මීටර් නෑ.චතුරයා සැනසුනේ වෙනමොනවත් හින්දා නෙවෙයි චතුරලාගේ සීට් එකට පස්සේ සීට් දෙකක තිබ්බ යස්සනියන්ගේ පාරාදීසයේ(ඒකාලේ කිව්වෙ ඔය නම , නමට හේතුව හිටිය අක්කලා සහ නංගිලාගේ හපන්කම් තමයි )  කිසිමකෙනෙකුට ඕක නොදැනුන එක නිසාවෙන්.නැත්නම් ඉතින් චතුරයට පොළොව හාරගෙන තමයි යන්න වෙන්නේ.

කැරපොත්තා ආයේ ආවොත් හොඳ පාරක් දෙන්න පොතකුත් අරගෙන චතුරයා ආයිත් නින්දට යන්න ලෑස්ති වුනා, ඔන්න වෑන් එක තව ටික දුරක් යනකොට පිටිපස්සෙන් මර ලතෝනියක් ඇහෙනවා "බුදු අම්මෝ මෙන්න මොකෙක්ද මගේ ඇගේ යනවෝ "කියලා, තව මිනිත්තුවක් විතර යද්දී මර ලතෝනිය දෙගුණ තෙගුණ වුනා , ඒකට තවත් ඒ පේළියේම හිටපු අක්කෙකුයි නංගියෙකුයිත් හවුල් වුනා. ඔන්න අඩ නින්දේ වාගේ හිටපු වෑන් එකේ ඇන්ටි විතරක් නෙවි නිදාගෙන හිටපු මුළු වෑන් එකම ඇහැරුනා. ඇන්ටි ඉක්මනට නැඟිටලා "ආනන්ද ආනන්ද පොඩ්ඩක් නවත්තන්න කියලා " ලයිට් එහෙම දාල තව තිබ්බ ටෝර්ච් එකකුත් අරගෙන(උදෙන් යන නිසා වෙන් ගෙදර ඉඳන් පාර අයිනට එන්න වෑන් එකේ සමහර ළමයි ගාව ටෝචුත් තිබුනා ඒ කාලේ ) සෝදිසි මෙහෙයුම දියත් කළා, අන්තිමට වෑන් එකේ පිටිපස්සේ පේළි ඔක්කෝගෙම අක්කලා නංගිලාගේ ඇගේ සැපට ඇවිදපු කැරපොත්තාව අන්කල් වෑන් එකෙන් එළියට විසි කළා.
ඔය අතරේ නැඟිට ගත්තු කල්පයා මේ කැරපොත්තා කරපු දේටපින් දෙනවා මොකද පොඩ්ඩ ඇත්තන් ඒකාලේ යස්සනියන්ගේ පාරාදීසේ අක්කලා කරන කියන දේවල් මතක් වෙලා.

පස්සේ උපකල්පනය කරපු විදියට කලින් දවසේ අයන් කරලා රැක් එකේ එල්ලලා තිබුණ කමිසෙට අඳිද්දී දැක්කේ නැති වුනාට කැරපොත්තා නැඟලා ඉන්න ඇතියි කියන එක. ඊට පස්සේ නම් සේප්පුවක දාලා තියලා ගත්තත් චතුර ඇඳුමක් අඳිද්දී සියපාරක්වත් සෝදිසි කරලා ගසලා බලලා මිසක් නම් ඇන්ඳේ නෑලු.

Picture source : http://www.srilankamirror.com/english/index.php?option=com_content&view=category&layout=blog&id=1&Itemid=18&limitstart=2900 Accessed on 31st July 2011 5.05 [Online]

චතුර....

Thursday, July 28, 2011

යකුන් අප සිතනා තරම් කළු නැත..


බලා සිටියෙමි
හමුවනතුරු සැඩ වාග් ප්‍රහාරයක්
නොසැලි සිටියෙමි
සිතට එඩි ගෙන
විපත දැන් දැන් එයි කියා
නමුදු කිසිවක් සිදු වූයේ නැත
සිංහ සෙයියාව
රඟ දුන්නාට
යකා හට කළ හැකි
වැඩක් නොම නැත
හීන් සැරයට යකා බයව ඇති සැටියකි,
කළ හැකිව තිබු
එකම දෙය වන උමතු සුනඛ රැඟුමද
සැනින් නිම විය.
යකුන් අප සිතනා තරම් කළු නැත..

Picture source : http://maximuminsanity.blogspot.com/2007_06_01_archive.html Accessed on 28th July 2011 20.00 [Online]

චතුර....

පරවේණි උරුමය....


අඩු නැතිව
වැඩි නැතිව
මටත් ලැබුනා
පරවේණි උරුමය
උරුමයද කරුමයද
නොවිසඳිය හැක එය
පලක් ඇති මුත්
පලක් නැති ලෙස මටම එය එපා වන තරමටම
පරවේණි උරුමයට
ඇත යොමුව ගිජු ලිහිණි ඇස්
ඔබ නැති නිසාවෙන්
සිටින ගිජු ඒ තන්හාපතින්..
පලවා හැරුමට එක් සරින්
නැවත නොම හෙලනා ලෙස ඒ බැලුම්
පියාණෙනි නැවත එනු මැන
සවිය වනු මැන
හිඳිනු ලෙස මා පසුපසින් ..

Picture source : http://trip2orissa.com/orissa-paintings.html Accessed on 28th July 2011 07.00 [Online]

චතුර....

Wednesday, July 27, 2011

බාලගිරි සහ මම....



උදේ 7 ට - ඊයෙත් පටන් ගන්න බැරි වුනා අදවත් පටන් ගන්න ඕනේ..
උදේ 8 ට - කාලා පත්තරෙත් බලලම පටන් ගන්නවා..
උදේ 9 ට - සින්ඩිය පැත්තත් බලල තවත් ටිකක් කියවලම පටන් ගන්නවා..
උදේ 10.30 ට - හොඳ ෆිල්ම ටිකක් හම්බ වුනා මේක ඩවුන්ලෝඩ් වෙන්න දාලා අළුතෙන් දාල තියෙන බ්ලොග් පෝස්ට් ටිකත් කියවලම පටන් ගන්න ඕනේ..
11.30 ට - ඔන්න ඔහේ ගෙදර ඉන්න තියෙන දවස් ටිකනේ මේ මූවි එකත් බලලම පටන් ගන්න්නවා...
දවල් 2 ට - ඔන්න ඔහේ කාලාම පටන් ගන්නවා..
2.30 ට - අළුතෙන් පෝස්ට් එකක් ලියන්න ඕනේ..
2.45 ට - මේක පස්සේ ඉවර කරනවා, දැන් අර නවකතාව භාගයක් වත් කියවලා ඉවර කරන්න ඕනේ....
හවස 4 ට - පුතේ ගෙදර ඉන්න දවසනේ මම  පිහදලා දෙන්න ලස්කාව නාවන්න..
හවස 4. 30 ට - පුතේ මට පන්සල් යන්න තියෙනවා මල් ටිකක් කඩලා දෙන්න..
4.45 - ඔන්න ඔහේ අර පෝස්ට් එකේ ඉතුරු ටිකත් ලියලා ඉවර කරන්න ඕනේ..
5 ට - මූණු පොත පැත්තේ ගිහින් චැටක් දාලම පටන් ගන්නවා..
6. 30 ට - පොඩ්ඩෝ මෙන්න මේක කරලා දෙන්න මට යාළුවෙක් හම්බ වෙන්න යන්න තියෙනවා , ඕක හෙට දෙන්න ඕනේ..
8 ට - පුතේ මෙන්න ඔයාට දිලීපගෙන් කෝල් එකක්..
8.45 ට - ඔන්න ඔහේ නාට්‍යයත් බලලම පටන් ගන්නවා..
9.30 ට - ස්කයිපියෙන් " මචාන් චතුර මෙන්න මේක වැඩ කරන්නේ නෑ  පොඩ්ඩක් බලපන් ", චාලි
10.30 ට - Gtalk එකෙන් ශශික " මචන් මේල් වගයක් එව්වා පොඩ්ඩක් බලපන් "
11 ට - පොඩ්ඩෝ වැඩේ ඉවරද ..? "න් නෑ මේ තව පොඩ්ඩක් තියෙනවා දැන් ඉවර කරලා දෙන්නම් "
 රෑ 11.30 ට - ස්කයිපියෙන් චාලි ," මචාන් මේක මම වෙනස් කළා දැන් මේ පාට් එක වැඩ නෑනේ.. පොඩ්ඩක් බලපන්.."
12.30 ට - අරයගෙන් කෝල් එකක් " ඔයා මේ දවස් ටිකේ ගෙදරනේ ඉන්නේ මගේ මේ ප්‍රොජෙක්ට් එකට පොඩ්ඩක් උදවු කරනවද..? "
 පාන්දර 1.30 ට - මේසේ උඩ  "ග ර් ර් , කු රූ ස් ස් , ග ර් ර්"
 පාන්දර 2 ට - අම්මා,"කොච්චර කිව්වත් අහන්නේ නෑ රෑ තිස්සේ ඇහැරගෙන මේක ඉස්සරහම තමයි නිදියන්නේ , මම මේන් එක ඕෆ් කරන්න කලින් ඕක නිවලා ඇඳට ගිහින් නිදිය ගන්න"
පාන්දර 2.01 ට - ඇඳටගිහින් ලැපෙන් කරන්න පටන් ගන්නවා..
පාන්දර 2.02 ට- ලැප ඔන් කරයි
පාන්දර 2.30 ට  ඇඳ මත නින්දෙන් , " කෝ අර පරණ ඩොක් එක "
පාන්දර 3.01 ට - නින්දෙන් ඇහැරී," ඔන්න ඔහේ හෙටම පටන් ගන්නවා..", 'ලැප නිවා දමයි'
බාලගිරි අද නොවෙයි හෙට ....


චතුර....

Tuesday, July 26, 2011

අපේ ප්‍රධානියා..




අපි වැඩක් කරන්න වැඩිපුර වෙලාව ගත්තොත්
ප්‍රධානියා කියන්නේඅපි හෙමින් වැඩ කියලා
ප්‍රධානියා වැඩක් කරන්න වැඩිපුර වෙලාව ගත්තොත් ඒකට කියන්නේ 
සර්ව සම්පූර්ණ කටයුත්තක් ඔහු සාර්ථක නිම කරන්නෙක්
අපිට වෙලාවට වැඩක් ඉවර කරන්න බැරි වුනොත් 
අපිට කියන්නේ අපි කම්මැලියෝ කියලා
ප්‍රධානියාට වෙලාවට වැඩක් ඉවර කරන්න බැරි වුනොත් 
ඒකට කියන්නේ එයා කාර්‍යබහුලයි කියලා..
අපි හොඳට වැඩක් නිම කළොත් 
ඒක ප්‍රධානියාට මතක නෑ
අපි අතින් වැරැද්දක් වුනොත් 
ප්‍රධානියාට කවදාවත් ඒක අමතක වෙන්නේ නෑ
ඔක්කොම ප්‍රධානියෝ එක වගේද..?
ඒත් මෙහෙමත් හිතුවොත්
ප්‍රධානියා කියන්නේ හැම වෙලාවෙම සේවකයන් උනන්දු කරවන කෙනෙක්
ඔහු අතිකාල සේවයට වැඩිපුර වේතනයක් ගෙවන කෙනෙක්
සේවකයෙක් අසනීප වුනොත් ඔහු රෝහලටම ගිහින්  
සේවකයන් මුණ ගැහෙන කෙනෙක්
සේවකයෙක් අතින් වරදක් වුනොත් 
එය නැවත නිවැරදි කරගන්න දෙවන අවස්ථාවක් දෙන ඉවසන කෙනෙක්
ඔහු ඔබේ ප්‍රධානියා වුනොත්....





Picture source : http://www.realsoftwaredevelopment.com/software-developers-guide-to-managing-your-boss/ Accessed on 26th July 2011 14.00[ Online]
Picture source : http://www.soannoying.com/blogs/b/1516 Accessed on 26th July 2011 14.00[ Online ]

Love you Mr. Kalakaar ඇසුරෙනි.

චතුර....

Monday, July 25, 2011

සාරිය..



නිවාඩු දවසනේ ඔන්න ඉතින් පොඩි පොඩි වැඩ වගයක් කරගන්න තිබ්බ නිසත් පොඩි වෙනසකටත් එක්ක කියලා අම්මයි මමයි අයියයි ඔන්න ඊයේ පොඩි සාප්පු සවාරියක් වගේ එහෙමත් නොවෙන ගමනක් ගියා.
කොහොමින් කොම හරි ඔන්න අපේ අම්මත් අන්තිමට ඇඳුම් සාප්පුවකට ගොඩ වෙන්න තීරනය කළා, " අම්මා මල්ලිත් එක්ක යන්නකෝ මම වාහනේ ඉන්නම්" ඔන්න අපේ අයියා ශේප් වෙන්න ලෑස්තිය," නෑ නෑ ඔයත් යන්" ඔන්න ඉතින් අපි දෙන්නත් එක්ක ඉතින් අපේ අම්මත් ඇඳුම් සාප්පුවට ගොඩ වුනා. 

" ආනේ කාලේකින්නේ දැක්කේ ඔයාව ඥානේ( අපේ අම්මව මිතුරියන් අමතන ආකාරය )" කියාන එක පාරටම ආවේ අපේ අම්මගේ පරණ මිතුරියක්." ආ රංජි ඔයා"  ඔන්න අපේ අම්මත් ඇඳුම් තේරිල්ල පැත්තක තියලා ඔන්න කතාව , ටික වෙලාවකින් අපි දෙන්නා දිහාවටත් හැරිලා මොනවද මොනවාද කිව්වා ඉතින් අපිත් හිටපු විදියටම හිටියා, ඔන්න ඊළඟට යාළුවා ගියාම තමයි අපි හැමදාම බය අති භයංකාර  වෙලාව ඊයෙත් ආවේ. ඒ තමයි ඉතින් සාරි තේරිල්ල. ඔන්න ඉතින් සාරි පෙන්නන්න ගෑනු ළමෙකුත් ආවා, " අනේ පව් මෙයාට සොරි.කොම් තමා" අපේ අයියත් එයාට පොඩි බැල්මක් දාන ගමන් කිව්වා.( මෙයා ඉතින් කොතන ගියත් ඇහැට ප්‍රිය දසුනක් වුනත් අප්‍රිය දසුනක් වුනත් "නියම කුකුළා" , වෙලාවට බ්ලොග් කියවන්නේ නැත්තේ සිකුරා නලලේ නෙවි සරුවාංගෙම කියලා හිතා ගත්තොත් තමයි හොඳ ..)

 ඔන්න ඉතින් අම්මා අපි දිහාට හැරිලා අහනවා 
" මේකෙ පාට හොඳද ?"
 " හොඳයි හොඳයි ඕක තමයි ලස්සනම" ,අපි 
"ඒත් මේක නිකන් අවුට් ඔෆ් ෆැශන් වගේ නේද?"
"මේක හොඳද ?",අම්මා
"ඔව් ඔව් ඒක අරකට වැඩිය හොඳයි ", අපි
"මේක හොඳද?",අම්මා
"ඔව් ඔව්  ඕක  තමයි දැන් ට්‍රෙන්ඩ් එක", අයියා  
" ඈ.. ?තමුසේ කෝමද සාරි ට්‍රෙන්ඩ් දන්නේ ??" ,මම
"ඉක්මනට ගෙදර යන්න ඕනේ නම් කට වහගෙන හිටු " , අයියා අයියා කනට කර රහසින්..
"අනේ මංද මේක මගේ ඇඟට හරියන එකක් නෑ ", " මේක ලස්සනද..?", අම්මා
"ඔව් ඔව් ඕක තමයි අපේ ලෙක්චරර්ස්ලත් දැන් අඳින්නේ" මම
" තරුණ අය අඳින එව්ව මේ වයස මට හරියයිද? " අම්මා
"ඕකනේ කිව්වෙ , කට වහගෙන හිටු" ,නැවතත් අයියා කනට කර රහසින්
" මේක නම් මගේ හිතට ඇල්ලුවා"
"ඔව් ඔව් ඕක හොඳයි "අපි
" නෑ ඒත් මේක ඇන්ඳම ටිකක් පිම්බෙනවා වගේ මැටීරියල් එකක් වෙන එකක් බලමු "අම්මා
" මේ මැටීරියල් එක හරි නෑ ඕක ඉක්මනට ඩැමේජ් වෙනවා "
 " ඔය පාට දෙකක්ම මං ගාව තියෙනවා ඒක නිසා  ඔය පාටින් එපා",අම්මා .............................................................................................................
.............................................................................................................
.............................................................................................................
..................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................
සංවාදය තව පැයක් හමාරක් දිග්ගැස්සුනි.අවසානයේ සොයාපු දේ සම්භ විය. සාරිය ගත්ත අම්මාට වඩා සංතෝස අපිටය. "වෙලාවට අක්කා ගෙදර නැත්තේ නේද?" මම අයියාගෙන් ඇසිමි "අනේ වාසනාවන් නැත්තන් ඇඳුම් සාප්පු වලටම ඉරිදයි සෙනසුරාදයි යයි " අයියා. අක්කා විවාහ වීමට පෙර රෙදි යාරයක් මිලට ගැනීමට කඩ සාප්පු ගණනාවකට ගොඩ වී අවසානයේ රෙදි රෝල් දහසක් පමණ පෙරලා රෙදි යාරය මිලට ගත් සැටි මට මතක් විය. 

අම්මලාට අක්කලාට මේ වගේ පැය ගානක් ඇඳුම් තෝරන්න යන එක නම් ලොකු ප්‍රශ්නයක්. කාන්තාවන් එක්ක සාප්පු සවාරි යන වෙලාව දා ගන්නකොට පොඩ්ඩක් වැඩියෙන් වෙන කාර්‍යයකට යන වෙලාව මෙන් දෙගුණයක් වෙලා යොදා ගන්න.ගොඩාක් වෙලාවට සරිලන මිලට හිතන හරියන එකම සෙවීමට කාන්තාවන් දස්සියන් නිසා මෙයට වේලාව ගත වීම වැඩි වනු ඇත.

මගේ අවවාදය :අම්මලා අක්කලා එක්ක හෝ ඔබගේ සහකාරිය සමඟ සාප්පු යනවිට පරිස්සම් වන්න, ඉක්මනට ඒමට අවශ්‍ය නම් තේරීමට ඔබ මැදිහත් නොවන්න.

Picture source : http://www.thehindu.com/todays-paper/tp-national/tp-andhrapradesh/article2052836.ece Accessed on 25th July 2011 20.00 [Online]

චතුර..

ඔයා කොහෙද..?



හෙලෝ
ඔයා කොහෙද?
මම හොස්පිට්ල් එකේ
ඔයා කොහෙද?
බස් හෝල්ට් එකේ
ඔයා කොහෙද?
මම බස් එකේ
ඔයා කොහෙද?
බස් එකෙන් බහින්න මේ යන්නේ
ඔයා කොහෙද?
මම පුස්තකාලේ
ඔයා කොහෙද?
මම යාළුවොත් එක්ක ඉන්නේ
ඔයා කොහෙද?
මම අද යාළුවොත් එක්ක ඩිස්කෂන්
ඔයා කොහෙද?
මම ලෙක්ච'ර්' එකක ඉන්නේ
ඔයා කොහෙද?
අම්මත් එක්ක ඇඳුම් ගන්න ආවා
"ඇයි මල හත්තිලව්වේ ගෙදර ඉන්නේ කොයි වෙලාවටද?"
මෙහෙම හිතුනට මම කොහොමද ඔයාගෙන් එහෙම අහන්නේ....

Picture source : http://annliciousy.tumblr.com/post/4254186283/this-reminded-me-of-where-are-you-now-by-britney Accessed on 25th July 2011 19.30 [Online]

චතුර....

Sunday, July 24, 2011

හලාගෙන ඩයි කුප්පියක්..



ඉපදෙන සැවොම
වයස්ගත වන බව දැන
රූපයෙන් මන්මත්ව
සිටිනු රිසි සැම දිනෙම
අනුන් රවටනු පිණිස
මවා බොරු රූපයක්
හලාගෙන ඩයි කුප්පියක්
තම රුව ඇති සැටි
පෙන්වුමට කිමද ඒ හිරිකිතක්
සියළු දේ නැසෙන්නෙය
ඔබට පමණක් නොව සැමට එය පොදු දෙයකි
ඔබත් මහළුව දිරයි
තමා මිස අන්කෙනෙකු නොවේ ඒ රුව තුලම
ලෝධර්මතාවයට
පිටු නොපා සිටියේ නම්
අනුන් රවටනු පිණිස
කිමට තව බොරු රන් රූපයක්..

Picture source : http://www.clubplanet.com/Articles/2223/Hair-Dying-101-Stop-Worrying-and-Love-the-Bottle Accessed on 23rd July 2011 22.30 [Online]

චතුර....

Saturday, July 23, 2011

මරණය අභියස හිඳ..




දියට බසින විට
සිතුනෙද කිසිවිටෙකත්
සැණෙන් මහදිය කඳක් ගලයි කියා
මහදිය කඳක් ආවත්
සැඩ වේගයකින්
සිතුනෙද සැඩපහරට හසුවේවි කියා
කාලය වෙනස් වන සැනෙකින්
වන සිදුවීම
මරණය සිදුවන්නේ අසවල්  වෙලාවේයයි
මරණය අභියස  හිඳගෙනවත්
කිය හැකි හපනෙක් වේද
පහලව මේ දියත..

දියට බසින විට අනතුරක සේයාවක් නැතත් සැමවිටම අනතුර ගැන විමසිලිමත් වන්න..

චතුර....

ප.ලි. මුලින්ම කොමෙන්ටුව දාන එක්කෙනා මධුරංග අයියට විස්තරේ ලියලා කොමෙන්ටුව දානවනම් හොඳයි..

Friday, July 22, 2011

මමී පපා පපී ජූස් පාන් චූස් ..



රෝහිනී නැන්දට
ආන්ටි  මයි ඩාලින්
අල්ලපු ගෙදරට අලුතෙන් ආපු අක්කා කිව්වලු
මිසිස් පෙරේරා අනියන් එකක් දෙනවද කියලා
අල්ලපු ගෙදර නැන්දා ආවලු
තව ශුගර් ටිකක් තිබ්බා නම් ඔයාගේ ඩ්‍රින්ක් එක මරු කියලා 
ඒ මාමා කිව්වලු
මල්ලි අපි ප්ලේ කරමු කියලා
ඒ පොඩි එකා කිව්ව්වලු
මේවා අහපු අපේ පොඩි එකා
"මමී පපා පපී ජූස් පාන් චූස් "
කියලා කිව්ව්වලු..


තේරුම
"අම්මේ තාත්තා පරිප්පු හොඳි එක්ක පාන් කනවා.."

Picture source : http://www.crestock.com/image/20113-Shopping-family.aspx Accessed on 22nd July 2011 20.30 [Online]

චතුර....

නිහඬ උත්තරය..





හිතට ආපු කේන්තියට
නිවෙන්නට ඉඩක් ඉඩක් නොදී
වචන දෙකක් කියෙවුනාට
මට ආපහු ඒ ගැන කියන්නේ නැතුව
මුකුත් නොවුන තරමටම 
ඔය ලෙංගතු හිනහවෙන්
ඔය ආදර කතාවෙන්
දීපු නිහඬ උත්තරය
සැරයි අතුල් පහරකට වැඩියෙන්..


Picture source : http://www.blogcatalog.com/blogs/ishita-bandyo-fine-artsAccessed on 22nd July 2011 19.30[Online]

චතුර..

මගේම අදහස..



මමම හොඳයි කියාපු
මමම හොයලා දීපු
මටම හිතුනු
මගේම අදහස
මගෙන්ම අහගෙන
මාව අමතක කර
මගේම අදහස උඹලගේ කරගෙන 
උජාරුවෙන් මටම පෙන්නපු හැටි....

Picture source : http://www.wiggz.com/blog/art/tag/paintings/page/2/ Accessed on 27th July 2011 06.00 [Online]

චතුර....

Thursday, July 21, 2011

මී දරු ප්‍රසූතිය....




මේ සිද්ධිය වුනේ අපි ගිය ජීව විද්‍යා පන්තියේදී. අපි කියන්නේ මගේ හොඳම යාළුවා හිරාන් , එයා තමයි ඉතින් ඒ කාලෙත් අදත් ඉන්න හොඳම යාළුවා. අපි ජීව විද්‍යාවට ගියේ කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රධාන ජීව විද්‍යා 
ගුරුතුමියකගේ පන්තියට. මිස්ගේ නම මෙතන කියන එක හරි නැහැනේ ඒක හින්ඳ මිස්ගේ නම විදියට හවස මිස් කියලා කියන්නම්. මේ මිස් ඒකාලේ එක අවුරුද්දක ශිෂ්‍යයන්ට පන්ති තුනක් පැවැත්වුවා. අපි ඉතින් සහභාගී වුනේ ගෙදර පන්තියට තමයි. මිස්ගේ ගෙදර තියෙන්නේ හෝමාගම. ඒකාලේ මිස් හිටියේ හරියටම මොන ඉස්කෝලෙද කියලා මතක නෑ මට මතක ඇති විදියට කනත්ත බාලිකාවේ හරි කනත්තේ අනිත් පැත්තේ තියෙන දොන් ඉස්කෝලේ හරි තමයි. දැන් නම් මේ ගුරුතුමිය මිගාර මාතා බාලිකාවේ ජීව විද්‍යාව උගන්වනවා කියලා තමයි ආරංචිය. 

කොහොමින් කොහොමින් හරි ඔය මිස්ගේ පන්ති තුනෙන්ම අඩුවෙන්ම ළමයි හිටියේ ගෙදර පන්තියේ තමයි. ඒ ගෙදර පන්තියට ළමයි එන්න අකමැති වෙච්චි හින්ඳා නෙවෙයි ගෙදර පන්තියේ ඉඩ තිබ්බෙ ටිකයි ඒ ටිකත් 
නිකන් පොල් පටවල වගේ ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉඳගෙන හිටියේ.  කොහොම වුනත් මිස්ගේ පන්ති වලින් සුව පහසුවයි පුද්ගලික අවදානයයි අනික්වාට සාපේක්ෂව වැඩි ගෙදර පන්තියට නිසා ගෙදර පන්තියට තමයි වැඩිම 
ඉල්ලුමක් තිබුනේ. ගෙදර පන්තියට සහභාගී වෙන්න තිබ්බ තරඟය නිසාම පන්තියට ඇතුලත් වෙන්න චතුරයයි හිරානයයි අම්මලත් එක්ක පන්තියට නම දෙන්න ගියේ සාමාන්‍ය පෙළ විභාගය ඉවරවෙලා දවසක් හරි දෙකක් 
හරි ඇතුලත. ඒ වෙන කොටත් ළමයි දහයක් විතර නම් භාර දීල තිබුනා, හිතා ගන්න පුළුවන්නේ ඔය පන්තියට ඇතුලත් වෙන්න තිබ්බ තරඟය. 

පන්තියට සහභාගී වුනාට පස්සේ තමයි දැන ගත්තේ අපේ පන්තිවලම තවත් දෙතුන් දෙනෙක්ම ඔය පන්තියට සහභාගී වෙනවා කියලා. ඒ අයගෙන් එක්කෙනෙක් තමයි තිරංග. ටිකක් විතර කට හැකර ( ටිකක් නෙවි හොඳටම ) කළොත් අණ්ඩපාල වැඩක් කරන ජාතියේ කෙනෙක් තමයි තිරංග. මේකා කරපු වැඩ ගැන නම් වෙනම බ්ලොග් එකකුත් ලිව්වැකි. දවසක් මේකා ඔය පන්තියට යන අතරමඟ තිබ්බ රේල් ගේට්ටුවක් කෝච්චියක් එනකොටම ඇරලා දාලා තව පොඩ්ඩෙන් බයිසිකලයක් කඩාන බිඳගෙන කෝච්චියට යනවා. අනූනමයෙන් තමයි බේරුනේ. පොඩ්ඩක් නෙවි ගොඩාක් හොල්මන් මේකාට නම් .ඉතින් තිරංග පන්තියේ හැසිරුනේ කෝමද කියනවා නම් මෙයා සහ කුකුබිටා නංගි හවස ගුරුතුමීගෙන් බැනුමක් අහගත්තේ නැති දවසක් නැති තරම්.

 කුකුබිටා නංගිත් ඒකාලේ පන්තියට ආපු හයේ හතරේ සයිස් එකේ ඇඟක් තියෙන නංගි කෙනෙක් .හැබැයි මෙයා ගෑනු ළමෙක් වුනාට කරන්නේ පිරිමි ළමයි කරන වැඩ ඒක නිසා තමයි මිස්ගෙන් මේ දෙන්නම මොකාක් හරි අහගන්නේ. ආ කුකුබිටා නංගිට නම වැටුන විදියත් කිව්වේ නැත්නම් ලොකු හිස්තැනක්, කුකුබිටා කියන්නේ වට්ටක්කා වල විද්‍යාත්මක නාමය මට මතක විදියට. වෙන ඉතින් ඕකේ නම දැම්ම ආගිය මුල ගිය තැන් කියන්න ඕනේ නැහැනේ.   

කුකුබිටා නංගි ඉන්නේ චතුරයි හිරානුයි ඉඳ ගන්න පේළියට ඉස්සරහ එතකොට තිරාංග ඉන්නේ අපි ඉඳගන්න පේළියට පිටිපස්සේ. මේ දෙන්න ඉන්නේ පේළියක් අතර වුනාට ගනුදෙනු එක පේළියේ ඉන්නවා වගේ තමයි.තව කියන්න ඕනේ මේ හවස මිස්ගේ ගෙදර උයන්න ආච්චියෙක් හිටියා. ආච්චිට රසට උයන්න පුළුවන්. ආච්චි උයන කෑම රසයි කිව්වේ කාලා එහෙම නෙවෙයි හවස මිස්ගේ පන්තිය තිබ්බේ ගෙදර උඩ තට්ටුවේ හරියටම එතන පහලින් තිබ්බේ හවස මිස්ගේ ගෙදර කුස්සිය. කෑම රසයි කිව්වේ හැමදාම උඩට එන සුවඳ නිසා. මේ සුවඳ ආග්‍රාණය කරල එදාට ස්පෙශල් තියෙන ජාතිය අනුමාන කරන්න තිරංග සහ ඒ පේළියේ හිටපු කවුරුවත් අමතක කළේ නෑ. චතුරයා සහ හිරාන් හිටපු පේළියේ හිටියේ හැමදාම පන්තියේ පරීක්ෂණයෙන් වැඩිම ළකුණු ගන්න ළමයි ටික නිසා පන්තියේ ළමයි ටික ටිකක් අමුතුවට බැළුවත් මිස්නම් ආදරේ කළේ මේ පේළියේ ඉන්න අයටයි ඉස්සරහාම පේළියේ ඉන්න අයටයි තමයි.  ඔය ළකුණු වැඩියෙන් ගන්න අය අතරේ හැමදාම අංක එකට තමයි හිරාන්ගේ ළකුණු නම් තිබ්බේ. පහුගිය දවසක හිරාන්ට පන්තියේ ගෑනු ළමයෙක් හම්බවෙලා කියලා තියෙන විදියට හිරානයා සහ චතුරයා පන්තියට එනකොට ගෑනුළමයි ඒ කාලේ කිව්වේ දොස්තරලා දෙන්නා පන්තියට එනවා කියලලු. 

ඒ තරමට ජනප්‍රිය සහ ඒ ගෑනුළමයා කිව්වළු චතුර දොස්තර වෙලා නැත්නම් මේ හවස මිස් පන්ති කරන එක නවත්වයි කියලා. කොහොමින් කොහොම හරි පළවෙනිපාර චතුරයා විභාගයට එදා වගේම පැය භාගයක් පරක්කු වෙලා ගිය හින්ඳා හිරාන් අද වෛද්‍ය ශිෂ්‍යයෙක් චතුරයා මෘදුකාංග ඉන්ජිනේරු ශිෂ්‍යයෙක් හැබැයි දෙන්නම දෙවෙනි පාරටත් පන්ති ගියා හොඳේ. ඉතින් ඔය පේළියේ හිටපු ළකුණු ගන්න අයගෙන් අංක එක හිරාන් වුනාට මිස් වැඩිපුරම ආදරේ කළේ චතුරයාට. ඒ මොකද කියන්න චතුරයාවත් අඩුම තරමේ  පන්තියේ අනිත් එවුන්ටවත් තේරුනේ නෑ. සමහරු නම් කිව්වේ මිස්ගේ පුත්‍ර රත්නයත් මම වගේ නිසා වෙන්න ඇතියි කියලා. මිස්ගේ ආදරේ කොච්චරද කියනවා නම් අනිත් ළමයින්ට වෙන පන්තියක් ඇරෙන්න පරක්කු වෙලා පන්තියට එන්න පරක්කු වුනාම මිස් බැන්නට චතුරයා භෞතික විද්‍යා පන්තිය ඉවර වෙලා පැය භාගයක් පරක්කු වෙලා මාසයක් පන්ති ගියත් මිස් මුකුත්ම කිව්වේ නෑ. අනිත් එක මිස් පන්තියේ පාඩම පැහැදිලි කරද්දී වෙන ළමයි ප්‍රශ්න අහල යැව්වම අකමැත්තෙන් උත්තර දුන්නත් චතුරයා අත උස්සලා ප්‍රශ්නයක් ඇහුවත් මොනවත් කියන්නේ නෑ.කොටින්ම කියනවා නම් මිස්ට අදට පවා 2006 චතුර කිව්වම චතුරයව මතකලු.  ඉතින් කොල්ලො සෙට් එකට වැඩිය ,"හැමදාම මේ පිරිමි ළමයි සද්දයක් නැතුව හිටියට මෙතන කෑ ගහන්නේ ගෑනු ළමයි "කියලා බැනුම් අහන කෙල්ලො සෙට් එක හිටියේ ඔය පේළියේ එකෙකුට මොකක් හරි වෙනකම්. ඇත්තටම ඔය ගෑනු ළමයින්ගෙ කෑ ගැහිල්ලට හේතුව වුනේ ඔය පන්තියේ පිරිමි ගැහැනු අනුපාතය එකට හතරක් වගේ වෙච්චි නිසයි. 

චතුරයයි හිරානුනයි ඉඳ ගන්න ඩෙස් එක තිබ්බේ හරියටම පත බාල්කයක් යට. ඔන්න නියම වැඩේ වෙච්චි දවස ආවා. එදා කොහොම හරි කරපු පාඩම වුනෙත් ක්‍රියාකාරී සත්වයා පාඩමේ ප්‍රජනනය කොටස. පාඩම මැදහරියක් යද්දී එකපාරටම හිරාන්ගේ පොත උඩට රෝසම රෝස ඉපදිලා දවසක් දෙකක් ඇති ඇස් ඇරලත් නැති මී පැටියෙක් වැටුනා.මිස් නෝට් එක කියවන අතරේ ඔන්න හිරානයා දැන් මගේ ඇඟට අනිනවා, බැලින්නම් මී පැටියෙක්. දැන් දෙන්නම මේකා කොහෙන්ද ආවේ කියලා බැලින්නම් බාල්කේ උඩ නිකන් රෙදි කැලි ඒක් දෙකක් පේන්න තිබ්බා, මීයා  කූඩුව හදන්න ඇත්තේ මිස්ගේ රෙදි කපලාද කොහෙද? ඔන්න ඉතින් චතුරයට ඇනපු හිරානයා කියනවා මිස්ට කියන්නයි කියලා, "මගේ පොතටයැ වැටුනේ උඹ කියහන්" මොකද නැගිටලා ගිහින් විසි කරලා එන්නවත් මේසෙට නැගලා බාල්කෙන් තියන්නවත් බෑ මේ පන්තියේ ඉඳ ගත්තොත් ඉඳ ගත්තම තමයි ආයේ නැගිට්ටොත් ඉඩ නෑ සොරි.කොම් තමයි. ඔන්න ඉතින් වදෙන් බේරෙන්න බැරි තැන චතුරයා අත උස්සලා "මිස් මිස්"කිව්වා, මිසුත් හැරිලා බලල "මොකද චතුර " කියලා ඇහුවා. ඔන්න ඉති චතුරයා හිරන් දිහාට හැරිලා "උඹ කියහන්" කිව්ව, ඒත් ඉතින් මේකා කියන පාටක් නැති නිසා අන්තිමට මමම මිස් මේ මේ කියලා තෙපර බාද්දී මිස් ළඟට ආවා. ආවම චතුරයා ඉක්මනටම හිරානයගේ පොතත් එක්කම මී පැටියා මිස්ට දුන්නා. 

ඔන්න ඒ වෙලාවේ තමයි වටේම ඉන්න එවුන්ට වැඩේ මීටර් වුනේ. ඕක දිහා බලපු කුකුබිටා නංගි එකපාරටම "අනේ.. ස්වී......ට් මී පැටියා........." කියලා ඇදල පැදලා කිව්වා..ඕක ඇහුවම කොල්ලන්ට ඉතින් මොකද මිස් 
ඉන්නවද කියලවත් බැලුවේ නෑ ඕකට හිනහා වෙන්න ගත්තා. ඊට පස්සේ මිස් හිරාන්ගේ පොතත් පිටින්ම මී පැටියව අරගෙන පන්තියෙන් පල්ලෙහාට ගියා. ඒ අතරේ කට හැකර තිරංගයා " ප්‍රජනනය පාඩම අතර තුරේ 
හිරාන්ට මීදරු ප්‍රසූතියක් කියලා " මහා හයියෙන් කැත විදියට නෝන්ඩිය දෙනවා. ඕක අහලා ඉතින් කෙල්ලන්ට තවත් හිනා. ඒ අතරේ කුකුබිටා නංගී පිටිපස්සට හැරිලා හිරාන්ට කියනවා "අනේ ශෝයි මී පැටියා මිස් ඒකව පෙට්ටියකට දාල අපහු තියයි නේද කියලා" මේකිට මොන මී පෙට්ටිද ඔක්කොම එක්ක හිනා වෙනවා මොනව කරන්නද පේළියේ අනිත් උනුත් සද්දයක් නෑ අපි දෙන්නත් බිම බලාගෙන හිනා වෙවී හිටියා.

ඔක්කෝම හිනාවෙනවා මදිවට මේකිට මී පෙට්ටි, මේ හැල බතලිටත් ඕනේ නැති ඉලව්වක් නෑ. හිරාන් තවත් කටු කුටු ගාමින් බනින අතර කුකුබිටාට එරවූ නිසා ඇය අනිත් පැත්තට හැරී අනේ පව් මී පැටියා කියා තවත් පාරක් විස්සෝප විය.. ඒ අතරේ කට හැකර තිරංගයාට තවත් මතෘකාවක් හම්බ  විය. ඒ මිස්ගේ කුස්සියෙන් රසම රස යි කියා සිතිය හැකි මස් කරියක සුවඳ ඒමයි ඊළඟට මේකා කීවේ " අලුත උපන් මී පැටිය හොද්දේ නටයි දැන්" කියාය.ඒකට මුළු පන්තියම තවත් සිනා සෙන්නට විය. ඒමදිවාට මිස් මීයාව කැලයට විසිකර පොත ආපසු ගෙනවිත් දුන්නෙන් කුකුබිටාට මී විස්සෝපය දවසේම විය. තිරංගයාගේ  කට නම් වැහුනේ ම නැත . එදා පන්තිය ඉවර වනතෙක්ම මිස් සිටියද, දවසේ මාතෘකාව වුනේ මී දරු ප්‍රසූතිය සහ අලුත උපන් මී ව්‍යංජනයයි . පසුදා පාසැලට යන විටද තිරංගයා පාසලද වනසා හමාරය. හිරාන් සහ තිරංගයා එකම පන්තියේ වූ නිසා එදා උදය රැස්වීමේදීද කට්ටියගේම මාතෘකාව මීදරු ප්‍රසූතියයි. සති දෙකක් පමණ යනතුරු හිරාන් පන්තියට යනවිට කෙල්ලන් එහෙන් මෙහෙන් හිනා වෙන්නට විය.ඉන්පසුව එයද නැති විය . නමුත් ළඟදී හම්බ වුන එක්කෙනාටනම් මුලින්ම මතක් වී තිබුනේ එයයි.

Picture source : http://www.masterfile.com/stock-photography/image/614-02242767 Accessed 21st July 2011 14.30 [Online]

චතුර....

Wednesday, July 20, 2011

විමසිලිමත්ව තහනම් ගසට නගිනු..

video


සැපත සොයන කළ
නොමනැති නුවණ
තහනම් ගහටමයි යොමුවන
සිත එවිට
අසුවූ කළට නොමනා කම්
කළ සොඳින
විපත ගෙනෙයි තහනම්
රස සිහි ගන්වමින..

මේ වීඩියෝවත් මිතුරෙක් විසින් මා වෙත එවන ලද්දකි. අපූරු අදහසකින් නිර්මාණය කරන ලද තවවත් අනර්ඝ වෙළඳ දැන්වීමකි. තහනම් රසය වින්ඳොත් එහි ප්‍රථිඵල විඳින්නටද වන්නේද ඔබටමය. එනිසා ඔබ ඒ ගැන සැලකිලිමත් වන්න.

සැලකිය යුතුයි

සමහර වෙලාවට ඔබ සිටින තැනම රැඳී සිටීම වඩාත් සුදුසුය..  

චතුර..

බස් වෙළඳාම සහ මිතුරා..




පසුගිය දිනෙක සිදු වූ සිදු වීමක් නිසා මෙම සටහන තැබීමට සිත් විය. තොරතුරු තාක්ෂන උපාධි අපේක්ෂකයන් වන අප ව්‍යාපෘතීන්හි අවසන් කාලා සීමාවේ කෙතරම් වෙහෙසක් දරනවාද යන්න ඔබට එම තත්වයේ නොසිට වටහා ගත නොහැකි යයි සිතමි. එහෙත් සත්‍ය වශයෙන්ම එය ඉතා දුෂ්කර කාලා සීමාවක් වන්නේය. මන්දයත් ව්‍යාපෘතීන් කිරීමට බොහෝ විට සිදු වන්නේ ඒ සම්බන්ධ විෂයන් ඉගෙන ගන්න කාල සීමාව අතර තුර වීම මෙයට හේතුවයි. තවද එය නිම කිරීමට ලැබෙන මාස දෙකක පමණ කෙටි කාලයත් ව්‍යාපෘතියේ ඉලක්ක සියල්ල නියම ආකාරයෙන් සපුරා ගැනීම අසීරු කාර්‍යයක් වීමත් මෙයට එක් හේතුවක් වේ. සත්‍ය වශයෙන්ම මාස දෙක හමාරක පමණ කාලයක් මෙම ව්‍යාපෘතියකට ලැබුනත් මෙම ව්‍යාපෘතිය ආරම්භ කිරීමට තරම් සෑහෙන දැනුමක් ලැබෙන්නේ ඒ ඒ විෂයය සති දෙකක් තුනක් පමණ කාලයක් හැදෑරීමෙන් පසුවය.

එම නිසා සත්‍ය වශයෙන්ම ව්‍යාපෘතියට ලැබෙන්නේ මාස දෙකක පමණ කාලයකි. ඒ කාලය අතර තුරත් දේශන වලට සහභාගී වීම දේශන වලදී ලබා දෙන විශය මාලාවේ අමතර පැවරුම් කිරීම විශයයන් තුනක් හෝ හතරක එකවර කරන්නට වීමත් යන කරුණු නිසා බොහෝ විට ව්‍යාපෘති සඳහා කාලය සොයා ගැනීම දුෂ්කරය. තවද විෂය මාලාවෙන් ලැබෙන න්‍යායාත්මක දැනුම හා ප්‍රායෝගික දැනුම තම තමන්ගේ  ග්‍රහණය කිරීමේ හැකියාව දක්ෂතාව යන කාරණා නිසා

එය නිවැරදි ආකාරයෙන් තම දැනුමට තවත් එක් කරුණක් ලෙස නොව ප්‍රායෝගිකව යොදා ගත හැකි ආකාරයේ දැනුමක් බවට පත්කර ගැනීම සඳහාද අමතර කාලයක් මිඩංගු කර අභ්‍යාසයන්හි නියැලීමට සිදුවේ.මේ සියළු සකල විධ කරුණු කාරණා සම්පූර්ණ කරගෙන ව්‍යාපෘතීන් දෙකක් හෝ තුනක් එකවර කිරීමට සිදුවන අතර එය කිසිවෙකු විසින් කළ දෙයක්, උපුටා ගැනීමක් , වෙන කෙනෙකුගේ අදහසක් හෝ වෙනත් කෙනෙකුගෙන් උපදෙස් ලබා ගත්තක් නොවිය යුතුය.මේ සියළු සකලවිධ කරුණු සම්පූර්ණ කරගෙන ව්‍යාපෘතියක් සාර්ථකව නිම කර ගැනීමට භාර දීමට ඇති අවසන් තත්පරය දක්වා කාලයද අප ප්‍රයෝජනයට ගන්නෙමු. ඒ නිසාවෙන් මෙම කාලසීමාව ඉතා දුෂ්කර කාලසීමාවක් වන්නේය.

පසුගිය සතියේ දිනයක අපහට මෙම වාරයේ විශයයන් දෙකක් සඳහා වූ ව්‍යාපෘතීන් භාර දීමට සිදුවී තිබුනේ එකළඟ වූ දින දෙකකය. එම නිසා එම දින කිහිපය මමත් මාගේ මිතුරාත් වෙහෙසී නිම කිරීමට උත්සාහ ගත්තෙමු. එම දින කිහිපයම රෑ නිදිවරා වැඩ කිරීමෙන් පසු සාර්ථකව ක්‍රියාත්මකවන වැඩසටහනක්  අපට නිම කරගත හැකි විය. එදින ස්වස පහට ප්‍රථමයෙන් භාර දීමට තිබූ එම ව්‍යාපෘතියේ අපට ඉතිරිව තිබුනේ වාර්තාවේ යම් යම් වෙනස් කම් කිහිපයක් කර එහි මුද්‍රණ පිටපතක් ලබා ගෙන එය අධ්‍යයන අංශය වෙත භාර දීමටයි. සියල්ල අවසන් කරගෙන එක්ව එම කටයුත්ත පැයකින් හමාරකින් ශිෂ්‍ය ශාලාවේදී අවසන් කර මුද්‍රණය කර භාරදීමට සැලසුම් කරගෙන මමත් මගේ මිතුරාත් යාමට බසයට නැගුනෙමු.

 බසයට නැගුන මාගේ මිතුරා ඔහුට තදින් නිදිමත ඇති හෙයින් ඔහු නිදා ගන්න බවත් ගමනාන්තයට ළංවූ කල්හි ඔහුට ඇහැරවන මෙන් මා හට කියා නින්දට වැටුනේය. මා සිටියේ කවුළුව අසල වන අතර ඔහු එම අසුනේම අනෙක් පස හිඳ සිටියේය. ටික වේලාවක් යන විට බස් රථයට නැඟුන වෙළෙන්දෙක් කිසියම් පත්‍රිකාවක් සමඟ බ්තවත් කුඩා පොත් කීපයක් ( මා දුටු ආකාරයට  මේවා පෙර පාසල් යන දරුවන් සඳහා රචනා කරන ලද පොත් විය ) එක් එක් මඟියාගේ ඔඩොක්කුවට දමන්නට විය. කිසි අයෙක් එය නොගෙනීමට අහක බලා ගත්තේ වීද , ඒත් මොහු ඒ පුද්ගලයාගේ ඔඩොක්කුවටද එය බලෙන් දමන්නට විය.

ඔහු අප සිටි අසුන ළඟටම විත් මාගේ ඔඩොක්කුවට දැමීමට පෙර මාගේ මිතුරාගේ ඔඩොක්කුවටද එය දමා ඔහු සිටි ඉරියව්වට අනූව ඒ පොත් බිම පතිත වේ යයි සිතාදෝ ඔහුව මඳක් සොලවා ඇහැරවන්නට විය. මාගේ මිතුරාටද ඉතා නරක පුරුද්දක් විය ඒ තමන් නිඳා සිටින විට වෙනකෙකු ඔහු ඇහැරවීමට උත්සාහ කළහොත් ඒ පුද්ගලයාව තල්ලු කර දැමීම හෝ ඒ පුද්ගලයාට විසිවන තරමේ පා පහරක් එල්ල කිරීමය. එය ඔහු සමඟ රාත්‍රී කාලයේ පාඩම් කිරීමට එකතුවන මගේ මිතුරන් කිහිප දෙනෙකුට අත් විඳින්නට සිදු වූ සුලභ අත්දැකීමක් විය. ක්ෂණයෙන් අවදි වූ මාගේ මිතුරාට එදිනද ඔහු බසයේ සිටින්නේ යයි අමතක විය  ඇහැරවීමට සෙලවූ සැණින්ම ඔහු ඒ පුද්ගලයාට පාපහරක් එල්ල කළේය.සැනින් ඒ පුද්ගලයා විසිවී පතිත වුනේ ඉන් එහා අසුන් පෙළේ අයිනේ වාඩි වී සිටි තරමක් සැර පරුෂ මෙනුමැති තරබාරු කාන්තාවකගේ ඇඟ උඩටය. ක්ෂණයෙන් කෝප ගත් ඒ කාන්තාවද කැඳ බීලද ඉන්නේ මනුස්සයෝ හයියෙන් අල්ල ගන්න බැරිද කියමින් සිදු වූ දේ නොදැන ඔහුව තල්ලු කර දමමින් ඇයගේ අතෙහි වූ කුඩයෙන් පහරක් එල්ල කිරීමටද මැලි නොවූවාය. අවදි වූ මාගේ මිතුරාට ඔහු කළ දෙය පෙනුනේ එවිටය. කිසිදු වදනක් නොදෙඩූ එම මිනිසා නැවත ඔහුගේ පොත්පත්‍රිකාද  එක්කසු කොට ගෙන බසයේ ඊළඟ නැවතුමෙන් බැස ගියේය.

ඉන්පසු සිදු වූ සිදුවීම දැක බසයේ වූකිහිප දෙනෙකුම මාගේ මිතුරාට "ඔහොම කරපු එක තමයි හොඳ වැඩේ " කියාද කීවෝය. නමුත් මම මාගේ මිතුරා කළදේ නම් කිසිසේත් අනුමත නොකරමි. නමුත් මා සිටි තත්වයද අනූව මමද එසේ සිට ඇහැර වූවානම් මටද කෝපයක් පැන නැගෙන්නට තිබිණ.නමුත් කිසිවිටෙකවත් පහර දීමට තරම් මා සාහසික නොවන්නෙමි. නමුත් මාගේ මිතුරාට නිඳා ගැනීමට එදින තිබුනේ ඒ පැයක පමණ බසයේ ගත වූ කාලය පමණි මන්දයත් එදිනට පසුදින අපගේ ඊළඟ ව්‍යාපෘතිය භාර දීමට තිබූ දිනය වූ හෙයිනුත් එහි කිරීමට තරමට වැඩ කටයුතු ප්‍රමාණයක් ඉතිරිව තිබූ බැවිනුත්ය.ඔහුට එම වැඩ කටයුතු නිම කිරීමට එදින රාත්‍රියද වෙහෙස වීමට තිබූ බැවින්ය.

මෙම බස් රථයට ගොඩ වන සමහර වෙළෙඳන් තමන් විකුණන දෑ කියා විස්තරයක් බස් රථය ඉදිරියේ කර එය කැමතිකෙනෙක් හට මිලට ගැනීමට කියා බස් රථයේ ගමන් කරයි තවත් සමහරෙක් කරන්නේ මා මිතුරා පහර එල්ල කළ පුද්ගලයා කරන ආකාරයේ දෙයකි. එය කොතරම් වදයක් වන්නේද යන්න මොහොතකට සිතා බලන්න. බස් රථයකට ගොඩ වදින අප බලාපොරොත්තු වන්නේ හුදෙක්ම ගමනාන්තය කරා යාම පමණක් නොවේ. ඒ ගමන සුව පහසු එකක්ද විය යුතුය.

සමහර විටෙක කොන්දොස්තර මෙම පුද්ගලයන් බසයට නංවා ගැනීමට කැමති වන්නේ බස් රථයේ
කොන්දොස්තරට ලබා නොදෙන මාරු සල්ලි මෙම භාණ්ඩ මිලට ගැනීමට මඟීන් වැය කරන නිසා විය හැක. අවසන ඔහු එම වෙළෙඳ අත වන සියළු මාරු සල්ලි තමන්ගේ මුදල් වලට මාරු කර ගන්න අන්දම මා අනන්තවත් දැක ඇත. බස් රථයේ පෙරකී අන්දමින් විස්තර කර තමන්ගේ වෙළඳාම කර ගන්න අයවළුන්ගෙන් මඟීන්ට වන කරදරය අවම නමුත් සමහර විටෙක මේ පොත් පත්‍රිකාවක් සමඟ දමන්නන් එය මිලට ගන්න තුරුම
මඟීන් අසලින් ඉවත්ව නොයයි. බොහෝ විට මෙය බහුලව සිදුවන්නේ කාන්තාවන්ටය, ඒ ඔවුන් මේ වදයෙන් බේරීමට මුදල් දී එය මිලට ගන්න බැවිනි. තවද හිඟන්නන් ගැනද කියනවා නම් කරුණු රාශියකි. ඒ සියළු දේ
වෙනත් ලිපියකින්මතුවට ගෙන හැර පාන්නෙමි.  බස් රථයන් හි ගාස්තු සංශෝධන කරනවා මෙන්ම බස් රථ සේවාවන්හි ගුණාත්මක භාවය පිළිබඳව නීති රීති පර්යේෂණාත්මකව සංශෝධනය කිරීමට  කාලය පැමිණ ඇත.

Picture source : http://www.mirissa.com/getthere.htm Accessed 19th July 20.00 [Online]

චතුර..

Monday, July 18, 2011

ඔබටත් මෙහෙම දෙයක් වුනොත්..

video


මුලින්ම කියන්න ඕනේ මේ වීඩියෝව මගේ යහළුවෙක් එවපු විද්‍යුත් ලිපියක අන්තර්ගත වුන එකක්.එය ඉන්දියානු වෙළඳ දැන්වීමක්. සරල විදියට ඉතාමත් ගැඹුරු අර්ථයක් ඇති අදහසක් මේ වෙළඳ දැන්වීමේ දක්වා තිබෙනවා යයි සිතුන නිසා මේ සටහන තබමි.

මේ විදියටම ඔබගේ පෙම්වතිය හෝ පෙම්වතා ඔබව යම් කාලයක් ආශ්‍රය කරලා ඔබට මේ වගේ දෙයක් කිව්වොත් ඒක දරා ගන්න පුළුවන් වෙයිද?
ඔබ එය දරා ගන්න සූදානම් වුනත් නැවත කිසි දිනෙක ඔබට ඒ නිසා පසු තැවිල්ලක් ඇති නොවෙයිද..?
ඔබට එය දරා ගන්න පුළුවන්නම් ඔබ ඒ පුද්ගලයා සමඟ කෙබඳු ඇසුරක් ඉන්පසුව පවත්වයිද?
ඒ ඇසුර පෙර පරිදිම මෙම හේතුව නිසා කිසි ලෙසකින් වෙනස් වූවක් නොවෙයිද?
ඔබට එය දරා ගන්න බැරිනම් කිනම් දෙයක් සිදු වෙයිද?
ඔබ ඒ පුද්ගලායාට කිනම් ආකාරයකින් ප්‍රතිචාර දක්වයිද?
ඔබ ඒ පුද්ගලයාට වෛර කරයිද?
ඇත්තටම ඔබ ආදරය කළානම් ඔබට ඒ පුද්ගලයාට වෛර කරන්නට පුළුවන්ද?
ඇත්තටම ඒ පුද්ගලයා ඔබට ආදරය කළා නම් ඔහු හෝ ඇය ඔබව මෙතුවක් රවටාවිද?

ඔබට සිතෙන ඔබ සිතන ආකාරයට සිතා මේ ප්‍රශ්නවලට පිළිතුරු සපයා බලා ඔබත් කුමන ආකාරයක තීරනයකට යයිද කියා සොයා බැලීමට ඔබට භාර කරමි.

පුද්ගලයන් විවිධාකාරයි , එක් එක් පුද්ගලයාට දරා ගැනීමට ඇති හැකියාව ඒ ඒ පුද්ගලයාගේ ආත්ම ශක්තිය සහ වෙනත් සාධකයන් මත රඳා පවතින නිසා ඒ ඒ පුද්ගලයා මේ ආකාරයේ සිදුවීම් වලට ගන්න තීරණ විවිධාකාරයි. නමුත් හොඳම දේ තවෙකෙකු රවටා සිත දිනා ගන්නවාට වඩා සත්‍ය පවසා සිත දිනා ගැනීමයි.බොහෝවිට සත්‍ය වසන් කර අහිමි වන දෙයක් හිමි කර ගන්නට යාමෙන් එය පෙරටත් වඩා තම ජීවිතයෙන් ඈතට යාම සිදුවේවි, එය ඔබ ආදරය කරන පුද්ගලයා මත තීරණය වන්නක් .කලාතුරෙකින් අවස්ථාවක ඒ පුද්ගලයා ඔබට පෙරටවඩා ආදරය රැකවරණය ලබා දේවි, නමුත් කෙනෙකු රැවටීම කුමන අවස්ථාවකවත් අනුමත කළ නොහැකි ආකාරයේ දෙයකි.

මතක තබා ගන්න දීර්ඝ කාලීන සබඳතා රඳා පවතින්නේ එහි ඇති  විනිවිද භාවය මතයි..ඔබ සබඳතාවයකදී අනෙක් පාර්ශවකරුට යමක් හංගනවානම් එය දීර්ඝ කාලීන සබඳතාවක් නොවේවි..

චතුර..

උඹේ යාළුකම..




හැමදාම නිදහසේ හිතන
අනුන් ගැන දොස් උඹට නොකියපු
තමන්ගේ පාඩුවේ වැඩක් බලන් හිටපු
උඹ කියපු දේ අහන් හිටපු
යාළුකමට ඒවයේ හරි වැරැද්ද නොහොයපු
මට
උඹ ඔහොම කිව්වේ
යාළුවෝ සෙට් වුනාම මම මෙහෙමයි මගේ නෑයෝ මෙහෙමයි කියලා
පාරම් බෑවේ නැති නිසාද?
ගුරුතුමියෝ ගැන එක එක අවලම් කැත කිව්වේ නැති නිසාද?
ඉරිදා හවසට චීත්ත කොට කලිසමක් ඇඳගෙන පලක් නැතිව එම් සී එකේ
බොරුවට එහාට මෙහාට යන්නේ නැති නිසාද?
පලක් නැති දේ වලට සල්ලි වියදම් කරන්නේ නැතුව
අම්මා තාත්තාගේ දේ රැකගෙන ඉන්න නිසාද?
මම එක එක විච්චූරන නොකරන නිසාද?
අනුන් විච්චූරන නොකලාම උන් ගොඩයෝ කියලා කිව්වේ නැති නිසාද?
ඇක්සන්ට් එක දාලා සිංහලෙන් කතා කළේ නැති නිසාද?
උඹ වගේ පොර ටෝක් දීලා අන්තිමට ඒ හිස් දේ පස්සේ නොයපු හින්දද?
යාළුකමට උඹේ හරි වැරැද්ද පෙන්නන්නේ නැතුව හිටපු නිසාද?
මට ඒ මන්ද මානසිකත්වය නැති නිසාද?


Picture source : http://www.alexremy.com/2007/11/punk-paintings-for-sale.htmlAccessed 18th July 2011 19.15 [Online]


චතුර..

ඒ හිතම..




එපා වුන විට
අන්තයටම ගොස් එපයි කියපු
කෝපයක් නැගුන විට 
කේන්තියෙන් එපයි කියපු
දුකක් දැනුනම දුකෙන්ම එපයි කියපු
පිළිකුලක් දැනුනම
කලකිරීමෙන් එපයි කියපු
ඒ දේට
හැමදාම කියන නිදහසට කරුණුවලින් 
වෙනස් වී නැවත හා කියපු
ඒ හිතම 
අදත් ඔබේ නිදහසට කරුණු අසා
නැවත හා කියයිද?

Picture source : http://www.illustrationlovers.com/lauratrevey/Accessed 18th July 2011 19.00 [Online]

චතුර..

මෙහෙම අහන එක සාධාරණද..?


දවස් ගානකට පස්සෙ
ඔයාගේ මුවින් අමාරුවෙන්
"මම ඔයාට කැමතියි"
කියලා අහගත්තට පස්සේ
"ඇයි ඊයේ කතා නොකළේ"
"අපි කතා කළාට
අපිට කතා කරන්න කවුරුවත් නැහැනේ"
"ඇයි කතා නොකර හිත රිද්දන්නේ"
මෙහෙම කියපු ඔයා
මට දැන් දවස් දෙකක් දීපු
 නිහඬ පිළිතුරට
මට කේන්ති ආවම
"මට කතා කරන්න
බැරි වුනාට
ඔහොම කේන්ති ගන්නවද?"
කියලා අහන එක
සාධාරණයිද..?

Picture source : http://jilliebeanscene.wordpress.com/category/art/ Accessed 18th July 2011 18.30 [Online]

චතුර..

Sunday, July 17, 2011

සිත නුඹ..



නොලැබෙන බව
දැන දැනත්
අහිමි බව
දැන දැනත්
මිරිඟුව පසු පස 
ලුහුබැඳීමට සිහින මවන
ලද දෙයින් සතුටු නොවන සිත නුඹ
වෙන්ව යාමකට සිත නොදී
වෙන්වන බැඳීම 
සියළු වෙර යොදමින් 
විවිධ වූ හේතු මවමින්
සවිමත් කරන සිත නුඹ
අහිමි කර ගනිම්දෝ 
නැවත සවිමත් කර ගනිම්දෝ
එක හිතක් නැතුව 
දෙපසට වැනෙන
අකීකරු සිත නුඹ
අහිමි වුවත් හිමි ලෙසම
පෙනෙන මායාකාර පෙම පසුපසම
දිවූ ඒ සිත නුඹය
ගලවා  දැමිමි 
උදුරා දැමිමි
අදිසි මිරිඟුවේ
මායාකාර බන්ධනයෙන්
හෙම්බත්ව පසු පසම දිවූ සිත නුඹ..

Picture source : http://malcolmlowryatthe19thhole.blogspot.com/2011_05_01_archive.html Accessed on 16th July 2011 23.30 [Online]

චතුර..

Saturday, July 16, 2011

වාසනාවන්ත එදින..



අවසානයේ පුල පුලා බලා සිටි එම දිනය උදා විය.ඒ මගේ අභාග දිනය හෙවත් විභාගයේ අවසාන දිනය වන අද දිනයයි. වෙනදාටත් කළියෙන් නැඟිට ගත් අම්මාද "ඔයාට අදත් විභාගේ නේද..?"  කියා ඇසුවාය, "හ්ම්ම්ම්" 
ඊයේත් හවස් වනතුරුම පන්තියකට සහභාගී වී පැමිණි නිසාවෙන් අදනම් විභාගෙට නොගිහින් නිදා ගන්න තිබ්බ නම් කොච්චර සනීපද කියා සිතමින් මම ඇඳෙන් නැඟිට්ටෙමි. "අද අයියා එක්ක යන්න එතකොට ලේසියිනේ නේද..?"  අම්මා නැවතත් අසයි." හා.." 

 පොඩ්ඩෝ ඔයා යන වෙලාවට යන්න නම් බෑ මම යනවෙලාවට යන්න ඔයත් ලෑස්ති වෙන්න මම ඔයාව ගෙනිහින් දාන්නම්, දැන් ඉතින් ඔතන මාව කන්න  වගේ ඉන්නේ නැතුව යනවා ගිහින් ලෑස්ති වෙලා එනවා මම යන වෙලාවට යන්න ඕනේ..හා හා අනේ මෙහෙමත් කරුමයක් මම යන විදියට ගියානම් ඉවරයි කියා සිතුනත් කන් කරච්චලයෙන් ගැලවීමට නියමිත වේලාවට ඉඟිලි රාජකාරී පුටුවේ වසන අපේ අයියා රත්නයට හිතින් බැන බැන ලෑස්ති වුනෙමි. 

ඔය විභාගෙට යන මනුස්සයා යන්නේ අදද හෙටද කියලා අහන්ටෝ..  මෙහෙමත් මල කරුමයක් තවත් ඉවරයක් නෑ යන් යන්  කියමින් අපේ අයියාගේ සෝභන සෝමාරී කිරි කිරි රථයට ගොඩ වුනෙමි.වෙනදා මෙන් නොව අයියාගේ රථයේ සිහිල් සුලන් රැලි ගත දැවටෙමින් මඟ දුරක් ආවෙමු.අමුතු ශබ්දයක්ද කර ගන්ඳයක්ද නන්වමින් අයියාගේ සෝභන කරත්තය ප්‍රථම වතාවට මඟ ඇන හිටුනි. අහෝ විපතක මහත.වාහන කුරුටු ගෑමේ ශිල්පයේ අති දක්ශයෙක් වන අයියා දන්න වැඩ කෑලි සියල්ලමද සියළුම ශිල්පයන්ද පාමින් මේ බඩකඩිත්තුව පණ ගැන්වීමට තැනුවේය, නමුත් අවසානයේ මේක බාස් කෙනෙක් ගෙන්නලා මිසක් හදන්න බෑ අපි මේක දාල ත්‍රී වීලර් එකක් ගෙන්නගෙන පාරට යමු කියා කීවේය. හාකෝ ඉතින් යමු යමු. මේක පාරේ දාල යන්න බෑ අර පල්ලෙහා තියෙන ගේ අයිනටවත් තල්ලු කරලා දාලා යන් , පල්ලමනේ පොඩි තල්ලුවක් දුන්නම ඇති.. 

හාකෝ නිදිමත විභාග මත පෙර දින මහන්සිය සමඟ තල්ලු කරහල්ලකො කාරුත් තුක් විතරක් , කාරයේ හිමි කරුවාගේ මා පියන්ට පින් දීමට නොහැක .එම නිසා කාරය හැදුවන්ගේ මව්පියන්ට පින් දෙමින් කාරය තල්ලු 
කිරීමට පටන් ගතිමි. එය තල්ලු කිරීමට පටන් ගත් කල්හි අපේ අයියාගේ අසමජ්ජාති දුරකථනය අද දිනයේ ප්‍රථම වරට දුන් දඬුවම ආරම්භ කළේය. ඒ ඇමතුමකි ආ ඔව් ඔව් මේ මම එමින් ගමන් තමයි තවත් හෑල්ලක් දෙඩවීම ආරම්භ විය තල්ලු කරන්නට ගත් රිය මාර්ගයේ පොඩි බෑවුම් සහිත පෙදෙසක තිරිංග තද කෙරිනි. අහින්සක චතුරයාද මේ කඩිමුඩියේ මේ ඉලාවටම හේත්තු වී පාරේ කවුරුවත් තල්ලු කරන්න අඬ ගහ ගන්නවත් ඉන්නවාද කියා බලන්නට විය. තත්පර දෙකක් ගත නොවුනි හදිසියේම රථය ගමන් ඇරඹුනි හේත්තු වී සිටි එකා කෙසෙල් ගසක් කපා බිම දැමූ ආකාරයටම පාරේ පතිත විනි. හරියටම නින්දෙන් නැගිට්ටේ දැන්ය. පාරේ තිබ්බ සකල විධ කුනුද දූවිල්ලද කමිසයේය. කාරයේ සිටි එකාද බැසවිත් දූවිලි පිස දමා මා නැගිටුවේය. මරන් කන්නට කෙන්තියක් ආවත් දැන් ඉතින් මොනවා කරන්නද කියා සිතමින් මා කිසිත් නොකීවෙමි. අවසානයේ අයියා ඔහුගේ සියළු සබ්බ සකල මානාවද මගේ බෑගයට පටවමින් කාරයද මඟ නතර කර දමා මාවද බසයක නංවා වැඩට යාම පසෙක ලා ගරාජයකට යන්නට පිටත් විය. 

යන්නට නැගගත් බසයද සුපිරි බස් රථයක්ම විය.එහි සිටි සෝමේ මාමලා දෙන්නාම මුලු ලෝකයටම යන අවසාන බස් රථය එය යයි සිතාදෝ ගමන් මඟෙහි වූ සියළු නැවතුම් වල සියළුම මඟීන් නංවා ගත්තෝය. නැගීමට කැමැත්තක් නැති අයවළුන්ව බලෙන් ඇද දමාගත්තේ නැති එක විතරය. කෙමෙන් කෙමෙන් බස් රථයද ගමනේ මාගේ ගමනේ අවසානයට ලඟා විය. ප්‍රශ්න පත්‍රයට විනාඩි පාලොහක්ම ඒ වනවිට ප්‍රමාද වූ හෙයින් දනි පනි ගා බසයෙන් බැසගත් චතුරයා යුසේන් බෝල්ට් ගේ පිම්මෙන් දුවන්නට විය. මෙච්චර වෙලා යස අගේට ඉඳගෙන හිටපු එකාට මොන මල යකෙක් වැහෙන්නට ඇතිද කියා බසයේ සිටි ඈයෝ කල්පනා කරන්නට ඇත. 

වෙර වීරිය යොදා දුවගෙන විත් වෙනදා විනාඩි දහයක් පමණ ගතවන ගමන තත්පර දහයකින් නිමා කරමින් චතුරයා ලෝකයේ වේගවත් ගමනින් ගමන් කරන හෙවත් විදුලි වේගයෙන් යන  " අප මහා සෝපනයේ " දොර 
වැසීමට ඔන්න මෙන්න තිබියදී විභාග මධ්‍යස්ථානය පිහිටි සයවන මහලට යාම සඳහා එය තුලට රිංගා ගත්තේය. දෙමහලක් පමණ විදුලි වේගයෙන් සෝපානයේ ගමන් ගත් චතුරයාට සෝපානයේ ගමන් ගතහොත් විභාගය සඳහා නැවත එළඹෙන වර්ෂය තෙක් නැවතීමට සිදුවන බව පෙනී ගියෙන් නැවත දෙවන මහලෙන් සෝපානයෙන් බැස පියගැට පෙළ දිගේම දුවගෙන විත් විභාග මධ්‍යස්ථානයේ දොරකඩට වී ශාලා නාම ලැයිස්තුවේ වූ නම් කියවන්නට විය.

  "අ" යන්නෙන් සහ "බ" යන්නෙන් නම පටන් ගන්නවුන් එම විභාග මධ්‍යස්ථානයට එදින සහභාගී වී නොතිබුන හෙයින් චතුරයාට හිමිව තිබුනේ අංක එකයි. චතුරයා විභාග මධ්‍යස්ථානයට ඇතුළු වූවේ  "ආ දැන්ද විභාගයට එන්නේ" යයි කවුරු හරි අසයි යන නියත බයෙනි . නමුත් විභාග මධ්‍යස්ථානය භාරව සිටියේ චතුරයා හොඳින් හඳුනන දේශක වරියකි. ඇය චතුරයාට තිබූ ආසනය දක්වා ප්‍රශ්න පත්‍රයද ගෙනවුත් දී  ප්‍රශ්න පත්‍රයට පිළිතුරු තබා හෝඩියේ අකුරුවත් මතකයට නො එන තත්වයක සිටි චතුරයාට දෙවරක් සුද්ධ සිංහලෙන් "කාම් ඩවුන් " කීයමින් සැනසීමට උත්සාහ කළාය.  චතුරයා මධ්‍යස්ථානයේ අංක එක වූ හෙයින් ලැබී තිබුනේ දේශනා ගාරයක් වූ එම ශාලාවේ උස්ම ස්ථානය වූ වේදිකාවයි. එහි වූ ඩෙස්කුව සහ පුටුව දේශක වරුන්ට ලබා දී තිබූ ඒවාය. එම නිසා ශාලාවේ සිටිය වුන්ට චතුරයාව නව දේශකයානෝ ලෙස පෙනෙන්නට ඇත.

ප්‍රශ්න පත්‍රයට පිළිතුරු වෙන වුන්ට වඩා දෙවරක් වේගයෙන් ලියමින් සිටි චතුරයාට හුරු පුරුදු ජංගම දුරකතනයක නාදය ඇසුනි. චතුරයාට බෑගය දෙස බැලුනේ නිතැතිනි.එවරනම් දේශක තුමියට ටිකක් තරහා ගොස් ටිකක් ඔරවා චතුරයාට "ගෝ ඇන්ඩ් ස්විච් ඉට් ඔෆ්ෆ් " කියා නැවතත් සිංහලෙන් වදාලාය. අනතුරුව චතුරයා බෑගය සොයා යාමට නැඟිට්ට පමණි කකුල මේසයේ පැටලී මේසය සෙලවී ඒ මත වූ චතුරයාගේ පෑන් පැන්සල් සහ ප්‍රශ්න පත්‍රය යන සියල්ලම බිමට පතිත විය. අසල වූ යහළු බාලිකාවන් කිහිප දෙනෙකු කිචි බිචි ගෑවද දේශක තුමියගේ "කාරුණික " බැල්මේ ආනිසන්සයෙන් එය නතර විය. චතුරයා ජංගම දුරකථනය නිවා පැමින යහතින් ප්‍රශ්න පත්‍රය නිම කෙරුවේය.ඊළඟ වාරය ආවේ පිළිතුරු පත්‍රය බාර දීමටයි. වැඩි සැලකිල්ලට ප්‍රථමයෙන්ම පිළිතුරු පත්‍ර බාර ගැනීමට චතුරයා ළඟට පැමිණි දේශක තුමියට චතුරයා ප්‍රශ්නපත්‍රය ආසනයෙන් නැඟිට භාර දීමට ගියේය. කළින්වරද චතුරයාගේ කකුලේ පැටළුනු ඒ විනාශකාරී ඩෙස්කුවේ කැඩුන ලී කැබැල්ල මෙවර චතුරයාගේ සපත්තුවේ හොඳින් පැටලී තිබින. නැඟිටීමට ගිය චතුරයා හොඳින් ඩෙස්කුවද පෙරලාගෙන වේදිකාවෙන් බිමටම ,දවසේ දෙවන වරටත් බිමට පතිත විය. 

විපතක මහත, එවරනම් දේශක තුමියගේ බැල්ම ගණනකටවත් නොගත් බාලිකාවෝ බෙරිහන් දී සිනාසුනහ. කවුරු කළාද යන්න දැක්කේ නැතත් ශාලාවේ පසුපසින් විසිල් නාදයක්ද ඇසිනි.නමුත් දුකට සැපට එකට සිටින 
චාලියා පැමිණ චතුරයාට උදවු කළේය. ඒ විභාගය එසේ නිමා වුවද සවසද තවත් විභාගයකට මුහුණ දීමෙන් පසු අවසන් වසර සිසුන් සඳහා වූ වැඩමුළුවකට සිසුන් මදි වී ඇතැයි කියා චාලි ගොයියා කී නිසාවෙන් දුකට සැපට සනී චාලි ගොයියාගේ ඉල්ලීම අහක නොදා එයට සහභාගී වීමට තීරණය කළෙමි. 

චාලි ගොයියාගේඉල්ලීමට ආවද එය ඉතා ඵලදායී එකක් විය. සිසුන්ට අධ්‍යාපන කටයුතු වලට බාධා නොවන අයුරින් "නිල් කැබලි " ආයතන කිහිපයක ප්‍රධාන පෙළේ නිළදාරීන් විසින් මෙහෙය වූ එය ආරම්භ වූයේ හවස 
හතරටය. කෙසේ හෝ එය රාත්‍රී නවය දක්වා දීර්ඝ විය. දේශනයන් ඉතාමත් ලෙස සිත් ඇඳගන්න වූ නිසාවෙන් චතුරයාට එය දමා ඒමට කිසි සේත් සිත් නොවීය.බලෙන් වගේ චතුරයාව මේකට ඇදගෙන ගිය චාලි ගොයියාට 
රාත්‍රී අට පමණ වන විට ගෙදර යාමේ කඩි කුලප්පුවක් සෑදින. එතැන් පටන් ඔහු "අඩේ මචාන් වරෙන් බන් යන්න" කියා  දන්න එකම සිංහල පද පේළිය කියමින් චතුරයාට කන්නලව් කරන්නට විය. නමුත් චතුරයා එළියට ආවේ දේශනය නිම වී නමයයි තිහට පමණය. ඒ වනතුරු චාලි ගොයියා සිංහල භාශාවේ දන්න සියළු දෑ යොදමින් චතුරයා ආමන්ත්‍රණය කරන්නට විය.චාලි ගොයියාගේ සිංහල භාශාව සහ චාලි ගොයියා ගැන සටහනක් පසුවට තබමි. බස් නැවතුමට නමයයි තිහට ආ චතුරයාට ගෙදර යාමට බසයක් පැමිණියේ රාත්‍රී දහයට පමණය. රාත්‍රී එකොලහ වන විට පමණ බසයෙන් බැස ගත් චතුරයා ගෙදර යනවිට හතර වරිගයම චතුරයා හොයන්න යන්නට සූදානම්ය. විභාග ශාලාවේදී ක්‍රියා විරහිත කර දැමූ  ජංගම දුරකථනය තවමත් එලෙසම බෑගයේ තිබෙන බව චතුරයාට මතක් වූයේ එවිටය.

Picture source : http://www.thisnext.com/tag/fabulous-life  Accessed on 16th July 2011 23.00 [Online ]

චතුර..

Friday, July 8, 2011

නොදැනෙන නොහැඟෙන ප්‍රේමය..






සිතින් සිතකට
පෙම් බැන්ඳත්
සිතක් පුරා
ඒ සිතට සිතුම් පිරුවත්
දහසක් සිතුවිලි මල්
සිතේ පිපුනත්
හදින් හදකට ලං වූවත්
හද පුරා පැතුම් මල්
පීදුනත්
හද බැඳි දේ දහසක් වුවත්
එහි ඇති පල කිම
එයින් එකකුදු
ඔබෙ ඔය දැඩි හිතට
රළු හදට
නොදැනේ නම්
නොහැගේ නම්


Picture source : http://www.artween.com/Artists/Debora-Laura-Campobasso/Artworks/Impossible-Love Accessed 08th July 2011 20.30 [Online]


චතුර

Thursday, July 7, 2011

හුදකලා ප්‍රේමය


හැමදා ඒක පාර්ශවිකවූ
නමුත් කෙටි කලෙක සිට
ද්වී පාර්ශවීය වූ
අන්ධකාර ලෝකයේ
අහු මුළු සොයමි මම එළියට එන්නට
ඔබ වැරදි කළත්
මම වැරදි කළත්
අවසානයේ මම දොස් අසන
මරණයට කැප වූවන්ගෙන්ද
අසන නිදොස් බව
කිසිදිනෙක ඔබ මගෙන් ඇසුවේද කියනු මැන
දැනේ මට වෙනසක්
සිතේ සිතුවිල්ලකි එය
ඉඩ නොදෙනු වස් එයට
දුනිමි ඔබහට දඬුවමක්
සැමදා මගේ දොස් දකින ඔබ මෙ ලෙසින්
සිතන්නට මගේ සිත පෙලැඹුනේ මේ ලෙසින්
නාමයට ද්වීපාර්ශවද
පෙම් කරනුයේ මා පමණද
නොතිබේද ඔබ සිතේ
මා කෙරේ
ප්‍රේමයක්..


Picture source : http://powerofh.wordpress.com/category/poetry/,  Accessed 07th July 2011 20.30 [Online]

චතුර....

විඳින කළට..


කරන කළට සිතුවද නුඹ
දුකක් දැනෙයි කියා අන් හට
හිතැසි වෙසින් හිඳ
මිතුරු කමක් පා
පාවා දීමට පැමිණි ඔබ
සිතුවද කෙදිනක මෙසේ වෙයි කියා..
වෙනෙකෙකුගේ ජීවිතය
තවෙකෙකුගේ අරමුණක්
ඉෂ්ඨ වීම වලකනු වස්
නොපනත් කම් කළ නුඹ
සිය මතය ප්‍රකට කර
එයම හැර වෙනකක් නැතැයි සිතූ නුඹ
නුඹට පමණක් නුවණැස ඇතැයි සිතූ නුඹ
අනුන් පරදවීමට
තමන් දේ කර ගැනුම පසෙක ලා
උනුන් පා පැටලවීමට ගිය කළැ
සිතුවද නුඹ හට මෙසේ වෙයි කියා..
එකෙකුගේ අහිංසක කම
නිහින කමෙකයි සිතා
උන් තලා පෙළන කළ
දැනුනෙද අනුකම්පාව නුඹ හට
සිනා නොමසෙමි නුඹ හට
වෛර නොකරමි නුඹ හට
නමුත් මම නුඹහට
කරමි උපකාරය
දෙමින් මෙම උපදේශය
නුඹ හට වුන දේ දැක
මතුවට ගෙන එය ආදර්ශය
මෙවන් අවමාන කම්
නොකරනු මින් මතුවට
කෙනෙකු රිදවූවොත්
කෙනෙකුට අවැඩක් කළොත්
සෙවණල්ල මෙන් එහි විපාකය
එනු ඇත ඔබ පසු පසින්..

Picture source : http://www.artquotes.net/artists/mccurry/regret_painting.htm, Accessed 07th July 2011 20.00 [Online]

චතුර....

Friday, July 1, 2011

අවසන් ලියුම..




ජීවිත කාලයක් ඔබ හා එක්ව සිටීමට ඔබගේ දුක සැප විමසීමට ඔබව රැක බලා ගැනීමට අග්නි දළුවක් වටා ගමන් කර මා ඔබට පොරොන්දු වූයෙමි. ජීවිතයේ විවිධ වූ කටුක සමයන් හි ඔබ හා එක්ව සියල්ල සමසේ විඳ දරා ගනිමින් ඔබට මා දැක්වූ ආදරය සත්‍යයකි. නමුදු වයස් ගත වීම හෝ අප කැදැල්ලේ දරුවන් නොමැති වීම හෝ ඔබ අධික ලෙස රෝහලේ රාජකාරීන්ට කැපවූ නිසාවෙන් හෝ පසුකාලීනව අප අතර යම් දුරස් බවක් ඇති විය. ජීවිතයේ එක්ව ගමන් කළ අප දෙදෙනාගේ ඒ බැඳීම අප දෙදෙනා අතින්ම ගිලිහී ගියේ අපටත් නොදැනීමය. 

පසුව ඔබ මා ගැන සොයා බැලීමද මා හට තරමක පීඩාවක් වූයේ මේ වෙන්වීම මසිතෙහි ඇති කළ යම් පසුතැවිල්ලක් බඳු වූ සිතුවිල්ලය.එය පසුතැවිල්ලක්ද එසේත් නැතහොත් මා වරදකාරයෙක් යන හැඟීම මසිතෙහි වූ නිසාවෙන් ජනිත වූ සිතුවිල්ලක්ද යන්න තේරුම් ගැනීමට මුලදී මාහට අපහසු විය. නමුදු කල් යත්ම ඒ මාගේම හෘදසාක්ෂිය මා ඔබට වරදක් කරනවා යන්න නිසා හටගත් සිතුවිල්ලක් බව මා හටම පසක් විය. දැරියක ලෙස අප හමුවට ඉගෙනීමට ආ කුසුම් කලෙකට පසු වැන්ඳඹු මවක් ලෙස සරණාගතයන් සමඟ දූපත් වාසයට පැමිණීමෙන් ඈ කෙරෙහි වූ අනුකම්පාව තවත් තීව්‍ර වන්නට විය. එය ආලයක් බවට පත් වූයේ කෙසේද යන්නත් එම ආලයට මා වාල් වන්නටත් හේතුව අදටත් මට සිතා ගත නොහැක.

හොරේන් නාස්කුර් සමඟ කුසුම් බැලීමට යාමට මා පෙළඹවීමට මූලිකම හේතුව වූයේ මෙම ආගන්තුක ආලය යි මා තදින් විශ්වාස කරමි. ඇයට මා ආලය කළද ඈ පිළිගත්තේ හොරේන් නාස්කුර්ගේ ආලයයි.ඇය ඔහුට ආලය කරනවා යයි දැන දැනත් මා සිතේ ඈ කෙරෙහි වූ ලෙන්ගතුකම අල්පමාත්‍රයකින්වත් අඩුනොවූයේ කෙසේ දැයි මා  නොදනිමි.මෙම ලියවිල්ල ඔබ අතට පත්වන විට බොහෝ විට මා ජීවතුන් අතර සිටිනු නැත.හොරේන් නාස්කුර් ෆෝකීර් රැගෙන ආවත් දූපතෙන් පිටවීමට කිසිසේත්ම කැමැත්තක් නොදක්වන කුසුම් මෙහි තනිකර දමා ඒමට මසිත සූදානම් නැත. මගේ අවසාන හුස්ම පොද වාතලයට මිශ්‍රවනතුරු ඈ සමඟින් සිට ඈ වෙනුවෙන් සටන් කිරීමට මසිත දැන් සූදානම්ය.

මගෙන් වරදක් සිදු නොවූ වගත් එයට මා වග නොකිව යුතු බවත් මම කවදාවත් නොපවසමි. මාකළ වරද වරදක් ලෙස සලකා මා හට සමාව භජනය කරන ලෙසද මා ඔබෙන් නොඉල්ලමි. මෙම ලියමනෙහි මූලික පරමාර්ථය වන්නේ ඔබෙන් සමු ගැනීමයි .හොරේන් ෆෝකීර් සමඟ දූපතෙන් පිට වීමට සූදානම් වෙයි. ඉතින් මා ඔබෙන් සමු ගන්නම් නිලීමා. කවදා හෝ පෙර මෙන් අපට එක්ව සිටීමට ලැබේවා යයි පතමි.

නිර්මාල්..

Hungry Tide by Amitav Gosh ඇසුරෙනි.

Image Source :  http://rohinimitra.blogspot.com/2010/07/partitioned-tigera-study-of-amitav.html Accessed 1st of July 2011 7.33 PM [Online]

චතුර.... ( කැන්ඩි )

කැන්ඩිගේ මතක අහුර වෙනස් වූ වගයි..






පාඩම් සහ ව්‍යාපෘති වැඩ කටයුතු එක්ක ටිකක් හිර වෙලා හිටියත්, ටිකක් නෙවෙයි දැන් නම් ගොඩාක් හිරවෙලා හිටියත් ඒ දේවල්ම විතරක් කර කර ඉන්න අමාරු නිසා මාස දෙකකට විතර පස්සේ මම බ්ලොගයට ගොඩ වදින්න තීරණය කළා. දැන් කවුරුවත් අහන්න යන්න එපා මම විභාගයට ව්‍යාපෘතියට භාර දෙන්න යන්නේ බ්ලොග් එකේ මේ පෝස්ට් එකද කියලා? දැනටමත් දැන් කර කර ඉන්න වැඩේ මොකක්ද කියලා දැකපු එක්කෙනෙක් මගෙන් ඔය දේ ඇහුව්ව. ඒත් ඉතින් හැම වෙලාවේම ඔය දේවල් කර කර ඉන්න බැරි නිසා තමයි මම මාස දෙකක් තුරාවට පැත්ත පළාතටවත් ආවේ නැති බ්ලොගය පැත්තට ගොඩ වදින්න හිතුවේ.


කාලෙකින් ලිව්වේනැති නිසා ලියන්න දේවල් නම් ගොඩක් හිතේ තියෙනව, ඒත් ඒ දේවල් ලියන්න කළින් මම කාලෙක පටන් කරන්න කියලා හිතාගෙන හිටපු තවත් දෙයක් ඉස්සෙල්ලම කරන්න ඕනේකියලා හිතුන නිසා ඒකට මුල් තැන දෙන්න තීරණය කළා. ඒ තමයි මම කාලෙක පටන් බ්ලොග් ලියන නම වෙනස් කරන එක. බ්ලොග් අවකාශයේ වැඩිය ජනප්‍රිය නොවුනත් දන්න කියන හැමකෙනාම මගේ බ්ලොග් අඩවිය හඳුනන්නේ කැන්ඩිගේ මතක අහුර සහ මම කැන්ඩි ලෙස.

මුලින්ම කැන්ඩි කියන නමින් මම බ්ලොග් එක පටන් ගන්න තීරණය කළේ මට පාසල් කාලයේ සියළුම යාළුවෝ කතා කළේ කැන්ඩි කියන නමිනුයි, ඒ මම නුවර පාසලක ඉඳලා නාලන්දයට ඇතුලත් වුන නිසයි, අදටත් පාසල් කාලයේ මිතුරන් චතුරට වඩා අඳුරන්නේ කැන්ඩිවයි.  නමුත්කාලෙක පටන් මට හිතිලා තිබුන දෙයක් තමයි මගේම අනන්‍යතාවයෙන් මගේ අඩවිය ලියන්න පටන් ගන්න ඕනේ කියන එක, ඒකට පැහැදිලිවම හේතුවක් කියන්න බැරිවුනත් ගොඩාක් කාලෙක ඉඳලා මට ලැබුන සමහර කමෙන්ටු සහ විවිධ දේ නිසා මට මේ දේ හිතුනා කියලා කියන්නත් පුළුවන්. ලියපු සමහරදේවල් සමහර වෙලාවට ලියපු ආකාරයෙන් නැතුව වෙනත් වෙනත් ආකාරයන්ගෙන් තේරුම් අරගෙන ඒවාට ඒ ඒ ආකාරයේ මත පළ කරන්නත් ඒ නම හේතු වෙන්න ඇති කියලා මට හිතුන නිසාවෙන් තමයි මම මගේම අනන්‍යතාවයකින් ලියන්න පටන් ගන්න හිතුවේ.ඒක නිසා මම මගේ ඇත්ත නම ඒකියන්නේ මට අම්මයි තාත්තයි දීපු නමින්ම මගේ අනන්‍යතාවය පවත්වන් යන්න  තීරණය කළේ.

විශේෂ හේතුවක් නැති වුනත් මේක මට හිතුන නිසා කරපු දෙයක් කියලා කියන්න මම ගොඩක් කැමතියි, මොකද මේකත් යම් දෙයකට බයේ කරපු දෙයක් කියල සහ වෙනත් කෙනෙකුට තවත් වෙනත් අදහසක් ඇතුව තේරුම් යන්නත් ඉඩක් තියෙන්න පුළුවන්. ලියන සමහර දේවල් වල සියළු තොරතුරු දෙන්න බැරිවුනහම එක් එක් අය ඒදේ කියවලා තමන්ගේ බුද්ධි මට්ටමට අනූවයි තේරුම් ගන්නේ.ඒක මට පැහැදිලිවුනේ අවසානයට ලිව්ව පොස්ට් කිහිපයෙන් එකකට ආපු අමුතුම අර්ථකථනයක් සහිත කමෙන්ටුවක් නිසයි,එක් එක් පුද්ගලයාගේ සිතන පතන විදිය වෙනස් කරන්න මට බැරි වුනත් ඒ දේවල් ඒ ඒ ආකරයෙන් හිතන්නට තුඩුදුන්න හේතු නැති කළහම ඒ ඒ දෙයෙහි ඇති සත්‍ය ඒ ඒ ආකාරයෙන් පෙනෙයි කියලා හිතන නිසා මම මේ නම වෙනස් කිරීම කරන්න හිතුවෙ.
 
නම වෙනස් කළත් ලියන්නේ මමම නිසා "වෙනදා වගේ මේ පැත්තේ ආව " ගිය නමින් පමණක් අහලා තියෙන දැකලා නැති ඒත් හොඳ යහළු බැම්මක් තියෙන මම ලියන දේ ගැන අදහස් කියන මගේ බ්ලොග් යහළුවෝ දෙතුන් දෙනා මාත් එක්ක ඉඳියිකියලා මම හිතන ගමන් තමයි මේ වෙනසට මුල පුරන්නේ..

මම රචනා කරපු අනෙක් සියළුම අඩවි වලත් නම් වෙනස් වෙන්නේ මේ විදියටයි.

කැන්ඩිගේ මතක අහුර = චතුරගේ මතක අහුර..
කැන්ඩිගේ තොරතුරු තාක්ෂණ පන්තිය = චතුරගේ තොරතුරු තාක්ෂණ සිප්සල..
කැන්ඩිගේ ඇසින් = චතුරගේ තෙවැනි ඇසින්.......
The Story of Candy = The Story of Chathura..

Picture Source : http://www.flowcrete.com/OurNews/Flowcrete_Launch_New_Flooring_Website.aspx Accessed on 01 st July 2011, 11.22 AM  [Online]





චතුර....( කැන්ඩි )