Saturday, July 16, 2011

වාසනාවන්ත එදින..



අවසානයේ පුල පුලා බලා සිටි එම දිනය උදා විය.ඒ මගේ අභාග දිනය හෙවත් විභාගයේ අවසාන දිනය වන අද දිනයයි. වෙනදාටත් කළියෙන් නැඟිට ගත් අම්මාද "ඔයාට අදත් විභාගේ නේද..?"  කියා ඇසුවාය, "හ්ම්ම්ම්" 
ඊයේත් හවස් වනතුරුම පන්තියකට සහභාගී වී පැමිණි නිසාවෙන් අදනම් විභාගෙට නොගිහින් නිදා ගන්න තිබ්බ නම් කොච්චර සනීපද කියා සිතමින් මම ඇඳෙන් නැඟිට්ටෙමි. "අද අයියා එක්ක යන්න එතකොට ලේසියිනේ නේද..?"  අම්මා නැවතත් අසයි." හා.." 

 පොඩ්ඩෝ ඔයා යන වෙලාවට යන්න නම් බෑ මම යනවෙලාවට යන්න ඔයත් ලෑස්ති වෙන්න මම ඔයාව ගෙනිහින් දාන්නම්, දැන් ඉතින් ඔතන මාව කන්න  වගේ ඉන්නේ නැතුව යනවා ගිහින් ලෑස්ති වෙලා එනවා මම යන වෙලාවට යන්න ඕනේ..හා හා අනේ මෙහෙමත් කරුමයක් මම යන විදියට ගියානම් ඉවරයි කියා සිතුනත් කන් කරච්චලයෙන් ගැලවීමට නියමිත වේලාවට ඉඟිලි රාජකාරී පුටුවේ වසන අපේ අයියා රත්නයට හිතින් බැන බැන ලෑස්ති වුනෙමි. 

ඔය විභාගෙට යන මනුස්සයා යන්නේ අදද හෙටද කියලා අහන්ටෝ..  මෙහෙමත් මල කරුමයක් තවත් ඉවරයක් නෑ යන් යන්  කියමින් අපේ අයියාගේ සෝභන සෝමාරී කිරි කිරි රථයට ගොඩ වුනෙමි.වෙනදා මෙන් නොව අයියාගේ රථයේ සිහිල් සුලන් රැලි ගත දැවටෙමින් මඟ දුරක් ආවෙමු.අමුතු ශබ්දයක්ද කර ගන්ඳයක්ද නන්වමින් අයියාගේ සෝභන කරත්තය ප්‍රථම වතාවට මඟ ඇන හිටුනි. අහෝ විපතක මහත.වාහන කුරුටු ගෑමේ ශිල්පයේ අති දක්ශයෙක් වන අයියා දන්න වැඩ කෑලි සියල්ලමද සියළුම ශිල්පයන්ද පාමින් මේ බඩකඩිත්තුව පණ ගැන්වීමට තැනුවේය, නමුත් අවසානයේ මේක බාස් කෙනෙක් ගෙන්නලා මිසක් හදන්න බෑ අපි මේක දාල ත්‍රී වීලර් එකක් ගෙන්නගෙන පාරට යමු කියා කීවේය. හාකෝ ඉතින් යමු යමු. මේක පාරේ දාල යන්න බෑ අර පල්ලෙහා තියෙන ගේ අයිනටවත් තල්ලු කරලා දාලා යන් , පල්ලමනේ පොඩි තල්ලුවක් දුන්නම ඇති.. 

හාකෝ නිදිමත විභාග මත පෙර දින මහන්සිය සමඟ තල්ලු කරහල්ලකො කාරුත් තුක් විතරක් , කාරයේ හිමි කරුවාගේ මා පියන්ට පින් දීමට නොහැක .එම නිසා කාරය හැදුවන්ගේ මව්පියන්ට පින් දෙමින් කාරය තල්ලු 
කිරීමට පටන් ගතිමි. එය තල්ලු කිරීමට පටන් ගත් කල්හි අපේ අයියාගේ අසමජ්ජාති දුරකථනය අද දිනයේ ප්‍රථම වරට දුන් දඬුවම ආරම්භ කළේය. ඒ ඇමතුමකි ආ ඔව් ඔව් මේ මම එමින් ගමන් තමයි තවත් හෑල්ලක් දෙඩවීම ආරම්භ විය තල්ලු කරන්නට ගත් රිය මාර්ගයේ පොඩි බෑවුම් සහිත පෙදෙසක තිරිංග තද කෙරිනි. අහින්සක චතුරයාද මේ කඩිමුඩියේ මේ ඉලාවටම හේත්තු වී පාරේ කවුරුවත් තල්ලු කරන්න අඬ ගහ ගන්නවත් ඉන්නවාද කියා බලන්නට විය. තත්පර දෙකක් ගත නොවුනි හදිසියේම රථය ගමන් ඇරඹුනි හේත්තු වී සිටි එකා කෙසෙල් ගසක් කපා බිම දැමූ ආකාරයටම පාරේ පතිත විනි. හරියටම නින්දෙන් නැගිට්ටේ දැන්ය. පාරේ තිබ්බ සකල විධ කුනුද දූවිල්ලද කමිසයේය. කාරයේ සිටි එකාද බැසවිත් දූවිලි පිස දමා මා නැගිටුවේය. මරන් කන්නට කෙන්තියක් ආවත් දැන් ඉතින් මොනවා කරන්නද කියා සිතමින් මා කිසිත් නොකීවෙමි. අවසානයේ අයියා ඔහුගේ සියළු සබ්බ සකල මානාවද මගේ බෑගයට පටවමින් කාරයද මඟ නතර කර දමා මාවද බසයක නංවා වැඩට යාම පසෙක ලා ගරාජයකට යන්නට පිටත් විය. 

යන්නට නැගගත් බසයද සුපිරි බස් රථයක්ම විය.එහි සිටි සෝමේ මාමලා දෙන්නාම මුලු ලෝකයටම යන අවසාන බස් රථය එය යයි සිතාදෝ ගමන් මඟෙහි වූ සියළු නැවතුම් වල සියළුම මඟීන් නංවා ගත්තෝය. නැගීමට කැමැත්තක් නැති අයවළුන්ව බලෙන් ඇද දමාගත්තේ නැති එක විතරය. කෙමෙන් කෙමෙන් බස් රථයද ගමනේ මාගේ ගමනේ අවසානයට ලඟා විය. ප්‍රශ්න පත්‍රයට විනාඩි පාලොහක්ම ඒ වනවිට ප්‍රමාද වූ හෙයින් දනි පනි ගා බසයෙන් බැසගත් චතුරයා යුසේන් බෝල්ට් ගේ පිම්මෙන් දුවන්නට විය. මෙච්චර වෙලා යස අගේට ඉඳගෙන හිටපු එකාට මොන මල යකෙක් වැහෙන්නට ඇතිද කියා බසයේ සිටි ඈයෝ කල්පනා කරන්නට ඇත. 

වෙර වීරිය යොදා දුවගෙන විත් වෙනදා විනාඩි දහයක් පමණ ගතවන ගමන තත්පර දහයකින් නිමා කරමින් චතුරයා ලෝකයේ වේගවත් ගමනින් ගමන් කරන හෙවත් විදුලි වේගයෙන් යන  " අප මහා සෝපනයේ " දොර 
වැසීමට ඔන්න මෙන්න තිබියදී විභාග මධ්‍යස්ථානය පිහිටි සයවන මහලට යාම සඳහා එය තුලට රිංගා ගත්තේය. දෙමහලක් පමණ විදුලි වේගයෙන් සෝපානයේ ගමන් ගත් චතුරයාට සෝපානයේ ගමන් ගතහොත් විභාගය සඳහා නැවත එළඹෙන වර්ෂය තෙක් නැවතීමට සිදුවන බව පෙනී ගියෙන් නැවත දෙවන මහලෙන් සෝපානයෙන් බැස පියගැට පෙළ දිගේම දුවගෙන විත් විභාග මධ්‍යස්ථානයේ දොරකඩට වී ශාලා නාම ලැයිස්තුවේ වූ නම් කියවන්නට විය.

  "අ" යන්නෙන් සහ "බ" යන්නෙන් නම පටන් ගන්නවුන් එම විභාග මධ්‍යස්ථානයට එදින සහභාගී වී නොතිබුන හෙයින් චතුරයාට හිමිව තිබුනේ අංක එකයි. චතුරයා විභාග මධ්‍යස්ථානයට ඇතුළු වූවේ  "ආ දැන්ද විභාගයට එන්නේ" යයි කවුරු හරි අසයි යන නියත බයෙනි . නමුත් විභාග මධ්‍යස්ථානය භාරව සිටියේ චතුරයා හොඳින් හඳුනන දේශක වරියකි. ඇය චතුරයාට තිබූ ආසනය දක්වා ප්‍රශ්න පත්‍රයද ගෙනවුත් දී  ප්‍රශ්න පත්‍රයට පිළිතුරු තබා හෝඩියේ අකුරුවත් මතකයට නො එන තත්වයක සිටි චතුරයාට දෙවරක් සුද්ධ සිංහලෙන් "කාම් ඩවුන් " කීයමින් සැනසීමට උත්සාහ කළාය.  චතුරයා මධ්‍යස්ථානයේ අංක එක වූ හෙයින් ලැබී තිබුනේ දේශනා ගාරයක් වූ එම ශාලාවේ උස්ම ස්ථානය වූ වේදිකාවයි. එහි වූ ඩෙස්කුව සහ පුටුව දේශක වරුන්ට ලබා දී තිබූ ඒවාය. එම නිසා ශාලාවේ සිටිය වුන්ට චතුරයාව නව දේශකයානෝ ලෙස පෙනෙන්නට ඇත.

ප්‍රශ්න පත්‍රයට පිළිතුරු වෙන වුන්ට වඩා දෙවරක් වේගයෙන් ලියමින් සිටි චතුරයාට හුරු පුරුදු ජංගම දුරකතනයක නාදය ඇසුනි. චතුරයාට බෑගය දෙස බැලුනේ නිතැතිනි.එවරනම් දේශක තුමියට ටිකක් තරහා ගොස් ටිකක් ඔරවා චතුරයාට "ගෝ ඇන්ඩ් ස්විච් ඉට් ඔෆ්ෆ් " කියා නැවතත් සිංහලෙන් වදාලාය. අනතුරුව චතුරයා බෑගය සොයා යාමට නැඟිට්ට පමණි කකුල මේසයේ පැටලී මේසය සෙලවී ඒ මත වූ චතුරයාගේ පෑන් පැන්සල් සහ ප්‍රශ්න පත්‍රය යන සියල්ලම බිමට පතිත විය. අසල වූ යහළු බාලිකාවන් කිහිප දෙනෙකු කිචි බිචි ගෑවද දේශක තුමියගේ "කාරුණික " බැල්මේ ආනිසන්සයෙන් එය නතර විය. චතුරයා ජංගම දුරකථනය නිවා පැමින යහතින් ප්‍රශ්න පත්‍රය නිම කෙරුවේය.ඊළඟ වාරය ආවේ පිළිතුරු පත්‍රය බාර දීමටයි. වැඩි සැලකිල්ලට ප්‍රථමයෙන්ම පිළිතුරු පත්‍ර බාර ගැනීමට චතුරයා ළඟට පැමිණි දේශක තුමියට චතුරයා ප්‍රශ්නපත්‍රය ආසනයෙන් නැඟිට භාර දීමට ගියේය. කළින්වරද චතුරයාගේ කකුලේ පැටළුනු ඒ විනාශකාරී ඩෙස්කුවේ කැඩුන ලී කැබැල්ල මෙවර චතුරයාගේ සපත්තුවේ හොඳින් පැටලී තිබින. නැඟිටීමට ගිය චතුරයා හොඳින් ඩෙස්කුවද පෙරලාගෙන වේදිකාවෙන් බිමටම ,දවසේ දෙවන වරටත් බිමට පතිත විය. 

විපතක මහත, එවරනම් දේශක තුමියගේ බැල්ම ගණනකටවත් නොගත් බාලිකාවෝ බෙරිහන් දී සිනාසුනහ. කවුරු කළාද යන්න දැක්කේ නැතත් ශාලාවේ පසුපසින් විසිල් නාදයක්ද ඇසිනි.නමුත් දුකට සැපට එකට සිටින 
චාලියා පැමිණ චතුරයාට උදවු කළේය. ඒ විභාගය එසේ නිමා වුවද සවසද තවත් විභාගයකට මුහුණ දීමෙන් පසු අවසන් වසර සිසුන් සඳහා වූ වැඩමුළුවකට සිසුන් මදි වී ඇතැයි කියා චාලි ගොයියා කී නිසාවෙන් දුකට සැපට සනී චාලි ගොයියාගේ ඉල්ලීම අහක නොදා එයට සහභාගී වීමට තීරණය කළෙමි. 

චාලි ගොයියාගේඉල්ලීමට ආවද එය ඉතා ඵලදායී එකක් විය. සිසුන්ට අධ්‍යාපන කටයුතු වලට බාධා නොවන අයුරින් "නිල් කැබලි " ආයතන කිහිපයක ප්‍රධාන පෙළේ නිළදාරීන් විසින් මෙහෙය වූ එය ආරම්භ වූයේ හවස 
හතරටය. කෙසේ හෝ එය රාත්‍රී නවය දක්වා දීර්ඝ විය. දේශනයන් ඉතාමත් ලෙස සිත් ඇඳගන්න වූ නිසාවෙන් චතුරයාට එය දමා ඒමට කිසි සේත් සිත් නොවීය.බලෙන් වගේ චතුරයාව මේකට ඇදගෙන ගිය චාලි ගොයියාට 
රාත්‍රී අට පමණ වන විට ගෙදර යාමේ කඩි කුලප්පුවක් සෑදින. එතැන් පටන් ඔහු "අඩේ මචාන් වරෙන් බන් යන්න" කියා  දන්න එකම සිංහල පද පේළිය කියමින් චතුරයාට කන්නලව් කරන්නට විය. නමුත් චතුරයා එළියට ආවේ දේශනය නිම වී නමයයි තිහට පමණය. ඒ වනතුරු චාලි ගොයියා සිංහල භාශාවේ දන්න සියළු දෑ යොදමින් චතුරයා ආමන්ත්‍රණය කරන්නට විය.චාලි ගොයියාගේ සිංහල භාශාව සහ චාලි ගොයියා ගැන සටහනක් පසුවට තබමි. බස් නැවතුමට නමයයි තිහට ආ චතුරයාට ගෙදර යාමට බසයක් පැමිණියේ රාත්‍රී දහයට පමණය. රාත්‍රී එකොලහ වන විට පමණ බසයෙන් බැස ගත් චතුරයා ගෙදර යනවිට හතර වරිගයම චතුරයා හොයන්න යන්නට සූදානම්ය. විභාග ශාලාවේදී ක්‍රියා විරහිත කර දැමූ  ජංගම දුරකථනය තවමත් එලෙසම බෑගයේ තිබෙන බව චතුරයාට මතක් වූයේ එවිටය.

Picture source : http://www.thisnext.com/tag/fabulous-life  Accessed on 16th July 2011 23.00 [Online ]

චතුර..

Reactions:

3 comments:

උඹ වැරදි වෙලාවක ගෙදරින් එලියට බහින්න ඇත්තෙ. කොහොම හරි කමක් නෑ යහතින් ගෙදර ආවනෙ.

එහෙම වෙන්ටැති..
මේ පැත්තේ ආවට ස්තුතියි..

චතුරයාටත් පුදුම වැඩ තමයි වෙන්නේ.
මාත් දවසක් පරන කාර් එකක් තල්ලු කලා මතකයි. ඒ උපලනේ ඉදලා කොත්මලේ පාර ගාවට. මේ හොදයි. මම් තල්ලු කරේ කන්දක් උඩට. අම්මෝ මාරම අමාරුවක් තමයි තිබ්බේ. අන්තිමේදි ස්ටාර්ට් වෙන්නේ නෑ කියලා පාරේ පැත්තක නවත්තලා තිබ්බා.

Post a Comment