Showing posts with label කෙටිකතා... Show all posts
Showing posts with label කෙටිකතා... Show all posts

Wednesday, August 3, 2011

සිරිමතී....


"අම්මේ මගේ කකුල් රිදෙනවා "පුංචි සහන් නගන මැසිවිල්ල නිසාවෙන් සිරිමතී දරුවාට කිසිත් නොකියා දරුවාව වඩා ගෙන උරෙහි තිබූ බෑඅගයද අනෙක් උරයට දමාගෙන බස් නවතුම කරා එන්නට පිටත් වූවාය.පෙරපාසල් වියේ යන දරුවෙක් වූවත් උසුලන දුක් කන්දරාව නිසාදෝ ඇයට දරුවාගේ බරක් නොදැනුනි. මහත්තයා "මහත්තයා මීගොඩට යන බස් නවත්තන්නේ කොහෙද?"ඇය තමන් මෙන් බොරැල්ල දෙසට ගමන් කරමින් සිටි තලතුනා පෙනුමැති මහත්මයෙකුගෙන් විමසා සිටියාය."ඔහොම යන්න , ගියාම උමං මාර්ගය හම්බ වෙයි ඇතුලෙන් වම් පැත්තට හැරෙන්න  කොටා පාර කියන බෝඩ් එක බලන්න" කරුණාවන්ත බැල්මක් හෙලූ එම පුද්ගලයා නැවත හැරී ගමන් කරන්නට විය. එතුමාට පින්සිද්ධ වෙන්න ඕනේ. අද දවසට මට එකම එක වචනෙකින්වත් කරුණාවෙන් කතා කලේ ඒ මහත්තයා,සිරිමතී ගේ සිත කියයි..

සැමියා හැරගොස් සිටින සිරිමතී තම පාසල් යන දියණියත් පස් හැවිරිදි පුතුත් රැක බලා ගත්තේ වත්තක කිරි කැපීමෙන්ය. දියණිය පාසල් ගොස් එනතුරා සිය කුඩා පුතු අසල පෙරපාසලෙන් පැමිණි පසු ඔහුත් සමඟ කිරිමිදවීමේ කාර්‍යයට සවස දෙක පමණ වනතෙක් හවුල් වන ඇය සවස් වරුව වතු හිමියාගේ නිවසේ වැඩ පලට උදව් වන්නීය.සහන්ට හදිසියේම සහලවල උණ ගත් නිසාවෙන් අසල්වැසි කාන්ති කියා සිටියේ "නංගියේ මොන උණක්ද දන්නේ නෑනේ අනේ ඉක්මනට ළමා රෝහලට අරන් පලයන්"  කියාය. උදේ රැයින්ම අවදිව සිය කිරිකට්ටියේ වැඩ නිමකළ ඇය සිය දියණියද පාසලට ඇරලවා වතු හිමි වික්ටර් මහත්මාගේ නිවසට ගියේ ඇයට සවස වඩට ඒමට නොහැකි වේ යයි පැවසීමටය. වික්ටර් මහතා නම්  දරු දෙදෙනා කෙරේ අනුකම්පා කරන නිසාවෙන් ඇයට කුමක් වත් කියනු නැතැයි ඇය සිතුවාය. ඇය යනවිට වික්ටර් මහතා නිවසේ සිටියේ නැත. සිටියේ වික්ටර් මහතාගේ නෝනාය. "නෝනා මේ පොඩි එකාට සනීප නෑ මම මේ  නෝනා වාට්ටුවටවත් ගෙනිහින් බලන්න කියලා" ඇය සිය කාරණාව නෝනා ඉදිරියේ දිග හැරියාය. "අනේ මංද උඹලට පිච්චිය නැති උනාට  යන්න ඕනේ කොළඹ රටේ " නෝනා ගත් කටටම එසේ කීවාය, එමලින් දැන් වයසක එකී , ඒකි කෝමද මේ වැඩ ටික තනියම කර ගන්නේ..? නෝනා තවත් ගෝරනාඩුවය. "අනේ නෝනො එහෙම කියන්න එපා , මට ඉන්නේ ඉතින් මුන් දෙන්න විතරනේ, කාන්ති අක්කා කිරි ටික අකුලලා  ගෙනත් දෙයි " කඳුළු පිරුණ දෙනෙතින් බැගෑපත්ව කීවාය. "මම දන්නේ නෑ ඉක්මනට වරෙන් හවස් වෙන්න කලින් " ඇය නෝනාගේ ස්වරය තවත් ටිකකින් "උඹ යන්න ඕනේ නෑ"කීමට කලියෙන් ඉක්මන් ගමනින් පිටත් වූවාය.

"දඩාස්" කොහෙ බලාගෙනද ගෑනියේ යන්නේ..? තව ටිකෙන් මගේ අම්බ්‍රෙල්ල එකත් කැඩෙනවා.." ලස්සන නෝනා කෙනෙකු රලු වචන වලින් නැවතත් ඇයට දමා ගැසුවාය. අනේ නෝනා මට සමා වෙන්න මම වෙන කල්පනාවක ආවේ නැවතත් ඇය උරුම බැගෑපත් ස්වරයෙන් කීවාය සිරිමතීගේ ඉහේ සිට දෙපතුලටම කෝපාවිෂ්ඨ බැල්මක් හෙළු ඇය මොහොතකදු තම ගමන පමා නොවීමට ඉඩ නොදී  යන්නට ගියාය. බස් නැවතුමට එන තෙක්ද ඇයට සිහි වූයේ රෝහලේදීත් "තමන්ගේ දරුවා මෙහෙමද බලා ගන්නේ , තමන්ගේ දරුවා මීට වඩා පරිස්සමෙන් බලාගත්තොත් හොඳයි කියා දොස්තර මහත්වරුන්ද ඇයට දොස් නැගූ ආකාරයයි".

"අසරණ මම වෙන මොනවා කරන්නද දෙයියනේ..?" නැවතත් ඇය සුසුමක් හෙලමින් බසයක්  ඒදැයි බැලුවාය.. බසයකට මඟ බලමින් උන්නද නැවත කල්පනා ලෝකයේ සිටි ඇයගේ සිතුවිලි දැහැන  බිඳුනේ  අසල නැවතුනු බසයේ කොන්දොස්තරගේ හඬිනි. රාජගිරිය , බත්තරමුල්ල මාලඹේ අතුරුගිරිය මීගොඩ මීගොඩ  මීගොඩ ..බසයට නැඟුන ඇය හෙමින් හෙමින් බසයේ ඉදිරියට ගියාය, සමහරු දරුවාත් කර පින්නාගෙන සිටින ඇය දුටු විට ඉවත බලා ගත්තෝය, සමහරු  නිඳි කිරා වැටුනෝය, සමහරු මේ මොන මල කරදරයක්ද කියා මෙන් ඔරවා බැලුවෝය, කමක් නෑ මට මේ දුර ආවනම් දරුවත් අරන් හිටගෙන යන්න බැරි කමක් නෑ ඇගේ සිත ඇයටම කියයි. "ඔය දරුවත් එක්ක ඉන්න අක්කට කවුරු හරි සීට් එකක් දෙන්න" , කොන්දොස්තර බසයේ පිටුපස සිට මොර දුන්නත් සිරිමතීට අසුනක් පිරි නමන්නට කෙනෙක් ඉදිරිපත් වූයේ නැත. අවසානයේ බසයේ ඉදිරිපස අසුනකට වන්නට හිඳගෙන සිටි තරුණ මහතෙක් කාරුණික සිනහවක් පාමින් ඇයට අසුන පිරි නැමුවේය.

ටිකට්ස් ටිකට්ස් නැවතත් කොන්දොස්තර හඬ තලයි. බසය ටික දුරක් ගිය පසු නින්ඳේ හුන් සහන් අවදි විය, "අම්මේ මට ඕක් වගේ" වේදනා බර මුහුණින් දරුවා කීවේය , දෙයියනේ මම සිලි උරයක්වත් දාගෙන ආවේ නෑනේ, ඇය නැවතත් සැක හර දැන ගැනීමට සිය මල්ලට අතදා බැලුවාය,එකදු සිලි උරයක් නැත. අසුනේ අනෙක් පස හිඳසිටියේ තරුණ ගැහැනු ළමයෙකි. ඇයට සිරිමතී පිළිබඳ වගක්වත් නැත , කනේ ඉයර් ෆෝනයක් ගසා ගෙන කවුළුවෙන් ඉවතබලා  සිටි ඇය තමා දෙස හැරී බැලූ එකම වතාව වූයේ නින්දේ සිටි සහන්ගේ පය ඇයගේ ඇඟේ වැදුන අවස්ථාවයි. "නෝනා දරුවට වමනේ යන්න එනවලු, මට පොඩ්ඩක් වීදුරුව අයින දෙනවද නෝනා ළමයට වමනේ කරවන්න", දෙවරක්ම මෙසේ පැවසූ නමුත් යුවතිය වැරදීමකින්වත් සිරිමතී දෙස නොබැලුවාය, ඇය තවමත් සංගීතයට හෝ රේඩියෝවට කන් දෙමින් කවුළුවෙන් ඉවත බලා සිටියි. සිරිමතී දෙස බලා සිටි පිටිපස අසුනේ විශ්‍රාම ව සිටින ගුරුමෑණියක් යයි සිතිය හැකි වයසක කාන්තාව තරුණ ගැහැණු ළමයාගේ උරහිසට අත තැබුවාය. එසැණින් පියවි ලොවට පැමිණි තරුණ යුවතිය ඒදෙස හැරී බැලුවාය , එසැනින් සිරිමතී, "නෝනා පොඩ්ඩක් මට වීදුරුව අයින දෙනවද දරුවට වමනේ යන්න වගේ".. යයි නැවතත් කීවාය. අහංකාර පෙනුමකින් සිටි තරුණිය මුහුණට සිනාවක් නංවාගෙන "එන්න එන්න මට ඔයා කතා කරනවා ඇහුනේ නෑනේ" කියා සිනහ මුසු මුහුණින් අසුනේ තම ස්ථානයට සිරිමතීට ඒමට අයගේ මල්ලද ඔසවාගෙන සිරිමතීට උදවු කළාය. සිරිමතියගේ මුවඟටද අහිංසක සිනහවක් නැඟුනි. අසුනේ තැන් මාරු කළද සහන්ට වමනය ගියේ නැත. මීගොඩින් බසයෙන්බැස ගත් සිරිමතී සිය කුඩා නිවස්නය කරා අලස ගමනින් පියමන් කළේ  වික්ටර්මහතාගේ නෝනාගෙන් හවස් වරුවට හවසට අසන්නට වන දෝස් මුරයෙන් ගැලවෙන්නේ කෙසේදැයි සිතමින්ය....

Picture source : http://snarkernackle.blogspot.com/2006_03_01_archive.html Accessed on 03rd July 16.00 [Online]

චතුර....

Thursday, December 30, 2010

ඒ අම්මාගේ හැටිය....




"ඒ කාලේ ඉඳන්ම ඔය මිනිස්සු සහෝදරයෙකුට වගේ පුතාලගේ තාත්තට සැලකුවේ ඒකාලේ පුතාලගේ තාත්තට රස්සාවෙන් තිබුණ තත්වය නිසා....
නැත්නම් ඒ කාලෙත් අයියලයි මල්ලිලයි ඔක්කෝම කළේ තාත්තාට ඊරිසියාව..
තාත්තා මොකක් හරි අළුත් දෙයක් කරන්න හැදුවම හැම දේකටම සහෝදරයෝ කියල හිටිය ඔය අය කළේ කෙනෙහිළිකම්
ඒ කාලේ සීයා තාත්තට ගොඩාක් ආදරෙන් හිටියා කියලත් ඔය සහෝදරයන්ට හරිම තරහවක් තිබුණ..
පුතා උපන්නම සීයා දොලේ වත්ත පුතාගේ නමට ලිව්ව එකට ඔය සහෝදරයෝ හරියට බැන්න..
ඒ කාලේ සීයගෙන් අහල තිබ්බ අපේත් ඉන්නේ දරුවෝ නෙවෙයිද කියලත්..?
ඒත් පුතාලගේ තාත්තා,ඔය ලොකු තාත්තගේ පුතාට ඉඳුල් කට ගාන වෙලාවේ ඇල් වී ඕනේ වෙලා කියලා මුළු ගම පුරාම ම්නිස්සු දම්මවල ඇල්වී තියෙන ගෙදරකින් සල්ලි දීලයි ගත්තේ..
පුතාලගේ තාත්තට සත පහක්වත් ඔය සහෝදරයෝ දීල නැතත් පුතාලගේ තාත්තාගෙන් ඔය අය සැරින් සැරේට ඉල්ල ගත්තුවා අදටත් මට මතකයි..
සහෝදරයොනේ කියල මමත් කවදාවත් තාත්තට ඕවා ඉල්ල ගන්න කියල බල කළේ නැහැ..
පුතා දන්නේ නැහැ තාත්ත නැති වුනාම සහෝදරයගේ මරණයටනේ අපි මේ ආවේ කියලා එන මනුස්සයෙකුට දෙන්න කියලා පාන් ගෙඩියක්වත් ගෙනිච්චේ නැහැ ඔය මිනිස්සු..
මට අදට වගේ මතකයි පුතාගේ තාත්ත නැති වෙච්ච වෙලාවේ ඔය ලොකු තාත්තා ඇවිල්ල කිව්වේ අපි වියදම් කරන්න ඕනේ නැහැනේ මල්ලි ඉතුරු කරල තියෙනවනේ,අනික තාත්තත් වැඩිපුර දේපල දුන්නේ මල්ලිටනේ කියල..
ඉන් පස්සේ පුතාලගේ තාත්තගේ අර්ථසාධකය ගන්න ගියාම අපි ගමේ හිටිය නැති නිසා ලිපිනය දීල තිබ්බේ බාප්පගේ ගෙදර එක,ඒකට ආපු ලියුම් කියුම් ටික ඔක්කෝම හංගගෙන ඔය මිනිස්සු කිව්වේ මෙහාට ලියුම් හම්බ වුනේ නැත කියල..
ඉන්පස්සේ ඒ කන්තෝරුවෙන් ලියුම් වල දින අහගෙන මම තැපැල් කන්තෝරුවෙන් ඇහුවම මට දිනත් එක්ක සටහන් පෙන්නුව පුතාලගේ බාප්පා ලියුම් අත්සන් කරලා භාර ගත්තයි කියලා..
ඔය මිනිස්සු ඉස්සර ඉඳන්ම අපිට කළේ ඔහොමයි..
ඕවා අද ඊයේ වෙච්චි දෙවල් නෙවෙයි."

අම්මා මේ දිග හරින්නේ වසර තිහක පමණ අතීතයයි..

මගේ සීයාගෙන් පියාට නීත්‍යානුකූලව උරුම වූ ඉඩමක තිබූ පැරණි ගසක් දිරාගොස් මාර්ගයේ විදුලි රැහැනකට හේත්තු වී තිබු නිසාවෙන් මමත් අම්මාත් ලීමෝල් හිමියෙකු ලවා එම ගස එමස්ථානයෙන් ඉවත් කර ගත්තෙමු.ඒ අවස්ථාවේදී මගේ පියාගේ සහෝදරයන් සහ ඔවුන්ගේ දරුවන් එම ඉඩම් අපට අයත් නැතැයි කීමට ඉදිරිපත් වුණි.මගේ පුදුමයට කාරණය වූයේ වැලිකෙළියේ පටන් සහෝදරයෝ ලෙස සිටි මගේ පියාගේ සහෝදරයන්ගේ දරුවන් පවා මේ තත්වයට පත් වීමය.මේ පිරිස අතර වෛද්‍ය වරයෙකුද සිටියේය.

තමාගේ දේ රැකුමට අනුන් එනතෙක් රැඳීමට මසිත මට ඉඩ නොදුනි.සිතේ තිබූ කෝපය නිසාවෙන් වැඩිහිටියන්ගේ වැඩිහිටි කමද අමතක වූ මම එදා ඔවුනට බැන එලවා ගතිමි.තවත් ඔවුන් රැඳී සිටියේ නම් කෝප වූ මගේ සිත මා ලවා ඊට වඩා දරුණු දෙයක් කිරීමටද ඉඩ තිබුණි.

මා එසේ හැසිරෙනු දුටු අම්මා එදා කීවේ "පුතා ඔයදේවල් වලට මොකටද කෑ ගහන්න ගියේ..? මම ඉන්නවනේ ඒවට කතා කරන්න.ඒ පුතාගේ තාත්තගේ සහෝදරයෝ කියලා මතක තියා ගන්න.පුතා තාත්තට සලකනව වගේ තමයි ඒ අයටත් සලකන්න ඕනේ.එදා නිවසට පැමිණි මසොයුරුද මා අනුමත කළ නිසාවෙන් අම්මා තව දුරටත් මෙසේ කීවාය. ඔය මිනිස්සුන්ට කරන්න පුළුවන් දෙයක් නැහැ.ඔය දෙන්න කලබල නොවී ඉන්න .ඒ පුතාලගේ තාත්තගේ සහෝදරයෝ.කැලේ තියෙන ගහකට අපි මොකටද ඒ අයට බනින්නේ.ඇති වෙනවා නම් ගන්න කියන්න.පුතාල ඕවට රංඩු සරුවල් ඇති කරගන්න ඕනේ නැහැ.ඒ අයට ඕවට අයිති කර ගන්නත් බෑ.ඕවා සීයා පුතාලගේ තාත්තට දීපු දේවල්.ඒගොල්ල කෑගැහුවට කරන්න පුළුවන් දෙයක් නෑ.ආයෙත් ඕවට ඔය දෙන්නම ලොකු තාත්තට බනින්න කෑ ගහන්න යන්න එපා.ඒ පුතාලගේ තාත්තගේ සහෝදරයෝ."

"ඔය මිනිස්සුන්ගේ මෝඩ කමට ඔය දේවල් කළාට කවද හරි ඔය මිනිස්සුන්ට තේරෙයි තමන් වැරදියි කියල.තමන් කර ගන්න දේවල් වල ඵලවිපාක තම තමන්ට.කරන පව් පින් තමන්ට.අපි මොකටද ඒ ගොල්ල එහෙම වුනයි කියල සත්තු වගේ ඕවට කෑ ගහන්න යන්නේ.පුතාල පාඩුවේ ඉන්න ඒ ගොල්ලන්ට ඇති වුන දවසක ඕවා නවත්තයි."
අම්මා අපට කිව්වේ එහෙමය.ඒ අම්මාගේ හැටිය.

ඉන්පසුව කිසිදිනෙක මඟ තොටකදීවත් මම ඔවුන් සමඟ සිනා නොවුනෙමි.කතා නොකළෙමි.මගේ සොයුරුද එසේම විය.ඉන්පසු කිසි දිනෙකවත් ඔවුන් අපගේ ඉඩම් වලට ආරවුල් ඇති කිරීමට පැමිණියේ නැත.නමුත් ඔවුන් හා අප අතර පාරේ මඟ තොටදී දකින සිඟමන් යදින්නෙකු හා අතර ඇති තරම්වත් සුහඳතාවක් නොවිනි.

පසුගිය දිනෙක මාගේ උපන්දිනය වූ නිසාවෙන් අප තිදෙනා රැයක පන්සල් ගියෙමු.බුදුන් වැඳ අප විහාරයෙන් එළියට පැමිණෙත්ම ඒ ඉදිරියට ආවේ මගේ පියාගේ වැඩිමහල් සහෝදරයාය.ඒ නමට නම් අපගේ ලොකු තාත්තාය.අප තිදෙනා දුටු සැනින් ඔහුගේ මුහුණ වෙනස් විය.වෙනදා මෙන් නොව ඔහු අප දැක නැවතුනේය."නංගියේ පන්සල් ආවද..?"ඔහු අම්මාගෙන් ඇසීය."ඔව් අයියේ මෙයාගේ උපන්දිනේ නේ අද..ඒක හින්ඳ පන්සල් ආවා අපි."
අම්මාත් කාලයකින් තම සොයුරෙක් දුටු නැගණියක මෙන් පිළිතුරු දුන්නාය."දැන් ඉතින් ලොකු ඉළන්දාරිනේ.."කියා මගේ හිස අත ගෑ ඔහු "දැන් පුතා ඉගෙනගෙන එහෙම ඉවරද කියා මගෙන් විමසුවේය".නමුත් මගේ මුවින් වදනක්වත් පිට නොවුනි.ඒ එදා මගේ හිතේ ඇතිවූ කේන්තිය අළුයට වූ ගිනි පුපුරක් මෙන් තිබූ නිසාද කියා මට සිතුනි.මගෙන් පිළිතුරක් පමා වූ තැන අම්මා "නෑ අයියේ මෙයාට තව අවුරුදු දෙකක් තියෙනවා.."කියා පිළිතුරු දුන්නාය.මම මා සොයුරු දෙස බැලීමි.ඔහුද මුහුණ දීගත නොහැකි නිසාදෝ ඉවත බලා සිටිනු මම දුටිමි.ඔහුටද මට මා හට ඇති වූවාක් මෙන් සිතුවිල්ලක් ඇතිවී තිබූ බව මට පෙනිණි."මම එහෙනම් යන්නම් නංගියේ ,යන්නම් පුතේ" කියා අප දෙස හැරී බලනව්ට මා දුටුවේ ඔහුගේ නෙතඟ මෝදු වූ කඳුළක් ආයාසයකින් තොරව පිටතට පැමිණීමයි.හැඟීමකින් තොර වූ වන් මෙන් මුවින් හා නොකියා මාත් මා සොයුරුත් ඔළුව වැනුවෙමු.පිටව ගිය ලොකු තාත්තාගේ මුහුණේ පසුතැවිලි වන සිතුවිල්ලක සේයාවක් මා දුටිමි.

ගෙදර එන අතර මඟ අප අතර වූ තද නිහැඬියාව මඟ හැරුනේ පාරේ ගිය වෙනත් වාහනයක් පසු කිරීමට මා සොයුරු රථයේ නලාව හැඬවූ නිසාය.

ගෙදර ආපසු රාත්‍රී අහාරය ගන්න අතරේ අම්මා අප දෙදෙනා දෙස බලා මෙසේ ඇසුවාය."ඇයි ඔය දෙන්න ලොකු තාත්තත් එක්ක කතා නොකළේ..?"එයට පිළිතුරක් මගේ මුවින්වත් මා සොයුරු මුවින්වත් පිට නොවුනි.නැවතත් නිහඬියාව බිඳිමින් අම්මා මෙසේ පැවසුවාය."මීට පස්සේ කතා නොකර ඉන්න එපා..මොනව කළත් ඒ ඔයගොල්ලන්ගේ ලොකු තාත්තනේ..සමහර විට එයාගේ වැරදි දැන් එයාට තේරිලා ඇති .බාප්පා වුනත් කතා කළොත් කතා නොකර ඉන්න එපා.අපි ඒ අයට මොනවත් කරලා නැහැනේ..අනික ඒ ඔයගොල්ලන්ගේ තාත්තගේ සහෝදරයොනේ..තාත්තට වගෙයි කියල හිතේ තියාගෙන ඒ අයටත් සලකන්න.."

වසර පහකට පමණ පෙර පැවසූ දෙයම අම්මා අදත් පවසන්නීය..ඇය එදා කී දෙයෙහි සත්‍යය මට අද වැටහුනි.ඒ තමන් කරන දෙයෙහි ඵල විපාක හොඳ නරක තමන්ටම බවය .තමන් කරන දෙයට පසුතැවිලි වන්නට වන්නේත් තමන්ට බව මටද වැටහුනි..

ඒ අම්මා සැම විටම කීදෙයයි.අදටත් ඇය ගන්න මඟ එයයි. ඒ අම්මාගේ හැටිය..



කැන්ඩි....