Thursday, December 30, 2010

ඒ අම්මාගේ හැටිය....




"ඒ කාලේ ඉඳන්ම ඔය මිනිස්සු සහෝදරයෙකුට වගේ පුතාලගේ තාත්තට සැලකුවේ ඒකාලේ පුතාලගේ තාත්තට රස්සාවෙන් තිබුණ තත්වය නිසා....
නැත්නම් ඒ කාලෙත් අයියලයි මල්ලිලයි ඔක්කෝම කළේ තාත්තාට ඊරිසියාව..
තාත්තා මොකක් හරි අළුත් දෙයක් කරන්න හැදුවම හැම දේකටම සහෝදරයෝ කියල හිටිය ඔය අය කළේ කෙනෙහිළිකම්
ඒ කාලේ සීයා තාත්තට ගොඩාක් ආදරෙන් හිටියා කියලත් ඔය සහෝදරයන්ට හරිම තරහවක් තිබුණ..
පුතා උපන්නම සීයා දොලේ වත්ත පුතාගේ නමට ලිව්ව එකට ඔය සහෝදරයෝ හරියට බැන්න..
ඒ කාලේ සීයගෙන් අහල තිබ්බ අපේත් ඉන්නේ දරුවෝ නෙවෙයිද කියලත්..?
ඒත් පුතාලගේ තාත්තා,ඔය ලොකු තාත්තගේ පුතාට ඉඳුල් කට ගාන වෙලාවේ ඇල් වී ඕනේ වෙලා කියලා මුළු ගම පුරාම ම්නිස්සු දම්මවල ඇල්වී තියෙන ගෙදරකින් සල්ලි දීලයි ගත්තේ..
පුතාලගේ තාත්තට සත පහක්වත් ඔය සහෝදරයෝ දීල නැතත් පුතාලගේ තාත්තාගෙන් ඔය අය සැරින් සැරේට ඉල්ල ගත්තුවා අදටත් මට මතකයි..
සහෝදරයොනේ කියල මමත් කවදාවත් තාත්තට ඕවා ඉල්ල ගන්න කියල බල කළේ නැහැ..
පුතා දන්නේ නැහැ තාත්ත නැති වුනාම සහෝදරයගේ මරණයටනේ අපි මේ ආවේ කියලා එන මනුස්සයෙකුට දෙන්න කියලා පාන් ගෙඩියක්වත් ගෙනිච්චේ නැහැ ඔය මිනිස්සු..
මට අදට වගේ මතකයි පුතාගේ තාත්ත නැති වෙච්ච වෙලාවේ ඔය ලොකු තාත්තා ඇවිල්ල කිව්වේ අපි වියදම් කරන්න ඕනේ නැහැනේ මල්ලි ඉතුරු කරල තියෙනවනේ,අනික තාත්තත් වැඩිපුර දේපල දුන්නේ මල්ලිටනේ කියල..
ඉන් පස්සේ පුතාලගේ තාත්තගේ අර්ථසාධකය ගන්න ගියාම අපි ගමේ හිටිය නැති නිසා ලිපිනය දීල තිබ්බේ බාප්පගේ ගෙදර එක,ඒකට ආපු ලියුම් කියුම් ටික ඔක්කෝම හංගගෙන ඔය මිනිස්සු කිව්වේ මෙහාට ලියුම් හම්බ වුනේ නැත කියල..
ඉන්පස්සේ ඒ කන්තෝරුවෙන් ලියුම් වල දින අහගෙන මම තැපැල් කන්තෝරුවෙන් ඇහුවම මට දිනත් එක්ක සටහන් පෙන්නුව පුතාලගේ බාප්පා ලියුම් අත්සන් කරලා භාර ගත්තයි කියලා..
ඔය මිනිස්සු ඉස්සර ඉඳන්ම අපිට කළේ ඔහොමයි..
ඕවා අද ඊයේ වෙච්චි දෙවල් නෙවෙයි."

අම්මා මේ දිග හරින්නේ වසර තිහක පමණ අතීතයයි..

මගේ සීයාගෙන් පියාට නීත්‍යානුකූලව උරුම වූ ඉඩමක තිබූ පැරණි ගසක් දිරාගොස් මාර්ගයේ විදුලි රැහැනකට හේත්තු වී තිබු නිසාවෙන් මමත් අම්මාත් ලීමෝල් හිමියෙකු ලවා එම ගස එමස්ථානයෙන් ඉවත් කර ගත්තෙමු.ඒ අවස්ථාවේදී මගේ පියාගේ සහෝදරයන් සහ ඔවුන්ගේ දරුවන් එම ඉඩම් අපට අයත් නැතැයි කීමට ඉදිරිපත් වුණි.මගේ පුදුමයට කාරණය වූයේ වැලිකෙළියේ පටන් සහෝදරයෝ ලෙස සිටි මගේ පියාගේ සහෝදරයන්ගේ දරුවන් පවා මේ තත්වයට පත් වීමය.මේ පිරිස අතර වෛද්‍ය වරයෙකුද සිටියේය.

තමාගේ දේ රැකුමට අනුන් එනතෙක් රැඳීමට මසිත මට ඉඩ නොදුනි.සිතේ තිබූ කෝපය නිසාවෙන් වැඩිහිටියන්ගේ වැඩිහිටි කමද අමතක වූ මම එදා ඔවුනට බැන එලවා ගතිමි.තවත් ඔවුන් රැඳී සිටියේ නම් කෝප වූ මගේ සිත මා ලවා ඊට වඩා දරුණු දෙයක් කිරීමටද ඉඩ තිබුණි.

මා එසේ හැසිරෙනු දුටු අම්මා එදා කීවේ "පුතා ඔයදේවල් වලට මොකටද කෑ ගහන්න ගියේ..? මම ඉන්නවනේ ඒවට කතා කරන්න.ඒ පුතාගේ තාත්තගේ සහෝදරයෝ කියලා මතක තියා ගන්න.පුතා තාත්තට සලකනව වගේ තමයි ඒ අයටත් සලකන්න ඕනේ.එදා නිවසට පැමිණි මසොයුරුද මා අනුමත කළ නිසාවෙන් අම්මා තව දුරටත් මෙසේ කීවාය. ඔය මිනිස්සුන්ට කරන්න පුළුවන් දෙයක් නැහැ.ඔය දෙන්න කලබල නොවී ඉන්න .ඒ පුතාලගේ තාත්තගේ සහෝදරයෝ.කැලේ තියෙන ගහකට අපි මොකටද ඒ අයට බනින්නේ.ඇති වෙනවා නම් ගන්න කියන්න.පුතාල ඕවට රංඩු සරුවල් ඇති කරගන්න ඕනේ නැහැ.ඒ අයට ඕවට අයිති කර ගන්නත් බෑ.ඕවා සීයා පුතාලගේ තාත්තට දීපු දේවල්.ඒගොල්ල කෑගැහුවට කරන්න පුළුවන් දෙයක් නෑ.ආයෙත් ඕවට ඔය දෙන්නම ලොකු තාත්තට බනින්න කෑ ගහන්න යන්න එපා.ඒ පුතාලගේ තාත්තගේ සහෝදරයෝ."

"ඔය මිනිස්සුන්ගේ මෝඩ කමට ඔය දේවල් කළාට කවද හරි ඔය මිනිස්සුන්ට තේරෙයි තමන් වැරදියි කියල.තමන් කර ගන්න දේවල් වල ඵලවිපාක තම තමන්ට.කරන පව් පින් තමන්ට.අපි මොකටද ඒ ගොල්ල එහෙම වුනයි කියල සත්තු වගේ ඕවට කෑ ගහන්න යන්නේ.පුතාල පාඩුවේ ඉන්න ඒ ගොල්ලන්ට ඇති වුන දවසක ඕවා නවත්තයි."
අම්මා අපට කිව්වේ එහෙමය.ඒ අම්මාගේ හැටිය.

ඉන්පසුව කිසිදිනෙක මඟ තොටකදීවත් මම ඔවුන් සමඟ සිනා නොවුනෙමි.කතා නොකළෙමි.මගේ සොයුරුද එසේම විය.ඉන්පසු කිසි දිනෙකවත් ඔවුන් අපගේ ඉඩම් වලට ආරවුල් ඇති කිරීමට පැමිණියේ නැත.නමුත් ඔවුන් හා අප අතර පාරේ මඟ තොටදී දකින සිඟමන් යදින්නෙකු හා අතර ඇති තරම්වත් සුහඳතාවක් නොවිනි.

පසුගිය දිනෙක මාගේ උපන්දිනය වූ නිසාවෙන් අප තිදෙනා රැයක පන්සල් ගියෙමු.බුදුන් වැඳ අප විහාරයෙන් එළියට පැමිණෙත්ම ඒ ඉදිරියට ආවේ මගේ පියාගේ වැඩිමහල් සහෝදරයාය.ඒ නමට නම් අපගේ ලොකු තාත්තාය.අප තිදෙනා දුටු සැනින් ඔහුගේ මුහුණ වෙනස් විය.වෙනදා මෙන් නොව ඔහු අප දැක නැවතුනේය."නංගියේ පන්සල් ආවද..?"ඔහු අම්මාගෙන් ඇසීය."ඔව් අයියේ මෙයාගේ උපන්දිනේ නේ අද..ඒක හින්ඳ පන්සල් ආවා අපි."
අම්මාත් කාලයකින් තම සොයුරෙක් දුටු නැගණියක මෙන් පිළිතුරු දුන්නාය."දැන් ඉතින් ලොකු ඉළන්දාරිනේ.."කියා මගේ හිස අත ගෑ ඔහු "දැන් පුතා ඉගෙනගෙන එහෙම ඉවරද කියා මගෙන් විමසුවේය".නමුත් මගේ මුවින් වදනක්වත් පිට නොවුනි.ඒ එදා මගේ හිතේ ඇතිවූ කේන්තිය අළුයට වූ ගිනි පුපුරක් මෙන් තිබූ නිසාද කියා මට සිතුනි.මගෙන් පිළිතුරක් පමා වූ තැන අම්මා "නෑ අයියේ මෙයාට තව අවුරුදු දෙකක් තියෙනවා.."කියා පිළිතුරු දුන්නාය.මම මා සොයුරු දෙස බැලීමි.ඔහුද මුහුණ දීගත නොහැකි නිසාදෝ ඉවත බලා සිටිනු මම දුටිමි.ඔහුටද මට මා හට ඇති වූවාක් මෙන් සිතුවිල්ලක් ඇතිවී තිබූ බව මට පෙනිණි."මම එහෙනම් යන්නම් නංගියේ ,යන්නම් පුතේ" කියා අප දෙස හැරී බලනව්ට මා දුටුවේ ඔහුගේ නෙතඟ මෝදු වූ කඳුළක් ආයාසයකින් තොරව පිටතට පැමිණීමයි.හැඟීමකින් තොර වූ වන් මෙන් මුවින් හා නොකියා මාත් මා සොයුරුත් ඔළුව වැනුවෙමු.පිටව ගිය ලොකු තාත්තාගේ මුහුණේ පසුතැවිලි වන සිතුවිල්ලක සේයාවක් මා දුටිමි.

ගෙදර එන අතර මඟ අප අතර වූ තද නිහැඬියාව මඟ හැරුනේ පාරේ ගිය වෙනත් වාහනයක් පසු කිරීමට මා සොයුරු රථයේ නලාව හැඬවූ නිසාය.

ගෙදර ආපසු රාත්‍රී අහාරය ගන්න අතරේ අම්මා අප දෙදෙනා දෙස බලා මෙසේ ඇසුවාය."ඇයි ඔය දෙන්න ලොකු තාත්තත් එක්ක කතා නොකළේ..?"එයට පිළිතුරක් මගේ මුවින්වත් මා සොයුරු මුවින්වත් පිට නොවුනි.නැවතත් නිහඬියාව බිඳිමින් අම්මා මෙසේ පැවසුවාය."මීට පස්සේ කතා නොකර ඉන්න එපා..මොනව කළත් ඒ ඔයගොල්ලන්ගේ ලොකු තාත්තනේ..සමහර විට එයාගේ වැරදි දැන් එයාට තේරිලා ඇති .බාප්පා වුනත් කතා කළොත් කතා නොකර ඉන්න එපා.අපි ඒ අයට මොනවත් කරලා නැහැනේ..අනික ඒ ඔයගොල්ලන්ගේ තාත්තගේ සහෝදරයොනේ..තාත්තට වගෙයි කියල හිතේ තියාගෙන ඒ අයටත් සලකන්න.."

වසර පහකට පමණ පෙර පැවසූ දෙයම අම්මා අදත් පවසන්නීය..ඇය එදා කී දෙයෙහි සත්‍යය මට අද වැටහුනි.ඒ තමන් කරන දෙයෙහි ඵල විපාක හොඳ නරක තමන්ටම බවය .තමන් කරන දෙයට පසුතැවිලි වන්නට වන්නේත් තමන්ට බව මටද වැටහුනි..

ඒ අම්මා සැම විටම කීදෙයයි.අදටත් ඇය ගන්න මඟ එයයි. ඒ අම්මාගේ හැටිය..



කැන්ඩි....

Reactions:

10 comments:

අනේ මන්දා කැන්ඩි.... මිනිස්සු හරිම පුදුමයි නේද??? අපිත් පෘතජනයෝ විදියට ඉතින් කරන කියන දේවල් තමා.

ඔයා ලියපු දේ හොඳයි...ඒත් අලුත් දේවල් ලියන්න ට්‍රයි කරන්න...ඔයා ලියන්නෙම නැතුව පොඩ්ඩක් අපේ මාටියගෙ කෙටිකතා ටික හොයාගෙන කිය්වන්න...ඒව වැඩිය ගනනක් වෙන්නෙ නෑ...අර හෙලෙයේ මහා නවකතාකරු මාර්ටින් වික්‍රමසිංහට වඩා බොහොම ලස්සන පොරක් තමා කෙටිකතා ලියපු මාර්ටින් වික්‍රමසිංහ කියන්නෙ..

@ සංජු

ඇත්ත මිනිස්සු කරන කියන දේවල් හරිම පුදුමයි..

වෙනදා වගේ මේ පැත්තේ ආවට ස්තූතියි

@ ඉන්දි

මුල්ම වතාවට මේ පැත්තේ ආවට ස්තූතියි..

ඔබගේ උපදෙස් අගය කරමි.

මාටියාගේ පොත් වලින් (කෙටි කතා වලින් ) තවම මගේ එකතුවේ නැත්තේ ගැහැනියක් කියන පොත විතරයි..

දැනට කියවලා තියෙන ඒවායෙන් මම වැඩියෙන්ම ආස කරන්නේ හඳ සාක්කි කීම කියන එකටයි..

පුදුමයි මචං සහෝදරයෝ නේද ඔය. මේක ලියපු එක ඇත්තටම හොඳයි . මොකද මමත් මේවගේ අද්දැකීමක් ලබලා තියන නිසා . මගෙත් බොක්කටම මේ ලිපිය වැදුනා . මගේ තාත්තත් නෑ . අපේ තාත්තගේ සහෝදරයෙකුත් අපිට ඔයවගේ 2.50 වැඩක් අපට කරා .

මොනව කරන්නද කැන්ඩි . හොඳම වැඩේ තමයි . උඹලා උන්ට පේන්නත් එක්ක .එලටම දියුනුවෙලා හිටපල්ලා .

ජයවේවා !!

හරිම සංවේදී ලියමනක්. මටත් ඔය වගේ අත්දැකීම් තියෙනවා. මගේ කතාවෙ නම් අපේ තාත්තාගේ පැත්තේ නෑයන්ගෙන් කෙලින්ම බැට කෑවෙ අපේ අම්මා. ඇය මහා මේරු පර්වතයක් වගේ ඒ හැම දේකටම මූන දීල අපිව ආරක්ෂා කලා. ඒව ලියන්න ගියොත් කොහෙන් කෙලවරවෙයිද දන්නෙ නැහැ....

හරිම සංවේදී ලියමනක්. මටත් ඔය වගේ අත්දැකීම් තියෙනවා. මගේ කතාවෙ නම් අපේ තාත්තාගේ පැත්තේ නෑයන්ගෙන් කෙලින්ම බැට කෑවෙ අපේ අම්මා. ඇය මහා මේරු පර්වතයක් වගේ ඒ හැම දේකටම මූන දීල අපිව ආරක්ෂා කලා. ඒව ලියන්න ගියොත් කොහෙන් කෙලවරවෙයිද දන්නෙ නැහැ....

@ හිස් අහස

ඔව් මෙහෙමත් සහෝදරයෝ ඉන්නවා..
එහෙම මිනිස්සු ගැන දැනගෙන ජීවත් වෙන එක තමයි වැඩිය හොඳ..
අත්දැකීමක් තියෙනවා නම් වෙන කුමන කතාද..?
ඔබටත් ජයෙන් ජය..!!!!

වෙනදා වගේ මේ පැත්තේ ආවට තුති..

@ දුමී..

ඇත්ත අම්මලා මේවා උහුලගෙන ඉන්නවා..
අම්මලාගෙ හැටි එහෙම තමයි..
අපේ කතාවේ අම්මාට විතරක් නෙවෙයි ඒවා අපිටත් බලපෑවා..
ඔව් ලියල ඉවර කරන්න බැරි වෙයි..
සමහරක් මිනිස්සු ඔහොමයි..
මේකත් සිදුවීම් ගොඩකින් එකක් විතරයි..

මේ පැත්තේ ආවට තුති..

සංවේදී සටහනක්! මිනිස්සු කියන්නෙ තේරුම් ගන්න හරිම අමාරු ජාතියක් නේද..

@ blog gadol

මිනිස්සු කියන්නේ කවදාවත් තේරුම් ගන්න බැරි ජාතියක්..

වෙනදා වගේ මේ පැත්තේ ආවට තුති..

Post a Comment