Monday, December 27, 2010

පොලීසියේ හොරා පොලිස් රාලහාමිලා සහ රාලහාමිනේලා....




ඔන්න ඉතින් අද පළමුවෙනි වතාවට කැන්ඩිත් පොලීසියකට ගොඩ වැදුනා.ඒ මොකද කියනවා නම් කැන්ඩිගේ ජංගම දුරකථනය නැති වෙලා ඒකට පැමිණිල්ලක් කරන්නට.වෙන මොකුත් කරලා හෙම නොවෙයි.

ඔන්න ඉතින් කැන්ඩිගේ අයියා ඉතින් වෙලාවට වැඩ කරන පුද්ගලයා නිසා උදේ යන්න හිටපු පොලීසි ගමන යන්න වුනේ දවල් දෙකට විතර.ඔන්න ඒ යන වෙලාවේ ඔතන හිටපු පොලිස් ඇත්තියක් කිව්ව පැමිණිලි භාර ගන්නා නිළධාරියා තාම දහවල් කැමට ගොහින් ඇවිත් නැති විත්තිය.අනේ මේ මිනිහ උදේ වරුවේ ආවා නම් මේක කරගෙන ඉක්මනට යනවනේ කියලා කැන්ඩිත් අයියට හිතින් බැණ බැණ ඔතනට වෙලා අර පැය එක හමාරකට විතර කලින් කෑමට ගිය නිළධාරියා එනකන් හිටියා.මම හිතන්නේ මේ නිළධාරියා කෑම කාලා කෑම ජීර්ණය වෙනකන් ඉඳලා වෙන්න ඇති ආයෙත් තමන්ගේ රාජකාරියට පැමිණෙන්නේ,මොකද තවත් පැය භාගයක් බලන් හිටියත් මේ මනුස්සයා නෙවෙයි ආවේ.

ඔන්න ඉතින් ඔහොම ඉඳල ඉඳලා ඇති වෙලාමද කොහෙද කැන්ඩිගේ සහොදර පරාණය එතන හිටපු ඇත්තියගෙන් ඇහුවා සුළු පැමිණිල්ලක් නිසා මේක ඒ ඇත්තිට සටහන් කරගන්න බැරිද කියලා.ඔන්න ඒ ඇත්ති පැනපු ගමන් කියාපිනේ මේ ඔයාගේ ගෙදර කියලා හිතුවද කියලා....? අනේ සාධු පරක්කු වෙලා ආවට උඹට ඔහොම වෙලා මදි කියලා කැන්ඩිත් ඉතින් හිතෙන් පින් දුන්න.ඔන්න ඉතින් ඔහොම ඉන්න අතරේ මේ පාර කැන්ඩිටත් වීරයා වෙන්න හිතිලා අර ඇත්තිගෙන් ඇහුවා ජංගම දුරකථනයක් නැති වුනාම ගන්න ඕනේ ක්‍රියා මාර්ගය කොහොමද කියලා..?ඒ පාරනම් ඇඟට පනින්නේ නැතුව අහල පහළ යන එන පොලිස් ඇත්තන්ගෙන් ඇත්තියන්ගෙන් මෙයා ඒ ගැන අහන්න පටන් ගත්ත.

ඔන්න ඉතින් එක එක එක්කෙනා එක එක අදහස් පළ කළා.මේවා අහගෙන හිටපු කැන්ඩිටයි අයියටයි ඉතින් දෙපැත්තෙන් හිනා.මොකද ගන්න ඕනේ ක්‍රියා මාර්ගය ඒ වෙනකොට පැහැදිලිව හොයාගෙන තමයි කැන්ඩිගේ අයියයි කැන්ඩියි පොලීසියට ආවේ.ඔය අතරේ එක නුවණක්කර ඇත්තෙක් කිව්වා SIM කාඩ් පත විසන්ධි කරවල අළුත් දුරකථනයක් ගන්නේයි කියල.ඔන්න ඉතින් කැන්ඩිගේ අයියත් ආතල් එක වැඩිකමටද කොහෙද පැනපු ගමන් කියපි අපි ගෙදර යන ගමන් අළුතෙන් එකක් ගන්න තමයි යන්නේ කියල.

පොලිසියට යන්කොටත් කැන්ඩි සම්බන්ධතාවය විසන්ධි කරලා තමයි ගියේ.ඔන්න ඉතින් ඔහොම ටික වෙලාවක් යනකොට ආපු එක ඇත්තියක් හරියටම වැඩේ කෙරෙන්න ඕනේ විදිය කියලා ගියා.අනික් අය ඊට පස්සේ අරයා එක්ක හිත රිදිලාද කොහෙද වැඩිය අදහස් පළ කරන්න ආවේ නැහැ.දැන් ඉතින් ඔන්න ඔහොම ඔහොම පැයක් විතර ගියා.වැඩේ නම් කෙරෙන පාටක් නෑ.කැන්ඩිගේ අයියත් ඉතින් ඔය ගිනි ආයතනයක තමයි වැඩ කරන්නේ ,ඉතින් මනුස්සයාට හවස රාජකාරියට යන වෙලාවත් දැන් ළං වෙනවා.කරන්නම දෙයක් නැති තැන මිනිහා ජංගම දුරකථනය අරගෙන පොලොස්සියේ ඉහළ නිළතලයක් දරන ඥාතියෙකුට ඇමතුමක් ගත්තා.ඔන්න ඉතින් පොරත් කිව්ව මල්ලි මම ඉක්මනට මොකක් හරි කරන්නම් කියලා.

ඔන්න විනාඩි පහක් ගියේ නැහැ අර වැදගත් ආඩම්බරකාර නුවණක්කාර ඇත්තෝ ඇත්තියෝ තුන් හතර දෙනෙක් එනවා පෝලිමක් හැදිලා.ඇවිත් ඔන්න අහපි ඔය මහත්තුරු දෙන්න අහවල් සර්ගේ මල්ලිලද කියල...?හිකිස් හිකිස් ඔන්න ඉතින් කැන්ඩිගේ අයියත් ඉතින් පැනපු ගමන් කිව්ව ඔව් ඔව් අහවල් සර් අපේ අයිය තමයි කියලා.මෙන්න අර පැමිණිල්ල ලියා ගන්න පුළුවන්ද කියල ඇහුවම බෑ කියලා කියපු ඇත්ති අර ආහාර දිරවනකන් හිටපු නිළධාරියාවත් අහැරවාගෙන ආවනේ අපි දෙන්නා හිටපු තැනට පැමිණිලි පොතත් උස්සාගෙන ,මහත්තය මොකක්ද පැමිණිල්ල කියලා අහගෙන......හෑ මේ මොකද මේ...?මේ ඇත්තිට එක පාරටම මොකද වුනේ...?කැන්ඩිත් ඉතින් නිදියන කොට තැන නොතැන බලල නිදියන හින්ඳා කැන්ඩි හොඳට ඇස් පිහදලා බැළුවා.අනේ කැන්ඩි දවල් හීනයක් නෙවෙයි දැකල තියෙන්න හැබැහින්ම අර ඇත්ති ඇවිල්ල....

ඔන්න පැමිණිල්ලේ පිටපතකුත් ගන්න ඕනේ කියල කැන්ඩිගේ අයියා කිව්වා.හා සර් කියලා මෙන්න අර ඇත්ති අපි ලියන්න ඕනේ ලියුන් කරදහියත් කඩදාසියකුත් හොයාන ඇවිත් එයාම ලියල අත්සන ගහන්න විතරක් ඔන්න කැන්ඩිට දුන්න.හනේ හපොයි....ඔන්න ඉතින් ඒ වෙලාවේ ටයිප් ගහන්න කෙනෙක් නැතෙයි කියලා අපි අහවල් වෙලාවේ අර සර්ගේ අතටම මේක ගෙනත් දෙන්නම් කියලා මේගොල්ල වැන්ඳේ නැති එක විතරයි.ඔන්න ඉතින් දැන් කැන්ඩියි අයියයි එන්න පිටත් වෙන්නයි ලෑස්තිය.මෙන්න ආයෙත් පෝලිමේ ඇත්තො ඇත්තියො දෙන්නෙක් ඇවිත් ඔන්න කැන්ඩිගේ අයියට කියනවා අනේ සර් අපි දැනගෙන හිටියේ නෑ සර්ලා අහවල් සර්ගේ මල්ලිලා කියලා සර්ලා මෙතන ටික වෙලාවක් හිටියා කියල අහවල් සර්ටනම් කියන්න එපා කියල ඉල්ලුවා.ඔන්න ඉතින් කැන්ඩිගේ අයියත් කිව්ව හා හා බය වෙන්ට එපාය කියල.

කියලා අපිත් එක්ක අපිට පස්සේ ගිය අම්ම කෙනෙක් හිටිය .ඒ උන්දෑ වයස්ගත අම්ම කෙනෙක්.සැමියා දාලා ගිය විදේශ ගතවුන දුවකුගේ දරුවෝ දෙන්නෙක් බලාගෙන ඉන්න අම්ම කෙනෙක් එයා.එයා ඇවිත් හිටියේ එයාගේ ඉඩමෙ මායිම වෙනස් කරලා අල්ලපු වත්තේ ඉන්න චන්ඩියා වැට ගහලා මදිවට පරුෂ වචනයෙන් බැන වැදිලා තර්ජනය කරපු එක වෙනුවෙන් පැමිණිල්ලක් කරන්න.උන්දෑ අතේ සියළුම නීතිමය ලිපි ලේඛන තිබුනා.මේ විස්තර කැන්ඩියි කැන්ඩිගේ අයියයි අහගත්තේ අර නුවණක්කාර ඇත්තෝ අදහස් දක්වපු වෙලාවේ තමයි.ඉතින් ඔය අම්මව පෙන්නල කැන්ඩිගේ අයියා කිව්ව අනේ පුළුවන්නම් කොහොම හරි අර උන්දැගේ වැඩෙත් ඉක්මනට ඉවරයක් කරලා දීල ගෙදර යවන්න කියල.

ලංකාවේ මිනිස්සු තාමත් පොලීසිය දූෂිතයි කියලපොලීසියට යන්න දිමදි කරන්නේ ඇයි කියලා අමුතුවෙන් කියන්න උවමනාවක් නැතැයි කියා මම සිතමි.යම් සිදුවීමක් ගැන මෙම නීතිය ක්‍රියාත්මක කිරීමට සිටිනා පුද්ගලයන් සතු දැනුම ඉතාම අල්පය.ඔවුන්ට ඒ පිළිබඳව දැනුවත් කිරීමක් ලැබී නැතුවා හෝ ඔවුන් ලැබුන දැනුම ප්‍රායෝගිකව යෙදීමට උත්සාහයක් නොගන්නවා හෝ වියයුතුය.

තවද එදිනෙදා සිදුවන සුළු සිද්ධීන් පිළිබඳව පමණක් මොවුන්ට දැනුමක් ඇති බව පෙනේ.යමක් සිතා බලා සොයා බලා කිරීමට මොවුන්ට හැකියවක් නැත හෝ ඔවුන් ඒ සඳහා පුහුණු කර හෝ නැත.

තවද තමන්ගේ දරු පවුල රැකදෙන පඩිය නමෑති මුදල ලබාදෙන රාජකාරිය දේවකාරියක් මෙන් ඉටුකරනවා වෙනුවට ඔවුන් යම් කාරියක් ඉටු කිරීමට උත්තේජකයක් වශයෙන් ඉහළ අංශවල බලපෑමක් හෝ මුදල් බලපෑමක් ලැබෙන තුරු සිටිති.

2010 අවසානව තවත් දශකයක ආරම්භයේ සිටින අප මේවා දැක දැක සිටිය යුතුද...?
හා කීවාට කැන්ඩිගේ අයියා නම් මේ වන විට තමන්ට කතා කළ හැටිද අදාළ නිළධාරීන්ගේ නම්ද අදාල පුද්ගලයාට පවසා හමාරය.තොරතුරු තාක්ෂණය අතින් යම් දියුණුවක් ලංකාව ලබා ඇති නමුත් නීතිය ක්‍රියාත්මක වන මෙම ආයතනවලට එය යොදා ගන්න යුගය තව දශකයකින්වත් උදාවන ලකුණු පෙනෙන්නට නොතිබේ.


අඩුම තරමේ එය යොදා නොගෙනවත් අදාල කාර්යයන් මීට වඩා විධිමත්ව අදාල ආයතන තුල මනා සම්බන්ධීකරණයක් ඇති කරගෙන මෙම ක්‍රියාවන්හි විධිමත් භාවයක් ඇතිකරන්නේ නම් එය රටට ඉතාමත් වැඩදායී වන්නේය.මෙම ආයතන වල සිටින නිළධාරීන්ගේ ක්‍රියාවන් පෙර පාසලක සිටින දරුවන්ගේ හොරා පොලිස් සෙල්ලමකට දෙවෙනි නොවන්නේ යයි නොපැවසිය හැක්කේ කාටද............?

අද දිනයේ ඥාති බලපෑමක් මත අප අපගේ ක්‍රියාව සිදුකරගෙන පැමිණියෙමු.නමුත් අර අසරණ කාන්තාව අප එම ඥාතී උපකාරයෙන් හෝ පැමිණිලි භාර නිළදාරියා නොකැඳෙව්වේනම් තම කාරිය ඉටු කර ගන්නේ කෙසේද.?
ඇත්තටම පොලීසිය තවදුරටත් පොදු ජනයාට සේවය සපයන ආයතනයක්ද.........?
සියල්ලේම පාහේ තත්වය මෙසේ වුවද තම රාජකාරිය අකුරට ඉටුකරන නිළධාරීන් නැත්තේද නොවේ........
නමුත් කිරි කළයක් තිබුනද ගොම බිඳක් වැටීම එය කෙලෙසීමට සමත්ය.තව දුරටත් දුප්පත් අසරණ මහජනයා මෙම ආයතන වලින් සේවය ලබා ගන්නේ කෙසේද.............?
මෙම තත්වය මේ ආකාරයට පැවතුනහොත් ලංකාව ආසියාවේ අමුතුම ආශ්චර්යක් වනු නොඅනුමානය.

කැන්ඩි....

13 comments:

blog gadol said...

ලංකාවේ ඔහොම තමයි, අයි ඩොන්ට් නෝ වයි?

ඕවා ගැනනං කියන්න වචන නෑ බං. නිකං අපේ ලේ පිච්චෙනවා විතරයි

කැන්ඩි... said...

ඇත්ත ඇත්ත සහෝ..

ලේ පිච්චෙනවා විතරයි......

වෙනදා වගේ මේ පැත්තේ ආවට ස්තූතියි......

සංජු said...

හැබැයි අපේ ඉස්කෝලෙ පැත්තෙ පොලිස්සිය නම් මීට වඩා ටිකක් හොදයි. ඔයාලා යන්නකෝ තව රාජ්‍ය ආයතන ටිකක් බලන්න... අධ්‍යාපන ඔපීසි පැත්තේ විශේෂයෙන්ම... වරුවක දිවා ආහාර, වරුවක ශොපින් වගේම මහජන දිනයට සේවක මණ්ඩල රැස්වීම් දාගෙන හවස් වරුවම කාබාසිනියා කරන ආයතන ප්‍රධානීන්..... අම්මෝ..... කියන්න ගියොත් කෙලවරක් නෑ.

කැන්ඩි... said...

ඔව් ඔව් කියලා වැඩක් නෑ.....

වෙනදා වගේ මේ පැත්තේ ආවට ස්තූතියි....

විත්ති said...

"තවද එදිනෙදා සිදුවන සුළු සිද්ධීන් පිළිබඳව පමණක් මොවුන්ට දැනුමක් ඇති බව පෙනේ.යමක් සිතා බලා සොයා බලා කිරීමට මොවුන්ට හැකියවක් නැත හෝ ඔවුන් ඒ සඳහා පුහුණු කර හෝ නැත"

මචන් පොලිසිවලට ගන්නේ අට පාස් උදවිය, නිකම් හරි පොලිසියට යන්න පොඩි ට්‍රයි එකක් දුන්නනම් තෙරෙයි මුන්ගේ මොලේ මනින්න මිමි ගැන.ඕන වෙන්න එක ලියුමයි ඌ අට පාස් හරි නැතා හරි ඇතුලේ


"තවද තමන්ගේ දරු පවුල රැකදෙන පඩිය නමෑති මුදල ලබාදෙන රාජකාරිය දේවකාරියක් මෙන් ඉටුකරනවා වෙනුවට ඔවුන් යම් කාරියක් ඉටු කිරීමට උත්තේජකයක් වශයෙන් ඉහළ අංශවල බලපෑමක් හෝ මුදල් බලපෑමක් ලැබෙන තුරු සිටිති"

තව දෙයක් ඔය කිව්වට උන්ට මහ ලොකු පඩියක් හම්බ වෙන්නේ නැ.යන්තම් ජිවිතේ ගැට ගහ ගන්නවා.අපේ උන් ඔච්චරවත් කරන එක ලොකු දෙයක්.

කැන්ඩි... said...

@ විත්ති

හම්බ වෙන්නේ සොච්චමක් වෙන්න පුළුවන් නමුත් ලිපි ලේඛණ රාජකාරී කරන එකාවත් ඔය දේ හරියකට තේරුමක් ඇතුව පිළිවෙලකට කරන්නේ නැහැනේ....ගෙවන්නේ අඩු මුදලක් කියල නිකන් හිටියොත් කොයි රස්සාවෙත් ඔහොම තමයි මම හිතන්නේ නමුත් තමන් හරියට වැඩ කරනවා නම් තමන්ට කොහෙන් හරි ඒදේ ප්‍රතිලාභය ලැබෙනවා කියලත් මතක තබා ගත්තොත් හොඳයි..මොකද ඔය ආයතන වල නිළධාරීන් කරන වැඩ හරියට බබාල කරන වැඩ වගේ..පහසුවෙන් කරන්න පුළුවන් වැඩයට මුළු දවසක්ම විනාස කරනවා ,මිනිස්සුන්ගේ කාලය කනවා..තවත් දෙයක් ඔය දේවල් මේ විදියට් කළොත් ඔහොම රස්තියාදු නොකර ඒ වැඩය කරන්න පුළුවන් කියලා දැනගෙනත් මොවුන් කරන්නේ අර පොලිස් ඌෂ්ණය පෙන්නන්න කට්ටිය වටේ යවන එක,මොකද ඔය මිනිස්සුන්ට ඔය කාලය කා දැමීම නොතේරිලාවත් ඔය දේ වෙනස් කරල කරන්න බලතල නොතිබිලාවත් නොවෙයි අර තමන්ගේ පුහු මහන් තත්වය පෙන්නන්න..ඒක නිසා මම ඔය සොච්චමක් ගෙවන නිසා ඔහොම වැඩ කරනවා කියන මතයට නම් මම එකඟ වෙන්නේ නැහැ.මොකද පෞද්ගලික අංශයේ ඔය මට්ටමට උගත් සේවකයෙකුට ඔය පොලීසියේ සමහරුන්ට තියෙන වරප්‍රසාද නැහැ.උදාහරණයක් විදියට දුප්පත් මිනිහෙක් තමන්ගේ මොකක් හරි දෙයක් නැතිවෙලා ඒදේ ගැන පොලිසියට පැමිණිල්ලක් කරන්න ආවයි කියමුකෝ.ඔය දේ රුපියල් දහදාහක් විතර වටින දෙයක් කියලා හිතමුකෝ.අන්තිමට මේ පොලිස් උදවිය ඔය මනුස්සයව දවස් කීයක් රස්තියාදු කරනවද බොරුවට ඔය දේට.අන්තිමට ඔය මනුස්සයට අර නැතිවුන දේ හම්බවෙනකොට තව විසිදාහක් විතර අතින් වැය වෙලා.

පළමු වතාවට මේපැත්තේ ආවට ස්තූතියි....

dinesh said...

අපෝ මමනම් ප්‍රාර්ථනා කරන්නෙ දඩ කොලයක් ගන්නවත් පොලිසිය පැත්තෙ පස් පාගන්න වෙන්න එපා කියල.

කැන්ඩි... said...

@ dinesh

ඔව් සහෝ

හතුරෙක්ටවත් පොලීසියටනම් යන්න සිද්ධ වෙන්න එපා.....

පළමු වතාවට මේ පැත්තේ ආවට ස්තූතියි...........

Anonymous said...

පැමිණිල්ලක් කලාම ඒකේ පිටපතක් ගන්න තව දවස් දෙකතුනක් යන එක තමා මට නං පෙන්නන්නම බැරි වැඩේ. ඇයි දෙයියනේ ඕකේ පොටෝකොපියක් ගහලා ඉහල නිලධාරියෙකුට කියලා සහතික කරවගෙන ඒ වෙලාවෙම දෙන්න බැරි මොකද?

කැන්ඩි... said...

@ Ano

හා හා එහෙම කියන්න එපා ...

එතකොට කවුද දවස් දෙක තුනක් රස්තුයාදු වෙලා එයාලගේ පොලීසියේ ඌෂ්ණය බලන්නේ....

හිකිස්.........

මේ පැත්තේ ආවට ස්තූතියි....

CALHARA said...

මටත් මගේ ෆෝන් එක නැති වෙලා බම්බලපිටිය පොලිසියට ගිය වෙලාවේ ඔය වගේම ප්‍රශ්නෙකට මූණ දෙන්න වුනා. පොලිසි ගැන නම් කතා කරලා වැඩක් නැහැ. බල්ලො පොලිසියට ගිහින්ද පොලිසිය බල්ලට ගිහින්ද කියලා හිතා ගන්න බැහැ.

sameerausa said...

මමත් කාලේකට උඩදි ලිව්වා පොලිසි කතාවක්. වැඩක් නෑ කියලා.. වැඩක් කරගන්න වැඳ වැටෙන්න ඕන.. එහෙම නැත්නම් ලොකු ලොක්කෙක් ගේ නමක් කියන්න ඕන

කැන්ඩි... said...

@ CALHARA

ඔය දෙකම එක පාර වෙලා මම හිතන්නේ

පළමු වතාවට මේ පැත්තේ ආවට ස්තූතියි....

@ sameerausa

ඔව් ඔව් අනිවා ඔය දෙකෙන් එකක් ඕනේමයි....

මේ පැත්තේ ආවට ස්තූතියි....

Post a Comment

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes | Powerade Coupons