Friday, July 1, 2011

අවසන් ලියුම..




ජීවිත කාලයක් ඔබ හා එක්ව සිටීමට ඔබගේ දුක සැප විමසීමට ඔබව රැක බලා ගැනීමට අග්නි දළුවක් වටා ගමන් කර මා ඔබට පොරොන්දු වූයෙමි. ජීවිතයේ විවිධ වූ කටුක සමයන් හි ඔබ හා එක්ව සියල්ල සමසේ විඳ දරා ගනිමින් ඔබට මා දැක්වූ ආදරය සත්‍යයකි. නමුදු වයස් ගත වීම හෝ අප කැදැල්ලේ දරුවන් නොමැති වීම හෝ ඔබ අධික ලෙස රෝහලේ රාජකාරීන්ට කැපවූ නිසාවෙන් හෝ පසුකාලීනව අප අතර යම් දුරස් බවක් ඇති විය. ජීවිතයේ එක්ව ගමන් කළ අප දෙදෙනාගේ ඒ බැඳීම අප දෙදෙනා අතින්ම ගිලිහී ගියේ අපටත් නොදැනීමය. 

පසුව ඔබ මා ගැන සොයා බැලීමද මා හට තරමක පීඩාවක් වූයේ මේ වෙන්වීම මසිතෙහි ඇති කළ යම් පසුතැවිල්ලක් බඳු වූ සිතුවිල්ලය.එය පසුතැවිල්ලක්ද එසේත් නැතහොත් මා වරදකාරයෙක් යන හැඟීම මසිතෙහි වූ නිසාවෙන් ජනිත වූ සිතුවිල්ලක්ද යන්න තේරුම් ගැනීමට මුලදී මාහට අපහසු විය. නමුදු කල් යත්ම ඒ මාගේම හෘදසාක්ෂිය මා ඔබට වරදක් කරනවා යන්න නිසා හටගත් සිතුවිල්ලක් බව මා හටම පසක් විය. දැරියක ලෙස අප හමුවට ඉගෙනීමට ආ කුසුම් කලෙකට පසු වැන්ඳඹු මවක් ලෙස සරණාගතයන් සමඟ දූපත් වාසයට පැමිණීමෙන් ඈ කෙරෙහි වූ අනුකම්පාව තවත් තීව්‍ර වන්නට විය. එය ආලයක් බවට පත් වූයේ කෙසේද යන්නත් එම ආලයට මා වාල් වන්නටත් හේතුව අදටත් මට සිතා ගත නොහැක.

හොරේන් නාස්කුර් සමඟ කුසුම් බැලීමට යාමට මා පෙළඹවීමට මූලිකම හේතුව වූයේ මෙම ආගන්තුක ආලය යි මා තදින් විශ්වාස කරමි. ඇයට මා ආලය කළද ඈ පිළිගත්තේ හොරේන් නාස්කුර්ගේ ආලයයි.ඇය ඔහුට ආලය කරනවා යයි දැන දැනත් මා සිතේ ඈ කෙරෙහි වූ ලෙන්ගතුකම අල්පමාත්‍රයකින්වත් අඩුනොවූයේ කෙසේ දැයි මා  නොදනිමි.මෙම ලියවිල්ල ඔබ අතට පත්වන විට බොහෝ විට මා ජීවතුන් අතර සිටිනු නැත.හොරේන් නාස්කුර් ෆෝකීර් රැගෙන ආවත් දූපතෙන් පිටවීමට කිසිසේත්ම කැමැත්තක් නොදක්වන කුසුම් මෙහි තනිකර දමා ඒමට මසිත සූදානම් නැත. මගේ අවසාන හුස්ම පොද වාතලයට මිශ්‍රවනතුරු ඈ සමඟින් සිට ඈ වෙනුවෙන් සටන් කිරීමට මසිත දැන් සූදානම්ය.

මගෙන් වරදක් සිදු නොවූ වගත් එයට මා වග නොකිව යුතු බවත් මම කවදාවත් නොපවසමි. මාකළ වරද වරදක් ලෙස සලකා මා හට සමාව භජනය කරන ලෙසද මා ඔබෙන් නොඉල්ලමි. මෙම ලියමනෙහි මූලික පරමාර්ථය වන්නේ ඔබෙන් සමු ගැනීමයි .හොරේන් ෆෝකීර් සමඟ දූපතෙන් පිට වීමට සූදානම් වෙයි. ඉතින් මා ඔබෙන් සමු ගන්නම් නිලීමා. කවදා හෝ පෙර මෙන් අපට එක්ව සිටීමට ලැබේවා යයි පතමි.

නිර්මාල්..

Hungry Tide by Amitav Gosh ඇසුරෙනි.

Image Source :  http://rohinimitra.blogspot.com/2010/07/partitioned-tigera-study-of-amitav.html Accessed 1st of July 2011 7.33 PM [Online]

චතුර.... ( කැන්ඩි )

4 comments:

මම මේ බැලුවා එකපාරටම මොකෝ උනේ කියලා. දරුවෝ නැති එකත් බැදපු දෙන්නෙක්ට ප්‍රශ්නයක් තමා. සමහරුන්ට දරුවෝ ඕන හැටියකට ඉන්නවා. ඒත් සමහරු දරුවෙක් ලැබෙන්න කියලා ශ්‍රි මහ බෝධියට බාරත් වෙනවා. බලන්න එකේත් හැටි.

පොත හොයන් කියවන්න සහෝ .. ඕක මට හිතුන එක අදහසක් විතරයි.. මම ගාවත් පොත නම් තියෙනවා, හැබැයි කොල්ල කියෙව්වට පස්සේ බල්ලත් කියවන්න ගිහින් ඌට පොතට වැඩිය කවරේ රසයි කියලා හිතිලා කවරේ කාලා..
ආ උදාන වැකිය කියන්න බැරි වුනානේ ඔන්න එහෙනම් ,අද දවසට තුන් හතර වතාවක් මේ පැත්තේ ගොඩ වැදුනාට ස්තූතියි..!!

හ්.ම් අරං කියවන්න හිතෙන පොතක් ..

ඔව් සහෝ අපූරු පොතක්.. පොතේ කතාව පස්සේ වෙලාවක ලියන්නම්..
වෙනදා වගේ මේ පැත්තේ ආවට ස්තූතියි..!!

Post a Comment