Wednesday, March 30, 2011

අකීකරු මගෙම හිත ..




Space Collective 2011,Self-Evolving personal cargo Web Site,[Online],Available:http://spacecollective.org/SelfEvolving/4609/The-Extended-Mind[Accessed 30 March 2011]



තරහවක්
ආදරයක්
අනුකම්පාවක්
ලැජ්ජාවක්
එකවර ඇති වුනත්
මේ දේ මෙහෙමයි කියලා තේරුම් ගත්තත්
ආය බලන්නේ නෑ කියලා නීති දැම්මත්
මේක කරන්නේ නෑ කියලා පොරොන්දු වුනත්
කිසිම දෙයක් ගණන් නොගෙන හිටියත්
දුක යටපත් කරන් හිටියත්
වෛරය මැඩ ගත්තත්
කෙනෙක් ගැන දුක හිතුනත්
හොඳක් කළත්
නරකක් කළත්
හැමදේටම නීති දැම්මත්
හැමදේ ටම සීමා පැනෙව්වත්
හැමදේටම පොරොන්දු වුනත්
ලද සැණින්
නිදහස සොයා යන
අකීකරු මගෙම හිත
මෙල්ල කරමි මම අද සිට

කැන්ඩි....

Tuesday, March 29, 2011

ස්කූල් වෑන් එක..



Prime Radio SriLanka 2010, Prime radio Web Site,[Online],Available :http://www.primeradio.lk/news/2010/11/21/special-license-to-school-vans/[Accessed 29 March 2011]


ඉස්සර ටිකක් පොඩි කාලේ කැන්ඩි කරපු සමහර වැඩකටයුතු හින්ඳා සහ කැන්ඩි ඉස්සර හැසිරිච්චි විදිය හින්ඳා කැන්ඩිගේ අම්මට කැන්ඩි ගැන ලොකු බයක් හිතේතිබ්බලු.මේකා තනියම යැව්වොත් රස්තියාදුකාරයෙක් වෙනවා කියලා හිතිච්චි හින්ඳමද කොහෙද කැන්ඩිගේ අම්මා නීතියක් පැනෙව්ව කැන්ඩිට කිසිදා තනියම ගමන් තහනම් ය කියලා, ඉතින් වෙන මොනවා කරන්නද දෙන දෙයක් කාලා ඉන්න එපාය ,කැන්ඩිට ඉතින් ඊට පස්සේ හැමදාම කවුරු හරි එක්ක මිසක් පන්තියකටවත් යන්න ලබුනේ නෑ. කොටින්ම කියනවනම් හිරගෙදර.

ඒක නිසා කැන්ඩිව ගේ ළඟින් යන ස්කූල් වෑන් එකේ නැතුව යැව්වේ කැන්ඩිගේ අම්මලාගේ ගමේ ඉඳන් ආපු ස්කූල් වෑන් එකක. ඒ වෑන් එකේ ඇන්ටියෙකුත් හිටිය නිසා තමයි වැඩිමනකුත් කැන්ඩිගේ අම්මා ඒ වෑන් එකට කැමති වුනේ. වෑන් එකේ ඇන්ටි කැන්ඩිගේ අම්මාගේ දුර නෑයෙක්. ඉතින් කැන්ඩිට ඔය වෑන් එකේ හම්බවුනේ ඉස්සරහම ආසනය නිසා ඉතින් වැඩිය බාලිකාවන්ගේ මූණු ටික බලාගන්නත් ගොඩාක් කාලයක් ගත වුනා,ඒත් ඉතින් මොනවා කරන්නද නෝ කතා නෝ සිනා ඇන්ටි ඉන්නවනේ.

ඇන්ටි මේ වෑන් එක කරන්නේ ඩ්‍රැයිවර් කෙනෙක් දාලා ඩ්‍රැයිවර්ට දවසේ පඩිය දීලා තමයි. ඔය වෑන් එකේම තමයි ඇන්ටිගේ දුවයි පුතයි ගියෙත්. ඔය දෙන්නත් හිටියෙ ඇන්ටිගේ වර් එක හිතට අරන් තමයි.කැන්ඩි වෑන් එකට ඇතුළු වුන කාලෙම තමයි ඇන්ටි අළුතෙන් වෑන් එකක් ගත්තෙත්.ඔය අළුත් වෑන් එකට අළුත් රියදුරු මහත්තයෙකුත් ආවා. ඉතින් ඔය අළුත් රියදුරු මහත්තුරු ගොඩ දෙනෙක් හැමතැනම පාරවල් දන්නේ නැහැනේ. මේ අළුත් රියදුරු මහත්තයත් එහෙම තමයි. ඔන්න ඇන්ටිට මේ රියදුරු මහත්තය කියනවා ," නෝනා මට හරියට හැරෙන තැන කියන්න." ඔන්න ඇන්ටිත් කියනවා " ඔය පාරෙන් රාජකාරුණා මාවතට දාන්න" ඔන්න ඉතින් අර රියදුරු මහත්තයා දහ අතේ හොයනවා රාජකරුණා මාවත ,හොයලා ආයෙත් අහනවා " නෝනා කොයි පත්තටද හැරෙන්නේ..?" ඇන්ටි ආයෙත් කියනවා " රාජකරුණා මාවත පැත්තට " ඔන්න ඉතින් මේ රියදුරු මහත්තය ටිකක් මූණ ඇඹුල් කරලා බැලුවම ඉස්සරහ හිටපු කැන්ඩි දකුණට අත දික් කරලා පෙන්නුවා, ඉතින් ඊළගට ආයෙත් මේ රියදුරු මහත්තයා අහනවා " නෝනා කොහෙටද හැරෙන්නේ " ඇන්ටිත් ඉතින් කියනවා, " සිරිධම්ම මාවතට " ඔන්න ඉතින් ආයෙත් කැන්ඩි අනාරාධිතවම පාර පෙන්නුවා.

ඔහෝම ඔහොම පාරහොයන් කැන්ඩිලගේ ඉස්කෝල පැත්තට එනකොට පටන් ගන්න වෙලාව පහු වෙලා, ඇන්ටිගේ දුවගේ පාසල වුනේ ගෝතා බාලිකාව, ඇන්ටිගේ පුතා ගියේ කැන්ඩිගේ පාසලේ සහෝදර පාසලට. ඔන්න ඉතින් ඇන්ටිගේ දුවයි පුතයි ඉතින් දැන් "මේ ඩ්‍රැයිවර් එක්ක ආවම හැමදාම මෙහෙම වෙයි "කියලා බැහැලා ගියා. ඔය දෙන්නම බැස්සට පස්සේ තමයි කැන්ඩිගේ පාසලට එන්නේ, ඔන්න ඉතින් කැන්ඩිවත් බස්සවලා යන්න ගියා,එදා හවසත් තවත් සතියක් විතර අර රියදුරු මහත්මයට පාර හුරු වෙනකනුත් ඔහෝම තමයි වුනේ. පඩි නඩි හේතු නිසා ඇන්ටිගේ වාහනයට එන රියදුරු මහත්වර වැඩිය කල් හිටියේ නෑ. ඉතින් ඔය විදියට රියදුරු මහත්වරු පස් හය දෙනෙක්ම මාරු වෙලා යන්න ගියා.

මේ රියදුරු මාරුව ඇන්ටිට ටිකක් අමාරු වෙච්චි නිසාවෙන් ඇන්ටි ඊළඟට ගත්ත තීරණය තමයි , ගෙදර දොරේ ඉඩම් කඩම් බලා හදාගෙන හිටිය ඇන්ටිගේ අන්කල්ව රියදුරු වැඩේට ගන්න එක. ඉතින් අන්කලුත් වැඩේට ආවා. අන්කල් කොළඹ ඉගෙනගත් කොළඹ නිතර ආ ගිය කෙනෙක් නිසා පාරවල් නම් වැඩිය ප්‍රශ්නයක් වුනේ නෑ.ඒත් ඉතින් ඔය පාගමනක් දවසක කලින් ඉස්කෝලේ ඇරිලා අන්කලුත් නොදන්න පාරවල් වගයක යන්න සිද්ධ වුනා, ඉතින් අන්කලුත් "මට හැරෙන තැන කියන්න" කිව්වම ඇන්ටි කිව්වේ " කුමාරතුංග මුනිදාස මාවතට හැරෙන්න" " රාජකරුණා මාවතට දාන්න" වගේ දේවල්. ටික වෙලාවක් මේක අහන් ඉඳපු අන්කල් මෙහෙම කිව්ව " මම ඔය මල ඉලව් පාරවල් දන්නේ නෑ, මට හැරෙන පැත්ත කියනවා " ටික වෙලාවක් " වමට හැරෙන්න " "දකුණට හැරෙන්න " කියපු ඇන්ටි ටික වෙලාවකින් ආයෙත් පරණ විදියටම පාර කියන්න පටන් ගත්තා, ඉතින් අන්කල් මෙහෙම කිව්වා,"මනුස්සයෝ මම ඔය නම් කට පාඩම් කරගෙන නෑ මට හැරෙන පැත්ත කියන්න කියලා" ඉතින් ආයෙත් ඇන්ටි වමට දකුණට උත්තරය දෙන්න පටන් ගත්තා. අන්කල්ට හැබැයි එක ප්‍රශ්නයක් තිබුණා ,ඒක තමයි අන්කල් ගොඩාක් කාලයක් වාහන එළවීමෙන් බැහැර වෙලා තමයි ඉඳලා තියෙන්නේ, ඒක නිසා එයාට වාහනය වැඩිය හුරු නැහැ. ඉතින් ටිකක් හෙමින් තමයි යන්නේ. ඒක නිසා ආයෙත් අර පරක්කු වෙන ප්‍රශ්නය ආවා.

ඉතින් ඔහෝම ටික දවසක් යද්දී පුංචි පවුල රත්තරන් කියලා කියන නිසාද කොහෙද ඇන්ටි ගාව සීට් එකේ හිටපු
ළමයි දෙන්නා පිටිපස්සට යවලා ඇන්ටිගේ දුවයි පුතයි ඒ සීට් එකට ආවා.ඔන්න ඉතින් දැන් තමයි හොඳම හරිය. අන්කල් ටිකක් හෙමින් එළවන නිසා ඇන්ටි මෙහෙම කියනවා" ආනන්ද ටිකක් ඇක්සලරේට් කරලා යමුකෝ " ටික වෙලාවකින් පුතා මෙහෙම කියනවා " තාත්තේ ඔය බ්‍රේක් එකෙන් නැතුව ඇක්සලේටරය පාගලා වාහනේ යන්කෝ " ටික වෙලාවකින් ඇන්ටිගේ දුව මෙහෙම කියනවා " තාත්තේ මට හවස පන්තියට යන්න පරක්කු වෙනවා ".. ඒත් සතියක් විතර යනකන් අන්කල් ඕවට උත්තර විදියට හිනා වෙන එක විතරයි කළේ. ඔහොම සතියක් විතර ගියට පස්සේ අර තුන්දෙනා අර විදියට කියන වාර ගණන වැඩි වුනා, තවත් සතියක් විතර යනකොට ඕක අහන් ඉන්න බැරි තරමේ මන්තරයක් වගේ වුනා, එක පාරටම දවසක් අන්කල් වාහනේ පාරේ පැත්තකට කරල නවත්තල මෙහෙම කිව්වා " තමුසෙලා මට මේ වාහනය එළවන්න දෙනවද ..? නැත්තන් තුන්දෙනා එක්ක මේ වාහනය අරගෙන යනවද ..?" . එදාට පස්සේ ඇන්ටි වෑන් එකේ යන එක අඩු වුනා, අන්කල් විතරයි ආවේ, අර දුවයි පුතයිත් කළින් හිටපු සීට් වලටම ගියා. අන්කල්ගේ පරක්කුවට විසඳුම විදියට වැන් එක වෙනදාට වඩා කළින් පිටත් වුනා.

ඔහොම අවුරුද්දක් විතර යනකොට ඇන්ටි එන එක නැත්තටම නැවතුනා. ඒත් ඉතින් නෑකම නිසා කැන්ඩිට පාසල් ජීවිතය අවසාන වෙනකන්ම යන්න සිද්ධවුනේ ඔය වෑන් එකේ . ඔය අතරේ කැන්ඩි සාමාන්‍යපෙළ කළා ඉහළින් උසස් ආකාරයෙන් සමත් වුනත් කැන්ඩිට ඉතින් පාසල් වෙනස් කරන්න උවමනාවක් නැහැනේ, ඒත්
ඇන්ටිගේ දුවනම් ගෝත බාලිකාවට සමු දීලා ආඩම්බරෙන් මිගාර මාතා පාසලට ඇතුලත් වුනා.ඒක නිසා ගමනත් වෙනදට වැඩිය දිග්ගැස්සුනා..

ඔය කියන කාලේ වෙනකොට කැන්ඩි හොඳ නමක් හදාගෙන හිටපු නිසා සහ කැන්ඩිගේ යාළුවා හිරාන්ව ගෙදරට විශ්වාස වන්ත වෙච්චි නිසාවෙන් කැන්ඩිට තනියම අමතර පන්ති යන්න නිදහසක් ලැබුනා. ඒත් හිරාන් එන්නේ නෑයි කියන දාට යන්න ලැබුනේ කළින් වගේ රියදුරු සමඟ අපේ හිරකාර වාහනේ සුපුරුදු පරිදි හිරකාරයා වගේ. උසස්පෙළ කරන අවධියෙත් ඉස්කෝලේ ගියේ වෑන් එකේ වුනාට අවසන් වසර වැඩිය ස්කුල් වෑන් එකේ යන්න ලැබුනේ නෑ, ඒ මොකද කියනව නම් මම කළින් රසායන විද්‍යාව ඉගෙන ගත්තු ගුරුතුමා වන අපේ නැසීගිය බුලත්සිංහල ගුරුතුමා කියන විදියට කැන්ඩිත් උසස්පෙළ අවසන් වසර කොළඹ ක්‍රමයට අනූව දවස් තුනක් පාසලටත් දවස් දෙකක් පුනරීක්ෂණ පන්තියටත් වෙන් කරලා තිබ්බ නිසාවෙන්.

හැබැයි මේ ස්කූල් වෑන් එක ගැන කියනවා නම් අන්කල් වෑන් එකට පස්සේ පස්සේ දැම්මේ අළුත් ටයර් වෙනුවට පරණ ටයර් අර කම්බිත් මතුවෙච්චි ඒවා, ඉතින් මාසයකට එක පාරක්වත් මේ වෑන් එකේ ටයරෙකක් බාලිකා විද්‍යාලයක් ඉස්සරහා බෝම්බයක් වගේ පිපිරෙනවා. .පිපිරෙන්න ටයරයකුත් නැත්නම් නවතින්න වෙන හේතුවකුත් නැත්නම් ඔය වාහනේට හැදෙන අනිත් ලෙඩේ තමයි බොයිල් වෙන එක.මම හිතන විදියට අන්කල් ඔය වාහනේට පස්සේ හයි කරලා තියෙන්නේ කටුගෙදරින් පන්නපු රේඩියේටරයක්.කරුමේ කියන්නේ ඔය බොයිල් වීමත් ඔය බෝම්බ පිපිරවීමත් ඉතින් සිද්ද්ධ වෙන්නේ නිකන් ස්ථානයක එහෙම නෙවෙයි .හන්දියක් මැද්දේ එහෙමත් නැත්නම් බාලිකා විද්‍යාලයක් ඉස්සරහා වගේ ස්ථානවල තමයි. වැඩිපුරම ඔය දේවල් සිද්ධ වුනේ කනත්ත බාලිකාව ඉස්සරහා.කැන්ඩියි අනිත් වෑන් එකේ ගිය කැන්ඩිගේ මිත්‍රයා වන කල්පගේ අදහසට අනුව ඔය වෑන් එක අක්ක වෑන් එකක් නෙමෙයි අයියා වෑන් එකක්. ඒකනේ බාලිකා විද්‍යාල ඉස්සරහටම යන්නේ නතර වෙන්නෙ. ඉතින් ඔය නැවතිච්චි වෙලාවට නිකන් ඉන්නත් බෑනෙ කට්ටියම එකතු වෙලා ඕක තල්ලු කරනවා, ඒත් ඉතින් වෑන් එක තල්ලු කරනකොට බාලිකාවෝ කිචි කිචි ගානකොට හිතා ගත්තැකිනේ කැන්ඩිටයි අනිත් පිරිමි ළමයින්ටයි හිතිච්චි දේවල්..


කැන්ඩි....

Sunday, March 27, 2011

නාරං භාවනාව..



ඊයේ පෙරේදා දවසක කැන්ඩිගේ අම්ම කියපු කතාවක් අහන් ඉන්නකොට තමයි මට මේක මතක් වුනේ.

ඒ කාලේ කැන්ඩියි අක්කයි මාර බුදු ෆිට් එක කියල කිව්වොත් තමයි වැඩිය හොඳ.මීට අවුරුදු පහලවකට විතර කලින් දහම් පාසල් යනකොට කරපු වැඩනම් ඉතින් කියලා නිම කරන්න බැ. මේකත් ඒ කතා වලින් එකක්.

ඔන්න ඉතින් ඒ කාලේ දහම් පාසලේ සිල්ගන්න දවසට කොච්චර කට් පාර දාලා ගෙදර ඉන්න හ්දුවත් කැන්ඩිගේ අම්මයි තවත් ලොකු අම්මෙකුයි දහම් පාසලේ ආචාර්ය මණ්ඩලයේ හිටපු නිසා සිල් නොගෙන ඉන්නම අපිට බැරි වුනා කිව්වොත් තමයි කතාව නිවැරදි. මොකද ඒකාලේ අපිට සිල් ගන්නවා කියන්නේ ටිකක් අමාරු වැඩක් මොකද සිල් ගත්තොත් ඉන්න වෙන්නේ අපේ අම්ම ළඟ හරි නැත්නම් අර කලින් කියපු රාස්සියක් වගේ අපේ ලොකු අම්මා ළඟ. ඔය කියපු ලොකු අම්මට ඒ කාලේ දහම් පාසලේ හිටපු ළමයි විතරක් නෙවෙයි අද ඉන්න ළමයිනුත් කියන්නේ රාස්සි ටීචර් කියලා ළඟදී ඉරිදා දවසක් අම්මව එක්කන් එන්න දහම් පාසල ළඟට ගියපු කැන්ඩිට ඇහුනලු.

ඔන්න ඉතින් මේ කිව්ව දවසේත් කැන්ඩියි අක්කයිකොච්චර කට් එක දාන හැදුවත් සිල් ගන්නම වෙන අතට වැඩ සිද්ධ වුන නිසා කැන්ඩියි අක්කයි ඉතින් හිතින් බැන බැන සිල් ගන්න ගියාලු. කොහොමින් කොහොමින් හරි දවල් වෙනකන් ශේප් එකේ අම්මවයි ලොකු අම්මවයි තියන් ඉඳලා දවල් දානේ වෙලාවෙන් පස්සේ තමයි කැන්ඩිටයි අක්කටයි සෙට් එක එක්ක එකතු වෙන්න ලැබුනේ. ඒ කාලේ හිටිය කැන්ඩිගේ අක්කගේ පන්තියෙ ළමයි සහ තව ඉහළ පන්තිවල අයියල සහ අක්කල දෙතුන් දෙනෙකුයි කැන්ඩිගෙ අක්කගේ පන්තියේ සෙට් එකයි ඔය කැන්ඩිගේ අක්කගේ පන්තියේ හිටපු අක්කලා රෑනගේ තවත් මල්ලිලා නංගිලා කිහිප දෙනෙකුයි තමයි සෙට් එක. ඔක්කොම දහයක් විතර ඇති.

කොහොම හරි අර අක්කලා රෑනගෙන් ටිකක් කට්ටිය වෙනම කට්ටියක්ලු. දවල් ඉතින් ඉන්න ගමන් අනිත් අයත් එක්ක මොනවද කරන්නේ කියලා කතා කර කර ඉන්නකොට මෙතන හිටියොත් නම් මොනවත් කරන්න හම්බ වෙන්නේ නැති නිසා උඩ මළුවට යමු කියලා යෝජනාවක් කොහෙන්ද ආවලු. කට්ටියම එක පයින් ඕකට කැමති වුනාලු. ඔක්කොම එක පාර යන්න ඇහුවොත් කාටවත් යන්න බැරිවෙන නිසා වෙන වෙනම කට්ටිය අහලා අනිත් ගුරුවරුන්ගෙන් අහල දෙන්න තුන්දෙනා වගේ කාණ්ඩ උඩ මළුවට භාවනා කරන්න කියලා ගියාලු.උඩමළුවේ තමයි විහරය තියෙන්නෙත්.

ඔහොම ඉඳලා ඉඳලා කැන්ඩියි අක්කයිත් අම්මගෙන් අවසර අරගෙන ධර්ම ශාලාවේ ඉඳලා උඩ මළුවට භාවනා කරන්න ගියාලු.කැන්ඩියි අක්කයි යනකොය අර කළින් ගිය අක්කලා රෑන සහ තව අයියල දෙන්නෙක් උඩ මලුව පිටිපස්සෙන් පහළට බැහැලා පන්සල් වත්ත පිටිපස්සේ තියෙන කොස්ගස් ළඟට ගිහින්ලු වරකා ගෙඩියක් හොයන්න.

අනිත් අය වරකා ලැබෙන කන් බකන්නිලා භාවනාවලු. ඔන්න කැන්ඩිගේ අක්කත් ගිහින් ටිකක් වටපිට බලබල ඉන්න කොට තමයි මතක්වුනේ උඩමළුවේ පිටිපස්සේ පැත්තක තියෙන නාරංගහ.හැබැයි මේක ධර්මශාලාව පැත්තට පේන්නේ නැති වුනත් මේ ගහ ආවාසගේ පැත්තට පේනවලු. ඔන්න ඉතින් ටිකක් විපරම් කරලා ඔත්තුකාරයෙක් ආවාසගෙට යැව්වලු කැන්ඩිගේ අක්කා. ඔත්තු කරුවාට දැනගන්න හම්බ වුන විදියට ලොකුහාමුදුරුවෝ සහ පොඩිහාමුදුරුවෝ මොකකට හරි අල්ලපු ගමේ පන්සලට වැඩම කරලලු.

ඔය කියන ගහේ හැමදාම වගෙ නාරං තිබුනත් කවදාවත් ඔය ගහ පැත්තකටවත් යන්න ලොකු හාමුදුරුවන්ගෙන් නම් අවසර ලැබුනේ නැහැලු.ඒ වගේම ඕක ටිකක් පරණ විශාල ගෙඩිතියෙන ටිකක් ලොකු නාරං ගහක්ලු.ටිකක් ලොකු නෙවේ කැන්ඩි දැකලා තියෙන නාරං ගස් වලින් විශාලම නාරං ගහ ඕක තමයි.

ඔන්න ඉතින් ඉතිරිවෙලා හිටපු කට්ටියගෙන් ලොකුම එක්කෙන කැන්ඩිගේඅක්කා සහ අනිත් අය අර අක්කල අයියලාගේ නංගිලා මල්ලිලා .කැන්ඩිටත් වැඩිය වයසින් අඩුයිලු. දැන් හිටපු අයගෙන් ගහට නැගලා අතුපාත් කරන වගකීම පැවරුනේ කැන්ඩිට.පොල්පිත්තක් ගහට හේත්තු කරලා අක්කා කැන්ඩිව ගහට නැග්ගුවලු.කැන්ඩි ඒකාලේ ගස් නඟින්න දන්නේ නෑ(තවමත් එහෙම තමයි .)කැන්ඩිගේ අක්කනම් ඔය වැඩවලට කියාපු දස්සිලු.ඒත් ඉතින් කැන්ඩි ගහට නැග්ගට අතුවල මැද්දට යන්නවත් බයලු.ඒක නිසා අක්ක දුන්න විධානය තමා ගහේ අතු පාත්කරන්න කියපු එක.ඒත් කැන්ඩි පාත් කරපු අතුවල වැඩිය ගෙඩි තිබ්බේ නැති නිසා කැන්ඩිගේ අක්කගෙන් වහාම නියෝගයක් ලැබුනා වහාම බිමට බටු ලෙස.ඔන්න ඉතින් කැන්ඩි බිමට බැස්ස අක්ක ගහට නැග්ග.ළමා සාරියකුත් පටලවගෙන ගස් ගියයි කියන්නේ ඉතින් හිතා ගන්න පුළුවන්නේ කට්ටියටම කෙනාගේ හැටි නේද..? ටික වෙලාවක් යනකොට වරකාත් අරගෙන කට්ටිය ආවලු.

ඒ අයටත් ගහේ ඉඳන් ගෙඩි කඩලාදෙන ගමන් කැන්ඩිගේ අක්ක ගහේ ඉඳන් නාරං කන්නත් පටන් ගත්තලු. මේ වැඩේ පටන් ගත්තේ ඉතින් බිම ඉන්න අයට ටිකක් කඩලා දීලා තමයි. ඒ බිම හිටපු තව අයියෙකුටයි අක්කෙකුටයිත් නරං හිතේ හැටියට කන්නඕනේ නිසා ඒ දෙන්නත් ගහට නැග්ගලු.

බිම ඉන්න අය දැන් වරකයි නාරනුයි දෙකම විකාල භෝජනයකරනවලු,ගහේ ඉන්න අය නාරං භෝජනය කරනවලු. ඔන්න ඔහොම ටික වෙලාවක් යනකොට ආවාසගේ පැත්තෙන් ඇහෙනවළු ළමයිනේ නාරං ගහෙන් බහින්න කියලා, බැලිනම් ලොකු හාමුදුරුවෝ පන්සලට ආපහු වැඩලා වැඩේ දැකලලු.

කට්ටියටම ඉතින් උඩ මළුවෙන් ධර්මශාලාවට යන්න වෙන කියන්න ඕනේ වුනේ නැහැලු. ඔන්න ඉතින් ලොකු හාමුඩුරුවෝ ඇවිල්ල වැඩේ බලල නඩුව අහනවලු මුළු දහම් පාසලේම ආචාර්ය මණ්ඩලයත් එක්ක. ගියපු එක්කෙනෙක්ටවත් ගැලවෙන්න හම්බ වුනේ නැහැලු ඉතින් ලොකු හාමුදුරුවෝ දැක්ක නිසාවෙන්.

ඔන්න ඉතින් ලොකු හාමුදුරුවෝ අහනවලු මොනව කියලද මේ ළමයි උඩ මළුවට ගියේ කියල..? ඉතින් භාවනා කරන්න කියල තමයි ලොකු හාමුදුරුවනේ මේළමයි ගියේ කියලා ගුරුවරුත් කිව්වලු.

ටිකක් සැර වුනාට ලොකු හාමුදුරුවොත් ටිකක් විහිළුවට බරයි. ටිකක් බැරෑරුම් විදියට බලපු ලොකු හාමුදුරුවෝ මෙහෙම කිව්වා,"මම බලන කොට මේ ළමයින්ගෙන් කට්ටියක් වරකා භාවනාව තව කට්ටියන් නාරං භාවනාව අනිත් අය නාරං වරකා භාවනාව කරනවා" ඊට පස්සේ කැන්ඩිගේ ලොකු අම්මයි අම්මයි දිහාට හැරිලා කැන්ඩිගේ අක්කයි අර අනිත් අක්කයි අයියයි පෙන්නල මෙහෙම කිව්වා" ඒ විතරක්ය ඉස්කෝලෙ නෝනල මේ දැරිවියො දෙන්නයි අර ළමයයි නාරං භාවනාව වැඩි හොඳටද කොහෙද ගහ උඩම ඉඳන් නෙව කළේ "


පලි: මේ සඳහා ලොකු හාමුදුරුවන් කාටවත් දඬුවම් කළේ නැති අතර කැන්ඩිටයි අක්කටයි විශේෂයෙන් කැන්ඩිගේ අක්කට ඉන්පසුව සිල් ගත් කිසි දිනෙක අම්මගේ ළඟින් අඟලක්වත් එහාට වීමට ඉඩ ලැබුනේ නැත.

කැන්ඩි....

Saturday, March 26, 2011

විද්දේ පඳුරට වැදුනේ හාවට..



මම අදහස් කළේ වෙන දෙයකී
නමුත් වරදවා වටහාගෙන ඇති සෙයකී
මා ආදහස් කළේ එය නොව මට කිව හැකිය
නමුදු මට මෙසේ පැවසිය හැකිය
සත්‍ය ලෙසින් මාහට මිතුරන් නැත්තේ නොවේ
එය නොදන්නා නිසාවෙන්
සමහරු තම මුග්ධත්වය රටටම පෙන්වති
වෙන යමෙකෙක් උදෙසා පැවසු දෙයින්
තවෙකෙකු හට දාහය සැදුන හෙයින්
මේ දෙය පැහැදිලි වනු ඇත
අමතක කර සිටින දේ තවමත් හිතේ තබන්
ලතැවෙන සෙයක් පෙනෙන්නට ඇත්තේ
තමන් හරියි කියා ඔතරම් සිතනව නම්
එක් වදන් වැලකින්
දාහය ඇති වූයේ කෙලෙසද
මා අසා ඇති ලෙසින් හා
මා දැක ඇති අයුරින්
තවද කියනවා නම් ලෝ හැම පවසන අයුරින්
තමන්ගේ වරද යටි සිත පිළිගෙන ඇති සෙයකි

මේ දේවල් නොපැවසුවොත් එය අඩුවකි මම කරන
අනුන් හෙලා දකිනා සමහරුන් වෙතේ
නමුත් ඒ අයත් ඒ වරදම කරනු පෙනේ
මා ගැන පවසනවා නම් මෙලෙස
මේ දේ කිව යුතුමය
එකම වරද දෙවරක් සිදු වූ තැනට
සමාව දෙනු හැක්කේ කා හටද
දෙයක් කියන් දෙයක් කරන එවුන් හට
මා කුමකට මිතුරු කමක් හඟවමිද
ලොවට බණ දෙසන මුත් සමහර උතුමන්ලා
හිස්දේ අගය කරතිය එය බබලවිනා

මේ සියළු දේ පවසා මා නිහඬ වෙමි
එයට පෙර මේ ඔවදනුත් තරයේ සිතනු මැන
අනුන් හෙලා දැකුමට පෙර තම වරද
දැකුම යහපතිය එය ගෙනෙනා සුර සැපත
හිස්දේ හිස්ලෙස නිසිතැන හොවනු මැන
කිසිවිටෙකත් එය මුල්තැන නොහොබවින
කරන දේ කියනු මැන කියු දේ කරනු මැන
ලොවට බණ දෙසා ගෙදරට මරගාතේ නොවනු මැන
ඔබ නොකීවද සත්‍යය එයම වන
කිසිදා ඔබ පිළි නොගනු ඇත එය ඔබේ හැටිය
තවදුරටත් සංවාදය කෙරුම
අපතේ යැවීමකි රන් හා වටින කල
අමතක කරදමා අන් සතු දේ ගැන සෙවුම
කරගනු මැන තමාගේ වැඩ නිසිලෙසින
අනුන් කෙසේ සිටියත් කිම කෙරුවත්
තමන් යහ කෙරුම තම හට දෙයි සැපයක්..



කැන්ඩි....

ඔබයි සැබෑ අම්මා..



එළිය අඳුරු විය
දිනය නිමා විය
සීතල සුළඟත් සමඟින් දිනය නිමා විය
පොද වැසි වැටුනි
කෙමෙන් එය මහ වැස්සක් විය
නමුදු ඔබ බලා සිටි ලෙසින්
හිමි පැමිණියේ නැත
රුදුරු සපු විස හොත්ව
ඔහු මෙලොව හැර ගොසිනි
නමුදු තව වාරයක්
ඔබ මවක් විය නොදැන එය..
මහ වැස්ස අනෝරා වැස්සක්ම විය
හිසට වූ ඒ සෙවන වැසි සුළං
ගෙන ඇදුනි..
ඉකි බිඳුම හැර යමක් කිරීමට නොතිබුනද
දෙ අත් බිම තබා දෙදන බිම හොවා
සැදූ ඒ වහල යට
ඔබේ දරුවන් රැකුනි
කිසි දිනෙක ගුණ වයන දනන් මුව
ඔබේ නම නොකියවුන නමුත්
මහමෙරක් මෙන් නොසැලි සෙවන දුන්
ඔබයි සැබෑ අම්මා..


පටාචාරා කතා වස්තුව ඇසුරිනි..

කැන්ඩි....

Friday, March 25, 2011

ඉළන්දාරියා වෙතට..



පහුගිය මාස දෙක තුන තිස්සේම කාර්යබහුලත්වය නිසාම මට බ්ලොගයට ලොග් වෙන්නත් කිසිම දෙයක් ලියන්නත් වෙලව සහ එයට පහසුකම් ලැබුනේ නැති නිසාවෙන් මේ දේ දැන ගැනීමට නොහැකිවිය. නමුත් මේ දින කිහිපයේ සයිබරයේ ඒ මේ අත සැරිසරද්දී තමයි ඉළන්දාරියා අයියා මුහුණ පා ඇති තත්වය දැන ගැනීමට ලැබුනේ. අන් සියළුම දෙනා සහය පළ කර ඇති බව මට අද දිනයේ බොහෝ බ්ලොග් අඩවි වල පසුගිය ලිපි පරීක්ෂා කිරීමේදී වැටහුනි. මමත් වචනයකින් හෝ සහයෝගයක් දක්වන්න ඕනේ කියල මටත් හිතුනේ ජීවිතයේ බොහෝ දේ ලැබිලත් ලැබුණත් අදටත් ඒ දේවල් මට අඩුවක් නැතුව තිබුණත් ජීවිතයේ විවිධ කාල පරිච්ඡේද වලදි බොහෝමයක් අවස්ථා වලදී මටත් අනපේක්ෂිත තත්වයන් බොහෝමයකට මුහුණ දීමට සිදුවුන නිසයි.

සමහර විට මගේ ජීවිත කතාව ඇසුවොත් අඩුම වයසකින් ජීවිතයේ විවිධ හැල හැප්පීම් වලට මුහුණදීපු කෙනා කියලා ඔබලා හිතන්නත් ඉඩ තිබේ. සමහර විට මම හිතන විදියට ජීවිතයේදී මුහුණ පාන්නට සිදුවන සිදුවීම් ගණනාවකට මේවන විටත් මම මුහුණදී අවසානයි. ඒ ඒ අවස්ථාවලදී විවිධ පුද්ගලයන් විවිධ ආකාරයෙන් අනපේක්ෂිත ලෙස උදවු කළ ආකාරයත් සමහර සමීපතමයින් මඟ හැර ගිය ආකාරයත් නොමැකෙන ලෙස මාගේ මතකයේ සටහන් වී තිබේ. ඒ සිද්ධීන් සෞඛ්‍යමය සහ ආර්ථික ගැටළු නොවූවත් සමහර විට ඒ දේවල් ඔය දෙකෙන් එකක් වගේ දෙයක් වෙනවානම් කෙසේ හෝ එය ගෙවා දැමීමට හැකියයි සිතුන අවස්ථාද තිබුණි.

එම නිසා මා මේ සටහන ඔබ වෙනුවෙන් තබමි. මිය යාම පහසුය නමුත් ජීවත් වීම අපහසුය. ජීවිතයේදී අපට පැන නඟින විවිධ ආකාරයේ ගැටලු වලට විසඳුම් සොයා ඒවා ජයගෙන ජීවත් වීම සැබෑ හපන්කමයි. මේ අවස්ථාවේදී අපද ඔබ වෙනුවෙන් කළ හැකි දෙයක් කරන්නෙමු. ජීවිතය ගැන හෝ ඔබගේ සෞඛ්‍ය තත්වය ගැන කිසිම ආකාරයකින් සිතනවාට වඩා එයත් ඔබට ජීවිතයේදී ලැබුන එක් අභියෝගයක් යයි සිතන්න.

ඒ අභියෝගය ජයගන්නට මමද අපද සයිබරයේද ඔබ වටා සිටින සැවොමද කරනා උපකාර සමඟින් කෙසේ හෝ එය ජය ගන්නවා යයි සිතන්න. කීමට පහසු මුත් එය කිරීමට අපහසුයයි මමද දනිමි නමුත් අභියෝගය වන්නේ එය කෙසේ හෝ කිරීමයි. ඔබට එය අනිවාර්යයෙන්ම කළ හැකි වනු ඇත. එය ඉර හඳ මෙන් විශ්වාසයි.ඒ කාර්‍යයේදී අප සැවොම ඔබ හා හිඳින්නෙමු.කන්දක් නැග්ගොත් පල්ලමක් හමුවන්නාක් මෙන් එකම දේ සෑම විටම එකම කෙනාට සිදුවන්නේ නැත. ඔබට කන්දේ නඟින්නට ඇත්තේ තව ටික දුරයි. ඔබගේ දිනුම් කණුවට ඇත්තේ තව ටික දුරයි. ඒ ටිකත් නොපසුබට වීරියෙන් මෙහෙමම යමු.

ජීවන වෘක්ෂයේ හැමදාමත් කටු ඇති වන්නේ නැත එහි මල් පිපෙන දවසක්ද එයි. ඒ දිනය අත ළඟය.
එදිනට සැම සමඟින් එක්ව සිනාසෙන්න ඔබට ශක්තිය ධෛර්‍යය ලැබේවා..!!
ඔබට නීරෝගී සුව සහ ජයෙන් ජය..!!

කැන්ඩි....



උඹලත් මගේ යාළුවොද..?




මගෙන් දේ අසාගෙන
මගෙන් දේ බලාගෙන
මගෙන් දේ ඉල්ලගෙන
මගෙන් දේ ඉගෙන ගෙන
මගෙන් බොහෝ දේ ඉටු කරගෙන
එක බත් පත බෙදා ගෙන කන
මටම මගේ වරදකට
උඹලාට නොවු වරදකට
දොස් කියන
ඔච්චම් කරන
උඹලාත් මගේ යහළුවොද..?

අද මා වටහා ගතිමි මෙය
දුරින් සිටිනා සතුරු දන
සතුව ඇති දුදන ගුණ
පරදයි උඹලාගේ ගුණ

එපා ඔය මිතුරුදම
තනිව හිඳිනෙමි මම

මිතුරුකම්
කෙලෙහි කම්
දත් එකෙකු හා මෙමම
පමණක්ම මිතුරු වෙමි
පමණක්ම සියළු දේ බෙදා ගමි
මින් මතුව..


කැන්ඩි....

Thursday, March 24, 2011

අපි කරන්න ඕනෙත් අනිත් අය කරන දේමද..?




ටිකක් හිතට හරි නැති වුනත් ඔන්න කල්පනා කර කර ඉන්න කොට මටත් ලියන්න මාතෘකාවක් මතක් වුනා.

මේකට පාදක වුන කතාව ඇති වුනේ පහුගිය දවසක පවුලේ ඔක්කොමත් එක්ක මමත් සහභාගි වෙච්චි වන්දනා ගමනකදි. වන්දනා ගමන ගියේ කොහාටද කියල කියන්න නම් ඕනී නැහැ කියලා හිතනව , ඒත් ගියේ රටේම ප්‍රසිද්ධ ස්ථානයකට. ඔතන රථගාලේ ඉඩ නැතුව ටිකක් එහාට වෙන්නට තියෙන ස්ථානයකතමයි අපි වාහනය නැවැත්තුවේ. ඉතින් ආපහු ආවම ගෙනිහින් තිබුන කෑම වගයක් කාලා ඉවර වෙලා ඒවා දාල තිබුන කවර ඒ කියන්නේ ඇසුරුම් විසි කරන්න ගියහම තමයි මේ ප්‍රශ්නය ඇති වුනේ. එම ස්ථානයේ වාහන නවත්වලා ආහාර අරගෙන ඒවා තැන තැන දමා ගොස් තිබුන අතර තරමක් අපවිත්‍ර වී තිබිණ.

ප්‍රශ්නය ඇති වූයේ මා අපගේ ඉවත ලන දෑ ඉවත නොදමා වෙනත්කුණුදමන ස්ථානයකින් බැහැර කිරීමට වෙනම කවරයකට දමා ගත් අවස්ථාවේදීය. මගේ ඥාතී සොහොයුරාගේ අදහස වූයේ අනෙකුත් පිරිසුත් එම ස්ථානයේම අප ද්‍රව්‍ය බැහැර කර ඇති නිසා අප පමණක් අපද්‍රව්‍ය එම ස්ථානයේ බැහැර නොකර ආපසු රැගෙන යා යුත්තේ ඇයිද යන්නයි. නමුත් කෙසේ හෝ අවසානයේ අකමැත්තෙන් වුවත් කරුණු පහදා දුන්පසු අනෙක් සියල්ලන්ම අප එසේ අනෙක් අය කළ මෙන් නොකළ යුතු බවත් අපද්‍රව්‍ය බැහැර කරන ස්ථානයකින්ම ඒවා බැහැර කළ යුතු බව පිළිගත් නිසා ඒවා ආපසු රැගෙන ආවෙමු. නමුත් මට මෙහිදී පැවසීමට වුවමනා වූයේ අනෙක් සියළුම දෙනා වැරදි දෙයක් අනුගමනය කළත් හරි දේ කුමක්ද කියා දැන ගෙනත් අපිත් ඒ දේම කළ යුතුද යන්නයි.

අද සමාජයේ බොහෝමයක් දෙනා දැන දැන වැරදි කරන්නේ මේ නිසයි. බොහෝමයක් පිරිසගේ ආකල්ප වල වෙනසක් කළ යුතු කාලයයි මේ. බොහෝමයක් දෙනා සිතන්නේ අනික් අයත් ඒ දේ කරනවා නම් මමත් ඒ දේ නොකළ යුත්තේ ඇයි යන්නයි. බොහෝමයක් දෙනා සිතන්නේ තමන් ගැන පමණය.බහුතරයක් දෙනා වැරදි කළ පමණින් දැන දැන තමනුත් වැරදි කළ යුතුද යන්න නුවණින් සිතා බලා කටයුතු කරනවා නම් මෙවන් ප්‍රශ්න පැන නඟින්නේ නැත.


හරි දේ දැනගෙනත් වැරදි අනුන් කරන නිසා තමනුත් වැරදි දෙයක් කළොත් තමන්ටත් කවදා හරි වෙනත් කෙනෙක් කරන්නේ ඒ දෙයමයි කියා සිතාගෙන කවුරුත් කටයුතු කරනවා නම් වඩා හොඳය. මන්දයත් තමන්ට වරදක් සිදු වූ කල්හි ඒ වෙනුවෙන් පිහිට වීමට අනුන් කරනවා ඒ නිසා මමත් කරනවා යයි කියා සිතන ආත්මාර්ථකාමී පුද්ගලයින් පිහිටට පැමිණෙන්නේ නැති නිසාය.


කැන්ඩි....

Wednesday, March 23, 2011

පූසාගේ අවසන් ගෞරව දැක්වීම..



ඇසින් දුටුවේ නැත්නම් විශ්වාස නොකරන අන්දමේ අන්දමේ අත්දැකීමකට මම අද උදෑසනම මුහුණදීපු නිසා ඒ ගැන මම සටහනක් තබමි.

සියඹලාගොඩ ආච්චි කියන්නේ අපේ අසල්වැසි නිවසක හිටපු දරුවෝ පස්දෙනෙකුගේ අම්ම කෙනෙක් . සෑම පසළොස්වක පෝයදිනකටම වගේ සිල් ගත්ත මේ ආච්චිට දාන මාන පිංකම් ආදියට සහභාගී වෙන්න තිබුනේ පුදුමාකාර ඇල්මක්. ඒවගේම පාරේ ඉන්න සත්තුන්ට කන්න ගෙදරට එන අසරණ සත්තුන්ට කෑම දෙන්නත් මේ ආච්චි දැක්වූයේ හරිම කැමැත්තක්.

මේ ආච්චි සොහොයුරියන් තුන්දෙනෙකුගේ වැඩිමහල් සොහොයුරිය. තමන්ගේ සහෝදරියන් එක්ක කාලයගත කරන්න මේ ආච්චි දැක්වූවෙ පුදුම කැමැත්තක් නිසා තමන්ගේ සහෝදරියන්ගේ නිවෙස්වලට ගිහින් දින දෙක තුනක් නතර වෙලා ඉඳලා ආපහු ගෙදර එන එක මේ ආච්චිට සාමාන්‍ය දෙයක්. පහුගිය සෙනසුරාදත් මේ ආච්චි තමන්ගේ සහෝදරියකගේ ගෙදරට මේ විදියට යන්න ඕනේ කියල කියල තිබ්බ නිසා ගෙදර අය එහාට ගෙනිහින් ඇරලවා තිබුනි.

ඉරිදා උදෑසන සෑදුන හදිසි හෘදයාබාධයක් නිසා මේ ආච්චි මියගොස් තිබුනි. අද අවසන් කටයුතු නිසා මමත් අසල්වැසි මේ අච්චිට අවසන් ගෞරවය පුදකරන්න මේ නිවසට ගොඩ වැදිලා දේහය තබා තිබූ ස්ථානයේ මඳ වේලාවක් රැඳි සිට් අතර තුර තමයි මේ අපූරු සිඳුවීම මගේ නෙත ගැටුනේ.

නිවසට එක්වරම දුවගෙන ආපු බළලෙක් එක්වරම දේහය අසලට විත් මහ ශභයක් නඟමින් කෑගසා ,ටිකවේලාවක් එසේ හිඳ ඉන්පසුව දේහය වටා එක් වටයක් ගොස් එක්වරම හිස අසලින් දේහය තබා තිබූ පෙට්ටියට ගොඩ වුනි. අනතුරුව මෘතදේහයේ මුහුණ අසලටම විත් හිස පහත් කර මහා ශබ්දයක් නඟමින් නවතත් කෑගසා පැන දිව්වේය. මෙ අපූරු සිදුවීම දුටුවේ නිවැසියන් සහ එවේලේ එම ස්ථානයේ රැඳි සිටි මා සහ මගේ මව පමණි. පූසාගේ අමුතු හැසිරීම නිසාම කවුරුවත් ඌ පෙට්ටියට නැඟුන අවස්ථාවේ එළවීමට උත්සාහ නොකළෝය. නිවැසියන් කී පරිදි අසල්වැසි නිවෙස්වලට නිතරම යන එන මෙම බළලාට සෑම උදෑසනකම මේ ආච්චි කෑම සහ තමන්ගේ උදෑසන තේ කෝප්පයෙන් අඩක් පමණ දීමටත් පුරුදු වී සිට ඇත.

තමන්ගේ ඥාතියාට අවසන් ගෞරව දක්වන්නට තමන්ගේ රාජකාරිය නිසා නොපැමිණෙන මිනිසුන් සිටින සමාජයක තිරිසන් ආත්මයක උපත ලැබ ඇති මේ සත්වයා කෘතඥ වූ අයුරු දැක මගේ දෑසටත් කඳුළක් මෝදු විය.

කැන්ඩි....

Sunday, March 20, 2011

බලාපොරොත්තු ගොන්න....





විභාගයත් ඉවරයි
ව්‍යාපෘතිත් ඉවරයි පැවරුමුත් ඉවරයි
ලියන්න පෙර මඟ බලා හිටියත්
ලියන්න හිතෙන්නේ නැති ගානයි
දහසක් දේ කරන්න හිටියත් දහසක් දේ හිතන් හිටියත්
කරන්නට එකම දෙයක් වත්
හිතට එන්නේ නෑ..
කාට කියන්නද කුමක් කරන්නද..?
හිස් මනසින් අහස බලා හිඳිමි මම
වහින්න සිටි අහසේ වළා පෙළ
වැස්ස වළාහක දෙවිඳුන් හොරකම් කරලා..


කැන්ඩි....

Saturday, January 1, 2011

නව වසරට ආසිරි.....!!!!!!!!!!!!!!!!!!!!!!!!



අළුතෙන් හිතන්න
අළුත් දේ විඳින්න
අළුත් පැතුම් පොඳි බැඳගන්න
ජීවිතය අළුතෙන් දකින්න

තවත් එකක් නොව
අලුත් එකක් ලෙස
හැමදා ලෙස නොව
නැවුම් ලෙසින් එය
දකිමු හැම එකමුතුව

වැරදුනේ කොතනද
නිවැරදි කුමක්ද..?
ආ මඟ නිවැරදිද..?
යා යුතු මඟ කිමද..?

සිතීමට කාලයයි
වෙනසකට කාලයයි
කටුක වූ ලෝකයේ
තවත් නිසරුව නොයිඳ
ගුණදමින් නැණදමින්
පිරුණ මිනිසුන් වී
නව වසර ජය ගනිමු.......

උදා වූ නව වසර සිතුම් පැතුම් ඉටුවන සෞභාග්‍යමත් සුභ නව වසරක් වේවා...............!!!!!!!



කැන්ඩි....

Thursday, December 30, 2010

ඒ අම්මාගේ හැටිය....




"ඒ කාලේ ඉඳන්ම ඔය මිනිස්සු සහෝදරයෙකුට වගේ පුතාලගේ තාත්තට සැලකුවේ ඒකාලේ පුතාලගේ තාත්තට රස්සාවෙන් තිබුණ තත්වය නිසා....
නැත්නම් ඒ කාලෙත් අයියලයි මල්ලිලයි ඔක්කෝම කළේ තාත්තාට ඊරිසියාව..
තාත්තා මොකක් හරි අළුත් දෙයක් කරන්න හැදුවම හැම දේකටම සහෝදරයෝ කියල හිටිය ඔය අය කළේ කෙනෙහිළිකම්
ඒ කාලේ සීයා තාත්තට ගොඩාක් ආදරෙන් හිටියා කියලත් ඔය සහෝදරයන්ට හරිම තරහවක් තිබුණ..
පුතා උපන්නම සීයා දොලේ වත්ත පුතාගේ නමට ලිව්ව එකට ඔය සහෝදරයෝ හරියට බැන්න..
ඒ කාලේ සීයගෙන් අහල තිබ්බ අපේත් ඉන්නේ දරුවෝ නෙවෙයිද කියලත්..?
ඒත් පුතාලගේ තාත්තා,ඔය ලොකු තාත්තගේ පුතාට ඉඳුල් කට ගාන වෙලාවේ ඇල් වී ඕනේ වෙලා කියලා මුළු ගම පුරාම ම්නිස්සු දම්මවල ඇල්වී තියෙන ගෙදරකින් සල්ලි දීලයි ගත්තේ..
පුතාලගේ තාත්තට සත පහක්වත් ඔය සහෝදරයෝ දීල නැතත් පුතාලගේ තාත්තාගෙන් ඔය අය සැරින් සැරේට ඉල්ල ගත්තුවා අදටත් මට මතකයි..
සහෝදරයොනේ කියල මමත් කවදාවත් තාත්තට ඕවා ඉල්ල ගන්න කියල බල කළේ නැහැ..
පුතා දන්නේ නැහැ තාත්ත නැති වුනාම සහෝදරයගේ මරණයටනේ අපි මේ ආවේ කියලා එන මනුස්සයෙකුට දෙන්න කියලා පාන් ගෙඩියක්වත් ගෙනිච්චේ නැහැ ඔය මිනිස්සු..
මට අදට වගේ මතකයි පුතාගේ තාත්ත නැති වෙච්ච වෙලාවේ ඔය ලොකු තාත්තා ඇවිල්ල කිව්වේ අපි වියදම් කරන්න ඕනේ නැහැනේ මල්ලි ඉතුරු කරල තියෙනවනේ,අනික තාත්තත් වැඩිපුර දේපල දුන්නේ මල්ලිටනේ කියල..
ඉන් පස්සේ පුතාලගේ තාත්තගේ අර්ථසාධකය ගන්න ගියාම අපි ගමේ හිටිය නැති නිසා ලිපිනය දීල තිබ්බේ බාප්පගේ ගෙදර එක,ඒකට ආපු ලියුම් කියුම් ටික ඔක්කෝම හංගගෙන ඔය මිනිස්සු කිව්වේ මෙහාට ලියුම් හම්බ වුනේ නැත කියල..
ඉන්පස්සේ ඒ කන්තෝරුවෙන් ලියුම් වල දින අහගෙන මම තැපැල් කන්තෝරුවෙන් ඇහුවම මට දිනත් එක්ක සටහන් පෙන්නුව පුතාලගේ බාප්පා ලියුම් අත්සන් කරලා භාර ගත්තයි කියලා..
ඔය මිනිස්සු ඉස්සර ඉඳන්ම අපිට කළේ ඔහොමයි..
ඕවා අද ඊයේ වෙච්චි දෙවල් නෙවෙයි."

අම්මා මේ දිග හරින්නේ වසර තිහක පමණ අතීතයයි..

මගේ සීයාගෙන් පියාට නීත්‍යානුකූලව උරුම වූ ඉඩමක තිබූ පැරණි ගසක් දිරාගොස් මාර්ගයේ විදුලි රැහැනකට හේත්තු වී තිබු නිසාවෙන් මමත් අම්මාත් ලීමෝල් හිමියෙකු ලවා එම ගස එමස්ථානයෙන් ඉවත් කර ගත්තෙමු.ඒ අවස්ථාවේදී මගේ පියාගේ සහෝදරයන් සහ ඔවුන්ගේ දරුවන් එම ඉඩම් අපට අයත් නැතැයි කීමට ඉදිරිපත් වුණි.මගේ පුදුමයට කාරණය වූයේ වැලිකෙළියේ පටන් සහෝදරයෝ ලෙස සිටි මගේ පියාගේ සහෝදරයන්ගේ දරුවන් පවා මේ තත්වයට පත් වීමය.මේ පිරිස අතර වෛද්‍ය වරයෙකුද සිටියේය.

තමාගේ දේ රැකුමට අනුන් එනතෙක් රැඳීමට මසිත මට ඉඩ නොදුනි.සිතේ තිබූ කෝපය නිසාවෙන් වැඩිහිටියන්ගේ වැඩිහිටි කමද අමතක වූ මම එදා ඔවුනට බැන එලවා ගතිමි.තවත් ඔවුන් රැඳී සිටියේ නම් කෝප වූ මගේ සිත මා ලවා ඊට වඩා දරුණු දෙයක් කිරීමටද ඉඩ තිබුණි.

මා එසේ හැසිරෙනු දුටු අම්මා එදා කීවේ "පුතා ඔයදේවල් වලට මොකටද කෑ ගහන්න ගියේ..? මම ඉන්නවනේ ඒවට කතා කරන්න.ඒ පුතාගේ තාත්තගේ සහෝදරයෝ කියලා මතක තියා ගන්න.පුතා තාත්තට සලකනව වගේ තමයි ඒ අයටත් සලකන්න ඕනේ.එදා නිවසට පැමිණි මසොයුරුද මා අනුමත කළ නිසාවෙන් අම්මා තව දුරටත් මෙසේ කීවාය. ඔය මිනිස්සුන්ට කරන්න පුළුවන් දෙයක් නැහැ.ඔය දෙන්න කලබල නොවී ඉන්න .ඒ පුතාලගේ තාත්තගේ සහෝදරයෝ.කැලේ තියෙන ගහකට අපි මොකටද ඒ අයට බනින්නේ.ඇති වෙනවා නම් ගන්න කියන්න.පුතාල ඕවට රංඩු සරුවල් ඇති කරගන්න ඕනේ නැහැ.ඒ අයට ඕවට අයිති කර ගන්නත් බෑ.ඕවා සීයා පුතාලගේ තාත්තට දීපු දේවල්.ඒගොල්ල කෑගැහුවට කරන්න පුළුවන් දෙයක් නෑ.ආයෙත් ඕවට ඔය දෙන්නම ලොකු තාත්තට බනින්න කෑ ගහන්න යන්න එපා.ඒ පුතාලගේ තාත්තගේ සහෝදරයෝ."

"ඔය මිනිස්සුන්ගේ මෝඩ කමට ඔය දේවල් කළාට කවද හරි ඔය මිනිස්සුන්ට තේරෙයි තමන් වැරදියි කියල.තමන් කර ගන්න දේවල් වල ඵලවිපාක තම තමන්ට.කරන පව් පින් තමන්ට.අපි මොකටද ඒ ගොල්ල එහෙම වුනයි කියල සත්තු වගේ ඕවට කෑ ගහන්න යන්නේ.පුතාල පාඩුවේ ඉන්න ඒ ගොල්ලන්ට ඇති වුන දවසක ඕවා නවත්තයි."
අම්මා අපට කිව්වේ එහෙමය.ඒ අම්මාගේ හැටිය.

ඉන්පසුව කිසිදිනෙක මඟ තොටකදීවත් මම ඔවුන් සමඟ සිනා නොවුනෙමි.කතා නොකළෙමි.මගේ සොයුරුද එසේම විය.ඉන්පසු කිසි දිනෙකවත් ඔවුන් අපගේ ඉඩම් වලට ආරවුල් ඇති කිරීමට පැමිණියේ නැත.නමුත් ඔවුන් හා අප අතර පාරේ මඟ තොටදී දකින සිඟමන් යදින්නෙකු හා අතර ඇති තරම්වත් සුහඳතාවක් නොවිනි.

පසුගිය දිනෙක මාගේ උපන්දිනය වූ නිසාවෙන් අප තිදෙනා රැයක පන්සල් ගියෙමු.බුදුන් වැඳ අප විහාරයෙන් එළියට පැමිණෙත්ම ඒ ඉදිරියට ආවේ මගේ පියාගේ වැඩිමහල් සහෝදරයාය.ඒ නමට නම් අපගේ ලොකු තාත්තාය.අප තිදෙනා දුටු සැනින් ඔහුගේ මුහුණ වෙනස් විය.වෙනදා මෙන් නොව ඔහු අප දැක නැවතුනේය."නංගියේ පන්සල් ආවද..?"ඔහු අම්මාගෙන් ඇසීය."ඔව් අයියේ මෙයාගේ උපන්දිනේ නේ අද..ඒක හින්ඳ පන්සල් ආවා අපි."
අම්මාත් කාලයකින් තම සොයුරෙක් දුටු නැගණියක මෙන් පිළිතුරු දුන්නාය."දැන් ඉතින් ලොකු ඉළන්දාරිනේ.."කියා මගේ හිස අත ගෑ ඔහු "දැන් පුතා ඉගෙනගෙන එහෙම ඉවරද කියා මගෙන් විමසුවේය".නමුත් මගේ මුවින් වදනක්වත් පිට නොවුනි.ඒ එදා මගේ හිතේ ඇතිවූ කේන්තිය අළුයට වූ ගිනි පුපුරක් මෙන් තිබූ නිසාද කියා මට සිතුනි.මගෙන් පිළිතුරක් පමා වූ තැන අම්මා "නෑ අයියේ මෙයාට තව අවුරුදු දෙකක් තියෙනවා.."කියා පිළිතුරු දුන්නාය.මම මා සොයුරු දෙස බැලීමි.ඔහුද මුහුණ දීගත නොහැකි නිසාදෝ ඉවත බලා සිටිනු මම දුටිමි.ඔහුටද මට මා හට ඇති වූවාක් මෙන් සිතුවිල්ලක් ඇතිවී තිබූ බව මට පෙනිණි."මම එහෙනම් යන්නම් නංගියේ ,යන්නම් පුතේ" කියා අප දෙස හැරී බලනව්ට මා දුටුවේ ඔහුගේ නෙතඟ මෝදු වූ කඳුළක් ආයාසයකින් තොරව පිටතට පැමිණීමයි.හැඟීමකින් තොර වූ වන් මෙන් මුවින් හා නොකියා මාත් මා සොයුරුත් ඔළුව වැනුවෙමු.පිටව ගිය ලොකු තාත්තාගේ මුහුණේ පසුතැවිලි වන සිතුවිල්ලක සේයාවක් මා දුටිමි.

ගෙදර එන අතර මඟ අප අතර වූ තද නිහැඬියාව මඟ හැරුනේ පාරේ ගිය වෙනත් වාහනයක් පසු කිරීමට මා සොයුරු රථයේ නලාව හැඬවූ නිසාය.

ගෙදර ආපසු රාත්‍රී අහාරය ගන්න අතරේ අම්මා අප දෙදෙනා දෙස බලා මෙසේ ඇසුවාය."ඇයි ඔය දෙන්න ලොකු තාත්තත් එක්ක කතා නොකළේ..?"එයට පිළිතුරක් මගේ මුවින්වත් මා සොයුරු මුවින්වත් පිට නොවුනි.නැවතත් නිහඬියාව බිඳිමින් අම්මා මෙසේ පැවසුවාය."මීට පස්සේ කතා නොකර ඉන්න එපා..මොනව කළත් ඒ ඔයගොල්ලන්ගේ ලොකු තාත්තනේ..සමහර විට එයාගේ වැරදි දැන් එයාට තේරිලා ඇති .බාප්පා වුනත් කතා කළොත් කතා නොකර ඉන්න එපා.අපි ඒ අයට මොනවත් කරලා නැහැනේ..අනික ඒ ඔයගොල්ලන්ගේ තාත්තගේ සහෝදරයොනේ..තාත්තට වගෙයි කියල හිතේ තියාගෙන ඒ අයටත් සලකන්න.."

වසර පහකට පමණ පෙර පැවසූ දෙයම අම්මා අදත් පවසන්නීය..ඇය එදා කී දෙයෙහි සත්‍යය මට අද වැටහුනි.ඒ තමන් කරන දෙයෙහි ඵල විපාක හොඳ නරක තමන්ටම බවය .තමන් කරන දෙයට පසුතැවිලි වන්නට වන්නේත් තමන්ට බව මටද වැටහුනි..

ඒ අම්මා සැම විටම කීදෙයයි.අදටත් ඇය ගන්න මඟ එයයි. ඒ අම්මාගේ හැටිය..



කැන්ඩි....

Wednesday, December 29, 2010

ඔයා වෙනස් වෙලාද..?



හැම කෙනාම ආත්මාර්ථකාමි වෙලා..
තමන් ගැන විතරයි හිතන්නේ..
ඔයත් එහෙමද කියල මට හිතෙනවා..
තවත් කෙනෙක් තේරුම් ගන්න පුළුවන් කෙනෙක් කියල
ඔයා ගැන හිතපු මටද ඔයා මෙහෙම සලකන්නේ..?
ඉස්සර වගේ නෙවෙයි දැන්..
කතා කරන්නේ අඩුවෙන්..
හිනා වෙන්නේ අඩුවෙන්..
හිනස්සවන්නේ අඩුවෙන්..
හැමදේම අඩුවෙන්..
ඔයා වෙනස් වෙලා..
තවත් වෙනස් වෙනවා..
මම ආදරේ ඉස්සර ඔයාට ..
දැන් ඔයා ඇතුලේ ඉන්න ඔයා හරියට මට ආගන්තුකයෙක් වගේ..
ඇයි මට මෙහෙම කරන්නේ..?
දවසෙන් දවස ඔයා මගෙන් ඈතට යනවා කියල මට හිතෙනවා..
ඇත්තටම ඔයා ඔයාමද..?
ඔයා වෙනස් වෙලාද..?

දවසක් කතා කරන්න බැරි වුනාට හිත රිදෙයි කියලා මම හිතුවෙ නෑ මගෙ රත්තරන්..
ලෝකෙම වෙනස් වුනත් මම වෙනස්වෙන්නේ නෑ මගෙ පණ..
හැමදාමත් මම ඔයා ළඟ....




කැන්ඩි....

Monday, December 27, 2010

පොලීසියේ හොරා පොලිස් රාලහාමිලා සහ රාලහාමිනේලා....




ඔන්න ඉතින් අද පළමුවෙනි වතාවට කැන්ඩිත් පොලීසියකට ගොඩ වැදුනා.ඒ මොකද කියනවා නම් කැන්ඩිගේ ජංගම දුරකථනය නැති වෙලා ඒකට පැමිණිල්ලක් කරන්නට.වෙන මොකුත් කරලා හෙම නොවෙයි.

ඔන්න ඉතින් කැන්ඩිගේ අයියා ඉතින් වෙලාවට වැඩ කරන පුද්ගලයා නිසා උදේ යන්න හිටපු පොලීසි ගමන යන්න වුනේ දවල් දෙකට විතර.ඔන්න ඒ යන වෙලාවේ ඔතන හිටපු පොලිස් ඇත්තියක් කිව්ව පැමිණිලි භාර ගන්නා නිළධාරියා තාම දහවල් කැමට ගොහින් ඇවිත් නැති විත්තිය.අනේ මේ මිනිහ උදේ වරුවේ ආවා නම් මේක කරගෙන ඉක්මනට යනවනේ කියලා කැන්ඩිත් අයියට හිතින් බැණ බැණ ඔතනට වෙලා අර පැය එක හමාරකට විතර කලින් කෑමට ගිය නිළධාරියා එනකන් හිටියා.මම හිතන්නේ මේ නිළධාරියා කෑම කාලා කෑම ජීර්ණය වෙනකන් ඉඳලා වෙන්න ඇති ආයෙත් තමන්ගේ රාජකාරියට පැමිණෙන්නේ,මොකද තවත් පැය භාගයක් බලන් හිටියත් මේ මනුස්සයා නෙවෙයි ආවේ.

ඔන්න ඉතින් ඔහොම ඉඳල ඉඳලා ඇති වෙලාමද කොහෙද කැන්ඩිගේ සහොදර පරාණය එතන හිටපු ඇත්තියගෙන් ඇහුවා සුළු පැමිණිල්ලක් නිසා මේක ඒ ඇත්තිට සටහන් කරගන්න බැරිද කියලා.ඔන්න ඒ ඇත්ති පැනපු ගමන් කියාපිනේ මේ ඔයාගේ ගෙදර කියලා හිතුවද කියලා....? අනේ සාධු පරක්කු වෙලා ආවට උඹට ඔහොම වෙලා මදි කියලා කැන්ඩිත් ඉතින් හිතෙන් පින් දුන්න.ඔන්න ඉතින් ඔහොම ඉන්න අතරේ මේ පාර කැන්ඩිටත් වීරයා වෙන්න හිතිලා අර ඇත්තිගෙන් ඇහුවා ජංගම දුරකථනයක් නැති වුනාම ගන්න ඕනේ ක්‍රියා මාර්ගය කොහොමද කියලා..?ඒ පාරනම් ඇඟට පනින්නේ නැතුව අහල පහළ යන එන පොලිස් ඇත්තන්ගෙන් ඇත්තියන්ගෙන් මෙයා ඒ ගැන අහන්න පටන් ගත්ත.

ඔන්න ඉතින් එක එක එක්කෙනා එක එක අදහස් පළ කළා.මේවා අහගෙන හිටපු කැන්ඩිටයි අයියටයි ඉතින් දෙපැත්තෙන් හිනා.මොකද ගන්න ඕනේ ක්‍රියා මාර්ගය ඒ වෙනකොට පැහැදිලිව හොයාගෙන තමයි කැන්ඩිගේ අයියයි කැන්ඩියි පොලීසියට ආවේ.ඔය අතරේ එක නුවණක්කර ඇත්තෙක් කිව්වා SIM කාඩ් පත විසන්ධි කරවල අළුත් දුරකථනයක් ගන්නේයි කියල.ඔන්න ඉතින් කැන්ඩිගේ අයියත් ආතල් එක වැඩිකමටද කොහෙද පැනපු ගමන් කියපි අපි ගෙදර යන ගමන් අළුතෙන් එකක් ගන්න තමයි යන්නේ කියල.

පොලිසියට යන්කොටත් කැන්ඩි සම්බන්ධතාවය විසන්ධි කරලා තමයි ගියේ.ඔන්න ඉතින් ඔහොම ටික වෙලාවක් යනකොට ආපු එක ඇත්තියක් හරියටම වැඩේ කෙරෙන්න ඕනේ විදිය කියලා ගියා.අනික් අය ඊට පස්සේ අරයා එක්ක හිත රිදිලාද කොහෙද වැඩිය අදහස් පළ කරන්න ආවේ නැහැ.දැන් ඉතින් ඔන්න ඔහොම ඔහොම පැයක් විතර ගියා.වැඩේ නම් කෙරෙන පාටක් නෑ.කැන්ඩිගේ අයියත් ඉතින් ඔය ගිනි ආයතනයක තමයි වැඩ කරන්නේ ,ඉතින් මනුස්සයාට හවස රාජකාරියට යන වෙලාවත් දැන් ළං වෙනවා.කරන්නම දෙයක් නැති තැන මිනිහා ජංගම දුරකථනය අරගෙන පොලොස්සියේ ඉහළ නිළතලයක් දරන ඥාතියෙකුට ඇමතුමක් ගත්තා.ඔන්න ඉතින් පොරත් කිව්ව මල්ලි මම ඉක්මනට මොකක් හරි කරන්නම් කියලා.

ඔන්න විනාඩි පහක් ගියේ නැහැ අර වැදගත් ආඩම්බරකාර නුවණක්කාර ඇත්තෝ ඇත්තියෝ තුන් හතර දෙනෙක් එනවා පෝලිමක් හැදිලා.ඇවිත් ඔන්න අහපි ඔය මහත්තුරු දෙන්න අහවල් සර්ගේ මල්ලිලද කියල...?හිකිස් හිකිස් ඔන්න ඉතින් කැන්ඩිගේ අයියත් ඉතින් පැනපු ගමන් කිව්ව ඔව් ඔව් අහවල් සර් අපේ අයිය තමයි කියලා.මෙන්න අර පැමිණිල්ල ලියා ගන්න පුළුවන්ද කියල ඇහුවම බෑ කියලා කියපු ඇත්ති අර ආහාර දිරවනකන් හිටපු නිළධාරියාවත් අහැරවාගෙන ආවනේ අපි දෙන්නා හිටපු තැනට පැමිණිලි පොතත් උස්සාගෙන ,මහත්තය මොකක්ද පැමිණිල්ල කියලා අහගෙන......හෑ මේ මොකද මේ...?මේ ඇත්තිට එක පාරටම මොකද වුනේ...?කැන්ඩිත් ඉතින් නිදියන කොට තැන නොතැන බලල නිදියන හින්ඳා කැන්ඩි හොඳට ඇස් පිහදලා බැළුවා.අනේ කැන්ඩි දවල් හීනයක් නෙවෙයි දැකල තියෙන්න හැබැහින්ම අර ඇත්ති ඇවිල්ල....

ඔන්න පැමිණිල්ලේ පිටපතකුත් ගන්න ඕනේ කියල කැන්ඩිගේ අයියා කිව්වා.හා සර් කියලා මෙන්න අර ඇත්ති අපි ලියන්න ඕනේ ලියුන් කරදහියත් කඩදාසියකුත් හොයාන ඇවිත් එයාම ලියල අත්සන ගහන්න විතරක් ඔන්න කැන්ඩිට දුන්න.හනේ හපොයි....ඔන්න ඉතින් ඒ වෙලාවේ ටයිප් ගහන්න කෙනෙක් නැතෙයි කියලා අපි අහවල් වෙලාවේ අර සර්ගේ අතටම මේක ගෙනත් දෙන්නම් කියලා මේගොල්ල වැන්ඳේ නැති එක විතරයි.ඔන්න ඉතින් දැන් කැන්ඩියි අයියයි එන්න පිටත් වෙන්නයි ලෑස්තිය.මෙන්න ආයෙත් පෝලිමේ ඇත්තො ඇත්තියො දෙන්නෙක් ඇවිත් ඔන්න කැන්ඩිගේ අයියට කියනවා අනේ සර් අපි දැනගෙන හිටියේ නෑ සර්ලා අහවල් සර්ගේ මල්ලිලා කියලා සර්ලා මෙතන ටික වෙලාවක් හිටියා කියල අහවල් සර්ටනම් කියන්න එපා කියල ඉල්ලුවා.ඔන්න ඉතින් කැන්ඩිගේ අයියත් කිව්ව හා හා බය වෙන්ට එපාය කියල.

කියලා අපිත් එක්ක අපිට පස්සේ ගිය අම්ම කෙනෙක් හිටිය .ඒ උන්දෑ වයස්ගත අම්ම කෙනෙක්.සැමියා දාලා ගිය විදේශ ගතවුන දුවකුගේ දරුවෝ දෙන්නෙක් බලාගෙන ඉන්න අම්ම කෙනෙක් එයා.එයා ඇවිත් හිටියේ එයාගේ ඉඩමෙ මායිම වෙනස් කරලා අල්ලපු වත්තේ ඉන්න චන්ඩියා වැට ගහලා මදිවට පරුෂ වචනයෙන් බැන වැදිලා තර්ජනය කරපු එක වෙනුවෙන් පැමිණිල්ලක් කරන්න.උන්දෑ අතේ සියළුම නීතිමය ලිපි ලේඛන තිබුනා.මේ විස්තර කැන්ඩියි කැන්ඩිගේ අයියයි අහගත්තේ අර නුවණක්කාර ඇත්තෝ අදහස් දක්වපු වෙලාවේ තමයි.ඉතින් ඔය අම්මව පෙන්නල කැන්ඩිගේ අයියා කිව්ව අනේ පුළුවන්නම් කොහොම හරි අර උන්දැගේ වැඩෙත් ඉක්මනට ඉවරයක් කරලා දීල ගෙදර යවන්න කියල.

ලංකාවේ මිනිස්සු තාමත් පොලීසිය දූෂිතයි කියලපොලීසියට යන්න දිමදි කරන්නේ ඇයි කියලා අමුතුවෙන් කියන්න උවමනාවක් නැතැයි කියා මම සිතමි.යම් සිදුවීමක් ගැන මෙම නීතිය ක්‍රියාත්මක කිරීමට සිටිනා පුද්ගලයන් සතු දැනුම ඉතාම අල්පය.ඔවුන්ට ඒ පිළිබඳව දැනුවත් කිරීමක් ලැබී නැතුවා හෝ ඔවුන් ලැබුන දැනුම ප්‍රායෝගිකව යෙදීමට උත්සාහයක් නොගන්නවා හෝ වියයුතුය.

තවද එදිනෙදා සිදුවන සුළු සිද්ධීන් පිළිබඳව පමණක් මොවුන්ට දැනුමක් ඇති බව පෙනේ.යමක් සිතා බලා සොයා බලා කිරීමට මොවුන්ට හැකියවක් නැත හෝ ඔවුන් ඒ සඳහා පුහුණු කර හෝ නැත.

තවද තමන්ගේ දරු පවුල රැකදෙන පඩිය නමෑති මුදල ලබාදෙන රාජකාරිය දේවකාරියක් මෙන් ඉටුකරනවා වෙනුවට ඔවුන් යම් කාරියක් ඉටු කිරීමට උත්තේජකයක් වශයෙන් ඉහළ අංශවල බලපෑමක් හෝ මුදල් බලපෑමක් ලැබෙන තුරු සිටිති.

2010 අවසානව තවත් දශකයක ආරම්භයේ සිටින අප මේවා දැක දැක සිටිය යුතුද...?
හා කීවාට කැන්ඩිගේ අයියා නම් මේ වන විට තමන්ට කතා කළ හැටිද අදාළ නිළධාරීන්ගේ නම්ද අදාල පුද්ගලයාට පවසා හමාරය.තොරතුරු තාක්ෂණය අතින් යම් දියුණුවක් ලංකාව ලබා ඇති නමුත් නීතිය ක්‍රියාත්මක වන මෙම ආයතනවලට එය යොදා ගන්න යුගය තව දශකයකින්වත් උදාවන ලකුණු පෙනෙන්නට නොතිබේ.


අඩුම තරමේ එය යොදා නොගෙනවත් අදාල කාර්යයන් මීට වඩා විධිමත්ව අදාල ආයතන තුල මනා සම්බන්ධීකරණයක් ඇති කරගෙන මෙම ක්‍රියාවන්හි විධිමත් භාවයක් ඇතිකරන්නේ නම් එය රටට ඉතාමත් වැඩදායී වන්නේය.මෙම ආයතන වල සිටින නිළධාරීන්ගේ ක්‍රියාවන් පෙර පාසලක සිටින දරුවන්ගේ හොරා පොලිස් සෙල්ලමකට දෙවෙනි නොවන්නේ යයි නොපැවසිය හැක්කේ කාටද............?

අද දිනයේ ඥාති බලපෑමක් මත අප අපගේ ක්‍රියාව සිදුකරගෙන පැමිණියෙමු.නමුත් අර අසරණ කාන්තාව අප එම ඥාතී උපකාරයෙන් හෝ පැමිණිලි භාර නිළදාරියා නොකැඳෙව්වේනම් තම කාරිය ඉටු කර ගන්නේ කෙසේද.?
ඇත්තටම පොලීසිය තවදුරටත් පොදු ජනයාට සේවය සපයන ආයතනයක්ද.........?
සියල්ලේම පාහේ තත්වය මෙසේ වුවද තම රාජකාරිය අකුරට ඉටුකරන නිළධාරීන් නැත්තේද නොවේ........
නමුත් කිරි කළයක් තිබුනද ගොම බිඳක් වැටීම එය කෙලෙසීමට සමත්ය.තව දුරටත් දුප්පත් අසරණ මහජනයා මෙම ආයතන වලින් සේවය ලබා ගන්නේ කෙසේද.............?
මෙම තත්වය මේ ආකාරයට පැවතුනහොත් ලංකාව ආසියාවේ අමුතුම ආශ්චර්යක් වනු නොඅනුමානය.

කැන්ඩි....

Tuesday, December 21, 2010

සිරියා සහ චූන් පාන්....




ආආආහ් ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්හ්හ්හ්හ්හ් හරිම කම්මැලියි ගෙදර ඉඳල ඉඳල ආපහු ගමනට බැස්සම. ඔන්න ඉතින් කාලෙකින් කිසිම දෙයක් හරි විදියට ලියන්න බැරි වුන නිසා අද මොනව හරි කොටන්න කියල තමයි සූදානම.

කොටන්න මතක් වුනෙත් අද උදේම සිරිය දැකපු නිසා තමයි.

යන්නේ කොහෙද මල්ලේ පොල් වගේ නේද..?

වගේ නෙවෙයි එහෙම තමයි(ඔන්න මමම උත්තරෙත් දී ගත්තා.)

අද උදෙන්ම සිරිය දැක්ක නිසා හිතුවා සිරියා ගැන තියෙන කතා ටිකත් එකින් එක ලියන්න ඕනේ කියල.ඔන්න ආපහු සිරියෙක් ගැන කිව්ව නේද..? සිරියා කියන්නේ පහුගිය කාලයේ කාලාන්තරයක් කැන්ඩිගේ අම්මගේ අත් උදවුවට කැන්ඩිලගේ ගෙදර තනි නොතනියට හිටපු ආදරණීය, මූන ටිකක් කළු වුනාට දත් නැති ලොඹු කට පෙන්නලා හිනාවෙනකොට සිරියාවන්ත සිරියාවතී.සැපට දුකට සනී වගේ හිටපු මෙයාට අපි ආදරේට කිව්වේ සිරියා කියල.

සිරියට හොඳට ගෙදර දොරේ වැඩ කටයුතු කරගන්න පුළුවන් වුනාට මොකද පාසලකටවත් ගිහින් නැති හින්ඳද මංදා ටිකක් කරන කියන වැඩ විහිළුයි.ටිකක් මෝඩයි කිව්වොත් තමයි වැඩිය හොඳ.හැබැයි කවමදාකවත් තමන්ට පැවරුන වැඩක් අතපසු කරලවත් නොකරල ඉඳලවත් කිසිම නරක දෙයක් කරලවත් නම් නෑ.සිරියා ගෙදර ඉන්නව කියන්නේ කැන්ඩිටනම් ඉතින් සිනා සාගරයක් තමයි.මෙයාව කතාවට අල්ලගත්තොත් දවසක් හරි පෙරළි පෙරළි හිනා වුනෑකි.කතාවට අල්ල ගන්නම ඕනේ නැහැ.මෙයා නිකන් ඉන්න ගමන් නිකමට කියන කතාත් හරිම නුවණක්කාරයි.

ගෙදරට සිරියා නම් හරිම සිරියාවයි ඒ තරමට හිනා යන කතානේ කියන්නේ.ඒ දැන් මෙයා ටික කාලෙක ඉඳල කැන්ඩිලගේ ගෙදර එනව අඩුයි,ඒ මොකද කිව්වොත් මෙයාගේ දුවට දරුවෙක් ලැබිල මෙයත් ඒක නිසා දුව ඉන්න ගමට ගිය නිසයි.අපරාදේ කියන්න බෑ අර පොඩි එකානම් දවසම මැරෙන්න හිනා වෙනවා ඇති.ඔන්න මෙයා ගැන කියන්න කතානම් ගොඩයි ඒත් දැන් තියන වෙලාවේ හැටියට එකක් ලියන්නම්.

කැන්ඩිට පාන් කන්නේ නැතුව නින්ද යන්නේ නැති නිසා කැන්ඩිගේ ගෙදර රෑට කවුරු මොන කෑම කෑවත් කැන්ඩිට පාන් ගේන එක ඒකාලේ අනිවාර්ය අංගයක්.මොකද දැන් වගේ නෙවි ඒකාලේ කැන්ඩිනම් පාන් පාන් නම් කැන්ඩි කියන තරමට කැන්ඩි පාන් කන්න කැමතියි.ඔය ගේන පාන්ගෙඩිය ඉතින් කන්නේ භාගේ විතර පෙති දෙකක් කපල ,ඉතින් රෑට වැඩිය කැවෙන්නෙත් නෑ කියලා තමයි ඒ කාලේ කිව්වේ මොකද භාගේ සයිස් වුනත් කැන්ඩි කන්නේ පාන් පෙති දෙකනේ.ඔන්න ඉතින් ආයෙත් ට්‍රැක් පැන්න.

ඉතින් හවසට සිරියා ගෙදර යන්න කළින් කඩේට දුවලා ඔය පාන් ගෙඩියත් (ගෙඩිය කිව්වට හැදෙන ගහනම් මම දන්නේ නැහැ )ගෙනත් තියලා තමයි යන්නේ.ඉතින් කඩේ තියෙන්නේ ටිකක් දුර නිසා කැන්ඩිගේ අම්මත් දවසක් සිරියට කිව්වා අනේ සිරියෝ කඩේට නොයා ඔය ගේට්ටුව ගාවට ටිකක් වේලාසනින් ගිහින් ඉඳල චූන් පාන් එකෙන්ම ඕක ගන්න කියල.මොකද ඉතින් ඔය චූන්පාන් (ආ කියන්න බැරි වුනානේ අර හැම පලාතෙම සද්දය දාගෙන (සද්දය කිව්වේ අර මිහිරි නාදය ) උදේට හවසට යන පාන් වාහනය )එකෙන් පාන් ගන්න, ඒකෙ සද්දේ ඇහෙන වෙලාවට පාරට ගියොත් ,පාන් ගන්න සාමාන්‍යයෙන් ඔලිම්පික් පදක්කම්ලාභී සුසන්තිකා මහත්මියට වගේ දිවීමේ හැකියාවක් තියෙන්න ඕනේ.

ඉතින් චූන් පාන් එකෙන් පාන් ගන්න කිව්වම සිරිය එක පාරටම කිව්වෙ මොකක්ද දන්නවද..?

"අනේ ලොකු නෝනේ චූන්පාන් කිව්වට ඕකෙ පාන්වල කිසිම රහක් නෑ... මමත් ඊයේ ගෙදර යනකොට අරගෙන ගියානේ "

අනේ මෙයැයි හිතන් ඉඳල තියෙන්නේ ඒකෙ පාන් අමුතු රසයක් තියෙන හින්දා චූන්පාන් කියනවයි කියල......

කැන්ඩි....

Sunday, December 12, 2010

වැස්ස දවස් වලට....

වැස්ස වැස්ස වැස්ස....



වැස්සේම ගමන් කරලා කරලා ගෙදර නැවතුන පොඩිවෙලාවෙ පහුගිය දවස් ටිකේ කැන්ඩි වැස්සත් එක්ක කාපු කටු ටික මතක් වෙලා කෂ්ටියට පොඩි ටිප්ස් ඇන්ඩ් ට්‍රික්ස් ටිකක් දෙන්න හිතුවා.
වැහිදින වලදි අපේ කට්ටිය කරන වැඩ දැකලා තමයි කැන්ඩිට මේ දේවල් ටික කිව්වොත් හොඳයි කියලා හිතුනෙ.

කවුරු කවුරුත් මේ කියන දේවල් හොඳට හිතට අරන් ක්‍රියාත්මක කරනවා නම් කැන්ඩි ස්තූතිවන්ත වෙනවා කියන ගමන්ම තමයි මේ කරුණු කාරණා ටික කියන්න මුල පුරන්නේ.

01.මේ වහින දවස් වල ඔබ ගෙදරින් පිටතට යනවා නම්(අනිවාර්යයෙන් යන්න එපැයි ඉතින් මොකද මේ රටේ වහිනවාට නිවාඩු දෙනවා කියලයැ..? )මතක් කරලා කුඩයක් අරගෙන යන්න.
ඔබ කුඩයක් අරගෙන යන්නේ නැතුව ගිහින් වැස්ස වෙලාවට තවත් කෙනෙකුගේ කුඩය යටින් යන්න බලාපොරොත්තුවෙනවා කියන්නේ දෙන්නම තෙමෙන වැඩක්.මොකද මේ දින වල ඇද හැලෙන ධාරාණිපාත වර්ෂා වලට යටින් නොතෙමි යන්න එක කුඩයකුත් මදි.




02. ගෙදරින් පිටතට කුඩයකුත් රැගෙන යන ඔබ,කුඩය දමා ගැනීමට එයට ඉඩ ඇතිවන පරිදි කවරයක් බෑගයක් හෝ එය දමා ගත හැකි කුමක් හෝ දෙයක් රැගෙන යාමට අමතක නොකරන්න.බොහෝමයක් දෙනෙක් අමතක කරන දෙයක් තමයි තමන් තෙමෙනවට කුඩය ඉහල ගත්තාට කුඩයත් තෙමෙන බව.තෙමුන කුඩය රැගෙන බස් රථයකට ගොඩවන ඔබ එය යම් බහාලනයය්ක් තුලට දමා නොගැනීමෙන් කරන්නේ ඔබ පමණක් නොතෙමී අනුන් තෙමීමකි.මෙම තෙත කුඩයෙන් බේරෙන වතුර තමන්ගේ ඇඟට වැටෙනවාට අප කවුරුත් අකමැතිය.එම නිසා තෙත කුඩයෙහි වතුර බේරී බේරී අනුන් තෙමීම වලක්වා ගැනීමට මතක් කර ඔබ තෙත කුඩය දමා ගැනීමට ඉවත දමන පොලිතීන් කවරයක් වැනි යමක් රැගෙන යනවා නම් වඩා හොඳය.එවිට ඔබට නිකරුනේ තවත් කෙනෙකු තෙමා රැවුම් ගෙරවුම් ලැබී සිටීමෙන්ද වැලකී සිටිය හැක.

03.මේ දින වල වැඩිපුර කුඩ භාවිතාවීම නිසා ඔබ මෙයත් මතක තබා ගන්නවා නම් වඩාත් හොඳය.ඔබ කුඩය ඉහලාගෙන පදිකවේදිකාවේ මාර්ගයේ ගමන් කරනා විට ගමන් කරනා වෙනත් අය ගැන සැලකිලිමත්වන්න.තමන්ගේ කුඩය අනුන්ගේ ඇඟේ නොවැදීමට වග බලා ගන්න.මන්දයත් මෙය කෙනෙකුට විහිළුවක් සේ පෙනුනත් කුඩ ණන ඇස්වල වැදීමෙන් ඇස්වලට හානි වීම් වැනි දෑ පසුගිය කාලයේදී වාර්තා වූ බැවිනි.

04.වැසිදිනවල ඔබ මහා මාර්ගයේ පයින් ගමන් කරන පදිකයෙක්නම් ඔබ ඇසට පෙනෙන දීප්තිමත් වර්ණයක් සහිත ඇඳුමක් ඇඳුමක් ඇඳගෙන යාමට ඔබට හැකිනම් එය වඩාත් හොඳය.වැසි දිනවල ඇති මඳ ආලෝක තත්වය නිසා මාර්ගයේ ගමන් කරන ඔබව රථ වාහන වල ගමන් කරන රියදුරන්ට ඔබව නොපෙනිය හැක.එම නිසා අඳුරේදී පෙනෙන සුදු හෝ වෙනත් එවන් ලා පැහැති වර්ණයක ඇඳුමක් ඇඳගෙන යනවානම් ඉතාමත් ආරක්ෂාකාරීය.අඳුරු පැහැති වර්ණයක් සහිත ඇඳුම් ඇඳීම මාර්ගයේ වැඩි වේලාවක් ගතකරනවා නම් ආරක්ෂා සහිත නොවේ.



05.ඔබ පදිකයෙක්නම් මාර්ගයේ මඩ වලවල් වතුර පිරුන වලවල් නිසා පදික වේදිකාවෙන් බැහැරව මාර්ගයේ මැදට වන්නට ගමන් කිරීමෙන් වලකින්න.ඔබගේ ගමන මඳක් ප්‍රමාද වූවත් මඩවලක් අසල වතුරවලක් අසල පදික වේදිකාවෙන් බැහැරව ගමන් කිරීමට පෙර මාර්ගයේ රථයක් නො එනවාදැයි කියා සැක හැර බලාගෙන දැනගෙන තවත් රථයක් මාර්ගයේ ගමන් කිරීමට පෙර ඔබට එම ස්ථානය පසුකර මාර්ගයෙන් නැවත පදික වේදිකාවට ගොඩ වීමට හැකිදැයි කියා හොඳින් සැක හැර දැනගෙන එම ස්ථානයෙන් ගමන් කරන්න.කිසිවිටෙකත් පදිකවේදිකාවේ හෝ පාර දෙපස වතුර වලවල් කියා ඔබ පදික වේදිකාවෙන් බැහැරව මාර්ගයේ මැදට වන්නට ගමන් කිරීමෙන් වලකින්න.

06. ඔබ වාහනයක ගමන් කරන රියදුරෙක්නම් මාර්ගය පැහැදිලි වූවත් අධික වේගයෙන් ගමන් නොකරන්න.මාර්ගය ලිස්සනසුළු නිසා ඔබ ධාවනය කරන වේගය අඩු මට්ටමක පවත්වා ගැනීම ඔබගේ රථය හදිසි අවස්ථාවක අනතුරක් රහිතව නවත්වා ගැනීමට පහසුවක් වේවි.තවද ඔබගේ අනිසි හදිසිය නිසා හදිසි අනතුරක් සිදුවූවිට රක්ෂණ ආවරණ නැතිකමින් ඔබ නිසා අනුන් හට පාඩු විඳින්නට සිදුවීමත් රක්ෂණ ආවරණ තිබුනත් වන්දි මුදල් ලැබුනත් ඔබට එයට අමතරව කාලය වැය කිරීමට සිදුවීමත් ඔබ නිසා වෙනත් කෙනෙකුට තමන්ගේ වටිනා කාලය අපතේ හැරීමට සිදුවීමත් වලක්වා ගත හැක.



07.ඔබ රථයක රියදුරෙක් නම් ඔබට රථයේ වේගය ගැන මෙන්ම පදිකවේදිකාවේ ගමන් ගන්න මඟීන් ගැනත් මාර්ගයේ ස්වභාවයත් ගැන කල්පනා කාරීව ඔබගේ රථය පදවන්නේ නම් වඩා හොඳය.රථයේ සුවපහසුවට ගමන් ගන්න ඔබ නිසා මාර්ගයේ ගමන් ගන්න දුප්පත් අහිංසක මඟියාගේ ගමන අඩාල වීම සිදු නොවිය යුතුයි.ඔබගේ නොසැලකිලිමත්කම නිසා මාර්ගයේ පයින් ගමන් ගන්න පදිකයා මඩ වතුරෙන් නැහැවී යාම අනුමත කළ නොහැකිය.එය සාධාරණ නොවේ.ඔබට ඔබ ගැන මෙන්ම අනුන් ගැනත් හිතන්න පුළුවන්නම් එය ඉතාමත් අගනේය.

අවසාන වශයෙන් වැස්ස නිසාම මේදින කිහිපයට පමණක් සීමා නොවී තමන්ගෙන් හරි තමන් කරන කියන කටයුත්තකින් හරි කෙනෙකුට හිරිහැරයක් කරදරයක් නොවෙන අන්දමින් කටයුතුකරනවා නම් එය තමන්ට මෙනම අනුන්ටද විශාල උපකාරයකි.මන්ද මිනිසෙක් ගැන මිනිස්කමින් සිතිය හැක්කේ තවත් මිනිසෙකුට පමණක් බැවිනි.

කැන්ඩි....


Sunday, December 5, 2010

කැන්ඩිට හිතෙන දේවල්...



ඔන්න ඉතින් කැන්ඩිටත් නිවාඩුවක් හම්බවුනා.කැන්ඩිගේ නිවාඩු ව දැන් ඉවර වෙන්න කිට්ටු වුනත් ඉතින් බ්ලොගය පැත්තේ නම් වැඩිය එන්න ලැබුනේ නැහැ.ඒ ඉතින් කැන්ඩිට නිවාඩු හම්බ වෙනකන් හිටිය වෙන අය නිසයි.ඔන්න ඉතින් කැන්ඩිටත් බලන් හිටිය අයගේ හිත සනසන්න සිද්ධ වුනා.අද ඉතින් මේ පැත්තට ආවත් හෙටින් කැන්ඩිගේ නිවාඩුව අවසානයි.ඒත් ඉතින් තමන්ගේ වැඩ පාඩු කරගෙන අනුන්ගේ හිත් සනසන්න යාමත් එක්තරා පිනක් කියල කැන්ඩි දැන් හිත හදාගෙන ඉන්නෙ.මෙදා පාර හිටන්වත් තමන්ගේ හිතේ තියෙන දේ හිතට ආව වෙලාවෙම මොකක හරි සටහන් කරනව කියලා කැන්ඩිට හිතුන.

සමහර දේවල් නැතිවෙලා ගියාම ඒවා තියෙද්දී තමන්ට මොනවගේ පාඩු සිද්ධ වෙලා තියෙනවද කියල කැන්ඩිට මෙ දවස් වල හිතෙනවා.ඒ පහුගිය කාලවකවානුව තුල කැන්ඩිට බොහෝම දේවල් නැතිවුන නිසා තමයි.ඒත් ඉතින් මොනව කරන්නද තමන්ට නොලැබෙන දේ ගැන හොයනවට වඩා තමන්ට ලැබෙන හොඳ දේ ජීවිතයට සතුටින් භාර ගන්න එක හොඳයි කියලා කැන්ඩිගේ හිත වෙනස් කරගෙන දැන් ටික දවසක්.වෙන්වීම දුකක් වුනත් වෙන්වීමක් එක්ක නැවත අළුත් හමු වීමකුත් තියෙනවා කියන එක කැන්ඩිට හොඳටම තේරුනේ මේ දවස් ටිකේදී.සමහරු අනුන්ව අමාරුවේ දාල තමන්ගේ වැඩේ කරගෙන ඉවර වෙල අනුන් අමාරුවේ වැටුන වෙලාවට ඇයි ඔහොම කරගත්තේ කියල අහන වෙලාවට දැන් කැන්ඩි කරන්නේ ඉස්සර වගේ තමන්ගේ නිෂ්ශබ්දකම පාවිච්චි කරල බිමටබලාගෙන ඉන්න එක නෙවෙයි.

පහුගිය දවස් වල සිද්ධවුන දෙවල් නිසා ගොඩාක් දේවල් වලට වග කියන්න වෙන නොවෙන හැම දෙනා එක්කම හොඳ හිත නැතිකරගන්නත් කැන්ඩිට සිද්ධවුනා.සමහරු තමන්ගේ වැඩය කරගන්න අනුන්ට ලොකුකම් පාන වෙලාවට දැන් කැන්ඩිනම් කරන්නේ ඉස්සර වගේ ඉවසගෙන ඒදේවල කරලා දෙන එක නෙවෙයි.දැන් නම් තමන්ට අසාධාරණයක් ,තමන්ට එරෙහිව අනුන් වචනයක් හරි කියනවනම් ඒ දේ අහගෙන ඉන්න එක දැන් කැන්ඩිගේ සිරිත නෙවෙයි.දැන් ඒ පුද්ගලයන් කරන කියන දේවල් වලට නිසි පිළිතුර දෙන්න කැන්ඩි ඉදිරිපත් වෙනවා.සමහර අය ඒ දේ අහල තමන්ගේ වරද නිවැරදි කර ගන්න පෙළඹුනත් තවත් සමහරු ඒදේවල් තමන්ට ගැලපෙන්නේ නැහැයි කියලා හිතලා වෙන්න ඇති ඒ දේවල් ප්‍රතික්ෂේප කරලා එපා කියලා යන්න ගියා.ඉතින් කැන්ඩිටනම් කියන්න තියෙන්නෙ තමගේ වරද පිළි අරගෙන අනුන්ට දොස් කියන්න කියලයි.තමන් අනුන් ලවා වැඩක් කරගන්නවානම් තමන්ගේ වැඩය පැහැදිලිවම ඒකෙනාට කියන්නත් ඒ කෙනාව තේරුම් ගන්නත් තමන්ට හැකියාව තියෙන්න ඕනේ.තමන්ගේ වැඩය කරගෙන තවත් කෙනෙක් අමාරුවේ දාන්න බලාගෙන ඉන්න අය දැන් වැඩියි කියලා පහුගිය කාලේ කැන්ඩිට හොඳට තේරුණා.තමන්ගේ වැඩය කරගෙන තමන්ට වරදක් වෙනකොට විතරක් බොරුවට රටට ලෝකයට පේන්න කෑගහන අය අනුන්ටත් ඒ වරදම සිද්ධවුනාම ඒදේ ඉතාමත් සුළුදෙයක් විදියට සලකන බව තමයි පේන්න තියෙන්නේ.

තමන්ටවෙන්නේ යම්වරදක්නම් අනුන්ටත් වෙන්නේ ඒදේමයි කියලා තේරුම් ගන්න මේ උදවියට තේරුම් ගන්න බැරි ඇයි කියලා කැන්ඩිට තාමත් හිතා ගන්න බෑ.තවත් සමහරු වරදක් කරල අහනවා මම කරපු වරද මොකක්ද ..?කියලා,
කෙනෙක්ව තේරුම්ගන්න තමන්ට බැරිනම් අඩුමතරමින් මේකෙනා හිතන්නේ මම හිතන පතන විදියට නෙවෙයි එයා හිතන්නේ පතන්නේ එයගේම විදියකට කියල ,තමන් යම්දෙයක් කරන්න කළින් මට මේදේ සුළු දෙයක් වුනාට
මේ කෙනාට නම් එහෙම වෙන්න නැතුව ඇති කියලා අනුන්ට කරදරයක් වන විදියේ දෙයක් නොකරඉන්නවා නම් තමයි වැඩිය හොඳ.සරලව කියනවා නම් කෙනෙක්ව තේරුම් ගන්න බැරිනම් ඒ කෙනාට කරදරයක් නොකර ඉන්නවත් තමන් වග බලා ගන්න ඕනේ.

පහුගිය කාල සීමාව ඇතුලත සිද්ධ වුන දේවල් දිහා බැලුවම දැන්නම් ටිකක් හිතට සහනයක් දැනෙනව.මෙච්චර වෙලා කැන්ඩි මේ නොකියා කිව්වේ කරදර කාලයක් ඇතුලෙන් ගමන් කරමින් ඒකෙන් මිදෙන්න තමන් උත්සාහ කරන හැටි තමයි.මේ අතරේ වැඩියම හිතට දුක තවත් එක් කරණාවක් තියෙනව,ඒක ගැන වෙනමම ලිපියක් රචනා කරන්න හිතාගෙන හිටියත් මගේ හිතෙන් මේදෙය ඉක්මනින් ඉවත් කරන්න අවශ්‍ය නිසා මේ දේත් දැන්ම කියන්න ඕනේ කියල හිතුවා.ඒ තමයි කෙනෙක්ගෙ ආදරයක් ඇති වීම ,ඒදේ යම්යම් කරුණු නිසා වෙනස් වීමද,යෝජිත විවාහයන් ජීවිතයට කෙසේ බලපෑමක් කරාවිද යන්නයි.තමන්ගේ ප්‍රේම සම්බන්ධතාවක් ගොඩ නඟා ගැනීමත් යෝජිත විවාහයක් කර ගැනීමත් විවාහයක් ගැන සිතීමත් අඩුමතරමින් තමන්ගේ ආදරය වෙනත් කෙනෙක් සමඟ බෙදා ගැනීමත් කෙතරම් ගැඹුරු දෙයක්ද කියල පසුගිය කාලවකවානුවේදී කැන්ඩිට සිතුනා.

ප්‍රේම සම්බන්ධතාවක් නොතිබුන පළියටම කෙනෙක් බැඳීම් වලින් 100%ක්ම නිදහස් බවත් ඒ කෙනා ගැන ඕනෑම තීරණයක් තමන්ට ගන්න පුළුවන් කියල හිතන වැඩිහිටියෝ ගැනත් ලොකුම ලොකු තරහවකුත් සමඟ කලකිරීමකුත් පසුගිය කාලෙදී කැන්ඩිට ඇති වුනා.මොකද කියනවානම් වැඩිහිටියන්ට මෙන්ම දරුවන්ටත් තමන්ගේ ජීවිතයේ තමන් ආසා කරන ඉලක්ක කරා තමන්ගේ ජීවිතය ගෙනයන්නට අයිතියක් තියෙනව කියල කැන්ඩිට හිතුන.තමන්ගේ ඒ අයිතිය ගැන කතා කරලා සෑහෙන දෙනෙකුගෙන් දොස් අහල අන්තිමට තමන්ගේ හිත විතරක් රිද්දගෙන නිහඬ බව භාර අරගන්න කැන්ඩිට නම් හිත දුන්නේ නැහැ.

තමන් ජීවිතයේ ආසා නොකරන බැඳීමකට බලෙන් යටත් කර ගැනීමට ගත්ත උත්සාහයක් වලක්වාගන්න කැන්ඩිට තමන්ගේ සමීපතමයන් බොහෝමයක් දෙනෙකුගෙ හිත් රිද්දන්න සිද්ධ වුණා.කොහොම නමුත් අවසානයේ ඒ කරදරය නිමාවක් නැතත් තවත් අවුරුදු දෙක තුනකට කල් දමා ගන්න කැන්ඩිට හැකි වුනා.වුන සියළුම දේවල් වලට කැන්ඩිට කරන්න දෙයක් නැතිවුනත් තවමත් ඒදේවල් වලට දොස් අහන්න වෙලාතියෙන්නෙත් ඒදේවල් වලට සම්පූර්ණයෙන්ම වැරදිකාරයා වෙල තියෙන්නෙත් කැන්ඩි.

තමන්ට වුනුදේවල් ඒතරම් හිතට නොගන්නවා කියල හිතා ගත්තත් ඒක අකුරටම ක්‍රියාත්මක කරන්න කැන්ඩිට තාමත් බැහැ.ඒ මොකද කියනවනම් ඒදේවල් වල බලපෑම තවමත් සම්පූර්ණයෙන්ම ඉවත් වෙලා නැති නිසා.ඔය හේතුව නිසා වෙන්න ඇති සමහරුන්ට කැන්ඩිට පිස්සු හැදෙන්න එනව කියල පහුගිය කාලෙදි හිතෙන්න ඇත්තෙ.

ඒ අතරෙ සමහර යාළුවොත් ප්‍රශ්න එකදෙක වෙන තත්වයේ උදවු තමයි කැන්ඩිට කළේ.ජීවිතේ කියන්නේ ප්‍රශ්න හරහා ජීවිතයට මුහුණ දෙන එක වුනත් ජීවිතය නැතිවෙන්න ගියාම ප්‍රශ්න විසඳීමත් නිශ්ඵල බව කැන්ඩිට වැටහුනා.
සරලව සැහැල්ලුවට ජීවිතය ගැන හිටපු කැන්ඩිත් අන්තිමට නූල කැඩුන සරුංගලයක් වගේ ඉබාගාතේ යන්න පටන් ගත්තේ මේනිසයි.ජීවත් වෙන්න ජීවිතය ජයගන්න ඉලක්ක නැතිවීම විතර කෙනෙකුට නැතිවෙන දෙයක් නැහැ කියල පහුගිය ටික දවසට කැන්ඩිට තේරුනා.

සරලව සැහැල්ලුව ජීවිතය විඳින්න පහසුම මඟ වුනත් ජීවිතයට ප්‍රශ්න එකින් එක එන්න එන්න සරල බව සැහැල්ලුව තමන් අතින් ගිලිහෙන්නෙ තමන්ටත් නොදැනිමයි.තමන්ට ඒදේ නැතිවුනා කියල දැනෙනීත් ආපහු ඒ කරදරවලින් මිදිල පෙර තත්වයට එන්න උත්සාහ කරන කොට තමයි.සරල බව සැහැල්ලුව සමඟ ජීවිතයටම මානසික වදයක් වේදනාවක් නොවිඳපු කෙනෙකුට තමන්ගේ සමීපතමයොත් එරෙහි වෙන ප්‍රමාණයට වෙනස්කම් සිද්ධවෙනකොට තමන් පතපු ජීවිතය නැතිවෙනකොට ජීවත්වීමත් වදයක්වීම අරුමයක් නොවෙයි කියලා හිතුනා.ඒදේවල් වලට සම්පූර්ණයෙන්ම තමන් වරද කරුවෙකු නොවුනත් තමන්ට අනුන් නිසා සිද්ධ වෙන වරද නිවැරදි කිරීමට තමන් මිස එයට මැදහත්වීමට අනුන් නැති නිසාවෙන් පහුගියකාලයේදී තමන් කාත්කවුරුවත් නැති තත්වයටද මේ පත්වෙන්න යන්නේ කියලා කැන්ඩිට හිතුනා.

සමහර වෙලාවට පිටින් පෙන්වන සරල බව අහින්සක කම තමන්ටම අවාසියට හිටිනවා කියලත් කැන්ඩිට හිතුන වාර
අනන්තයි.ඒක නිසා කැන්ඩි පිටස්තර පුද්ගලයන්ට සලකන ආකාරයෙන්ම සමහර සමීපතමයන්ට සලකන්නත් පුරුදුවෙලා.තමන්ට වරදක් වුනත් ඒ දේට සමාව දීම ඉතාමත් හොඳ ගතිගුණයක් කියලා හිත දැනගත්තත් හිතට එකඟව
ඒ අය එක්ක සමීප ආකාරයෙන් අචාර සමාචාර පවත්වන එක ගැන දැන්නම් දෙපාරක් හිතනව,මේ දේවල් හොඳයි මේදේවල් නරකයි කියල දැන ගත්තට තමන්ට දරා ගන්න බැරිතරම් දෙයක් සිද්ධවුනාම තමන්ට ඔයකියන
ගුණධර්ම ඔය කියන ආකාරයෙන්මසම්පූර්ණයෙන්ම පිළිපදින්න බැරුව යනවා කියලත් කැන්ඩිට හිතුනා.

නූල කැඩුන සරුංගලයක් වගේ ඉබාගාතේ යා නොදී තමන් රැකීම තමාට බාර දෙයක් බවත් අන්සියළුදෙනා බලන් ඉන්නේ තමන්ට වරදින තුරුබවත් පැහැදිලිවම වැටහෙන්න සිද්ධීන ගනණාවක් දෑස් පනාපිටම සිද්ධ වුන නිසා ඒදේවල් වලට තමන් ඉඩ දෙන්නේ නැහැයි කියලා කැන්ඩි හිතා ගත්ත.හරිවුනත් වැරදිවුනත් තමන්ගේ හිතට පිළිනොගන්න දෙයක් සිද්දවුනාම ඉතාමත් තදින් ඒදේගැන තමන්ගේ හිතෙඋ නැගුන අප්‍රසන්න බව කියල එන දේකට මූනදෙන්න සූදානමින් ඒ අප්‍රසන්න බව බයනැතුව කියන්න දැන් කැන්ඩි ඉදිරිපත් වෙන්නේ ඒ නිසයි.

ඔය කියන දේවල් සිද්ධවුන අතරේ තමන්ගේ යාළුවා තේරුම් ගන්න බැරුව යහළුවා විහිලුවක් වෙලා හිටිය සමහර මිතුරන් අතරේ මේකා මොනදේ අපට නොකිව්වත් කරදරයකදී උදවු කරන්න කරදරය කිය කියා අරාධනා පත්‍ර එවන්න ඕන නැහැයි කියලා හිතපු සමහර මිත්‍රයෝ කැන්ඩිට තමන්ගේ වැඩකටයුතුවලදී අනපේක්ෂිත ආකාරයෙන් උදවු කළේ සැබවින්ම කැන්ඩිට වුන දේවල් දැනගෙන නෙවෙයි කියලා ආදරයෙන් අවසාන වශයෙන් මතක් කරන්න ඕනේ.


කැන්ඩි....

Monday, October 11, 2010

රූපවාහිනිය සහ දරුවන්....




අද මම කියන්න යන්නේ හැමෝම කතා කළත් හැමදාම කතා කළත් හැමෝම අතින් සිදුවෙන වරදක් ගැන.කුඩා ළමුන් හා රූපවාහිනිය වර්තමානයේ බොහෝම ආන්දෝලනයට ලක්වන නිතර කතා බහට ලක් වෙන මතෘකාවක්. මන්දයත් ඒ සමහර රූපවාහිනි නාලිකා වල විකාශනය වන සමහර වැඩ සටහන් ළමා මනසට නොගැලපෙන ළමා මනස දූෂ්‍ය කරන ඒවා වීම නිසාය.මන්දයත් අද අතදරුවන් පවා මවගේ ඇකයේ සිට මේ රූපවාහිනි වැඩසටහන් නැරඹීමට පෙළඹී ඇති නිසාය.ඒ ගැන කතා කරනවා නම් මට කීමට ඇත්තේ රූපවාහිනී නාලිකා වලට දොස් නැගීමට ප්‍රථම තම තමන් ඒවායෙන් ඈත් වෙනවාඅනම් හොඳ බවය,මන්ද යත් රූපවාහිනී නාලිකා හිමිකරුවන් වෙහෙසෙන්නේ ඔවුන්ට වැඩි ආදායමක් ලබා ගැනීමටය. ඒ නිසා වැඩිපුර අලෙවි වන බාල දෙය ඔවුන් විකිණීමට උත්සාහ කරයි,ඔවුන්ට අවශ්‍ය ලාභය මිසක ප්‍රේෂකයන්ගේ හැදියාවවත් රටේ සංස්කෘතියවත් නොවේ.දුරස්ථ පාලකය ඇත්තේ ඔබේ අතෙයි,නරඹන නාලිකාව තෝරා ගැනීම ඔඅබ සතු කාර්‍යයකි. රූපවාහිනියද ඔබගේය නැරඹීමට නාලිකා තෝරා ගැනීමේ අයිතියද ඔබ සතුය.

නමුත් මම කියන්න යන්නේ නම් ඒවගේ දෙයක් ගැන නොවේ.මෙය රූපවාහිනිය නැරඹීමෙන් දරුවන්ගේ සෞඛ්‍යයට වන හානියක් පිළිබඳවයි.මෙය මම කියන්න හිතුවේ අද කුඩා දරුවන් බොහෝමයක් අධික ලෙස රූපවාහිනියට ඇබ්බැහි වී ඇති නිසාය.මගේ ඥාතී සහෝදර සහෝදරියන් කිහිප දෙනෙකුගේ දරුවන්ගේ තත්වයද මම දැක ඇත්තෙමි.සමහර අතදරුවන් අඬන විට ඔවුන් නැලවීමට වර්තමාන අම්මලා කරන්නේ දරුවන් රූපවාහිනියට හුරු කිරීම වැනි දේවල්ය.නමුත් මෙමඟින් දරුවාට කායිකව මෙන්ම මානසිකවද වන හානිය ගැන ඔවුන් දන්නේ නැත.මෙබඳු දේ නිසා දරුවාට වැඩිහිටියෙකු බවට පත්වූ පසුත් මෙම රූපවාහිනියට ඇබ්බැහි වීම වලක්වා ගැනීමට අපහසුය.

මෙය මෑතකදී ඇමරිකාවේ මිචිගන් සරසවියේ සමීක්ෂක ජෝ අයින්ස්මන් ඇතුළු පරීක්ෂක කණ්ඩායමක් විසින් කළ සමීක්ෂණයක් ඇසුරෙනි.
ළමා රෝග විශේෂඥයින් කළින් සිතා සිටියාට වඩා ළමුන් රූපවාහිනිය ඉදිරිපිට ගත කරන කාලය වැඩි වීම නරක බව මෙයින් පැහැදිලි වේ.සමීක්ෂණයට ලබා ගන්නා ලද දත්ත වලට අනූව පෙනී යන කාරණයක් වන්නේ අධික වේලාවක් රූපවාහිනිය ඉදිරිපිට ගත කරන ළමුන්ගේ රුධිර පීඩනය ඔවුන් ස්ථුලතාවයෙන් පෙළුනත් නොපෙළුනත් ඉහළ බවය.අධ්‍යයනයට සහභාගී කරගත් ගැහැණු ළමුන් හා පිරිමි ළමුන් 111 දෙනෙකුගෙන් ලබා ගත් දත්ත අනූව හෙළි වූයේ දිනකට පැය තුනක් හතරක් රූපවාහිනිය නරඹන දරුවන්ගේ සන්‍යස්ථ රුධිර පීඩනය(ධමනි වල උපරිම රුධිර පීඩනය ) දිනකට සුළු කාලයක් රූපවාහිනිය නරඹන දරුවන්ගේ සන්‍යස්ථ රුධිර පීඩනයට වඩා දශම හයක් හතක් වැඩි බවයි.එය දීර්ඝ කාලීන සෞඛ්‍ය ගැටළු ඇති කිරීමට ප්‍රමානවත් වැඩිවීමක් බව පර්යේෂකයෝ පෙන්වා දෙති.

සංස්කෘතිකමය පරිහානිය අතින් බැලුවත් සෞඛ්‍යමය පරිහානිය අතින් බැලුවත් දරුවන් වැඩිකාලයක් රූපවාහිනියට හුරු කිරීම එතරම් හොඳ දෙයක් නොවන බව මේ සමීක්ෂණයෙන් හෙළිවේ.දරුවන් රූපවාහිනියට හුරුකරනවාට වඩා දරුවන් පොතපතට හුරු කරනවානම් වඩාත් අගනේ යයි මම සිතමි.දරුවන්ට විවේකී වේලාවට රූපවාහිනියට හුරු කරනවාට වඩා දරුවන්ට කතාපොතක් වෙනත් දරුවන්ගේ නිර්මාණ කෞෂල්‍යය දියණුවන යමක් ලබා දීමෙන් ඔබට දරුවා හිස් සංකර දේවල් වලින් මිදුනු දරුවෙක් මෙන්ම නීරෝගී දරුවෙක් කර ගත හැකිය.

රීඩර්ස් ඩයිජස්ට් සඟරාවේ පළවූ ලිපියක් ඇසුරෙනි......




කැන්ඩි........

Sunday, October 10, 2010

පිළිතුරු අවැසි ඔබටයි...





නිහඬ බව දොඬමළු වීමට වඩා යෙහෙකි
මතක තබා ගනු නිහඬතාවයට පසුව එන කුණාටුව දරුණු බව
වරද කළ අය වරද නොදනී නම් මට එය කම් නැත
තමන් සිතන දෙයක් සිතා ගත්තාටත් මට කම් නැත
ඔබ සිතන පතන ආකාරය වෙනස් කිරීමට මට වුවමනාවක් නැත
එය ඔබේ අයිතියයි
එකම වරද තුන් හතර වතාවක් සිදු කළාට මගෙන් සමාවක් නැත
වරද දන්නේත් නැත්නම් මම කුමක් කරම්ද.........??
මතක් කර බලනු මැන
වැරදි රැසක් එක් වීම , එකම වරද කිරීම
මම මිනිසෙකි සමාව දීමට දෙවරක් සිතිය යුතුය...
මම නිවැරදි තීරණය ගතිමි
එය මගේ හෘද සාක්ෂියට අනූව සිතින් සිතා ගත් තීරණයකි
හුදෙක්ම ක්ෂණික කෝපය නිසා ගත්තක් නොවේ
ඔබට එසේද නැතිද කියා මම නොදනිමි
නමුත් පසුපස පැන්නීමට තරම් දෙයක් ඔබ සතුව ඉතුරුව ඇති සැටියකි
ඔබේ හෘද සාක්ෂියට අනූව ඔබ නිවැරදි නම් පසුපස පැන්නීමට
පිළිතුරු බලාපොරොත්තු වීමව ඔබට අවශ්‍ය නොමැත
එය එසේ නොවේද කියා සිතෙන් අසා දැන ගන්න
මම මගේ මඟ යමි
ඔබ ඔබේ මඟ ගන්න
ඔබ කරනා මඩ ප්‍රහාරයද හැකිනම් නැවතකරන්න
එය මට තවත් සංතුෂ්ටිය දනවන්නකි ප්‍රීතිය උපදවන්නකි
මක්නිසාදයත් ජීවිතයේ නා නාවිද මඩද ඒවා නිවැරදි වූ කළ
අනන්ත අප්‍රමාණ ලෙස ප්‍රශංසාද විඳ ඇත්තෙමි
මගේ හෘද සාක්ෂියට අනූව මා නිවැරදි නිසා
මට ඔබේ මඩ කිරිවෙහෙර ගිලගත්තවුන්ට අග්ගලය දුන්නා වැනිය..
තමන්ට වුණ පමණට කෑගසා අනුන් නොපෙලන්න යයි කීවේ ඔබයි
මට ඔබට කියන්නට ඇත්තේද එයයි
දන්නෝ දනිති
අනුන්හට වැරදි කිය තැන තැන මඩ ගැසීම පුරුදු කාර්‍යය නිසා අත් නොහරින්න
මම නිහඬ වෙමි නිහඬව විඳ ගනිමි
කළ වරද මතක් වුනු දිනෙක එය වරදක් කියා පිළි ගන්නා දිනෙක
නැවත දොඩමළු වෙමු
එතෙක් නිහඬව සිටිමු
එපමණයි
පිළිතුරු ලැබුනා යයි සිතමි

කැන්ඩි...

සමාවුව මැන...



කාලෙකට පස්සේ තමයි කැන්ඩිට මේ පැත්තේ එන්න ලැබුනේ.පසුගිය මාසය පුරාවටම කැන්ඩිට කැන්ඩිගේ ඇසටවත් ,මතක අහුරටවත්,තොරතුරුතාක්ෂණ පන්තියටවත් කිසිම විදියක පෝස්ට් එකක් ලියන්න බැරිවුනා.ඒ ගැන මගේ කනගාටුව පල කරනවා වගේම ඉදිරියේදී වෙනස් මාතෘකා රාශියක් යටතේ ඔබට ලිපි ගෙන එන්නත් මම පොරොන්දු වෙනවා.

කැන්ඩිට මේ පැත්තේ එන්න බැරිවුනේ කැන්ඩි ව්‍යාපෘති වගයකට කාර්ය බහුල වෙලා හිටිය නිසයි.තවමත් ඒවා 100%ක් ඉවර වුනේ නැතත් මේ දවස් වල විභාගයට පාඩම් කරන්නට නිවාඩු ලැබුන නිසා පෙරට වඩා විවේකයක් තිබෙනවා.මේ මාසය නිම වෙන තුරුම විභාගය තිබුනත් ඉඩ ලැබෙන වෙලාවට මේ පැත්තේ එන්න මම බලපොරොත්තු වෙනවා.සමහර විටෙක කාලයක් නිහඬව ගෙවිලා ගිය නිසා සමහරු හිතන්න ඇති කැන්ඩිගේ බ්ලොග් කෙරුවාවත් අර හතු පිපෙන්නා වගේ එක පාරටම සිද්ධවෙල නැතිවෙලා යන දෙයක් කියලා.නමුත් කැන්ඩිගේ ඉබිගමනින් හදිසියක් නැතුව යන බ්ලොග් කෙරුවාව හතු පිපෙනවා වගේ ඉක්මනින් නැති වෙන්න දෙන්නේ නැහැ කියලා බ්ලොගයට යන එන සියළුම යාළුවන්ට කැන්ඩි පොරොන්දු වෙනවා.

කාලයක් යමක් ලියන්නත් බැරි වුන නිසා ලියන්න දේවල් දහසක් හිතට නැගෙනවා,ඒ දේවල් වචන වලට පෙරලලා ඔබවෙත ගෙන එන්නට කාලය තමයි ටිකක් මදි.නමුත් පාඩම් වැඩ කටයුතු කරන අතර තුරේදීම අළුත් මාතෘකා එකින් එක කාලය ඉඩ ලැබෙන පරිදි ඔබ වෙත ගෙන එන්නට මම පොරොන්දු වෙනවා.තවත් දෙයක් සමහර බ්ලොග් යාලුවෝ නම් කාලයකට එන්න හම්බවෙන්නේ නැති වුනාම ඒක කියලා තමයි යන්නේ ,කැන්ඩිටනම් ඒක කරන්න බැරි වුනා,ඒකටත් සමාවෙන්න කියලා ඉල්ලනවා.නැවතත් කාර්‍ය බහුල වුනොත් දන්වන බවත් ඇලුත් දේවල්,අළුත් පෝස්ට් එකක් සමඟින් ආයෙත් හමුවන බලාපොරොත්තුවෙන් සමුගන්නම්.

කැන්ඩි.....