Friday, July 8, 2011

නොදැනෙන නොහැඟෙන ප්‍රේමය..






සිතින් සිතකට
පෙම් බැන්ඳත්
සිතක් පුරා
ඒ සිතට සිතුම් පිරුවත්
දහසක් සිතුවිලි මල්
සිතේ පිපුනත්
හදින් හදකට ලං වූවත්
හද පුරා පැතුම් මල්
පීදුනත්
හද බැඳි දේ දහසක් වුවත්
එහි ඇති පල කිම
එයින් එකකුදු
ඔබෙ ඔය දැඩි හිතට
රළු හදට
නොදැනේ නම්
නොහැගේ නම්


Picture source : http://www.artween.com/Artists/Debora-Laura-Campobasso/Artworks/Impossible-Love Accessed 08th July 2011 20.30 [Online]


චතුර

Thursday, July 7, 2011

හුදකලා ප්‍රේමය


හැමදා ඒක පාර්ශවිකවූ
නමුත් කෙටි කලෙක සිට
ද්වී පාර්ශවීය වූ
අන්ධකාර ලෝකයේ
අහු මුළු සොයමි මම එළියට එන්නට
ඔබ වැරදි කළත්
මම වැරදි කළත්
අවසානයේ මම දොස් අසන
මරණයට කැප වූවන්ගෙන්ද
අසන නිදොස් බව
කිසිදිනෙක ඔබ මගෙන් ඇසුවේද කියනු මැන
දැනේ මට වෙනසක්
සිතේ සිතුවිල්ලකි එය
ඉඩ නොදෙනු වස් එයට
දුනිමි ඔබහට දඬුවමක්
සැමදා මගේ දොස් දකින ඔබ මෙ ලෙසින්
සිතන්නට මගේ සිත පෙලැඹුනේ මේ ලෙසින්
නාමයට ද්වීපාර්ශවද
පෙම් කරනුයේ මා පමණද
නොතිබේද ඔබ සිතේ
මා කෙරේ
ප්‍රේමයක්..


Picture source : http://powerofh.wordpress.com/category/poetry/,  Accessed 07th July 2011 20.30 [Online]

චතුර....

විඳින කළට..


කරන කළට සිතුවද නුඹ
දුකක් දැනෙයි කියා අන් හට
හිතැසි වෙසින් හිඳ
මිතුරු කමක් පා
පාවා දීමට පැමිණි ඔබ
සිතුවද කෙදිනක මෙසේ වෙයි කියා..
වෙනෙකෙකුගේ ජීවිතය
තවෙකෙකුගේ අරමුණක්
ඉෂ්ඨ වීම වලකනු වස්
නොපනත් කම් කළ නුඹ
සිය මතය ප්‍රකට කර
එයම හැර වෙනකක් නැතැයි සිතූ නුඹ
නුඹට පමණක් නුවණැස ඇතැයි සිතූ නුඹ
අනුන් පරදවීමට
තමන් දේ කර ගැනුම පසෙක ලා
උනුන් පා පැටලවීමට ගිය කළැ
සිතුවද නුඹ හට මෙසේ වෙයි කියා..
එකෙකුගේ අහිංසක කම
නිහින කමෙකයි සිතා
උන් තලා පෙළන කළ
දැනුනෙද අනුකම්පාව නුඹ හට
සිනා නොමසෙමි නුඹ හට
වෛර නොකරමි නුඹ හට
නමුත් මම නුඹහට
කරමි උපකාරය
දෙමින් මෙම උපදේශය
නුඹ හට වුන දේ දැක
මතුවට ගෙන එය ආදර්ශය
මෙවන් අවමාන කම්
නොකරනු මින් මතුවට
කෙනෙකු රිදවූවොත්
කෙනෙකුට අවැඩක් කළොත්
සෙවණල්ල මෙන් එහි විපාකය
එනු ඇත ඔබ පසු පසින්..

Picture source : http://www.artquotes.net/artists/mccurry/regret_painting.htm, Accessed 07th July 2011 20.00 [Online]

චතුර....

Friday, July 1, 2011

අවසන් ලියුම..




ජීවිත කාලයක් ඔබ හා එක්ව සිටීමට ඔබගේ දුක සැප විමසීමට ඔබව රැක බලා ගැනීමට අග්නි දළුවක් වටා ගමන් කර මා ඔබට පොරොන්දු වූයෙමි. ජීවිතයේ විවිධ වූ කටුක සමයන් හි ඔබ හා එක්ව සියල්ල සමසේ විඳ දරා ගනිමින් ඔබට මා දැක්වූ ආදරය සත්‍යයකි. නමුදු වයස් ගත වීම හෝ අප කැදැල්ලේ දරුවන් නොමැති වීම හෝ ඔබ අධික ලෙස රෝහලේ රාජකාරීන්ට කැපවූ නිසාවෙන් හෝ පසුකාලීනව අප අතර යම් දුරස් බවක් ඇති විය. ජීවිතයේ එක්ව ගමන් කළ අප දෙදෙනාගේ ඒ බැඳීම අප දෙදෙනා අතින්ම ගිලිහී ගියේ අපටත් නොදැනීමය. 

පසුව ඔබ මා ගැන සොයා බැලීමද මා හට තරමක පීඩාවක් වූයේ මේ වෙන්වීම මසිතෙහි ඇති කළ යම් පසුතැවිල්ලක් බඳු වූ සිතුවිල්ලය.එය පසුතැවිල්ලක්ද එසේත් නැතහොත් මා වරදකාරයෙක් යන හැඟීම මසිතෙහි වූ නිසාවෙන් ජනිත වූ සිතුවිල්ලක්ද යන්න තේරුම් ගැනීමට මුලදී මාහට අපහසු විය. නමුදු කල් යත්ම ඒ මාගේම හෘදසාක්ෂිය මා ඔබට වරදක් කරනවා යන්න නිසා හටගත් සිතුවිල්ලක් බව මා හටම පසක් විය. දැරියක ලෙස අප හමුවට ඉගෙනීමට ආ කුසුම් කලෙකට පසු වැන්ඳඹු මවක් ලෙස සරණාගතයන් සමඟ දූපත් වාසයට පැමිණීමෙන් ඈ කෙරෙහි වූ අනුකම්පාව තවත් තීව්‍ර වන්නට විය. එය ආලයක් බවට පත් වූයේ කෙසේද යන්නත් එම ආලයට මා වාල් වන්නටත් හේතුව අදටත් මට සිතා ගත නොහැක.

හොරේන් නාස්කුර් සමඟ කුසුම් බැලීමට යාමට මා පෙළඹවීමට මූලිකම හේතුව වූයේ මෙම ආගන්තුක ආලය යි මා තදින් විශ්වාස කරමි. ඇයට මා ආලය කළද ඈ පිළිගත්තේ හොරේන් නාස්කුර්ගේ ආලයයි.ඇය ඔහුට ආලය කරනවා යයි දැන දැනත් මා සිතේ ඈ කෙරෙහි වූ ලෙන්ගතුකම අල්පමාත්‍රයකින්වත් අඩුනොවූයේ කෙසේ දැයි මා  නොදනිමි.මෙම ලියවිල්ල ඔබ අතට පත්වන විට බොහෝ විට මා ජීවතුන් අතර සිටිනු නැත.හොරේන් නාස්කුර් ෆෝකීර් රැගෙන ආවත් දූපතෙන් පිටවීමට කිසිසේත්ම කැමැත්තක් නොදක්වන කුසුම් මෙහි තනිකර දමා ඒමට මසිත සූදානම් නැත. මගේ අවසාන හුස්ම පොද වාතලයට මිශ්‍රවනතුරු ඈ සමඟින් සිට ඈ වෙනුවෙන් සටන් කිරීමට මසිත දැන් සූදානම්ය.

මගෙන් වරදක් සිදු නොවූ වගත් එයට මා වග නොකිව යුතු බවත් මම කවදාවත් නොපවසමි. මාකළ වරද වරදක් ලෙස සලකා මා හට සමාව භජනය කරන ලෙසද මා ඔබෙන් නොඉල්ලමි. මෙම ලියමනෙහි මූලික පරමාර්ථය වන්නේ ඔබෙන් සමු ගැනීමයි .හොරේන් ෆෝකීර් සමඟ දූපතෙන් පිට වීමට සූදානම් වෙයි. ඉතින් මා ඔබෙන් සමු ගන්නම් නිලීමා. කවදා හෝ පෙර මෙන් අපට එක්ව සිටීමට ලැබේවා යයි පතමි.

නිර්මාල්..

Hungry Tide by Amitav Gosh ඇසුරෙනි.

Image Source :  http://rohinimitra.blogspot.com/2010/07/partitioned-tigera-study-of-amitav.html Accessed 1st of July 2011 7.33 PM [Online]

චතුර.... ( කැන්ඩි )

කැන්ඩිගේ මතක අහුර වෙනස් වූ වගයි..






පාඩම් සහ ව්‍යාපෘති වැඩ කටයුතු එක්ක ටිකක් හිර වෙලා හිටියත්, ටිකක් නෙවෙයි දැන් නම් ගොඩාක් හිරවෙලා හිටියත් ඒ දේවල්ම විතරක් කර කර ඉන්න අමාරු නිසා මාස දෙකකට විතර පස්සේ මම බ්ලොගයට ගොඩ වදින්න තීරණය කළා. දැන් කවුරුවත් අහන්න යන්න එපා මම විභාගයට ව්‍යාපෘතියට භාර දෙන්න යන්නේ බ්ලොග් එකේ මේ පෝස්ට් එකද කියලා? දැනටමත් දැන් කර කර ඉන්න වැඩේ මොකක්ද කියලා දැකපු එක්කෙනෙක් මගෙන් ඔය දේ ඇහුව්ව. ඒත් ඉතින් හැම වෙලාවේම ඔය දේවල් කර කර ඉන්න බැරි නිසා තමයි මම මාස දෙකක් තුරාවට පැත්ත පළාතටවත් ආවේ නැති බ්ලොගය පැත්තට ගොඩ වදින්න හිතුවේ.


කාලෙකින් ලිව්වේනැති නිසා ලියන්න දේවල් නම් ගොඩක් හිතේ තියෙනව, ඒත් ඒ දේවල් ලියන්න කළින් මම කාලෙක පටන් කරන්න කියලා හිතාගෙන හිටපු තවත් දෙයක් ඉස්සෙල්ලම කරන්න ඕනේකියලා හිතුන නිසා ඒකට මුල් තැන දෙන්න තීරණය කළා. ඒ තමයි මම කාලෙක පටන් බ්ලොග් ලියන නම වෙනස් කරන එක. බ්ලොග් අවකාශයේ වැඩිය ජනප්‍රිය නොවුනත් දන්න කියන හැමකෙනාම මගේ බ්ලොග් අඩවිය හඳුනන්නේ කැන්ඩිගේ මතක අහුර සහ මම කැන්ඩි ලෙස.

මුලින්ම කැන්ඩි කියන නමින් මම බ්ලොග් එක පටන් ගන්න තීරණය කළේ මට පාසල් කාලයේ සියළුම යාළුවෝ කතා කළේ කැන්ඩි කියන නමිනුයි, ඒ මම නුවර පාසලක ඉඳලා නාලන්දයට ඇතුලත් වුන නිසයි, අදටත් පාසල් කාලයේ මිතුරන් චතුරට වඩා අඳුරන්නේ කැන්ඩිවයි.  නමුත්කාලෙක පටන් මට හිතිලා තිබුන දෙයක් තමයි මගේම අනන්‍යතාවයෙන් මගේ අඩවිය ලියන්න පටන් ගන්න ඕනේ කියන එක, ඒකට පැහැදිලිවම හේතුවක් කියන්න බැරිවුනත් ගොඩාක් කාලෙක ඉඳලා මට ලැබුන සමහර කමෙන්ටු සහ විවිධ දේ නිසා මට මේ දේ හිතුනා කියලා කියන්නත් පුළුවන්. ලියපු සමහරදේවල් සමහර වෙලාවට ලියපු ආකාරයෙන් නැතුව වෙනත් වෙනත් ආකාරයන්ගෙන් තේරුම් අරගෙන ඒවාට ඒ ඒ ආකාරයේ මත පළ කරන්නත් ඒ නම හේතු වෙන්න ඇති කියලා මට හිතුන නිසාවෙන් තමයි මම මගේම අනන්‍යතාවයකින් ලියන්න පටන් ගන්න හිතුවේ.ඒක නිසා මම මගේ ඇත්ත නම ඒකියන්නේ මට අම්මයි තාත්තයි දීපු නමින්ම මගේ අනන්‍යතාවය පවත්වන් යන්න  තීරණය කළේ.

විශේෂ හේතුවක් නැති වුනත් මේක මට හිතුන නිසා කරපු දෙයක් කියලා කියන්න මම ගොඩක් කැමතියි, මොකද මේකත් යම් දෙයකට බයේ කරපු දෙයක් කියල සහ වෙනත් කෙනෙකුට තවත් වෙනත් අදහසක් ඇතුව තේරුම් යන්නත් ඉඩක් තියෙන්න පුළුවන්. ලියන සමහර දේවල් වල සියළු තොරතුරු දෙන්න බැරිවුනහම එක් එක් අය ඒදේ කියවලා තමන්ගේ බුද්ධි මට්ටමට අනූවයි තේරුම් ගන්නේ.ඒක මට පැහැදිලිවුනේ අවසානයට ලිව්ව පොස්ට් කිහිපයෙන් එකකට ආපු අමුතුම අර්ථකථනයක් සහිත කමෙන්ටුවක් නිසයි,එක් එක් පුද්ගලයාගේ සිතන පතන විදිය වෙනස් කරන්න මට බැරි වුනත් ඒ දේවල් ඒ ඒ ආකරයෙන් හිතන්නට තුඩුදුන්න හේතු නැති කළහම ඒ ඒ දෙයෙහි ඇති සත්‍ය ඒ ඒ ආකාරයෙන් පෙනෙයි කියලා හිතන නිසා මම මේ නම වෙනස් කිරීම කරන්න හිතුවෙ.
 
නම වෙනස් කළත් ලියන්නේ මමම නිසා "වෙනදා වගේ මේ පැත්තේ ආව " ගිය නමින් පමණක් අහලා තියෙන දැකලා නැති ඒත් හොඳ යහළු බැම්මක් තියෙන මම ලියන දේ ගැන අදහස් කියන මගේ බ්ලොග් යහළුවෝ දෙතුන් දෙනා මාත් එක්ක ඉඳියිකියලා මම හිතන ගමන් තමයි මේ වෙනසට මුල පුරන්නේ..

මම රචනා කරපු අනෙක් සියළුම අඩවි වලත් නම් වෙනස් වෙන්නේ මේ විදියටයි.

කැන්ඩිගේ මතක අහුර = චතුරගේ මතක අහුර..
කැන්ඩිගේ තොරතුරු තාක්ෂණ පන්තිය = චතුරගේ තොරතුරු තාක්ෂණ සිප්සල..
කැන්ඩිගේ ඇසින් = චතුරගේ තෙවැනි ඇසින්.......
The Story of Candy = The Story of Chathura..

Picture Source : http://www.flowcrete.com/OurNews/Flowcrete_Launch_New_Flooring_Website.aspx Accessed on 01 st July 2011, 11.22 AM  [Online]





චතුර....( කැන්ඩි )

Saturday, April 9, 2011

අපූරු ආයා....




China Smack 2010 Web Site,[Online],Available :http://http://www.chinasmack.com/2008/stories/new-rules-for-nanny-in-shaanxi-province.html/[Accessed 09 April 2011]


හදිසියේම දුරකතනය නාද වන්නට විය.වෙනදා මෙන්කවුරුන් හෝ ඇවිදින් එයට පිළිතුරු දෙන තෙක් මම බලා සිටියෙමි. එයට පිළිතුරු දීමට ගොස් පොඩි පුතේ ඕක ගන්නකෝ මම එනකන් ,පොඩ්ඩො ඕක බලනවකෝ යන විධානයන් දෙක දිනපතා ඇසීමට මා අකමැතිය.වෙනදා මෙන් අම්මා වහාම දුරකථනයට පිළිතුරු දුන්නාය. පොඩි පුතේ ජානි අක්කට පොඩි හදිස්සියක් කියලා මට එන්න කිව්වා ගිහින් එන්න යමුද පොඩ්ඩකට, මට වැඩක් තිබුණත් අම්මාට බකීමට නොහැකි නිසා මම අම්මාට හා මම ඇඳුමක් දාගෙන එන්නම් කියා කාමරයට වැඩුනෙමි. විනාඩියට දෙකකට වෙනත් ඇඳුමකට බැසගත් මා අම්මා සමඟ ජානි අක්කගේ නිවසට යාමට පිටත් වුනෙමි.

ජානි අක්කා මගේ ඥාතී සොහොයුරකුගේ බිරිඳයි. විධායක ශ්‍රේණියේ රැකියාවන් කරන ඔවුන්ගේ නිවෙස තිබෙන්නේ අප නිවසේ සිට පැය කාලකින් පමණ ළඟා විය හැකි දුරකින්ය. නමුත් ඒ වාහනයකින් යනවා නම්ය. ඔවුන් දෙදෙනාගේම පවුල්වල පිරිස පදිංචිව සිටින්නේ විදේශයන් හි නිසා ඔවුන් දෙදෙනාට වැඩිහිටිකමට ඥාතී කමට මිතුරු කමට් සැම විටම ළඟින් සිටින්නේ අපේ අම්මාය. තවම උදේ දහය පමණ නිසා මේ වේලාවේ ඇයට ඇති හදිසි ප්‍රශ්නය කුමක්දැයි මට හෝ අම්මාට සිතා ගත නොහැකි විය.

අප නිවසට ගොඩවන විට ඇගේ ආයා හඬමින්ද ඇය අටමසක් වයසැති බිළිඳු පුතු නලවමින්ද සිටියෝය. මොකද පුතේ වුනේ කියා අම්ම ඇසුවාය. මේ බලන්නකෝ නැන්දේ කියා ජානි අක්ක තොර තෝන්චියක් නැතුව ගලා ගිය ඇයගේ කතාව ආරම්භ කළාය. ඇය කී පරිදි කතාව මෙසේය. ඊට පෙර මම මේ ටිකද කියන්නෙමි, ඒ මෙය කියවන ඔබට අගක් මුලක් නොතේරෙන තත්වයකට පත් විය හැකි නිසාය. විධායක ශ්‍රේණියේ රැකියාවක් කරන නිසාවෙන් ප්‍රසූතිය සඳහා ලැබී තිබුන නිවාඩු අවසන් වූ වහාම ඇයට රැකියාවට යාමට සිදු වූ නිසා මීට මාස දෙකකට පෙර ඇය රැකියාවට ගොස් පැමිණෙන තෙක් දරුවා බලා ගැනීමට ආයා කෙනෙක් සේවයට ගත්තාය. අසල්වාසී නිවසක තරුණියක් වූ ඇයට ජානි අක්කා දරුවාට සහ එම තරුණියට කෑමද සියළු දේද පිළියෙළ කරදී උදෑසන රැකියාවට පිටත් වී යන්නීය. ආයාට කිරීමට තිබුනේ ඇය රැකියාවට ගොස් එනතුරු කවා පොවා දරුවා බලා ගැනීම පමණි, දරුවාගේ දිනපතා රෙදි සේදීම ආදී කටයුතුද ජානි අක්ක රැකියාවට ගොස් පැමිණි පසු ඇය අතින් සහ මගේ ඥාතී සොයුරා අතින් සිදු විය.

ජානි අක්කා කී කතාව මෙසේය මෙහි සමහර ස්ථාන වලදී මට නම් සිනහා නොවී සිටීමට බැරි විය.

දරුවා උපන් දා සිට සෑම දෙමව්පියෙකු මෙන් මේ යුවලද අදාල සායනවලට මාසිකව සහ භාගී වී වෛද්‍යවරුන් හමු වී දරුවාගේ වැඩීම නිසි පරිදි සිදුවේ දැයි පරීක්ෂා කරවාගෙන ඇත.

ජානි අක්කා නැවත සේවයට යනතෙක් ඇයගේ පොඩි පුතුගේ වර්ධනය හෝ සෞඛ්‍ය තත්ව්ය නොවෙනස්ව සාමාන්‍ය ආකරයටත් වඩා හොඳින් තිබී ඇත. නමුත් ඇය සේවයට ගිය පසුගිය මාසදෙකෙහි දරුවාගේ වර්ධනය පෙර මාස වලදී මෙන් යහපත් ආකාරයෙන් සිදු වී නැත. දරුවා කිහිප වරක් රෝගී තත්වයන්ගෙන්ද පෙළී තිබිණ. පසුගිය දිනෙක ඇය වෛද්‍ය වරයා හමුවූ මොහොතක දරුවාට ලබා දෙන ආහාර ක්‍රමවත් කළ යුතු බවත් නිසි පරීදි දරුවා පෝෂණය කරන අයුරු දැන ගන්න ලෙසටත් ඇයට උපදෙස් ලැබී තිබේ. ඉන්පසුව සියල්ල සූදානම් කර රාජකාරියට යන ඇය හට යම් සැකයක් පහළ වී ඇත. ඇයගේ සැකය නිසා රාජකාරියට පිටත්ව ගිය ඇය සිය සේවා ස්තානයේ මඳ වේලාවක් රැඳී සිට නිවාඩු දමා හදිසියේම නිවසට පැමිණ තිබේ. එවිට දරුවා හඬන ශබ්දය ඇසී ඇය දරුවා නිදන කාමරයේ ජනේලයෙන් ගෙතුලට එබී බලා ඇත. එවිට ඇය දැක තිබුනේ මවකට නිම්හිම් නැති කෝපය දනවන දර්ශනයකි.දරුවා ඇඳේ පසෙක හඬමින් සිට ඇත. අටමස් වියැති බිළිඳා අත විස්කෝතුවක් තබා දරුවා ඇඳේ පසෙකට කර ඇය ඇඳේ මුනින්තලාව ඇයගේ ජංගම දුරකථනයෙන් ඇයගේ පෙම්වතා සමඟ හෝ වෙනත් අයකු ලෙස උකුළු මුකුළු පාමින් කතා කරන අතර තුර දරුවාගේ කිරි බෝතලයෙන්ම එයටම මුව තබා ඇය කිරි බිබී සිට ඇත. එය දුටු ජානි අක්කා කෝපයෙන් දොර ඇරගෙන ගොස් ආයාට බැන ඒ අතර තුරදී අම්මා අමතා ඇත.

අවසානයේ ආයා කෙසේ හැසිරුනත් වෙන කුමක් කළත් පළක් නොවන හෙයින් ඇය හට ඇයගේ වේතනය ලබා දී පිටත් කිරීමට සිදු විය.රාජකාරියට වඩා දරු සම්පත ලොකු නිසාවෙන් ජනි අක්කා තවත් මාසයක නිවාඩු අනුමත කරවාගෙන විශ්වාසවන්ත අයෙක් ලැබෙන තෙක් ඇය නිවසේ නතර වීමට තීරණය කළාය.

ඔබත් බිළිඳෙකුගේ දෙමව්පියෙක් නම් සහ ඔබගේ දරුවා පිටස්තරයෙක් සමඟ රඳවන වා නම් මීට වඩා ඔබගේ දරුවා කෙරෙහි සැලකිලිමත් වන්න. සැකයක් ඇති කර නොගත්තත් එම පුද්ගලයා නිසි පරිදි සිය සේවය ඉටු කරනවාදැයි ඒ පුද්ගලයාට නොදැනෙන සේ විමසා බලන්න. මෙහිදී වැදගත් වන තවත් කරුණක් වන්නේ පුද්ගලයෙකු සේවයට ගැනීමට පෙර එම පුද්ගලායා කෙබඳු චරිතයක් දැයි සොයා බලන්න. අවසානයේ යමක් සිදු වී එයට පිළියම් සොයනවාට වඩා සිදුවීමට පෙර වලක්වා ගැනීම යහපත්ය.

කැන්ඩි....

Sunday, April 3, 2011

අවසාන මොහොතේ දුටු ඥාතියාණෙනි ඔබට නිවන් සුව...!!!!

Flicker By Sarah Sad and Beautiful Collection[Online],Available:http://www.flickr.com/photos/sadandbeautiful/3549518115/in/photostream/[Accessed [Accessed 2 April 2011]


නිවසට ආ නාඳුනන අමුත්තකු පැවසූ දෙයින් මම පුදුමයට පත් වීමි. ජීවිතයේ කෙදිනකවත් අසා නැති ජීවිතයේ කෙදිනකවත් දැක නැති අඩුම තරමේ මෙළොව ළඟ නෑ කමක් ඇති නුඹ වන්නෙක් ජීවත්ව සිටීදැයි නොසිටි මා හට අමුත්තාගේ පණිවුඩය පුදුමය දනවන්නක් විය. ඔබගේ වියෝව ඇසූ මා හට පළමුව දුකක් හෝ සතුටක් ඇති නොවිනි, මා සිත තුල ඇති වූයේ හිස් බවකි. කෙඳිනකවත් අසා නැති ඔබ ගැන සියළු තතු හෙළිවන්නට විය.

අපගේම වූ ඔබ මින් විසිපස් වසරකට පෙර ජීවත් වූ ආකාරයත් තමන්ගේ වූ කෙනෙකුට කළ කී දෙයත් මා හට අසන්නට ලැබුනි. කිසිදා නොදුටු ඔබ ගැන ආදරයක් වෙනුවට මා සිත ප්‍රථම වරට ජනිත වූයේ පිළිකුලකි. නමුත් කිසිදා නුදුටු කිසිදා නොඇසූ ඔබගැන ඔබ ඒ දේ කළේ ඇයිද යන්න ඔබේ සිතැඟි නොඅසා ඔබ ගැන වෛරයක් ජනිත වීමට මාසිත ඉඩ නොදුනි. නමුත් කොතරම් බැහැර කරන්නට හැදුවත් මුලින් ඇති වූ පිළිකුළ නම් සිතෙන් ඉවත් කිරීමට මා හට නොහැකි විය. කොතරම් අමතක කර දමන්නට වීරිය කළත් අවසානයේ සිතේ කොනක පැලපදියම් වූ එය නුදුටු ඔබ ගැන නිතරම මසිත ඇති කළේ ඔබ ගැන පිළිකුල් සහගත සිතුවිලිය. සියල්ල දැන ගත් පසු මගේ සිත මගේ ගමන වැලැක්වීමට තැත් කළත් මින්මතුවට ඔබ ගැන සෙවීමට මීට වඩා කාරණාවක් නොවේ යයි සිතේ මුල්ලක වූ තවත් සිතුවිල්ලක් කෑ ගසා කී හෙයින් ඔබ දැකීමට යන ගමන වැලකුනේ නැත.

වසර තිහක පමණ කුරිරු අතීතයකින් පසුව කිසිදා අපගේ කිසිවෙක් පය නොගැසූ ඔබගේ ප්‍රතාපවත් ගෘහයේ දොරකඩට මම පැමිණියෙමි. මා වැන්නකු සිටී දයි නොදැන සිටියද මා හට පරවේණීව උරුම වී තිබූ බාහිර ස්වරූපය නිසා ඔබගේ සමීපතමයින් ලෙස ඔබ වැළඳගත් ඔබගේ සමීපතමයින්ට මා හඳුනා ගන්නට හැකි විය. ඔබ ගැන පිලිකුල් සහගතව සිතූ මගේ සිතිවිලි ගොන්නත් සමඟ වසර තිහක පමණ නොදත් අතීතය මා ඉදිරියේ දිග හැරෙන්නට විය. සත්‍ය නොපැවසුනද මා හට සත්‍ය පසක් වන්නට විය.එහි සැබෑ ස්වරූපය මා හට දර්ශනය වන්නට විය. එය එසේ වන්නට වන්නට පෙර සිතේ කොනක වූ ඔබ ගැන වූ පිළිකුල නැවත දළු ලා වැඩෙන්නට විය. ඔබ කල වරද ඔබගේ සමීපතමයින් සැඟවීමට උත්සාහ කළේ ඒ දේ මා උපත ලැබීමට සිදු වූ හෙයින් සමහර විටෙක අවසන් මොහොතේ හෝ ඔබ කරා පැමිණෙන්නට මා හට සිත් දුන්නේ ඒ පෙර වැරදි නොදත් නිසා යයි සිතන නිසා බව ඔබගේ සමීපතමයි ව්‍යංගයෙන් පැවසූ දෙයිනුත් මා ඉදිරියේ ඔවුන් මුව ඇඳි ඒ සැඟවිය නොහැකි සිතුම් නිසාවෙනුත් නිසැකයෙන්ම පසක් වන්නට විය. එය එසේම වන්නට ඉඩ හැරීම විනා එය නිවැරදි කිරීමට මා සිත ඉඩ නොදුන්නේ සත්‍ය දැන ගැනීමට මසිත තුල වූ බලවත් කුහුල නිසා විය හැක.

ඔවුන් පැවසුයේ සත්‍ය නොවුනත් තවදුරටත් එහි රැඳුන මා හට සත්‍ය වසන් කිරීමට ඔවුන් හට නොහැකි විය. මෙයට තිස් වසරකට පෙර ඔබ ජීවත් වූ ආකාරය කෙතරම් අසාධාරනද යන්න ඒ දේ අසා නැවත නැවත සිතෙන්නට විය.අවසානයේ ඒ දේ එසේ වූවද ඔබගේ කතාවද ඇසීමට මා සූදානම් වීමි. ඔබගේ කතාවද මා ඉදිරියේ දිග හැරෙන්නට විය. වසර විසිපහකට පෙර ජීවිතයේ කෙදිනකවත් සමාව දිය නොහැකි වරදක් කර සමීපතමයින් ලෙස තෝරා ගත්තවුන් සමඟ ඔබ ගෙවුනු වසර විසිපහ ගත කළ අන්දම මා ඉදිරියේ දිග හැරුනි.

ඔබ කර ඇත්තේ කෙදිනකවත් සමාව දිය නොහැකි වරදක් වූවද වසර විසිපහක් මුළුල්ලේ ඔබට ලැබුන දඬුවම සැර වැඩිද කියා ඔබගේ ජීවනාන්දරය ඇසූ මට සිතුනි. ඔබ සියළු වරද කර ඔබ හා සමීප කර ගත්තවුන් ඔබගේ දෙයින් ඔබ දුන් දෙයින් ඔබගේ විසල් බූදලයෙන් ජීවත් වුනද අවසානයේ ඔබ හා ජීවිතයේ අවසාන කාලය ගත කිරීමට ඔබ සමඟ ඉතිරිව ඇත්තේ ඔබගේ වයෝවෘධ සොහොවුරිය පමණි. විසිපස් වසරකට පෙර කළ වැරදි ඔබ හට මෙළොව දීම දිට්ඨ ධම්ම වේදනීය ලෙස විපාක දී ඇත. විසි පස් වසරක්ම ඔබ ජීවිතය ගෙවා ඇත්තේ තමන් කළ වැරදි වලට ප්‍රතිවිපාක ලෙස ලැබූ දේ නිසා මහත් වූ සිත්තැවුලෙනි.ඒ දේ කරන විට ඔබට එසේ වේ යයි ඔබ කිසිදා නොසිතන්නට ඇත.ඔබ හා ඒ දේ හිදී සමීපතමයින් ලෙස සිටිය වුන්ට ඔබට වඩා ජීවිතය දඬුවම් ලබා දී ඇත.අවසානයේදී පිළිකුලක් ලෙස ඉතිරිව වෛරයක් බවට පත්වන්නට තිබූ ඔබ කෙරෙහි වූ ඒ සිතුවිල්ල ඔබ ගැන අනුකම්පාවක් දයාවක් බවට පත් විය.

ඔබ ජීවත්ව සිටියදී මා හට ඔබ සිටි තත්වය දකින්නට ලැබුනා නම් ඔබගේ ජීවිතයට මීට වඩා යහපත් වාසනාවන්ත අවසානයක් ළඟා කර දෙන්නට ඉඩ තිබුනා නේද යන්න පමණක් මගේ සිතේ ඉතිරි විය.
අවසාන මොහොතේ දුටු ඥාතියාණෙනි ඔබට නිවන් සුව...!!!!

කැන්ඩි....

Saturday, April 2, 2011

සයිබරයේ ආචාරධර්ම..



අන්තර් ජාල භාවිතයේදී අප සන්නිවේදනය සඳහා නොයෙකුත් Messenger මෘදුකාංග භාවිතා කරන්නෙමු. උදාහරණ වශයෙන් Skype, Yahoo Messenger, Google Talk ,Windows Live Messenger ,OOVOO වගේ ඒවා කියන්න පුළුවන්. නමුත් ඒවා භාවිතය ගැන අප නිසිලෙස දැනුවත් වූවත් ඒවා භාවිතයේදී ඒවා නිසි ලෙස ක්‍රියාවට නංවනවාද යන්න නම් සැකයක් ඇත.මන්ද යත් බොහෝ දෙනෙක් මේවා භාවිතා කළත් ඒවායේ පහසුකම් ගැන දැන ගත්තත් ඒවා භාවිතයේදී ඒ දේවල් ක්‍රියාත්මක කරන්නේ නැහැ. තවත් එක් කරුණක් වන්නේ තවත් සමහරු මේ දේ මේකයි කියලා දැනගෙන හිටියත් ඒ දේවල් ගැන නොතැකීමයි.








අප සැබෑ ලෝකයේදී අනෙක් කටයුතුවලදී අනුගමනය කරන ආචාරධර්ම විධි මෙහිදී යොද නොගන්නා එක තමයි මෙහිදී ඇති ප්‍රදානතම ගැටළුව. සරල උදාහරණයක් වශයෙන් කියනවා නම් සාමාන්‍යයෙන් අප කාර්යාලයකදී වෙනත් පුද්ගලයෙකුගේ කුටියකට ඇතුළු වීමේදී එයට කඩා පනින සිරිතක් නැත. සාමාන්‍යයෙන් පිටින් සිට දොරට තට්ටු කළ පසු එයට පිළිතුරක් ලැබුනහොත් ඇතුලට යාම තමයි අපගේ සිරිත. මේ වගේ සරල දෙයක් සරල හොඳ පුරුද්දක් අප සයිබරයේදී ක්‍රියාත්මක කරනවාද යන එක ලොකු ගැටළුවක්.

මම කළින් සඳහන් කළ Messengers හි තමන් ගේ වැඩකටයුතු හා කාර්ය බහුලත්වය අනූව Status යන එක Busy Mode දමා තිබෙන්න පුළුවන් .ඒ අවස්ථාවල අප ඒ පුද්ගලයෙක් හා සංවාදයක් ආරම්භ කිරීමට ප්‍රථම අඩුම තරමේ මම කතා කරන්නේ මේවගේ දෙයකට ඔබ කාර්යබහුලද මේවෙලාවේ කියා විමසන්න තරම් ආචාරශීලී වන්න.පෙරකී ආකාරයෙන් Busy Mode කර තිබේ නම් ඔබ සංවාදයක් ආරම්භ නොකර ඉන්නවානම් වඩා හොඳය. මන්දයත් පෙරකී පුද්ගලයා එසේ කර තිබෙන්නේ සත්‍ය වශයෙන්ම ඔහු කාර්යබහුල හෝ එම ස්ථානයේ පරිඝනකය ඉදිරිපිට ඔහු නොමැති නිසා විය හැක. ඔබට සංවාදය ආරම්භ කිරීමට අවශ්‍ය කාරණය ඉතා හදිසි එකක් නම් ඔබගේ අවශ්‍යතාවය සඳහන් කර පෙරකී ආකාරයෙන් ඔහු හෝ ඇය කාර්යබහුලද කියා විමසීමට තරම් ආචාරශීලී වන්න.










ඔබ තවත් ආකාරයකින් අනුන්ට බාධා කර නිදහසට කරුණක් ලෙස මෙසේ කියන්නට පුළුවන්. " ඔබ ඔය තරම් කාර්යබහුලනම් ඇයි ඔබ online ඉන්නේ කියා " එසේ අසන උදවියද නැත්තේ නොවේ. මතක තබා ගන්න ඒ පුද්ගලයා එහි රැඳී සිටින්නේ ඔහුගේ කාර්යය කරන වෙනත් අයෙක් සමඟ සන්නිවේදනයට පහසු නිසා විය හැක. එම පුද්ගලයාගේ online list එකේ ඉන්න එකම පුද්ගලයා ඔබ පමණක් යයි කොයි විටෙකවත් සිතා වැඩ කටයුතු නොකරන්න.

ඔබට යම් පුද්ගලයෙක් දිගින් දිගටම මෙසේ කරදර කරයි නම් ඔබට එම පුද්ගලයා Block කිරීමේ පහසුකමද බොහෝ Messenger සේවාවන් විසින් ලබා දී ඇත.

ඔබ කෙනෙකුට ආචාරශීලී වනවානම් අනෙක් පුද්ගලයිනුත් ඔබට ආචාරශීලී වනවා ඇත.

කැන්ඩි....

Wednesday, March 30, 2011

ඇත්තටම උඹට යාළුවෝ ඔච්චර තිත්තද..?




ෆෝන් ඕෆ් කරලා
චැට් බ්ලොක් කරලා
ගෙදරට ගත්තත් උත්තර නෑ
කිසිම කතාවක් නෑ
හුඹහට වැදුන සර්පයා වගේ
උඹේ ඔලුව ඉදිමිලාද
අඟක් මෝදු වෙනවද
ඇත්තටම උඹට යාළුවෝ ඔච්චර තිත්තද..?

ඇඳක් උඩට වෙලා පොතක් කියවන්න
නාන කාමරේට වෙලා සින්දු කියන්න
ගහක් උඩට නැගලා ගෙඩියක් කන්න
ආදරී ඉස්සරහින් වාඩි වෙලා බ්ලොග් ලියන්න
වහලේ උඩට නැගලා අහස බලන්න
සීලිමට වෙලා නිදා ගන්න
අස්මඬලට නැගලා වටේ බලන්න
ඇලේ බැහැලා මාළු අල්ලන්න
වෙලට බැහැල මඩ ගාගන්න
තණ බිස්සේ නිදියගෙන කල්පනා කරන්න
ගඟබොඩ ගිහින් කුරුම්බ බොන්න
සිරියගේ ගොටුපිට්ටු කන්න
අම්මට කියලා ඔළුවට තෙල් දා ගන්න
ආච්චි අම්මගේ ඔඩොක්කුවේ ඔළුව තියන් ඉන්න
නැන්දගේ සව් දොදොල් කන්න
ලොකු අම්මත් එක්ක පන්සල් යන්න
සීයගේ වීර කතන්දර අහන්න
අයියගේ දුව වඩාගෙන වදුරො පෙන්නන්න යන්න
අල්ලපු ගෙදර කලූට බැල්ම දාන්න

තියෙන දවස් ටිකත් මම උඹලගේ හිස් වැඩ බලන්න එන්න ඕනෙද..?

කැන්ඩි....

අකීකරු මගෙම හිත ..




Space Collective 2011,Self-Evolving personal cargo Web Site,[Online],Available:http://spacecollective.org/SelfEvolving/4609/The-Extended-Mind[Accessed 30 March 2011]



තරහවක්
ආදරයක්
අනුකම්පාවක්
ලැජ්ජාවක්
එකවර ඇති වුනත්
මේ දේ මෙහෙමයි කියලා තේරුම් ගත්තත්
ආය බලන්නේ නෑ කියලා නීති දැම්මත්
මේක කරන්නේ නෑ කියලා පොරොන්දු වුනත්
කිසිම දෙයක් ගණන් නොගෙන හිටියත්
දුක යටපත් කරන් හිටියත්
වෛරය මැඩ ගත්තත්
කෙනෙක් ගැන දුක හිතුනත්
හොඳක් කළත්
නරකක් කළත්
හැමදේටම නීති දැම්මත්
හැමදේ ටම සීමා පැනෙව්වත්
හැමදේටම පොරොන්දු වුනත්
ලද සැණින්
නිදහස සොයා යන
අකීකරු මගෙම හිත
මෙල්ල කරමි මම අද සිට

කැන්ඩි....

Tuesday, March 29, 2011

ස්කූල් වෑන් එක..



Prime Radio SriLanka 2010, Prime radio Web Site,[Online],Available :http://www.primeradio.lk/news/2010/11/21/special-license-to-school-vans/[Accessed 29 March 2011]


ඉස්සර ටිකක් පොඩි කාලේ කැන්ඩි කරපු සමහර වැඩකටයුතු හින්ඳා සහ කැන්ඩි ඉස්සර හැසිරිච්චි විදිය හින්ඳා කැන්ඩිගේ අම්මට කැන්ඩි ගැන ලොකු බයක් හිතේතිබ්බලු.මේකා තනියම යැව්වොත් රස්තියාදුකාරයෙක් වෙනවා කියලා හිතිච්චි හින්ඳමද කොහෙද කැන්ඩිගේ අම්මා නීතියක් පැනෙව්ව කැන්ඩිට කිසිදා තනියම ගමන් තහනම් ය කියලා, ඉතින් වෙන මොනවා කරන්නද දෙන දෙයක් කාලා ඉන්න එපාය ,කැන්ඩිට ඉතින් ඊට පස්සේ හැමදාම කවුරු හරි එක්ක මිසක් පන්තියකටවත් යන්න ලබුනේ නෑ. කොටින්ම කියනවනම් හිරගෙදර.

ඒක නිසා කැන්ඩිව ගේ ළඟින් යන ස්කූල් වෑන් එකේ නැතුව යැව්වේ කැන්ඩිගේ අම්මලාගේ ගමේ ඉඳන් ආපු ස්කූල් වෑන් එකක. ඒ වෑන් එකේ ඇන්ටියෙකුත් හිටිය නිසා තමයි වැඩිමනකුත් කැන්ඩිගේ අම්මා ඒ වෑන් එකට කැමති වුනේ. වෑන් එකේ ඇන්ටි කැන්ඩිගේ අම්මාගේ දුර නෑයෙක්. ඉතින් කැන්ඩිට ඔය වෑන් එකේ හම්බවුනේ ඉස්සරහම ආසනය නිසා ඉතින් වැඩිය බාලිකාවන්ගේ මූණු ටික බලාගන්නත් ගොඩාක් කාලයක් ගත වුනා,ඒත් ඉතින් මොනවා කරන්නද නෝ කතා නෝ සිනා ඇන්ටි ඉන්නවනේ.

ඇන්ටි මේ වෑන් එක කරන්නේ ඩ්‍රැයිවර් කෙනෙක් දාලා ඩ්‍රැයිවර්ට දවසේ පඩිය දීලා තමයි. ඔය වෑන් එකේම තමයි ඇන්ටිගේ දුවයි පුතයි ගියෙත්. ඔය දෙන්නත් හිටියෙ ඇන්ටිගේ වර් එක හිතට අරන් තමයි.කැන්ඩි වෑන් එකට ඇතුළු වුන කාලෙම තමයි ඇන්ටි අළුතෙන් වෑන් එකක් ගත්තෙත්.ඔය අළුත් වෑන් එකට අළුත් රියදුරු මහත්තයෙකුත් ආවා. ඉතින් ඔය අළුත් රියදුරු මහත්තුරු ගොඩ දෙනෙක් හැමතැනම පාරවල් දන්නේ නැහැනේ. මේ අළුත් රියදුරු මහත්තයත් එහෙම තමයි. ඔන්න ඇන්ටිට මේ රියදුරු මහත්තය කියනවා ," නෝනා මට හරියට හැරෙන තැන කියන්න." ඔන්න ඇන්ටිත් කියනවා " ඔය පාරෙන් රාජකාරුණා මාවතට දාන්න" ඔන්න ඉතින් අර රියදුරු මහත්තයා දහ අතේ හොයනවා රාජකරුණා මාවත ,හොයලා ආයෙත් අහනවා " නෝනා කොයි පත්තටද හැරෙන්නේ..?" ඇන්ටි ආයෙත් කියනවා " රාජකරුණා මාවත පැත්තට " ඔන්න ඉතින් මේ රියදුරු මහත්තය ටිකක් මූණ ඇඹුල් කරලා බැලුවම ඉස්සරහ හිටපු කැන්ඩි දකුණට අත දික් කරලා පෙන්නුවා, ඉතින් ඊළගට ආයෙත් මේ රියදුරු මහත්තයා අහනවා " නෝනා කොහෙටද හැරෙන්නේ " ඇන්ටිත් ඉතින් කියනවා, " සිරිධම්ම මාවතට " ඔන්න ඉතින් ආයෙත් කැන්ඩි අනාරාධිතවම පාර පෙන්නුවා.

ඔහෝම ඔහොම පාරහොයන් කැන්ඩිලගේ ඉස්කෝල පැත්තට එනකොට පටන් ගන්න වෙලාව පහු වෙලා, ඇන්ටිගේ දුවගේ පාසල වුනේ ගෝතා බාලිකාව, ඇන්ටිගේ පුතා ගියේ කැන්ඩිගේ පාසලේ සහෝදර පාසලට. ඔන්න ඉතින් ඇන්ටිගේ දුවයි පුතයි ඉතින් දැන් "මේ ඩ්‍රැයිවර් එක්ක ආවම හැමදාම මෙහෙම වෙයි "කියලා බැහැලා ගියා. ඔය දෙන්නම බැස්සට පස්සේ තමයි කැන්ඩිගේ පාසලට එන්නේ, ඔන්න ඉතින් කැන්ඩිවත් බස්සවලා යන්න ගියා,එදා හවසත් තවත් සතියක් විතර අර රියදුරු මහත්මයට පාර හුරු වෙනකනුත් ඔහෝම තමයි වුනේ. පඩි නඩි හේතු නිසා ඇන්ටිගේ වාහනයට එන රියදුරු මහත්වර වැඩිය කල් හිටියේ නෑ. ඉතින් ඔය විදියට රියදුරු මහත්වරු පස් හය දෙනෙක්ම මාරු වෙලා යන්න ගියා.

මේ රියදුරු මාරුව ඇන්ටිට ටිකක් අමාරු වෙච්චි නිසාවෙන් ඇන්ටි ඊළඟට ගත්ත තීරණය තමයි , ගෙදර දොරේ ඉඩම් කඩම් බලා හදාගෙන හිටිය ඇන්ටිගේ අන්කල්ව රියදුරු වැඩේට ගන්න එක. ඉතින් අන්කලුත් වැඩේට ආවා. අන්කල් කොළඹ ඉගෙනගත් කොළඹ නිතර ආ ගිය කෙනෙක් නිසා පාරවල් නම් වැඩිය ප්‍රශ්නයක් වුනේ නෑ.ඒත් ඉතින් ඔය පාගමනක් දවසක කලින් ඉස්කෝලේ ඇරිලා අන්කලුත් නොදන්න පාරවල් වගයක යන්න සිද්ධ වුනා, ඉතින් අන්කලුත් "මට හැරෙන තැන කියන්න" කිව්වම ඇන්ටි කිව්වේ " කුමාරතුංග මුනිදාස මාවතට හැරෙන්න" " රාජකරුණා මාවතට දාන්න" වගේ දේවල්. ටික වෙලාවක් මේක අහන් ඉඳපු අන්කල් මෙහෙම කිව්ව " මම ඔය මල ඉලව් පාරවල් දන්නේ නෑ, මට හැරෙන පැත්ත කියනවා " ටික වෙලාවක් " වමට හැරෙන්න " "දකුණට හැරෙන්න " කියපු ඇන්ටි ටික වෙලාවකින් ආයෙත් පරණ විදියටම පාර කියන්න පටන් ගත්තා, ඉතින් අන්කල් මෙහෙම කිව්වා,"මනුස්සයෝ මම ඔය නම් කට පාඩම් කරගෙන නෑ මට හැරෙන පැත්ත කියන්න කියලා" ඉතින් ආයෙත් ඇන්ටි වමට දකුණට උත්තරය දෙන්න පටන් ගත්තා. අන්කල්ට හැබැයි එක ප්‍රශ්නයක් තිබුණා ,ඒක තමයි අන්කල් ගොඩාක් කාලයක් වාහන එළවීමෙන් බැහැර වෙලා තමයි ඉඳලා තියෙන්නේ, ඒක නිසා එයාට වාහනය වැඩිය හුරු නැහැ. ඉතින් ටිකක් හෙමින් තමයි යන්නේ. ඒක නිසා ආයෙත් අර පරක්කු වෙන ප්‍රශ්නය ආවා.

ඉතින් ඔහෝම ටික දවසක් යද්දී පුංචි පවුල රත්තරන් කියලා කියන නිසාද කොහෙද ඇන්ටි ගාව සීට් එකේ හිටපු
ළමයි දෙන්නා පිටිපස්සට යවලා ඇන්ටිගේ දුවයි පුතයි ඒ සීට් එකට ආවා.ඔන්න ඉතින් දැන් තමයි හොඳම හරිය. අන්කල් ටිකක් හෙමින් එළවන නිසා ඇන්ටි මෙහෙම කියනවා" ආනන්ද ටිකක් ඇක්සලරේට් කරලා යමුකෝ " ටික වෙලාවකින් පුතා මෙහෙම කියනවා " තාත්තේ ඔය බ්‍රේක් එකෙන් නැතුව ඇක්සලේටරය පාගලා වාහනේ යන්කෝ " ටික වෙලාවකින් ඇන්ටිගේ දුව මෙහෙම කියනවා " තාත්තේ මට හවස පන්තියට යන්න පරක්කු වෙනවා ".. ඒත් සතියක් විතර යනකන් අන්කල් ඕවට උත්තර විදියට හිනා වෙන එක විතරයි කළේ. ඔහොම සතියක් විතර ගියට පස්සේ අර තුන්දෙනා අර විදියට කියන වාර ගණන වැඩි වුනා, තවත් සතියක් විතර යනකොට ඕක අහන් ඉන්න බැරි තරමේ මන්තරයක් වගේ වුනා, එක පාරටම දවසක් අන්කල් වාහනේ පාරේ පැත්තකට කරල නවත්තල මෙහෙම කිව්වා " තමුසෙලා මට මේ වාහනය එළවන්න දෙනවද ..? නැත්තන් තුන්දෙනා එක්ක මේ වාහනය අරගෙන යනවද ..?" . එදාට පස්සේ ඇන්ටි වෑන් එකේ යන එක අඩු වුනා, අන්කල් විතරයි ආවේ, අර දුවයි පුතයිත් කළින් හිටපු සීට් වලටම ගියා. අන්කල්ගේ පරක්කුවට විසඳුම විදියට වැන් එක වෙනදාට වඩා කළින් පිටත් වුනා.

ඔහොම අවුරුද්දක් විතර යනකොට ඇන්ටි එන එක නැත්තටම නැවතුනා. ඒත් ඉතින් නෑකම නිසා කැන්ඩිට පාසල් ජීවිතය අවසාන වෙනකන්ම යන්න සිද්ධවුනේ ඔය වෑන් එකේ . ඔය අතරේ කැන්ඩි සාමාන්‍යපෙළ කළා ඉහළින් උසස් ආකාරයෙන් සමත් වුනත් කැන්ඩිට ඉතින් පාසල් වෙනස් කරන්න උවමනාවක් නැහැනේ, ඒත්
ඇන්ටිගේ දුවනම් ගෝත බාලිකාවට සමු දීලා ආඩම්බරෙන් මිගාර මාතා පාසලට ඇතුලත් වුනා.ඒක නිසා ගමනත් වෙනදට වැඩිය දිග්ගැස්සුනා..

ඔය කියන කාලේ වෙනකොට කැන්ඩි හොඳ නමක් හදාගෙන හිටපු නිසා සහ කැන්ඩිගේ යාළුවා හිරාන්ව ගෙදරට විශ්වාස වන්ත වෙච්චි නිසාවෙන් කැන්ඩිට තනියම අමතර පන්ති යන්න නිදහසක් ලැබුනා. ඒත් හිරාන් එන්නේ නෑයි කියන දාට යන්න ලැබුනේ කළින් වගේ රියදුරු සමඟ අපේ හිරකාර වාහනේ සුපුරුදු පරිදි හිරකාරයා වගේ. උසස්පෙළ කරන අවධියෙත් ඉස්කෝලේ ගියේ වෑන් එකේ වුනාට අවසන් වසර වැඩිය ස්කුල් වෑන් එකේ යන්න ලැබුනේ නෑ, ඒ මොකද කියනව නම් මම කළින් රසායන විද්‍යාව ඉගෙන ගත්තු ගුරුතුමා වන අපේ නැසීගිය බුලත්සිංහල ගුරුතුමා කියන විදියට කැන්ඩිත් උසස්පෙළ අවසන් වසර කොළඹ ක්‍රමයට අනූව දවස් තුනක් පාසලටත් දවස් දෙකක් පුනරීක්ෂණ පන්තියටත් වෙන් කරලා තිබ්බ නිසාවෙන්.

හැබැයි මේ ස්කූල් වෑන් එක ගැන කියනවා නම් අන්කල් වෑන් එකට පස්සේ පස්සේ දැම්මේ අළුත් ටයර් වෙනුවට පරණ ටයර් අර කම්බිත් මතුවෙච්චි ඒවා, ඉතින් මාසයකට එක පාරක්වත් මේ වෑන් එකේ ටයරෙකක් බාලිකා විද්‍යාලයක් ඉස්සරහා බෝම්බයක් වගේ පිපිරෙනවා. .පිපිරෙන්න ටයරයකුත් නැත්නම් නවතින්න වෙන හේතුවකුත් නැත්නම් ඔය වාහනේට හැදෙන අනිත් ලෙඩේ තමයි බොයිල් වෙන එක.මම හිතන විදියට අන්කල් ඔය වාහනේට පස්සේ හයි කරලා තියෙන්නේ කටුගෙදරින් පන්නපු රේඩියේටරයක්.කරුමේ කියන්නේ ඔය බොයිල් වීමත් ඔය බෝම්බ පිපිරවීමත් ඉතින් සිද්ද්ධ වෙන්නේ නිකන් ස්ථානයක එහෙම නෙවෙයි .හන්දියක් මැද්දේ එහෙමත් නැත්නම් බාලිකා විද්‍යාලයක් ඉස්සරහා වගේ ස්ථානවල තමයි. වැඩිපුරම ඔය දේවල් සිද්ධ වුනේ කනත්ත බාලිකාව ඉස්සරහා.කැන්ඩියි අනිත් වෑන් එකේ ගිය කැන්ඩිගේ මිත්‍රයා වන කල්පගේ අදහසට අනුව ඔය වෑන් එක අක්ක වෑන් එකක් නෙමෙයි අයියා වෑන් එකක්. ඒකනේ බාලිකා විද්‍යාල ඉස්සරහටම යන්නේ නතර වෙන්නෙ. ඉතින් ඔය නැවතිච්චි වෙලාවට නිකන් ඉන්නත් බෑනෙ කට්ටියම එකතු වෙලා ඕක තල්ලු කරනවා, ඒත් ඉතින් වෑන් එක තල්ලු කරනකොට බාලිකාවෝ කිචි කිචි ගානකොට හිතා ගත්තැකිනේ කැන්ඩිටයි අනිත් පිරිමි ළමයින්ටයි හිතිච්චි දේවල්..


කැන්ඩි....

Sunday, March 27, 2011

නාරං භාවනාව..



ඊයේ පෙරේදා දවසක කැන්ඩිගේ අම්ම කියපු කතාවක් අහන් ඉන්නකොට තමයි මට මේක මතක් වුනේ.

ඒ කාලේ කැන්ඩියි අක්කයි මාර බුදු ෆිට් එක කියල කිව්වොත් තමයි වැඩිය හොඳ.මීට අවුරුදු පහලවකට විතර කලින් දහම් පාසල් යනකොට කරපු වැඩනම් ඉතින් කියලා නිම කරන්න බැ. මේකත් ඒ කතා වලින් එකක්.

ඔන්න ඉතින් ඒ කාලේ දහම් පාසලේ සිල්ගන්න දවසට කොච්චර කට් පාර දාලා ගෙදර ඉන්න හ්දුවත් කැන්ඩිගේ අම්මයි තවත් ලොකු අම්මෙකුයි දහම් පාසලේ ආචාර්ය මණ්ඩලයේ හිටපු නිසා සිල් නොගෙන ඉන්නම අපිට බැරි වුනා කිව්වොත් තමයි කතාව නිවැරදි. මොකද ඒකාලේ අපිට සිල් ගන්නවා කියන්නේ ටිකක් අමාරු වැඩක් මොකද සිල් ගත්තොත් ඉන්න වෙන්නේ අපේ අම්ම ළඟ හරි නැත්නම් අර කලින් කියපු රාස්සියක් වගේ අපේ ලොකු අම්මා ළඟ. ඔය කියපු ලොකු අම්මට ඒ කාලේ දහම් පාසලේ හිටපු ළමයි විතරක් නෙවෙයි අද ඉන්න ළමයිනුත් කියන්නේ රාස්සි ටීචර් කියලා ළඟදී ඉරිදා දවසක් අම්මව එක්කන් එන්න දහම් පාසල ළඟට ගියපු කැන්ඩිට ඇහුනලු.

ඔන්න ඉතින් මේ කිව්ව දවසේත් කැන්ඩියි අක්කයිකොච්චර කට් එක දාන හැදුවත් සිල් ගන්නම වෙන අතට වැඩ සිද්ධ වුන නිසා කැන්ඩියි අක්කයි ඉතින් හිතින් බැන බැන සිල් ගන්න ගියාලු. කොහොමින් කොහොමින් හරි දවල් වෙනකන් ශේප් එකේ අම්මවයි ලොකු අම්මවයි තියන් ඉඳලා දවල් දානේ වෙලාවෙන් පස්සේ තමයි කැන්ඩිටයි අක්කටයි සෙට් එක එක්ක එකතු වෙන්න ලැබුනේ. ඒ කාලේ හිටිය කැන්ඩිගේ අක්කගේ පන්තියෙ ළමයි සහ තව ඉහළ පන්තිවල අයියල සහ අක්කල දෙතුන් දෙනෙකුයි කැන්ඩිගෙ අක්කගේ පන්තියේ සෙට් එකයි ඔය කැන්ඩිගේ අක්කගේ පන්තියේ හිටපු අක්කලා රෑනගේ තවත් මල්ලිලා නංගිලා කිහිප දෙනෙකුයි තමයි සෙට් එක. ඔක්කොම දහයක් විතර ඇති.

කොහොම හරි අර අක්කලා රෑනගෙන් ටිකක් කට්ටිය වෙනම කට්ටියක්ලු. දවල් ඉතින් ඉන්න ගමන් අනිත් අයත් එක්ක මොනවද කරන්නේ කියලා කතා කර කර ඉන්නකොට මෙතන හිටියොත් නම් මොනවත් කරන්න හම්බ වෙන්නේ නැති නිසා උඩ මළුවට යමු කියලා යෝජනාවක් කොහෙන්ද ආවලු. කට්ටියම එක පයින් ඕකට කැමති වුනාලු. ඔක්කොම එක පාර යන්න ඇහුවොත් කාටවත් යන්න බැරිවෙන නිසා වෙන වෙනම කට්ටිය අහලා අනිත් ගුරුවරුන්ගෙන් අහල දෙන්න තුන්දෙනා වගේ කාණ්ඩ උඩ මළුවට භාවනා කරන්න කියලා ගියාලු.උඩමළුවේ තමයි විහරය තියෙන්නෙත්.

ඔහොම ඉඳලා ඉඳලා කැන්ඩියි අක්කයිත් අම්මගෙන් අවසර අරගෙන ධර්ම ශාලාවේ ඉඳලා උඩ මළුවට භාවනා කරන්න ගියාලු.කැන්ඩියි අක්කයි යනකොය අර කළින් ගිය අක්කලා රෑන සහ තව අයියල දෙන්නෙක් උඩ මලුව පිටිපස්සෙන් පහළට බැහැලා පන්සල් වත්ත පිටිපස්සේ තියෙන කොස්ගස් ළඟට ගිහින්ලු වරකා ගෙඩියක් හොයන්න.

අනිත් අය වරකා ලැබෙන කන් බකන්නිලා භාවනාවලු. ඔන්න කැන්ඩිගේ අක්කත් ගිහින් ටිකක් වටපිට බලබල ඉන්න කොට තමයි මතක්වුනේ උඩමළුවේ පිටිපස්සේ පැත්තක තියෙන නාරංගහ.හැබැයි මේක ධර්මශාලාව පැත්තට පේන්නේ නැති වුනත් මේ ගහ ආවාසගේ පැත්තට පේනවලු. ඔන්න ඉතින් ටිකක් විපරම් කරලා ඔත්තුකාරයෙක් ආවාසගෙට යැව්වලු කැන්ඩිගේ අක්කා. ඔත්තු කරුවාට දැනගන්න හම්බ වුන විදියට ලොකුහාමුදුරුවෝ සහ පොඩිහාමුදුරුවෝ මොකකට හරි අල්ලපු ගමේ පන්සලට වැඩම කරලලු.

ඔය කියන ගහේ හැමදාම වගෙ නාරං තිබුනත් කවදාවත් ඔය ගහ පැත්තකටවත් යන්න ලොකු හාමුදුරුවන්ගෙන් නම් අවසර ලැබුනේ නැහැලු.ඒ වගේම ඕක ටිකක් පරණ විශාල ගෙඩිතියෙන ටිකක් ලොකු නාරං ගහක්ලු.ටිකක් ලොකු නෙවේ කැන්ඩි දැකලා තියෙන නාරං ගස් වලින් විශාලම නාරං ගහ ඕක තමයි.

ඔන්න ඉතින් ඉතිරිවෙලා හිටපු කට්ටියගෙන් ලොකුම එක්කෙන කැන්ඩිගේඅක්කා සහ අනිත් අය අර අක්කල අයියලාගේ නංගිලා මල්ලිලා .කැන්ඩිටත් වැඩිය වයසින් අඩුයිලු. දැන් හිටපු අයගෙන් ගහට නැගලා අතුපාත් කරන වගකීම පැවරුනේ කැන්ඩිට.පොල්පිත්තක් ගහට හේත්තු කරලා අක්කා කැන්ඩිව ගහට නැග්ගුවලු.කැන්ඩි ඒකාලේ ගස් නඟින්න දන්නේ නෑ(තවමත් එහෙම තමයි .)කැන්ඩිගේ අක්කනම් ඔය වැඩවලට කියාපු දස්සිලු.ඒත් ඉතින් කැන්ඩි ගහට නැග්ගට අතුවල මැද්දට යන්නවත් බයලු.ඒක නිසා අක්ක දුන්න විධානය තමා ගහේ අතු පාත්කරන්න කියපු එක.ඒත් කැන්ඩි පාත් කරපු අතුවල වැඩිය ගෙඩි තිබ්බේ නැති නිසා කැන්ඩිගේ අක්කගෙන් වහාම නියෝගයක් ලැබුනා වහාම බිමට බටු ලෙස.ඔන්න ඉතින් කැන්ඩි බිමට බැස්ස අක්ක ගහට නැග්ග.ළමා සාරියකුත් පටලවගෙන ගස් ගියයි කියන්නේ ඉතින් හිතා ගන්න පුළුවන්නේ කට්ටියටම කෙනාගේ හැටි නේද..? ටික වෙලාවක් යනකොට වරකාත් අරගෙන කට්ටිය ආවලු.

ඒ අයටත් ගහේ ඉඳන් ගෙඩි කඩලාදෙන ගමන් කැන්ඩිගේ අක්ක ගහේ ඉඳන් නාරං කන්නත් පටන් ගත්තලු. මේ වැඩේ පටන් ගත්තේ ඉතින් බිම ඉන්න අයට ටිකක් කඩලා දීලා තමයි. ඒ බිම හිටපු තව අයියෙකුටයි අක්කෙකුටයිත් නරං හිතේ හැටියට කන්නඕනේ නිසා ඒ දෙන්නත් ගහට නැග්ගලු.

බිම ඉන්න අය දැන් වරකයි නාරනුයි දෙකම විකාල භෝජනයකරනවලු,ගහේ ඉන්න අය නාරං භෝජනය කරනවලු. ඔන්න ඔහොම ටික වෙලාවක් යනකොට ආවාසගේ පැත්තෙන් ඇහෙනවළු ළමයිනේ නාරං ගහෙන් බහින්න කියලා, බැලිනම් ලොකු හාමුදුරුවෝ පන්සලට ආපහු වැඩලා වැඩේ දැකලලු.

කට්ටියටම ඉතින් උඩ මළුවෙන් ධර්මශාලාවට යන්න වෙන කියන්න ඕනේ වුනේ නැහැලු. ඔන්න ඉතින් ලොකු හාමුඩුරුවෝ ඇවිල්ල වැඩේ බලල නඩුව අහනවලු මුළු දහම් පාසලේම ආචාර්ය මණ්ඩලයත් එක්ක. ගියපු එක්කෙනෙක්ටවත් ගැලවෙන්න හම්බ වුනේ නැහැලු ඉතින් ලොකු හාමුදුරුවෝ දැක්ක නිසාවෙන්.

ඔන්න ඉතින් ලොකු හාමුදුරුවෝ අහනවලු මොනව කියලද මේ ළමයි උඩ මළුවට ගියේ කියල..? ඉතින් භාවනා කරන්න කියල තමයි ලොකු හාමුදුරුවනේ මේළමයි ගියේ කියලා ගුරුවරුත් කිව්වලු.

ටිකක් සැර වුනාට ලොකු හාමුදුරුවොත් ටිකක් විහිළුවට බරයි. ටිකක් බැරෑරුම් විදියට බලපු ලොකු හාමුදුරුවෝ මෙහෙම කිව්වා,"මම බලන කොට මේ ළමයින්ගෙන් කට්ටියක් වරකා භාවනාව තව කට්ටියන් නාරං භාවනාව අනිත් අය නාරං වරකා භාවනාව කරනවා" ඊට පස්සේ කැන්ඩිගේ ලොකු අම්මයි අම්මයි දිහාට හැරිලා කැන්ඩිගේ අක්කයි අර අනිත් අක්කයි අයියයි පෙන්නල මෙහෙම කිව්වා" ඒ විතරක්ය ඉස්කෝලෙ නෝනල මේ දැරිවියො දෙන්නයි අර ළමයයි නාරං භාවනාව වැඩි හොඳටද කොහෙද ගහ උඩම ඉඳන් නෙව කළේ "


පලි: මේ සඳහා ලොකු හාමුදුරුවන් කාටවත් දඬුවම් කළේ නැති අතර කැන්ඩිටයි අක්කටයි විශේෂයෙන් කැන්ඩිගේ අක්කට ඉන්පසුව සිල් ගත් කිසි දිනෙක අම්මගේ ළඟින් අඟලක්වත් එහාට වීමට ඉඩ ලැබුනේ නැත.

කැන්ඩි....

Saturday, March 26, 2011

විද්දේ පඳුරට වැදුනේ හාවට..



මම අදහස් කළේ වෙන දෙයකී
නමුත් වරදවා වටහාගෙන ඇති සෙයකී
මා ආදහස් කළේ එය නොව මට කිව හැකිය
නමුදු මට මෙසේ පැවසිය හැකිය
සත්‍ය ලෙසින් මාහට මිතුරන් නැත්තේ නොවේ
එය නොදන්නා නිසාවෙන්
සමහරු තම මුග්ධත්වය රටටම පෙන්වති
වෙන යමෙකෙක් උදෙසා පැවසු දෙයින්
තවෙකෙකු හට දාහය සැදුන හෙයින්
මේ දෙය පැහැදිලි වනු ඇත
අමතක කර සිටින දේ තවමත් හිතේ තබන්
ලතැවෙන සෙයක් පෙනෙන්නට ඇත්තේ
තමන් හරියි කියා ඔතරම් සිතනව නම්
එක් වදන් වැලකින්
දාහය ඇති වූයේ කෙලෙසද
මා අසා ඇති ලෙසින් හා
මා දැක ඇති අයුරින්
තවද කියනවා නම් ලෝ හැම පවසන අයුරින්
තමන්ගේ වරද යටි සිත පිළිගෙන ඇති සෙයකි

මේ දේවල් නොපැවසුවොත් එය අඩුවකි මම කරන
අනුන් හෙලා දකිනා සමහරුන් වෙතේ
නමුත් ඒ අයත් ඒ වරදම කරනු පෙනේ
මා ගැන පවසනවා නම් මෙලෙස
මේ දේ කිව යුතුමය
එකම වරද දෙවරක් සිදු වූ තැනට
සමාව දෙනු හැක්කේ කා හටද
දෙයක් කියන් දෙයක් කරන එවුන් හට
මා කුමකට මිතුරු කමක් හඟවමිද
ලොවට බණ දෙසන මුත් සමහර උතුමන්ලා
හිස්දේ අගය කරතිය එය බබලවිනා

මේ සියළු දේ පවසා මා නිහඬ වෙමි
එයට පෙර මේ ඔවදනුත් තරයේ සිතනු මැන
අනුන් හෙලා දැකුමට පෙර තම වරද
දැකුම යහපතිය එය ගෙනෙනා සුර සැපත
හිස්දේ හිස්ලෙස නිසිතැන හොවනු මැන
කිසිවිටෙකත් එය මුල්තැන නොහොබවින
කරන දේ කියනු මැන කියු දේ කරනු මැන
ලොවට බණ දෙසා ගෙදරට මරගාතේ නොවනු මැන
ඔබ නොකීවද සත්‍යය එයම වන
කිසිදා ඔබ පිළි නොගනු ඇත එය ඔබේ හැටිය
තවදුරටත් සංවාදය කෙරුම
අපතේ යැවීමකි රන් හා වටින කල
අමතක කරදමා අන් සතු දේ ගැන සෙවුම
කරගනු මැන තමාගේ වැඩ නිසිලෙසින
අනුන් කෙසේ සිටියත් කිම කෙරුවත්
තමන් යහ කෙරුම තම හට දෙයි සැපයක්..



කැන්ඩි....

ඔබයි සැබෑ අම්මා..



එළිය අඳුරු විය
දිනය නිමා විය
සීතල සුළඟත් සමඟින් දිනය නිමා විය
පොද වැසි වැටුනි
කෙමෙන් එය මහ වැස්සක් විය
නමුදු ඔබ බලා සිටි ලෙසින්
හිමි පැමිණියේ නැත
රුදුරු සපු විස හොත්ව
ඔහු මෙලොව හැර ගොසිනි
නමුදු තව වාරයක්
ඔබ මවක් විය නොදැන එය..
මහ වැස්ස අනෝරා වැස්සක්ම විය
හිසට වූ ඒ සෙවන වැසි සුළං
ගෙන ඇදුනි..
ඉකි බිඳුම හැර යමක් කිරීමට නොතිබුනද
දෙ අත් බිම තබා දෙදන බිම හොවා
සැදූ ඒ වහල යට
ඔබේ දරුවන් රැකුනි
කිසි දිනෙක ගුණ වයන දනන් මුව
ඔබේ නම නොකියවුන නමුත්
මහමෙරක් මෙන් නොසැලි සෙවන දුන්
ඔබයි සැබෑ අම්මා..


පටාචාරා කතා වස්තුව ඇසුරිනි..

කැන්ඩි....

Friday, March 25, 2011

ඉළන්දාරියා වෙතට..



පහුගිය මාස දෙක තුන තිස්සේම කාර්යබහුලත්වය නිසාම මට බ්ලොගයට ලොග් වෙන්නත් කිසිම දෙයක් ලියන්නත් වෙලව සහ එයට පහසුකම් ලැබුනේ නැති නිසාවෙන් මේ දේ දැන ගැනීමට නොහැකිවිය. නමුත් මේ දින කිහිපයේ සයිබරයේ ඒ මේ අත සැරිසරද්දී තමයි ඉළන්දාරියා අයියා මුහුණ පා ඇති තත්වය දැන ගැනීමට ලැබුනේ. අන් සියළුම දෙනා සහය පළ කර ඇති බව මට අද දිනයේ බොහෝ බ්ලොග් අඩවි වල පසුගිය ලිපි පරීක්ෂා කිරීමේදී වැටහුනි. මමත් වචනයකින් හෝ සහයෝගයක් දක්වන්න ඕනේ කියල මටත් හිතුනේ ජීවිතයේ බොහෝ දේ ලැබිලත් ලැබුණත් අදටත් ඒ දේවල් මට අඩුවක් නැතුව තිබුණත් ජීවිතයේ විවිධ කාල පරිච්ඡේද වලදි බොහෝමයක් අවස්ථා වලදී මටත් අනපේක්ෂිත තත්වයන් බොහෝමයකට මුහුණ දීමට සිදුවුන නිසයි.

සමහර විට මගේ ජීවිත කතාව ඇසුවොත් අඩුම වයසකින් ජීවිතයේ විවිධ හැල හැප්පීම් වලට මුහුණදීපු කෙනා කියලා ඔබලා හිතන්නත් ඉඩ තිබේ. සමහර විට මම හිතන විදියට ජීවිතයේදී මුහුණ පාන්නට සිදුවන සිදුවීම් ගණනාවකට මේවන විටත් මම මුහුණදී අවසානයි. ඒ ඒ අවස්ථාවලදී විවිධ පුද්ගලයන් විවිධ ආකාරයෙන් අනපේක්ෂිත ලෙස උදවු කළ ආකාරයත් සමහර සමීපතමයින් මඟ හැර ගිය ආකාරයත් නොමැකෙන ලෙස මාගේ මතකයේ සටහන් වී තිබේ. ඒ සිද්ධීන් සෞඛ්‍යමය සහ ආර්ථික ගැටළු නොවූවත් සමහර විට ඒ දේවල් ඔය දෙකෙන් එකක් වගේ දෙයක් වෙනවානම් කෙසේ හෝ එය ගෙවා දැමීමට හැකියයි සිතුන අවස්ථාද තිබුණි.

එම නිසා මා මේ සටහන ඔබ වෙනුවෙන් තබමි. මිය යාම පහසුය නමුත් ජීවත් වීම අපහසුය. ජීවිතයේදී අපට පැන නඟින විවිධ ආකාරයේ ගැටලු වලට විසඳුම් සොයා ඒවා ජයගෙන ජීවත් වීම සැබෑ හපන්කමයි. මේ අවස්ථාවේදී අපද ඔබ වෙනුවෙන් කළ හැකි දෙයක් කරන්නෙමු. ජීවිතය ගැන හෝ ඔබගේ සෞඛ්‍ය තත්වය ගැන කිසිම ආකාරයකින් සිතනවාට වඩා එයත් ඔබට ජීවිතයේදී ලැබුන එක් අභියෝගයක් යයි සිතන්න.

ඒ අභියෝගය ජයගන්නට මමද අපද සයිබරයේද ඔබ වටා සිටින සැවොමද කරනා උපකාර සමඟින් කෙසේ හෝ එය ජය ගන්නවා යයි සිතන්න. කීමට පහසු මුත් එය කිරීමට අපහසුයයි මමද දනිමි නමුත් අභියෝගය වන්නේ එය කෙසේ හෝ කිරීමයි. ඔබට එය අනිවාර්යයෙන්ම කළ හැකි වනු ඇත. එය ඉර හඳ මෙන් විශ්වාසයි.ඒ කාර්‍යයේදී අප සැවොම ඔබ හා හිඳින්නෙමු.කන්දක් නැග්ගොත් පල්ලමක් හමුවන්නාක් මෙන් එකම දේ සෑම විටම එකම කෙනාට සිදුවන්නේ නැත. ඔබට කන්දේ නඟින්නට ඇත්තේ තව ටික දුරයි. ඔබගේ දිනුම් කණුවට ඇත්තේ තව ටික දුරයි. ඒ ටිකත් නොපසුබට වීරියෙන් මෙහෙමම යමු.

ජීවන වෘක්ෂයේ හැමදාමත් කටු ඇති වන්නේ නැත එහි මල් පිපෙන දවසක්ද එයි. ඒ දිනය අත ළඟය.
එදිනට සැම සමඟින් එක්ව සිනාසෙන්න ඔබට ශක්තිය ධෛර්‍යය ලැබේවා..!!
ඔබට නීරෝගී සුව සහ ජයෙන් ජය..!!

කැන්ඩි....



උඹලත් මගේ යාළුවොද..?




මගෙන් දේ අසාගෙන
මගෙන් දේ බලාගෙන
මගෙන් දේ ඉල්ලගෙන
මගෙන් දේ ඉගෙන ගෙන
මගෙන් බොහෝ දේ ඉටු කරගෙන
එක බත් පත බෙදා ගෙන කන
මටම මගේ වරදකට
උඹලාට නොවු වරදකට
දොස් කියන
ඔච්චම් කරන
උඹලාත් මගේ යහළුවොද..?

අද මා වටහා ගතිමි මෙය
දුරින් සිටිනා සතුරු දන
සතුව ඇති දුදන ගුණ
පරදයි උඹලාගේ ගුණ

එපා ඔය මිතුරුදම
තනිව හිඳිනෙමි මම

මිතුරුකම්
කෙලෙහි කම්
දත් එකෙකු හා මෙමම
පමණක්ම මිතුරු වෙමි
පමණක්ම සියළු දේ බෙදා ගමි
මින් මතුව..


කැන්ඩි....

Thursday, March 24, 2011

අපි කරන්න ඕනෙත් අනිත් අය කරන දේමද..?




ටිකක් හිතට හරි නැති වුනත් ඔන්න කල්පනා කර කර ඉන්න කොට මටත් ලියන්න මාතෘකාවක් මතක් වුනා.

මේකට පාදක වුන කතාව ඇති වුනේ පහුගිය දවසක පවුලේ ඔක්කොමත් එක්ක මමත් සහභාගි වෙච්චි වන්දනා ගමනකදි. වන්දනා ගමන ගියේ කොහාටද කියල කියන්න නම් ඕනී නැහැ කියලා හිතනව , ඒත් ගියේ රටේම ප්‍රසිද්ධ ස්ථානයකට. ඔතන රථගාලේ ඉඩ නැතුව ටිකක් එහාට වෙන්නට තියෙන ස්ථානයකතමයි අපි වාහනය නැවැත්තුවේ. ඉතින් ආපහු ආවම ගෙනිහින් තිබුන කෑම වගයක් කාලා ඉවර වෙලා ඒවා දාල තිබුන කවර ඒ කියන්නේ ඇසුරුම් විසි කරන්න ගියහම තමයි මේ ප්‍රශ්නය ඇති වුනේ. එම ස්ථානයේ වාහන නවත්වලා ආහාර අරගෙන ඒවා තැන තැන දමා ගොස් තිබුන අතර තරමක් අපවිත්‍ර වී තිබිණ.

ප්‍රශ්නය ඇති වූයේ මා අපගේ ඉවත ලන දෑ ඉවත නොදමා වෙනත්කුණුදමන ස්ථානයකින් බැහැර කිරීමට වෙනම කවරයකට දමා ගත් අවස්ථාවේදීය. මගේ ඥාතී සොහොයුරාගේ අදහස වූයේ අනෙකුත් පිරිසුත් එම ස්ථානයේම අප ද්‍රව්‍ය බැහැර කර ඇති නිසා අප පමණක් අපද්‍රව්‍ය එම ස්ථානයේ බැහැර නොකර ආපසු රැගෙන යා යුත්තේ ඇයිද යන්නයි. නමුත් කෙසේ හෝ අවසානයේ අකමැත්තෙන් වුවත් කරුණු පහදා දුන්පසු අනෙක් සියල්ලන්ම අප එසේ අනෙක් අය කළ මෙන් නොකළ යුතු බවත් අපද්‍රව්‍ය බැහැර කරන ස්ථානයකින්ම ඒවා බැහැර කළ යුතු බව පිළිගත් නිසා ඒවා ආපසු රැගෙන ආවෙමු. නමුත් මට මෙහිදී පැවසීමට වුවමනා වූයේ අනෙක් සියළුම දෙනා වැරදි දෙයක් අනුගමනය කළත් හරි දේ කුමක්ද කියා දැන ගෙනත් අපිත් ඒ දේම කළ යුතුද යන්නයි.

අද සමාජයේ බොහෝමයක් දෙනා දැන දැන වැරදි කරන්නේ මේ නිසයි. බොහෝමයක් පිරිසගේ ආකල්ප වල වෙනසක් කළ යුතු කාලයයි මේ. බොහෝමයක් දෙනා සිතන්නේ අනික් අයත් ඒ දේ කරනවා නම් මමත් ඒ දේ නොකළ යුත්තේ ඇයි යන්නයි. බොහෝමයක් දෙනා සිතන්නේ තමන් ගැන පමණය.බහුතරයක් දෙනා වැරදි කළ පමණින් දැන දැන තමනුත් වැරදි කළ යුතුද යන්න නුවණින් සිතා බලා කටයුතු කරනවා නම් මෙවන් ප්‍රශ්න පැන නඟින්නේ නැත.


හරි දේ දැනගෙනත් වැරදි අනුන් කරන නිසා තමනුත් වැරදි දෙයක් කළොත් තමන්ටත් කවදා හරි වෙනත් කෙනෙක් කරන්නේ ඒ දෙයමයි කියා සිතාගෙන කවුරුත් කටයුතු කරනවා නම් වඩා හොඳය. මන්දයත් තමන්ට වරදක් සිදු වූ කල්හි ඒ වෙනුවෙන් පිහිට වීමට අනුන් කරනවා ඒ නිසා මමත් කරනවා යයි කියා සිතන ආත්මාර්ථකාමී පුද්ගලයින් පිහිටට පැමිණෙන්නේ නැති නිසාය.


කැන්ඩි....

Wednesday, March 23, 2011

පූසාගේ අවසන් ගෞරව දැක්වීම..



ඇසින් දුටුවේ නැත්නම් විශ්වාස නොකරන අන්දමේ අන්දමේ අත්දැකීමකට මම අද උදෑසනම මුහුණදීපු නිසා ඒ ගැන මම සටහනක් තබමි.

සියඹලාගොඩ ආච්චි කියන්නේ අපේ අසල්වැසි නිවසක හිටපු දරුවෝ පස්දෙනෙකුගේ අම්ම කෙනෙක් . සෑම පසළොස්වක පෝයදිනකටම වගේ සිල් ගත්ත මේ ආච්චිට දාන මාන පිංකම් ආදියට සහභාගී වෙන්න තිබුනේ පුදුමාකාර ඇල්මක්. ඒවගේම පාරේ ඉන්න සත්තුන්ට කන්න ගෙදරට එන අසරණ සත්තුන්ට කෑම දෙන්නත් මේ ආච්චි දැක්වූයේ හරිම කැමැත්තක්.

මේ ආච්චි සොහොයුරියන් තුන්දෙනෙකුගේ වැඩිමහල් සොහොයුරිය. තමන්ගේ සහෝදරියන් එක්ක කාලයගත කරන්න මේ ආච්චි දැක්වූවෙ පුදුම කැමැත්තක් නිසා තමන්ගේ සහෝදරියන්ගේ නිවෙස්වලට ගිහින් දින දෙක තුනක් නතර වෙලා ඉඳලා ආපහු ගෙදර එන එක මේ ආච්චිට සාමාන්‍ය දෙයක්. පහුගිය සෙනසුරාදත් මේ ආච්චි තමන්ගේ සහෝදරියකගේ ගෙදරට මේ විදියට යන්න ඕනේ කියල කියල තිබ්බ නිසා ගෙදර අය එහාට ගෙනිහින් ඇරලවා තිබුනි.

ඉරිදා උදෑසන සෑදුන හදිසි හෘදයාබාධයක් නිසා මේ ආච්චි මියගොස් තිබුනි. අද අවසන් කටයුතු නිසා මමත් අසල්වැසි මේ අච්චිට අවසන් ගෞරවය පුදකරන්න මේ නිවසට ගොඩ වැදිලා දේහය තබා තිබූ ස්ථානයේ මඳ වේලාවක් රැඳි සිට් අතර තුර තමයි මේ අපූරු සිඳුවීම මගේ නෙත ගැටුනේ.

නිවසට එක්වරම දුවගෙන ආපු බළලෙක් එක්වරම දේහය අසලට විත් මහ ශභයක් නඟමින් කෑගසා ,ටිකවේලාවක් එසේ හිඳ ඉන්පසුව දේහය වටා එක් වටයක් ගොස් එක්වරම හිස අසලින් දේහය තබා තිබූ පෙට්ටියට ගොඩ වුනි. අනතුරුව මෘතදේහයේ මුහුණ අසලටම විත් හිස පහත් කර මහා ශබ්දයක් නඟමින් නවතත් කෑගසා පැන දිව්වේය. මෙ අපූරු සිදුවීම දුටුවේ නිවැසියන් සහ එවේලේ එම ස්ථානයේ රැඳි සිටි මා සහ මගේ මව පමණි. පූසාගේ අමුතු හැසිරීම නිසාම කවුරුවත් ඌ පෙට්ටියට නැඟුන අවස්ථාවේ එළවීමට උත්සාහ නොකළෝය. නිවැසියන් කී පරිදි අසල්වැසි නිවෙස්වලට නිතරම යන එන මෙම බළලාට සෑම උදෑසනකම මේ ආච්චි කෑම සහ තමන්ගේ උදෑසන තේ කෝප්පයෙන් අඩක් පමණ දීමටත් පුරුදු වී සිට ඇත.

තමන්ගේ ඥාතියාට අවසන් ගෞරව දක්වන්නට තමන්ගේ රාජකාරිය නිසා නොපැමිණෙන මිනිසුන් සිටින සමාජයක තිරිසන් ආත්මයක උපත ලැබ ඇති මේ සත්වයා කෘතඥ වූ අයුරු දැක මගේ දෑසටත් කඳුළක් මෝදු විය.

කැන්ඩි....

Sunday, March 20, 2011

බලාපොරොත්තු ගොන්න....





විභාගයත් ඉවරයි
ව්‍යාපෘතිත් ඉවරයි පැවරුමුත් ඉවරයි
ලියන්න පෙර මඟ බලා හිටියත්
ලියන්න හිතෙන්නේ නැති ගානයි
දහසක් දේ කරන්න හිටියත් දහසක් දේ හිතන් හිටියත්
කරන්නට එකම දෙයක් වත්
හිතට එන්නේ නෑ..
කාට කියන්නද කුමක් කරන්නද..?
හිස් මනසින් අහස බලා හිඳිමි මම
වහින්න සිටි අහසේ වළා පෙළ
වැස්ස වළාහක දෙවිඳුන් හොරකම් කරලා..


කැන්ඩි....

Saturday, January 1, 2011

නව වසරට ආසිරි.....!!!!!!!!!!!!!!!!!!!!!!!!



අළුතෙන් හිතන්න
අළුත් දේ විඳින්න
අළුත් පැතුම් පොඳි බැඳගන්න
ජීවිතය අළුතෙන් දකින්න

තවත් එකක් නොව
අලුත් එකක් ලෙස
හැමදා ලෙස නොව
නැවුම් ලෙසින් එය
දකිමු හැම එකමුතුව

වැරදුනේ කොතනද
නිවැරදි කුමක්ද..?
ආ මඟ නිවැරදිද..?
යා යුතු මඟ කිමද..?

සිතීමට කාලයයි
වෙනසකට කාලයයි
කටුක වූ ලෝකයේ
තවත් නිසරුව නොයිඳ
ගුණදමින් නැණදමින්
පිරුණ මිනිසුන් වී
නව වසර ජය ගනිමු.......

උදා වූ නව වසර සිතුම් පැතුම් ඉටුවන සෞභාග්‍යමත් සුභ නව වසරක් වේවා...............!!!!!!!



කැන්ඩි....