Sunday, August 29, 2010

බියර් රස බැලීම.......




ඔන්න ඉතින් මම පොඩි විවේකයක් හම්බ වුන ගමන්ම තවත් කතාවක් ලියන්න කියලා හිතුවා.

මේක නම් යාළුවෝ ගැන නෙමෙයි.මේක මමයි අක්කයි ඒ කාලේ එකතු වෙලා කරපු වැඩක් ගැන.මේක මට මතක් වුනේ වෙන කෙනෙක්ගේ Post එකකට Comment එකක් දාන්න ගිය වෙලාවේ.ඔන්න ඉතින් මම මේ කතාවත් ලියන්න කියලා හිතුවා ඔන්න.දැන්නම් අක්කට මාවත් මට අක්කාවත් පේන්න බැරි වුනාට ඒ කාලේ අක්කගේ හොර වැඩවලට හිටිය එකම බුදු ෆිට් එක මම තමා.කොටින්ම කිව්වොත් මෙයා ගෙදරදි කරපු සියළුම හොර වැඩ වලට මගේ 100%ක සහයෝගය ලැබුනා.ඔන්න ඉතින් මේකත් එහෙම සහයෝගය ඇතිව දෙන්නම කරපු වැඩක් තමයි.හැබැයි මෙයාගේ එක කපටි කමක් තිබුනා ඕනෙම එකකට මාව දායක කර ගත්තාට අම්මාට හරි තාත්තාට හරි වැඩේ අහු වුනොතින් බිල්ලට දෙන්නේ මාව තමා.ඒත් ඉතින් ලැජ්ජා නැතිකම මහමුදලිකමටත් ලොකුයි කියනවා වගේ මමත් මෙයාගේ හොර වැඩ වලට සහයෝගය දුන්නා.

මේ කතාව ඉතින් කැන්ඩියි කැන්ඩිගේ අක්කයි පළමුවෙනිපාරට බියර් ටෙස්ට් කරපු හැටි තමයි.කැන්ඩිගේ තාත්තට මීට අවුරුදු පහළවකට විතර කළින් රට ගිහින් ආපු යාළුවෙකුගෙන් විශාල බියර් කෑන් තොගයක් සහ රට බීම තොගයක්ම ලැබුනා.කැන්ඩිගේ තාත්තත් ඕවා භාවිතයක් ඇත්තේම නැති වුනාට යාළුවාගේ හිත නරක් වෙන නිසා ඔය ටික ගෙදර ගෙනැත් තියාගෙන එක එක කෙනාට තෑගි කර කර හිටියා.ඔය තොගයේ බියර් කෑන් විතරකුත් නෙවෙයි බියර් බෝතල් වගයකුත් තිබුනා.

ඔය අතරේ දවසක් තාත්තගේ යාළුවෙකුගේ ගෙදර පාටියකට ගිහිල්ලා කට්ටිය බියර් බොන හැටි කැන්ඩියි කැන්ඩිගේ අක්කයි දැක්කා.ඔය අතරෙදි කෙනෙක් බිබී හිටපු බියර් වීදුරුවකුත් එයා මොකකට හරි එළියට යන්න ගිය නිසා කැන්ඩියි කැන්ඩිගේ අක්කයි හිටපු තැනින් තියලා ගියා.ඔන්න දැන් කවදාවත් බියර් බෝතල් ඇතුලේ ,කෑන් ඇතුලේ තියෙනවා දැක්කට වැඩිය ළඟට දැකලා නැති නිසා අම්මා වෙන යාළු ඇන්ටි කෙනෙක් එක්ක කතාකර කර ඉන්න අතරේ දෙන්නාම කිට්ටු කළා අර වීදුරුව ළඟට.දෙන්නාම දැන් කිට්ටු වෙලා බලාගෙන ඉන්නවා ,ඔහොම ඉන්න ගමන් අර වීදුරුවට නහයත් පොඩ්ඩක් කිට්ටු කළා ගඳ සුවඳ බලන්න හම්මේ එවෙලේ ආපු සුවඳ,දෙන්නාටම ආවේ පැණි සුවඳක්.අම්මා ඉන්න නිසා ඔයිට වැඩිය පරීක්ෂණයක් පවත්වන්න බැරි නිසා ඔන්න දෙන්නාම අහකට වුනා.ඔන්න දැන් පාටිය ඉවර වෙලා රෑ ගෙදර ආවා.ඔන්න ඉතින් ආව හැටියෙම ඉතින් දෙන්නාම වෙනදා වගේ කුටු කුටු සාඛච්ඡාව.


ඔන්න ඉතින් දෙන්නාම සාඛච්ඡාව පටන් ගත්තා."මේ එක නෙමෙයි අරක මාර සුවඳයි නේද?ඔන්න කැන්ඩිගේ අක්කා අහනවා.ඒක තමයි ඒකෙ සුවඳෙ හැටියට මාර පැණිරහ ඇති නේද? ඒකතමා අපේ තාත්තා ඒවා බොන්නේ නැත්තේ මොකද දන්නේ නැහැ නේද?ඒක තමා මාත් හිතුවේ ඒකෙ සුවඳෙ හැටියට ඒක මාර පැණිරහ ඇති නේද?මටත් හිතුනා අපි අම්මයි තාත්තයි නැති දවසක ටිකක් බීල බලමුද?"ඔන්න ඉතින් කැන්ඩිගේ අක්ක යෝජනාව ගෙනාව."හා" ඔන්න ඉතින් කැන්ඩිත් එක පයින්ම කැමති වුනා.

ඔන්න ඉතින් දැන් දෙන්නටම අම්මයි තාත්තයි දෙන්නාම ගෙදර නැති වෙන දවසක් එනකම් ඉවසිල්ලක් නෑ.විශේෂයෙන් කැන්ඩිගේ අක්කාට.ඔහොම සති දෙකක්ම ගියා.අම්මයි තාත්තයි දෙන්නාම ගෙදර නැති වෙලාවක් හොයා ගන්න බැරි වුනා.දෙන්න්නගේම නිකන් කටවල් කහනවා වගේ.ඇයි ඉතින් මෙච්චර පැණිරස බීමක් බොන්න ආස නැත්තේ මොකාද?ඔන්න තවත් සතියක් ඔය විදියට ගෙවිලා ගියා.ඔන්න ඒ සති අන්තේ නම් කැන්ඩිව ගෙදර තියලා අම්මයි තාත්තයි ටිකක් හවස් වෙලා බණගෙදරක යන්න පිටත් වුණා.එදා ඉතින් කැන්ඩිගේ අක්කත් පන්තියකට ගිහින් හිටිය නිසා කැන්ඩිටත් ගෙදර ඉන්න සිද්ධ වුණා අක්කා එනකන්.කැන්ඩිත් ඉතින් සන්තෝසෙන් ගෙදර නතර වුණා මොකද අද නම් මේ වැඩේ කළෑකි තව ටික වෙලාවකින් අක්කත් එනවනේ මොකද අක්කගේ පන්තිය තිබුනේ ගෙදර ඉඳන් වැඩි දුරක නෙවෙයි කැන්ඩිලාගේම මහප්පලාගේ ගෙදර,ඒක නිසා අක්කාට ඉක්මනටම එන්න පුළුවන් කියලා කැන්ඩි දැන ගත්තා.

ඔන්න ඉතින් අක්ක එන්න කළින් ටිකක් බීලා බලන්න ඕනේ කියලා බියර් බෝතල්,බියර් කෑන් ටික තිබ්බ කබඩ් එක ඇරලා බැළුවා මොකද අක්කා එක්ක බොනකොට අක්කා දාන ඔක්කෝම නීති වලට යටත් වෙන්න එපැයි.කබඩ් එක ඇරල බෝතල් දෙකක්ම එලියට අයින් කරල ගත්තේ නෑ වගේ පේන්න ඒක හරි ගැස්සුවා.ගත්තට මොකෝ බොන්න බෑනේ මොකද ඒකාලේ කැන්ඩිට බෝතල් මූඩියක් ගලවන්න ඒතරම් තේරුමක් තිබුනේ නැහැ.ඒක නිසා අදහස අත් අරින්න සිද්ධ වුණා.කොහොම හරි ඉතින් ගත්තු එක අක්ක එනකන් ෆ්‍රිජ් එකේ තිබ්බොත් කූල් කරලාම බොන්න පුළුවන් නිසා ඉක්මනට කූල් වෙන්න කියලා එකක් ෆ්‍රිජ් එකේ ෆ්‍රීසරයට දාල ඉක්මනට වැඩේ සිද්ධ වෙන්න ෆ්‍රිජ් එකේ තිබ්බ බොත්තනුත් අසූහාර දාහටම කරකවල අනිත් එක විතරක් එලියෙන් තිබ්බා.

ඔන්න ඉතින් ටික වෙලාවක් විනාඩිතිහක් හතලිහක් ගියාට පස්සේ අක්කා ආවා.ඔන්න ඉතින් කැන්ඩිට මාර හැපිනේ.දූවගෙන ගිහින් විස්තරය කිව්ව.ඔන්න ඉතින් කැන්ඩිගේ අක්කටත් මාර හැපි.අක්කාත් ඉතින් පොත් ටික තියන්න කාමරයට ගිහින් ඇඳුම් අහෙම මාරු කරන අතරේ ඔන්න එක පාරටම මාර සද්දයක් ඇහුනා කුස්සිය පැත්තෙන් හරියට නිකන් කවුරුහරි වීදුරුවක් බින්ඳා වගේ.දෙන්නම ඉතින් ඒ පැත්තට ගිහින් බැලුවත් මොකක්වත් පේන්න නැති නිසා ඔන්න දෙන්නම ගියා ෆ්‍රිජ් එක ළඟට වැඩේ පටන් ගන්න.ගිහිල්ල ඉතින් ෆ්‍රිජ් එකේ දොර ඇරලා බැලුවමයි එලොව පොල් පෙනුනේ .ඒක ඇතුලේ දාපු බෝතලය වෙනුවට තිබුනේ වීදුරු කටු.කැන්ඩි ඉක්මනට සීතල වෙන්න කියලා අර බෝතලය ෆ්‍රීසරයට දාල ඒකේ තිබ්බ සේරම බොත්තම් කැරකුවානේ,ඉතින් ඉක්මනටම සීතල වෙලා බෝතලය ඇතුලේ තිබ්බ ඒවා මිදිලා ඉඩ නැති වෙච්චි නිසා තමයි බෝතලය බිඳිලා තියෙන්නේ.

ඔන්න ඉතින් කැන්ඩිගේ අක්කා බැන බැන ගිහින් වීදුරු කටු ටික පේන්නේ නැති තැනක හංගලා එහෙම ආයිත් ආව වැඩේ පටන් ගන්න.ඔන්න මේ පාර නම් අක්ක වීදුරු දෙකක් එහෙම අරගෙන අර බෝතලයේ මූඩිය එහෙම ගලවලා බියර් අර වීදුරු දෙකටම පිරෙව්වා.ඔන්න දැන් වීදුරු දෙකටම පුරවල දෙන්නම එකපාර බොන්න ලෑස්තිය.ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම් මේකෙත් එදා අර සුවඳ බලපු ඒවායේ වගේම සුවඳක් එනවා.

ඔන්න ඉතින් එකයි දෙකයි තුනයි කියල දෙන්නම එක පාර බිව්වා.

පූ....ස් එයැක් තුක් විතරක් අක්කා කටට ගත්තු උගුරම ආපහු විසි කළා.විසි කළා නෙවෙයි විසි වුණා.කැන්ඩිටනම් කටට ගත්තු උගුර එකපාරටම ගිළුනා.ඒ වුනාට කට තිත්තේම තිතේ බෑ.චික් විතරක් මේවා මල ජරාවක්නේ අක්ක බෝතලේ ඉතුරු ටිකත් හැලුවා .

ඔන්න දැන් තමයි කැන්ඩිට තරු පේන්න ගත්තේ.අර ගිළුන එක උගුරටයි කටේ තිත්ත නිසා ඇති වෙච්ච අප්පිරියාවටයි ඔන්න දැන් එක පාරටම කැන්ඩිගේ ආමාශගත ද්‍රව්‍ය එක පාරින්ම එළියට ආවා.ඔන්න ඉතින් දැන් අක්කත් බය වෙලා ලඟට ආවා.ඉක්මනට කට හෝද ගන්න වතුර එහෙම දීලා දැන් කැන්ඩිව පුටුවක් ගෙනැල්ලා ඉන්ඳුවා.තව තත්පර දෙකක් ගියේ නැහැ ඔන්න තව පාරක් .ඔහොම ඔහොම කැන්ඩිගේ ආමාශයේ තව එළියට එන්න දෙයක් නැතිවෙනකන්ම තුන්පාරක් විතර කැන්ඩිගේ ආමාශ ගත ද්‍රව්‍ය එළියට ආවා.

දැන් අක්කා අසූහාර දාහට බය වෙලා ඔන්න ඉතින් පැනඩෝල් දීලා දෙහි හදලා දීල ඔන්න පුළුවන් ප්‍රතිකර්ම සියල්ලම දුන්නාට පස්සෙ කැන්ඩිගේ බඩ පෙරළි කරන එක නැවතුනා. කොහොමින් කොහොමින් හරි අම්මලා එනකොට කැන්ඩිගේ අක්ක සියල්ල යතා තත්වයට පත් කරලා වමනය ගියා කියලා අම්මලාට කියන්න එපයි කියලත් කැන්ඩිව පොරොන්දු කර ගත්තා.

එදාට පස්සේ බියර් කියන වචනය අහනකොටත් කැන්ඩිට මරණ භය ඇතිවෙනවා.කැන්ඩිගේ අක්කාට අවුරුද්දක් දෙකක් යනකන් ඊටත් වඩා භීතිකාවක් තිබුණා, කැන්ඩි ඕක අම්මට කියයි කියලා.දැන් නම් බියර් වචනය මතක් වෙනකොටත් බඩ පැලෙන්න හිනා.නමුත් පස්සේ කාලේක කැන්ඩි හිතා ගත්තා ජීවිතේටම ඔය වර්ග වලින් කිසිම එකක් කටේ තියන්නේ නැතුව ඉන්නවා කියලා.




කැන්ඩි.....


Saturday, August 28, 2010

කෙබී සහ ඇටමරියා.....




ඔන්න ඉතින් අද කියන්න යන්නෙත් අමතක නොවෙන කතාවක්.මේක වුනේ කාලයක් මගේ හොඳම යාළුවෙක් වෙලා හිටිය කෙනෙක්ට.

ඔන්න ඉතින් ඒ කාළෙත් හිටියා නියම මිතුරු කැලක්.මේ කට්ටියත් ඉතින් අමතක කරන්නම බෑ.ඔන්න ඉතින් මේ අය හිටියේ සාමාන්‍යපෙළ පටන් ගත්ත කාලෙ.ඒ කියන්නේ දහය වසරෙදි.ඒ කාලෙ අපේ පන්තිය තිබුනේ ගුරුවරුන්ගේ කාමරයට තවත් පන්තිකාමරයක් එහා පැත්තෙන් ඉතින් කට්ටියට වැඩිය කෑගහන්න එහෙම බෑ එහා පැත්තට ඇහෙන නිසා.ඉතින් ඒක නිසා කෑගහන්නේ නැතුව කරන්න පුළුවන් ඔක්කොම දේවල් කළා.ඔන්න ඉතින් මේ කාලෙ අල්ලපු පන්තියේ කියලා නෑ කට්ටිය ඔක්කොම එකතුවෙනවා.

එහෙම එකතුවෙලා තමා ඉතින් කට්ටිය ඔක්කොම කරන්නේ එහෙම ඉන්න ගමන් ඉන්න එක එක යාළුවටත් මොන මොනව හරි කරලා හිනා වෙනවා.හැබැයි කට්ටිය වැඩිපුර හිංසා කළේ මේ කියන සිද්ධිය වුන කෙනාට තමා.ඒ එයාගේ තියෙන ලොකුපහේ පණ්ඩිත කමටයි කරන කියන ගොන් පහේ වැඩ නිසයි.හිටපු කට්ටිය කියනවනම් මේ කියන කෙබී,ජනී,ජනී-02,මෑඩ්,රුචී,කලූ,ටී සහ මොසී.ඔන්න ඉතින් දැන්නම් මේ කට්ටිය හම්බ වෙන්නේ කලාතුරකින් වුනාට ඒකාලේ කට්ටියම කළේ ගොඩක් දවසට ඉස්කෝලේ ඇරුණම කලූගේ ගෙදරට කට්ටියම එක්ක රිංගන එක.කියන්න බැරි වුනා කලූගේ ගෙදර තිබුනේ අපේ පාසලට ඉතාමත් ළඟින් ඒක නිසා එහෙට යන එක හරිම සිම්පල් දෙයක්.

ඔන්න ඉතින් එහාට ගියම නටන්න පුළුවන් පිස්සු ඔක්කෝම නටලා තමයි කට්ටිය ආපහු ගෙදර යන්න පිටත් වෙන්නේ.මේ කට්ටියගෙන් දැන් බොහෝම දෙනෙක් කාර්‍ය බහුල වෙලා නිසා මුණ ගැහෙන්නේ වෙන්නේ කලාතුරකින් තමයි.කැන්ඩිත් ඉතින් හැමදාම කාර්‍යබහුලයිනේ.මේ කට්ටිය ගැන කිව්වොත් ජනි දැන් වෙනත් රටක වෛද්‍ය ශිෂ්‍යයෙක්,ජනී-2 මාලඹේ තොරතුරු තාක්ෂණ ආයතනයේ ශිෂ්‍යයෙක්,රුචී සහ මොසීත් වෛද්‍ය ශිෂ්‍යයන්,ටී බාහිර උපාධි අපේක්ෂකයෙක් ,කලූ හෙද නිළධාරියෙක් සහ මෑඩ් මොරටුව ශිෂ්‍යයෙක්.මේ කියන කෙබීත් කොළඹ පැත්තේ යුනියක ඉන්නේ.කැන්ඩි නම් ඉතින් මොකද කරන්නේ කියල කියන්න ඕනේ නැහැනේ ,ඔය කට්ටිය ඉතින් දන්නවනේ ඒක.

ඔන්න ඉතින් කට්ටියට හැමදාම බ්යිට් එකට ගන්නවා නම ඉතින් මුළින්ම මතක් වෙන්නේ කෙබීව තමයි,ඒ මෙයා කරන රඟපෑම් සහ තනියම බුදු වෙන්න ගිහින් හැමදාම මෙයාට මොනවා හරි වෙන නිසා.මෙයාට කට්ටිය ගොට්ට ,මුට්ටිය කියල එහෙමත් කියනවා.තවත් නම් නම් බොහෝමයක්.ඔය කියන නම් නම් ඉතින් අති සාධාරණයි.කොටින්ම කිව්වොත් මෙයා විතර මහා ගොටු රාජයෙක් අපේ මුළු ඉස්කෝලෙම හිටියද කියල කියන්න බැහැ.ගොට්ට අල්ලල අල්ලල කොහොම කොහොම හරි මෙයා පාසලේ ගුරුමණ්ඩලයේ මහත්ම මහත්මීන් අතරනම් ඉතා ප්‍රසිද්ධ චරිතයක්. මෙයාට මේ කියන නම වැටුනේ මෙයාගේ ඇත්ත නමින් තවත් කෙනෙක් අපේ පන්තියේ හිටියා, එයාට හැමෝම කිව්වෙ කොබා කියල දෙන්නගෙන් ඉතින් ගොඩාක් වෙලාවට ස්ත්‍රී ගති ළක්ෂණ පෙන්වන්නේ මෙයා නිසා කට්ටිය අනෙකාට කොබාත් මෙයාට කෙබීත් යන නම් කියල ආමන්ත්‍රණය කරන්න පටන් ගත්ත.

මෙයා දැනුත් ඉස්සර වගේම තමයි.වැඩිය වෙනස් හෙම නෑ.දැන්නම් ටිකක් දාන ගොන් පාට් එහෙම ටිකක් ඉස්සරට වඩා බලන්න ලස්සනයි.ඉස්සරට වඩා වැඩිදියුණු වුන ගොන් පාට් දැන් මෙයා දාන්නේ.දැන් මෙයා AIESEC එකේ ලොකු පොරක්.ඉතින් මෙයා දැන් වාතයක් පිට කළත් AIESEC එකේ වාතයක් තමා.කොටින්ම කිව්වොත් ඇඟ පුරාම AIESEC එක.ඒත් ඉතින් මෙයාගෙ ගතිගුණ වෙනස් වෙලා නම් නැහැ.තවම පරණ ගොන්පාට් එහෙම ඊටත් වඩා හොඳින් දානවා.ඔන්න ඉතින් මේ කියන්න යන්නෙත් ඉස්සර මෙයාගෙ තිබුණ ගොන් කමට අනුන්ට හිනා වෙන්න ගිහින් මෙයාට වෙච්චි දෙයක් ගැන තමයි.

ආ මේ කට්ටිය අතරෙ තවත් කෙනෙක් අමතක වුන ඒ තමයි අන්දරේ.අන්දරේත් දැන් තොරතුරු තාක්ෂණ ශිෂ්‍යයෙක්.ඔන්න ඉතින් ඔය කියපු කට්ටියගෙන් භාගයක් එහා පන්තියේ භාගයක් මෙහා පන්තියේ.ඒ වුනාට කට්ටිය මාර ෆිට්.ඒ කාලේ තමයි අර පාසල් වලට උදෑසන ශාරීරික සුවතා වැඩසටහන හඳුන්වල දුන්නේ.ඉතින් කට්ටිය උදේට ඕක කරන ගමන් එතනත් හොඳ පිස්සුවක් නටනවා.ඔය සරඹ කිරිල්ල ප්‍රධාන කොටස් කිහිපයකට බෙදා දැක්වුවා අපි ඒ කාලේ.අඹ කැඩීම,සරුංගල් යැවීම,ඉඳි ආප්ප සෑදීම තව මෙතන කියන්නට බැරි ආකාරයෙන් නම් කරපු කොටසුත් තිබුනා.ඉතින් කට්ටිය කරන්නේ උදේට පේළි දෙකේ ඉදන් අර එක් එක් ප්‍රධාන කොටස අනෙක් අය කරනවා තමනුත් කරන ගමන් බලාගෙන ඉන්නවා.ඔහොම බලාගෙන ඉඳල ඔය සරඹ හරඹය ඉවර වුනාට පස්සේ එක් එක් කෙනාට ඔය මෙකී නොකී ඉසව් සඳහා සම්මාන ලබා දෙනවා.ඉතින් ඔය කාර්‍යයට සම්මාදන් වෙලා තමයි කොහොමින් කොහොමින් හරි මේ කට්ටිය එකට එකතු වුනේ.

ඒ අතරේ ඔය කියන කාලේ තිබුණ වානිජ‍ය සහ ගිණුම්කරණය,ඉතිහාසය ,සංවර්ධන අධ්‍යයනය ,සෞඛ්‍යය යන විෂයයන් වලට මේ කට්ටිය ඒ පන්තියෙන් මේ පන්තියටත් මේ පන්තියෙන් ඒ පන්තියටත් ගිහින් ඔන්න ගජ මිත්‍රයෝ වුනා.ඔය පන්ති දෙකේම කවුරුවත් නැතිවෙලාවට කට්ටිය ඉන්නේ ඉතින් කොයි පන්තියේද කියල හොයන්න බැහැ.අඩුම තරමේ ඔය කට්ටියගෙන් එක් කෙනෙක්වත් අනික් පන්තියට ගිහින් කතාව.ඔහොම වෙලාවට එක එක් කෙනාට මොකක් හරි කියලා හිනාවෙන එක තව මොනව හරි හංගන එක බෑග් එකට කුණු කසල පුරවන එක සාමාන්‍ය සිද්ධි.
තවත් කියන්න බැරිවුන දෙයක් තමයි ඔය පන්ති දෙකේම හිටිය එක වගේම මැරයෝ සෙට් එකක් අනිත් කාට නැතත් ඔය කෙබීටනම් ඒ කට්ටිය මූ නම් මුට්ටිය අල්ලනව වැඩියි කියල නොයෙකුත් ආකාරයේ වද බන්ධන දුන්න.

ඔන්න එදත් කට්ටියට මොකකින් හරි පන්ති දෙකේම ගුරුවරු ඇවිත් හිටියේ නැහැ.හැබැයි කෙබියි කැන්ඩියි අන්දරෙයි මොකක් හරි සාඛච්ඡාවක හිටියේ.ඔන්න එක පාරටම අනික් පන්තියෙන් දුවගෙන දුවගෙන මොසී ආවා.දැන් නම් මෙයා හතර රියන් පුද්ගලයෙක් වුනාට ඒ කාලේ මෙය කොස් ඇට දෙකක් තරම් වත් උස නැහැ.ඒක නිසා කට්ටිය මෙයාගේ ක්‍රියා කලාපයන් ඒතරම් ගණන් ගත්තේ නැහැ.ඒත් මෙයා දුවගෙන දුවගෙන ඇවිල්ලා එක පාරටම නතර වුනේ කෙබී ළඟ.කෙබී ළඟ නතර වෙලා මෙයා කෙබීට කිව්වා අපි ජනීට ඒ කියන්නේ ජනි-02 ට අළුත් නමක් හැදුවා ඇටමරියා කියලා.ඒක කිව්වම එයාට යකා නඟිනවා කියලත් කිව්වා.ඔන්න ඉතින් දැන් ඒක අහපු කෙබීට මාර හැපී.මොකද හැමෝම එයාට නම් කිව්වාට අනිත් අයට නමක් හදන්නේ බොහෝම කලාතුරකින්නේ.ඔන්න ඉතින් අර මාර හැපී පිටම එක පාරම කෙබී දුවගෙන ගියා එහා පන්තියට.

කැන්ඩියි අන්දරෙයි ඔහොම හිටපාන් කියලා කෑ ගැහුවත් ගැහුවත් මෙයා නෙවෙයි නතර වුනේ.මම කලිනුත් කිව්වා වගේ ගුරු කාමරය ළඟ නිසා විශාල ශබ්දයක් නගන්න බැරි වුනත් පන්ති දෙකේම කට්ටිය තරමක ශබ්දයක් ඇති කරලා තමයි තිබුනේ මේ වෙලාවෙත්.ඔන්න ඉතින් කෙබී එහා පන්තියට ගිහින් හිටපංකෝ මම අද උඹට නම් කියන්නේ උඹලගේ මුළු පන්තියම ඉස්සරහ කියල හිතාගෙන පන්තිය ඉස්සරහටම ගිහින් ඇටමරියා... කියල මහා හයියෙන් කෑගැහුවා.

ඔන්න එතකොට ඕකට ලෑස්තිවෙලා හිටපු කළු,මෑඩ්,ටී,මොසී,ජනී-02 සහ අනික් අය එක පාරටම මහා හයියෙන් හිනා වෙන්න පටන් ගත්තා.දැන් හයියෙන් කෑගැහුවට අර ටිකක් ශබ්දය නිසා කට්ටියකට ඕක ඇහුනේ නැහැ.ඒක නිසා ඒ අය බැළුවෙත් නැහැ.ඉතින් කෙබීට ඕනේ කට්ටියම ජනීට හිනා වෙනවා දකින්නනේ මෙයා ඔන්න තවත් පාරක් තවත් ශබ්දය වැඩි කරලා තවත් පාරක් හයියෙන් කෑ ගැහුවා ඇටමරියා... කියලා.ඒ පාරනම් කට්ටියම බැළුවා.ඒ පාර මහා හයියෙන් කට්ටිය හිනා වුනා.ඔන්න හැපී එක වැඩි කමට මෙයා තවත් සද්දය වැඩි කරලා තුන්වෙනිපාරත් මහා හයියෙන් ඇටමරියා... කියල බෙරිහන් දුන්නා.

ඒ පාර නම් මෙයා කෑගහපු සද්දය හොඳට අපේ පන්තියටත් ඇහුනා.කියපු දේ එක පාරටම තේරුන කට්ටිය බඩ බදාගෙන හිනා වෙනවා ඔන්න.හිනා වෙන ගමන් එහා පන්තියේ මැර සෙට් එකේ එකෙක් නැගිටල බඩ බදාගෙන හිනා වෙන ගමන් ඇහුවා අඩෝ කෙබියො කවුද බන් උඹට ඇරියෙ කියල?ඔන්න එතකොට තමයි මෙයාට කියපු එකේ තේරුම වැටහුනේ.අනේ එතකොට ඉතින් කෝච්චිය ගිහින් ඉවරයි.සවලක් තිබුනනම් අනිවා ඒ වෙලාවේ මෙයා ලව්ව අපිට පෘථිවියේ අනික් පැත්තට යන්න උමගක් හාර ගන්න තිබුනා ඒ වෙලාවේ.

මෙයා එක පාරටම ආපහු හැරිලා දුවගෙන ආවා එතකොට හූ වරුසාවයි.අහන් ඉන්න ලස්සනයි සමහරු අහපු දේවල්.ඒ පන්තියෙන් මේ පන්තියට එනකොට මෙයාට මෙහෙනුත් හොඳට හූවක් හම්බවුනා.අනේ අපරාදේ කියන්න බැහැ මෙයා තව මාසයක් විතරයනකන් ඔය යාළුවෝ සෙට් එක ඉන්න පැත්ත හැරිලා හුස්මක්වත් පිට කළේ නැහැ.ඒ වුනාට මෙයා 2009 අවුරුද්දේ AIESEC එකේ ලොකුම පොර වුනා .එහෙම වෙලත් මෙය උම්බෑ කියන එකනම් නැවත්තුවේ නැහැ.තවත් වැඩි කළා මිසක්. Skype එකේ මෙයා විතර අපිට ආතල් දෙන කෙනෙක් වෙන නැහැ.තාමත් අනෙක් අය නැති වුනත් ටී සහ මම රෑට මෙයාගේ විකට සංදර්ශනය නරඹනවා.

ආ තවත් එකක් මෙයාට විභාගයක් ලං වුනාම මෙයාගේ මුණු පොතේ බිත්තිය විනාස කරන එකත් අපේ විනෝදාංශයක්.

කැන්ඩි.......

Friday, August 27, 2010

සිතද ඔබ සිතුවිල්ලද.................?





මිහිරියාවක් දැනුනි මට
යක්ෂාවේශයද
ක්ෂණික කෝපයද
දුකද
සතුටද
ආශ්වාදයද
තැවීමද
ප්‍රමෝදයද
මැලවීමද
විඳීමද
විඳවීමද
සැනෙන් අමතක වීමද
පුපුරු ගසා යලි ඇවිලීමද
ඉවසුමද
ආවේගයද
ලොබකමද
දායදයද
ආදරයද
වෛරයද
මෛත්‍රියද
කරුණාවද
ආයාසයද
පහසුවද
මහා බරක්ද
සැහැල්ලුවක්ද
හැඟුනි මට සිතුනි මට
දැනීමද දැනවීමද
සිතද ඔබ සිතුවිල්ලද.................?

කැන්ඩි.....

ඔබත් මෙහෙමද?



මේ ලිපිය ලියන්න හිතුවෙ සමාජයේ බොහෝ දෙනෙක් හිතාගෙන ඉන්න වැරදි මතයක් දුරු කරන්න.ඒක සමහර විට විහිළුවක් වගේ දැනෙන්නත් පුළුවන් ඒත් ගොඩ දෙනෙක් හැසිරෙන්නේ මෙහෙම නිසා තමයි මම හිතුවේ මේ ලිපිය ලියන්න.සුනඛයා කියන්නේ අපේ නිවෙස් වල කාලයක පටන මිනිසාට හිතවත්ව වෙසෙන සතෙක්.මිනිසාට හිතවත්ව නිවෙස් වල ආරක්ෂාවට නිවසේ සාමජිකයෙකු ලෙස ඉතා සමීපව සිටිනා බලු සුරතලා සමහරවිට වරදවා වටහා ගන්න පුළුවන්.නමුත් අපි තේරුම් ගන්න ඔනේ තිරිසන් සතෙක් වුනත් ඒ සතාගේ ඉතා හොඳ ගතිගුණ මිනිසාට හිතවත් ක්‍රියාකාරකම් තිබෙන බව.සමහර අවස්ථාවලදී බල්ලන් මිනිසුන්ව සපා කා ඇති අවස්ථා නැත්තේද නොවේ.නමුත් මෙතරම් හීලෑ සතෙකු ඒ තරම් දරුනු බවට පත්වන්නේද සමහර මනුෂ්‍යයින්ගේ තිරිසන් ක්‍රියා කලාපයන් නිසා බවද කිව යුතුමය.


මුලිනුත් කිව්ව වගේ මේ ලිපිය ලියන්න හේතුවුණ කරුණු රාශියක්තිබෙනවා.නිවසේ ආරක්ෂාවට සුනඛ සුරතලෙකු නිවසේ ඇති කිරීම ඉතා හොඳ බුද්ධිමත් තීරණයක්.නමුත් බොහෝ මනුෂ්‍යයන් හැසිරෙන්නේ සුනඛයා යනු පිටසක්වල ලෝකයකින් තමා මරා තමාව අනුභව කිරීමට පැමිණි පිටසක්වල ජීවියෙකු ලෙස සලකාය.මගේ සහ මගේ මවගේ විනෝදාංශය ලෙස සුරතලය සඳහා බල්ලන් ඇති කිරීම සිදු කරනු ලබනවා.මට ඇති පුද්ගලික අත්දැකීම අනූව බොහෝ දෙනා සුනඛයෙකු දුටු විට හැසිරෙන අන්දම මම මෙහිදී විස්තර කරන්නම්.බොහෝදෙනා සුනඛයෙක් දුටු විගසම "කරන්නේ අනේ මේකා කනවද?""අම්මෝ මට නම් එන්න බෑ ඔය බල්ලා මාව කයිද දන්නේ නැහැ"යයි පැවසීමය.මූලික වශයෙන්ම මේ ලිපිය රචනා කිරීමේ අරමුණ වන්නේ මෙම දුර්මතය දුරු කිරීමය.බල්ලා යනු ඔබව සපා කෑමට නිරතුරු මඟ බලා සිටින සත්වයකු නොවන බව ඔබ සිහියේ තබා ගත යුතුය.

මෙතැන් සිට ආගන්තුක සුනඛයෙකු සමඟ හැසිරෙමේදී ඔබ ක්‍රියා කල යුතු ආකාරය පිළිබඳව මම ඔබට ගෙන එන්නම්.

1.ආහාර ගනිමින් හෝ පැටවුන් රකිමින් සිටිනා සුනඛයෙකුට කිසිවිටෙකත් කරදර නොකරන්න බියවුන විට හෝ තිගැස්සීමෙන් ඔවුන් ඔබව සපා කෑමට පෙළඹිය හැක.තවද සුනඛයින් වෙත ගල්,කෝටු කැබලි විසි කිරීමෙන් වලකින්න.බොහෝ දෙනෙක් සිදු කරන වැරදි ක්‍රියාවක් තමයි සුනඛයෙක් දුටු විගසම ගල් මුගුරු අරගෙන උන්ට පහර දෙන්නට සැරසීම,එමඟින් වෙන්නේ සුනඛයා කුපිත වීම නිසා සුනඛයා සපා කෑමට පෙළඹීමයි.



2.බැඳ දමා හෝ වැටකින් එහා සිටින සුනඛයෙකුට කිට්ටුවන්න එපා.බොහෝ දෙනෙක් කරන තවත් මෝඩ වැඩක් තමයි මෙසේ සිටිනා සුනඛයන්ට උසුළු විසුළු කිරීම මෙසේ කළ විට සුනඛයා තවත් කුපිත වීම සිදු වේ.



3.සුනඛ පැටවුන් වෙත කිටුවන්න එපා පැටවුන්ගේ ආරක්ෂාවට ඔවුන්ගේ මව ඔබව සපා කෑමට පෙළඹිය හැක.



4.සුනඛයින් අසලින් කලබලකාරී ලෙස හැසිරීමෙන් හෝ දිවීමෙන් වලකින්න.බොහෝ විට සුනඛයින් සපා කෑමට ඔබ වෙත කෝපයෙන් පැනීමට තැත් කරන්නේ ඔබ ඔවුන්ට බියෙන් පසු වේ යයි හැඟුන විටය.



5.සුනඛයෙකුගේ ඇස් දෙස එක එල්ලේ නොබලන්න.එක එල්ලේ ඕනෑම සතෙකුගේ ඇස් දෙස බැලීමත් සතෙකු කුපිත වීමට හේතුවක්.

6.කලබල වූ සුනඛයෙකු ඔබ අසලට පැමිණියේ නම්
  • නිසොල්මන් වන්න.
  • බිම බලා ගන්න.
  • සෙමින් සෙමින් පිටුපසට ගමන් කරන්න.
  • කිසි විටෙකත් ආපසු හැරී දුවන්න එපා.එවිට සුනඛයා කිසිවිටෙකත් ඔබ වෙත පැනීම නතර කරන්නේ නැත.
7.සුනඛයෙකු ගොරවමින් ඔබ වෙත කිට්ටු වන්නේ නම් ගසක් මෙන් නිසොල්මන් වන්න.දෑත් දෙපසට එල්ලා වැටෙන්න හරින්න.ටික වේලාවකින් ඔහු ඔබ වෙතින් ඉවත්ව යනු ඇත.

8. මෙසේත් ඉවත්ව යන්නේ නැතීව සුනඛයා ඔබ වෙත පනී නම් මුහුණ සහ ශරීරය ආරක්ෂා වන පරිදි වකුටු වන්න.

මේ ආකාරයට ඔබ ආගන්තුක සුනඛයෙකු දුටු විට හැසිරෙනවානම් ඔබට සුනඛ සපා කෑමක් ඉතා පහසුවෙන් වලක්වා ගත හැකි වේවි.නමුත් බොහෝමයක් දෙනා සුනඛයෙකු දුටු විට කරන්නේ මේවාට ප්‍රතිවිරුද්ධ ක්‍රියාවන් නිසාවෙන් බොහෝ විට සුනඛ සපා කෑම් සිදු වේ.

සුනඛ සපා කෑමකදී..
  • වහාම සපා කෑ ස්ථානය සබන් යොදා ගලා යන ජලයෙන් සෝදන්න.
  • රෝහලකට යන්න.
  • සුනඛයාව වෙන්කර තබන්න.එම සුනඛයාගේ හැසිරීම කෙබඳුදැයි නිරීක්ෂණය කරන්න.

ඔබ සුරතලයට ඇති කිරීමට සුනඛයෙක් හෝ බළලෙක් ලබා ගන්නා විට පශු වෛද්‍යවරයෙක් හෝ මහජන සෞඛ්‍ය පරීක්ෂක හමුවී ජල භීතිකා රෝගය පිළිබඳ දැනුවත් වන්න.එන්නත් කිරීම් සිදු කරවා ගන්න.තවද ඔබ සුරතලයට සතෙකු ඇති කිරීමට ගන්නා විට බොහෝ විට සුනඛයෙක් ඇති කිරීමට ගන්නා විට ඔවුන්ට නිසි ආකාරයේ උපත් පාලන ක්‍රමයක් ඇති කිරීමට වග බලා ගන්න.අනවශ්‍ය පැටවු බෝ වීම එමඟින් ඔබට වලක්වා ගත හැක.මෙම ක්‍රමයක් අනුගමනය කරනවා නම් ඔබට පන්සලට බලු දාන දීමෙන් වැලකී සිටිය හැක.

ඔබ ඉහත දැක්වූ ආකාරයට කටයුතු කරන්නේ නම් ඔබට සුනඛ සුරතලෙක් ඇති කිරීම ඉතා පහසු කාර්යයක් වේවි.සුනඛයා දුටු විට ඔබගේ තිරිසන් ගති ඉස්මතු කර නොගෙන නුවණින් කටයුතු කරන්නේ නම් ඔබටත් සුනඛයෙකුගේ තත්වයට පත්වීම වලක්වාගත හැකි වේවි.



ෆ්ලෆී මාස පහේදී...



කැන්ඩි.....

Thursday, August 5, 2010

ඇයද මිනිස් දුවකි.



කැන්ඩි මේ දවස් ටිකේ ව්‍යාපෘති වැඩ වගයකට ටිකක් කාර්‍යබහුල වෙලා නිසා ටිකක් විතර වෙලාව මදි අනිත් වැඩ කටයුතු කර ගන්න.ඒක එහෙම වුනත් කැන්ඩි හිතුව මේක නම් ලියන්න, ඒ හිතට ටිකක් කල කිරීමක් වගේ සිතුවිල්ලක් ඇති වුන නිසා.ළඟදී දිනයක කැන්ඩි කැන්ඩිගේ අම්මත් එක්ක ළඟම ඥාතියෙකුගේ ගෙදර බණ පින්කමක් තිබිල බණ අහන්න ගියා.

ඉතින් මේ ධර්ම දේශනාවට වැඩම කළේ ප්‍රදේශයේ ප්‍රසිද්ධ හිමි නමක්.උන්වහන්සේ කවිබණ දේශනා කරන්න ඉමහත් ප්‍රසිද්ධියක් උසුලපු හිමිනමක්.ධර්ම දේශනාවේ මාතෘකාව වුනේ කළු ගඟේ ඛේදවාචකය.කවිබණ අව්සාන වන තෙක්ම මෙම කවි බණ මඟින් කියවුනේ එම සාපරාධී මවට ඇනුම් බැනුම් සහ ගැරහුම්ය.
ඔන්න මම මාතෘකාවට පිවිසුණා.

මුලින්ම කියන්න ඕනේ මේ ලිපිය ලියන්නේ මෙම මවගේ පැත්ත අරගෙන නොවන බවත් මමද එක හෙලාම මෙම මවට මෙම දරුවා ගඟට විසි නොකර අඩුම තරමේ මෙම දරුවාගේ පණ නල රැකෙන පරිදි කිසියම් ස්ථානයක දමා ආවානම් මීට වඩා හොඳ බවය.නමුත් අපි ඇයට බනින්නට පෙර මෙම කරුණු ගැනත් සිතා බැලුවොත් හොඳයි කියා මම සිතුවා.එම නිසා එම කරුණු මම ඔබේ ඉදිරියේ තබන්නම් ඒවා සාධාරණීකරණය කරන ලෙස මම නොඉල්ලමි.නමුත් මෙම කරුණුවලද යම් සත්‍යතාවක් ඇතැයි මගේ මනසට වැටහෙන හෙයින් මම මෙම කරුණු එකින් එක ගෙන හැර දක්වමි.

මාධ්‍ය වලින් මම දුටු පරිදි ඇසූ පරිදි මෙම මව මෙම දරුවා ගඟට විසි කළ ස්ථානයට පොලීසිය විසින් ගෙන ගිය අවස්ථාවේදී ඇයට ගල්මුල් ගැසීමට විවිධ පිරිස් ඉදිරිපත් වූ බව දැන ගතිමි.නමුත් ඇය පවසා තිබුණ පරිදි ඇය දිනපතා බඩගින්න නිවා ගන්න යමක් සොයා ගැනීමට කළුතර බෝසමිඳුන් අසලට යන අවස්ථා වලදී එනම් සිඟමන් යදින්න යන අවස්ථාවලදී මෙම මවට මෙම දරුවා සමඟ බඩගින්න නිවා ගැනීමට එකදු තම සන්තක සතයක් පරිත්‍යාග කළ අයෙකු සිටියේද යන්න මට නැඟුන එක් ගැටළුවකි.

මෙවන් අවස්ථාවලදී මෙම ඈයින්ට ගල්මුල් ප්‍රහාර දෙන්නට පිරිස් ඉදිරිපත් වූවත් මෙම අයගේ බඩගින්න නිවා ගන්න සතයක් දෙන කෙනෙකු සොයා ගන්න ලැබෙන්නේ උගහටය.තවද මෙම මව එම අවස්ථාවේදී සිටි මානසික තත්වය කුමක්ද යන්න අපි නොදනිමු එය දන්නේ ඇය පමණි.ඇය දීර්ඝ කාලයක් තිස්සේ යම් මානසික අසහනකාරී තත්වයකින් පෙලුනා විය හැක.ඇයට කිසියම් මානසික රෝගී තත්වයක් තිබුනාද විය හැකිය.අපි එයද නොදනිමු.(නමුදු එම විදියේ තත්වයක් මෙතෙක් ඇයට තිබුනා කියා මගේ දැනුමේ තරමට කිසිම මාධ්‍යයකින් වාර්තා කර නොමැත.)

ඇයට තිබූ ආර්ථික අපහසුකම් දන්නේ ඇය පමණි.මාධ්‍ය වලින් වාර්තා වූ ලෙසට ඇයගේ සැමියා දරුවා රෝහලේ සිටියදී පැමිණ සාක්ෂි දුන්නත් ඔහු ඇයව හැර දමා ජීවත් වී ඇත.ඔබ අප සැම කෙසේ මෙම අප ලංකාද්වීපය කෙසේ වර්ණනා කළත් මෙම සමාජ මට්ටමේ කාන්තාවකට සමාජයේදී මුහුණ දීමට සිදුවන තත්ව ඉතාමත් කටුකයැයි මා අමුතුවෙන් ඔබට කීමට උවමනා නැත.එවන් කාන්තාවකට අනෙකුත් එම වටාපිටාවේ සිටින පිරිමින්ගෙන් සිදුවන අතවර පිළිබඳව පැහැදිලි අවබෝධයක් ඔබට දිනපතා පළවන පුවත්පතකින් ගත හැකිය.

තවද මෙම කාන්තාව මෙම දරුවා පිළිබඳව ඔහු ඉපදුන දිනයේ පටන් සැබෑ මාතෘ සෙනෙහසකින් සිටියාද යන්නට අපට සාක්ෂි ඇතුව කීමට නොහැක. මන්ද යත් මෙවන් සමාජ පසුබිම්වල කාන්තාවන් තමන් අකමැත්තෙන් ගැබ්ගන්නා අවස්ථා අනන්ත අප්‍රමාන ඇත.එවන් පසුබිමක ඉපදෙන දරුවා කෙරෙහි දාරක ස්නේහයකට වඩා එම දරුවා දකින විට එම මව් වරුන්ට එම දරුවා ඇති වීමට ශුක්‍රාණුව දායක කළ තැනැත්තා කෙරෙහි වූ වෛරය ඉස්මතුවී එම දරුවා තමාගේ වෛරක්කාරයෙකු ලෙස පෙනිය හැක.එවන් අවස්ථා අනන්ත අප්‍රමානව දැකිය හැක.එයට වරද එම මවගේද දරුවාගේද නොවූවද එමඟින් ඍජුවම මෙම දරුවාද මවද අනන්ත අප්‍රමාණ ලෙස දඬුවම් ලබයි.මෙවන් අවස්ථා අතීතයේද වාර්තා වී ඇත. මෙම මවටද එවන් කරුණක් මෙය සඳහ බලපා ඇතියි යන්න අපට කිව නොහැකි නමුත් එය එසේ නොවෙයි යන්න කීමටද අපට සාක්ෂි නොමැත.එය දන්නේද ඇය පමණි.

තවද ඇය කී නොකී අප නොදන්නා අපට අනුමාන කළ හැකි හේතු ගණනාවක් ඇයට තිබිය හැකිය.
නමුත් මම නැවතත් කියන්නේ ඇය මෙම දේ නොකළානම් හොඳ බවය.නමුත් මෙය දැන් සිදුවී හමාරය.මෙහි වගකීම ඇයමත පමණක් පවරා ඇය මරනීය දණ්ඩනයට හෝ ජීවිතාන්තය දක්වා සිර දඬුවමකට යටත් කළ පමණින් මෙය අපට විසඳිය නොහැක.ඇය මෙම තත්වයට පත් වූයේ ඇයගේ වරදින්ම පමණක් බව අපට පැවසිය නොහැක.ඇයද සමාජයේ විවිධ ආකාරයෙන් සිදුවන අපරාධයක අපචාරයක ගොදුරක් වූවා විය හැකිය.එයට ඇයට පමණක් දෝෂාරෝපණය කිරීම ශිෂ්ඨාචාර සම්පන්න ජීවිතයක් ගත කරන මිනිසුන් වශයෙන් අපට සිදු කළ නොහැක.මන්දයත් ඇය මේ සමාජයේ විෂමාචාර වල තවත් ගොදුරක් මිසක මේ සියල්ලටම අකුරක් නෑර වගකිව යුත්තී ඇය නොවන නිසාය.තවද ඇයට සිදුවිය හැකි පෙරකී තත්ව ඇය උපන් පරිසරයෙන් ඇයට දායාද වූ ඒවා මිසක එම තත්වයන් ඇය විසින් ඇති කරගත් ඒවා නොවන නිසාය.
විශේෂයෙන්ම මිනිසුන් වශයෙන් අප එය වටහා ගත යුතුය.

මේ වරද සම්පූර්ණයෙන්ම ඇය පිට පවරා අපට නිදොස් වීමට නොහැක.මේ සමාජයේ විෂමාකාරතත්වයන් නිසා ඇයට මුහුණ පෑමට වූ මෙම තත්වයට අඩුවැඩි වශයෙන් වක්‍රාකාරයෙන් දායක වී ඇති නිසාය.අප කළ යුත්තේ ඇයට නිග්‍රහ අපහාස කිරීම නොව මිනිසුන් වශයෙන් වැරදුන තැන කොතනද යන්න සොයා බලා ඒ වරදම තවෙකෙකුට සිදු නොවීමට වග බලා ගැනීමය.හේතුඵල වාදයට අනූව අපට යමක් සිදුවීමට හේතුවද එය සිදු නොවීමට වග බලා ගැනීමද කළ හැක.

ඔබ මුහුදුකරයට ගියහොත් ඔබට එම වෙරළාසන්න නිවෙස් වල සිටින කාන්තාවන් පිළිබඳ සැබෑ තතු දැන ගත හැක.මෙයවෙරළාසන්න ප්‍රදේශ වල පමණක් නොව විවිධ පෙදෙස් වල වර්තමානයේ සුලභ දසුනකි.මා උදාහරණයක් ලෙස මෙය ගෙන හැර දක්වමි.බොහෝමයක් වෙරළාසන්න පෙදෙස්වල සිටින්නේ අඩුවයස් මව්වරුන්ය.තවද මොවුන්ට දරුවන් හතර පස් දෙනා බැගින්ද සිටියි.මොවුන්ට මෙම දරුවන් නඩත්තුවට තබා එදා වේල පිරිමසා ගැනීමට තරම් ආදායමක් නොමැති තරම්ය.මෙම දේවල් වලට වග කිව යුත්තන් වන්නේ කවුද කියා සොයා බලන්න කිසිවෙකු නැත.මොවුන්ට නිසියාකාර අධ්‍යාපනයක් ලැබී නැත හෝ මොවුන්ව කිසිවෙක් ඒ සඳහා යොමු කර නොමැත.නිසියාකාර පවුල් සංවිධාන ක්‍රමයක්,නිසියාකාර ලිංගික අධ්‍යාපනයක් මොවුන් සතුව නැත.සදාචාර සම්පන්න පුරවැසියන් වශයෙන් අපට ඔවුන් විසින් ඒ දේ ලබා ගන්නේ නැතැයි කියා අත පිස දමා ගන්නට බැරිය.

රටේ බහුතරයකට හිමිවන අධ්‍යාපනය මොවුන්ට ලැබී නැත.අඩු තරමේ දරුවකු ලැබෙන්න රෝහලකට ඇතුලත් වන අවස්ථාවකවත් මොවුන්ට මේ දැනමුතුකම ලැබී නැත.තවද මෙම සිද්ධියෙන් පසුව මාධ්‍ය මඟින් කියවුන පරිදි තමන් හට හදා වඩා ගන්නට බැරි දරුවන් එම නගරයේ පොලිසිය හරහා හෝ ළමා හා කාන්තා කාර්‍යාංශය මඟින් පරිවාස භාරයට පත් කිරීමේ හැකියාව තිබී ඇත.නමුත් අවාසනාවට මෙම කරුණුකාරණා රටේ මේ දැනමුතුකම අවශ්‍ය පුද්ගලයන් වෙත සන්නිවේදනය වී නැත.

මොවුන් සතුව මෙවැනි දැනුමක් තිබේනම් මෙවැනි දේ සිදුවීම බොහෝ දුරට වලක්වා ගත හැකිය. තවද එම පුද්ගලයන් හට ජීවත් වීමට කිනම් හෝ වෘත්තීය අධ්‍යාපනයක් ලබා දිය යුතුය.ඔවුන්ට දිවිගැටගසා ගැනීමේ මාර්ගයක් තිබුනා නම් මෙසේ ව්නොවීමට බොහෝ ඉඩකඩ තිබුනි.ඇය කළ දේ මම අනුමත නොකළත් ,ඇය කළ දෙයට නැවත නැවත ඇයට බැණ අඬගසනවාට වඩා ඇය වෙනුවෙන් ඇගේ අනෙක් දරුවන් යහපත් පුරවැසියන් කිරීම අප සතු යුතුකමකි.මෙම සිදුවීම මතක් කර මාතෘ ගුණ වැඩි කර ගැනීමට ධර්මය දේශනා කළානම් වඩා හොඳ යයි මට අවසානයේ සිතුනි.මන්දයත් ඇයට බැන අඬ ගැසීමෙන් ඇයගේ වරද නිවරද නොවන නිසාත් අර මියගිය දරුවාගේ සිරුර නැවත ප්‍රාණවත් වීම මෙමඟින් සිදු නොවන නිසාය.

අප මහා බුදුරජාණන්වහන්සේ ධර්මය දේශනා කිරීමේදී අතීත කතාව සිහිපත් කරන ලද්දේ එමඟින් වැරදුන තැන පෙන්වාදී වරද නිවැරදි කිරීමටය. එසේ නැතුව එම චරිතවලට බැණ අඬගසා ශ්‍රාවකයා ප්‍රකෝප කිරීමට නොවේ.ප්‍රසිද්ධ හිමිනමකගේ බණ අසා සිත ධාර්මික වූවාට වඩා සිදු වූයේ හිමි නම කෙරෙහි සිත කළ කිරීමය. මන්දයත් ඇයත් මනුෂ්‍ය දුවක් නොව තිරිසන් යක්ෂනියක ගණනට දැමූ බැවින්ය.මරණීය දණ්ඩනයකට ලක් වූවෙක්ට වුවද තමන් වෙනුවෙන් කාරණා ඉදිරිපත් කිරීමට හැකියාවක් ඇත.ඇයට එම අයිතියද අහිමිය.මෙම හිමි නම මෙම කවිබණ දේශනා කරනා සෑම විටම ඇය යනින්නකය.

තවද ඇයට සිදු වූ මෙම සිදුවීම නැවත නැවත බැන අඬගසනවාට වඩා යම්කෙනෙකුට උපදෙසක් දීමේදී ඔබ මේ වරද නොකරන්න යයි පැවසීම වඩා අගනේ යයි කීම අපද තවත් මනුෂ්‍යයන් වශයෙන් සිදු කළ යුතු බව මම තරයේ විශ්වාස කරමි.මන්දයත් මිනිසාගේ පරම යුතුකම මිනිසාට සේවය කිරීම වන නිසාය.


මෙය මගේ අදහසයි.ඔබේ අදහසත් විවෘතව පවසන්න.සංවාදයට විවෘතයි.

කැන්ඩි..


Monday, August 2, 2010

වහල් සේවය.




ඔන්න ඉතින් මේ කියන්න යන්නේ බුදුන් වැඩිය දේශයක සිටින තවත් මිනිසෙක් කරපු වැඩක් ගැන තමයි.කැන්ඩිගේ ගෙදර කැන්ඩිගේ අම්මගේ වැඩ වලට උදවු කරමින් දුර ගමනක් යනකොට ගෙදර තනි නොතනියට එහෙම හිටපු මුහුණේ සිරියාවක් නැති සිරියාගේ දුවට දරුවෙක් ලැබුන නිසා කැන්ඩිගේ අම්මාට සිරියව සිරියාගේ දුව පදිංචි වෙලා හිටපු අලව්වට නිවාඩු දීල පිටත් කරන්න සිද්ධ වුණා.

ඔන්න ඉතින් මේ අතරේ තමයි කැන්ඩිගේ අම්මා දුර ගමනක් යනකොට සහ නිතර දෙවේලේ ගෙදර තනි නොතනියට ඉන්න කෙනෙක් හොයන්න පටන් ගත්තේ.ඉතින් ඔය අතරේ කැන්ඩිගේ අම්මාට මතක් වුනා එයාගේ ගමේ ගෙවල් ළඟ මේ වැඩේට සුදුසු වයසක ආතා කෙනෙක්.මෙයා මීට කලිනුත් කැන්ඩිලගේ ගෙදර සේවය කරල තියෙනව.මෙයත් සේවයෙන් ඉවත් වෙලා ගියේ සිරියට වගේම දරුවෙකුට කුමක් හෝ ඇබැද්දියක් වෙලා තමයි.ඒ මීට අවුරුදු පහළවකට විතර කළින්.එතකොට මේ ආතා ආතමත් නෙවෙයි එතකොට ගොඩාක් වෙහෙසිලා බර වැඩ කරන්න පුළුවන්.

ඉතින් කැන්ඩිගේ අම්මා හෙව්වේ බර වැඩ කරන්න නෙවෙයි නිසා වයස වුනත් මෙයාට අපේ ගෙදර සේවයට එන්න කියන්න උවමනා උනා,ඉතින් ඒක නිසා කැන්ඩිගේ අම්මා ගෙදර ගිය දවසකඒ අසලම තිබූ මේ ආතගේ නිවසටත් ගොඩ වුනා.මේක දැන ගත්තේ එතකොට තමයි.

මේ ආතට දරුවන් පස් හය දෙනෙක්ම සිටියත් මේ ආතා ජීවත් වුනේ තට්ට තනියම තමන්ගේ කඩා වැටෙන්න ඔන්න මෙන්න තිබුන ගෙදර ඒකට පිළියම් යොදමින් .තමන්ගේ දරුවන් තමන්ට සැලකුවේ නැතත් මේ ආතට වැඩ කිරීමේ හැකියාව තියෙන නිසා තමන්ගේ වියහියදම් ටික උපයා ගැනීමේ හැකියාවක් තිබිණ.

මෙම ලිපියට වස්තු බීජය වන කතාව පටන් ගන්නේ මෙතනින්.
මීට මාස එකහමාරකට විතර කළින් මේ ආතාව තමන්ගේ තනි නොතනියට වත්ත පිටිය එළිපෙහෙලි කිරීමට කියා නැවතී සේවය කිරීමට ටිකක් දුර බැහැර පෙදෙසක පොහොසත් මහතෙකු විසින් කැඳවාගෙන ගොස් තිබිණි.
මේ මහතා තරමක දුර බැහැර පෙදෙසක වතු හිමියෙකි.ඔහුගේ වත්තේ ගව ගාලක් එළුගාලක් තිබී ඇත.
මෙම මහතාගේ නිවසද තිබී ඇත්තේ එයට සුළු දුරකිනි.ගිය පළමු දිනයේ මේ ආතාට කිසිදු වැඩක් කිරීමට සිදු නොවී ඇත්තේ යනවිට රෑ බෝ වී තිබුන නිසාවෙනි.පසුවදා පාන්දරින්ම මේ ආතා කිසිවකු විසින් අවදි කරන ලදී.ඉන්පසුව ඔහුට එකින් එක රාජකාරී පැවරී ඇත.

ඉන්පසු ඔහු පැවසූ ආකාරයට ඔහුගේ දෛනික වැඩ මෙසේය.ඔහුට අවදිවීමට සිදු වී තිබුනේ පාන්දර 4ට පමණය.ඉන්පසු පෙරකී සතුන් සියයක් පමණ වූ එලු හරක් ගාලේ කිරි දෙවීම.එය පාන්දර පහට පටන් ගත් විට නිමවන බව කීවේ උදේ හතට අටට පමණය.ඉන්පසු මෙම සතුන් නෑවීමය.එම සතුන් නෑවීමෙන් පසු වත්ත උදළු ගෑම සවස පහ පමණ වනතෙක් කළ යුතු විය.ඉන්පසුව ඔහුට සිදුවී තිබුනේ එම නිවසේ බල්ලන් නෑවීමය.
තවද රෑ දහය වනතුරු ඔහුට නිවසේ වලන් පිඟන් සේදීම ආදී කටයුතු පැවරී තිබී ඇත.සෑම දිනකම ඔහු මේ සියළු වැඩ කටයුතු සිදු කළ යුතු විය.

ඔහු දිනපතා මෙම වැඩකටයුතු සියල්ල කරමින් මසක් සේවය කර දින දෙකක් ගමේ ගතකර ඒම සඳහා තම දරුවන්ගේ නිවෙස් වලට ගොස් පැමිණීමටඔහුගේ වැටුප ඉල්ලා ඇත.ඒ අවස්ථාවේදී මේ මහතාගේ මහත්මා ගතිගුණ හොඳින් ප්‍රදර්ශනය වී ඇත.මෙම ආතා පවසන පරිදි මෙම මහතා යයි පවසන මිනිසා මොහුට පඩිය ලබා දී ඇත්තේ දීනකට රුපියල් පනහක් බැගින්ය.ඉතුරු මුදල ලබා නොදී ඔහු පවසා ඇත්තේ මම උඹට කන්නත් දුන්නා කියායි.ඉතින් අවසානයේ දුර බැහැර සිට මෙම ආතා බස් රථයෙන් ගමට පැමිණෙන විට ඔහු සන්තකයේ තිබුනේ බස් ගාස්තු වලටද වැයවී ඉතිරි වී තිබුණ මුදලක් පමණි.

මසක් පමණ මෙසේ වහල් සේවය කර පැමිණි මේ ආතාට අන්තිමේදී ගෙදර ආපසු රෝගී තත්වයක් ඇතිවී රෝහලකට ඇතුලත් කර ඇත.එහිදී අධිමිලැති ඔසුවක් නියම කළද මසක් සේවය කර පැමිණි මෙම ආතාට එම බෙහෙත මිලට ගැනීමට මුදල් තිබී නැත.මෙම බෙහෙත ඔහුට මිලදී ගෙන දී ඇත්තේ ඔහු රෝහලට ඇතුලත් කළ අසල්වාසීන්මය.

අහිංසක මොහුගෙන් වැඩ අරගෙන මොහුට සොච්චම් මුදලක් දී ආපසු එවූ මේ මිනිසාට හිතක් පපුවක් තිබීමට
හැකිද?
අඩුම තරමේ ඔහුට මේ ණය කෙදිනකවත් ගෙවීමට සිදුවේ යයි වත් ඔහු සිතා නොමැත
නමුදු මේ ආතා පැවසූ පරිදි මොහු ලෝකයට පෙනෙන්නට මහා බෞද්ධයෙක් බවයි.
ඔහු ලෝකයාට පෙනෙන්නට මහා පින් දහම් කරන්නෙකු මෙන් ජීවත් වන්නෙකු බවය.මේ රැවටීම ඔහු සිදු කරන්නේ කවුරුන් රැවටීමටද?
මෙම කර ඇති ක්‍රියාව අනූව මොහුට මෙයට මේ ආත්මයේදීම මෙයට වන්දිගෙවීමට සිදුවනු නොඅනුමානය.

කෙනෙකුගේ මහන්සියට සරිලන වැටුපක් ගෙවීමට නොහැකිනම් තවත් කෙනෙක්ගෙන් වැඩක් කරවා ගැනීම ගැන දෙවරක් සිතිය යුතුය.මක්නිසාදයත් මෙවන් ලෙස කිරීම මහ කුරීර ක්‍රියාවක් නිසා හා එම පුද්ගලයා අවසානයේදී තමන්ගේ මහන්සියත් වතුරේ යවා අනුන් උදෙසා වෙහෙසී ඇති නිසාය.අවසානයේදී කිව යුත්තේ බෞද්ධයන් වශයෙන් අවසානයේදී අපට කුමන ඉරණමක් අත් වේ යයිද සිතාවත් අන්යටගෞරව කිරීමට, ඔවුන් කරන ක්‍රියාවට කළගුණ සැලකීමද කළ යුතු බවය.


කැන්ඩි.......

මේ ගැන ඔබේ අදහසුත් පවසන්න.

Monday, July 26, 2010

නෙල්ලි මැඩම් සහ හුණු කොට්ටය......




ඔන්න ඉතින් මම අද කියන්න යන්නේ මගේ නුවර පාසල් ජීවිතයේ අමතක නොවන කතාවක්.අදටත් මේක මතක් වෙනකොට මාර ගති.

ඔන්න ඉතින් ඒකාලේ මම ගියේ මහනුවර ශාන්ත සිල්වෙස්තර විද්‍යාලයට.
මම නුවරදි පාසල් දෙකකට ඇතුලත් වුනා,ඔන්න එකක් තමයි මේක.ඉතින් නුවර පාසල්වල හිටියේ නාලන්දයේ වගේ දරුවන්ට ආදරය කරන ගුරු මෑණිවරු නෙවෙයි මැඩම්ලා.කාට හරි මේ කොටස මඟ ඇරුනොත් ඉතින් ගුටි
තමා..මොකද මේ අය සාමාන්‍ය ගුරු මෑණිවරු නෙමෙයිනේ..උඩරට වලවු වල මැණිකෙලා,කුමාරිහාමිලා තමා මේ අය.හැබැයි මේ ගොල්ල මෙහෙම කිව්ව්වට අපිනම් මේ ගොල්ලන්ගේ වලවු බලන්න ගිහින් නෑ.

ඉතින් ඔන්න අපේ කතා නායිකාවත් මේ කියන ගණයේ අති විශාල වලවුවක කුමාරිහාමි කෙනෙක්.
ඉතින් මෙයා හැමදාම වලවු පම්පෝරියත් පොඩ්ඩක් දානව වැඩිය නැහැ,පීරියඩ් එකකින් විනාඩි දහයක් විතර.
ආ ඉතින් හොඳම දේ කියන්න බැරි වුනානේ.මෙයාට ඒකාලේ අපි කිව්ව නම තම නෙල්ලි වලවුවේ නෙල්ලි කුමාරිහාමි කියලා,ඕක ටිකක් අමාරු නිසා කෙටි කරලා නෙල්ලි මැඩම් කියලා කිව්ව.ඔන්න දැන් හිතෙයි මේ එක පාරටම නෙල්ලි ආවේ කොහෙන්ද කියලා,මෙයා නෙල්ලි මැඩම් වෙන්නත් හේතුවක් තිබුන.මේ නෙල්ලි කුමාරිහාමිගේ අතේ හැමදාම නෙල්ලි මුලක් තියෙනවා,හැබැයි අපිනම් දන්නේ නෑ ඒ කොහෙන්ද කියලා ඒ වුනාට අවුරුද්ද පුරාවටම හැමදාම මෙයාගේ අතේ නෙල්ලි මල්ලක් තිබ්බා.මෙයාට නෙල්ලි උල්පතක් තිබුනාද කියන්න නම් දන්නේ නැහැ,ඒ වුනාට වාරෙටත් අවාරෙත් මෙයා ගාව නෙල්ලි නම් තිබුනා.මෙයා ඉගැන්නුවේ විද්‍යාව.ඒකත් මාර විජ්ජවක් තමා.ඒකත් මම තව ටිකකින් කියන්නම්කෝ.

ඔන්න ඉතින් සහ පිරිවර ගැන කියන්න බැරිවුනානේ.නමින් නම් කියන්න පුලුවන් ටික දෙනයි,ඒ තමා එල්ලාවල දමිත ෂම්මා,නවරත්න,වැලිහිඳ සහ ආසිරි .අනෙක් අය කිව්වොත් ඕනෑම වැඩක් පිත්තලෙන් නිම කරලා දෙන පිත්තල හූනා,අංක එකේ හතර වරං නම් පචමාල්,ඉත්තෑවා නොහොත් වෑත්තෑවා,මුතූ ,
රවි සහ උදිත.එල්ලාවල මොරටුව ඉංජිනේරු ශිෂ්‍යයෙක්,නවරත්න කලමනාකරන උපාධි අපේක්ෂකයෙක්,මුතු වෛද්‍ය ශිෂ්‍යයෙක් අනෙක් අය ගැන නම් නොදනී.ඔන්න ඉතින් ඒ කාලේ මේ කියන අයගෙන් අර නම් වලින් සඳහන් කරපු අයයි තව පිත්තල හූනා සහ පචමාල් තමයි පන්තියේ සාම කලාපයේ සාමාජිකයෝ ,
මමත් ඇතුළුව.අනෙක් නම් කළ සියලු දෙනා මැර හෙවත් ප්‍රහාරක කලාපයේ සාමාජිකයෝ.රවි තමා මේ කලාපයේ නායකයා.සාම කලාපයේ නායකයා තමා දමිත.ඒ එයට පන්තියේ අනික් අයට වඩා අතිමහත් වූ ශරීර කූඩුවක් තිබුන නිසයි.මැර කලාපයෙන් එල්ල වන ඕනෑම ප්‍රහාරයකට ප්‍රති ප්‍රහාරයක් දෙන්න
නම් ඉතින් එක්කන් යන්නේ මෙයා තමයි.කොටින්ම කිව්ව්වොත් මෙය රවිටත් බය නැති ගානයි.ඒ වුනාට මෙයාට ගොඩාක් තිබුනේ සාම කලාපයේ සාමාජිකයන්ගේ ගති ගුණ,ඒක නිසා මෙයත් සාම කලාපයේ තමා හිටියේ.ඔය සාම කලාපයේ හිටිය සෑම සාමාජිකයෙක් එක්කම මේ මැර කලාපයේ සංගමය පුදුම වෛරයකින් තමා හිටියේ,ඒ මොකද කියනවා නම් ඉන්න ඔක්කොම මැඩම්ලා ආදරේ මේ සාම කලාපයේ සාමාජිකයන්ට.ඔය කිව්ව නෙල්ලි මැඩමුත් එහෙම තමයි.

ඔන්න ඉතින් කට්ට්ය ගැනත් කිව්වා,දැන් තමා මැඩම් ගේ විද්‍යාව එහෙම නැත්නම් විජ්ජව ගැන කියන්නේ.නෙල්ලි මැඩම්ගේ විජ්ජාව මේක තමයි.ඔන්න පන්තියට හරියටම වෙලාවට එනව,හරියට ඉගිලිලා ඇවිත් වහනවා වගේ මෙයා හරියටම තිතටම පන්තියට එනවා.ඇවිත් පළමුවෙනි විනාඩි දහයක් පරම්පරා දේශනාව.වලව්ව,මෝටර් රථය සහ නෑදෑ පිරිවර.ඉස්සරනම් ඔය වර්ණාව අපිට චක්කරේට වැඩිය මතකයි.ඊට පස්සේ පොත් බැලීම.ඒක නම් අහඹු තේරීමක් විදියට සාම කලාපයේ දෙන්නෙක්ගේ විතර ඒකට යන්නේ විනාඩි දෙකක් විතර.ළමයි හතලිහක් විතර හිටපු පන්තියක විනාඩියට පොත් බලනවා කියන්නේ කොච්චර දක්ෂ මැඩම් කෙනෙක්ද කියල බලන්නකෝ.හැබැයි ඉතින් පොතේ බලන්නේ කරන් එන්න දුන්න වැඩඑහෙම නෙවෙයි ළමයි අච්චු පොත ඉස්පිල්ලක් පාපිල්ලක් අඩු වැඩි නැතුව සටහන් පොතට කොපි කරලදකියලා.කරන් එන්න දුන්න වැඩ බලන්න ඉතින් කරන් එන්න වැඩ දෙන්න එපැයි.අනේ මෙහෙමත් ළමයින්ට ආදරේ මැඩම් කෙනෙක් ,එහෙම මැඩම් කෙනෙක් මම දැක්කාමයි ජීවිතේටම.මෙයාගේ තිබ්බ ශිෂ්‍ය ස්නේහය
වැඩි හින්දමද කොහෙද කවදාවත් මෙය ගෙදර වැඩ නම් දුන්නේ නැහැ.ඔන්න අර අහඹු තේරීමෙන් පොත් බලල ඉවර වුනු ගමන් ඊළඟට මෙයා කියන්නේ ළමයි අච්චුපොතේ අර අහවල් පිටුවේ තියෙන අහවල් ඡේදය පොතේ ලියා ගන්න කියලා.ඉතින් අපිත් කරන්නේ ඕක පීරියඩ් එක ඉවර වෙනකන් ලියන එකයි.
ඒ කාලේ සෙනසුරාද ඉරිදා ගෙදර ඉන්න දවස් වලට අපි කරන්නේ අර අච්චු පොත ටිකක් වැඩිපුර පොතට කොපි කරන එක,එතකොට අපේ විද්‍යාව හෙවත් විජ්ජාව පීරියඩ් එකේදී අපි කරන්නේ පිටිපස්ස හැරිලා පචමාල්ගේ දවසේ හොඳම පචය අහන එක.ඕකට ඉතින් පිත්තල හූනාගේ පිත්තලත් අනෙක් අයගෙ
ආරළු බූරළු එහෙමත් එකතු වෙලා ඔන්න දවසටම ඇති වෙන්න ටොන්ම ටොන් පචයක් හැදෙනවා.දන්නේ නැද්ද ඉතින් හත අට වසර වලදි,ටීවි එකේ පෙන්නන පොල් කෙන්දත් ඉතින් මහා මැජික් එකක් තමා.තව ඉතින් සමහරුන්ගේ වෑන් කතා තව තව ගොඩාක් ජාති.

ඔන්න ඉතින් ඔය කොපි කිරිල්ල කරන්න කියලා කියපු හැටියෙම ඉතින් මැඩම් කරන්නේ එයාගේ පුටුවේ ඉඳගෙන අර ගෙනාපු නෙල්ලි මුලෙන් නෙල්ලි ගෙඩියක් අරන් හපන්න පටන් ගන්නවා.ඉතින් තව විනාඩි දෙකයි යන්නෙ මෙයා මේසෙම ඔළුව තියා ගෙන නිදි.ඔය ඉතින් පච කතා වීර කතා එහෙම
කට්ටිය කිව්වට කවුරුවත් මහා සද්දයක් ඇති කරල කෑ ගහන්නේ එහෙම නෑ අඩුම තරමේ මැර කලාපයේ අයවත්,ඇයි ඉතින් කවුද කැමැති මෙහෙම නිදියන ස්වීට් අයිස් මැඩම් කෙනෙක් ඇහැරවන්න... හික්ස්ස්ස්ස්..ආයෙත් ඉතින් අපේ නෙල්ලි මැඩම් ඇහැරෙන්නේ පීරියඩ් එක ඉවර වෙන බෙල් එක වදින
සද්දෙට තමා.ඉතින් එතකොට මෙයා කරන්නේ නැගිටලා අත් බෑග් එකත් අරගෙන ඉගිලිලා ඊළඟ පන්තියේ වහන එකයි.

ඔන්න ඔය අතරෙ තමා කට්ටිය එක එක වැඩ.සාම කලාපයේ අය කරන්නේ ඉතින් පච හලන එක එහෙම නැත්නම් ඊයේ ටීවි එකේ ගිය කතාවේ වීර ක්‍රියා විස්තර කරන එක එහෙමත් නැත්නම් ඒකාලේ තිබ්බ ගේම් එකේ කරපු වීර ක්‍රියාවක්,ඒවාට තව වෑන් කතා පිත්තල ගොඩාක් ජාති එකතු වෙනවා.මැර කලාපයේ මැරයන්ට නම් ඊට වඩා වැඩ තිබුනා.සාම කලාපයට ගල් මුල් කොළ බෝල රොකට් හුණු කැට ඩස්ටර් ප්‍රහාර,මේගොල්ලන්ගේ ප්‍රහාර කිව්වොත් ඉතින් ඩෙස් පුටු වලින් විතරයි ප්‍රහාර ආවේ නැත්තේ.ඉතින් කතා පවත්වන අතරතුරේදී සාම කලාපයේ අය ඕවට ප්‍රති ප්‍රහාරත් එල්ල කරනවා.ඔන්න ඉතින් සුපුරුදු විදියටම මැඩම් නින්දට වැටුනා.ඔන්න ඉතින් අපිත් පිටිපස්ස පේළියට හැරුනා පචමාල්ගේ කතාව අහන්න.
ඒකාලේ හොඳම යාලුවො දෙන්න තම එල්ලාවල සහ දමිත.ඉතින් තුන් දෙනාම හිටියේ එකම පේළියේ.ඔන්න දැන් තුන් දෙනාම හැරුනා පචමාල්ගේ කතාව අහන්න.ඔන්න ආවා පළමු ප්‍රහාරය එල්ලාවලගේ ඔළුවට ආවේ හුණු කැටයක්.ඔන්න ඉතින් අපේ සාම කලාපයේ නායකයා පැනපු සැනින් ඔන්න ප්‍රතිවාදියාට
තමන්ගේ යාලුවන් වෙනුවෙන් ප්‍රති ප්‍රහාර එල්ල කරන්න පටන් ගත්ත.ඔන්න ඉතින් ටික ටික ප්‍රහාර වැඩි වෙන්න පටන් ගත්තා.ප්‍රහාර වැඩිවෙන තරමටම ප්‍රතිප්‍රහාරත් වැඩි වුනා.ඔන්න ඊලඟ ප්‍රහාරය විදියට දමිත දිහාවට එල්ල වුනේ ,ඩස්ටරය එහෙමත් නැත්නම් හුණු කොට්ටය.ඕක වැදුනොත් ඉතින් ආයෙ
නාන්න වෙන නිසා දමිත ඉක්මනටම ඔළුව පහත් කර ගත්තා.ඔන්න වුනේ මොකද දන්නවද..?
අර හුණු කොට්ටය ආව වේගයෙන්ම කිසිම බාධාවක් නැතුව ගිහින් වැදුනේ අපේ නෙල්ලි මැඩම්ගේ ඔලුවේ.ඇයි එයා මේසය උඩ ඔළුව තියන් නිදියගෙනනේ හිටියේ.හුණුකොට්ටය එව්වෙ උදිත.ඔන්න දැන් ඉතින් මැඩම් ඇහැරුනා.උදිත ඉඳගෙන තක්බීර් වෙලා ,බලන්නත් ලස්සනයි මහ රෑ දොළහට හොල්මනක් දැක්ක වගේ මිනිහගේ මූණ.බෙරිවෙලා ඇද වෙලා ඒකට වෙන්න ඕනේ දේවල් ඔක්කොම වෙලා.මිනිහගේ සඟයෝ
දෙන්න මුතූටයි රවිටයි එහෙම තමා.හැබැයි හිනහ යන වැඩේ උනාට කාටවත් හිනා යන්නේ නැහැ,මොකද මැඩම් දෙන දඬුවමක් අරුන්ට විතරක් නෙවෙයිදෙන්නේ ඉතින් පන්තියටමනේ.

ඔන්න ඉතින් දැන් මැඩම් ඇහැරුනා,පන්තියම මීයට පිම්බා වගේ කිසිම සද්දයක් නැතුව ඉන්නවා.මැඩම්ගේ ඔළුවේ ඉස්සරහ හුණු තලියයි.ඔන්න මැඩම් නැගිටල වටපිට බලනවා,බැලුවට ළමයිනුත් කිසිම හැල හොල්මනක් නැතුව ඉන්නවා හුනුකොට්ටෙත් හරියට මේසෙ තියෙන තැන තියෙනවා.මැඩම් ඉතින් වටපිට බලල කියනවා ඔය ළමයි ඔය ඉන්නවා වගේ කෑගහනේ නැතුව ඕක ඉවර කරන්න කියලා.එහෙම කියලා මැඩම් එයාගේ බෑග් මල්ලත් උස්සගෙන ස්ටාෆ් රූම් එකට ගියා.

ඔන්න ඉතින් කට්ටියට එතකොට තමා ඇඟට ලේ ටිකක් ඉනුවේ.ඇයි මෙච්චර වෙලා හිටියේ මර බයෙන්නේ.ඊට පස්සෙයි කට්ටයට තේරුනේ ,හුණු කොට්ටේ වැදිලා ඇහැරුනාට මැඩම් හිටිය සැප නින්දෙ තරමට හුණු කොට්ටේ වැදුනු එක මැඩම්ට තේරිලා නැති විත්තිය,එයා හිතලා තියෙන්නේ නින්දෙන් නිකන්ම ඇහැරුනා කියලා.හැබැයි ඔළුවේ ගෑවිලා තිබුන හුණු ස්ටාෆ් රූම් එකේදී කවුරු හරි දැකලා කියලා වෙන්න ඇති මැඩම් ඊට පස්සෙ හැමදාම නිදා ගත්තේ හුණු කොට්ටේ මේසෙ කෙරවලටම කරලා..

උදිතගෙයි යාළුවන්ගෙයි මූනු කලු වෙලා තිබ්බ හැටි දැකලා ඉන් පස්සේ හැමෝම හිනා වුනා,ඒත් උදිතනම් ඊට පස්සේ හුණු කොට්ටෙන් ගහන එක නතර කළේ නැහැ.ඒ වුනාට ඊට පස්සේ කවුරුත් ඕකෙන් ගහන්න යද්දී ටිකක් පරිස්සම් වුනා.......

කැන්ඩි.......

Saturday, July 17, 2010

ලොකු අම්මා සහ අඹ කැඩීම...




අපේ ලොකු අම්මා ඉතින් අපේ අම්මලා වගේ නෙවෙයි අපි කියන ඕනෙම වැඩකට ඉතින් හා කියනවා මිසක් කවදාවත් බෑ කියලනම් නෑ..මගේ ලොකුඅම්මා හරිම වෙනස් චරිතයක්.
මගේ ජීවිතයේදී මට හමුවෙල තියෙන වෙනස්ම ගතිගුණ තිබෙන කාන්තාව එයා තමා.එහෙම කිව්ව කියලා බය වෙන්න එපා හොඳේ...?එයා හරිම හොඳ ලොකුඅම්මා කෙනෙක්.
ඔන්න ඉතින් ලොකුඅම්මා ගැන මම පස්සෙ එකකින් කියන්නම්කෝ...

ඉස්සර මම ටිකක් කම්මැලි චරිතයක්.අපේ අම්මාගෙන් ඇහුවොත්නම් කියයි ඉස්සර විතරක් නෙමෙයි දැනුත් එහෙමයි කියලා..හික්ස්ස්.ගහකින් ගෙඩියක් කඩන්නවත් යන්නේ නැහැ.
හැබැයි කඩලා දුන්නොත් නම් ලොරියකට වුනත් වග කියන්න නම් පුළුවන්.ඉතින් ඒක නිසා ලොකු අම්මා එනවට මම හරි කැමතියි.මොකද ඉතින් ලොකු අම්මාට කිව්වම ඕනෙම වැඩක් කරව ගත්තැකිනේ.ඉතින් ඔන්න එදත් ලොකුඅම්මා ඇවිල්ලා හිටපු දවසක් .ලොකුඅම්මා ආවම සාමාන්‍යයෙන් මාසයක් දෙකක් විතර අපේ ගෙදර ඉඳල තමයි යන්නේ.

ඔන්න ඉතින් ඒ දවස් වල ඉස්කෝලෙ නිවාඩු කාලයක්.ඒ විතරක් නෙවෙයි අඹ වාරයකුත් .
එතකොට මට වයස හයක් හතක් විතර ඇති.දෙක වසරෙද කොහෙද..මට හරියටම මතකනම් නැහැ.හැබැයි ඊට වැඩිනම් නැහැ.ඔන්න ඉතින් දවල් කෑම කාලා ඉවර වෙලා එහෙම මම ලොකුඅම්මාට යෝජනාව දැම්මා..යෝජනාව තමයි අඹ කැඩීම.අනේ යෝජනාව දාන පරක්කුවට සම්මතයි.
ඔන්න ඉතින් මට මාරම මාර හැපි.ගිහින් අම්මාට පොඩි ගණන් පාරකුත් දැම්මා.
මොකද ඉතින් අම්මාට ඔය යෝජනාව දැම්මානම් ඒක දාන පමාවට අහෝසියිනේ..ඊට පස්සේ ඉතින් අඹ කෑමත් ඉවරයි..ඔන්න ඉතින් අඹ කඩන්න ගියා.මුලින්ම ගියේ ගේට්ටුව ගාව තියෙන අඹ ගහ ගාවට..මොකද ඒකෙ තමයි ඒ වෙනකොට අඹ පැහිලා තිබුනේ.අනික් ගස් වල ඒ තරම් අඹ පැහිලා තිබුනේ නැහැ.අපේ ගේට්ටුව ගාව ඉඳන් මීටර් පහක් විතර වම්පැත්තට යනකොට තමයි මේ අඹ ගහ තියෙන්නේ.අඹ ගහට තවත් මීටර් තුනක් හතරක් විතර එහායින් තවත් පාරක් තියෙනවා.
ඉතින් මේ අඹ ගහේ අතු ගොඩාක් තියෙන්නේ අර අනිත් පැත්තෙන් යන පාරට බර වෙලා තමයි.

ඔන්න ඉතින් ලොකුඅම්මා කෙක්කෙන් අඹ කඩනවා මම අහුලනවා.ගොඩාක්ම ගෙඩි තිබුනේ අර පාරට බර වෙලා තිබුණ අතු වල තමයි.ඉතින් ලොකුඅම්මා කොහොම හරි ඒ ගෙඩි ටිකත් කැඩුවා..
ඉතින් ඔය අතරෙ මම වත්ත ඇතුලට වැටුන ගෙඩි ටික ඇහිඳිනවා.ඔය අතරේ ලොකුඅම්මා කිව්වා වත්ත ඇතුලේ ටික ඇහිඳලා ඉවර වෙලා අර පාරට වැටුන ටිකත් ඇහිඳින්න කියලා...
ඉතින් ඔන්න ලොකුඅම්මා තවගෙඩි අතුරුවෙලාතියෙනේ කොහෙද කියල බලනවා මම ඒ අතරේ අඹ අහුලනවා..

ඒ වෙලාවේ අරපාරට මෝටර්බයිසිකලයක් හැරෙව්වා...ඒකේ වයස විසිපහක් තිහක් විතර අයියලා දෙන්නෙක් හිටියේ..ඉතින් ඔය දෙන්න අර පාරට වැටුන අඹ ටික දැක්කා.
ඉතින් අර ඉස්සරහ හිටි කෙනා අනිත් කෙනාට කියනවා මචං අන්න නියම අඹ ගොඩක් තියෙනවා අපි යනකොට අහුලගෙන යමු කියලා.ඒ පාර තියෙන්නේ ටිකක් අපේ වත්ත තියෙන මට්ටමට පාතින් ඒක නිසා අර දෙන්න මමවත් ලොකුඅම්මාවත් එතන ඉන්නවා දැක්කේ නැහැ.ඔන්න ඕක ලොකුඅම්මාටත් ඇහුනා..

ලොකුඅම්මා ඉක්මනට කිව්වා වැට අයිනට යන්නේ නැතුව මෙහායින් තියෙන ඒව විතරක් අහුලන්න.
අර ගිය දෙන්නා ගිහින් තියෙන්නේ මොනවා හරි ගිහින් දෙන්න ළඟ ගෙදරකට..
මෙන්න විනාඩි පහක්වත් ගියේ නැහැ බයිසිකලය ආපහු එනවා...ඔන්න දැන් අඹ දැක්කා විතරයි මේ දෙන්නා බැහැලා වටපිටවත් බලන්නේ නතුව අහුලගෙන අහුලගෙන ගියා...මේක බලාගෙන හිටපු මටයි ලොකුඅම්මටයි මාර හිනා..ඉතින් ලොකුඅම්මා මට අතින් කිව්වා සද්ද කරන්නේ නැතුව ඉන්න කියලා.

ඉතින් අර දෙන්නා අඹ ටික අතේ තිබුන මොකක් හරි උරයකට දාගත්ත ..
ඉතින් ඔන්න දැන් දෙන්න තවත් පාරෙ අඹ ඉතුරුවෙලා තියෙනවද කියලා බලනවා.
ඔය අතරෙ ලොකු අම්මාත් අර මම එකතු කරපු අඹ ගොඩෙන් තවත් අඹ ගෙඩි ගොඩක් අරගෙන වැට අයිනට ගිහින් අර දෙන්නාට දික්කරලා කිව්වාආ පුතේ මේ ටිකත් ගන්න කියලා.
අනේ අරුන් දෙන්නට පොළොව හාරගෙන යන්න හිතෙන්න ඇති.
මට ඉතින් ඕක දැකලා තව සතියක් විතර හිනා...

ඉතින් අරුන්දෙන්නා ඔන්න දන් ගොත ගගහා කියනවා න් න් නැ නෑ ඇන්ටී මේ අපි දෙන්න දැක්කේ නැහැ ඇන්ටිලගෙ කියලා මේ අඹ කියලා දැන් කියනවා..කියලා මෙන්න අරුන් දෙන්නා අර අඹ මල්ල අපේ ලොකු අම්මාට ආපහු දෙන්න හදනවා....ඉතින් අපේ ලොකුඅම්මාත් නෑ නෑ පුතේ ඒකට කමක් නැහැ කියල වදෙන් පොරෙන් තවත් අඹ ටිකක් දෙන්න හදනවා.පස්සේ ඉතින් ලොකුඅම්මා කිව්වා අපිට තව අඹගස් තියෙනවා ඒවායෙත් ගෙඩි හැදිලා තියෙනවා ඔය ටික පුතාලා අරන් යන්න කියලා.
කොහොමින් කොහොමින් හරි ලොකුඅම්මා වදෙන් පොරෙන් අරදෙන්නාට තව අඹ ටිකක් දීල පිටත් කළා..

අනේ ඉතින් ඒ දෙන්නාට උන වැඩේ පව් වුනාට උන්දෙන්නා යද්දී ලොකුඅම්මාට ස්තූති කරලා එහෙම තමයි ගියේ.....අරුන් දෙන්නා ගියාට පස්සේ ඉතින් ලොකුඅම්මටත් මාර හිනා ..
අපේ අම්මාටත් ඕක ඇවිල්ල කිව්වම මාර හිනා...ඉතින් ඊට පස්සෙ අඹයක් දැක්කත් ඇති කට්ටියට අවුරුද්දක් විතර හිනා වෙන්න.

කැන්ඩි..

ඔන්න ඉතින් මම මගේ පළමුවෙනි රස කතාව දැම්මා..
කියවලා Comment එකක් දාලා යන අමතක කරන්න එපා.
ඔබේ අදහස් මට ශක්තියක් මට ආශිර්වාදයක්...

Thursday, July 15, 2010

මුණුබුරෙකුට....




මුණුබුරෙකුට




සැරියුත් මහ තෙරිඳු බෙලෙන්
පුතුගෙ නුවණ වැඩි වේවා!
ගෞතම මහ මුනිඳු බෙලෙන්
පුතුට මගේ ජයවේවා!
ඔබ නැලවූ අත්තම්මා
නිම් නැති දුකකට දැම්මා
එසේ කළේ ඔබෙ අම්මා
බිඳිමින් ආදර බැම්මා
පතමි පතමි පතමි පුතේ
පිය සෙවනක වාසනාව
ගතවෙන මොහොතක් පාසා
සැලසේවා! ඔබෙ දියුණුව


නිර්මාණ අයිතිය හේමා සෙනෙවිරත්න මිය ගම්පහ

මෙය මීට අවුරුදු දෙකකට හෝ තුනකට කලින් ඉරිදා ලංකාදීපයේ පලවූ පද පෙලකි.
එහි අන්තර්ගතය මා සිතේ අමුතු හැඟීමක් ඇති කළ නිසා මම මේක වෙන්කරලා තියා ගත්තා..
මම හිතුවා මේකත් ඔයගොල්ලන්ට පෙන්නුවොත් හොඳයි කියලා.

හැරගිය නිශා යුවතිය.....




හැරගිය නිශා යුවතිය.....


දිවා සූර්ය රශ්මියෙන් පීඩිත මා
ඔබ එනතුරු සිටියෙමි..
ගත පීඩිත වුවද ඔබ එනතුරු මම නිල් අහස යට
නෙත්පියන් හැර පියා සිටියෙමි
ඔබ එනතුරා පෙරමඟ අයාගෙන
තුරුසෙවන යට හිස් නිල් අහසට නෙතු යොමාන
සිටි මා වෙත ඔබ පැමිණියා....
පීඩිතව සිටි මා හට
ගතට සිතට සිසිල සුවය රැගෙන පැමිණි ඔබ..
සැවොම සැංඟී යන වෙලාවේ
මා සිත සනසමින්....
මා ගත ගිමන් නිවමින්.......
ඔබ මගේ සිත අද්දර සිට මා සැනසුවේ ඇයි එලෙස?
සියොතුන් කැදලි සොයා පියඹා යද්දී....
සැවොම සැඟවී ගන්නට වෙර දරද්දී..
නිසල තුර යට මා හොවා
අන්ධකාරයේ මා හැර දමා
ඇයිද ඔබ ගියේ
මා නිශා යුවතියේ...
සිටිමි මම හෙට දිනද ඔබ එනතුරා..
මේ අහස යට..



කැන්ඩි...

කියවලා comment එකක් දාලා යන අමතක කරන්න එපා.
ඔබේ අදහස් මට ශක්තියක් මට ආශිර්වාදයක්...


එක්ව හිඳිමුද..? වෙන්ව නැසෙමුද...?




එක්ව හිඳිමුද..? වෙන්ව නැසෙමුද...?


එක මව් කුස ඔත් දරුවන් විලසින්
පෙර දිනවල් අප සිටියෙමු සතුටින්
දුකකදී....සතුටකදී...වියෝවකදී...
එක්ව බෙදාගෙන එය එකසේ........
ලැබුවෙමු සැනසුම් පැසසුම්
නමුත් කිමද අද?
සිනහවක් හෝ කතාවක් නොමැතිව..
නාඳුනනවුන් සේ....
වරද නිවැරදි නොකර ගනිමින්
අමනාපයේ බොලඳකමින් රැවටී
පෙරකල ලැබූ පැසසුම්
නොමැත පමණයි ගැරහුම්
සිදුවූයේ කිමද මිතුදමට
එක්ව හිඳිමුද..? වෙන්ව නැසෙමුද..?



නිර්මාණ අයිතිය අනුෂි රන්දිකා වික්‍රමසිංහ සතුවේ.


මෙය මගේ සොයුරිය උසස්පෙළ කරන අවධියේදී ඇය උසස්පෙලට ඇතුලත් වූ වර්ෂයේදී ඇය විසින් ඇගේ පාසල වන මහනුවර හිල්වුඩ් විද්‍යාලයේ එම වර්ෂයේ පැවැත්වුන සිංහල භාෂා දින තරඟයට ඉදිරිපත් කරන ලද ඇය විසින් රචිත පද පෙළකි.
මෙය එම වර්ෂයේ එම තරඟයේ දෙවන ස්ථානය දිනා ගත් නිර්මාණයයි.
ඇය එදින වීරවරියක මෙන් පැමිණ ඇයට ලැබුන සහතිකය සහ ත්‍යාගය සමඟින් මෙම පද පෙළද අපට පෙන්වූ හැටි මට අද මෙන් මතකය.



කියවලා comment එකක් දාලා යන අමතක කරන්න එපා.
ඔබේ අදහස් මට ශක්තියක් මට ආශිර්වාදයක්...

එනුමැන ලොකුඅම්මේ......




එනුමැන ලොකුඅම්මේ....



සිතට දැනේ මට තනිකම
හදට දැනේ ඒ හිස් බව
ඔබ නැති ඒ හිස් බව
දැනේ අදත් මට එලෙසම
නික්ම ගොසින් ඔබ අප හැර
තෙවස පිරුනි නොදැනිම
නමුත් එදාමෙන් අදටද
ඔබේ අඩුව නැත නැති වී...
සොයුරියක විය ,යෙහෙළියක විය
දෙවෙනි මවක විය
ඔබ මා හට
සිතනු නොහැක මේ මා හට
කෙලෙස හැර ගියේ ඔබ අප සැම..
දයා ගුණය,කරුණා ගුණයද
ඔබෙන් උගත දේ නිම් නැත
කියා දෙන්න යළිත් ඒ දේ අපහට
මකා දමන්නට මේ හිස්බව
එළිය කරන්නට අප ජීවන මඟ
නැවත ඉපිද අප අතරට
අපේම වී අප වෙත
එනුමැන ලොකුඅම්මේ..........


කැන්ඩී..

මේක පළමුවෙනි Post එකයි.
මගේ ජීවිතයේ මගේ අම්මාට ඇරුනාම මම වැඩියෙන්ම ආදරය කළ පුද්ගලයා වුනේ ලොකුඅම්මායි.
ඉතින් මගේ පළමුවෙනි පෝස්ට් එකෙන් මගේ ලොකුඅම්මා මතක් වුන වෙලාවක මම ලියපු මේ මේ පද පෙළ පළකරන්න හිතුනා...
මම කවි නිසදැස් ලියන්න ඒ තරම් දක්ෂ කෙනෙක් නෙවෙයි.
ඒක නිසා මම ලියලා තියෙන දෙයෙහි අඩු පාඩුවක් තියෙනවා නම් ඒක මට කියලා Comment එකක් දාලා යන්න අමතක කරන්න එපා....
ඔබේ අදහස් මට ශක්තියක් මට ආශිර්වාදයක්....

Wednesday, July 14, 2010