Friday, March 25, 2011

ඉළන්දාරියා වෙතට..



පහුගිය මාස දෙක තුන තිස්සේම කාර්යබහුලත්වය නිසාම මට බ්ලොගයට ලොග් වෙන්නත් කිසිම දෙයක් ලියන්නත් වෙලව සහ එයට පහසුකම් ලැබුනේ නැති නිසාවෙන් මේ දේ දැන ගැනීමට නොහැකිවිය. නමුත් මේ දින කිහිපයේ සයිබරයේ ඒ මේ අත සැරිසරද්දී තමයි ඉළන්දාරියා අයියා මුහුණ පා ඇති තත්වය දැන ගැනීමට ලැබුනේ. අන් සියළුම දෙනා සහය පළ කර ඇති බව මට අද දිනයේ බොහෝ බ්ලොග් අඩවි වල පසුගිය ලිපි පරීක්ෂා කිරීමේදී වැටහුනි. මමත් වචනයකින් හෝ සහයෝගයක් දක්වන්න ඕනේ කියල මටත් හිතුනේ ජීවිතයේ බොහෝ දේ ලැබිලත් ලැබුණත් අදටත් ඒ දේවල් මට අඩුවක් නැතුව තිබුණත් ජීවිතයේ විවිධ කාල පරිච්ඡේද වලදි බොහෝමයක් අවස්ථා වලදී මටත් අනපේක්ෂිත තත්වයන් බොහෝමයකට මුහුණ දීමට සිදුවුන නිසයි.

සමහර විට මගේ ජීවිත කතාව ඇසුවොත් අඩුම වයසකින් ජීවිතයේ විවිධ හැල හැප්පීම් වලට මුහුණදීපු කෙනා කියලා ඔබලා හිතන්නත් ඉඩ තිබේ. සමහර විට මම හිතන විදියට ජීවිතයේදී මුහුණ පාන්නට සිදුවන සිදුවීම් ගණනාවකට මේවන විටත් මම මුහුණදී අවසානයි. ඒ ඒ අවස්ථාවලදී විවිධ පුද්ගලයන් විවිධ ආකාරයෙන් අනපේක්ෂිත ලෙස උදවු කළ ආකාරයත් සමහර සමීපතමයින් මඟ හැර ගිය ආකාරයත් නොමැකෙන ලෙස මාගේ මතකයේ සටහන් වී තිබේ. ඒ සිද්ධීන් සෞඛ්‍යමය සහ ආර්ථික ගැටළු නොවූවත් සමහර විට ඒ දේවල් ඔය දෙකෙන් එකක් වගේ දෙයක් වෙනවානම් කෙසේ හෝ එය ගෙවා දැමීමට හැකියයි සිතුන අවස්ථාද තිබුණි.

එම නිසා මා මේ සටහන ඔබ වෙනුවෙන් තබමි. මිය යාම පහසුය නමුත් ජීවත් වීම අපහසුය. ජීවිතයේදී අපට පැන නඟින විවිධ ආකාරයේ ගැටලු වලට විසඳුම් සොයා ඒවා ජයගෙන ජීවත් වීම සැබෑ හපන්කමයි. මේ අවස්ථාවේදී අපද ඔබ වෙනුවෙන් කළ හැකි දෙයක් කරන්නෙමු. ජීවිතය ගැන හෝ ඔබගේ සෞඛ්‍ය තත්වය ගැන කිසිම ආකාරයකින් සිතනවාට වඩා එයත් ඔබට ජීවිතයේදී ලැබුන එක් අභියෝගයක් යයි සිතන්න.

ඒ අභියෝගය ජයගන්නට මමද අපද සයිබරයේද ඔබ වටා සිටින සැවොමද කරනා උපකාර සමඟින් කෙසේ හෝ එය ජය ගන්නවා යයි සිතන්න. කීමට පහසු මුත් එය කිරීමට අපහසුයයි මමද දනිමි නමුත් අභියෝගය වන්නේ එය කෙසේ හෝ කිරීමයි. ඔබට එය අනිවාර්යයෙන්ම කළ හැකි වනු ඇත. එය ඉර හඳ මෙන් විශ්වාසයි.ඒ කාර්‍යයේදී අප සැවොම ඔබ හා හිඳින්නෙමු.කන්දක් නැග්ගොත් පල්ලමක් හමුවන්නාක් මෙන් එකම දේ සෑම විටම එකම කෙනාට සිදුවන්නේ නැත. ඔබට කන්දේ නඟින්නට ඇත්තේ තව ටික දුරයි. ඔබගේ දිනුම් කණුවට ඇත්තේ තව ටික දුරයි. ඒ ටිකත් නොපසුබට වීරියෙන් මෙහෙමම යමු.

ජීවන වෘක්ෂයේ හැමදාමත් කටු ඇති වන්නේ නැත එහි මල් පිපෙන දවසක්ද එයි. ඒ දිනය අත ළඟය.
එදිනට සැම සමඟින් එක්ව සිනාසෙන්න ඔබට ශක්තිය ධෛර්‍යය ලැබේවා..!!
ඔබට නීරෝගී සුව සහ ජයෙන් ජය..!!

කැන්ඩි....



2 comments:

මම වෙනුවෙන් ඔයාලා හෑමෝම කරන හෑම දේකටමත් මම වෙනුවෙන් ඔබේ බ්ලොග් අඩවියේ ඉඩක් වෙන් කිරිම පිලිබදවත් ඔබට ස්තුතියි,,,

ඔව් මට තව තියෙන්නේ මේ කන්දේ ටික දුරයි යන්න ..

සයිබර් අවකාශයේ අපිත් එක්ක රැඳී සිටිය දිලුම් දිසානායක (ඉලන්දාරියා) සොයුරාණනි, නුඹට නිවන් සුව....!!

Post a Comment